කියුබානු විප්ලවය සහ 1963 මූලධර්ම විරහිත පැබ්ලෝවාදී යලි එකමුතුවට එස්එල්එල් දැක්වූ විරුද්ධත්වය

2023 ජූලි 30 හා අගෝස්තු 4 අතර, සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) පැවැත්වූ ජාත්‍යන්තර ගිම්හාන පාසලට බ්‍රසීලියානු සමාජවාදී සමානතා කන්ඩායමේ (ජීඑස්අයි) නායක සාමාජිකයෙකු වන තෝමස් කැස්ටන්හයිරා පහත දේශනය පැවැත්වී ය.

ලියොන් ට්‍රොට්ස්කි සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ හා සමාජවාදී විප්ලවයේ යුගයේ සමාජවාදය සඳහා අරගලය යන මැයෙන්, සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික සභාපති හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් පැවැත්වූ ආරම්භක දේශනය 2023 අගෝස්තු 24 දින ද, හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික සහ දේශපාලන පදනම් යන මැයෙන්, ක්ලාරා වයිස් සහ ජොහැන්නස් ස්ටර්න් විසින් පැවැත් වූ දෙවන දේශනය 2023 සැප්තැම්බර් 23 දින ද, පැබ්ලෝවාදී සංශෝධනවාදයේ සම්භවයන්, හතරවන ජාත්‍යන්තරය තුල භේදය සහ ජාත්‍යන්තර කමිටුව පිහිටුවීම යන මැයෙන් සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් විසින් පැවැත් වූ තෙවන දේශනය 2023 ඔක්තෝබර් 03 වන දින ද, පලවිය.

හැඳින්වීම

සහෝදරවරුනි, සමාජවාදී කම්කරු පක්ෂය (සකප) ලතින් ඇමරිකාවේ හා ආසියාවේ එහි ආධාරකරුවන් කැටුව, පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය සමග පැවැත්වූ කුප්‍රකට යලි එකමුතුවීමේ සම්මේලනයේ සිට වසර 60ක් ගතවීම පසුගිය ජුනි මාසයේ සලකුනු විය.

ධනවාදය අහෝසි කිරීමේ දී ජාත්‍යන්තර කම්කරු පන්තිය ඉටු කරන, සුවිශේෂී හා අනෙකෙකුට පැවරිය නො හැකි භූමිකාව මත පදනම් වූ හතරවන ජාත්‍යන්තරයේ ක්‍රියා මාර්ගය පෙරලා දැමීමට කැප වූ ජාත්‍යන්තර සුලු-ධනේශ්වර සන්ධානයක්, එම එකතුවීම හරහා ස්ථාපිත කරන ලද එක්සත් ලේකම් මන්ඩලය විසින් නියෝජනය කලේ ය.

ෆිදෙල් කස්ත්‍රෝ නායකත්වය දුන් කියුබාවේ සුලු-ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරයක් බලයට පත්වීමත් සමග, “ලෝක විප්ලවයෙහි ඉතිහාසයේ නව යුගයක්” උදා වී ඇතැයි, භ්‍රෂ්ටයන්ගේ එම සම්මේලනයෙහි යෝජනාව ප්‍රකාශ කලේ ය. විජිත රටවල් හා ධනවාදයේ ප්‍රධාන මධ්‍යස්ථාන යන දෙක තුල ම, “ජාත්‍යන්තර කස්ත්‍රෝවාදී ධාරාව ශක්තිමත් කරමින් පොහොසත් කිරීමට” උදවු කරන දාස භූමිකාවක් එය ට්‍රොට්ස්කිවාදයට පැවරී ය.(1)

ප්‍රන්ස ශාඛාව වූ ජාත්‍යන්තර කොමියුනිස්ට් සංවිධානයේ (ඕසීඅයි) සහයෝගය සහිත ව, ජෙරී හීලි හා සමාජවාදී කම්කරු ලීගයේ (එස්එල්එල්) නායකත්වය යටතේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් ගත් මූලධර්මාත්මක ආස්ථානය, හතරවන ජාත්‍යන්තරය සදාකාලික ව විසුරුවා හැරීමට ගත් මෙම ප්‍රයත්නය ව්‍යර්ථ කලේ ය.

ජෙරී හීලි

1961 හා 1963 අතර එස්එල්එල් දියත් කල අරගලය, සුවිශේෂී ජාත්‍යන්තර හා ඓතිහාසික දේශපාලන ධාරාවක් ලෙස ට්‍රොට්ස්කිවාදයේ නොනැසී පැවත්ම සුරක්ෂිත කලේ ය. එය මාක්ස්වාදී ව්‍යාපාරයෙහි ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ අවස්ථාවලින් එකකි.

1953 භේදයෙන් පසු ස්ටැලින්වාදයේ අර්බුදය

1953න් පසුව, පැබ්ලෝවාදයට එරෙහි අරගලය තුල ඉස්මතු වුනු දේශපාලනික මතභේදවල තීරනාත්මක ස්වභාවය, ජාත්‍යන්තර පන්ති අරගලයේ ප්‍රධාන වර්ධනයන් විසින් සනාථ කලේ ය. විශේෂයෙන් ම, ස්ටැලින්වාදී නිලධරයේ පාලනයට විරුද්ධ ව, සෝවියට් සංගමය සහ නැගෙනහිර යුරෝපීය රටවල් තුල මහජන අරගල පුපුරා ගියේ ය.

1956 නොවැම්බරයේ දී සෝවියට් ආන්ඩුව විසින් ම්ලේච්ඡ ලෙස මර්දනය කරන ලද එම අරගල හංගේරියානු විප්ලවය තුල කූටප්‍රාප්තියට පත්විය. පැබ්ලෝවාදයේ සංශෝධනයන්ට එරෙහි ව, හජාජාක විසින් ආරක්ෂා කරන ලද, ට්‍රොට්ස්කිවාදී දේශපාලන විප්ලවයේ ක්‍රියා මාර්ගය, එම වර්ධනය විසින් බලගතු ලෙස සනාථ කරනු ලැබීය.

1956. -1956 දී සෝවියට් ආන්ඩුව හංගේරියානු විප්ලවය ම්ලේච්ඡ ලෙස මර්දනය කලේ ය.

එම අත්දැකීමෙන් තීරනාත්මක පාඩම් උකහාගත් බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීහු, “දේශපාලන විප්ලවයේ ස්වයං-සිද්ධ වර්ධනයට එය ඉහල මට්ටමක් කරා ගෙන යා හැකි වුව ද.... යථා ජීවිතය තුල දේශපාලන විප්ලවයේ පලමු උදාහරනයන් විසින් සවිඥානික නායකත්වයක නිරපේක්ෂ අවශ්‍යතාව ද අවධාරනය කර ඇත” යි නිගමනය කල හ. (2).

මහජන පීඩනය යටතේ නිලධරයේ වමට හැරීම් පිලිබඳ ව පැබ්ලෝවාදීන් විසින් පෝෂනය කල මායාවන්ට කල හැක්කේ, කම්කරු පන්තිය නිරායුධ කරමින් නව ලේවැකි පරාජයන් සූදානම් කිරීම පමනක් බව, බුඩාපෙස්ට්හි සංහාරය ඔප්පු කලේ ය. එහෙත් පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය එලඹුනේ ඊට ප්‍රතිවිරුද්ධ නිගමනයන් වෙතය.

සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයෙහි 20 වන සම්මේලනයත් සමග, 1956 මුල් කාලය තුල කම්කරු පන්තියේ ප්‍රතිප්‍රහාරය යටතේ ස්ටැලින්වාදයේ වැඩෙන අර්බුදය පෙරට පැමින තිබුනි. නිකිතා කෘෂෙව් කල “රහස් කතාව” තුල දී ස්ටැලින් අපරාධකරුවෙකු ලෙස හඳුනාගැනීම මංමුලා සහගත නිලධරය එය මුහුන දුන් දැවැන්ත විරුද්ධත්වය තනි පුද්ගලයෙකු වෙත හරවා යැවීමට ගනු ලැබූ උත්සාහයකි.

ස්ටැලින් අපරාධකරුවෙකු ලෙස හඳුනාගනිමින්, 1956 දී නිකිතා කෘෂෙව් ඔහුගේ “රහස් කතාව” පවත්වයි.


පැබ්ලෝවාදීන් මෙම වර්ධනයන් දැකගත්තේ නිලධරයේ සාමකාමී ස්වයං-ප්‍රතිසංස්කරනයක් සහ එම නිලධරය ඇතුලත කම්කරු පන්තියේ අවශ්‍යතා නියෝජනය කරන ප්‍රවනතාවන්ගේ වර්ධනය පිලිබඳ තමන්ගේ අනාවැකි සාක්ෂාත්වීමක් ලෙසයි.

1956 අර්බුදයෙහි සාරභූත අර්ථභාරය වූයේ, “හතරවැනි ජාත්‍යන්තරය සහ පිරිහී ගිය ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය අතර ලෝක බලවේගවල සබඳතාවේ ප්‍රගාඪ වෙනසක්, එම අර්බුදය මගින් පෙර ඇඟවීම” බව ඩේවිඩ් නෝර්ත් ලීවේ ය. ඔහු තවදුරටත් මෙසේ සඳහන් කලේ ය:

1957 ජනවාරියේ දී ලේබර් රිවීව් ප්‍රකාශ කර තිබුනු පරිදි, “මහා අයිස් යුගය” අවසානයකට පැමින තිබුනි. කම්කරු පන්ති නායකත්වයෙහි ඓතිහාසික අර්බුදය විසඳීමට වාසි සහගත වූ වෛෂයික කොන්දේසි දැන් ඉස්මතු වෙමින් පැවතුනි. (3)

හජාජාක ඇතුලත ඉස්මතු වෙමින් පැවති මතභේද

දේශපාලන තත්ත්වයෙහි එම ප්‍රධාන වෙනස්කමට ප්‍රතිචාර දැක්වීමේ දී, හජාජාක තුලමත් තීරනාත්මක මතභේද ඉස්මතු වෙමින් පැවති බව පැහැදිලි විය.

ස්ටැලින්වාදයට එරෙහි ට්‍රොට්ස්කිවාදයේ සනාථ වෙමින් පැවති අරගලයෙහි ඉතිහාසය හා ස්වභාවය පැහැදිලි කිරීම සඳහා, ජෙරී හීලිගේ නායකත්වය යටතේ හජාජාක බ්‍රිතාන්‍ය ශාඛාව කම්කරු පන්තිය, තරුනයන් හා බුද්ධිමතුන් අතර බැරෑරුම් දේශපාලන ප්‍රතිප්‍රහාරයක් ආරම්භ කලේ ය.

නෝර්ත් ලියූ පරිදි:

ස්ටැලින්වාදයේ අර්බුදයට බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන් කල මැදිහත් වීමෙහි බලය ගලා ආවේ පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහි අරගලයෙන් අත්පත් කර ගැනුනු පැහැදිලිකමෙනි. නිශ්චිතව ම බ්‍රිතාන්‍ය ශාඛාව ස්ටැලින්වාදය සමග සම්මුති ගැසීම ද එයට යටත් වීම ද ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හීලිට ස්ටැලින්වාදී පාක්ෂිකයන් අතර... වැදගත් ජයග්‍රහන අත්පත් කර ගත හැකි විය. (4)

මෙම උද්ඝෝෂනයේ ප්‍රතිඵලයක් ලෙස, කම්කරු පන්තිය සමග නව හා ඉහල සබඳතාවක් ඇතිකර ගනිමින්, බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීහු බ්‍රිතාන්‍යය තුල බලගතු දේශපාලන ප්‍රවනතාවක් ලෙස ඉස්මතු වූ හ. මෙම ජයග්‍රහන 1959 දී සමාජවාදී කම්කරු ලීගය ආරම්භ කිරීමේ රූපාකාරය ගත්තේ ය.

එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂය (සකප) විසින් ගනු ලැබුවේ මීට සම්පූර්නයෙන් ම වෙනස් ආකල්පයකි. හංගේරියානු විප්ලවය සහ කෘෂෙව්ගේ කතාව සම්බන්ධ සකපයේ විශ්ලේෂනයට, පැබ්ලෝවාදයට එරෙහි එහි ජාත්‍යන්තර අරගලයෙන් උරුම වූ මූලධර්මාත්මක ස්වභාවයක් තිබූ නමුදු 1953 පටන් එය වර්ධනය කර තිබුනු වඩ වඩා අවස්ථාවාදී පිලිවෙත් සමගින් එම ආස්ථානය ඍජු ගැටුමකට එලඹුනේ ය.

නොර්ත් මෙසේ සඳහන් කලේ ය:

“දිග්ගැස්සුනු ආර්ථික උත්පාතය, කම්කරු ව්‍යාපාරයෙහි අක්‍රියාශීලීභාවය, වෘත්තීය සමිති මත නිලධරයේ ග්‍රහනය, ප්‍රතිකොමියුනිස්ට්වාදී හිස්ටීරියාවෙහි කල් පවත්නා ප්‍රතිවිපාක, සමාජවාදී කම්කරු පක්ෂයේ කේඩරය මත දැවැන්ත පීඩනයන් යොදවා තිබුනි”. (5)

බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන්ට විපරීත ව, ස්ටැලින්වාදයේ අර්බුදයට සකපයේ ප්‍රතිචාරය වූයේ, “යලි කන්ඩායම්ගත වීමේ” පිලිවෙතක් අනුගමනය කරමින් ඇමරිකානු මධ්‍යම පන්තික රැඩිකල්වාදයේ විෂකුරු වාතාවරනය තුලට පක්ෂය දියකර හැරීමට නැඹුරුවීමයි.

බංකොලොත් ස්ටැලින්වාදයෙන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වෙන් කරන දේශපාලනික මූලධර්මයන් යලි තහවුරු කරනු වෙනුවට, ස්ටැලින්වාදී නිලධරයේ විස්සෝපයට පත් කොටස් වද්දාගැනීම සඳහා එම මතභේද සමහන් කිරීමට සකප උත්සාහ කලේ ය.

1957: යලි එකමුතුව දෙසට සකපයේ ගමන

ජාත්‍යන්තර කමිටුව සහ ජාත්‍යන්තර ලේකම් මන්ඩලය අතර “යලි එකමුතුවක්” සඳහා එම අවස්ථාවේ ඉස්මතු වූ යෝජනාවල සාරභූත අර්ථභාරය නෝර්ත් මෙසේ සංශ්ලේෂනය කලේ ය:

“1956න් ඉක්බිති ව පැබ්ලෝවාදීන්ගේ ප්‍රයත්නයන් දිශාගත කෙරුනේ, මිලිටරි සාම්‍යයක් යොදාගන්නේ නම්, පුනර්ජීවනය වූ ට්‍රොට්ස්කිවාදී හමුදාවන්ගේ ප්‍රහාරයක තර්ජනයට එරෙහි ව, දුර්වල වූ නිලධරයන් සතු, වැටලීමට ලක්වූ හමුදාවන්ගේ ශක්තිය වර්ධනය කිරීම වෙත යි. 1956 අර්බුදයට පැබ්ලෝවාදීන් ප්‍රතිචාර දැක්වූයේ, යලි එකමුතු වීමේ (එනම් 1953 භේදය අවසන් කිරීමේ) වහන්තරාවට මුවා වී ජාත්‍යන්තර කමිටුව භේද කිරීමට උත්සාහ දරමිනි”. (6)

හංගේරියාව හා සෝවියට් සංගමය සම්බන්ධයෙන් සකප ආරම්භයේ දී අනුගමනය කරන ලද ආස්ථානවලට, පැබ්ලෝවාදීන් සමග කිසිදු කන්ඩායම්ගතවීමක් සාධාරනීකරනය කල හැකි වූයේ නැත. එහෙත් එම පිලිවෙත දෙසට එහි යොමු වීම, “එක්සත් ජනපදය ඇතුලත හතුරු පන්ති බලවේගයන්ගේ පීඩනයන්ට සකපය යටත් වීමේ ඓන්ද්‍රීය ප්‍රකාශනය විය.”[7]

1957 මාර්තුවේ දී, හජාජාක තම සහෝදරවරුන්ගෙන් අදහස් නොවිමසා, “සියලු රටවල ට්‍රොට්ස්කිවාදී බලවේග වහා ම එක්සත් කිරීම” සඳහා ශ්‍රී ලංකාවේ ලංකා සම සමාජ පක්ෂය (ලසසප) කල ඉල්ලීම පිලිගනිමින්, සකප ජාතික සභාපති ජේම්ස් පි කැනන්, ලසසප මාධ්‍යමිකයන්ට ලිපියක් ලීවීය. දේශපාලන මතභේද පසෙකට දමා “පොදු දේශපාලන ක්‍රියා” [8] සඳහා සුවපහසු එකඟතාවක් සොයා ගැනීමට කැනන්ට පැවති අභිලාෂයන් විසින්, එම පියවරෙහි මූලධර්ම විරහිත පදනම් පැහැදිලි කරනු ලැබී ය.

ජේම්ස් පී. කැනන්

පැබ්ලෝවාදීන් සමග යලි එකමුතුව සම්බන්ධයෙන්, ඊට පසු අවුරුදුවල දී බ්‍රිතාන්‍යය හා සකප අතර වර්ධනය වූ සාකච්ඡාවන් හි දේශපාලනික පසුබිම සැකසුනේ කැනන්ගේ අවස්ථාවාදී උපාමාරුවලට හීලි දැක්වූ ප්‍රතිචාරය විසිනි.

1957 මැයි මස කැනන් වෙත ලියූ ලිපිය තුල දී හීලි, එවන් යෝජනාවලින් පැබ්ලෝවාදීන් සමග 'පවතින ඉතා ගැඹුරු දේශපාලන මතභේද' ජයගත නොහැකි බව පවසමින්, සංවිධානාත්මක ප්‍රශ්නවලින් අවධාරනය මාරු කලේ ය.

ඒ වෙනුවට, 1953 දී ආරම්භ කරන ලද අරගලය වර්ධනය කිරීමේ අවශ්‍යතාව හීලි අවධාරනය කලේ ය. ඔහු මෙසේ ලිවී ය: “වර්තමාන කාලපරිච්ඡේදයේ දී අපගේ කේඩරය ශක්තිමත් කිරීම තීරනාත්මක වන අතර, මෙය කල හැක්කේ සංශෝධනවාදය වටා වන ගැටලු පිලිබඳ ගැඹුරට දිවෙන අධ්‍යාපනයක් තුලින් පමනි.” ඔහුගේ ලිපිය මෙසේ අවසන් කෙරුනි: “සාරභූත පැහැදිලිකම මකා දමන කිසිවකට බ්‍රිතාන්‍ය ශාඛාව කිසිදින එකඟ වන්නේ නැත.” (9)

1958 ලීඩ්ස් සම්මේලනය

1958 ජුනි මාසයේ දී ලීඩ්ස්හි පවත්වන ලද හජාජාක සම්මේලනයක දී පැබ්ලෝවාදයට එරෙහි හජාජාක අරගලයේ මූලධර්ම යලි තහවුරු කරමින් ලෝක තත්ත්වය තුල නව වර්ධනයන් විශ්ලේෂනය කලේ ය.

ස්ටැලින්වාදයේ අර්බුදයට පිලිතුරු දෙමින්, “නිලධාරිවාදී යාන්ත්‍රනයේ ප්‍රතිසංස්කරනය සඳහා බලකරමින් නායකත්වය පිලිබඳ ප්‍රශ්නය මහජන පීඩනය හරහා විසඳනු ලැබිය හැකිය යන සියලු සංකල්පයන්” හජාජාක විසින් ප්‍රතික්ෂේප කරන බව සම්මේලනයේ යෝජනාවේ සඳහන් කෙරුනි.[10]

නිලධාරී තන්ත්‍රයන්ගෙන් බිඳී වෙන්වන ප්‍රවනතා සමග ක්‍රියාවේ දී එකමුතුව පිලිගන්නා අතර ම, එය “ස්ටැලින්වාදයට, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට, වෘත්තීය සමිති නිලධරයට සහ විජිත හා අර්ධ-විජිත රටවල් තුල ජාතික ව්‍යාපාරවල ධනේශ්වර හා සුලු-ධනේශ්වර නායකත්වයන්ට එරෙහි දෘෂ්ටිවාදාත්මක ප්‍රහාරයක් සමග බද්ධ කල යුතු” බව (11) ඉල්ලා සිටියේ ය.

ලෝක විප්ලවයේ කේන්ද්‍රය විජිත රටවලට මාරුවීම පිලිබඳ ව පැබ්ලෝවාදීන් විසින් වර්ධනය කරමින් සිටි සංකල්පය ද යෝජනාව විසින් ප්‍රතික්ෂේප කලේ ය. එය මෙසේ ප්‍රකාශ කලේ ය: “ප්‍රධාන රටවල් තුල ජයග්‍රහනය ලබන තෙක් ලෝක විප්ලවයට තීරනාත්මක ඉදිරි පිම්මක් ගත නො හැක”. “ප්‍රධාන රටවල කම්කරුවන්ගේ ප්‍රතිප්‍රහාරය මගින් නව කූටයන් කරා ඉදිරියට යාමට විජිත විප්ලවයට උත්තේජනය සපයනු ඇත” යි එය වැඩිදුරටත් සඳහන් කලේ ය. (12)

සමාජවාදී කම්කරු පක්ෂයේ නායකත්වය සම්මේලනයේ නිගමන ප්‍රතික්ෂේප කලේ ය. පැබ්ලෝවාදීන් සමග යලි එකමුතුවීමේ ඔවුන්ගේ අවස්ථාවාදී සංකල්පය අනාවරනය කරමින්, “සාරභූත දේශපාලනික එකඟතාවක් පවතින සිද්ධීන් විසින්, දීර්ඝ කාලයකට පෙර ඉක්මවා ගොස් ඇති 1953 ප්‍රශ්න වටා සාකච්ඡාව” යලිපනගැන්වීම ගැන (13) ඔවුහු සම්මේලනයේ ලේඛන හෙලාදුටුවෝ ය.

ලීඩ්ස් ලේඛනවලට නහුවෙල් මොරේනෝගේ විරුද්ධත්වය

ආජන්ටිනියානු ශාඛාවේ නාමයෙන් ලීඩ්ස් සම්මේලනයට සහභාගි වූ දේශපාලන නායකයෙකු වූ නහුවෙල් මොරේනෝ ද මෙම ලේඛන හෙලාදුටුවේ ය. කියුබානු විප්ලවය සම්බන්ධයෙන් ඉක්මනින් ම ඉස්මතු වූ සමහර තීරනාත්මක ප්‍රශ්න මොරේනෝගේ ප්‍රතිපදානයන් තුල පෙර ඇඟවී තිබුනි. ලතින් ඇමරිකාව තුල පැවතුනු පන්ති පීඩනයන් හෙලිදරවු කල එම ප්‍රතිපදාන, පැබ්ලෝවාදීන් සමග යලි එකමුතුවීමේ පිලිවෙත සඳහා එහි ශාඛාවල් අතර සහයෝගී පදනම සම්පාදනය කලේ ය.

නහුවෙල් මොරේනෝ (ඡායරූපය: කර්තෘ අඥාතයි) [Photo: Unknown author]

නහුවෙල් මොරේනෝ (ඡායරූපය: කර්තෘ අඥාතයි)

සම්මේලනයේ දී මොරේනෝගේ ප්‍රධාන යෝජනාව වූයේ, යුගය සඳහා “සම්පූර්න නව මූලෝපායක්” මත පදනම් ව, ඔහු “විප්ලවවාදී එක්සත් පෙරමුනු” යනුවෙන් හැඳින්වූ සංවිධාන තුලට සෑම ජාතික ශාඛාවක් ම දියකර දැමිය යුතු බව යි. පැබ්ලෝවාදය සාරය කරගත් මෙම ක්‍රියා මාර්ගය පහත දැක්වෙන සංවාක්‍යයන් මත පදනම් කරන ලදී:

යාන්ත්‍රනයෙහි අර්බුදය අවිඥානික විප්ලවවාදී ප්‍රවනතා මුදා හරී... එහි ඉස්මතු වීමට ගැඹුරු වෛෂයික අර්ථයක් තිබේ: එය වනාහි මහජන ව්‍යාපාරයේ නව විප්ලවවාදී නායකත්වයක ආරම්භය යි...

කම්කරු ව්‍යාපාරය තුලත් සමස්ත ලෝකයෙහි විජිතවාසී මහජනයා අතරත් දැනට පවත්නා වූත් ඉදිරියටත් පවතිනු ඇත්තා වූත් අවිඥානික විප්ලවවාදී ප්‍රවනතාවන් ක්ෂනික ව හෝ ස්වයංක්‍රීයව හතරවන ජාත්‍යන්තරය තුලට අනුබද්ධ කරනු ලැබිය යුතු යයි කීම මනෝරාජ්‍යයකි. (14)

“අප ක්‍රියාකාරී වන රටෙහි, කලාපයෙහි හෝ වෘත්තීය සමිතියක හෝ බුද්ධිමතුන් කන්ඩායමක අතිශය හදිසි විප්ලවවාදී අවශ්‍යතා” ඉෂ්ට කිරීම සඳහා වගකිව යුතු වනු ඇත්තේ, පක්ෂය නො ව මෙම “අවිඥානික විප්ලවවාදී ප්‍රවනතාවන් ය.”

පෙරලා ආජන්ටිනාවට පැමිනීමෙන් පසු, 1959 ජනවාරියේ, අනෙකුත් ලතින් ඇමරිකානු ශාඛාවන්ට ඉදිරිපත් කල වාර්තාවක් තුල, ලීඩ්ස් සම්මේලනයෙහි ඉදිරි දර්ශන සමග ඔහුගේ නො එකඟතා වාර්තා කිරීමට මොරේනෝ ක්‍රියා කලේ ය. “පශ්චාත් යුද්ධ නොනවතින විප්ලවය” යන මාතෘකාවෙන් යුතු වූ එම වාර්තාව, ලීඩ්ස් යෝජනාවේ පහත දැක්වෙන ඡේදයට “සම්පූර්න විරුද්ධත්වය” ප්‍රකාශ කලේ ය.

විජිත හා අර්ධ-විජිත රටවල් තුල අපගේ කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ, විප්ලවවාදී නිර්ධන පන්තික පක්ෂ ගොඩනැගීම යි. මහජනතාවගේ නිර්ධන පන්තික නායකත්වය ස්ථාපිත කිරීමේ ඉලක්කය ඇතිව, නොනවතින විප්ලව න්‍යායෙන් සන්නද්ධ වන මෙම පක්ෂ අධිරාජ්‍ය-විරෝධී එක්සත් පෙරමුනුවලට සහභාගි වනු ඇත. ධනේශ්වරයේ හෝ සුලු-ධනේශ්වරයේ සීමිත ඉලක්කයන්ට සමාජ විප්ලවයේ ක්‍රියා මාර්ගය යටත් කිරීමේ සියලු සංකල්ප අපි ප්‍රතික්ෂේප කරමු. (15)

මෙම සූත්‍රගත කිරීම සමග මොරේනෝගේ නො එකඟතාව ප්‍රභවය ලැබුවේ, නොනවතින විප්ලව න්‍යායයට ඔහු දැක්වූ පරිපූර්න විරුද්ධත්වයෙනි. එය යාවත්කාලීන කිරීමේ මුවාවෙන්, ඓතිහාසික සංවර්ධනය පිලිබඳ මුලුමනින් ම වෙනස් සංකල්පයක් ඔහු ඉදිරිපත් කලේ ය:

විජිත හා අර්ධ-විජිත රටවල් තුල පමනක්, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සහ සමාජවාදී විප්ලවය පූර්වයෙන් ඒකාබද්ධ ව සමීප ව බැඳී තිබුනි. එහෙත්, අද දින අප දැකගන්නේ, ප්‍රධාන රටවල් තුල කම්කරු විප්ලවයේ හදවත ඇතුලත මත්, ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය පලමුවන මට්ටමේ භූමිකාවක් ඉටු කරන බව හා එය කම්කරු විප්ලවයට සමීප ව බැඳී තිබෙන බව යි. මෙයට හොඳ ම උදාහරනය වන්නේ උතුරු ඇමරිකාවේ නීග්‍රෝවරුන්ගේ ගැටලුව හා ප්‍රන්සය තුල ඇල්ජීරියානුවන්ගේ ගැටලුව යි. ... එංගලන්තය මෙයට ව්‍යතිරේකයක් නො වන අතර, එය ද වසර දෙක තුනක් ඇතුලත ප්‍රන්සයේ හා උතුරු ඇමරිකාවේ පිය සටහන් අනුගමනය කරනු ඇත; එංගලන්තය තුල අපට සිය ආර්ථික අර්බුදය සමගින් අධිරාජ්‍යවාදය විසින් ඍජු ව හෝ වක්‍ර ව ඉදිරිපත් කරනු ලබන වාර්ගික ගැටලුව තිබෙනු ඇත. (16)

කියුබානු විප්ලවය සහ සකප මාක්ස්වාදය ප්‍රතික්ෂේප කිරීම

සිය අවස්ථාවාදී භාවිතාවට හා පැබ්ලෝවාදීන් සමග යලි එකමුතුව කරා ධාවනයට ගැලපෙන පරිදි, සිය ක්‍රියා මාර්ගය සම්පූර්නයෙන් සංශෝධනය කිරීමට සමාජවාදී කම්කරු පක්ෂය (සකප) සොයාගත් නාලිකාව වූයේ කියුබානු විප්ලවය යි.

එම ක්‍රියාදාමයෙහි ගමන් මාවතේ දී, සකපයේ නායක න්‍යායඥයා ලෙස ජෝසෆ් හැන්සන්ට ඉස්මතු වීමට අවස්ථාව සැලසී ය. හජාජාක පසුව සොයාගත් පරිදි, හැන්සන් ජීපීයූවේ (සෝවියට් රුසියාවේ රහස් පොලීසිය-පරිවර්තක) හා ඉක්බිතිව එෆ්බීඅයිහි (ඇමරිකාවේ දේශීය බුද්ධි සහ ආරක්ෂක සේවය-පරිවර්තක) ඒජන්තයෙක් ලෙස ක්‍රියා කලේ ය. ඔහු, හතුරු පන්ති බලවේගවල දැනුවත් ඒජන්තයින් විසින් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විනිවිදීමේ කායික ප්‍රකාශනයක් විය.

එහෙත්, දේශපාලනික අධිකාරය කරා හැන්සන්ගේ ආරෝහනය වඩා ගැඹුරින් ප්‍රකාශයට පත් කලේ, අධිරාජ්‍යවාදයේ හදවත තුල සුලු-ධනේශ්වරයේ දෘෂ්ටිවාදාත්මක පීඩනයන්ට සකපයේ යටත්වීම යි. එක්සත් ජනපදය තුල සමාජවාදී විප්ලවය සිදු කිරීමේ ඉදිරි දර්ශනය අතහැර දැමූ හා සිය අවස්ථාවාදී ගමන්මග අනුගමනය කිරීම සඳහා මාක්ස්වාදයේ ග්‍රහනයෙන් බිඳී නිදහස් වීමේ අවශ්‍යතාව එයට දැනුනු විට, එම කාර්යයට ගැලපෙන මිනිසා වූයේ හැන්සන් ය.

ෆිදෙල් කස්ත්‍රෝ නායකත්වය දුන් ජූලි 26 ව්‍යාපාරය විසින් 1959 දී බැටිස්ටාගේ ආඥාදායකත්වය පෙරලා දැමීම, යුද්ධයෙන් ඉක්බිති ව ඉස්මතු වුනු සමස්ත අධිරාජ්‍ය-විරෝධී අරගල හා විප්ලව මාලාවක කොටසක් විය. සකපය ආරම්භයේ දී එය ධනේශ්වර ජාතිකවාදී පාලන තන්ත්‍රයක් යයි විලක්ෂනය කර තිබුන ද 1960 දී එය එහි ආස්ථානය සම්පූර්නයෙන් වෙනස් කලේ ය.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අනම්‍ය විධානයන් විසින් පීඩනයට යටත් කරන ලද කස්ත්‍රොගේ පාලන තන්ත්‍රය, ජනසතුකරනයන් මාලාවක් සිදු කරමින් සෝවියට් සංගමය සමග සබඳතා තහවුරු කරගත් විට, එය “කම්කරු රාජ්‍යයක්” ස්ථාපිත කර ඇති බව හා කියුබාව තුල සමාජවාදී විප්ලවයකට නායකත්වය දෙමින් සිටි බවට හැන්සන් කියාපෑවේ ය.

1966 දී කස්ත්‍රෝ ත්‍රෛ -මහාද්වීපික සම්මේලනය අමතමින්; මෙම දේශනය තුල ඔහු ට්‍රොට්ස්කිවාදය හෙලා දුටුවේය.


නව වෛෂයික කොන්දේසිවල දැවැන්ත බලපෑමෙහි ආනුභාවය යටතේ, “ධනේශ්වර-ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා මාර්ගයකින් වැඩ ආරම්භ කල සුලු-ධනේශ්වර නායකත්වය, ඔවුන්ගේ ම ක්‍රියා මාර්ගයේ රූපික තර්කනය වෙනුවට විප්ලවයේ අපෝහක තර්කනය අනුගමනය කරමින්, බටහිර අර්ධ-ගෝලයේ පලමු කම්කරු රාජ්‍යයක් ස්ථාපිත කරමින් හා සමස්ත ලතින් ඇමරිකාවට උදාහරනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අවසන් කලේ” යයි (17) සකප තර්ක කලේ ය.

මොරේනෝ මෙන් හැන්සන් කියාපෑවේ ද නොනවතින විප්ලව න්‍යාය සරල ව යාවත්කාලීන කරන බව යි. සමාජවාදී විප්ලවයේ අත්‍යවශ්‍යභාවයේ නිගමනය කරා, අවිඥානික සුලු-ධනේශ්වර කොටස්වල ස්වයංක්‍රීය වර්ධනය ට්‍රොට්ස්කිගේ න්‍යායෙහි සනාථ වීමක් බවට ඔහු තර්ක කලේ ය.

රුසියානු විප්ලවය විසින් ස්ථාපිත කරන ලද්දා වූ ද, ස්ටැලින්වාදීන්ගේ නායකත්වය යටතේ අවධි දෙකේ න්‍යායය සමග කල විනාශකාරී අත්හදාබැලීම් මගින් ඍනාත්මක ව තහවුරු කරන ලද්දා වූ ද නිගමනය වන අධිරාජ්‍යවාදී යුගය තුල සුලු-ධනේශ්වරයට හා ගොවි ජනයාට ස්වාධීන දේශපාලන භූමිකාවක් ඉටු කල නො හැකිය යන්න ප්‍රතික්ෂේප කිරීම එවන් සංශෝධනයන්ගේ අරමුන විය. පලමුව විජිත රටවලට දිශාගත කරන ලද එහි ස්වාභාවික නිගමනය වූයේ, දියුනු රටවල් තුල ද සුලු-ධනේශ්වරයට නායක භූමිකාවක් ඉටු කල හැකි බවයි.

කස්ත්‍රෝ, ගෙවාරා සහ ඔවුන්ගේ සහායකයන් තවමත් වර්ධනය වෙමින් සිටි දේශපාලනික කන්‍යාවියන් ලෙස සලකමින්, කියුබාව යනු ලෝකය තුල පවතින “එක ම දූෂිත නො වන කම්කරු පාලන තන්ත්‍රයය” යනුවෙන් ප්‍රකාශ කිරීම දක්වා හැන්සන් ඉදිරියට පැමිනියේ ය.

ධනවාදය පරාජය කරමින් සමාජයේ සමාජවාදී පරිවර්තනය ආරම්භ කල සිද්ධීන්ට සහජාශයෙන් ප්‍රතික්‍රියා දක්වමින් සහ කල්තබා සකස් කරගත් සැලසුමකින් තොර ව විප්ලවයක් ආරම්භ කලේ යයි කියාපාන මෙම ක්‍රියාවාදී මිනිසුන් උත්කර්ෂයට නැංවීම මගින් සකප ප්‍රකාශය ට පත් කලේ ලෙනින්වාදී පක්ෂය සහ හතරවන ජාත්‍යන්තරය ප්‍රයෝජනයක් නැති උපකරන බව යි.

කියුබාව “කම්කරු රාජ්‍යයක්” ලෙස ගුනාංගීකරනය කිරීමේ දේශපාලනික ගම්‍යයන්

කියුබානු පාලන තන්ත්‍රය කම්කරු රාජ්‍යයක් ලෙස සකප විසින් ගුනාංගීකරනය කිරීම මාක්ස්වාදී න්‍යාය සම්බන්ධයෙන් යෝධ ගම්‍යයන් දරා සිටියේ ය. අප රක්නා උරුමය කෘතිය තුල මේවා පරිස්සම් සහගත ව සලකා බලනු ලැබේ. නෝර්ත් මෙසේ ලියයි:

1939-1940 කාලපරිච්ඡේදයෙහි, සමාජවාදී කම්කරු පක්ෂය තුල, සෝවියට් රාජ්‍යයෙහි පන්ති ස්වභාවය පිලිබඳ සංග්‍රාමය කෙරීගෙන යද්දී, සෝවියට් සංගමය තවදුරටත් කම්කරු රාජ්‍යයක් හැටියට සැලකිය යුතු නොවන්නේය යන ඔවුන්ගේ යෝජිත සොයා ගැනීමෙන් උපුටා ගත යුතු වන මූලෝපායික හා ක්‍රියාමාර්ගික නිගමනයන් පැහැදිලිව ප්‍රකාශ කරන ලෙස ට්‍රොට්ස්කි බර්න්හැම්-ශැට්මන් සුලුතරයට සමච්චල් කලේ ය. එමගින් ඔහු, අරගලය හුදෙක් පාරිභාෂික ශබ්ද මාලාව සම්බන්ධිත සරල මතභේදයක් නො වේ ය යන කරුන පැහැදිලි කර දුන්නේ ය. එක්සත් සෝවියට් සමූහාන්ඩු සංගමය කම්කරු රාජ්‍යයකැයි හතරවන ජාත්‍යන්තරය කල නම් කිරීම සුලුතරය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම සියලුම මූලික ප්‍රශ්නවල දී ට්‍රොට්ස්කිවාදය හා පැවති ගැඹුරු මතභේදයන් සමග අවියෝජනීයව බැඳී පැවතුනි.

එමෙන් ම, කියුබාව පිලිබඳ ප්‍රශ්නය ද හුදෙක් පාරිභාෂික ශබ්ද මාලාව සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් නො වී ය. කියුබාව කම්කරු රාජ්‍යයක් ලෙස නිර්වචනය කිරීමේ දී එයින් මාක්ස්වාදී න්‍යාය හා හතරවන ජාත්‍යන්තරයේ ක්‍රියාමාර්ගය යන දෙක ම සම්බන්ධයෙන් කෙරුනු ඇඟවීම් පිලිබඳ ව මූලධර්මාත්මක පැහැදිලි කිරීමක් සූත්‍රගත කොට දැක්වීම මග හැර යාමට හැන්සන් මාන බැලුවේ ය. හැන්සන්, කස්ත්‍රෝගේ සුලු-ධනේශ්වර මාක්ස්වාදී නො වන නායකත්වය යටතේ ගොඩනැගෙනු ඇතැයි ඇඟවුම් කෙරෙන කම්කරු රාජ්‍යයෙන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය උපුටා ගත යුතු වන නිගමන කවරේදැයි නිශ්චිත ව ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කලේ ය. (18)

මෙම ගම්‍යයන් වූයේ මොනවා ද?

නිර්ධන පන්තිය එහි ආඥාදායකත්වය ක්‍රියාවට නැංවූ පන්ති පාලනයට අනන්‍ය වූ උපකරන නො පැවති කොන්දේසි යටතේ, ප්‍රධාන වසයෙන් ගොවිජනයා මත පදනම් වූ සහ කම්කරු පන්තිය සමග සැලකිය යුතු ඓතිහාසික, සංවිධානාත්මක හා දේශපාලනික සබඳතාවන්ගෙන් තොර වූ සුලු-ධනේශ්වර ගරිල්ලා නායකයන්ගේ ක්‍රියාවන් හරහා කම්කරු රාජ්‍යයක් ස්ථාපිත කල හැකි වී නම්, මාක්ස්වාදීන් විසින් පෙර දකින ලද දෙයින් සම්පූර්නයෙන් වෙනස් වූ, සමාජවාදය සඳහා ඓතිහාසික මාවතක් පිලිබඳ මුලුමනින් ම නව සංකල්පයක් ඉන් ගලා ආවේ ය.

කොමියුනය පිලිබඳ මාක්ස්ගේ ලේඛන සහ ධනේශ්වර නො වන පලමු රාජ්‍ය වර්ගය ලෙස නිර්ධන පන්තිය විසින් “සොයාගත්” රාජ්‍ය බලයේ නව රූපාකාරය ලෙස සෝවියට් බලයේ විශ්වීය අර්ථභාරය පිලිබඳ ලෙනින්ගේ තක්සේරුව එය විසින් වක්‍රාකාරයෙන් යල් පිනූ බවට පත් කලේ ය.

පීඩිත ගොවි ජනයා ඇතුලු අනෙකුත් සියලු පන්තීන්ගෙන් ස්වාධීන ව නිර්ධන පන්තිය සංවිධානය කිරීමටත්, විද්‍යාත්මක සමාජවාදී විඥානයෙන් කම්කරු ව්‍යාපාරය සන්තෘප්ත කිරීමටත් මාක්ස්වාදී පරම්පරාවන් දැරූ උත්සාහයන්ගේ අදාලත්වය බරපතල ලෙස අභියෝගයට ලක්කෙරෙමින් පැවතුනි. (19)

ලතින් ඇමරිකාව තුල දියකරහැරීම්වාදය

පැබ්ලෝවාදීන් සමග යලි එකමුතුව කරා ධාවනයේ දී, සකප විසින් වර්ධනය කරන ලද දියකරහැරීම්වාදී සංකල්ප, ලතින් ඇමරිකාව තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වර්ධනය සඳහා ක්ෂනික හා විනාශකාරී විපාක දරා සිටියේ ය.

“ඔවුන් නියෝජනය කරන සම්පූර්න විප්ලවීය-සමාජවාදී ක්‍රියා මාර්ගය ක්‍රියාත්මක කරනුවස්, ඔවුන්ට කීකරු ව, ඉවසිලිවන්ත ව හා විශ්වාසවන්ත ව වැඩ කල හැකි වන ඉක්මනින් ම බිහිකිරීමට නියමිත එක්සත් විප්ලවවාදී පක්ෂයට” කියුබාවේ ට්‍රොට්ස්කිවාදීන් මුලුමනින් ම යටත් විය යුතු යයි එය විධානය කලේ ය. (20)

කෙටි කාලයක් ඇතුලත, කියුබානු ට්‍රොට්ස්කිවාදීන්ගේ මුද්‍රනාලය අත්පත් කරගත් කස්ත්‍රෝ පාලනය, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය කෘතියෙහි කියුබානු සංස්කරනයක් සඳහා වූ යතුරු ලියවිල්ල විනාශකොට ඔවුන්ගේ නායක සාමාජිකයන් සිරගත කලේ ය.

එම සාපරාධී දේශපාලන දිශානතිය කලාපය පුරා විප්ලවවාදීන් වෙත විස්තීර්න කරමින්, සකපය 1962 දී ඉදිරිපත් කල යෝජනාව මෙසේ ප්‍රකාශ කලේ ය:

ලතින් ඇමරිකාව පුරා ට්‍රොට්ස්කිවාදීන්, ඔවුන්ගේ ම රටවල් තුල විප්ලවවාදී අරගල සඳහා ආරම්භක ලක්ෂ්‍යය ලෙස කියුබානු අත්දැකීම ගැනීමට සූදානම් වෙමින්, බලවේගවල සුවිශේෂී සම්භවයන් නො සලකා සියලු බලවේග එක්සත් කිරීමට උත්සාහ කල යුතු ය. (21)

මෙම උපදෙස් විනාශකාරී ප්‍රතිඵල සහිත ව රටවල් මාලාවක් තුල ම අනුගමනය කරනු ලැබිනි. මධ්‍යම පන්තික ප්‍රවනතාවන්ගේ එකතුවක් වූ විප්ලවවාදී වාමාංශික ව්‍යාපාරය (මීර්) තුලට, චිලී රටේ කම්කරු විප්ලවවාදී පක්ෂය (පීඕආර්) දියකර හැරීම සූදානම් කරමින්, 1961 දී සකප සිය ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් රිවීව් තුල පල කරන ලද යෝජනාවක් පීඕආර් විසින් අනුමත කලේ ය. එය මෙසේ කියා සිටියේ ය:

පැරනි මාධ්‍යමික සංවිධානවල අච්චුවෙන් බිඳෙන ව්‍යාපාර බිහි කිරීමට යොමු වෙමින් වර්ධනය වන මෙම සටන්කාමී ධාරාවන්, අවසන් විග්‍රහයේ දී, මුලුමනින්ම “කියුබානු” අත්දැකීම හරහා වැඩකටයුතු කරගෙනයාම ආවශ්‍යක කෙරෙන විප්ලවීය ධාරාවන් ශක්තිමත් කරයි.

ඉහත සඳහන් කල මාධ්‍යමික සංවිධාන අතර භේදයන් සිදු වෙද්දී, කියුබානු විප්ලවයෙහි බලපෑම විසින් විමුක්ත කරන ලද නව බලවේග විසින්, විවිධාකාර විප්ලවවාදී කන්ඩායම්, ස්වාධීන සටන්කාමී කොටස් සහ වාමාංශික ප්‍රවනතා යලි කාන්ඩගත කිරීමක් සඳහා මාවත විවර කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස, ට්‍රොට්ස්කිවාදීන්ගේ කර්තව්‍යය වන්නේ, මේ සියලු සටන්කාමී හා ප්‍රතිභාපූර්න විප්ලවවාදී ධාරාවන් දිරිමත් කිරීමට හා වර්ධනය කිරීමට කටයුතු කරන අතර ම, සෑම අධිරාජ්‍යවාද-විරෝධී බලමුලුගැන්වීමකට ම පිටුබලය දීම ය. (22)

ඉන් පසු වසරවල ඉස්මතු වූ, තීරනාත්මක විප්ලවවාදී තත්ත්වයේ දී, චිලී කම්කරු පන්තිය මාක්ස්වාදී නායකත්වයකින් තොර ව අතහැර දැමූ මෙම දියකරහැරීම්වාදී පියවර, 1973 දී තුරිරු පිනෝචේ ආඥාදායකත්වය විසින් බලය අල්ලාගෙන එය පරාජය කිරීමට දොර විවර කලේ ය.

ලතින් ඇමරිකාව සඳහා සකපයේ අවස්ථාවාදී ඉදිරි දර්ශන පිලිබඳ ව අදහස් දක්වමින්, මුලුමනින් ම දිරිසුන් වූ ජේම්ස් කැනන්, 1961 දී හැන්සන්ට මෙසේ ලීවේ ය:

විස්මය දනවන පරිදි, අපේම ලතින්-ඇමරිකානු සම-චින්තකයන්ගේ කට්ටිවාදී ප්‍රවනතා සමග පමනක් නො ව, ලතින්-ඇමරිකානු පැබ්ලෝවාදීන්ගේ සමග පවා, මෙම නිශ්චිත යෝජනා ගැටිය හැකි ය. එහෙත්, ඉතාමත් දුෂ්කර තත්වයන් යටතේ කියුබානු විප්ලවය අඛන්ඩව ආරක්ෂා කර ඇති සකප, ඉහත යෝජනා මත තමා ගන්නා ආස්ථානය පිලිබඳව කරන පැහැදිලි සහ නිශ්චිත ප්‍රකාශයක් සැලකිය යුතු අධිකාරියක් දැරිය යුතුය.

විය හැකි පරිදි, කඳවුරු දෙකේ ම ලතින්-ඇමරිකානු ට්‍රොට්ස්කිවාදීන් සමග වඩා හොඳ අදහස් විමසීමකට හා ඒකාබද්ධතාවකට එමගින් මාවත විවෘත කරනු ඇත. (23)

ඔහු ම හඳුනාගත් පරිදි, මේ වන විට කැනන් හා ඔහුගේ පක්ෂය, පැබ්ලෝවාදයේ ඉදිරි දර්ශන මුලුමනින් වැලඳගෙන තිබුනි. ඒ වනාහි, සමහර අවස්ථාවල දී, පැබ්ලෝවාදීන්ටත් වඩා ශක්තිමත් ලෙස ය.

ට්‍රොට්ස්කිවාදීහු ප්‍රහාරය එල්ල කරති

1961 මුල් කාලයේ, සාධර්මික ට්‍රොට්ස්කිවාදීන් යලි වතාවක් ආක්‍රමනශීලී ප්‍රහාරයකට යොමු කරමින්, සංශෝධනවාදයට එරෙහි අරගලය තුල එස්එල්එල් තීරනාත්මක පියවරක් ගත්තේ ය.

1961 ජනවාරියේ දී, සකප නායකත්වයට ලියූ එස්එල්එල්, 1953 භේදයේ අර්ථභාරය සංවිධානාත්මක ගැටලුවලට සිඳවීමට ඇමරිකානුවන් දැරූ උත්සාහය, තීරනාත්මක ලෙස ප්‍රතික්ෂේප කලේ ය. කැනන්ගේ “විවෘත ලිපියේ” මූලධර්මවලට තමන්ගේ කැපවීම සඳහන් කල බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීහු, තවමත් ඒ වෙනුවෙන් පෙනී සිටින්නේදැයි ඇමරිකානු නායකත්වයෙන් ඍජු ව විමසූහ.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මුහුන දෙන විප්ලවවාදී කර්තව්‍යයන්ගේ ආස්ථානය මත පැබ්ලෝවාදයෙහි අර්ථය සලකා බලමින් එස්එල්එල් මෙසේ ප්‍රකාශ කලේ ය:

ට්‍රොට්ස්කිවාදය ඉදිරියේ විවෘත වන අවස්ථාවන්ගේ විශාලත්වය නිසාත්, ඒ නිසා ම දේශපාලනික හා න්‍යායික පැහැදිලි කම සඳහා වන අවශ්‍යතාව හේතුවෙනුත්, අප වහා ම සියලු ආකාරවල සංශෝධනවාදයන්ට එරෙහි රේඛා ඇඳගැනීම අවශ්‍ය කරයි. පැබ්ලෝවාදී සංශෝධනවාදය ට්‍රොට්ස්කිවාදය ඇතුලත ධාරාවක් ලෙස සලකනු ලැබූ කාලපරිච්ඡේදය අවසානයකට ගෙන ආ යුතු කාලය එලඹ ඇත. (24)

1961 මැයි 8 දාතම දරන පසු විපරම් ලිපියක් තුල, කස්ත්‍රොගේ පාලන තන්ත්‍රය සම්බන්ධයෙන් වර්ධනය කරමින් තිබූ සංශෝධනවාදී ආස්ථානය එස්එල්එල් විසින් අභිමුඛ කලේය. “එක්සත් ජනපද පිලිවෙත කියුබාවේ ධනේශ්වර විප්ලවයට, ධනේශ්වර විප්ලවයක සාමාන්‍ය සමාජ පියවරවලින් ඔබ්බට යාමට බල කර ඇත්නම් ...සුවිශේෂී තත්ත්වයක මෙම ව්‍යතිරේකී ප්‍රතිඵලය” කම්කරු රාජ්‍යයක් පිලිබඳ අප ව්‍යාපාරයෙහි අර්ථ දැක්වීම කිසිදු ආකාරයකින් සංශෝධනය කිරීම සාධාරනය කලේ නැත” යයි එය ප්‍රකාශ කලේ ය.

ලිපිය තවදුරටත් මෙලෙස සඳහන් කලේ ය::

කස්ත්‍රෝ සහ ඔහුගේ කේඩරය “පරිවර්තනය” වුව ද එය විප්ලවය නිර්ධන පන්ති විප්ලවයක් බවට පත් කරන්නේ ද? ...කම්කරු පන්තියේ සවිඥානික සහයෝගයකින් තොර ව විප්ලවයට නායකත්වය දීමට බොල්ෂෙවික්වරු අසමසත් වූයේ නම්, කස්ත්‍රෝට මෙය කල හැකි ද? මෙයින් සැලකිය යුතු ලෙස වෙනස් ව, අප දේශපාලනික ප්‍රවනතා තක්සේරු කල යුත්තේ පන්ති පදනමකින්, දීර්ඝ කාලයක් තිස්සේ පන්ති ව්‍යාපාරවලට සම්බන්ධ අරගලය තුල ඒවා වර්ධනය වන ආකාරයෙනි. “ස්වාභාවික ව” හෝ “අහම්බයෙන්” කම්කරුවන්ගේ හා ගොවීන්ගේ වැදගත්කම ඉවෙන් මෙන් දැන ගන්නා, සුලු-ධනේශ්වර ජාතිකවාදීන්ගේ පරිවර්තනයෙන්, නිර්ධන පන්තික විප්ලවයක් පසෙක තැබුවත්, නිර්ධන පන්තික පක්ෂයක් වත් කිසිදු පසුගාමී රටක් තුල ප්‍රභවය ලබන්නේ නැත.

එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය යන දෙකේම ආධිපත්‍යධාරී අධිරාජ්‍යවාදී පිලිවෙත් සකසන්නෝ, මේ වර්ගයේ නායකයන්ට දේශපාලන “නිදහස” ප්‍රදානය කිරීමෙන් හෝ ෆාරුක් සහ නූරී-සයිද් වැනි වැඩවසම් පාලකයන් පරදවා ඔවුන් ලබන ජයග්‍රහනය පිලිගැනීමෙන් පමනක් ම, ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව තුල ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ හා මූලෝපායික සන්ධානවල අවශ්‍යතාව සුරක්ෂිත කර ගත හැකි බව ඉතා හොඳින් වටහා ගනිති. (25)

එස්එල්එල් මෙසේ නිගමනය කලේ ය: “ට්‍රොට්ස්කිවාදීන්ගේ කර්තව්‍ය වන්නේ එවන් ජාතිකවාදී නායකයන්ගේ භූමිකාවට අනුබල දීම නො වේ.”

දියකරහැරීම්වාදය දෙසට යොමුව තිබූ 'ආපසු-නොඑන' ගමනේ දී සකපයේ නායකත්වය ඒ වන විටත් එලැඹී තිබූ පරිදි, ඉහත වර්ගයේ පාරිභාෂිත පද ඔවුන්ට පැහැදිලි ව ම පිලිගත නො හැකි විය. නමුත්, ඒ වන විටත් පැහැදිලිව ඉස්මතු වී තිබූ, නව දේශපාලන බෙදීමේ ස්වභාවය පිලිබඳ ව ජාත්‍යන්තර ව්‍යාපාරයට පැහැදිලි කිරීම සඳහා, ඉවසිලිවන්ත අරගලයක් ගෙන යාමට බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීහු කැප වී සිටියහ.

ඊලඟ වසර දෙක පුරා අදහස් පිලිබඳ සටනේ දී, එස්එල්එල් සතුව වැදගත් වාසියක් තිබිනි. තම තර්ක-විතර්ක විරුද්ධවාදීන් බියවැද්දීමේත්, නොවැදගත් ක්ෂනික කන්ඩායමික ඉලක්ක ජයගැනීමේත් උපක්‍රමයක් ලෙස සකප විසින් දැකගනිද්දී -“සමස්ත ලතින් ඇමරිකාවේ එකදු ට්‍රොට්ස්කිවාදියෙකු හෝ කියුබාව පිලිබඳ එස්එල්එල් ආස්ථානය පිලිගනු තබා ඒ අසලටවත් නොඑනු ඇත” යි හැන්සන් බිරුසන් දුන්නේ ය.- මෙම න්‍යායික සටන තමන්ගේ විප්ලවවාදී ඓතිහාසික ඉලක්ක යථාවත් කරගැනීමෙහි ලා තීරනාත්මක කොටසක් ලෙස හීලි සහ ඔහුගේ සහෝදරවරු අවබෝධ කරගත් හ.

සාකච්ඡාව අතරතුර ක්ලිෆ් ස්ලෝටර් සඳහන් කල පරිදි:

කම්කරු-පන්ති ව්‍යාපාරය තුල විප්ලවවාදී වර්ධනයන්ගේ කාලපරිච්ඡේදයක දී ඉහල ම අවශ්‍යතාව වනාහි පැහැදිලි ම හා වඩාත් තීක්ෂන දේශපාලන ආස්ථානය යි. මෙම ආස්ථානය කරා එලැඹිය හැක්කේ යතා තත්ත්වය පිලිබඳ නිරවද්‍ය පිලිබිඹුවක් කරා ලඟාවනුවස්, සාවද්‍ය සංකල්පයන් සමග වන ගැටුමක් හරහා පමනි; සෑම විට ම පාලක පන්තියෙහි පීඩනය පිලිබිඹු කරන සංශෝධනවාදයට එරෙහි සටනක් ඒ සඳහා අවශ්‍ය වෙයි. මෙහි අර්ථය වන්නේ, ව්‍යාපාරයෙහි ම ඉතිහාසය පිලිබඳ විද්‍යාත්මක අධ්‍යයනයකි. හරියට ම, කම්කරු පන්තිය තුල සිටින, විප්ලවවාදී කොටස් වලට ජාත්‍යන්තර මාක්ස්වාදී මූලෝපායක් සම්පාදනය කිරීම සඳහා, සවිඥානික ව විසඳා ගනු ලැබෙන එවන් අරගලවල නිෂ්පාදිතය ලෙස අපේ ම වර්තමාන තත්ත්වය අවබෝධ කරගැනීමත්, සියලු ආකාරයේ සංශෝධනවාදයන් අවසන් කිරීමට සටන් කිරීමත් සඳහා එය අවශ්‍ය කරයි. (26)

ක්ලිෆ් ස්ලෝටර්

1962 ජුනි මාසයේ ඇමරිකානුවන් විසින් අනුමත කරන ලද “හතරවන ජාත්‍යන්තරයේ ගැටලු සහ මීලඟ පියවරයන්” නම් ලේඛනය තුල, “මේ මොහොතේ සකප හා එස්එල්එල් බෙදා වෙන් කරන මූලධර්මාත්මක ප්‍රශ්න” සමාජවාදී කම්කරු පක්ෂය විසින් පිලිගනිද්දී, බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීහු ඉහත ජීවගුනයෙන් යුතු ව ප්‍රීති වූහ. [27]

ට්‍රොට්ස්කිවාදය පාවාදුනි

“ට්‍රොටස්කිවාදය පාවාදුනි” ලේඛනය තුල ඉදිරිපත් කරන ලද එස්එල්එල්හි ප්‍රතිචාරය ප්‍රකාශ කලේ, සකප සමග වන විධික්‍රමය පිලිබඳ සිය මුලික මතභේද “ලෙනින්වාදයේ මූලික ප්‍රශ්න මත, එනම්, ජාත්‍යන්තර විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම කරා ඉදිරියට යන්නේ කෙසේ ද යන්න මත කේන්ද්‍රගත වන බව” යි. එය මෙසේ සඳහන් කලේ ය:

මෙම සාකච්ඡාවේ නව අවදියක් කරා ලඟා වී ඇතැයි යන කරුන ම ත්, හතරවන ජාත්‍යන්තරයේ මෙම විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමේ නව අවධියක කොටසක් වන අතර, ඒ සඳහා සංශෝධනවාදයේ පරාජය අවශ්‍ය කරයි. (28)

ලේඛනය මෙසේ ද ප්‍රකාශ කලේය:

දියුනු රටවල කම්කරුවෝ මහා අරගලවලට ඇතුල් වෙමින් සිටිති. මෙම අරගල රාජ්‍ය බලය සඳහා අරගල බවට පත්වන්නේ -මේ සඳහා මාක්ස්වාදී නායකත්වය අවශ්‍ය කරයි- නැතිනම්, ඒවායෙහි ප්‍රතිඵලය වනු ඇත්තේ කල්පවත්නා පරාජයන් ය...

නිර්- මාක්ස්වාදී නායකත්වයන් සඳහා වන ක්ෂමාලාප- “වෛෂයික බලවේගයන්ගේ” ශක්තිය හරහා සුලු-ධනේශ්වර නායකත්වයට “ස්වාභාවික ව” මාක්ස්වාදීන් බවට පත් විය හැකි යයි කරන අවධාරනය කිරීම්- මාක්ස්වාදී නායකත්වය අවමංගත කිරීම මගින් කම්කරු පන්තිය නිරායුධ කිරීමට තර්ජනය කරයි. ...

කම්කරු පන්තිය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, ස්ටැලින්වාදී හා වෘත්තීය සමිති නිලධරයන්ගෙන් බිඳී වෙන් වීම වලක්වමින්, දැන් මාධ්‍යමිකයන්ට යටත් වීම සිදු වන්නේ නම්, එවිට දැවැන්ත කම්කරු පන්තික පරාජයන් සඳහා වගකීම දරනු ඇත්තේ සංශෝධනවාදීහු ය. (29)

විප්ලවවාදී නායකත්වය පිලිබඳ අර්බුදයේ ප්‍රවාදය සකප විසින් නිෂ්ක්‍රමනය කිරීමත්, පැබ්ලෝවාදයේ වෛෂයිකවාදී දෘෂ්ටිය එය විසින් වැලඳගැනීමත් හෙලාදකිමින් එස්එල්එල් මෙසේ ලිවීය:

පක්ෂයේ සංවර්ධනයෙන් වෙන් වූ ක්‍රියාදාමයක් ලෙස මෙය ඉෂ්ට කිරීමේ “ඉතිහාසයේ නීති” ගැන කතා කිරීම, “වෛෂයිකය” හා “ආත්මීයය” අතර සබඳතා පිලිබඳ ව මාක්ස්වාදී ආස්ථානය අතහැර දැමීමකි. ...

බලය ගෙන සමාජවාදය ගොඩනැගීම ට කම්කරු පන්තිය සූදානම් කිරීම ට නම්, මෙම පක්ෂය සවිඥානික ව ගොඩනැගිය යුතු ය. (30)

කියුබාව සම්බන්ධ මතභේද, “මෙම පොදු හා මූලික නො එකඟතාවන්ගේ කොටසක් පමනක්” බව විස්තර කල එස්එල්එල්, සකප කියුබාව කම්කරු රාජ්‍යයක් ලෙස ගුනාංගීකරනය, සෝවියට් සංගමය ගැන ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය ඉදිරියට ගෙන යාමක් බවට එය කල කියාපෑම් සම්පූර්න ප්‍රෝඩාවක් බව හෙලිදරවු කලේ ය:

සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය පිලිබඳ තම සාකච්ඡාව හා අර්ථ දැක්වීම, කම්කරු පන්තිය සහ ධනපති පන්තිය අතර ලෝක අරගලයට සම්බන්ධ කර ඓතිහාසික ව ගත යුතුව තිබූ බව ට්‍රොට්ස්කි අවධාරනය කලේ ය. ...ලෝකයේ එක් කොටසක් තුල විප්ලවවාදී අරගලයේ එක් සුවිශේෂී ප්‍රකාශනයක් ගැන සාකච්ඡාවෙන් සමහර “නිර්නායක” ඇතිකර ගනිමින්, එය ලෝක විප්ලවයෙහි සංවර්ධනය තුල සුවිශේෂී අවධියක් ලෙස ගන්නා සකප විධික්‍රමය එහි ප්‍රතිවිරුද්ධය යි. පරම්පරාවකට පසුව ලෝකයේ තවත් කොටසකට, එනම් අරගලයෙහි සුවිශේෂී අවධියක දී සුවිශේෂී කොටසකට ඔවුහු මෙම නිර්නායක ව්‍යවහාර කරති. මේ අනුව, කියුබාව “කම්කරු රාජ්‍යයක්” බවටත්, කියුබානු විප්ලවය සමාජවාදී විප්ලවයක් බවටත් පත් කිරීමට, ජනසතුකරනය සහ කම්කරු මිලීෂියාවන් පැවතීම ප්‍රමානවත් ය. කම්කරු පන්තියේ ඉදිරි දර්ශනයෙන් හා කර්තව්‍යයන්ගෙන් ආරම්භ කරනු වෙනුවට, අරගලයෙහි වර්තමාන අස්ථායී හා පරිවර්තනීය අවදිය -සුලු-ධනේශ්වර විප්ලවීය ජාතිකවාදීන්ගේ ජයග්‍රහනය- ඉදිරියේ ඔවුන් ම දන්ඩ නමස්කාර කිරීමේ භාවිතාව සඳහා න්‍යායික ආවරනය වන්නේ මෙම “ප්‍රතිමානක” විධික්‍රමය යි. (31)

එස්එල්එල් මෙසේ විමසී ය:

සංයුක්ත පාරිභාෂිත පදයන්ගෙන් “කම්කරු රාජ්‍යයක්” අර්ථවත් කරන්නේ කුමක් ද? එය එක් හෝ තවත් ආකාරයකින් අර්ථවත් කරන්නේ “නිර්ධන පන්තියේ ආඥාදායකත්වය” යි. කියුබාව තුල නිර්ධන පන්ති ආඥාදායකත්වය පවතී ද? අප අවධාරනාත්මක ව පිලිතුරු දෙන්නේ නැත යනුවෙනි!

බැටිස්ටාගේ පාලනයෙන් ගුනාත්මක ව නව හා වෙනස් වර්ගයක රාජ්‍යයක් කස්ත්‍රෝ පාලනය විසින් නිර්මානය කලේ නැත. කස්ත්‍රෝ විසින් සිදු කරන ජනසතු කිරීම්, රාජ්‍යයෙහි ධනවාදී ස්වභාවය වෙනස් කිරීමට කිසිවක් කරන්නේ ද නැත. (32)

කියුබාවේ වර්ධනය “නොනවතින විප්ලව න්‍යායය සනාථ කරමින්” තිබූ බවට හැන්සන් සහ පැබ්ලෝවාදීන් කල කියාපෑම්වලට පිලිතුරු දෙමින් එය මෙසේ ප්‍රකාශ කලේ ය:

සත්‍ය වසයෙන් ම, කියුබාව සමන්විත කරනුයේ, නොනවතින විප්ලවයේ නිශේධනික තහවුරු කිරීමකි. ගොවි ජනයාට නායකත්වය දෙමින් ධනපති රාජ්‍ය බලය කුඩු කිරීමට, කම්කරු පන්තිය අසමත් වන තැන, පෙරට පැමිනෙන ධනේශ්වරය, එයට ම ආවේනික ආකාරයෙන්, එහි ම තෘප්තිය පිනිස “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ” ගැටලු විසඳයි. (33)

සාකච්ඡාවේ මෙම ලක්ෂ්‍යයේ දී පවා, සියලු ජාත්‍යන්තර ශාඛා ඇතුලත මූලධර්මාත්මක සාකච්ඡා මතු කර ගැනීමේ යෝජනාව එස්එල්එල් විසින් අඛන්ඩ ව පවත්වාගෙන ගියේ ය.

මෙම යෝජනා ඉදිරිපත් කිරීමේ දී, අපගේ අභිප්‍රායය වනුයේ, ජාත්‍යන්තර කමිටුවේ සහ ජාත්‍යන්තර ලේකම් මන්ඩලයේ නායක කමිටු අතර, කිසිදු ආකාරයක සම්මේලන එකඟතාවක් කරා ලඟා වීම නො ව, එම සංවිධාන දෙකෙහි ම සියලු ශාඛාවන්හි සාමාජිකයන් අතර සංශෝධනවාදයට එරෙහි වෙහෙස නො තකන අරගලයක් ගෙන යාමයි. (34)

අවස්ථාවාදය සහ අනුභූතිවාදය

එස්එල්එල් හුදකලා කිරීමට උත්සාහ දරමින්, බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන්ගේ මූලධර්මාත්මක ප්‍රහාරයන්ට හැන්සන් ප්‍රතිචාර දැක්වූයේ, 1962 නොවැම්බරයේ දී “කියුබාව -අම්ල පරීක්ෂාව: අතිවාමාංශික කට්ටිවාදීන්ට පිලිතුරක්” යන ලේඛනය ලියමිනි. හැන්සන්ගේ ලේඛනය, එස්එල්එල් හි ආස්ථානයන් වෛෂයික යථාර්ථය විඥානවාදී හා ආධානග්‍රාහී ලෙස ප්‍රතික්ෂේප කිරීමක් බවට පින්තාරු කරමින්, එයට මඩගැසීමට ගත් දුෂ්ට ප්‍රයත්නයක් විය.

හැන්සන් මෙසේ චෝදනා කලේ ය:

කියුබානු විප්ලවය පිලිබඳ දත්ත එස්එල්එල් විසින් හඳුනා ගන්නා තෙක්, මේ වන විට, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය දීර්ඝ හා පූර්න වසර දෙකක් බලා සිට ඇත. ...පැහැදිලි සිද්ධි පිලිගැනීම මෙතරම් දඩබ්බර ලෙස ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? සියල්ලෙන් වඩාත් ම ආගන්තුක දෙය වන්නේ, තමන් දත්ත පිලිගැනීම ප්‍රතික්ෂේප කරන බවට එස්එල්එල් නායකයන් පිලිගෙන තිබීම යි; මෙය ශ්‍රේෂ්ඨත්වයක් බවට පරිවර්තනය කර ඇති ඔවුන්, එය දර්ශනවාදයක මට්ටමට ම පවා ඔසවා ඇත. (35)

ජෝසෆ් හැන්සන්


හැන්සන් මෙහි දී කථාකරන්නේ; ස්ලෝටර් ඔහුගේ 'අපෝහකය ගැන ලෙනින්' යන ලේඛනය තුල පෙන්වා දුන්, මාක්ස්වාදය සහ අනුභූතිවාදය අතර විභේදනය ගැන යි. “සමහර ‘මාක්ස්වාදීහු’ මාක්ස්වාදී විධික්‍රමයට අනුභූතිවාදයේ ම ආරම්භක ලක්ෂ්‍යය ඇතැයි උපකල්පනය කරති: එනම්, එය ‘දත්තවලින්’ ආරම්භ කිරීමයි” යනුවෙන් එහි දී ඔහු තර්ක කලේ ය.

ස්ලෝටර්ගෙන් දීර්ඝ ලෙස උපුටා දැක්වීම වටී. ඔහු මෙසේ සඳහන් කරයි:

සත්‍ය වසයෙන් ම, සෑම විද්‍යාවක් ම දත්ත මත පදනම් වේ. එහෙත්, ඕනෑ ම විද්‍යාවකට “දත්ත” අර්ථ දැක්වීම සහ ස්ථාපිත කිරීම තීරනාත්මක ය. විද්‍යාවක් නිර්මානය කිරීමේ කොටසක් වන්නේ, එහිම නීති මගින් අධ්‍යනය කෙරෙන ක්ෂේත්‍රයක් ලෙස, එම දත්ත නිරවද්‍යව අර්ථ දැක්වීම සහ ඒවායේ සීමා නිර්නය කිරීම යි. : අත්දැකීමෙන් පෙන්වාදෙන දත්ත, භාවිතය සඳහා අර්ථවත් හා ප්‍රයෝජනවත් පදනමක් වන එකී දත්තයන්ගේ විද්‍යාවක් ලෙස, වෛෂයිකව හා නියමානුකූලව අන්තර්සම්බන්ධ කල යුතුය. සමාජය හා දේශපාලනය ක්ෂේත්‍රයේ අපේ “අනුභූතිවාදී” මාක්ස්වාදීන් සිටින්නේ මින් බොහෝ එපිටිනි. ඔවුන්ගේ ප්‍රතිපදාව මෙයයි: 1848,1921 හෝ 1938 වසරවල පැවති දත්ත මත පාදක වූ ක්‍රියා මාර්ගයක් අපට තිබුනි; දැන්, දත්ත පැහැදිලි ව ම වෙනස් නිසා, අපට වෙනස් වැඩපිලිවෙලක් අවශ්‍ය වේ.

එය වනාහි, මෙම සංශෝධනවාදී අදහස් කරා මෙහෙයැවෙන, “දත්ත” පිලිබඳ ව්‍යාජ හා නිර්-මාක්ස්වාදී දෘෂ්ටියකි. “ඉතිහාසය පවතින්නේ අපේ පැත්තේ” යි කියන ඔවුන්ගේ පනිවුඩයෙන්, අපේ “වෛෂයිකවාදීන්” පවසන්නේ මෙය යි: සිදුවෙමින් පවතින මහා අරගල දෙස බලන්න, ඒවා විශ්ලේෂනය නො කර එකට එකතු කරන්න, ඒවායෙහි අර්ථභාරය පිලිබඳ ඔබගේ ධාරනාවන් දිගේ යන්න -දැන් ඔබට “දත්ත” ඇත. විජිත විප්ලව මෙහි ද, එහි ද තවත් තැනක ද සාර්ථක වී ඇත; එවිට විජිත විප්ලවවල සාර්ථකත්වය කරුනකි. “අධිරාජ්‍ය-විරෝධී” කතා පවත්වන එන්කෲමා හා එම්බෝයා හා නසර් වැනි ජාතිකවාදී නායකයෝ ජනසතුකරනයන් ක්‍රියාවට දමති; මෙය යෝජනා කරන්නේ, ඉතිහාසය අප්‍රතිවර්තීය හා අචල ලෙස නිර්ධන-පන්තික නො වන දේශපාලනඥයන්ට සමාජවාදී දිශාවක් ගැනීමට බලකරමින් සිටින බව යි. නමුත්, මේ වර්ගයේ “වෛෂයිකවාදය” ධාරනාවන් සමූහයක් මිස, කොටස් එකිනෙකට සම්බන්ධ කරමින් සමස්ත පින්තූරය පිලිබඳ ව කරන පොහොසත් අපෝහක විශ්ලේෂනයක් නො වේ. සැබෑ ලෙස ම වෛෂයික වන විශ්ලේෂනයක් ආරම්භ කරන්නේ, ලෝක පරිමානව හා ජාතීන් ඇතුලත, පන්ති අතර ආර්ථික සබඳතාවන්ගෙනි.

එය, මෙම පන්තිවල අවශ්‍යතා, ඒවායේ විඥානය සහ සංවිධානය අතර සබඳතාවන් විශ්ලේෂනය කිරීමක් හරහා ඉදිරියට යයි. මේවායේ දී, එය එහි ක්‍රියා මාර්ගය, ජාත්‍යන්තර සහ සෑම ජාතික අංශයක කම්කරු පන්තිය මත පාදක කර ගනී. “ප්‍රගතිශීලී බලවේගවල” ලැයිස්තුවක් යනු වෛෂයික විශ්ලේෂනයක් නො වේ! එහි ප්‍රතිවිරුද්ධය යි, එනම්, සරල ව මතුපිට ධාරනාවන්ගේ එකතුවකි. මූලික ව, ජාතික ව්‍යාපාරයන්ට සහ නිලධාරීකෘත කම්කරු ව්‍යාපාරවලට නායකත්වය දෙන සුලු-ධනේශ්වර දේශපාලනඥයන් දරා සිටින අද්‍යතන පන්ති අරගලයේ පවත්නා අවිද්‍යාත්මක විඥානය පිලිගැනීමකි. කස්ත්‍රෝ හා අනෙකුත් අය “ස්වාභාවික” මාක්ස්වාදීන් යයි යෝජනා කිරීම මගින්, මෙම න්‍යායික වරද්දාගැනීම මතුපිටින් වසා දැමීම සේවය කරන්නේ, සැලකිල්ලට භාජනය කෙරෙන “න්‍යායඥයන්” කොතරම් දුර ගොස් තිබේදැයි ඔවුන් නොදන්නා බව තහවුරු කිරීමට පමනකි. මහජන අරගලය තුල සහභාගි වන්නන් විප්ලවවාදී සංකල්ප කරා පහසුවෙන් හා ස්වයං-සිද්ධ ව සේන්දු වන කාල පරිච්ඡේදයන්, උපරිම විප්ලවවාදී ආතතීන්වල කාලපරිච්ඡේදයන් යයි ඔවුන් යෝජනා කරන බව පෙනේ. ඊට විපරීත ව, විප්ලවවාදී කාලපරිච්ඡේදයන් වනාහි, විද්‍යාත්මක විඥානය සහ දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය කරන ලද න්‍යාය හා මූලෝපාය දැවැන්ත වටිනාකමක් අත්පත් කර ගන්නා කාලයන් ය. (36)

හැන්සන් විසින් අනුභූතිවාදී විධික්‍රමය ආරක්ෂා කිරීම- “ක්‍රමානුකූල ව ක්‍රියාවට දමන ලද අනුභූතිවාදය” මාක්ස්වාදය සමග ව්‍යාජ ලෙස අනන්‍ය කිරීම- සකපයේ අවස්ථාවාදී ප්‍රතිපත්තිවල මූලධර්ම විරහිත ස්වභාවය වැඩිදුර හෙලිදරවු කිරීමට එස්එල්එල් විසින් යොදාගත්තේ ය. එහි පදනම ලෙස, සකප යොදාගත් මාක්ස්වාද-විරෝධී දාර්ශනික විධික්‍රමයේ ඓතිහාසික හා පන්තිමය පදනම් එමගින් අනාවරනය කලේ ය.

1963 මාර්තුවේ දී, එස්එල්එල්, ස්ලෝටර් විසින් ම රචනා කරන ලද අවස්ථාවදය සහ අනුභූතිවාදය පල කලේ ය. එය මෙසේ ප්‍රකාශ කලේ ය:

ක්ෂනික කර්තව්‍යයන් උදෙසා, හුදෙක් ප්‍රායෝගික දේශපාලනික එකඟතාවේ පදනම මත, සංශෝධනවාදී ප්‍රවනතාවක් සමග “ඒකාබද්ධ වීමට” කැඳවුම් කරන ප්‍රවනතාවට හැන්සන් නායකත්වය දෙයි. භේදයෙහි ඉතිහාසය සහ ප්‍රවනතා අතර වෙනස්කම් විභාග කිරීම මෙම දෘෂ්ටියේ සිට ඔහු ප්‍රතික්ෂේප කරයි.

මෙහි දී හැන්සන්ගේ ප්‍රවිෂ්ටයෙහි විධික්‍රමාත්මක පදනම කවරක් ද? සෑමවිට ම ඔහුට ආධිපත්‍යධාරී ප්‍රශ්නය වන්නේ, ක්ෂනික දේශපාලනික වාසි අත්කර ගැනීමේ පටු ඉදිරිදර්ශනයෙන් ගලා එන “වඩාත් හොඳින් වැඩ කරනු ඇත්තේ කුමක් ද?” යන්න යි. (37)

සකප හා පැබ්ලෝවාදීන් එකමුතු කල වෛෂයිකවාදී විධික්‍රමයෙන්, මාක්ස්වාදය වෙන් කරන මූලික වෙනස්කම් ගෙන හැර දැක්වීම කරා එස්එල්එල් ඉදිරියට ගියේ ය:

වෛෂයික යථාර්ථය වන්නේ “දත්ත” බවත්, අප ආරම්භ කල යුත්තේ “දත්තවලින්” බවත් ගැන කරන මේ සියලු තර්ක කිරීම් කම්කරු-පන්තික නොවන නායකත්වයන්ට අනුගත වීමේ පිලිවෙත් සාධාරනීකරනය කිරීම ට සූදානම් වීමකි.

“දත්ත සමගින් ආරම්භ කරන” නිසා, කිසිදාක ඒවායෙන් ඔබ්බට යා නොහැකි අනුභූතිවාදය, ලෝකය පවතින අයුරින් පිලිගත යුතු ය. චින්තනයේ මෙම ධනේශ්වර විධික්‍රමය ලෝකය දැකගන්නේ, “සිවිල් සමාජය තුල හුදකලා වුනු තනි පුද්ගලයාගේ” ආස්ථානයෙනි.

කම්කරු පන්තියෙහි ඓතිහාසික අත්දැකීමේ ආලෝකයෙන්, මාක්ස්වාදයේ න්‍යාය හා භාවිතය තුල සාමාන්‍යීකරනය කරගන්නා වෛෂයික තත්ත්වය යනු විසඳීමට තිබෙන ගැටලුවක් ලෙස ගැනීම වෙනුවට, එය (අනුභූතිවාදය) “දත්ත” පැමිනෙන ආකාරයෙන් පිලිගත යුතු ය. ඒවා නිපදවනු ලබන්නේ අපේ පාලනයෙන් පිටත පවතින තත්ත්වයන් විසිනි.

මාක්ස්වාදය කම්කරු-පන්තික පෙරටු බල ඇනිය සන්නද්ධ කරන්නේ, කම්කරු ව්‍යාපාරය තුල ස්වාධීන ක්‍රියාවන් සඳහා එහි අරගලය තුල ය; අනුභූතිවාදය පවතින රාමුවට, එනම් ධනවාදයට හා කම්කරු-පන්තික සංවිධාන තුල එහි ඒජන්සිවලට, අනුගත වෙයි. (38)

සකපය පැබ්ලෝවාදීන් සමග යලි එකමුතු වීමේ පදනම ලෙස සේවය කල “නව යථාර්ථය” පිලිබඳ සංකල්පයෙහි සාරය ස්ථාපිත කිරීමට බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන් ක්‍රියා කර තිබුනි. එය ධනේශ්වරය යථාර්ථය සහ අධිරාජ්‍යවාදය විසින් ලෝක ආධිපත්‍යය අඛන්ඩව පවත්වාගෙන යාම සාධාරනීකරනය කරමින් එයට අනුගතවීමකි.

නිගමනය

යලි එකමුතු වීම සම්පූර්න කරනු ලබද්දී, සකප ජාතික කමිටුවට හීලි අවසාන ලිපියක් ලීවේ ය. නෝර්ත් නිරීක්ෂනය කල පරිදි, එය “සකප-පැබ්ලෝවාදී යලි එකමුතුවීමේ සම්මේලනය හා බැඳී පැවති වංචාව හා රැවටීම පිලිබඳ කර්කෂ විමර්ශනයක්” ද විය. “එහෙත් සකපයේ දේශපාලනික පාවාදීම කෙරෙහි හීලිගේ අවඥාව වඩාත් ම කටුක අයුරින් ප්‍රකාශයට පත් වූයේ ලිපියේ අවසන් ඡේද මගිනි.” (39)

හීලි මෙසේ ලීවේ ය:

ඇත්ත වසයෙන් ම “කට්ටිවාදී එස්එල්එල්” වෙනුවෙන් ගත කිරීමට ඔබට කාලයක් නැත. සාමාජිකත්වයේ සහ නායකත්වයේ අපේ සහෝදරවරු, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙහි හොඳ ම සම්ප්‍රදායන්ගෙන් ප්‍රතිසංස්කරනවාදයට හා ස්ටැලින්වාදයට එරෙහි ව දිවා-රෑ සටන් කරති. එහෙත්, තවමත් ඔවුහු බෙන් බෙලා සහ කස්ත්‍රෝ මෙන් ලංකාවේ ඊනියා මැයි දින රැස්වීම වැනි ප්‍රසිද්ධ රැස්වීම්වල දසදහස් ගනන් අමතා කතා නොකරති. ඔබගේ ඇසට අනුව අපි හුදු කුඩා “අති-වාමාංශික කූනිස්සෝ” වෙමු...

ඒ සඳහා ඔබ යම් කාලයක් ගත්තේ ය. (ප්‍රකට කියමනට අනුව “ක්‍රිස්තුස් කරා ප්‍රමාද වී එන්නේ අසීරුවෙන් ම එන අය ය.”) ජෝර්ජ් ක්ලාක්, පැබ්ලෝ සමග බලවේග එකතු කර කුප්‍රකට තුන්වැනි සම්මේලනයේ පනිවුඩය මිලිටන්ට් පුවත්පත තුල හා එවකට හතරවන ජාත්‍යන්තරය සඟරාවේ පල කල තැන් පටන් ආසන්න වසයෙන් වසර 12ක් ගත වී ඇත. එවර පැබ්ලෝ ව අවබෝධ කර ගැනීමට ඔබ අසමත් වූ අතර, ඉන්පසු අපි 1953 දී භේද වුනෙමු. අපි “කිසිදාක පැබ්ලෝ කරා ආපසු නො යන්නෙමු!” යි කියමින් කැනන් මෙම භේදය අගය කලේ ය. මෑතක් වන තෙක් ම, ඔහු පැබ්ලෝ කරා පරිවර්තනය වීමට සැබෑ විරෝධයක් දක්වා ඇත. එහෙත් අවසානයේ ඔබ එය කර තිබේ. ෆිදෙල් කස්ත්‍රෝගේ සිට ෆිලිප් ගුනවර්ධන හා පැබ්ලෝ දක්වා සෑම තැනක ම දැන් ඔබට මිතුරන් ඇත.

අපට එක දෙයක් පමනක් කීමට ඇති අතර, මෙහි දී අපේ සම්මේලනය ඒකමතික වුනි. ඔබේ පක්ෂයෙහි බහුතර නායකත්වය මුලුමනින් යටත් වී ඇති අතිශයින් ම ප්‍රතිගාමී බලවේගයන්ට මෙවන් නින්දිත දනගැසීමකට එරෙහි ව අපේ සංවිධානය ගෙන ඇති ආස්ථානය සම්බන්ධයෙන් අපි ආඩම්බර වෙමු. (40)

හතරවන ජාත්‍යන්තරය පදනම් වන මූලික ප්‍රතිෂ්ඨාවලින්, සකප හා පැබ්ලෝවාදීන් ජයගෙන ඇතැයි ප්‍රකාශ කල “නව බලවේග”

සහ “මොට්ට වූ උපකරන” හැරුනු විට, මෙම “දත්තවලින්” ඉතිරි වී ඇත්තේ මොනවා ද?

ඔවුන්ගේ ම රටවල් හෝ ලෝකයෙහි වෙනත් කිසිදු කොටසක් හෝ ධනවාදයෙන් නිදහස් කර ගැනීමට මුලුමනින් ම අසමත් බව ඔවුන් සනාථ කර ඇත. ට්‍රොට්ස්කි විසින් ඒ වන විටත් සත්‍යාපනය කර තිබුනු නොනවතින විප්ලවයේ මූලික නීතිවලට අවනත වෙමින්, මෙම ධනේශ්වර හා සුලු-ධනේශ්වර නායකත්වයන්, කම්කරු පන්තිය පාවා දී නිරායුධ කර ඇත්තේ ෆැසිස්ට්වාදී මිලිටරි ආඥාදායකත්වයන් ට මග පාදමින් සහ අධිරාජ්‍යවාදීන් අතර තුලනයේ ප්‍රතිස්ථාපනයක් සූදානම් කරමිනි.

විනාශකාරී ගරිල්ලා අරගල අනුගමනය කිරීම හෝ එය නිෂ්පන්න කල පරාජයන්ට ගොදුරුවීම හේතුවෙන් තරුනයන්, කම්කරුවන් හා ගොවීන් ලක්ෂ ගනනක් දෙනා, පැබ්ලෝවාදී අවස්ථාවාදයෙහි දේශපාලන පිරිවැය ලෙයින් ගෙවා ඇත්තාහ.

________________________________________

[1] Dynamics of World Revolution Today, June 1963. අද දින ලෝක විප්ලවයේ ගතිකය, 1963 ජුනි

[2] W. Sinclair, “Under A Stolen Flag,” May 22, 1957 – Trotskyism versus Revisionism, Volume 3. ඩබ්ලිව්. සින්ක්ලෙයාර්, “සොරකම් කල ධජයක් යටතේ,” 1957 මැයි 22 -සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 3 වෙලුම

[3] ඩේවිඩ් නෝර්ත්, ක්ලිෆ් ස්ලෝටර්: දේශපාලන චරිතාපදායක් (1928-1963), 3 කොටස, 2021 අගෝස්තු

[4] ඩේවිඩ් නෝර්ත්, ජෙරී හීලි සහ හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය තුල ඔහුට හිමි තැන, 1991.

[5]ඩේවිඩ් නෝර්ත්, අප රක්නා උරුමය, 1993.

[6] ඩේවිඩ් නෝර්ත්, ක්ලිෆ් ස්ලෝටර්, 3 කොටස.

[7] ඩේවිඩ් නෝර්ත්, අප රක්නා උරුමය.

[8] Letter from James P. Cannon to L. Goonewardene, March 12, 1957 – Trotskyism versus Revisionism, Volume 3. ජේම්ස් පී. කැනන්ගෙන් එල්. ගුනවර්ධනට ලිපියක්, 1957 මාර්තු 12 -සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 3 වෙලුම.

[9] Letter from G. Healy to James P. Cannon, May 10, 1957 – Trotskyism versus Revisionism, Volume 3. ජී. හීලිගෙන් ජේම්ස් පී. කැනන්ට ලිපියක්, 1957 මැයි 10 -සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 3 වෙලුම.

[10] “Political Statement Adopted by the International Conference” – Education for Socialists: The Struggle to Reunify the Fourth International (1954–63), Vol. IV. “ජාත්‍යන්තර සම්මේලනය විසින් අනුමත කරන ලද දේශපාලන ප්‍රකාශය” -සමාජවාදීන් සඳහා අධ්‍යාපනය: හතරවන ජාත්‍යන්තරය යලි එකමුතු කිරීමේ අරගලය (1954-63), VI වෙලුම.

[11] එම.

[12] එම.

[13] නෝර්ත්, අප රක්නා උරුමය.

[14] Nahuel Moreno, “Tesis de Leeds (Tesis sobre el Frente Único Revolucionario),” Centro de Estudios Humanos y Sociales, Buenos Aires, 2016. නහුවෙල් මොරේනෝ, “ලීඩ්ස් තිසීසය (විප්ලවවාදී එක්සත් පෙරමුනක් සඳහා තිසීසය) (ස්පාඤ්ඤ භාෂාවෙනි -පරිවර්තක), මානව සහ සමාජීය අධ්‍යයන මධ්‍යස්ථානය, බුවනෝස් අයර්ස්, 2016.

[15] Nahuel Moreno, “La revolución permanente en la posguerra,” Centro de Estudios Humanos y Sociales, Buenos Aires, 2018. නහුවෙල් මොරේනෝ, “පශ්චාත් යුද කාලය තුල නොනවතින විප්ලවය,” (ස්පාඤ්ඤ භාෂාවෙනි -පරිවර්තක), මානව සහ සමාජීය අධ්‍යයන මධ්‍යස්ථානය, බුවනෝස් අයර්ස්, 2018.

[16] එම.

[17] The Socialist Workers Party's resolution on the World Situation, 1961 – Trotskyism versus Revisionism, Volume 3. ලෝක තත්ත්වය පිලිබඳ ව සමාජවාදී කම්කරු පක්ෂයේ යෝජනාව, 1961 -සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 3 වෙලුම.

[18] නෝර්ත්, අප රක්නා උරුමය.

[19] එම.

[20] ] Draft resolution of the SWP Political Committee May 1, 1962 – Trotskyism versus Revisionism, Volume 3 සකප දේශපාලන කමිටුවේ කෙටුම්පත් යෝජනාව, 1962 මැයි 1-සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 3 වෙලුම.

[21] එම.

[22] International Socialist Review, Vol.22 No.3, Summer 1961. ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් රිවීව්, 22 වෙලුම අංක 3, 1961 ගිම්හානය.

[23] Correspondence of James P. Cannon, May 1961 – Trotskyism versus Revisionism, Volume 3. ජේම්ස් පී. කැනන්ගේ හුවමාරු ලේඛන, 1961 මැයි -සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 3 වෙලුම.

[24] Letter of the National Committee of the SLL to the National Committee of the SWP, January 2,1961 – Trotskyism versus Revisionism, Volume 3. එස්එල්එල් ජාතික කමිටුව සකප ජාතික කමිටුවට ලියූ ලිපිය, 1961 ජනවාරි 2 -සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය.

[25] Letter of the NEC of the Socialist Labour League to the National Committee of the Socialist Workers Party, May 8, 1961 – Trotskyism versus Revisionism, Volum 3. සමාජවාදී කම්කරු ලීගයේ ජාතික විධායක කමිටුව සමාජවාදී කම්කරු පක්ෂයේ ජාතික කමිටුවට යැවූ ලිපිය, 1961 මැයි 8 -සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 3 වෙලුම.

[26] A reply to Joseph Hansen, by C. Slaughter – Trotskyism versus Revisionism, Volume 3. සී. ස්ලෝටර්ගෙන් ජෝසෆ් හැන්සන්ට යැවූ පිලිතුර -සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 3 වෙලුම.

[27] “Trotskyism Betrayed: The SWP accepts the political method of Pabloite revisionism” by the National Committee of the SLL, July 21, 1962 – Trotskyism versus Revisionism, Volume 3. “ට්‍රොට්ස්කිවාදය පාවාදුනි: සකප පැබ්ලෝවාදී සංශෝධනවාදයේ දේශපාලන විධික්‍රමය පිලිගනී”, එස්එල්එල් ජාතික කමිටුව විසිනි, 1962 ජූලි 21 -සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 3 වෙලුම.

[28] එම.

[29] එම.

[30] එම.

[31] එම.

[32] එම.

[33] එම.

[34] එම.

[35]“Cuba – The Acid Test: A reply to the Ultraleft sectarians,” by Joseph Hansen, November 20,1962 – Trotskyism versus Revisionism, Volume 4. “කියුබාව -අම්ල පරීක්ෂාව: අතිවාමාංශික කට්ටිවාදීන්ට පිලිතුරක්,” ජෝසෆ් හැන්සන් විසිනි, 1962 නොවැම්බර් 20 -සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 4 වෙලුම.

[36] “‘The Theoretical Front’, Lenin’s Philosophical Notebooks, Second Article” Labour Review, Summer 1962, Vol. 7, No. 2. “න්‍යායික පෙරමුන, ලෙනින්ගේ දාර්ශනික සටහන් පොත්, දෙවැනි ලිපිය” ලේබර් රිවීව්, 1962 ගිම්හානය, 7 වෙලුම, අංක 2.

[37] Opportunism and Empiricism SLL National Committee, March 23, 1963 – Trotskyism versus Revisionism, Volume 4. අවස්ථාවාදය සහ අනුභූතිවාදය, එස්එල්එල් ජාතික කමිටුව, 1963 මාර්තු 23 -සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 4 වෙලුම.

[38] එම.

[39] ජි හීලි සහ ඉතිහාසයේ ඔහුට හිමි තැන, 1991.

[40] Letter from G. Healy (for the SLL) to the National Committee of the SWP, June 12, 1963 – Trotskyism versus Revisionism, Volume 4. (එස්එල්එල් වෙනුවෙන්) ජී. හීලිගෙන් සකප ජාතික කමිටුවට ලිපියක්, 1963 ජුනි 12 -සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 4 වෙලුම.

Loading