පෞද්ගලීකරනයට එරෙහි ව ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සේවකයෝ විරෝධතාවයක නිරත වෙති

[මෙය Petroleum workers in Sri Lanka protest against privatisation මැයෙන් 2022 අගෝස්තු 23 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

සඳුදා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සංස්ථාව) සේවකයෝ 1,500ක් පමන රජය සතු සමාගම පෞද්ගලීකරනය කිරීමේ ශ්‍රී ලංකා ආන්ඩුවේ සැලැස්මට එරෙහිව උද්ඝෝෂනයක් පැවැත් වූහ. විරෝධතාකරුවෝ කොලඹ විහාරමහාදේවි උද්‍යානය අසලට රැස් වී කිලෝමීටර් දෙකක් පමන පා ගමනින් බලශක්ති අමාත්‍යාංශය වෙත පැමිනියහ.

2022 අගෝස්තු 22 දින කොලඹ දී ඛනිජ තෙල් සංස්ථා කම්කරුවන්ගේ විරෝධතා පාගමන [ඡායාරූපය: ලෝසවෙඅ]

පැය තුනකට ආසන්න කාලයක් ඔවුන් අමාත්‍යාංශය ඉදිරිපිට සටන් පාඨ කියමින් “ඛනිජ තෙල් සංස්ථාව විකිනීම නවත්වනු”, “තෙල් සංස්ථාව වසා දැමුවහොත් තෙල් මිල ඉහල යනු ඇත,” “ජනසතු කල පිරිපහදුව ආරක්ෂා කරනු” වැනි සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කලහ.

මෙම විරෝධතාව කැඳවා තිබුනේ ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව, ඛනිජ තෙල් පොදු සේවක සංගමය (පොදු සේවක සංගමය), ප්‍රගතිශීලී සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ ජාතික සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති 11 ක කන්ඩායමක් විසිනි.

මෙම වෘත්තීය සමිති පිලිවෙලින් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සහ සමගි ජන බලවේගය (සජබ) හා අනුබද්ධිත ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රමුඛ පක්ෂයයි.

පුද්ගලීකරන න්‍යාය පත්‍රයට එරෙහි ව සටන් කිරීමට කම්කරුවන් අධිෂ්ඨාන කර ගෙන සිටින අතරේ, ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විරෝධතාව කැඳවූයේ කම්කරුවන්ගේ කෝපය වාෂ්ප කිරීමේ මාධ්‍යයක් ලෙස ය.

පෞද්ගලීකරනය නතර කරන ලෙස ඉල්ලා වෘත්තීය සමිති නායකයෝ අමාත්‍යාංශයට ලිපියක් භාර දුන්හ. මෙම නිෂ්ඵල ආයාචනයන් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර දැනටමත් නැවත නැවතත් ප්‍රතික්ෂේප කර ඇත. ඉරිදා විජේසේකර මාධ්‍යයට පැවසුවේ තමන් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කල බවයි.

2022 අගෝස්තු 22 බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට ඛනිජ තෙල් සංස්ථා කම්කරුවන්ගේ පිකට් උද්ඝෝෂනය

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම, චීනයේ සයිනෝපෙක්, පෙට්‍රෝලියම් ඩිවෙලොප්මන්ට් ඕමාන් සහ ෂෙල් වැනි විදේශීය සමාගම්වලට ඛනිජ තෙල් සංස්ථාවේ පිරවුම්හල් 1,200 න් 800 ක් විකිනීමට ආන්ඩුව මුල් පියවරේ දී යෝජනා කරයි. අවසාන වශයෙන්, ගබඩා කිරීම, පිරිපහදු කිරීම සහ අනෙකුත් පහසුකම් ඇතුලුව සංස්ථාවේ සියලුම වත්කම් ඈවර කිරීමට අදහස් කරයි.

ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලීකරනය, වික්‍රමසිංහ ආන්ඩුව නිර්දය ලෙස ක්‍රියාත්මක කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද කප්පාදුවේ පුලුල් වැඩපිලිවෙලක කොටසකි. වසංගතය සහ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ වක්‍ර යුද්ධය විසින් තීව්‍ර කරන ලද පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක සම්පූර්න බර දැරීමට කම්කරු පන්තිය හා දුගීන් තල්ලු කර දමා ඇත.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සිඳී ගොස් ඇත. සංචාරක කර්මාන්තය කඩා වැටී ඇත. ප්‍රේෂන සහ අපනයන දැඩි ලෙස පහත වැටී ඇත. තෙල් ආනයනය කිරීමට රජයට මුදල් නොතිබූ අතර වාහන සඳහා සහ විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන හිඟයක් ඇති විය. දිගු විදුලි කප්පාදුව දිගට ම සිදු වේ.

කම්කරුවන්ගේ හා දුගී ජනතාවගේ විරෝධතා, එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව ඉල්ලා අස් විය යුතු බවටත්, සමාජ ව්‍යසනය අවසන් කල යුතු බවටත් බලකරමින්, අප්‍රේල් මස මුල සිට ආරම්භ වූ මහජන නැගිටීමකින් කූටප්‍රාප්ත විය. අප්‍රේල් 28 සහ මැයි 6 දා, ඛනිජ තෙල් සංස්ථා කම්කරුවන් ද ඇතුලත් ව මිලියන ගනනක් කම්කරුවෝ එක් දින වැඩ වර්ජන පැවැත් වූහ. මෙම බලගතු ව්‍යාපාරය රාජපක්ෂට රටින් පලා යාමට බල කලේ ය.

ඛනිජ තෙල් සංස්ථාවේ කම්කරුවන්ගේ විරෝධතාවයට එරෙහි ව ජල ප්‍රහාරයකවලින් සන්නද්ධ ව බලමුලු ගන්වා ඇති පොලිස් භට කන්ඩායම් (2022 අගෝස්තු 22)

කෙසේ වෙතත්, වික්‍රමසිංහ ආන්ඩුව ජීවන තත්වයන්ට එරෙහි ප්‍රහාර වේගවත් කරමින් සිටී. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතර ව, ලංකා විදුලිබල මන්ඩලය ද පෞද්ගලීකරනය කිරීම ආන්ඩුවේ අරමුන වන අතර, අඛන්ඩ ප්‍රතිව්‍යුහගත කිරීම් සහ පෞද්ගලීකරනයන් සැලසුම් කිරීමට කමිටුවක් පත් කර ඇත.

විරෝධතාකරුවන් අමතමින්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, නිශාන්ත රනවීර, වාචාල ලෙස ප්‍රකාශ කලේ “ආන්ඩුවට සංස්ථාව කලමනාකරනය කල නොහැකි නම්, කම්කරුවන්ට ඒක කරන්න පුලුවන්.” යනුවෙනි. පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල “ඇමතිවරයා කම්කරුවන්ට ඇහුම්කන් දීමට සූදානම් නැතිනම්, පාර්ලිමේන්තුව එලවා දැමීම සඳහා සාමාන්‍ය ජනතාව බලමුලු ගැන්වීමට අපි සූදානම්” යනුවෙනි.

එවැනි ප්‍රකාශ කම්කරුවන් රැවටීමේ උත්සාහයන් ය. මෙම වෘත්තීය සමිති සහ ඔවුන් අනුබද්ධ දේශපාලන පක්ෂ ජාමූඅ න්‍යාය පත්‍රයට මුලුමනින්ම කැප වී සිටිති.

අප්‍රේල් සහ මැයි මහා වැඩවර්ජන වලදී වෘත්තීය සමිති උත්සාහ කලේ, සියලූ ධනේශ්වර පක්ෂ වලින් සමන්විත අන්තර්වාර ආන්ඩුවක් සඳහා වූ ඉල්ලීම පිටුපස මහජන ව්‍යාපාරය ගාල් කිරීමට ය.

කම්කරුවන්ට මෙම ධනේශ්වර ගැති සංවිධාන තුල පෞද්ගලීකරනයට එරෙහි ව සටන් කිරීමට සහ ඔවුන්ගේ රැකියා සහ වැටුප් ආරක්ෂා කර ගැනීමට නොහැකි ය. කප්පාදුවට එරෙහි ව සමස්ත කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා කම්කරුවන් තීරන ගැනීම තමන්ගේ අතට ගත යුතු ය. මේ සඳහා වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන ව සහ කම්කරුවන් විසින් ම ප්‍රජාතන්ත්‍රවාදී ව පාලනය කෙරෙන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වේ.

කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට හා මූලික අයිතීන්ට එරෙහි නිර්දය ප්‍රහාරයන් පරාජය කල හැක්කේ ආන්ඩුව පෙරලා ලාභ පද්ධතිය අහෝසි කිරීමේ දේශපාලන අරගලයක් තුලින් පමනි. නිෂ්පාදනය හා බෙදාහැරීම සමාජවාදී රේඛා ඔස්සේ ආර්ථිකය ප්‍රතිසංවිධානය කරන කම්කරු පන්තිය අතට පත් කල යුතු ය.

කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අත්තිවාරම් දැමීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සෑම වැඩපලක ම සහ වතුකරයක ම ක්‍රියාකාරී කමිටු මගින් කම්කරුවන්ගේ හා ග්‍රාමීය කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනඟන ලෙස ඉල්ලා සිටී.

සසප උද්ඝෝෂකයෝ සඳුදා විරෝධතාවයේ දී කම්කරුවන් සමග මෙම වැඩපිලිවෙල සාකච්ඡා කලහ.

ඛනිජ තෙල් සංස්ථාවේ සැපයුම් අංශයේ කම්කරුවෙකු වන කමල් රත්නායක මෙසේ පැවසීය: “මම මේ විරෝධතාවට ආවේ පුද්ගලීකරනයට එරෙහි ව සහ අපේ අයිතීන් ආරක්ෂා කර ගැනීමට, නමුත් මට මේ වෘත්තීය සමිති ගැන නම් විශ්වාසයක් නෑ.”

රාජපක්ෂ ආන්ඩුවට එරෙහි විරෝධතා සිහිපත් කරමින් ඔහු මෙසේ පැවසී ය: “අපි ඒ විරෝධතාවලට සම්බන්ධ වුනා. නමුත් වුනේ මොකක් ද? ගෝඨාභය ගියාට, ඔහු වෙනුවට වෙනත් දුෂ්ඨයෙක් ආවා.”

එක් ධනේශ්වර ආන්ඩුවක් වෙනුවට තවත් ධනේශ්වර ආන්ඩුවක් ආදේශ කිරීමෙන් කම්කරුවන්ට තම අයිතීන් ආරක්ෂා කර ගත නොහැකි බව ඔහු එකඟ විය. “කම්කරුවන්ට තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට විකල්ප දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි.”

ලිපිකරුවෙකු වන අනුරාධ ශ්‍රී නාලක, ඛනිජ තෙල් සංස්ථා කම්කරුවන්ට එරෙහි ආන්ඩුව සහ ධනපති මාධ්‍ය ගෙන යන ප්‍රකෝපකාරී ප්‍රචාරයන් හෙලා දුටුවේ ය. “අපිට විශාල වැටුප් ලැබෙනවා කියලා ඔවුන් කියනවා. මේක ඇත්තක් නෙවෙයි. අතිකාල සහ අනෙකුත් දීමනා අඩු කරලයි තියෙන්නේ.”

වැඩිවන ජීවන වියදමත් සමඟ තමන්ට ලැබෙන වැටුපෙන් කලමනාකරනය කර ගැනීම දුෂ්කර බව ඔහු වැඩිදුරටත් පැවසී ය. “මම අඩු කිරීම් වලින් පසු රුපියල් 42,000ක් උපයනවා.” යැයි ඔහු පැවසී ය.

සර්ව පාක්ෂික ආන්ඩුවක් පිහිටුවීමේ වික්‍රමසිංහගේ යෝජනාව ගැන සාකච්ඡා කරමින් ඔහු මෙසේ පැවසීය: “සියලු ආන්ඩු බලයට ආවේ අපව ගොනාට අන්දවලා. රාජපක්ෂ ආන්ඩුව විවිධ පොරොන්දු දුන්නා. නමුත් වුනේ මොකක්ද? මිනිස්සු කබලෙන් ලිපට වැටිලා. වික්‍රමසිංහට අවශ්‍ය ජනතාවට බර පටවන්නයි.”

කොලඹට තදාසන්න ප්‍රදේශයේ පිහිටි මුතුරාජවෙල ගබඩා කම්හලේ සේවකයෙක් පැවසුවේ, “ඉන්දියන් ඔයිල් සමාගමට පිරවුම්හල් ලබාදීමට එරෙහි ව, ත්‍රිකුනාමලයේ තෙල් ගබඩා ඉන්දියාවට ලබාදීමට එරෙහි ව ඔවුන් විරෝධතා කිහිපයක් කැඳවා තිබුනා. නමුත් ඔවුන්ගේ සීමිත, සංකේත වැඩවර්ජන මේ මුකුත් නතර කරවන්න අසමත් වුනා.” යනුවෙනි.

නව ජනවරමක් සහිත නව ආන්ඩුවක් සඳහා වන ජනතා විමුක්ති පෙරමුනේ ව්‍යාපාරය ගැන ඔහු කතා කලේ ය. “මම ජනතා විමුක්ති පෙරමුන විශ්වාස කරන්නේ නැහැ. 1989-1990 කාලයේ ඔවුන් කල දේ මම අත්වින්දා. ඔවුන් කම්කරුවන්ට හා වාම සංවිධානවලට පහර දුන්නා. ඔවුන් [හිටපු ජනාධිපති] චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුවට එකතු වුනා.”

ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ඉල්ලා විරෝධතාකරුවන් අතර බෙදා හරින ලද සසප ප්‍රකාශය අධ්‍යයනය කරන බව කම්කරුවා පැවසී ය. ඔහු මෙසේ ද පැවසී ය: “ධනපති ආන්ඩු යටතේ කම්කරු පන්තියට තම අයිතිවාසිකම් දිනා ගත නොහැකි යන්නට මම එකඟයි. කම්කරුවන්ගේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට මමත් එකඟයි.”

Loading