වික්‍රමසිංහ ආන්ඩුව මහජන සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ අද්දරටම තල්ලු කරයි

අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරනවල දැවැන්ත හිඟයෙන් ද, ශල්‍යාගාර ඇතුලු ප්‍රධාන පහසුකම් නඩත්තු නොකිරීමෙන් ද දැඩි ලෙස පීඩා විඳින රජයේ රෝහල් ඇතුලු ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් බිඳ වැටීමේ අද්දරටම තල්ලු කර ඇත.

ගම්පොල රෝහලේ සෞඛ්‍ය සේවකයෝ රට අගුලු දමන ලෙස හා පීසීආර් පරීක්ෂන කරන ලෙසට අගෝස්තු 11 පැවැති විරෝධතාව (ලෝසවෙඅ මාධ්‍ය)

සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ගත්කල මහජනතාව මුහුනදෙන ප්‍රධානත ම ගැටලුව වන්නේ අත්‍යවශ්‍ය ඖෂධයන්ගේ දිගු කාලීන හිඟය යි. රජයේ රෝහල් සායනයන්ට පැමිනෙන රෝගීන්ට වෛද්‍යවරුන් නියම කරන ඖෂධ වලින් බොහොමයක් පිටතින් මිල දී ගැනීමට කලක සිට රෝගීන්ට සිදු වුවද, වර්තමානයේ එසේ මිල දී ගැනීමට පවා වෙලඳපොලේ ඖෂධ නොමැත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව පලවා හරින ලද අප්‍රේල්-ජූලි මහජන නැගිටීමට ද, මෙම ඖෂධ හිඟය, අතිමූලික හේතුවක් විය. ජීවිතයට තර්ජනය කෙරෙන රෝගාබාධ පාලනය කිරීම සඳහා භාවිතා කරන අත්‍යවශ්‍ය ඖෂධ පවා නොමැති කමින් ලක්ෂ සංඛ්‍යාත මහජනතාව කුපිත වී සිටියහ.

ආන්ඩුව මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදයේ කොටසක් වන විදේශ සංචිත හිඳීයාම හමුවේ, ආනයනය දැඩිලෙස සීමා කිරීම මෙම ඖෂධ හිඟයට මූලික හේතුවයි. අනෙක් අතට, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දැවැන්තව කඩා වැටීම සහ ආනයන බදු ඇතුලු වෙනත් බදු වැඩි කිරීම හේතුවෙන් වෙලඳපොලේ පවත්නා ඖෂධවල පවා මිල අහස උසට නැග ඇත.

අවුරුද්දකට ආසන්න කාලයක් ඔස්සේ පවතින මෙම ඖෂධ හිඟයට මෑතකදී පිලියම් නොයෙදෙන බව, ඊයේ, දෙරන රූපවාහිනී නාලිකාවේ බිග් ෆෝකස් වැඩ සටහනට සහභාගි වූ, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය එස්.රත්නායක ගේ ප්‍රකාශයන්ගෙන් අනාවරනය විය. ඔහු මෙසේ පැවසීය: 'දැනට ඖෂධ 152ක හිඟයක් රට තුල පවතින බව අපි පිලිගන්නවා. මේ වන විට අපි මෙම ඖෂධ මිලදී ගැනීම සඳහා භාවිතා කරන්නේ ඉන්දියානු නය මාර්ගයයි. එලෙස මිලදී ගන්නා විට, අපට භාන්ඩාගාරයේ සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අනුමැතිය අවශ්‍ය වේ. මෙම ක්‍රියාවලිය ඉතා දිගුයි. '

ඖෂධ හිඟයට අමතරව අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන නොමැති කමින් රෝහල්වල නඩත්තු කටයුතු කෙතරම් අඩාල වීද යත් දිවයිනේ ප්‍රධානතම රෝහල වන කොලඹ ජාතික රෝහලේ ශල්‍යාගාර කීපයක් වරින්වර වසා දමන්නට සිදුවිය. මෑතම සිද්ධිය වනුයේ, වායුසමන යන්ත්‍ර ක්‍රියා විරහිතවීම නිසා ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ ප්‍රධාන ශල්‍යාගාර තුනෙන් දෙකක්ම වසා දැමීමට සිදුවීමයි. මේ හේතුවෙන්, බරපතල සහ හදිසි සැත්කම් අවශ්‍ය කෙරෙන රෝගීන්ට, කිලෝමීටර් 200 කට ආසන්න දුරකින් පිහිටි කොලඹ ජාතික රෝහලට හෝ කිලෝමීටර් 80 ක දුරින් පිහිටි රත්නපුර රෝහලට ගමන් කිරීමට බලකෙරී ඇත.

ප්‍රධාන රෝහල්වල පවා විදුලි සහ ජල ගාස්තු ගෙවීම ඒවාය් පරිපාලකයන්ට ගැටලුවක් වී ඇත. දිවයිනේ ප්‍රධානතම ලමා රෝහල වන රිජ්වේ ආර්යා ලමා රෝහලේ විදුලිබිල රුපියල් මිලියන 30ක් දක්වා හිඟ ලෙස එකතුවීම හේතුවෙන්, ඔක්තෝබර් අග දී එහි විදුලිය විසන්ධි කෙරුනි. මෙයට එරෙහිව රෝහල් කාර්ය මන්ඩලය කල විරෝධතා උද්ඝෝෂනයට අන්‍ය මහජනතාව ද එක්ව සිටි බව මාධ්‍යයන්හි වාර්තා විය. පසුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලැබුනු රුපියල් මිලියන 8 ක මුදලක් ගෙවා යලි විදුලිය ලබා ගත්තද ඉතිරි හිඟය මෙතෙකුදු පවතින බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මාධ්‍යයට පවසා ඇත.

ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම සම්බන්ධයෙන් විවිධ ජාත්‍යන්තර ආයතන කරන ලද සමීක්ෂනයන්හි වාර්තා කීපයක්ම මේවනවිට ප්‍රසිද්ධියට පත්කොට ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය, 2022 අගෝස්තු 17 දා, තම යූඑන් නිව්ස් වෙබ් අඩවියේ, 'ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ අද්දරට තල්ලු කරයි' යන හිසින් පලකල වාර්තාවේ මෙසේ සඳහන් වෙයි: 'ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ දරුනුතම සමාජ-ආර්ථික අර්බුදය මධ්‍යයේ සිටින අතර, වරක් ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතිය බිඳවැටීමට ආසන්න වෙමින් පවතින අතර, විදුලිය හිඟය, ඖෂධ හිඟය සහ උපකරන හිඟයෙන් රෝගීන් අවදානමට ලක්ව ඇත.'

කාන්තාවන් මුහුනදෙන ඌන සෞඛ්‍ය පහසුකම් කෙරෙහි අවධානය යොමුකරන වාර්තාව එක්සත් ජාතීන්ගේ ලිංගික සහ ප්‍රතිජනන සෞඛ්‍ය ඒජන්සියේ විධායක අධ්‍යක්ෂිකා නතාලියා කේනම් මෙසේ උපුටා දක්වයි: 'වත්මන් ආර්ථික අර්බුදය කාන්තාවන්ගේ සහ ගැහැනු ලමයින්ගේ සෞඛ්‍ය අයිතිවාසිකම් සහ ගෞරවය කෙරෙහි දුරදිග යන ප්‍රතිවිපාක ජනනය කර ඇත.'

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව, වාර්තාව පලවූ දිනය වන විට, රටෙහි කාන්තාවන් 215,000 ක් ගැබ්ගෙන සිටි අතර, ඔවුන් ඉදිරි සයමස තුල දරුවන් ප්‍රසූත කිරීමට නියමිත විය. ඒ අනුව කාන්තාවන්ගේ සහ ගැහැනු ලමුන්ගේ ලිංගික සහ ප්‍රතිජනන සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා එජ ඩොලර් මිලියන 10.7 ක හදිසි අවශ්‍යතාවයක් මතුව ඇතිබව වාර්තාව පෙන්වා දෙයි.

ඹක්තෝබර් 04 වන දා ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පලකල වාර්තාවකින්ද ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම ගැන පැහැදිලි කෙරේ.

'අපි මුලුමනින්ම බිඳ වැටීමට ආසන්නයි: ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තුල සෞඛ්‍යය, ආහාර සහ සමාජ ආරක්ෂාව සඳහා වන අයිතීන් සුරක්ෂිත කිරීම' යන හිසින් පල වූ එම වාර්තාවේ මෙසේ සඳහන් වෙයි: 'ආර්ථික අර්බුදය උග්‍ර වෙද්දී, ජීවිතයට තර්ජනයක් වන ඖෂධ සහ අත්‍යවශ්‍ය උපකරන හිඟය ශ්‍රී ලංකාව තුල ප්‍රධාන උත්සුකයක් වේ. ගෝස්, අභ්‍යන්තර ප්‍රතිජීවක සහ ඉන්සියුලින් හිඟයේ සිට, එකම කැතීටරය හෝ එන්ඩොට්රාචල් ටියුබය යලියලිත් භාවිතා කිරීමේ ඉල්ලීම් දක්වා, පසුගිය මාස කිහිපය තුල ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට කම්පන සහගත අභියෝග ගෙන ආවේය.'

රෝහල්වල උපකරන හිඟය ගැන කරුනු දක්වමින් එක් සෞඛ්‍ය සේවකයෙක් ඇම්නෙස්ටි ආයතනයට පවසා ඇත්තේ, 'හෙදියන් අත්වැසුම් රහිතව රෝගීන්ගෙන් රුධිරය ලබ ගන්නා' බවත්, එය රෝගීන් සහ හෙදියන් යන දෙකොටසටම 'අන්තරායකාරී' බවත් ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) කතාකල මහනුවර රෝහලේ වෛද්‍යවරියක් රෝහල්වල පවත්නා උපකරන සහ ඖෂධ හිඟය ගැන විස්තර කරමින් මෙසේ කීවාය: 'අපි පාවිච්චි කරන එන්ඩොස්කොපි හතරෙන් දෙකක් ම කැඩිලා. ඒ හැරුන විට, ආමාශ ආන්ත්‍රයික අභ්‍යන්තර රුධිර වහනය ඇති රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන අත්‍යවශ්‍ය ඖෂධයක් වන Glue හි එක කුප්පියක්වත් ඉතිරි වෙලා නෑ.'

එම රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා, ඔවුන් එක්කෝ පෞද්ගලික රෝහලකට මාරු කල යුතු බවත්, නැතහොත් ඉහත සඳහන් ඖෂධ බාහිරින් ගෙන ආයුතු බවත් ඇය කීවාය. 'නමුත් ඒවා ඇමරිකානු ඩොලර් 80 ක් පමන වන නිසා සීමිත පිරිසකට පමනයි දරන්න පුලුවන්.'

රෝහල් පද්ධතියේ තත්වය මෙසේ පැවතිය දී ජනාධිපති සහ මුදල් ඇමති වික්‍රමසිංහ 2023 අයවැය යෝජනාවෙන් සෞඛ්‍යයට වෙන්කොට ඇත්තේ රුපියල් බිලියන 322 ක සොච්චමක් පමනි. ඊට විපරීතව, ආරක්ෂක හමුදාවන් වලට සහ පොලීසියට රුපියල් බිලියන 539 ක් වෙන් කිරීමට වික්‍රමසිංහ පියවර ගෙන ඇත.

ගැඹුරු ආර්ථික අර්බුදයක ගිලී සිටින ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (ජාමූඅ)බලාපොරොත්තු වන ඩොලර් බිලයන 2.9 ක නය වෙනුවෙන්, පනවන ලද විධානයන්ට අනුව රාජ්‍ය වියදම් දැවැන්ත පරිමානව කප්පාදුකොට, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය වේගවත්කොට ඇත. සෞඛ්‍ය සේවය පුද්ගලීකරනයේ ආරම්භක පියවරක් ලෙස, රෝහල් තුල මුදල් අය කරන වාට්ටු ස්ථාපිත කිරීමට ජනාධිපති වික්‍රමසිංහ අයවැයෙන් යෝජනා කර තිබේ.

මහජන සෞඛ්‍ය පද්ධතිය විනාශ කිරීමේ මෙම වැඩපිලිවෙල, ලොවපුරා ධනපති ආන්ඩු අනුයන ජාත්‍යන්තර ප්‍රපංචයකි. මෙහි ප්‍රතිඵලය ලෙස ගෝලීය ආයු කාලය 2020 දී අවුරුදු 0.92 කින් ද, 2021 වසරේ අවුරුදු 0.72 කින් ද පහත වැටී ඇත. මෙයට ප්‍රධානතම හේතුව වනුයේ කෝවිඩ්-19 වසංගතයට ලොවපුරා ධනපති ආන්ඩු දැක්වූ නරුම ප්‍රතිචාරය යි. වසංගතය මැඩ පැවැත්වීමේ සියලු විද්‍යාත්මක පියවර අත්හරිම්න්, මහධනපතියන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන්, වසංගතය මධ්‍යයේ කම්කරුවන් වැඩට දැක්කීමේ ප්‍රතිඵලය ලෙස මිලියන 20 කට අධික සංඛ්‍යාවක් මිය ගියහ. තවත් මිලියන සිය ගනනක් පශ්චාත් කෝවිඩ් රෝගී තත්වයන්ගෙන් පීඩා විඳිති.

මිනිස් ජීවිත වලට ඉහලින් ලාභය තැබීමේ මෙම පිලිවෙත හේතුවෙන් ලංකාව තුල මියගිය සංඛ්‍යාව17,000 කට ආසන්නය. මේවනවිට කෝවිඩ් වැලැක්වීමේ සියලු පියවර ආන්ඩුව විසින් අත්හැර ඇති තතු යටතේ, මහජනයා ආසාදනය කරමින් සහ මරනයට ලක් කරමින් වසංගතය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතී. මිට අමතරව ඩෙංගු රෝගය වේගයෙන් පැතිරෙමින් පවතින අතර වඳුරුඋන රෝගීන් දෙදෙනෙකු ද රට තුලින් හඳුනාගෙන තිබේ.

පසුගිය දශක කීපය පුරා අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් අඛන්ඩව ගෙනගිය කප්පාදු හේතුවෙන් පරිහානියට පත් වූ මහජන සෞඛ්‍ය පද්ධතිය ජනාධිපති වික්‍රමසිංහ විසින් මෙලෙස බිඳ වැටීමේ අද්දරටම තල්ලු කර ඇති තතු යටතේ, තර්ජනයට ලක්ව ඇත්තේ, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා වන අති මූලික සමාජ අයිතිය යි.

ලංකාව තුල ද, ගෝලීයව ද සිදුවන වර්ධනයන් මගින් පෙන්නුම් කරන්නේ කවර හෝ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ධනපති ක්‍රමයට ඇති නොහැකියාවයි. කම්කරු පංතිය ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස ජාත්‍යන්තර පරිමානව සංවිධානය වී, ධනපති රාජ්‍යයන් පෙරලා දමා, තම පංති පාලනය යටතේ නිෂ්පාදන මාධ්‍යයන් ජනසතුකොට, සෞඛ්‍යය ඇතුලු මානව අවශ්‍යතා සපුරාලන පරිදි ගෝලීය ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට සටන් වැදීම හැර අන් විකල්පයක් නැත.

Loading