කම්කරුවෝ හා තරුනයෝ රාජ්‍ය මර්දනයට එරෙහි සසප ප්‍රසිද්ධ රැස්වීමට සහාය පල කරති

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සාමාජිකයෝ සහ ආධාරකරුවෝ “ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය නවතනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!” යන මැයෙන් මේ ඉරිදා පවත්වනු ලබන ඔන්ලයින් රැස්වීම සඳහා උද්ඝෝෂනය කරමින් සිටිති. (සූම් රැස්වීමට මෙම සබැඳිය හරහා ලියාපදිංචි වන්න.)

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ආන්ඩු විරෝධී උද්ඝෝෂනකරුවන්ට එරෙහි ව දරුනු රාජ්‍ය මර්දනයක් දියත් කර ඇත. මෑත කාලීන පෙලපාලිවලට සම්බන්ධ ප්‍රමුඛ ක්‍රියාකාරීන් ඇතුලු දහස් ගනනක් අත්අඩංගුවට ගෙන ඇති අතර, දහසකට වැඩි පිරිසක් තවමත් රිමාන්ඩ් හෝ රැඳවුම් කඳවුරුවල තබා ගෙන සිටිති. ක්‍රියාකාරීන් මාස ගනනක් රඳවා තබා ගැනීමට කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යොදා ගැනේ.

මෙම මර්දනයේ සැබෑ ඉලක්කය වන්නේ, හදිසි නයක් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පූර්ව කොන්දේසිවල කොටසක් ලෙස ක්‍රියාවට නංවන ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහි ව නොවැලැක්විය හැකි ලෙස අරගලයට පැමිනෙන කම්කරු පන්තියයි.

ආන්ඩුවේ මර්දනය පරාජය කිරීම සඳහා සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමේ අවශ්‍යතාවය පිලිබඳ ව සසප හා සසජාතශි උද්ඝෝෂකයින් කම්කරුවන්, තරුනයින් හා ගම්බද ජනතාව සමග සාකච්ඡා පවත්වා ඇත.

කොලඹ පාසල් ගුරුවරයෙකු වන මාධව පැවසුවේ, ව්‍යවස්ථාව උල්ලංඝනය කල පුද්ගලයන් පමනක් තමන් අත්අඩංගුවට ගන්නා බවට වික්‍රමසිංහ කල ප්‍රකාශ ප්‍රතික්ෂේප කලේ ය. “අපට ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවනත වෙමින් මේ ජරාජීර්න ක්‍රමය පෙරලා දමන්න බැහැ. එය ධනේශ්වර ව්‍යවස්ථාවක්, එය යොදාගැනෙන්නේ කම්කරුවන්ට එරෙහිව රාජ්‍ය මර්දනය මුදා හරිමින් ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීමටයි.”

මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ සහ දුගීන්ගේ සක්‍රීය සහයෝගය සහිත ව දියත් වූ රාජපක්ෂ ආන්ඩුවට එරෙහි මහජන නැගිටීම දැන් පෙර නොවූ විරූ මර්දනයකට මුහුන දී සිටින්නේ මන්දැයි සිතා බැලීම තීරනාත්මක ය . දැන් මෙම අරගලය මර්දනයට ගොදුරු වන පරිදි මේ වනවිට වෙනස් වී ඇත්තේ කුමක් ද යැයි ඔහු විමසී ය.

කම්කරු පන්තිය විසින් නායකත්වය දෙන ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් සඳහා සසප අරගලයට තමන් එකඟ වන බව මාධව පැවසී ය. “මම කලින් සසප රැස්වීම්වලට සහභාගී වී තිබෙනවා, එලඹෙන රැස්වීම මෙම මර්දනයට එරෙහිව සටන් කිරීමට ඉදිරිදර්ශනය සපයනු ඇත.” යැයි ඔහු ප්‍රකාශ කලේ ය.

ගම්පොල රෝහලේ කම්කරුවෙකු වන ආර්. මොහොමඩ් පැවසුවේ, පරීක්ෂාවට ලක්වීම සඳහා නව ආන්ඩුවේ පාලකයෙකුට කාලය ලබා දිය යුතුය යන අදහස තමන් ප්‍රතික්ෂේප කරන බවයි.

“වික්‍රමසිංහ බලයට පත්වීමෙන් පසු කෙලින් ම කලේ කම්කරු පන්තියට ප්‍රහාරය එල්ල කිරීමයි. කිසිදු ජන වරමක් නොමැති ව පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු තමාට පෙර කිසි දිනක නායකයෙකු නොකල තරම් වේගයෙන් සිය මර්දනකාරී ක්‍රියාමාර්ග මුදා හැරියා. මේක නැවැත්විය යුතුයි,” යැයි ඔහු පැවසී ය.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නායක සමන් රත්නප්‍රිය ගැන සඳහන් කරමින් මොහොමඩ් කථා කලේ ය. “වික්‍රමසිංහට ටික කාලයක් දෙන්න ඕන කියලා ඔහු පැවසුවා. ඇත්ත වශයෙන් ම, වෘත්තීය සමිති නායකයින් වික්‍රමසිංහට කාලය ලබා දී ඔහුගේ ප්‍රහාර වඩාත් නිර්දය ලෙස සූදානම් කිරීමට ඉඩ සලසා දුන්නා” යැයි ඔහු පැවසී ය.

“මෙම මර්දනය හුදෙක් පෙරහුරුවක්. මන්ද කම්කරු පන්තිය අනාගතයේ දී ඊටත් වඩා පුලුල් ලෙස සිය කප්පාදු පිලිවෙත්වලට එරෙහි ව නැගී සිටිනු ඇති බව ආන්ඩුව දන්නවා. අපි මේ අනතුර තේරුම් ගෙන අපේ බලය වැඩි දියුනු කර ගත යුතුයි. මට මෙම රැස්වීමට සහභාගී වී සහ ඒ ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍යයි, මම අපගේ රෝහලෙන් තවත් උනන්දුවක් දක්වන කන්ඩායමක් ඊට සම්බන්ධ කර ගනිමින් සිටිනවා”

කොලඹ වරාය නඩත්තු කම්කරුවෙක් මෙසේ පැවසී ය: “ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් ක්‍රියාත්මක කරමින් විදුලිය හා ජල ගාස්තු වැඩිකරමින් උද්ධමනය ඉහල දැමීම නිසා දැන් ජීවත් වීම බරපතල ම අරගලයක් බවට පත් වෙලා. පෞද්ගලීකරනය හරහා රැකියා සහ වැටුප් ද කපා හරිමින් තිබෙනවා. වර්ධනය වෙමින් පවතින විරෝධතා සහ වැඩ වර්ජන ගැන ආන්ඩුව දැඩි බියකින් පසුවන අතර ඒ නිසා ම ආන්ඩු විරෝධී උද්ඝෝෂනවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.”

“අපි මෙයට එරෙහි ව ප්‍රති-ප්‍රහාරයක් සූදානම් කල යුතුයි. කම්කරුවන් සමඟ පෙලපාලි සහ රැස්වීම් සංවිධානය කල යුතු අතර ඊට සියලු පිඩිත ජනතාව ද බලමුලු ගැන්විය යුතු ය. සෑම සේවා ස්ථානයක ම ක්‍රියාකාරී කමිටු පිහිටු වීම සඳහා වන ඔබගේ යෝජනාවට මම එකඟ වන අතර වරායේ ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීමට මගේ සම්පූර්න සහයෝගය ලබා දෙනවා . කම්කරුවන් අතර වැඩෙමින් වෙමින් පවතින ව්‍යාකූලත්වය කපා හැරීමට සසප සාමාජිකයින් සැලකිය යුතු මැදිහත්වීමක් කර තිබෙනවා.”

“වරාය සේවකයින් සහ අනෙකුත් කම්කරුවන් එක්සත් විය යුතු බව අප බොහෝ දෙනා විශ්වාස කරනවා. එම නිසා ඔබගේ රැස්වීම වැදගත්. මගේ මතය අනුව, කම්කරු පන්තිය යනු විප්ලවවාදී පන්තිය වන අතර අනෙකුත් කම්කරුවන් සහ දුප්පතුන් ඒ වටා ඒකරාශී කල යුතුයි.”

ඉන්දික (වමේ) සසප උද්ඝෝෂකයා සමඟ කතා කරයි

යාපනය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ විද්‍යා ශිෂ්‍යයෙකු වන ඉන්දික මෙසේ පැවසීය: “මර්ධනයට එරෙහිව වඩා ප්‍රබල මහජන විරෝධයක් තිබිය යුතු යැයි මම සිතනවා. ආන්ඩුවට මේක කරන්න පුලුවන් වෙලා තියෙන්නේ ජනතා ව්‍යාපාරය දියාරු කල නිසයි. ධනපති පාලකයන් මත පීඩනය යෙදීමට ව්‍යාපාරය සීමා කල එහි නායකත්වයේ ක්‍රියාකලාපය නිසා එය වෙනතකට යොමුවුනා. නායකත්වය, තනිකරම මිනිසුන්ගේ ස්වයංසිද්ධ කෝපය මත පදනම් වූ අතර දේශපාලන ප්‍රශ්න පැහැදිලි කිරීමට කිසිදු බරපතල කම්කරු පන්තික මගපෙන්වීමක් කර තිබුනේ නැහැ. මෙනිසා ආන්ඩුට සිය දඩයම ඉදිරියට ගෙන යාමට හැකි වුනා”

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පලමු වසරේ සිසුවෙකු වන විමංග තම පවුල මුහුන දෙන ආර්ථික දුෂ්කරතා පැහැදිලි කලේ ය.

“මිල වැඩි වෙන්න කලින් අපේ පවුලට ප්‍රමානවත් තරම් කෑම බීම කිසි ම ප්‍රශ්නයක් නැති ව ලබාගන්න පුලුවන් වුනා. දැන් මම ගෙදර ඉන්න වෙලාවට අම්මයි තාත්තයි කෑමට සල්ලි වියදම් කලොත් අයියට කෑම නැති ව යනවා. මම මේ මොහොතේ විශ්වවිද්‍යාලය අසල අවන්හලක අර්ධකාලීන රැකියාවක් කරන්නේ. ඒ මට මගේ දෙමව්පියන්ගෙන් මුදල් ඉල්ලා සිටිය නොහැකි නිසා. බොහෝ සිසුන් මුහුන දෙන තත්වය මෙයයි” යැයි ඔහු පැවසී ය.

රාජපක්ෂ ආන්ඩුවට එරෙහි මහජන විරෝධී නැගිටීමේදී තමන් ක්‍රියාකාරී වූයේ එම තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය නිසා බව විමංග පැහැදිලි කලේ ය. “මෙම සම්පූර්නයෙන් ම යුක්තියුක්ත අරගලය මර්දනයට මම බෙහෙවින් විරුද්ධයි” යැයි ඔහු පැවසී ය. “මෙම ධනේශ්වර අර්බුදයේ බර ජනතාව මත පැටවීමට සියලු පක්ෂ සාකච්ඡා කරමින් සිටින අතර දැන් මෙම දැවැන්ත මර්දනය ක්‍රියාත්මක වන්නේ ඊට එරෙහි ව අරගලවලට එන ජනතාව මර්දනය කිරීමටයි.”

සසප උද්ඝෝෂකයා යාපනය විශ්ව විද්‍යාල සිසුන්ට පක්ෂයේ වැඩපිලිවෙල පැහැදිලි කරයි.

වික‍්‍රමසිංහට යන මාවත වෙනස් කිරීමට බලපෑම් කල හැකි බවට ධනේශ්වර විරුද්ධ පක්ෂ සමග අත්වැල් බැඳ ගෙන වැඩ කරන ව්‍යාජ වාම සංවිධාන විසින් සිදු කරනු ලබන ප‍්‍රකාශ විමන්ග ප‍්‍රතික්ෂේප කලේ ය.

“එක් පෙරමුනකට එකතු වී වැඩ කරන, ජනතාවට එරෙහි ව ආන්ඩුවේ කප්පාදු සමග පෙල ගැසී සිටින ධනපති නියොජිතයින්ගෙන් අපට කිසිවක් බලාපොරොත්තු විය නොහැකියි. සැබෑ අරගලයක් සඳහා ස්වාධීන ක්‍රියාකාරී කමිටු සඳහා සටන් කිරීමට සිසුන් කම්කරුවන් සමග එක්සත් විය යුතුයි” යැයි ඔහු පැවසී ය.

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ යූටීපී කර්මාන්ත ශාලා කම්කරුවෙක් ආන්ඩුව විරෝධතාකරුවන් දඩයම් කිරීම හෙලා දුටුවේ ය. ජුලි මාසයේ නිදහස් වෙලඳ කලාපයට ආසන්න කුරන ප්‍රදේශයේ ආන්ඩුවේ අමාත්‍යවරයෙකුට අයත් හෝටලයක් ගිනි තැබීමට සම්බන්ධ වූ බවට ව්‍යාජ ප්‍රකාශ මත මාස තුනක කාලයක් රඳවාගෙන සිටි අයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු පැවසී ය .

“මේවා විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබන දඩයම් කිරීම්” යැයි ඔහු පැවසුවේ ය. තවද ඔහු 1989-90 කාලයේ වික්‍රමසිංහ කැබිනට් අමාත්‍යවරයකු ලෙස සිටි එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව විසින් තරුනයින් සහ ග්‍රාමීය දුගීන් ම්ලේච්ඡ ලෙස මර්දනය කරනු ලැබූ බව ද සිහිපත් කලේ ය.

“වික්‍රමසිංහ මෙම ඉතිහාසය නැවත කිරීමට උත්සාහ කරන නමුත් කම්කරුවන් පෙන්වා දී ඇත්තේ එවැනි ප්‍රතික්‍රියාවක් පරාජය කිරීමේ බලය තමන්ට ඇති බවයි. වැඩකරන ජනතාවගේ ශක්තියට මුහුන දීමට නොහැකිව ගෝඨාභය රාජපක්ෂට ගෙදර යාමට සිදු වුනා. ජනතාව ඒකරාශී වූ විට මේ ශක්තිය අවබෝධ වන නමුත් අවශ්‍ය වන්නේ එම ශක්තිය නිවැරදි දේශපාලන වැඩපිලිවෙලකින් සන්නද්ධ කිරීමයි.”

රත්මලාන වාරිමාර්ග කම්කරුවෙක් මෙසේ පැවසී ය: “අපි රාජපක්ෂ එලවා දැමීමේ අරගලයට සහාය දුන් නමුත් දැන් වික්‍රමසිංහ පැමින රාජ්‍ය මර්දනය ක්‍රියාත්මක කරනවා. අපට මෙතැනින් යා හැක්කේ කොතැනට ද? මුලු පාර්ලිමේන්තුව ම කුනුවෙලා, පිලිකුල් සහගතයි.”

සසප/සසජාතශි උද්ඝෝෂකයෝ සමාජවාදී පිලිවෙත්වලට කැප වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීමට ස්වාධීන ක්‍රියාකාරී කමිටු ද එනයින් කම්කරු හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය ද පැහැදිලි කලහ.

වාරිමාර්ග කම්කරුවා මෙසේ පිලිතුරු දුන්නේ ය: “ඔබ පැහැදිලි කල දේ හරි. කම්කරුවන් දැන් මෙම මර්දනයට මුහුන දෙන නමුත් මර්දනයට එරෙහිව තම සැබෑ ශක්තිය යොදවන්නේ කෙසේදැයි දන්නේ නැහැ. කම්කරු පන්තිය දැනුවත් කල යුතු අතර මම ඔබගේ කාර්යය අගය කරනවා.”

“අපට අවශ්‍ය වන්නේ කම්කරු පන්තිය තුල ගොඩනැගුන නව නායකත්වයකි. අපට ධනේශ්වර පන්තිය මත යැපෙන්න බැහැ,” ඔහු වැඩිදුරටත් පැවසුවේ, ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියවීමට හා අධ්‍යයනය කිරීමට සහ මෙම ඉරිදා ප්‍රසිද්ධ රැස්වීමට සහභාගී වීමට එකඟ වෙමිනි.

සවස 4 ට පැවැත්වෙන ප්‍රසිද්ධ රැස්වීම Zoom හරහා විකාශනය කෙරෙන අතර සසප ෆේස්බුක් පිටුවෙන් එය සජීවීව විකාශය කෙරේ. මෙහි ලියාපදිංචි වන්න.

Loading