රවී කුමුදේශ්ගේ හා සමන් රත්නප්‍රියගේ ආන්ඩු ගැති ක්‍රියා කලාපය කම්කරුවෝ හෙලා දකිති

රාජ්‍ය හෙද නිලධරීන් ගේ සංගමයේ (රහෙනිස) සභාපති සමන් රත්නප්‍රිය වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ රාජකාරී භාරගැනීමත්, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ෆෙඩරේෂනයේ සභාපති හා වෘත්තීය සමිති සම්බන්ධීකරන කමිටුවේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පල කිරීමත් සෞඛ්‍ය කම්කරුවන්ගේ දැඩි පිලිකුලට හා පාත්‍ර වී තිබේ.

සමන් රත්නප්‍රිය වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ රාජකාරී භාරගනිමින් හා මාධ්‍ය වෙත කතා කරමින් (ඡායාරූපය: ෆේස්බුක්/ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය)

අගෝස්තු මස මුල දී වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ රාජකාරී භාරගත් රත්නප්‍රිය මාධ්‍යයට ප්‍රකාශ කලේ කම්කරු පන්තිය හා ගම්බද ජනයා විසින් රනිල් වික්‍රමසිංහ - රාජපක්ෂ ආන්ඩුව පෙරලා නො දමන බවට ආන්ඩුවට සහතික කිරීමේ සිය සැලසුම් පිලිබඳව ය. වැඩ කරන ජනතාව රුදුරු ලෙස පෙලමින් සිටින වික්‍රමසිංහ “මේ රටේ වැටුනු ආර්ථිකය ගොඩගන්න හැකියාව තියෙන' පුද්ගලයා” ලෙස රත්නප්‍රිය විසින් ඔජ වඩවන අතරතුර, “අපි විරුද්ධවාදීන් හෝ හතුරෝ නෙවෙයි” කියමින් වික්‍රමසිංහ ඉදිරියට කුමුදේශ් බඩ ගෑවේ ය.

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් (ඡායාරූපය ෆේස්බුක් වෙතිනි)

මෙම පාවා දීම පිලිබඳ දැනුවත් වීම සමග, මොවුන්ගේ සමිති වල සාමාජිකයින්ද ඇතුලු සෞඛ්‍ය කම්කරුවෝ මෙම නායකත්වයන් පිලිබඳ ව හා සමස්තයක් ලෙස වෘත්තීය සමිතිවල පාවා දීමට එරෙහි ව ලෝක සමාජවාදී වෙබ් අඩවියට සිය අදහස් ප්‍රකාශ කලහ.

වතුපිටිවල රෝහලේ කනිෂ්ඨ සෞඛ්‍ය සේවකයකු වන කාමන්ත සඳහන් කලේ, ආන්ඩුවේ තනතුරක් රත්නප්‍රියට ලබා දීමෙන්, සටන් වදින කම්කරුවන් පාලනය කොට මැඩලීමට වෘත්තීය සමිතිවල සහයෝගය ඍජු ව පෙල ගස්වා ගැනීමේ ප්‍රයත්නයක ආන්ඩුව යෙදී සීටින වග පැහැදිලිවන බවයි.

“කම්කරුවන් ඉදිරියේ සිංහ නාද කරන මෙම නායකයන් ධනපති ආන්ඩුවේ පරම ආරක්ෂකයින් ලෙස ක්‍රියා කරන ආකාරය දැන් වඩාත් පැහැදිලි වෙනවා. කොරෝනා වසංගතය උත්සන්න වන විට අපව සුව විරුවන් ලෙස හඳුන්වපු ආන්ඩුව ඉන්ධන දෙන කොට කිව්වෙ සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය නැහැයි කියල. මේවට මෙම සමිති සම්පූර්නයෙන් වග කිව යුතුයි,” ඔහු අවධාරනය කලේ ය.

“සමිති වල තීන්දු ගන්නේ ඒවයෙ නිලධාරියො. ඒ් තීන්දු වලින් සියයට 75ක් ම ඔවුනගේ අරමුනු මිසක් සාමාජිකත්වයේ අරමුනු නෙවෙයි. ඒ් නිසා අපට අපගේ ම ස්වාධීන සංවිධාන අවශ්‍යයි කියන එක පැහැදිලියි. සෞකක්‍රික පැහැදිලි කරන ලෙස හෙද දොස්තර ආදී බෙදීම් ඉවත දාල අප සියල්ලන් ඒ්කාබද්ධ වෙන්න ඕන කියන කාරනාවට මම එකඟයි.

“කොච්චර අරගල කලත් අරගල මෙහෙයවෙන්නේ කම්කරුවන්ගේ අවශ්‍යතාවයන් සඳහා නෙවෙයි නම් ඒ්ව යන්නේ පාවා දීම කරා. අපේම කම්කරු බලයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය තියෙනවා.”

“කම්කරු ක්‍රියාකාරී කමිටු මත පදනම් වන සම්මේලනයක් හරහා එවන් බලයක් ගොඩ නැගීම අවශ්‍යයි. වතුපිටිවල රෝහලේ කන්ඩායමක් සමඟ ඊට එකතු වෙන්න වැඩ කරනවා.” මෙම පාවා දෙන සමිති වලට දෙන්න තියෙන පිලිතුර එය බව ඔහු කියා සිටියේ ය.

මහනුවර රෝහලේ උපස්ථායක කම්කරුවෙකු වන දර්ශන සඳහන් කලේ රත්නප්‍රිය හා කුමුදේශ් වැනි නායකයන් තමන්ගේ “රෙදි ගලවා ගනිමින්” ධනපති ආන්ඩුව ආරක්ෂා කරන්න වැඩ කරමින් සිටින බවයි. ඒ්කාබද්ධ ජාතික වැඩ පිලිවෙලක් අවශ්‍යයි කියමින් මෙම සමිති වැඩ කරමින් ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රහාර දියත් කරන්න සියලු පක්ෂවල සහය ගොනු කිරීම සඳහා බව ඔහු තවදුරටත් පැවසීය.

“සමිති හා ඒ්වායේ නායකයන් සිය සමිති යොදා ගනිමින් කම්කරුවන්ගේ ආන්ඩු විරෝධී පෙල ගැස්මට බාධා කරනවා. ධනපති ක්‍රමයට වැටෙන්න ඉඩ නොදී පවත්වා ගෙන යාමට සමිති ඉටු කරමින් සිටින්නේ තීරනාත්මක ක්‍රියාකලාපයක්.”

මුලු රටේම කම්කරු පන්තිය අතර වැඩී ඇති කෝපය සුව සේවා කම්කරුවන්ට ද අදාල බව කී ඔහු “සමිති උත්සාහ දරන්නේ දරා ගත නොහැකි පීඩනයකට ලක් කර ඇති කම්කරුවන්ගේ විරෝධය දිය කර හැර ලැබෙන දෙයක් කාලා කලමනාකරනය කියන විධියට වැඩ කර ගෙන යාමට” වාතාවරනය සකස් කිරීමට යැයි තවදුරටත් පැවසී ය.

“සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කරන වැඩ පිලිවෙල කරන්න බැරි එකක් ලෙස සපථ කරමින් අපව සමච්චලයට ලක් කරන්න ඔවුන් උත්සාහ දරනවා.” ඊට කම්කරුවන්ගෙන් ඉඩ නොලැබෙනු ඇති බවත් ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු තනා ගනිමින් සංවිධානය කිරීමට තමන් මූලිකත්වය ගන්නා බවත් ඔහු කියා සිටියේ ය.

ගම්පල රෝහලේ හෙදියක වන නයනා කුමාරි පැවසුවේ “රත්නප්‍රිය හා කුමුදේශ් අපේ සටන් හා අපේ විරෝධය කලමනාකරනය කලා නෙවෙයි. යටපත් කලා,” යනුවෙනි. “ඒ් පාවා දීම් සමඟ දැන් අප දිනා ගත් විශේෂ නිවාඩුත් අවලංගු කරන්න යනවා,” යැයි ඇය කීවා ය.

රත්නප්‍රිය අධ්‍යක්ෂක තනතුර භාර ගැනීම පිලිබඳව කෝපයෙන් කතා කල ඇය “මේ නායකයන්ගේ ගැති කම තමයි පෙනෙන්නේ. දැන් වික්‍රමසිංහට කල් දෙන්න ඕන කියනවා. සමිති නායකයො ඔක්කොම එකයි. කුමුදේශ් ඇතුලු මොවුන් ඉන්නේ සටන පැත්තේ නෙවෙයි. ආන්ඩුවේ අතකොලු හැටියට,” යැයි පැවසුවා ය.

සමිති තුල තම අදහස් නියෝජනයට ඉඩ නොලැබෙන බව කී ඇය ඒ්වායේ වැඩ සිද්ධ වෙන්නේ නායකයන්ගේ ලාභ ප්‍රයෝජන වලට අනුව යැයි කියා සිටියා ය. මෙවන් සමිති නායකයන්ගෙන් තොර ක්‍රියාකාරී කමිටු තනා ගැනීම පිලිබඳ ව ඇය එකඟත්වය පල කරමින් කතා කලා ය.

පේරාදෙනිය ශික්ෂන රෝහලේ කම්කරු ක්‍රියාකාරිකයෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) කියා සිටියේ “අපේ නායකයින් ගේ මතයේ මම නැහැ. වික්‍රමසිංහගේ අත ශක්තිමත් කරල දුන්නේ සමිති බව මම පිලි ගන්නවා,” යනුවෙනි.

රත්නප්‍රිය විසින් ආන්ඩුවේ අධ්‍යක්ෂ තනතුර ගැනීම පිලිබඳව හෙලා දකිමින් කතා කල මහනුවර රෝහලේ හෙදියක් තමන් ඒ් පිලිබඳව ලජ්ජාවට පත්ව ඇතැයි කියා සිටියා ය. “සමිති නායකයන් සාමාජිකයන්ට එක මුහුනකුත් දේශපාලන නායකයන්ට තව මුහුනකුත් පෙන්වනවා. සමිති නායකයන් වාසි ලබා ගත්තට අපට ඉන් ලැබී ඇති වාසියක් නැහැ. සමිති වල සාමාජික අදහස්වලටවත් ඉඩක් නැහැ. හැබැයි නව පරම්පරාවේ අයගේ කට වහල තියන්න බැහැ. සටනේ නව මාවත් ඔවුන් සොයනවා,” යැයි ඇය පැවසුවා ය.

සමිති නායකයන්ගේ පාවාදීම පිලිබඳව ලෝසවෙඅ විසින් කල පැහැදිලි කිරීම් අගය කරමින් කතා කල පරීක්ෂනාගාර කම්කරුවෙකු මෙසේ කියා සිටියේය: “මෙම ද්‍රෝහීන්ගේ නම අහන්නවත් මං කැමති නෑ. මෙම නායකයන් දැන් නිහඬව දිගට ම සිය ද්‍රෝහී කම කරගෙන යනවා.” ලෝසවෙඅ පැහැදිලි කරන පරිදි සමාජවාදී සම්මේලනයකට යාම එකම විසඳුම බව තමන් පිලිගන්නා බව ඔහු පැවසීය.

“රත්නප්‍රියව යොදාගෙන තියෙන්නේ වික්‍රමසිංහගේ ආන්ඩුව රැක ගන්න. සෞඛ්‍ය කම්කරුවන්ට වැඩ වැඩියි. මහන්සිය වැඩියි. බෙහෙත් රසායන ද්‍රව්‍ය නැතිව ලෙඩ්ඩු මැරෙනවා. සාමාන්‍ය ලේ පරීක්ෂාවක්වත් රෝහලේ කර ගන්න බෑ. වැටුපෙන් ජීවත් වෙන්න බැහැ. ජනතාව හා සෞඛ්‍ය සේවකයින් දැනුවත් ව ම කොවිඩ් වසංගතයට නිරාවරනය කරල එයට ගොදුරු කරනවා. ආරක්ෂක ඇඳුම් (පීපීඊ) නැහැ. මේ තත්වය තුල සෞඛ්‍ය කම්කරුවන් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු ලෙස සංවිධානය වීම අවශයි කියන එක මම පිලිගන්නවා” යැයි මහනුවර රොහලේ හෙදියක් කියා සිටියා ය.

අවිස්සාවේල්ල රෝහලේ සමන් රත්නප්‍රිය නායකත්වය දරන රහෙනිසයේ හෙදියක් කියා සිටියේ වෘත්තීය සමිතිය සම්බන්ධයෙන් ඇය කලකිරී සිටින බවයි. රත්නප්‍රියට අවශ්‍යව ඇත්තේ තම වෘත්තිය සමිතිය ඉදිරියට ගෙන යාම පමනක් බවත් තම සගයින් බොහොමයක් මෙම පාවා දීම පිලිබඳ කෝපයෙන් පසුවන බව ද ඇය පැවසුවා ය.

හෙද සේවා උපදේශකවරියක් ලෝසවෙඅට කියා සිටියේ රත්නප්‍රියගේ රාජ්‍ය තනතුර සමිති සාමාජිකයින්ට “පිටුපසින් පිහියෙන් ඇනීමක්” බවයි. රත්නප්‍රිය ඉහත දී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් ගන්නා විට ම ඔහු පිලිබඳ ව කලකිරුනු බවත් ඒ් පිලිබඳ රහෙනිසට තමන් අනතුරු ඇඟ වූ බවත් ඇය සඳහන් කලා ය. ඔහු ආන්ඩුවේ විවෘත ආරක්ෂකයෙකු වීම තමන්ට ඉහිලුම් නොදෙන බව ඇය තවදුරටක් කියා සිටියා ය.

Loading