දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා ශිෂ්‍යයින් පැවැත්වූ විරෝධතාවයට පොලීසිය රුදුරු ලෙස පහර දෙයි!

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම), තම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම අත් අඩංගුවට ගෙන දින අනූවක් ගතවූ පසුගිය සිකුරාදා ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා, කොලඹදී පැවැත්වූ උද්ඝෝෂනයට වික්‍රමසිංහ ආන්ඩුව රුදුරු පොලිස් ප්‍රහාරයක් එල්ල කලේය.

සිසු උද්ඝෝෂන මැඩීමට පොලිස් කැරලි මර්දන ඒ්කකය සූදානමේ

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ දින අනූවක් රඳවා සිටි මුදලිගේ සහ සිරිධම්ම එම නියෝගය අවසන් වූ දින ඔවුන් නිදහස් කරනවා වෙනුවට පසුගිය බදාදා ත්‍රස්ත විමර්ශන ඒකකය (ටීඅයිඩී) සිදු කල ඉල්ලීමකට අනුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත නියෝග කලේය. ඉන් පෙන්නුම් කර ඇත්තේ, ඔවුන් තව දුරටත් රුදුරු කොන්දේසි යටතේ රඳවා ගැනීමට ආන්ඩුව මාන බලමින් සිටින බවයි. ඔවුන් පීටීඒ යටතේ රඳවා ගැනීමේ නියෝගය නිකුත් කලේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යි.

මුදලිගේ සහ සිරිධම්ම නිදහස් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ කොලඹ කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයට දිවයින පුරා විවිධ විශ්ව විද්‍යාල වලින් තුන්දහසකට අධික ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහභාගී වුහ. ඔවුහු “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හකුලාගනු!”, “සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!”, “නොවැම්බර් 18ට දින අනූවයි” ආදී සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ.

පොලීසිය, කැරලි මර්දන ඒකක, කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරක රථ යොදාගෙන සිසුන්ට එක් රැස් වීමට ඉඩ නොදෙමින් ඔවුන් පසු පස හඹා යමින් විරෝධතාවය විසුරුවා හැරීමට උත්සාහ දැරූහ.

විරෝධතාවය ආරම්භයට පෙර සිටම, එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ප්‍රවේශ වන මාර්ගය පොලීසිය විසින් මාර්ග බාධක, පොලිස් භට කන්ඩායම් සහ ජල ප්‍රහාරක රථ යොදා අවහිර කොට තිබිනි. පැය භාගයක පමන කාලයක් උද්ඝෝෂනය පැවැත්වුනු පසු පොලීස් කන්ඩායම් උද්ඝෝෂනය විසුරුවා හැරීම සඳහා ඉදිරියට පැමිනියහ.

විරෝධතාකරුවන් ගාලු පාර දෙසට ගමන් කර අග්‍රාමාත්‍ය කාර්යාලය පිහිටි මල් පාර ඔස්සේ ගමන් කරද්දී පොලීසිය විරෝධතාකරුවන් විසුරුවාහැරීමට කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරක භාවිතා කලේය. පොලිස් ප්‍රහාර මග හැරීම සඳහා නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන ඒකකය ආසන්නයෙන් ඔවුන් තවත් විරෝධතාවයක් ආරම්භ කලහ. යලිත් වතාවක් ඔවුහු නෙලුම් පොකුන ආසන්නයේ එක් රැස් වී සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.

පොලීසිය එම ස්ථානයටද ජල ප්‍රහාරක රථ යොදාගනිමින් ප්‍රහාර එල්ල කල අතර, එම රථ, තම ප්‍රහාරයෙන් බේරීමට දිව යන විරෝධතාකරුවන් හඹාගොස් පහර දුනි. එහිදී විරෝධතාකරුවන් කිහිපදෙනෙක් ඇද වැටී තුවාල ලැබූහ. ඉන් පසුව යලි වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට රැස්වී එහි දී රැලියක් පැවැත්වීමට අවිශිබම කටයුතු කලේය. එම රැලියද පොලිස් භට කන්ඩායම් යොදා විසුරුවා හැරි අතර විරෝධතාකරුවන් පසුපසින් කිලෝමීටර් ගනනක් දෙමටගොඩ දෙසට හඹා ගියහ.

විරෝධතාව අතරතුර ශෙහාන් පසිඳු නම් විරෝධතාකරුවෙක් අත් අඩංගුවට ගත්තේය. ඔහුට පොලිස් අත් අඩංගුවේ සිටියදී ම්ලේච්ඡ ලෙස පහර දී තිබුනු අතර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමද ප්‍රතික්ෂේප කර ඇති බව අවිශිබම සිය ෆේස්බුක් පිටුවේ වාර්තා කලේය. වැඩෙන මහජන විරුද්ධත්වය මධ්‍යයේ ඔහුව ඊට පසු දින අධිකරනයට ඉදිරිපත් කොට ඇප මත මුදා හැරියේය.

සමාජවාදී සමානතා පක්ෂය(සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය මෙම පොලිස් මර්දනය හෙලා දකින අතර අත් අඩංගුවේ සිටින අවිශිබම ක්‍රියාකාරීන් දෙදෙනා වහා නිදහස් කරන ලෙසත්, සියලු මර්දන නීති හකුලා ගන්නා ලෙසත් බල කර සිටී.

සිසු විරෝධතාව

සිසු විරෝධතාවය සංවිධානය කර තිබුනේ අවිශිබම සහ ඊට නායකත්වය දෙන ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසිනි. ශිෂ්‍යයින් ධනපති රාමුව තුල සිර කරන අවිශිබම සහ පෙසප දේශපාලනයට සසප හා සසජාතශි මුලුමනින්ම විරුද්ධත්වය පල කරයි.

සිසුන්ට එරෙහිව ජල ප්‍රහාරක රථ යොදාගනිමින්

පොලිසිය විසින් සිසු උද්ඝෝෂන මැඩීමට යලියලිත් එල්ල කරන මෙම රුදුරු ප්‍රහාරවල බරපතල ඇඟවුම් පවතී. එය පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ප්‍රහාරයන් ක්‍රියාවට දමමින් සිටින ආන්ඩුව රැස්වීමේ හා භාෂනයේ නිදහස ඇතුලු කිසිදු ප්‍රජාතන්ත්‍රීය අයිතියක් නොඉවසන බවයි. එමෙන්ම එය ඉදිරියේදී එම කප්පාදු ප්‍රහාර වලට එරෙහිව විරෝධතාවලට පැමිනීමට නියමිත මහජනතාවට අනතුරු ඇඟවීමකි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නෙරපීමට හා ඔහුගේ ආන්ඩුව බිඳවැටීමට තුඩුදුන් දශ ලක්ෂ සංඛ්යාත කම්කරුවන්ගේ හා දුගීන්ගේ අප්රේල්-ජූලි මහජන අරගලය නිසා භීතියෙන් ඇලලී ගිය ආන්ඩුව හා පාලක පන්තිය, ජාමුඅ ප්රහාරවලට සහ ප්රජාතන්තවාදී අයිතීන් තලා දැමීමට එරෙහි අලුත් ජවයකින් අරගල පැන නගිනු ඇතැයි තැතිගෙන සිටිති.

පෙසප සහ අවිශිබම මර්දනය නැවැත්වීමේ නමින් සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) දෙමල ජාතික සන්ධානය ආදී ධනපති පක්ෂ, වෘත්තිය සමිති සමග සන්ධාන ගතව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට හා තානාපති කාර්යාලවලට කරන ආයාචනා වලට සිසුන් කොටුකිරීමට දැනුවත් ව ක්‍රියා කරයි. පසුගිය අරගල වලදී ද මෙම සංවිධාන වෘත්තීය සමිති සමග එක්ව අන්තර්කාලීන ධනපති ආන්ඩුවක් සඳහා සජබ හා ජවිපෙ ඉදිරිපත් කල ඉල්ලීම් පිටුපස සිසුන් හා කම්කරුවන් මෙහයවීමට ක්‍රියා කලහ.

සසප හා සසජාතශි මෙම අරගලය තුල මැදිහත්වූයේ කම්කරු පන්තිය ධනපති පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගාගෙන, දුගී ජනයා ගොනුකර ගනිමින් සමාජවාදී වැඩපිලිවෙලට සහ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීමේ ක්‍රියාමාර්ගය ඉදිරිපත් කරමිනි. මෙම අරගලයේදී ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතු වීම අපි ඉල්ලා සිටියෙමු.

සිසුන්ගෙන් සසජාතශි ඉල්ලා සිටියේ කම්කරු පන්තිය වෙතට හැරී, එය නොමග යවමින් ධනපති ක්‍රියාමාර්ගවල හිරකරන වෘත්තීය සමිති, පෙසප-අවිශිබම හා ධනපති පක්ෂවල දේශපාලනයෙන් එය ස්වාධීන කර මෙහෙයවීමේ අරගලයට එක්වන ලෙසයි. මන්ද යත්, සියලු ප්‍රහාරවල මූලය ලෙස පවතින, අර්බුද ග්‍රස්ත ධනපති ක්‍රමය සහ එහි ආන්ඩු ඇතුලු සංස්ථා පෙරලා දැමීමේ විප්ලවවාදී කර්තව්‍යය ඉටු කිරීමට නායකත්වය සැපයිය හැක්කේ කම්කරු පන්තියට වන නිසා ය.

පෙසප හා වෘත්තීය සමිති අවිශිබම මෙම අරගලයට එරෙහිව ධනපති පක්ෂවල ක්‍රියාමර්ග තුල කම්කරුවන් හිර කිරීමේ ප්‍රතිඵලය වූයේ රාජපක්ෂ ආන්ඩුව පෙරලා දැමුන නමුත් ධනපති පන්තිය බලය රැක ගෙන වික්‍රමසිංහ යටතේ උත්සන්න කෙරුනු ප්‍රහාර ඇරඹීමයි.

දැන් මෙම සංවිධාන කරනුයේ, ධනපති පක්ෂ සමග එක්ව අධිරාජ්‍යවාදී බලයන්ට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආයාචනා කිරීමට සිසුන් හැරවීමයි. විරෝධතාවය පැවැත්වූ දිනයේදීම පෙසප ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව දිවයින පුවත්පතට සඳහන් කර තිබුනේ “බුද්ධි අංශ අන්දමන්ද කරමින් අවිශිබම විරෝධතාව ඉතාම සාර්ථකව” පැවැත්වූ බවයි. මෙවන් ප්‍රකාශ හරහා ඔවුන් උත්සාහ දරන්නේ රාජ්‍ය මර්දනය අවතක්සේරු කොට බලපෑම් දැමීමේ විරෝධතා හරහා එය නිමාවකට ගෙන ආ හැකිය යන මිථ්‍යාව වැපිරවීමටය.

ආන්ඩුව පසුගිය සතියේ නිකුත් කල, එලඹෙන වසර සඳහා අයවැය වාර්තාවෙන් බදු ඉහල දැමීම්, පෞද්ගලීකරන පිලිවෙත් අඩංගු රුදුරු කප්පාදුවක් නිවේදනය කලේය. එමෙන්ම මර්දනය තීව්‍ර කිරීම සඳහා ආරක්ෂක වියදම් පසුගිය වසරට සාපේක්ෂව බිලියන පනහකින් වැඩි කරමින් බිලියන 539 දක්වා ඉහල නැංවූයේය. එසේ කලේ, අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් පහල මට්ටමක තබන ගමන් ය.

සටන්කාමී සිසුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ධනපති ක්‍රමය තුල තමන් හිරකරන දේශපාලනයෙන් බිඳී කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ අරගලයට සසජාතාශි සමග එක්වන ලෙසයි. ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන්ට එල්ල කරන ප්‍රහාර පරාජය කල හැක්කේ වික්‍රමසිංහ ආන්ඩුව හා එය නියෝජනය කරන ධනපති ක්‍රමයට එරෙහිව කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමට සටන් කිරීමේ දේශපාලන අරගලය වර්ධනය කිරීම තුලිනි .

එම ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනය යටතේ සසප හා සසජාතශි සියලු දේශපාලන සිරකරුවන් වහාම හා කොන්දේසි විරහිත ව නිදහස් කරනු!, පීටීඒ, අත්‍යවශ්‍ය මහජන සේවා පනත, මහජන ආරක්ෂක ආඥා පනත හා හදිසි නීතිය ඇතුලු සියලු මර්දන නීති ඉවත් කරනු!, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු! යන ඉල්ලීම් මත කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් බලමුලු ගැන්වීමට සටන් කරයි.

මෙම ඉදිරි දර්ශනය සඳහා තරුනයින් සහ ශිෂ්‍යයින් අතර සටන් වදින්නේ සසජාතශි පමනි. මෙම සටන පෙරට ගැනීම සඳහා අප සංවිධානයට සම්බන්ධ වී එහි ශාඛා විශ්ව විද්‍යාල තුල ගොඩනගන ලෙස අපි තරුනයින්ගෙන් සහ ශිෂ්‍යයින්ගෙන් ඉල්ලා සිටිමු.

ජාත්‍යන්තරව සමාජවාදී පක්ෂවල ශාඛා ලෙස ක්‍රියාකරන සියලු සසජාතශි ශාඛා එක්වී, 'යුක්රේන යුද්ධය නතර කිරීමට මහජන ව්‍යාපාරයක් ගොඩනගනු' යන තේමාවෙන් දෙසැම්බර් 10 දින පවත්වන වෙබිනාර් රැස්වීමට සහභාගිවන ලෙසද තරුනයන්ගෙන් හා කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Loading