ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය - තුන්වන කොටස

3 -ජනතා විමුක්ති පෙරමුන හා පන්ති සටන

අප මේ සමග පලකිරීම ආරම්භ කර ඇත්තේ, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්‍රධාන ලේකම්ව සිටි කීර්ති බාලසූරිය (1948 -1987) විසින් 'ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය' යන මාතෘකාවෙන් ලියන ලද ලිපි මාලාවයි. මෙම ලිපි මාලාව ප්‍රථමයෙන්ම පල කෙරුනේ, එවක විකොස සතිපතා මධ්‍යම පුවත් පතවූ “කම්කරු පුවත්” 1970 අගෝස්තු අවසානයේ සිට නොවැම්බර් අවසානය දක්වා කලාප තුලය. පසුව එය පොතක් වශයෙන් මුද්‍රනය කෙරුනි. ලෝසවෙඅ හි පලකල කෘතියේ හැඳින්වීම පෙබරවාරි 19 දින පලකෙරුනි. කොටස් දහයකින් සමන්විත ලිපි මාලාවේ තුන්වන කොටස “ජනතා විමුක්ති පෙරමුන හා පන්ති සටන” යි. දෙවන කොටස 21 දින සහ පලවන කොටස 20 දින පලවිය.

ලිපි අනුපිලිවෙලින් කොටස් වශයෙන් පලකරමු.

***

3 -ජනතා විමුක්ති පෙරමුන හා පන්ති සටන

වර්තමාන සමාජය තුල එක ම විප්ලවවාදී පන්තිය කම්කරු පන්තිය බව ප්‍රතික්ෂේප කිරීම ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනයේ හරය ලෙස පවතී. මේ ප්‍රතික්ෂේප කිරීමත් සමග ම ජනතා විමුක්ති පෙරමුන මාක්ස්වාදී න්‍යාය මුලුමනින් ම ප්‍රතික්ෂේප කර දමයි.

කම්කරු පන්තිය තුල විප්ලවවාදී විඤ්ඤානය සඳහා සටන් වදිමින් විප්ලවවාදී පක්ෂය ගොඩ නගා ධනපති බලය පෙරලා දැමීම වෙනුවට, මධ්‍යම පන්තිකයන් පිරිසක් ගොනු කර විරෝධතා ව්‍යාපාරයක් තනා අධිරාජ්‍යවාදයට තර්ජනය කිරීම මගින් සමාජය තුල කිසි යම් ස්ථිරත්වයක් තබා ගත හැකි වෙතැයි ඔවුහු සිතති. මධ්‍යම පන්තික සමාජ තට්ටුවේ රැඩිකල් කොටස් ගොනු කර ඔවුන් ගොඩ නගන්නේ විප්ලවවාදී ව්‍යාපාරයක් නො ව විරෝධතා ව්‍යාපාරයකි.

ජනතා විමුක්ති පෙරමුන ප්‍රකාශ කරන රැඩිකලත්වය මධ්‍යම පන්තියේ රැඩිකලිත්වය බව පසු ගිය ලිපිවල අපි පෙන්වූයෙමු. මේ මධ්‍යම පන්තික රැඩිකලිත්වයට කම්කරු පන්තියෙන් ස්වාධීනව ධනේශ්වර ක්‍රමය පෙරලීමට කිසිදු හැකියාවක් නැත.

කම්කරු පන්තියෙන් ස්වාධීන වූ මධ්‍යම පන්තික රැඩිකලත්වය ගමන් කරන්නේ ධනවාදය පෙරලා දැමීමේ දිශාවට නො ව ධනේශ්වර ක්‍රමය තුල ම ඊනියා “සමාජ ස්ථිරත්වයක්” ඇති කිරීමේ දිශාවට ය.

1933 ජර්මානු මධ්‍යම පන්තිය තම රැඩිකලත්වය තුලින් ම ගොස් හිට්ලර්ගේ දුඹුරු කමිස ඇතුලට බැස, අවසන් වූයේ ජර්මනියේ “සමාජ ස්ථිරත්වය” තහවුරු කිරීමට කම්කරු පන්ති විප්ලවය වනසා දැමීමේ නග්න උපකරනයක් බවට පත් වීමෙනි.

විශේෂයෙන් ම කම්කරු පන්ති රැඩිකලිත්වයක පෙරලකුනු පහල වත් ම පවතින සමාජ ක්‍රමය පෙරලීමට නො ව පවතින සමාජ ක්‍රමය වෙත සිය විරුද්ධත්වය පල කිරීමට පෙරට ඇදෙන මධ්‍යම පන්තික රැඩිකලත්වය එබඳු විරෝධතා ප්‍රකාශන මගින් එක් අතකින් නිර්ධන පන්ති විප්ලවයත් අනෙක් අතින් ධනවාදය තමන්ට එල්ල කර ඇති තර්ජනයනුත් වලක්වා ගැනීමට යත්න දරයි.

කම්කරු පන්තියේ සටන් ධනවාදය පෙරලා දැමීමේ ප්‍රශ්නය මතු කරන විට ධනවාදයේ ඇතැම් “කරදරකාරී ලක්ෂනයන්ට” පමනක් විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා කම්කරු පන්තිය ඇද ගෙන යාමට මධ්‍යම පන්තික රැඩිකලිත්වය සූදානම් ය. එනමුත් මේ විරෝධතා බලපෑම්වලින් ඔබ්බට කම්කරු පන්තිය ගමන් කරනු දැකීමට අතිශයින් ම නොකැමති ඔවුහු කම්කරු පන්තිය ස්වාධීනව පෙරට ඒම වැලැක්වීමට කල හැකි සෑම දෙයක් ම කරති.

උදාහරනයක් ලෙස, ලෝකය පුරා ම සිටින මධ්‍යම පන්තිකයන් වියට්නාම් යුද්ධයට “විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට” එක පිම්මට දුව ගෙන එන ආකාරයත් යුද්ධය අවසන් කිරීමේ එක ම ආකාරය වන ඒ ඒ රටවල කම්කරු පන්තිය බලය පිහිටුවා ගැනීමට කරන සටනට පස්ස හරවා ගෙන හිඳීමෙන් පමනක් නො නැවතී, එය කඩාකප්පල් කරන්ට හැදීමත් පෙන්විය හැකි ය.

කම්කරු පන්තිය රාජ්‍ය බලය ඇල්ලීම කරා මෙහෙයවන්නේ නැතිව ඉහත කී ආකාරයේ විරෝධතා හා ගර්ජනා දැමීම මගින් තම අවශ්‍යතාවන්ට සරිලන සේ ධනේශ්වර ක්‍රමයත් ධනේශ්වර රාජ්‍යයත් වෙනස් කර ගත හැකි ය යන මධ්‍යම පන්තික මායාව ජනතා විමුක්ති පෙරමුන පුරා ම ඔඩු දිව ගොස් ඇත.

කම්කරු පන්තියේ විප්ලවය හා ධනේශ්වර ප්‍රතිවිප්ලවය යන දෙක ම මග හරවා ගැනීමට ඇති හොඳ ම ආයුධය “විරෝධතා ව්‍යාපාරය” යි යන මධ්‍යම පන්තික මායාවට හොඳ උදාහරනයක් හැටියට පසු ගිය මැතිවරන සමය තුල ජනතා විමුක්ති පෙරමුනේ ක්‍රියා කලාපය ගැන ඔවුන් ම කර ගෙන ඇති “විග්‍රහය” ඉදිරිපත් කල හැකි ය.

මැතිවරනය නො පවත්වා ඒකාධිපති වීමට යූඇන්පිය සම්පුර්නයෙන් ම සැලසුම් කර ගෙන සිටි බව කියන 1970 අගෝස්තු 1 වන දා ජනතා විමුක්ති පත්‍රය යූඇන්පීකාරයන් මේ සැලසුම වෙනස් කර මැතිවරනය පැවැත්වූයේ ජනතා විමුක්ති පෙරමුන්නේ තර්ජනය නිසා බව ප්‍රකාශ කරයි.

අධිරාජ්‍යවාදීන් ප්‍රමුඛ යූඇන්පිය විසින් කුමන්ත්‍රණය කළ ප්‍රතිවිප්ලවයට මුහුණ දීම සඳහා ජනතා සූදානමේ වැදගත්කම තේරුම් ගත් ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා ජනතාවට අවධාරණයෙන් ආයාචනා කළා. ජනතා විමුක්ති පෙරමුණ කළ මේ හෙළිදරව්වත් ජනතාවගේ සූදානමත් නිසා බියට පත් හත් හවුල තමන්ගේ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළ තාවකාලිකව කල් දමා තුන් හවුලට බලය පැවරුවා (1970 අගෝස්තු 1 වන දා ජනතා විමුක්ති පත්‍රයේ මැද පිටුවල ලිපිය, අවධාරනය ඈඳුනි).

යූඇන්පීකාරයන් පසු ගිය මැතිවරනය පැවැත්වූයේ ජනතා විමුක්ති පෙරමුනේ තර්ජනය නිසා ය යන මේ ගොන් කතාවට පිලිතුරු දීම කොහෙන් ආරම්භ කල යුතු ද යන්නත් ප්‍රශ්නයකි.

එහෙත් එය නිකම් ම පම්පෝරියක් නො වේ. ඔවුන්ගේ ඊනියා “විග්‍රහය” ලංකාවේ පන්තීන් අතර ඇත්තට ම පවතින සම්බන්ධය හා තුලනතාව විවෘත කිරීමක් පමනක් නො වේ. එය මධ්‍යම පන්තික ගෝසාකාරයන් පිරිසකට විප්ලවවාදී පන්තියක් වෙනුවට ආදේශ විය හැකි ය යන මායාව තොරොම්බල් කරන්නක් ද වෙයි.

පාර්ලිමේන්තු ආන්ඩු කඩා වැටීම, ඒකාධිපති ආන්ඩු ඒම හෝ යාම, හවුල් ආණ්ඩු පිහිටුවීම යනාදි මේ සියල්ලක් ම සිදු වන්නේ පන්ති සටන් තුලට අහසින් වැටී සිටින ඊනියා “උද්ඝෝෂකයන්” පිරිසකගේ “ක්‍රියාවන්” නිසා නො වේ. ඒවා පන්තීන් අතර සිදු වන අරගලයේ ප්‍රතිඵල මෙන් ම පන්තීන් අතර සම්බන්ධතාවේ ප්‍රකාශන ද වේ.

පාර්ලිමේන්තු “ප්‍රජාතන්ත්‍රවාදය” මෙන් ම ෆැසිස්ට්වාදී ඒකාධිපතිවාදය ද කම්කරු පන්තිය හා ධනේශ්වර පන්තිය අතර ඇති පන්ති තුලනය ප්‍රකාශයට පත් කරයි. ධනවාදයේ ගරා වැටීම සලකුනු වී ඇති මේ කාලයේ දී, කම්කරු පන්තියට පසු ගිය කාලය තුල ම දෙන ලද දේශපාලන හා ආර්ථික සහනයන් ආපසු උදුරා ගැනීමට ධනේශ්වරය තල්ලු වෙද්දී ඔවුන් ගමන් කරන්නේ තමන්ගේ නග්න ඒකාධිපතිත්වය පිහිටුවීමේ දිශාවට ය.

එහෙත් මේ දිශාවට ධනේශ්වරය ගන්නා පියවර සුමටව විනීතව කිසි ම බාධාවක් නැතිව ගත හැකි ඒවා නො වේ. ව්‍යවස්ථානුකූලව පීඩිත පන්තීන් සතුව ඇති යම් යම් නිදහස, ධනේශ්වර පන්තිය පීඩිත කොටස්වලට දානයක් හැටියට පිරිනැමූ දෙයක් නොවන නිසා ම, ඒ නිදහස පීඩිත පන්තීන් තම සටන් තුලින් අත් කර ගත් දෑ වන නිසා ම ධනේශ්වරයට මේ නිදහස උදුරා ගත හැක්කේ අරගලයක් තුලිනි. ධනේශ්වර පන්තියට පීඩිත ජනතාව භුක්ති විඳින නිදහස උදුරා ගත හැකි ද, නැද්ද යන්න තීන්දු වන්නේ ධනපති පන්තිය හා කම්කරු පන්තිය අතර ඇති බල තුලනතාවෙනි.

1965 දී ලංකාවේ බලයට පත් යූඇන්පී ආන්ඩුව පීඩිත පන්තීන් සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරා ගැනීමට, එනිසා ම ඒකාධිපති වීමට යත්න දැරූ බව සත්‍යයකි.

ඔවුන්ට එසේ යත්න දරන්ට තත්වයක් හැදුනේ ඉන් පෙර 1964 පැවති ඉල්ලීම් 21 දැවැන්ත කම්කරු ව්‍යාපාරය සමසමාජවාදී හා ස්ටැලින්වාදී නායකයන් විසින් පාවා දී, දුර්වල කර, භේද කර දමා තිබුනු බැවිනි.

1964 මුල් භාගයේ දී ලංකා වෙලඳ සේවක සංගමය වරායේ ගෙන ගිය පරිමානයෙන් කුඩා සටන කැඩීමට සිරිමා බන්ඩාරනායකට නොහැකි වූ අතර 1967 පෞද්ගලික අංශයේ කම්කරුවන් ගෙන ගිය පරිමානයෙන් දැවැන්ත සටන කැඩීමට ඩඩ්ලි සේනානායකට හැකි වූයේ කම්කරු පන්තිය හා ධනේශ්වර පන්තිය අතර පැවති සම්බන්ධය කම්කරු පන්තියට අවාසි වන අයුරින් වමේ නායකයන් විසින් ('64 හවුල් ආන් ඩුව හැදීමෙන්) වෙනස් කර දමන ලද බැවිනි.

1966, 67, 68, 69, 70 යන අවුරුදුවල ලංකාවේ ඇති වූ සෑම ප්‍රධාන ස්ටයික් සටනකට ම රාජ්‍ය බලයෙන් තර්ජනය කරමින්, වෘත්තීය සමිති නිදහස උදුරා ගන්ට හදමින් යූඇන්පිය පෙරට එන විට, ඔවුන් ඒ පෙරට ආවේ කම්කරු පන්තියේ ඇටකටු මතින් ඒකාධිපතිත්වයක් හැදීමේ මාවතක බව කීම නිවැරදි කතාවකි.

එහෙත් මේ ගමන අවසානයකට ගෙන යාමට යූඇන්පියට බැරි වන්නේ ඇයි? වෘත්තීය සමිති නීති විරෝධී කර දැමීමට, වමේ දේශපාලන පක්ෂයන් නීති විරෝධී කර දැමීමට, සෑම විරෝධතා ව්‍යාපාරයක් ම නීති විරෝධී කර දැමීමට යූඇන්පියට නොහැකි වූයේ ඇයි? යූඇන්පිය ඒකාධිපති වීම යනු ඉහත කී කටයුතු ටික කිරීම යි. ඒ ටික කලා නම්, පාර්ලිමේන්තු මැතිවරන නොතිබ්බත් යූඇන්පියට තර්ජනය කරන්න කිසිවෙකුත් ඉතිරි වන්නේ නැත.

ඒ කටයුතු ටික ඉටු කිරීමට, එනම් ඒකාධිපති වීම සඳහා මූලික සැලැස්ම ලා ගැනීමට යූඇන්පියට නොහැකි වූයේ ජනතා විමුක්ති පෙරමුන නිසා ද? කවරෙකු හෝ එසේ කියනවා නම් ඔහු උන්මන්තකයෙකැයි නම් කිරීම ඉතා ම සුදුසු ය.

යූඇන්පිය ඒකාධිපති වීමට යත්න දැරුවේ යැයි කියා නැවතීම පසු ගිය කෙටි කාලයේ ලංකා ඉතිහාසය දෙස එක ඇහැකින් පමනක් බැලීමකි. යූඇන්පිය ඒකාධිපති වීමට උත්සාහ දැරුවා පමනක් නො වේ. ඒ සෑම උත්සාහයකට ම විරුද්ධව ප්‍රතිප්‍රහාරයක් ද දියත් වුනි. කම්කරු පන්තිය විසින් එල්ල කරන ලද මේ ප්‍රතිප්‍රහාරය කම්කරු පන්තියේ ඒකාධිපතිත්වය පිලිබඳ ප්‍රශ්නය ඒ සමග ම මතු කලේ ය.

ලංකාවේ කම්කරු ව්‍යාපාරය මුදුනේ සිටින සමසමාජවාදීන්ගේ හා ස්ටැලින්වාදීන්ගේ නිවටකම් හා ද්‍රෝහිකම් නො තකා ලංකාවේ කම්කරු පන්තිය යූඇන්පී ප්‍රහාරයන්ට විරුද්ධ පෙරට ගිය අතර, මේ පෙරට යාම යූඇන්පී බලය අඩාල කිරීමේ මට්ටම්වලට ද සේන්දු වුනි.

1968 රාජ්‍ය අංශයේ සටන කැඩීමට රාජ්‍ය බලය යෙදවෙන විට, ඒ ගැන විරුද්ධත්වය පල කරමින් සිරිමා බන්ඩාරනායක ජේ.ආර්. ජයවර්ධනට ලියූ ලිපියට පිලිතුර ලෙස ජේ.ආර්. ජයවර්ධන කල ප්‍රකාශය තුල ම “දේපලත්, රජයත් අනාරක්ෂිතව ඇතැ”යි යන කරුන සඳහන් වූ බව පමනක් අපි මෙහි දී මතක් කරමු.

වමේ නායකයන් කම්කරු පන්තිය සන්සුන් කිරීමට ගත් සෑම උත්සාහයක් ම නො තකා, පෙරට ඒමට කම්කරු පන්තියට තිබූ හැකියාව ධනපති පන්තියට හිතේ හැටියට නටන්ට ඉඩක් නැති බව ප්‍රකාශ කිරීමක් විය.

1969 තෙල් සංස්ථාවේ සටන කැඩීමට යූඇන්පිය රාජ්‍ය බලය යොදන විට, මේ බලයට විරුද්ධව සටන් කිරීමේ දැවැන්ත උනුසුමක් කම්කරු පන්තිය පුරා පැතිර ගිය අතර ජෙනරල් ස්ට්‍රයිකයක් ඇති වීමේ මුව විටට ම මේ රට තල්ලු වුනි. මේ ජෙනරල් ස්ට්‍රයිකය ඇති වීම වැලකුනේ යූඇන්පියේ ශක්තියක් නිසා නො ව, වමේ නායකයන් එය ඇති වන්ට ඉඩ නො දී පාවා දුන් නිසා ය.

1969 සමසමාජ සම්මේලන ලියවිලිවල “මැතිවරනයක් ලඟ එන නිසා පන්ති සටන් බලාපොරොත්තු විය නොහැක” යනුවෙන් සඳහන් වූ වමේ නායකයන්ගේ තක්සේරුව බිඳ ගෙන 1970 මුල දීත් වරායේ දීර්ඝ ස්ට්‍රයිකයක් ඇදුන අතර මේ කම්කරු ව්‍යාපාරය එන්න එන්න ම වමේ නායකයන්ගේ ග්‍රහනයෙන් පිටට පනින්ට හදන හැටි ලංකාවේ ධනේශ්වරය දැක තිබුනි.

1970 වරාය සටන වරායේ අනිල්ගේ හා පැන්ටිස්ගේ සමසමාජ සමිතිවලට පමනක් නො ව මුලු මහත් සමසමාජ පක්ෂයට ම මල බෙරය හැඬවී ය.

ජැක් කොතලාවල, විජේසුන්දර හා පර්සි වික්‍රමසිංහලා යූඇන්පියට පනිද්දී, සමසමාජ-කොමියුනිස්ට් නායකයන් යූඇන්පිය ඉදිරියේ වැඳ වැටීමේ ප්‍රතිපත්තියක් ගෙන යද්දී ඒ සියල්ල නො තකා පන්තිය තුලින් මතු වී ආවේ දැවැන්ත ව්‍යාපාරයකි.

වමේ නායකයන්ගේ පරිපූර්න ද්‍රෝහිකම් තිබිය දීත් යූඇන්පියට කම්කරු පන්තිය තලා දමන්ට, තීරනාත්මකව පරාජය කරන්ට බැරි විය. කම්කරු පන්තියේ පන්ති සංවිධාන තව මත් ජීවමාන සටන් සංවිධානයන් ලෙස පැවතුනි.

මෙන්න මේ තත්වය තුල, ලංකාවේ ධනේශ්වර පන්තියටත් ජාත්‍යන්තර අධිරාජ්‍යවාදයටත් පැවතියේ එක විකල්ප ක්‍රියා මාර්ගයක් පමනි. 1964 ඉල්ලීම් 21 සටනේ පාවා දීම මත ගොඩ නගන ලද තුන් හවුලට බලයට ඒමට ඉඩ හැර යූඇන්පියට විනාශ කල නොහැකි වූ කම්කරු පන්තිය මේ හවුල තුලින් දුර්වල කර, අධෛර්යයට පත් කර අතරමං කර දැමීමටත් ඒ තත්වය පාවිච්චි කර තම පන්ති ඒකාධිපතිත්වය තහවුරු කර ගැනීමටත් මාවත පාදා ගැනීම ඒ ක්‍රියා මාර්ගය යි.

පසු ගිය මැතිවරනයෙන් යූඇන්පිය දිනවීමට ලංකාවේ ධනපති පන්තියේත්, ජාත්‍යන්තර අධිරාජ්‍යවාදයේත් තීරනාත්මක කොටස් උත්සාහ නොදරුවා නො වේ. එනමුත් කම්කරු පන්තියත් දුගී ජනතාවත් තුල යූඇන්පියට විරුද්ධව නැගී ආ දැවැන්ත වෛරය තවත් ධනේශ්වර පක්ෂයක් වටා ගොනු වන්ට වමේ නායකයන් දොර හැර තිබූ තත්වය තුල ජාත්‍යන්තර අධිරාජ්‍යවාදයත් ලංකාවේ ධනේශ්වරයත් වර්තමාන ආන්ඩුවට සහාය දෙන්ට කිසි ම මැලිකමක් නැතිව පෙරට ආවේ ය. මෙය පෙන්නුම් කලේ ධනපති පන්තියට හා ජාත්‍යන්තර අධිරාජ්‍යවාදයට තම පන බේරා ගැනීම සඳහා වූ එක ම විකල්පය වමේ නායකයන් එක් කර ගත් හවුල් ආන්ඩුවක් හැදීම ය යන්න යි.

යූඇන්පියට විරුද්ධව නැගී ආ දැවැන්ත කම්කරු-ගොවි විරුද්ධත්වය කම්කරු-ගොවි ආන්ඩුවක් පිහිටුවීමේ එල්ලය කරා ගෙන යාමට සමත් විප්ලවවාදී පක්ෂයක් ලංකාව තුල නොතිබීම තවත් ධනේශ්වර හවුලක් තුලින් ධනේශ්වර පන්ති පාලනය තව දුරටත් පවත්වා ගෙන යාමට මග පෑදී ය.

යූඇන්පීකාරයන් ගිය මැතිවරනය පැවැත්වූයේත්, තුන් හවුල අතට බලය ගියේත් ජනතා විමුක්ති පෙරමුනේ ඊනියා “තර්ජනය” නිසා නො ව ඉහත විස්තර කල සංකීර්න පන්ති සම්බන්ධතාවන් නිසා ය.

ජනතා විමුක්ති පෙරමුන කරන්නේ මේ පන්ති විග්‍රහය පසෙක ලා, විප්ලවවාදී පන්තිය හා පන්ති සටන වෙනුවට තමන් හා තම විරෝධතා ක්‍රියාවන් ආදේශ කර ගැනීමකි.

මෙය මධ්‍යම පන්තිකයන්ගේ සාමාන්‍ය විධික්‍රමය වන අතර පන්ති අරගලයේ සමස්ත වර්ධනය ‌‌වෛෂයිකව ග්‍රහනය කර ගැනීම වෙනුවට, කම්කරු පන්තිය ධනවාදයට විරුද්ධව ගෙන යන සටන කේන්ද්‍ර කර ගෙන ප්‍රශ්නයන් දෙස බැලීම වෙනුවට, මධ්‍යම පන්තිකයන්ගේ ඔලු තුල ඇති අගතීන් හා මායාවන් තුලින් ප්‍රශ්නයන් දෙස බලන ආත්මීය විඤ්ඤානවාදී විධික්‍රමය මෙය යි.

දේශපාලන ක්‍රියාවකට බැසීමට පෙර, පන්ති බලවේගයනුත් ඒවා අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවනුත් සම්බන්ධව අතිශයින් ම වෛෂයික තක්සේරුවක් කර ගැනීමේ අවශ්‍යතාව තේරුම් ගැනීම ප්‍රතික්ෂේප කිරීම, නැත් නම් තේරුම් ගැනීමට බැරි වීම (ලෙනින්, එකතු කල කෘති, 31 වන වෙලුම, 33 පි.)

සුලු ධනේශ්වර විප්ලවීයවාදයේ මූලික ලක්ෂනයක් බව රුසියාවේ “සමාජ විප්ලවවාදී පක්ෂය” ගැන ලියමින් ලෙනින් කී ය.

ජනතා විමුක්ති පෙරමුනේ ඊනියා විග්‍රහය තුලත් අපට දකින්ට ඇත්තේ පන්ති බලවේගයනුත්, ඒවා අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවත් වෙෂයිකව තේරුම් ගැනීම ප්‍රතික්ෂේප කිරිමකි.

කම්කරු පන්තිය විප්ලවවාදී බලවේගය නො වෙතැයි ප්‍රතික්ෂේප කිරීම උමතු “විග්‍රහයන්” කරාත් ඒවායින් ම ගලා එන උමතු විරෝධතා ක්‍රියාවන් කරාත් ඔවුන් මෙහෙයවන අතර, මේ ක්‍රියාවන් අවසානයේ දී අසාර්ථකත්වයේ හා පරාජයේ ප්‍රපාතයට ජනතා විමුක්ති පෙරමුන ම ඇද දැමීමට තුඩු දෙනු ඇත.

සංවිධානාත්මකව, පන්ති විඤ්ඤානයෙන් යුතුව ගෙන යා යුතු පන්ති සටන වෙනුවට ආදේශකයක් ලෙස විරෝධතා ප්‍රකාශනය යෙදවිය හැකි ය යි සිතීම තුලින් කම්කරු පන්තියේ ක්‍රියා කලාපයත් විප්ලවවාදී විඤ්ඤානයේ, එනම් මාක්ස්වාදී න්‍යායේ ක්‍රියා කලාපයත්, එමගින් ම විප්ලවවාදී පක්ෂයේ ක්‍රියා කලාපයත් යට ගැසීමට හා නො තකා හැරීමට ජනතා විමුක්ති පෙරමුන යත්න දරයි.

ඔවුන් මේ පිස්සු විකාරයක් කරන්නේ මාක්ස්වාදී නායකත්වය නැතිව කම්කරු පන්තියට පන්ති සටනෙන් ජය ගත නොහැකි බව සිය වසකටත් වඩා වැඩි කාලයක් තිස්සේ කම්කරු පන්තිය ගෙන ගිය සෑම අරගලයකින් ම සනාථව තිබිය දී ය. මධ්‍යම පන්තික විඤ්ඤානවාදීන්ට ඒ අරගල, ඒ අත්දැකීම් පලක් නැත. ඉතා මත් ම නරුම ම වර්ගයේ න්‍යාය විරෝධී කම මධ්‍යම පන්තික විප්ලවීයවාදීන්ගේ ප්‍රධාන ලක්ෂනයකි. මේ න්‍යය විරෝධීකම ජනතා විමුක්ති පෙරමුනේ ලියවිල්ලක් ලියවිල්ලක් පාසා ම, කතාවක් කතාවක් පාසා ම, ක්‍රියාවක් ක්‍රියාවක් පාසා ම අඛන්ඩව දිව යයි.

කම්කරු පන්ති සටනට පිටු පා, ඊට පිටින් විරෝධතා ක්‍රියාවන් ඇති කිරීමෙන් ධනපති පන්තිය දන ගැස්විය හැකි ය යන මිථ්‍යාව, පසු ගිය සමයේ ජාත්‍යන්තර පන්ති අරගලය තුල කුඩු පට්ටම් වී ඇත්තේ කෙසේ ද යන්න සංයුක්තව විස්තර කිරීම ජනතා විමුක්ති පෙරමුනේ සටන් ක්‍රමයේ පරිපූර්න බංකොලොත් බව පෙන්වීම සඳහා අත්‍යවශ්‍ය වේ.

ඊට පෙර, ජනතා විමුක්ති පත්‍රයෙන් අප උපුටා දැක්වූ පාඨයේ ගැබ්ව ඇති දේශපාලනය ගැන විග්‍රහය අවසානයකට ගෙන යා යුතු ය.

ජනතා විමුක්ති පත්‍රයට අනුව, ජනතා විමුක්ති පෙරමුනට බිහිසුනු කඩි කුලප්පුවක් හැදී ඇත්තේ යූඇන්පිය ඒකාධිපතිවාදී වීමේ භීතිය ඔවුන්ගේ සිත් තුලට කඩා වැදුනු විට ය. ඒ භීතිය ඇති වන්ට පෙර ජනතා විමුක්ති පෙරමුන කලේ කුමක් ද?

යූඇන්පිය ඒකාධිපති වීමට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමට ගිය ජනතා විමුක්ති පෙරමුන වර්තමාන ධනපති ආන්ඩුව ඉදිරියේ අඳෝනා නැගීම දැන් කර ගෙන යන නිසා, ජනතා විමුක්ති පෙරමුන පවතින්නේ එක එක ආන්ඩු ඒකාධිපති වීම නමැති නිශ්චිත විපරියාසය නැවැත්වීම සඳහා පමනක් ද යන ප්‍රශ්නය අපට ඔවුන්ගෙන් ඇසීමට සිදු වේ. යම් ධනපති ආන්ඩුවක් ඒකාධිපති වීමට උත්සාහ දරන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුනට සිතෙයි නම් ඔවුන් ඒ ධනපති ආන්ඩුවට විරුද්ධ නැද්ද? වර්තමාන හවුල් ආන්ඩුව ඉදිරියේ ජනතා විමුක්ති පෙරමුන දනින් වැටීම අපට ඒත්තු ගන්වන්නේ ඔවුන් විරුද්ධ වන්නේ කිසිවෙකු ඒකාධිපති වීමට පමනි යන්න යි. යම් ආන්ඩුවක් ඒකාධිපති වීමට සැරසෙයි නම්, වහා ම පෙරට පැන “ඒකාධිපති නො වනු!” යැයි ගෝට්ටි කිරීම ජනතා විමුක්ති පෙරමුනේ අරගල ක්‍රමය බව මේ දේවල්වලින් අපට පැහැදිලි වේ. මෙය මධ්‍යම පන්තියට හැදෙන කඩි ගායක් විය හැකි ය. එනමුත් එය පන්ති සටන නම් නො වේ.

ධනවාදය විසින් මේ මධ්‍යම පන්තිකයන්ගේ “පංගුවට” අත නො තබා කරනු ලබන වෙන ඕනෑ ම ක්‍රියාවක් උසුලා සිටින්ට මධ්‍යම පන්තියට හැකි ය. ඔවුන් විරුද්ධ වන්නේ ධනවාදය තුල ඔවුන් දකින ඇතැම් “කරදරකාරී ලක්ෂනයන්ට” පමනි. මේ මධ්‍යම පන්තික දේශපාලනය ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය යි.

මේ දේශපාලනය කම්කරු සටන්වලට විරුද්ධව යන ආකාරය අපි දැන් පෙන්වමු.

1966 වතුකරයේත්, 1967 පෞද්ගලික අංශයේත්, 1969 සංස්ථා අංශයේත් ස්ට්‍රයික් සටන් තුලින් කම්කරු පන්තිය පෙරට විත් යූඇන්පිය සමග ගැටෙන විට, මේ සටන්වලට එරෙහිව රාජ්‍යයේ බලය යෙදවෙන විට ජනතා විමුක්ති පෙරමුනේ කෙරුම්කාරයන් කලේ මොකක් ද? උන්නේ කොහේ ද?

ඒ දිනවල දී විරෝධතාවක් පල කිරීමට තරම් වත් දෙයක් ජනතා විමුක්ති පෙරමුනට දැක ගන්ට තිබෙන්නේ නැද්ද? යූඇන්පිය ඒකාධිපති වීමේ භීතිය එවිට දැනුනේ නැද්ද?

රාජ්‍ය අංශයේ සටන මැද දී “රාජ්‍යය හා දේපල අනාරක්ෂිත බව” ජේ.ආර්. ජයවර්ධන කියන විට, කම්කරු පන්තිය තුල ස්ටැලින්වාදීන්ගේ හා සමසමාජවාදීන්ගේ ප්‍රතිවිප්ලවවාදී ග්‍රහනය පමනක් ධනේශ්වරයට විරුද්ධව දැවැන්ත විප්ලවවාදී සටනක් ගෙන යාමට බාධකයක්ව පවතින විට කම්කරු පන්තියට පෙරට යාමේ මාවත පෙන්වීමට, විප්ලවවාදී මාවත පෙන්වීමට ජනතා විමුක්ති පෙරමුන කලේ මොකක් ද? මොකුත් නැත.

සමසමාජ-කොමියුනිස්ට් නායකයන් මේ සටන් පාවා දීමට දරුනු අරගලයක් ගෙන යද්දී, ධනේශ්වර රාජ්‍ය බලයට එරෙහිව කරන දැනුවත් දේශපාලන සටනක් බවට මේ සටන් පරිවර්තනය කිරිමට විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සටන් කරද්දී, ජනතා විමුක්ති පෙරමුන මේ සටන්වලින් කට්ටි පැන සිටියා පමනක් නො වේ. 1968 නොවැම්බර් අග දී පේරාදෙනි සරසවියේ අපේ සහෝදරවරුන්ගේ මූලිකත්වයෙන්, රජයට විරුද්ධව කම්කරු පන්තිය සමග එක් වීමේ ස්ට්‍රයිකයකට ශිෂ්‍යයන් යද්දී එයත් කඩාකප්පල් කර දැමීමට ජනතා විමුක්ති පෙරමුනේ සගයෝ අසාර්ථක ප්‍රයත්නයක් දැරූහ.

කම්කරු පන්තිය මේ සටන් තුලින් පෙරට ඇදෙන විට ඒවා “කැඳ කෝප්ප සටන්” ලෙස හෙලා දැකීමට ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ ඇතැමුන් පෙරට ආ ආකාරය, ඒ දිනවල දී අප ව්‍යාපාරය අත්දැක්කේ ය.

ජනතා විමුක්ති පෙරමුන්නේ මධ්‍යම පන්තිකයන් මේ සටන්වල කිසි ම වැදගත්කමක් නොදුටු අතර, ඒවා හෙලා දැකීමෙන් හා ඒවාට පිටුපා සිටීමෙන් පෙන්වූයේ, මධ්‍යම පන්තිකයන්ගේ “පංගුවට” පහර වැදෙතැයි යන බිය නිසා ඔවුන් තුල ඇති වූ කුම්මැහි සෙවලකම යි.

මේ මධ්‍යම පන්තික සෙවලකම ආවරනය කර ගැනීමට, කම්කරු පන්තියේ සටන් “ආර්ථික ප්‍රශ්නවලට පමනක්” සීමා වී තිබීම ගැන කම්කරු පන්තියට විරුද්ධත්වය පල කරමින්, දේශපාලන අරගලය කම්කරු පන්තියට “පිටින්” සංවිධානය කිරීමට ජනතා විමුක්ති පෙරමුනේ කෙරුම්කාරයෝ වනගත වූහ.

සෑම ස්ට්‍රයිකයක් ම විප්ලවයේ බීජය අන්තර්ගත කර ගනිතැයි කියන විට, මෙය වටහා ගැනීමට නොහැකි තැනැත්තා සමාජවාදියෙකු නො වෙතැයි කියන විට එය හරි ය. ඔව්, සෑම ට්‍රයිකයක් පසුපසින් ම සමාජවාදී විප්ලවය ඇදී එයි (ලෙනින්, එකතු කල කෘති, 27 වන වෙලුම, 95 පි.)

යනුවෙන් බෝල්ෂෙවික් පක්ෂයේ හත් වන සම්මේලනයට ලෙනින් කී ය.

ලෙනින්ගේ මිම්ම අනුව ජනතා විමුක්ති පෙරමුන කුමක් ද යන්න ඒ පාඨය තුලින් ම තේරුම් ගත හැකි ය.

ඔව්, ජනතා විමුක්ති පෙරමුනේ මහත්වරුනි! ඔබ විරෝධය පල කලේ යූඇන්පිය ඒකාධිපති වීමේ තර්ජනයට පමනක් නො වේ. කම්කරු පන්තියේ සෑම ස්ට්‍රයිකයකට ම පිටුපා සිටීමෙන්, ඒවායින් පැන යාමෙන් හා ඒවාට අවලාද නැගීමෙන් යනාදි මේ සියල්ලන් ම ඔබ ඒවා “පසුපසින් ඇදී ආ සමාජවාදී විප්ලවයට” ද විරෝධය පල කලහු ය.

අපට නම් මෙහි පුදුම වීමට කිසි ම දෙයක් නැත. නිර්ධන පන්ති විප්ලවයත් ධනේශ්වර ප්‍රතිවිප්ලවයත් මුහුනට මුහුන ලා ගැටීමේ තත්වය සැකසී ගෙන යන මේ කාලයේ දී, සන්ත්‍රාසයෙන් තැති ගැන්වී බියෙන් තුෂ්නම්භත වී ඇති මධ්‍යම පන්තිය ඒ අතට හා මේ අතට විරෝධය පාමින් හිස හැරුනු අතේ දිවීම මධ්‍යම පන්තියට හිමි ලක්ෂනයක් මිස ජනතා විමුක්ති පෙරමුනට පමනක් සීමා වූ ලෙඩක් නො වේ.

සමාජයේ තමන්ගේ අවාසියට සිදු වන ඕනෑ ම පරිවර්තනයකට විරුද්ධ වීමේ දී ධනපති ආන්ඩු ඒකාධිපති වීමට (ධනපති ආන්ඩුවලට නො වේ) විරුද්ධ වීමට මධ්‍යම පන්තියට සිදු වනවාක් මෙන් ම කම්කරු පන්තිය තම ඒකාධිපතිත්වය ගොඩ නැගීමේ දිශාවට ගන්නා සෑම පියවරකට මත් විරුද්ධ වන්ටත් ඔවුන්ට සිදු වේ.

දැන් යූඇන්පිය ඒකාධිපති වීම ඔවුන් විසින් වලක්වන ලදැයි යන කියමනේ ඇත්ත අර්ථය අපට තේරුම් ගත හැකි ය. ඔවුන්ගේ අතිපන්ඩිත විශ්චූර්නිකා ටික පසෙකට දැමූ විට ඔවුන් කියන්ට හදන දෙය සරල සිංහලෙන් මෙසේ ලිවිය හැකි ය:

යූඇන්පිය පෙරලා දැමීමට, පෙරලා දමා කම්කරු-ගොවි ආන්ඩුවක් හැදීමට අප කල දෙයක් නැත. අපට එවැන්නක් කිරීමට අවශ්‍යව තිබුනේත් නැත. එය අපේ අරමුනත් නො වේ. පසු ගිය ස්ට්‍රයික් සටන්වල දී අප කට්ටි පැන සිටියේ ඒ නිසා ය. ඒත් යූඇන්පිය ඒකාධිපති වීම නම් අපට කිසි සේත් ම ඉවසිය නොහැකි ය. ඒ බියෙන් තැති ගත් අපි ගෙවල් ගානේ ගොස් යූඇන්පී කුමන්ත්‍රනය එලි කලෙමු; විරෝධතාවන් සංවිධානය කලෙමු. යූඇන්පිය ඒකාධිපති නූනේ අප නිසා ම බව අපි කියමු. යූඇන්පිය ඒකාධිපති නූනේ අප නිසා නො වේ නම් වෙන කවුරුන් නිසා දැයි අපට හිතා ගත නොහැකි ය.

ඔවුන්ගේ කෙරුවාව එබඳු ය. යූඇන්පියට විරුද්ධව පන්ති සටන මුවහත් කිරීමට, මේ පන්ති සටන දැනුවත්ව හා සංවිධානාත්මකව ගෙන යාමේ උපකරනය වන විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂය ගොඩ නැගීමට ඔවුන් කල කිසිවක් හෝ නැත. ඒ වෙනුවට කම්කරු පන්තියට පිටින්, සන්නද්ධ විරෝධතා කැරලි ඇති කිරීමට ගෝට්ටියක් ගෙන ගිය මේ මිනිසුන් ම දැන් කරන වැඩ ටික මොවුන්ගේ දේශපාලනයට නො කල හැකි දෙයක් නැති බව කියා පායි.

පන්ති සටන ගෙන යන, සමාජය තුල ඇති ඇත්ත විප්ලවවාදී පන්තියෙන් හුදෙකලා වූ පසු, ධනේශ්වර ආන්ඩු ඉදිරියේ තර්ජන දැමීම හා වැඳ වැටීම යන දෙවර්ගයේ ම ක්‍රියාවන්ට තල්ලු වී යාම ඒ හුදෙකලා බවේ ම තර්කානුකූල ඵලය යි.

ලංකාවේ කම්කරු පන්තිය වර්තමාන ධනපති ආන්ඩුවට විරුද්ධව අරගලය දියත් කිරීමට සූදානම් වෙමින් යන මේ කාලයේ දී ජනතා විමුක්ති පෙරමුන කරන්නේ කම්කරු පන්තියෙන් හුදෙකලා වී, ධනපති ආන් ඩුව ඉදිරිපිට බිම දන ගසා ගෙන යාච්ඤා කිරීම යි.

දැනට මාස කීපයකට පෙර සන්නද්ධ කැරලි තුලින් හෝ යූඇන්පිය එලවා දැමීමට සූදානම්ව සිටි මේ පෙරමුන, ඔවුන්ගේ සූදානම නිසා ම යූඇන්පිය තුන් හවුලට බලය පැවරි යැයි (!) සිතා ගෙන සිටින මේ පෙරමුන, දැන් කම්කරු පන්තියේ සෑම සටනකින් ම තනි වී කොන් වී තුන් හවුල් ආන්ඩුව ලඟ දනින් වැටී රාජ්‍ය යන්ත්‍රය ජනතාවට දෙන ලෙස අයැද සිටී!

මධ්‍යම පන්තියේ විරෝධතා දේශපාලනය කුමක් ද යන්න තේරුම් කිරීමට මීට වඩා හොඳ උදාහරනයක් සොයා ගැනීම අපහසු ය. සන්නද්ධ කැරලි තුලින් ධනපති රාජ්‍යයට බලපෑම් දැමීමත්, දනින් වැටී අඳෝනා නගමින් ධනපති රාජ්‍යයට බලපෑම් දැමීමත් එක ම බලපෑම් දැමීමේ දේශපාලනයේ අන්ත දෙක යි.

පන්ති සටන දැනුවත්ව හා සංවිධානාත්මකව ගෙන යාමට විප්ලවවාදී පක්ෂයක් කරන සටනේ සම්පූර්න අනෙක් පැන්ත මෙය යි.

කැරලිකාරී උද්ගතය හා නිවට නියාලු අදෝනා නැගීම යන මේ දෙක අතර ඒ අතට හා මේ අතට පැද්දීම විප්ලවය හා ප්‍රතිවිප්ලවය එකිනෙකට ගැටීමට පදනම හැදී ගෙන යන කාලයක පන්ති සටනට භීතව උමතු වූ මධ්‍යම පන්තිකයන්ගේ ස්වභාවය යි.

වාමාංශික කොමියුනිස්ට්වාදය ලදරු වලිප්පුවකි යන පොතෙහි පහත සඳහන් වැකිවලින් ලෙනින් විස්තර කලේ මෙන්න මේ සුලු ධනේශ්වර විප්ලවීයවාදයේ හැටි ස්වභාවය යි.

බෝල්ෂෙවික්වාදය හැඩ ගැසී වර්ධනය වූයේත්, ශක්තිමත් වූයේත්, අරාජකවාදයේ හඬ නංවන, නැති නම් එයින් යමක් උපුටා ගත්, නිර්ධන පන්ති අරගලයේ තත්වයන්ට හා අවශ්‍යතාවන්ට සියලු ම මූලික ප්‍රශ්නයන්හි දී නොගැලපෙන්නා වූ සුලු ධනේශ්වර විප්ලවීයවාදයට විරුද්ධව දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද අරගලය තුලිනි. ධනේශ්වර ක්‍රමය තුල සෑම විට ම පීඩනයට පත්ව සිටින, තම ජීවන තත්වයන් තියුනු ලෙස හා වේගවත් ලෙස කඩා වැටීමෙන් දුක් විඳින පමනක් නො ව විනාශය කරා ද යන සුලු දේපල හිමියා හා සුලු ස්වාමියා වඩා පහසුවෙන් විප්ලවවාදී අන්තයන් කරා යනු ඇතත්, ධෛර්යය, සංවිධානය, විනය හා දැඩි බව තබා ගැනීමට හැකියාවක් නැත්තවුන් වෙති යි යන්න මාක්ස්වාදී න්‍යය විසින් තහවුරු කරනු ලැබ ඇත. එමෙන් ම සියලු ම යුරෝපා විප්ලවයන් සහ විප්ලවවාදී ව්‍යාපාරයන්ගේ අත්දැකීම් තුලින් ඒ බව තහවුරු වී ඇත. ධනවාදයේ භයානකකම්වලින් පිස්සු වට්ටන ලද මධ්‍යම පන්තිය සියලු ම ධනේශ්වර රටවල සමාජය තුල, අරාජකවාදය මෙන් ම පොදුවේ විද්‍යමාන වෙයි. මේ විප්ලවවාදයේ ඇති අස්ථිරත්වය, මුඩු-ශුන්‍යත්වය, වහා ම යටත් වීමේ දිශාවට එහි ඇති නැමියාව, උදාසීන බව, විකාර සහගත බව හා එක් වර්ගයක හෝ තව වර්ගයක ධනේශ්වර කෝලම්වලට උමතුවෙන් මෙන් මෝහනය වීම යන මේ සියල්ල පොදුවේ කවුරුත් දන්නා දේ ය (ලෙනින්, එකතු කල කෘති, 31 වන වෙලුම, 32 පි.).

Loading