පොලීසිය තමන් “නින්දාවට පත් කරන කරුනු” පත්‍රිකාවල අඩංගු කල නොහැකි බව කියමින් කොළඹ ක්‍රියාකාරී කමිටුවට කඩා පනියි

කුරුනෑගල ප්‍රදේශයේ තරුනයෙකු පොලිස් නිලධාරීන් විසින් කුරිරු ලෙස අත් අඩංගුවට ගන්නා අයුරු(ඡායාරූපය:සමාජ මාධ්‍ය මගිනි ) ]

පෙබරවාරි 24 වනදා සවස් වරුවේ, පිලියන්දල පොලීසිය කොළඹ ක්‍රියාකාරී කමිටුවේ ලේකම් ශාන්ත විජේසූරියගේ නිවසට කඩා පැන එහි තිබුනු පත්‍රිකා, පෝස්ටර් සහ උද්ඝෝෂනයකට සූදානම් කර තිබූ පුවරු අත් අඩංගුවට ගෙන ඇත. මෙය සිදුවූයේ එදිනම උදේ වරුවේදී පිලියන්දල නගරයේ කොළඹ ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයින් පිරිසක් “යුක්තියේ මෙහෙයුම නමින් පීඩිත තරුනයන් ඇතුලු මහජනයාට එරෙහිව මුදා හැර ඇති රාජ්‍ය භීෂනය පරාජය කරනු”මාතෘකාව යටතේ ලියන ලද පත්‍රිකාවක් බෙදා හරිමින් සිටියදී පොලීසිය විසින් එය නවත්වා ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය.

කොළඹ ක්‍රියාකාරී කමිටුවට අනුව පෙබරවාරි 24 වන සිකුරාදා උදෑසන පත්‍රිකා බෙදා හරිමින් සිටි සිය සාමාජිකයෙක් පොලීසියට ගෙන ගොස් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත. එහිදී පොලිස් ස්ථානාධිපති සඳහන් කර ඇත්තේ “පොලීසිය නින්දාවට පත් කරන” කරුනු පත්‍රිකාවේ අඩංගු නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂනයක් කිරීම අවශ්‍ය බවයි. පැයක පමන කාලයකට පසු එම සාමාජිකයාව නිදහස් කර ඇති අතර ඉන් පැය අටකට පමන පසුව සවස 4.30ට කැස්බෑව අධිකරනයෙන් සෝදීසි වරෙන්තුවක් ද සහිතව පොලීසිය විජේසූරියගේ නිවෙසට කඩා පනින ලදී.

එහි පත්‍රිකාවේ අඩංගු වැරදි ලෙස දක්වා ඇත්තේ “සාමය බිඳ දැමීමක් අවුලුවා ගැනීමේ අභිප්‍රායයෙන් යුතුව චේතනාන්විත ව නින්දා කිරීම සහ කැරලි ගැසීමේ හෝ ජනරජයට එරෙහිව හෝ මහජන සාමයට එරෙහිව වරදක් කිරීමේ අභිප්‍රායෙන් යුතුව සාවද්‍ය වාර්තා බෙදා හැරීම”යන ඒවා ය. පොලීසිය කඩා පැනීමෙන් අනතුරුව ක්‍රියාකාරී කමිටුව පෙබරවාරි 27 වනදා කැස්බෑව නගරයේ පැවැත්වීමට නියමිතව තිබුනු උද්ඝෝෂනය සඳහා සූදානම් කර තිබුනු පත්‍රිකා සහ අනෙකුත් ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇත.

මෙම කඩා පැනීම පෙන්නුම් කරන්නේ ජනාධිපති වික්‍රමසිංහගේ ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන් තියුනු කර ඇති ආකාරයයි. යුක්තිය මෙහෙයුම හරහා සවිමත් කරගත් මර්දනකාරී හස්තය ආන්ඩුවේ වැඩපිලිවෙල මොන යම් ආකාරයෙන් හෝ විවේචනය කරන්නන් දඬු ගැසීමට යොදාගනිමින් සිටී. පොලීසිය විසින් කොළඹ ක්‍රියාකාරී කමිටුවට ඉදිරිපත් කර ඇති චෝදනා පලල් අර්ථයකින් ඕනෑම කම්කරු අරගලයකට, දේශපාලන සංවිධානයකට හෝ ඔවුන් බෙදා හරින පත්‍රිකාවකට හෝ වෙනත් ප්‍රකාශනයකට එරෙහිව රිසි සේ යොදාගත හැකි ඒවාය.

ඊට අනුව ආන්ඩුවේ මර්දන යන්ත්‍රයේ කොටසක් වන පොලීසියේ වැඩ කටයුතු විවේචනය කිරීමට මහජනතාවට නොහැකිය. එමෙන්ම ආන්ඩුවට එරෙහි චෝදනා ඉදිරිපත් කරන්නන් සාවද්‍ය වාර්තා බෙදා හැරීම යටතේ දඬු ගැසිය හැක. මෙය කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන භාෂනයේ නිදහස මත එල්ල කරමින් පවතින ප්‍රහාරයේ ස්වභාවය හෙලිදරව් කරයි.

සමාජවාදී සමානතා පක්ෂය(සසප) මෙම කොළඹ ක්‍රියාකාරී කමිටුව සමග ගැඹුරු දේශපාලන වෙනස්කම් තිබියදිත් ඔවුන්ට එල්ල කර ඇති මෙම රුදුරු ප්‍රහාරයට විරුද්ධත්වය පල කරයි. කොළඹ ක්‍රියාකාරී කමිටුව පිහිටුවාගෙන ඇත්තේ විනය චෝදනා මත සසපෙන් නෙරපා හරින ලද කන්ඩායමකි.

මෙම පියවරයන් අරගලයට ඇදෙමින් සිටින කම්කරු පන්තියට බරපතල අනතුරු ඇඟවුම් ගෙන එයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු නියෝග ඔස්සේ තියුනු වෙමින් පවතින ගෝලීය අර්බුදයේ බර මහජනතාව මත පටවමින් සිටින වික්‍රමසිංහ ආන්ඩුව ඊට එරෙහිව මතු වන ඕනෑම විරුද්ධත්වයක් තලා දැමීම සඳහා මර්දනකාරී පියවර පෙරට ගනිමින් සිටී. ආන්ඩුව පසුගිය මාසයේදී රුදුරු සමාජ මාධ්‍ය වාරන නීති සහිත අන්තර්ජාල ආරක්ෂන පනත පාර්ලිමේන්තුව හරහා සම්මත කරගත්තේය.

එය තියුනු ලෙස ප්‍රකාශයට පත් වූයේ පසුගිය ජනවාරි මාසයේදී පුද්ගලීකරනයට එරෙහිව අරගලයට පැමිනි විදුලි බල මන්ඩල කම්කරුවන් හැටකට අධික සංඛ්‍යාවකගේ වැඩ තහනම් කිරීම සහ තවත් පිරිසකට නිදහසට කරුනු ඉල්ලා ලිපි යැවීම තුලය. දැන් මසකටත් වැඩි කාලයක් තිස්සේ විදුලි බල කම්කරුවන්ට එල්ල කල වැඩ තහනම බල පවත්වයි. ආන්ඩුව කම්කරුවන් අරගලය එන සෑම විටම මහජන ආරක්ෂක පනත යොදාගනිමින් අත්‍යාවශ්‍ය සේවා නියෝග යොදමින් ඔවුන් දඬු ගැසීමට පසුබිම සම්පාදනය කරගනිමින් සිටී. කොළඹ ක්‍රියාකාරී කමිටුවට කල කඩා පැනීම කම්කරු පන්තියට එරෙහි මෙම පලල් ප්‍රහාරයේ කොටසකි.

ආන්ඩුව මත්ද්‍රව්‍ය‍ සහ අපරාධ මැඩලීමේ කඩතුරාව යටතේ ඊනියා යුක්තිය මෙහෙයුම දෙසැම්බර් මාසයේදී ආරම්භ කලේ මෙම පසුබිම යටතේය. ඒ යටතේ ඩ්‍රෝන තාක්ෂනය හා පොලිස් සුනඛයින් යොදාගනිමින් පොලීසිය සහ විශේෂ කාර්ය බලකා සාමාජිකයෝ නිවෙස් වලට කඩා පනිති. එදිනෙදා කටයුතු සඳහා යනෙන සාමාන්‍ය ජනයා පරීක්ෂා කරමින් අත් අඩංගුවට ගෙන ඇත. මේ වන විට මාස දෙකකටත් වැඩි කාලයක් තිස්සේ මෙම මෙහෙයුමෙන් පුද්ගලයින් සමූහ අත් අඩංගුවට ගැනීම් වලට ලක් කොට තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ට අනුව පසුගිය පෙබරවාරි 21 වනදා වන විට අත් අඩංගුවට ගත් මුලු සංඛ්‍යාව 58,234කි.

කම්කරු පන්තියට එරෙහිව මෙසේ වික්‍රමසිංහ ආන්ඩුව පන්ති යුද්ධය තියුනු කිරීමට කම්කරු පන්තියේ ප්‍රතිචාරය විය යුත්තේ තම පංති අරගලය වර්ධනය කිරීමයි. ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීම හරහා ඉල්ලීම් දිනා ගත හැකිය යන වෘත්තිය සමිති වල පචය වික්‍රමසිංහ ආන්ඩුව දිගේලි කරමින් සිටින මර්දනය හරහා හෙලිදරව් වේ. එ මගින් ආන්ඩුව පෙන්වන්නේ තමන්ගේ කප්පාදු වැඩපිලිවෙලින් මොනම හෝ ලෙසකින් පියවරක් පසුපසට ගැනීමට තමන් සූදානම් නොමැති බවයි. කම්කරු පන්තිය මෙම වෘත්තිය සමිති සහ ධනපති පක්ෂ වලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමේ හදිසි භාවය ඉන් මතුවේ.

එම අවශ්‍යතාව මතු කරමින් සසප ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය 'යුක්තිය මෙහෙයුම පොලිස් රාජ්‍ය පියවර සඳහා පෙරහුරුවක්' ලෙස නිවැරදිව සටහන් කරමින් ජනවාරි 1 වනදා පල කල ලිපියේදී මෙසේ සඳහන් කලේය.

“ආන්ඩුවේ මෙම මර්දනීය පියවර, ඊනියා යුක්තිය මෙහෙයුමට සීමාවනු ඇතැයි මිථ්‍යාවක් ඇති කරගත යුතු නැත. වර්ගවාදී යුද්ධය සමයේදී ත්‍රස්තවාදය වැලැක්වීමේ නාමයෙන් අනුප්‍රාප්තික ආන්ඩු යොදාගත් බලහත්කාරී රඳවා ගැනීම්, දරුනු වධ බන්ධනයන්, අනීතික පැහැර ගැනීම්, තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් සහ කම්කරු පන්තිය මැඩීමට යොදාගනු ඇත. පාස්කු ප්‍රහාරය දඩමීමා කරගනිමින් අනුප්‍රාප්තික ආන්ඩු ඒ හා සමාන පිලිවෙත් ක්‍රියාවට දැමූ අතර, ඒවා පසුගිය වසරේ මහජන නැගිටීම මර්දනය කිරීමට යහමින් යොදා ගත්හ.”

ආන්ඩුවේ පියවරයන් සනාථ කරන්නේ මෙම කාරනාවයි.

Loading