සමාජවාදී සමානතා පක්ෂය කාරෙයිනගර් හිදී මැතිවරන රැස්වීමක් පැවැත්වීමට සූදානම්වෙයි

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මාර්තු 9 පලාත් පාලන මැතිවරනය සඳහා වන සිය උද්ඝෝෂනයේ කොටසක් ලෙස පෙබරවාරි 19 ඉරිදා කාරෙයිනගර්හි ඌරි ගම්මානයේ මහජන රැස්වීමක් පවත්වනු ඇත. සසප පලාත් පාලන මැතිවරනයේදී යාපනය දිස්ත්‍රික්කයේ කාරෙයිනගර් ප්‍රාදේශීය සභාවට, කොලඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගර සභාවට සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ මස්කෙලිය ප්‍රාදේශීය සභාව සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කරයි.

කාරෙයිනගර් දූපත වසර 26 ක දීර්ඝ වාර්ගික යුද්ධයෙන් දරුනු ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශ අතර වේ. යුද්ධය පැවති සමයේ සියයට 95 ක් පමන ජනතාව එම ප්‍රදේශයෙන් අවතැන්ව සිටියහ. 2009 වසරේ දී ගැටුම කුරිරු ලෙස අවසන් කිරීමෙන් පසු ඔවුන්ට නැවත පැමිනීමට හැකි විය. කෙසේ වෙතත්, අනෙකුත් ප්‍රදේශවල ජනතාව මෙන්ම කරෙයිනගර් ගම්වැසියන් තවමත් යුද්ධයේ විනාශයෙන් පීඩා විඳිති.

මෙම මැතිවරනයේදී සසප දේශපාලන වේදිකාව පදනම් වන්නේ, ලෝක යුද්ධයේ අන්තරායට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ ම්ලේච්ඡ කප්පාදු පිලිවෙත් වලට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යටපත් කරමින් ඒකාධිපති පාලනයක් කරා එහි ධාවනයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදයේ පිලිවෙත් මත කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම මත ය.

අපි, ලෝක යුද්ධයේ තර්ජනයට එරෙහි සටන අපගේ උද්ඝෝෂනයේ කේන්ද්‍රීය අක්ෂය බවට පත්කරගෙන සිටිමු. ශ්‍රී ලංකාව මුහුන දී සිටින දැවැන්ත ආර්ථික හා දේශපාලන අර්බුදය, අන් රටවල මෙන්ම, කොවිඩ්-19 වසංගතයෙන් සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයෙන් බෙහෙවින් තීව්‍ර කරන ලද ධනවාදයේ ගෝලීය අර්බුදයේ කොටසකි. වික‍්‍රමසිංහ ආන්ඩුව මෙම අර්බුදයේ බර වැඩකරන ජනතාව සහ ගම්බද දුගීන් මත පැටවීම සඳහා දැඩි කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමමින් සිටී.

එක්සත් ජනපදය හා යුරෝපීය බලවතුන් රුසියාවට එරෙහි යුද්ධය උත්සන්න කිරීම, මානව වර්ගයාගේ පැවැත්මට ම තර්ජනයක් වන, න්‍යෂ්ටික බලයන්ගෙන් සන්නද්ධ වූ ජාතීන් අතර තුන්වන ලෝක යුද්ධයක තර්ජනය මතු කර ඇත. සමාජවාදී ප්‍රතිපත්තිවල පදනම මත, යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා හජාජාකහි අනෙකුත් ශාඛාවන් සමග සමීප සහයෝගීතාවයෙන් අපි සටන් වදිමු.

මෙම අරගලයට සම්බන්ධිතව, කප්පාදු පරාජය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට සහ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා වික්‍රමසිංහ තන්ත්‍රයට සහ සමස්තයක් ලෙස ධනේශ්වර ක්‍රමයට එරෙහිව සමාජවාදී ප්‍රතිපත්ති සඳහා අපි සටන් වදිමු. ආන්ඩුවේ ප්‍රතිපත්ති වලට විරුද්ධ බවට ව්‍යාජ ලෙස පෙනී සිටින නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම වැඩපිලිවෙලටම කැපවී වැඩකරන ජනතාවගේ වියදමින් ධනවාදය සුරැකීමට කටයුතු කරන අනෙකුත් සියලුම ධනපති පක්ෂවලට අපි විරුද්ධ වෙමු. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂ මෙම පක්ෂවල අන්ඩක් ලෙස සේවය කරයි.

තමිල් අරසු කච්චි, ප්‍රජාතන්ත්‍රවාදී දෙමල ජාතික සන්ධානය, දෙමල මක්කල් කූටනි සහ දෙමල ජාතික ජනතා පෙරමුන වැනි දෙමල ධනේශ්වරයේ පක්ෂ ද ඊට වෙනස් නොවේ. ඔවුන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට සහය දක්වන අතර බලය බෙදීම සඳහා කේවල් කිරීමේ දී දෙමල ප්‍රභූවේ වරප්‍රසාද ගැන පමනක් සැලකිලිමත් වේ. ඒවා සේවය කරන්නේ එක්සත් ජනපදය හා කලාපීය බලවතා වන ඉන්දියාව ඇතුලු අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අවශ්‍යතාවලට ය. මෙම පක්ෂවල ප්‍රතිගාමී දෙමල ජාතිකවාදී පිලිවෙත් ප්‍රතික්ෂේප කරන ලෙස සසප කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටී.

සිය අයිතීන් සඳහා සටන් කිරීම සඳහා ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සෑම වැඩපලකම, කම්හලක, වතුකරයේ, අසල්වැසි හා ගම්බද ප්‍රදේශවල කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා උද්ඝෝෂනය කරයි. ඉහත වැඩපිලිවෙලට සටන් කිරීම සඳහා එම ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින් මත පදනම්ව කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට සසප උද්ඝෝෂනය කරයි.

අපගේ රැස්වීමට සහභාගි වන ලෙසත් ඉහත වැඩපිලිවෙල පිලිබඳ සාකච්ඡාවට එකතු වන ලෙසත් අපි කම්කරුවන්ට, තරුනයින්ට, ගොවීන්ට සහ ධීවරයින්ට ආරාධනා කරන්නෙමු.

රැස්වීම් ස්ථානය: ඌරි ගම්මානය, කරෙයිනගර්

දිනය සහ වේලාව: පෙබරවාරි 19 ඉරිදා සවස 4 ට.

Loading