විදුලිබල, ඛනිජ තෙල් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කම්කරුවන් ට කැඳවුමක්! පුද්ගලීකරනයට හා රැකියා කප්පාදුවට එරෙහි අරගලය සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගමු!

ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම), ඛනිජ තෙල් සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට රනිල් වික්‍රමසිංහ ආන්ඩුව තීරනය කර ඇත. ආන්ඩුවේ මෙම පියවර හේතුකොටගෙන මෙම ආයතන ත්‍රිත්වයේ දහස් ගනනක් කම්කරුවෝ රැකියා අහිමිවීමේ, වැටුප් කප්පාදු කිරීමේ හා වැඩ වේගවත් කිරීමේ අන්තරායට ක්ෂනික ව මුහුන දෙති.

2022 අගෝස්තු 22 බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට ඛනිජ තෙල් සංස්ථා කම්කරුවන්ගේ පිකට් උද්ඝෝෂනය

ලංවිම, ඛනිජ තෙල් හා ශ්‍රී ලන්කන් ආයතන සම්බන්ධයෙන් මෙම පියවර වහාම ක්‍රියාවට දැමීමට යන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) විධානයන්ට අනුව සියලු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ පුද්ගලීකරනය සඳහා ගෙන යන වැඩපිලිවෙලක කොටසක් ලෙසයි.

රැකියා, වැටුප් හා සේවා කොන්දේසි රැකගැනීම සඳහා නොපමාව ම තම ආයතනවල කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගාගෙන අරගලයට පෙරට එන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉල්ලා සිටී.

පවතින වෘත්තීය සමිති මෙම අයිතීන් සඳහා අරගලය යට ගැසීමට ක්‍රියාකරමින් සිටියි. ආන්ඩුව හා සංස්ථා බලධාරීන් සමග “ප්‍රතිව්‍යුහගත කිරීමේ” වැඩපිලිවෙලට හවුල් වීමට සුදානම් බව මේ වෘත්තීය සමිති දැනටමත් නිවේදනය කර ඇත.

සසප මෙම ඉල්ලීම කරන්නේ, ආන්ඩුවේ හා පුද්ගලික අංශයේ සෑම වැඩපොලක ම, වතුයායක ම, ආයතනයක ම හා ගම්බද කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමට දැන් දියත් කර ඇති වැඩපිලිවෙලක කොටසක් ලෙසයි. සැම තැනක ම වෘත්තීය සමිති ආන්ඩුව, බලධාරීන් හා සමාගම් සමග ඒ හෝ මේ ආකාරයෙන් පෙල ගැසෙමින් කම්කරුවන්ගේ අරගල පීලිපන්වා, දියකර දමමින් කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට හවුල්වී සිටිති.

ධනපතියන් හා ඔවුන්ගේ ආන්ඩුව මහජනතාවන් දැනටමත් හෙලා ඇති සමජව්‍යසනයට එරෙහි ව සටන් කිරීම සඳහා කම්කරු-දුගී ක්‍රියාකාරී කමිටු මගින් සියලු කම්කරුවන් සහ දුගීන් එකමුතු කර සටන් කිරීමට සසප කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමේ අරගලයක යෙදී සිටියි.

ලංකාවේ ධනපති ක්‍රමය පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක ගිලී පවතින තතු තුල වික්‍රමසිංහ ආන්ඩුව ජාමුඅ රුදුරු කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට සපථ කර ඇති බව ඔබ අපි දනිමු.

ලංවිම සහ තෙල් සංස්ථාව ප්‍රව්‍යුහගත කිරීම පිලිබඳ යෝජනා ඒ සඳහා පත්කර ඇති කමිටුව විසින් මෙම මාසයේ අග කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය. “කවුරු විරුද්ධ වුනත් ලංවිම සහ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම කරන” බව විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර පවසා ඇත.

තෙල් සංස්ථාවේ කම්කරුවන් 4,200 වෙනුවට “හොඳ” කම්කරුවන් 500ක් හා ලංවිම කම්කරුවන් 26,000 න් අඩක් ප්‍රමානවත් බව ඇමති විජේසේකර, අගෝස්තු 27 වෙනිදා නිකුත් කල ට්විටර් පනිවුඩයක අවධාරනය කර තිබුනි. තෙල් සංස්ථාවේ කම්කරුවන් 3700 කගේ සහ ලංවිම කම්කරුවන් 13,000ක ගේ පමන රැකියා අහෝසි කිරීම ට ආන්ඩුව තීන්දු කර ඇති බව මෙයින් ඇඟවුම් කෙරෙයි.

ජල විදුලිය, තාප විදුලිය, ගල් අඟුරු බලශක්තිය සහ පුනර්ජනනීය නොවන බලශක්ති උත්පාදනය, විදුලි උත්පාදනය, බෙදා හැරීම සහ අනෙකුත් ක්‍රියාකාරකම් මෙන් ම ලංවිම කාර්යයන් ඉටු කිරීම සඳහා ධනපති ව්‍යාපාරිකයන් සමග වෙන ම බලශක්ති උත්පාදන හවුල් සමාගම් පිහිටු වීම ආන්ඩුවේ යෝජනාවලට ඇතුලත් වෙයි.

ඛනිජ තෙල් ආනයනයන කිරීම බෙදා හැරීම හා අලෙවිය සහ සංස්ථාව සතු පිරවුම්හල් වලින් 700 ක් පමන එම සමාගම් වලට පැවරීමට නියමිත ය.

දැනට රජය සතු ව පවතින, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස්වලින් සියයට 49 ක් පුද්ගලික අංශයට අලෙවි කෙරෙයි. එහි පලමු පියවර ලෙස ආහාර සැපයුම් සහ භූමි සේවා යන අංශ රාජ්‍ය සහ පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපාර බවට පරිවර්තනය කරනු ලබයි. මෙහි ප්‍රතිඵලය වනු ඇත්තේ, රැකියා සිය ගනනක් කපා දැමීම හා මෙතක් කල් සේවකයන් භුක්ති විඳි රැකියා හා දීමනා වෙත් නම් ඒවා කප්පාදු කර දැමීම ය.

සෑම රටක ම පාලක පන්ති ගෝලීය ව ගැඹුරුවන ආර්ථික අර්බුදය කම්කරුවන් හා අවශේෂ දුගී කොටස් මත පටවමින් ධනපතියන්ගේ ලාභ රැක ගැනීමේ ප්‍රහාරයක් දියත් කර ඇත. කොවිඩ්-19 වසංගතය සහ එක්සත් ජනපදය හා නැටෝව යුක්‍රේනය තුලින් රුසියාවට එරෙහි ව දියත් කර ඇති යුද්ධය නිසා සියලු රටවල අර්බුදය ගැඹුරු කෙරී පවතී.

වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ධනපති පාලක පන්තිය අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ කරන්නේ රැකියා, වැටුප් හා ජීවන තත්වයන්ට පහර එල්ල කරමින් කම්කරුවන්ගේ හා දුගීන්ගේ වියදමිනි. මහජනතාව තව තවත් මිරිකා විදේශ නය ගෙවීමට ආන්ඩුව ජාමූඅ වෙත පොරොන්දු වී ඇත.

එමෙන් ම, ආන්ඩුවේ ප්‍රහාර වලට එරෙහි ව මතු වන කවර විරෝධයක් හෝ අරගලයක් නිර්දය ව තලා දැමීමට සුදානම් බව ද වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රදර්ශනය කර ඇත. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකල මහජන අරගලවලට සම්බන්ධවූ අයගෙන් සිය ගනනක් අභූත චෝදනා එල්ලකරමින් අත්අඩංගුවට ගැනීම් හා සිරගත කිරීම් වලටද ත්‍රස්ත-විරෝධී නීති වලට විශ්වවිද්‍යාල සිසුන් ගොදුරු කිරීමට ද ආන්ඩුව පියවර ගෙන තිබේ.

ධනපති ආන්ඩුවට බලපෑම් දැමීමේ උද්ඝෝෂන වලින් ලංවිම, තෙල් සංස්ථාවේ හා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කම්කරුවන්ට මෙන්ම කම්කරු පන්තියේ කවර කොටසකටවත් තම අයිතීන් රැක ගත නොහැකි ය.

වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාරයට වෘත්තීය සමිති නිලධරය පූර්න සහය පලකරයි. තම සංගමය, පුද්ගලීකරනය ට විරුද්ධ නැති බවත් එය ක්ෂේත්‍රයේ “විශේෂඥයන් විසින් කල යුතු බවත්”, ලංවිම ඉංජිනේරු සංගමය, අගෝස්තු 7 වෙනිදා ද මෝර්නින් පත්‍රයට ප්‍රකාශ කලේ ය.

ලංකා විදුලි සේවක සංගමයේ රන්ජන් ජයලාල් එම පුවත්පතට ම කියා තිබුනේ, “රටේ වත්මන් තත්ත්වයට ගැල පෙන පරිදි ප්‍රතිව්‍යුහගත කිරීම කල යුතු බැවින් ඊට එකඟ වන නමුත් එය පුද්ගලීකරනය කිරීම අරමුනු කර නොගත යුතුයි” යනුවෙනි. “ප්‍රතිව්‍යුහගත කිරීමේ” ක්‍රියාදාමය වනාහී පුද්ගලීකරනයේ පලමු පියවරයි.

ජයලාල් “රටේ වත්මන් තත්වය” ලෙස සඳහන් කරන්නේ ධනේශ්වර ක්‍රමයේ වත්මන් දරුනු අර්බුදය ගැනයි. එම අර්බුදය ධනපති පන්තියට උවමනා පරිදි විසඳා ගැනීමට ලංවිම සහා අනෙකුත් සමිති සහාය වෙමින් සිටි. ජයලාල් ජනතා විමුක්ති පෙරමුනේ ද නායකයෙකි. මෙම පක්ෂය ජාමූඅ කොන්දේසිවලට විරුද්ධ නැත.

තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති අගෝස්තු 22 වෙනිදා විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂනයක් පවත්වා සංස්ථාව පුද්ගලීකරනය “නොකරන” ලෙස ඇමතිට සංදේශයක් භාර දුන්හ. තෙල් සංස්ථාවේ සේවකයන් අතර පැනනැගී ඇති කෝපය නිසා, බලපෑම් දැමීමකින් පුද්ගලීකරනය නතර කර ගැනීමට හැකි යැයි මිථ්‍යාවක් ඇති කිරීමට වෘත්තීය සමිති මෙම විරෝධතාව සංවිධානය කල ද ආන්ඩුව ඒ කිසිත් ගනන් නොගන්නා බව කියා ඇත.

.

එකකට පසු තවකෙකක් ලෙස පසු ගිය කාලය පුරා ස්ට්‍රයික් අරගල මෙයාකාරයෙන් පාවා දීමට වෘත්තීය සමිති කටයුතු කල ආකාරය හිතන මතන කම්කරුවෝ දනිති.

අප්‍රේල් මස සිට ගතවූ මාස හතර තුල රාජපක්ෂ ආන්ඩුවට එරෙහි ව පැන නැගි මහජන අරගලය හිටපු විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමට තරම් බලගතු ශක්තියක් පෙන්නුම් කලේ ය. මිලියන සංඛාත කම්කරුවන් වැඩ වර්ජනවලට පැමිනිය ද වෘත්තීය සමිති කලේ සමගි ජන බලවේගයේ හා ජවිපෙ අන්තර්වාර ධනපති ආන්ඩුවක් සඳහා කල ඉල්ලීමට සහයෝගය දීමට කම්කරුවන් යොමු කිරීමයි. මෙම ධනපති පක්ෂ කිසිවක් ජාමූඅ විධානයන් ක්‍රියාවට දැමීමට විරුද්ධ නැත.

ලංවිම, තෙල් සංස්ථාවේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකයන්ට පුද්ගලීකරනයට එරෙහි ව රැකියා හා වැටුප් ඇතුලු සමාජ අයිතීන් රැක ගත හැක්කේ ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් තුලිනි. මෙම අරගලය තමන් අතට ගන්නා ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු. එය කල හැක්කේ මෙම ආයතන හා වැඩපලවල් තුල වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමෙනි.

පුද්ගලීකරනය, රැකියා හා වැටුප් කප්පාදුව, ප්‍රජාතාන්ත්‍රික අයිතීන්වලට එරෙහි ප්‍රහාරවලට එරෙහි ව මෙම ක්‍රියාකාරී කමිටු සක්‍රීය ලෙස සටන් කරනු ඇත. එම සටන සඳහා අවශේෂ කම්කරුවන්, ගම්බද පීඩිත ජනයා, රැකියා විරහිත තරුනයින්, ශිෂ්‍යයින් මෙම ක්‍රියාකාරී කමිටු තුල බලමුලු ගන්වා ගැනීමේ උද්ඝෝෂනය ක්‍රියාකාරී කමිටු මගින් ඉස්මත්තට ගනු ඇත.

ලංකාවේ පසුගිය මාසවල අත්දුටුවාක් මෙන්ම ඇමෙරිකාව, එක්සත් රාජධානිය ඇතුලු යුරෝපීය රටවල කම්කරුවෝ උද්ධමනයෙන් ජීවන කොන්දේසි තලා දැමීමට එරෙහි ව වැඩි වැටුප් සඳහාත් රැකියා රැක ගැනීමටත් වර්ජන හා විරෝධතාවලට පැමින සිටිති. එම රටවල් ගනනාවක මෝටර් රථ, සෞඛ්‍ය සේවාව වැනි ක්ෂේත්‍රවල කම්කරුවෝ ධනපති ප්‍රහාරවලට එරෙහි ව ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමට ඉදිරියට එමින් සිටිති. ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු අනෙකුත් රටවල ක්‍රියාකාරී කමිටු සමග අනුබද්ධ කොට “ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු පන්තියේ” සන්ධානයක් ගොඩනැගීමට අපි සටන් කරමින් සිටිමු.

සසප අප යෝජනා කරන්නේ කම්කරු පන්තියේ අයිතීන් සඳහා සහ රාජ්‍ය මර්දනයට එරෙහි අරගලය, ධනපති පන්ති පාලනයට එරෙහි සහ සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනක් දකවා වර්ධනය කල යුතු බවයි.

සසප දැනටමත් සෞඛ්‍ය, වතු, හා ඇඟලුම් කම්කරුවන් අතර ගුරු සිසු-දෙමපියන් අතර කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ඇත. ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට ලංවිම, තෙල් සංස්ථාවේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කම්කරුවන් ට සහය දීමට සසප සුදානම් ය. ඒ සඳහා පහත සඳහන් ලිපිනයන්ගෙන්, දුරකථන අංකයන්ගෙන් විමසන්න.

දුරකථන අංකය: 0773562327/011-2869239

ඊමේල් :wswscmb@sltnet.lk

ෆෙස්බුක්: facebook.com/sep.lk

ලිපිනය: 716 1/1, කෝට්ටේ පාර, ඇතුල් කෝට්ටේ, කෝට්ටේ

Loading