ඉහල යන ගාස්තු මධ්‍යයේ දශ ලක්ෂයකට අධික ශ්‍රී ලාංකිකයන්ගේ විදුලිය විසන්ධි කෙරේ

[මෙය Electricity disconnected to over one million Sri Lankans amid soaring tariffs යන මැයෙන් 2024 මාර්තු 07 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මෑත වාර්තාවකින් හෙලි වූයේ, රජයට අයත් ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) 2023 දී පාරිභෝගිකයින් 1,063,566 (දශ ලක්ෂ හැටතුන්දහස් පන්සිය හැටහය) දෙනෙකුගේ විදුලිය විසන්ධි කර ඇති බවයි; මේවායින් අති මහත් බහුතරය දුප්පත් කුටුම්භයන් ය. මෙය නිවාස 247,250 ක විසන්ධි කල 2022 වසර හා සසඳන විට හතර ගුනයකටත් වඩා වැඩි වීමකි. 2021 දී පාරිභෝගිකයින් 94,201 කට විදුලිය කපා හැර තිබේ.

මෙම අත්‍යවශ්‍ය පහසුකම ජනතාවට අහිමි කිරීම, 2022 දී ශ්‍රී ලංකා ආර්ථිකයට බලපෑ ව්‍යසනකාරී ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ආන්ඩුව විසින් දැන් කුරිරු ලෙස ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පියවරවල සෘජු ප්‍රතිඵලයකි.

මස්කෙලිය ග්ලෙනුයිජ් වත්තේ විදුලිය නොමැති ලයින් කාමරයකට සම්බන්ධ කර ඇති තාවකාලික මඩුවක සිටින මවක් සහ ඇගේ දරුවන්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවෙන් ආරම්භ වූ මූල්‍ය අර්බුදයට කොලඹ ක්ෂනික ප්‍රතිචාරය වූයේ, දීර්ඝ විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය (ප්‍රවාහනය ඇනහිටීම් ඇති කිරීම), අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල ප්‍රධාන හිඟය සහ අහස උසට නැගුනු මිල ගනන් ඇතුලුව සාමාන්‍ය ජනතාව මත බර පැටවීමයි.

2022 අප්‍රේල්-ජූලි මාසවල මෙම සමාජ ප්‍රහාරයන් සම්බන්ධයෙන් කෝපාවිෂ්ඨ විරෝධතා පුපුරා ගිය අතර, එය පසුව මිලියන ගනනක් කම්කරුවන් සහ දුගීන් සම්බන්ධ කරගත් ආන්ඩු විරෝධී මහජන නැගිටීමක් දක්වා එය වර්ධනය විය. විරෝධතා සහ වැඩවර්ජන, ආන්ඩුව බිඳවැටීමටත්, නෙරපා හල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවට පලාගොස් ධුරයෙන් ඉල්ලා අස්වීමටත් හේතු විය.

රාජපක්ෂ පිලිබඳ ඔවුන් දොඩවන වාචාවලට පිටුපසින් වෘත්තීය සමිති සහ විවිධ ව්‍යාජ-වාම කන්ඩායම්, මෙම කාලය තුල කම්කරු පන්තිය තමන්ගේම ස්වාධීන සමාජවාදී මුලපිරීමක් ඉස්මත්තට දමා ගැනීමෙන් වලක්වාලනු ලැබුයේ ය. මෙම සංවිධාන, ධනේශ්වර පාලනය ස්ථාවර කිරීම සඳහා අන්තර්වාර පාලන තන්ත්‍රයක් ඉල්ලා සිටි සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු විරුද්ධ ධනේශ්වර පක්ෂවලට මෙම ව්‍යාපාරය යටත් කලේය. මෙය මඟපෑදුවේ, අපකීර්තිමත් පාර්ලිමේන්තුවට අන්ත දක්ෂිනාංශික රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට ඔසවා තැබීමටත්, ජාමූඅ සමාජ ප්‍රහාර ක්‍රියාවට නැංවීම තීව්‍ර කිරීමටත් ය.

මෙම කප්පාදු පියවරවල ප්‍රධාන අංගයක් වූයේ, බලශක්ති සහනාධාර ඉවත් කිරීම සහ 2022 අගෝස්තු මාසයේ දී සියයට 75 කින් ද, 2023 පෙබරවාරි මාසයේ දී තවත් සියයට 66 කින් ද, එම වසරේ ජූලි මාසයේ දී තවත් සියයට 18 කින් ද ඉහල දැමූ විදුලි ගාස්තුවල දැවැන්ත වැඩිවීම් ය.

2023 මහජන උපයෝගිතා කොමිෂන් සභා වාර්තාවකට අනුව, මසකට කිලෝවොට් පැය 60 ක් දක්වා භාවිතා කල රටේ අඩුම විදුලි පරිභෝජන කාන්ඩයේ ජනයා ලක්ෂ 30කි. දැන් මෙම කන්ඩායමේ බොහෝ දෙනෙකුගේ විදුලිය විසන්ධි කර ඇත; මසකට කිලෝවොට් පැය 61-90 දක්වා ඒකක ප්‍රමානයක් පරිභෝජනය කරන පාරිභෝගිකයින් 600,000 ක් පමන ඔවුන්ගේ භාවිතය අඩු කර ඇති අතර පසුගිය වසර තුල ඔවුන් ඇතුලත්ව තිබුනේ අඩුවෙන් ම පරිභෝජනය කරන කන්ඩායමට ය.

මෙම දත්ත සමාලෝචනය කල පාර්ලිමේන්තු කමිටුව 2023 වසර තුල ශ්‍රී ලංකාව තුල කර්මාන්ත ශාලා 250,000 ක් වසා දමා ඇති බවත්, ඒවායින් බොහොමයක් කුඩා ව්‍යවසායන් බවත්, වැසීයාමට සහ පසුව සිදු වූ රැකියා විනාශයට ප්‍රධාන හේතුවක් වූයේ අධික විදුලි බිල බවත් සඳහන් කලේය.

වෙරිටේ රිසර්ච් ඒජන්සිය විසින් කරන ලද නවතම සමීක්ෂනයකට අනුව දැනට දකුනු ආසියාවේ වැඩිම විදුලි බිල්පත් ගෙවන්නන් අතර ශ්‍රී ලාංකිකයන්‍ ද සිටී. කිලෝවොට් පැය ඒකක 100 ත් 300 ත් අතර භාවිතා කරන පාරිභෝගිකයින් කලාපයේ අනෙකුත් රටවලට වඩා තුන් ගුනයක් දක්වා වැඩියෙන් ගාස්තු ගෙවන බව වාර්තා විය.

ජාමූඅ ඉල්ලීම්වලට අනුකූලව, වික්‍රමසිංහ ආන්ඩුව, පසුව විකුනාදැමීම සඳහා ලංවිම ඇතුලු රාජ්‍ය ව්‍යවසායන් සිය ගනනක් ලාභ ලබන ව්‍යවසායන් බවට පරිවර්තනය කිරීමට පියවර ගනිමින් සිටී. ඇත්ත වශයෙන්ම, ලංවිම වැඩි කරන ලද විදුලිබිල බදු මගින්—2022 දක්වා පාඩු ලබන ව්‍යාපාරයක් වූ—සමාගම පසුගිය වසරේ රුපියල් බිලියන 61.2 ක ලාභයක් සහිත ලාභදායී ව්‍යවසායක් බවට පරිවර්තනය වී ඇත.

ආන්තික ලෙස ගාස්තු ඉහල නැංවීමට එරෙහිව නැගී එන කෝපය හමුවේ, ලංවිම කලමනාකාරීත්වය ගාස්තු සියයට 21 කින් අඩු කරන බව අඟහරුවාදා නිවේදනය කලේය. කෙසේ වෙතත්, තමන්ගේ විදුලි බිල්පත් ගෙවීමට වෙරදරන දසලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් සැනසීමට මෙය උදව්කාරක වනු ඇත්තේ යාන්තමිනි.

අධ්‍යාපනය අතහැරිමට සිදුවූ නිම්හාල්තුල්ලා 10 වසර -ඉටිපන්දම් දැල්ලෙන් ආහාරය සඳහා රොටියක් තනමින් (WSWS)

කොලඹ කොම්පඤ්ඤවීදියේ ගැලනි පැසේජ් හි රොටී පුච්චන තරුනයෙක්. හිඟ බිල්පත් ගෙවීමට නොහැකිවීම නිසා විදුලිය විසන්ධි කර ඇති ඔහුගේ කුස්සිය එලිය කෙරෙන්නේ, පොල්තෙල් පහනකිනි.

එමෙන්ම, ඉහල ගිය ජල ගාස්තු බදු ගෙවීමට නොහැකි නිසා ද, බොහෝ දුප්පත් පවුල් නල ජල සැපයුම විසන්ධි වීමේ තත්වයකට මුහුන දී සිටී. මාතර දිස්ත්‍රික්කයේ ජාතික පාසල් 5 ක් ඇතුලු පාසල් 22 කට විදුලි බිල ගෙවීමට ප්‍රමානවත් මුදල් ලබාදීමට ආන්ඩුව අපොහොසත් වී ඇති බවට ලංකා ගුරු සංගමය දෙසැම්බර් මාසයේදී චෝදනා කලේය.

ලංවිම ලාබ ලබන තත්වයට පත්කිරීමෙන් පසු මන්ඩලය විවිධ අංශ 14 කට කඩා වෙන්කිරීමට ආන්ඩුව සැලසුම් කර ඇති අතර, ඒවායින් කොටසක් පුද්ගලික ආයෝජකයින්ට විකිනීමට සහ අනෙක් ඒවා සම්පූර්නයෙන්ම වානිජකරනයට ලක් කිරීමට ද සූදානම් ය. මෙම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සකස් කෙරෙන පනත් කෙටුම්පත ලඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. මෙම පියවරයන්ට අනුකූලව, වික්‍රමසිංහ තන්ත්‍රය පුද්ගලීකරනයට විරුද්ධ ලංවිම සේවකයින්ට එරෙහිව මර්දනයක් උසිගන්වා ඇත. පුද්ගලීකරනයට එරෙහිව දහස් සංඛ්‍යාත පිරිසක් සමග තෙදින විරෝධතාවයකට සහභාගී වූ සේවකයින් 66 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දැඩි දඬුවම් දීමට සූදානම් වේ.

නිල ගනනය කිරීම්වලට අනුව 2022 දී සියයට 46 ක් වූ සාමාන්‍ය උද්ධමන අනුපාතය, 2023 දී එය සියයට 19 ක් විය. මේ වන විට එම අනුපාතය සියයට 5.9 දක්වා පහත වැටී ඇතත්, මෙමගින් දැවැන්ත දුප්පත්කම අඩුකරනු නැත .

ලෝක බැංකුවට අනුව, 2023 දී ජනගහනයෙන් සියයට 27.9 ක් දරිද්‍රතාවේ ජීවත්වූ අතර මෙය, 2021 දී දරිද්‍රතාවයේ ජීවත්වූ සංඛ්‍යාව සියයට 13.1 සංඛ්‍යාව මෙන් දෙගුනයකටත් වඩා වැඩි ය; 'මූල්‍ය ප්‍රතිසංස්කරන නිසා ඇති වූ කෙටි කාලීන ප්‍රතිගමන බලපෑම් හේතුවෙන්' එය තවදුරටත් ඉහල යනු ඇති බවට මෑත කාලීනව වාර්තාකදී පූර්වාපේක්ෂා කර තිබිනි. වෙනත් වචන වලින් කිවහොත්, පුද්ගලීකරනය, ඉහල බදු සහ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ අනෙකුත් සුබසාධන වැඩසටහන් සඳහා ආන්ඩුවේ වියදම් කප්පාදු කිරීම, දරිද්‍රතාවය සහ සමාජ දුක්ඛිතභාවය ඉමහත් ලෙස වැඩි කරනු ඇත.

අනාගත “ආර්ථික ප්‍රකෘතියක්” පිලිබඳ වික්‍රමසිංහ ආන්ඩුව නිතර නිතර කරන ප්‍රකාශය අරටුවට ම සාවද්‍ය ය. ගෝලීය ධනවාදයේ ගැඹුරු වන අර්බුදය ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් සියලුම රටවල අර්බුදය තව දුරටත් තීව්‍ර කරනු ඇත.

විදුලි මිල ඉහල දැමීම් වලට මුහුන දෙන ආකාරය ගැන කම්කරුවන් සමග මෑතකදී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෝ කතා කලහ. පීඩාවට පත් වූවන්ගෙන් වැඩි දෙනෙක් වතු කම්කරුවන් සහ ග්‍රාමීය හා නාගරික දුප්පතුන් ය.

මධ්‍යම කඳුකරයේ පුනාගල වතුයායේ කම්කරුවෙකු වන වී. මුත්තයියා පැවසුවේ, ඉහල විදුලි ගාස්තු වතු කම්කරුවන්ට දැඩි ලෙස බලපා ඇති බවයි. ඔහු ලෝසවෙඅ වෙත පැවසුවේ, හෘද රෝගයක් හේතුවෙන් තම බිරිඳට රැකියාවක් කල නොහැකි බවත්, එම යුවලට මාස හතරක් බිල් ගෙවීමට නොහැකි වූ බැවින් විදුලිය විසන්ධි කර ඇති බවත්‍ ය. සැපයුම නැවත ලබා ගැනීම සඳහා මුදල් නයට ගැනීමට ඔවුන්ට සිදු ව තිබේ.

“මට හරිහැටි රැකියාවක් නැහැ; කුලී වැඩ කරලා පොඩි ආදායමක් ලබනවා. මගේ බිරිඳගේ බෙහෙත්වලට, අපේ දරුවන්ගේ අධ්‍යාපනයට, කෑමට වියදම් කලාට පස්සේ ලයිට් බිල ගෙවන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අපි ජීවත් වන්නේ අන්තිම අමාරු තත්වයක” ඔහු පැවසීය.

කොලඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ශිෂ්‍යයෙක් මෙසේ පැවසීය: “මීට වසර කිහිපයකට ඉස්සර ගෙවපු විදුලි බිල්පත්වලට වඩා ගොඩක් වැඩි බිල්පත් ගෙවීමට මගේ දෙමාපියන්ට සිදුවෙලා. මගෙයි නංගිගෙයි අධ්‍යාපනට වියදම් කරන්නේ තාත්තාගේ ආදායමෙන්.

“විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ වතුර උනුකරන්න, කෑම උයන්න විදුලිය පාවිච්චි කරන්න දෙන්නේ නැති නිසා ගෑස් සිලින්ඩරයක් සහ ගෑස් කුකර් එකක් පාවිච්චි කරනවා. විදුලි බිල්පත් ඇතුලු අත්‍යාවශ්‍ය භාන්ඩවල ඉහල මිල ගෙවීමට අපට හැකියාවක් නැහැ,” ඇය පැවසුවාය.

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ, චීෆ්වේ මැනුෆැක්චරින් ඇඟලුම් කම්හලේ වසර හයක් සේවයේ යෙදී සිටින සේවිකාවක් මෙසේ පැවසුවාය: “මම ජීවත් වන්නේ බෝඩිමක තනි කාමරයක; මගේ මාසික වියදම [විදුලිය සඳහා] රුපියල් 3,600 ක් විතර වෙනවා. අපි ජීවත් වෙන්නේ බෝඩිමක නිසා අපේ විදුලි බිල ව්‍යාපාරික ගනයටයි වැටෙන්නෙ.” ඇගේ තනි කාමරයේ එක් විදුලි බුබුලක්, කුඩා ශීතකරනයක් සහ රූපවාහිනී යන්ත්‍රයක් ඇති බව ඇය කීවාය.

හලාවත කම්කරුවෙකු ලෝසවෙඅ වෙත පැවසුවේ, මාස දෙකක විදුලිය සඳහා රුපියල් 13,000 ක් නොගෙවූ නිසා ලංවිම සේවකයින් ඔහුගේ විදුලිය විසන්ධි කිරීමට පැමින ඇති බවයි. ඔහුගේ පෙර මාසික බිල්පත් රුපියල් 500 ක් වූ නමුත් මෑත වසරවලදී එම බිල්පත් රුපියල් 6000 කටත් වඩා වැඩි විය. “මගේ අසල්වාසීන් [ලංවිම සේවකයින්ට] මට බිල් ගෙවීමට ඇති දුෂ්කරතා පැහැදිලි කල නමුත් පසු දින වන විට හිඟ මුදල ගෙවිය යුතු බවට අනතුරු ඇඟෙවුවා. මම නයට සල්ලි අරන් බිල ගෙව්වා” ඔහු කීවේය.

දරුවන් තිදෙනෙකු සිටින වැන්දඹුවක් වන බන්ඩාරවෙල ප්‍රදේශයේ රාජ්‍ය අංශයේ කලමනාකරන සහකාරවරියක් පැවසුවේ “මගේ විදුලි බිල හදිසියේම දෙගුනයක් වූ නිසා අපි නොසිතූ දුෂ්කරතාවන්ට මුහුන දුන්නා” යනුවෙනි.

තමාට භාවිතා කල හැක්කේ දර උදුනක් පමනක් බවත්, නමුත් මෙම ක්‍රමය, විශේෂයෙන් ඇය තම සේවා ස්ථානයේ දවස පුරා වැඩ කිරීමෙන් පසුව බොහෝ සෙයින් වෙහෙසකර බවත් ඇය පෙන්වා දුන්නාය. විදුලිය සඳහා වන අධික පිරිවැය නිසා ඇයගේ රයිස් කුකර්, හීටර් සහ විදුලි ඉස්තිරික්කය පසෙකට දැමීමට ඇයට සිදුව ඇත. ඇය දැන් ඇගේ ඇඳුම් මැදීමට පාවිච්චි කරන්නේ පොල්කටු ඉස්තිරික්යයකි.

Loading