ජනාධිපති වික්‍රමසිංහ සමග සමිති නිලධරය පෙලගැසීම ගැන ලෝසවෙඅ පලකල ලිපියෙන් රවි කුමුදේශ් කුලප්පු වෙයි

'වෘත්තීය සමිති නායකයෝ ජනාධිපති වික්‍රමසිංහ සමග පෙලගැසෙති' යන මැයෙන් සමන් ගුනදාසගේ කතෘෘත්වය සහිත ලිපියක් අගෝස්තු 11 වෙනිදා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරුනි. එය රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය, වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු සහ සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් සහ වතු වෘත්තීය සමිති, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පෙල ගැසෙමින් ඔහුගේ ආන්ඩුවේ ප්‍රහාර කම්කරු පන්තිය මතට කඩාපාත් කිරීමට සහ පන්ති අරගල වැලක්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එලිදරව්කාරී ලිපියකි.

රවී කුමුදේශ් (ලෝසවෙඅ)

ලිපිය ගැන උරන වූ කුමුදේශ් සහ ඔහුගේ සගයෙකු වන සෞඛ්‍ය කීට විද්‍යා සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මුහුනු පොතේ බෙදා ගැනුනු එම ලිපිය ගැන අභූත සැඳහුම් දෙකක් ලියා ඇත.

කුමුදේශ් ගේ සැඳහුමේ මෙසේ සඳහන් වෙයි: 'උඹල තමයි හරියටම හරි. අනිත් එවුන් පාවලා දෙන එවුන්. සදාචාරයක් තියෙනවා නම් අනිත් පාර්ශවයට ඉඩ ලැබෙන විවේචනයක් කරන්න'.

දිස්නක දිසානායකගේ සැඳහුම මෙසේය: 'කිසිම දෙයක ඇත්ත දන්නේ නැති පිස්සෙක් ලියපු එකක්. කිසිම දෙයක සාක්ෂියක් නැහැ. දැක්කම හොඳටම පේනවා මඩක් කියල'.

ලිපියෙන් කුමුදේශ් කුලප්පු වී ඇත්තේ, ඔහු ඇතුළු වෘත්තීය සමිති නිලධරය ජනාධිපති වික්‍රමසිංහ සමග පෙලගැසී ආන්ඩුවේ ප්‍රහාර කම්කරු පන්තිය මතට කඩාපාත් කිරීම සඳහා ඉටුකරන ද්‍රෝහී භූමිකාව එමගින් කම්කරු පංතිය හමුවේ එලිදරව් වීම නිසාය.

දිසානායක චෝදනාවට මුලුමනින්ම ප්‍රතිකූලව ලිපිය පදනම් වී ඇත්තේ අභියෝග කල නොහැකි පැහැදිලි සාක්ෂි මතය. එම ලිපිය තුල අප කිසිවක් විකෘතිකොට හෝ සත්‍ය කරුනු නොදැන 'මඩ' ගැසීමක් කර නැත.

සමන් රත්නප්‍රිය වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ රාජකාරී භාරගනිමින් හා මාධ්‍ය වෙත කතා කරමින් (ඡායාරූපය: ෆේස්බුක්/ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය)

කුමුදේශ් සහ රත්නප්‍රිය ගැන ලිපියෙහි සඳහන් කර ඇත්තේ, රත්නප්‍රිය අගෝස්තු 5 වෙනිදා අරුන පත්‍රයට දී තිබූ සම්මුඛ සාකච්ඡාවෙන් සහ කුමුදේශ් අගෝස්තු 6 වෙනි දා වික්‍රමසිංහ සමග කල සාකච්ඡාව සම්බන්ධයෙන් සිරස නිව්ස්ෆස්ට් සවස 7 ප්‍රවෘත්ති විකාශයෙන් උපුටා ගත් කොටස් එලෙසම පල කරමිනි. ඒ කිසිවක් අප විසින් විකෘතිකොට නොමැති අතර අපේ විශ්ලේෂනය පදනම් වී ඇත්තේ ඔවුන් ප්‍රකාශ කල කරුනු මතය.

රත්නප්‍රිය සහ කුමුදේශ් සම්බන්ධ අප උපුටා දැක් වූ ප්‍රවෘත්ති වලට අදාල අන්තර්ජාල සබැඳි (ලින්ක්ස් ) අපි මෙහි පහත පල කරන්නෙමු.

අපගේ විවේචනය සදාචාර විරෝධී සහ මඩ ගැසීමක් ලෙස කුමුදේශ් සහ දිසානායක සඳහන් කර ඇති නමුත්, රත්නප්‍රිය සහ කුමුදේශ්ගේ ම වචන වලින් අප උපුටා දක්වා තිබෙන ඔවුන්ගේ ප්‍රකාශයන් ගැන කිසිදු සඳහනක් නැත. එමෙන්ම එම විවේචනය සාවද්‍ය වන්නේ හෝ මඩ ගැසීමක් වන්නේ කෙසේදැයි ඔවුන් විසින් පැහැදිලි කර නැත. රත්නප්‍රිය, වික්‍රමසිංහ ආන්ඩුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරක් භාර ගැනීම සහ කුමුදේශ්, අරගල නතරකොට 'රට ගොඩනගන්න' වික්‍රමසිංහට සහයෝගය දීමට පොරොන්දු වීම පාවාදීමක් නොවන්නේ කෙසේදැයි කුමුදේශ් සහ දිසානායක පිලිතුරු දිය යුතු ය.

රත්නප්‍රිය අරුන පත්‍රයට දී තිබූ සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගනිමින් ලිපියෙහි සඳහන් කල කොටස ලෝසවෙඅ පාඨකයන්ගේ අවධානය පිනිස අපි මෙහි යලි උපුටා දක්වමු:

“සිය නව දේශපාලන ස්වාමියා උත්කර්ෂයට නංවමින් රත්නප්‍රිය කියා සිටියේ, ජනාධිපති වීමට පෙර මැයි මාසයේ දී වික්‍රමසිංහ පලමුව අගමැති ලෙස පත්කරන ලද අවස්ථාවේ, තමා ද ඇතුලු බොහෝ දෙනා 'මේ රටේ වැටුනු ආර්ථිකය ගොඩගන්න හැකියාව තියෙන' පුද්ගලයා වන්නේ වික්‍රමසිංහ යයි විශ්වාස කල බව යි”.

“තමන් කම්කරු පන්තිය පාලනය කිරීමට උත්සාහ දරා සිටින්නේ කෙසේදැයි රත්නප්‍රිය විස්තර කලේ ය. 'එවැනි අවස්ථාවක නිශ්ඵල සටන් පාඨ පාවිච්චි කරන්න එපා කියලා මම වෘත්තීය සමිතිවලටත් කිව්වා. දැන් එතුමා ජනාධිපති වෙලා තියෙනවා. මේ කාර්යය කරන්න පුලුවන් වෙයි කියන විශ්වාසය මත අපි එතුමාට සහාය දෙනවා.'

“'රටේ බරපතල ආර්ථික අර්බුදයක් පවතින වෙලාවක ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැතිව, මාසෙන් මාසෙට ආන්ඩු මාරු කරන එක ප්‍රායෝගික නැහැ.' වැඩකරන ජනයා වික්‍රමසිංහට 'කාලය දිය යුතු' බව රත්නප්‍රිය අවධාරනය කලේ ය.”

කුමුදේශ් සම්බන්ධයෙන් අප සඳහන් කලේ මෙසේය: “වික්‍රමසිංහ හමුවූ කුමුදේශ් 'මේ රටේ ඔබ තුමාට සම්පූර්නයෙන්ම විරුද්ධ කන්ඩායමේ වුනත් අදහසක් තියෙනව මේ වගේ අර්බුදයක් මැද්දෙ ඔබ තුමාට කාර්ය භාරයක් කිරීමේ හැකියාව තියෙනව කියල' යැයි ප්‍රකාශ කලේ, තවදුරටත් මෙසේ ද පවසමිනි: 'අපි මේ ගතකරන හැම මොහොතක්ම අපට අරගල කර කර ඉන්න පුලුවන් මොහොතක් නෙවෙයි. අපි එකතු වෙලා කැප වෙලා රට ගොඩ නගන්න ඕන වෙලාවකයි ඉන්නේ. ඒක ඔබතුමාට විතරයි වෙනස් කරන්න පුලුවන් එහෙම නැතුව අපි විරුද්ධවාදීන් හතුරෝ නෙවෙයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ.' ”

රත්නප්‍රිය වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ලෙස විධායක නිලයක් භාරගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස බලයට පත් වූ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) විධානයන් නිර්දය ලෙස ක්‍රියාවට දැමීම හරහා ධනපති පාලක පන්තිය මුහුන දී සිටින හා වඩ වඩා ගැඹුරුවන ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය හා මහ ජනතාව මත පටවන ප්‍රතිගාමී ධනපති ආන්ඩුවක ය.

කුමුදේශ් කිසිදු හිරිකිතයකින් තොරව 'එකතු වෙලා කැප වෙලා රට ගොඩ නගන්න' පෙල ගැසී සිටින්නේ ද එම ආන්ඩුව සමගයි.

ඔවුන් කිසිවෙකු ජාමුඅ විධානයන් ක්‍රියාවට දැමීමට විරුද්ධ නැත. බදු වැඩි කිරීම, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම සහ පුද්ගලීකරනය, රාජ්‍ය ශ්‍රම බලකාය සියයට 50 කින් කප්පාදු කිරීම, විදුලි බිල ඇතුළු සේවා ගාස්තු ඉහල දැමීම ඇතුළු ප්‍රහාරයන් ජාමුඅ විධානයන් ට ඇතුලත් වෙයි.

වික්‍රමසිංහ කැඳවුම් කර ඇති සර්ව පාක්ෂික ආන්ඩුවේ එල්ලය වන්නේ කම්කරු පන්තියේ විරුද්ධත්වය මර්දනය කරමින් මෙම ප්‍රහාරයන් ක්‍රියාවට දැමීම සඳහා පාලක පන්තියේ අත ශක්තිමත් කරගැනීමයි.

'අර්බුදයෙන් රට ගොඩ ගැනීම' යනුවෙන් මෙම සමිති උත්සුක වන්නේ කම්කරුවන්ගේ සමාජ හෝ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කෙරෙහි නොව ධනපති පන්ති පාලනය අර්බුදයෙන් ගොඩ ගැනීම කෙරෙහිය. ඒ සඳහා වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව මතුවන අරගල වැලක්වීමට හා මැඩලීමට ඔවුන් සූදානම්ය.

රත්නප්‍රිය, කුමුදේශ් හා ඔවුන්ගේ වෘත්තීය සමිතිවලට ඇත්තේ ධනපති ආන්ඩුවලට මුක්කු ගැසීමේ සහ සෞඛ්‍ය කම්කරුවන්ගේ මෙන් ම, පොදුවේ කම්කරු පන්තියේ අරගල පාවා දීමේ කුප්‍රකට වාර්තාවකි. ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආන්ඩුවට එරෙහිව වර්ධනය වූ පන්ති අරගල අවමන්ගත කොට, 2015 දී මෛත්‍රීපාල සිරිසේන හා වික්‍රමසිංහගේ ඊනියා යහපාලන ආන්ඩුව බලයට ගෙන ඒමට සහයෝගය දුන් ඔවුහු එහි ප්‍රහාරයන්ට එරෙහි සෞඛ්‍ය සහ අවශේෂ කම්කරුවන්ගේ අරගල පාවා දුන්හ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට විරුද්ධ ව පැනනැගුන පන්ති අරගල ද එපරිද්දෙන්ම ඔවුන් පාවාදුනි. ඔවුන්ගේ වචන වලින් ම සඳහන් කලොත් ඔවුන් කලේ ආන්ඩුවට බලපෑම් දැමීමේ සංකේත වර්ජන හා උද්ඝෝෂන වලට කම්කරුවන් කොටු කර රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි වර්ධනය වූ ඔවුන්ගේ කෝපය සහ එහි ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමේ උවමනාව 'කලමනාකරනය' කිරීමය.

රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට විරුද්ධව, අප්රේල් 28, මැයි 6 මහ වැඩ වර්ජන එක් දින සංකේත වර්ජනවලට සීමා කොට පාවාදීමේ ප්‍රමුඛ භූමිකාවක් රත්නප්‍රිය සහ කුමුදේශ් ඉටු කලහ. ඔවුන් මෙම පාවාදීම සිදුකලේ, ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙය වන වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය සහ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහෙයවන වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව සමග ඒකාබද්ධවයි.

කම්කරු පන්තියේ අයිතීන්ට කෙටීමට අවි අමෝරාගෙන සිටින වික්‍රමසිංහ ආන්ඩුවත් සමග පෙලගැසෙන රත්නප්‍රිය සහ කුමුදේශ් ඇතුලු සමිති නිලධරයේ මෙම ද්‍රෝහී ක්‍රියාකලාපයට සෞඛ්‍ය සේවකයන් ඇතුලු සමස්ත කම්කරු පංතිය එකහෙලා විරුද්ධවිය යුතුය.

ධනේශ්වර රාජ්‍යයේ සහ හාම්පුතුන්ගේ උපකරන හා පන්ති සටන් යටපත් කරන කාර්මික පොලීසියක් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති වල මෙම ද්‍රෝහී භූමිකාව මගින් පෙන්නුම් කරන්නේ වෘත්තීය සමිති තුලින් සෞඛ්‍ය කම්කරුවන්ට හෝ අවශේෂ කම්කරුවන්ට තම සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කිසිවක් දිනාගත නොහැකි බවය. තම අයිතීන් සඳහා සටන කම්කරුවන් විසින් සියතට ගැනීමේ දැවෙන අවශ්‍යතාවය එමගින් ඉස්මතු කරයි.

ඒ සඳහා වෘත්තීය සමිතිවලින් හා සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කරගන්නා ක්‍රියාකාරී කමිටු සෑම වැඩපොලක, වත්තක, නගරයක, නිවහන් ප්‍රදේශයක හා ගමක ම ගොඩනගන ලෙසත්, තම අයිතීන් සඳහා සටනට අදාල තීන්දු තීරන ගැනීම තමන්ගේ ම අතට ගන්නා ලෙසත් අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ එබැවිනි.

එමෙන් ම ධනේශ්වර රාජ්‍යයේ ප්‍රහාරයන්ගෙන් බැටකන ගම්බද දුගීන් ට නායකත්වය සම්පාදනය කිරීම ද කම්කරු පන්තියේ ඓතිහාසික වගකීමකි.

සර්ව-පාක්ෂික හෝ අන්තර්-කාලීන හෝ වෙනත් ඕනෑ ම වර්ගයක ධනපති ආන්ඩුවක් කම්කරු පන්තිය විසින් ප්‍රතික්ෂේප කලයුතු ය. කම්කරු -පීඩිත ජනයාගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ ධනපති පන්ති පාලනය අහෝසිකොට, මුලික ධනපති කර්මාන්ත, බැංකු හා වතු කම්කරු පාලනය යටතේ ජනසතු කරන සමාජවාදී ආර්ථික සැලැස්මක් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමෙන් පමනි.

කම්කරුවන්ගේ සහ ගම්බද ජනයාගේ ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් “කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක්” සඳහා සසප කැඳවුම් කර ඇත්තේ එම සටනට අවශ්‍ය කම්කරුවන්ගේ හා ගොවීන්ගේ විප්ලවවාදී මහජන දේශපාලන ව්‍යාපාරයක් බලමුළු ගැන්වීමේ එල්ලය ඇතිවය. එම සම්මේලනය ගොඩනැගීමට අප හා එක්වන ලෙස කම්කරුවන්ගෙන් හා ගම්බද දුගීන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

අරුන පත්‍රය

සිරස නිව්ස්ෆස්ට්

Loading