ජවිපෙ දක්ෂිනාංශික ගමන පිලිබඳ මාක්ස්වාදී කෘති එලිදැක්වීමේ රැස්වීම සඳහා උද්ඝෝෂනයට උද්‍යෝගිමත් ප්‍රතිචාර

සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) පිලිබඳවත්, එම පක්ෂයේ ප්‍රතිගාමී වාර්තාව මහජනයාට වසන් කිරීමේ අරමුනින් පිහිටුවාගෙන තිබෙන ජාතික ජනබලවේගය (ජාජබ) පිලිබඳවත් ලියන ලද, මාක්ස්වාදී විශ්ලේෂන කෘති දෙකක් එලි දක්වන රැස්වීම සඳහා සසප සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) පසුගිය දිනවල කම්කරුවන්, තරුනයින්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුලු අවශේෂ ජනයා අතර උද්ඝෝෂනයේ නියැලුනහ. රැස්වීම, අප්‍රේල් 4 සවස 4ට කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවත්වේ.

සසප පූර්වගාමියාවූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ආරම්භක ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය විසින් ලියන ලද “ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය -මාක්ස්වාදී විග්‍රහයක්” කෘතියේ සිවුවන සංස්කරනය මින් එකක් වන අතර, අනෙක, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ජාත්‍යන්තර කතෘ මන්ඩල සාමාජික කේ.රත්නායක විසින් වෙබ් අඩවියේ සිංහල හා ඉංග්‍රීසි සංස්කරන සඳහා ලියන ලද ලිපි එකතුවක් ලෙස පලකෙරෙන “ජනතා විමුක්ති පෙරමුනේ දක්ෂිනාංශික ගමන- මාක්ස්වාදී විශ්ලේෂනයක්” කෘතිය යි.

මෙම රැස්වීම පිලිබඳව සිංහල සහ දෙමල භාෂාවලින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල නිවේදනයේ මුද්‍රිත අත්පිටපත් දහස් ගනනක් වැඩපලවල, විශ්වවිද්‍යාල සහ අනෙකුත් තැන්වල බෙදා හරිමින් සහ කම්කරුවන් සහ ශිෂ්‍යයන් සමග සාකච්ඡා අවුලුවා ගනිමින් සසප/සසජාතශිසාමාජිකයෝ පසුගය දිනවලදී උද්ඝෝෂනයේ නියැලුනහ. රැස්වීමට අදාලව සසප නිල ෆේස්බුක් පිටුවේ සහ යූටියුබ් නාලිකාවේ පලකරන ලද වීඩියෝව මේ වනවිටත් දහසක් පමන දෙනා නරඹා තිබේ.

ඊයේ ( 3දා) සවස, සසප/සසජාතශි සාමාජිකයෝ ශ්‍රී ජයවර්ධන (ජ’පුර) විශ්වවිද්‍යාලය ඉදිරිපිටට තම උද්ඝෝෂනය ගෙන ගියහ. උද්ඝෝෂකයන් එහි යාමට සුලු වේලාවකට පෙර, එහි පැවති ශිෂ්‍ය විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය කඳුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබිනි. හෝමාගම තාක්ෂනික විශ්වවිද්‍යාලයේ පවත්නා අඩුපාඩු හා පුද්ගලීකරන වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම සම්බන්ධව පැවති මෙම උද්ඝෝෂනයට ජ’පුර සිසුන්ද වෙනත් විශ්ව විද්‍යාලවල සිසුන්ද සහඵාගි වී ඇත.

මෙම තිරස්චීන ප්‍රහාරය වනාහි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ප්‍රකාරව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ-ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු ආන්ඩුව ක්‍රියාවට දමන ම්ලේච්ඡ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව වැඩෙන කම්කරු හා ශිෂ්‍ය අරගල මැඩීම සඳහා එම ආන්ඩුව විසින් එල්ල කරමින් පවත්නා අඛන්ඩ ප්‍රහාර මාලාවේ කොටසකි.

සසප/සසජාතශි උද්ඝෝෂකයන්ට මෙම ශිෂ්‍ය විරෝධතාවට සහභාගිවී පැමිනි සිසුන් කීප දෙනෙකු සමග දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුනි.

පොලිසියේ කඳුලු ගෑස් හා ජල ප්‍රහාරවලට ලක්ව තෙත බරිත ඇඳුම් සහිතව සාකච්ඡාවට සම්බන්ධවූ, රත්මලාන වෘත්තීය තාක්ෂන විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු ශිල්පය හදාරන පසිඳු තමා මුහුනදෙන සමාජ-ආර්ථික ප්‍රශ්න ගැන විස්තර කලේය. දෙවැනි වසරේ ඉගෙනුම ලබන ඔහු විශ්වවිද්‍යාලය අසල නේවාසිකව සිට ඇත. නමුත්, දරාගත නොහැකි වියදම් හේතුවෙන්, විජේරාම හන්දිය අසල පිහිටි තම නිවසේ සිට දිනපතා විශ්වවිද්‍යාලයට යාමට ඔහුට සිදුව ඇත.

පසිඳු

'බෝඩිමක හිටියොත්, සතියකට අඩුම ගනනේ රු. 4,000ක්වත් වියදම් වෙනවා. ඒ අනුව මාසයකට රු.20,000ක් විතර දෙමාපියන්ට මට විතරක් වියදම් කරන්න වෙනවා.'

ජවිපෙ/ජාජබ දක්ෂිනාංශික දේශපාලන විකාශනය සම්බධන්ධයෙන් සසප/සසජාතශි සිදුකල විශ්ලේෂනයෙන් අනතුරුව එම දේශපාලනයට තමාගේ එකඟතාවයක් නොමැති බව පසිඳු සඳහන් කලේ ය. පවතින ලෝක ආර්ථිකය තුල එවැනි ප්‍රතිගාමී ජාතිකවාදී වැඩපිලිවෙලකින් මිනිසුන්ගේ ප්‍රශ්න විසඳිය නොහැකි බව ඔහු පිලිගත්තේ ය.

ආන්ඩුවේ පුද්ගලීකරන වැඩපිලිවෙලට එරෙහිව උද්ඝෝෂනයේ නියැලුනු විදුලි බල මන්ඩලයේ කම්කරුවන් හැට දෙදෙනෙකු රැකියාවලින් දොට්ට දැමීම ගැන ඔහු දැනුවත්ව සිටි අතර පෞද්ගලීකරනයේදී සේවකයන් දහස් ගනනකට රැකියා අහිමිවන බව ඔහු කීවේ ය. දරාගත නොහැකි විදුලි බිල ගැන සඳහන් කරමින් පසිඳු මෙසේ කීවේය: 'අපේ ගෙදර කලින් විදුලි බිල මාසෙට රුපියල් 3,000 -3,500 අතරෙ තිබුනෙ. දැන් ඒක රු.7,000-10,000 දක්වා නැගල. මේ වැඩිවන ජීවන වියදම මැද්දෙ මගේ විශ්‍රාමික දෙමව්පියන්ට මගේ අධ්‍යාපන කටයුතුවලට වියදම් කිරීම ඉතා අසීරු කටයුත්තක්.'

දෙමව්පියන් රැකියාවල යෙදී සිටි නිසා ඔහුට සොච්චම් මහපොල ආධාරය හෝ ලැබෙන්නේ නැත.

කුමන පක්ෂයක් බලයට පැමිනිය ද විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුලු මහජනතාවගේ ප්‍රශ්න එකකුදු හෝ විසඳීමේ හැකියාවක් නොමැති බව තම විස්වාසය බව ඔහු කීවේය. ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන වැඩපිලිවෙල ගැන ඔහුගේ අදහස කුමක්දැයි විමසූවිට ඔහු කියා සිටියේ, පවත්නා ධනපති දේශපාලන පක්ෂවලට වඩා වෙනස් දේශපාලන වැඩපිලිවෙලක් ඔවුන්ට නැති බවයි. හැකියාවක් ලැබුනොත් රැස්වීමට සහභාගි වන බව පැවසූ පසිඳු ලෝසවෙඅ ලිපි ලේඛන වට්ස්ඇප් හරහා එවීමට දුරකථන අංකය ලබා දුන්නේ ය.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා අංශයේ දෙවෙනි වසර ඉගෙනුම ලබන සංසලා ශිෂ්‍යාවට කීමට තිබුනේ ද පසිඳුට වඩා වෙනස් කතාවක් නොවේ. තමන් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ සිටින බවත් සති තුනකට හෝ මාසෙකට වරක් ඇඹිලිපිටියේ පිහිටි තම නිවසට යන බව ප්‍රකාශ කලාය. ඒ සියලු වියදම් සඳහා අවම වශයෙන් රුපියල් 15,000ක් 20,000ක් අතර මුදලක් ඇයට වියදම් වේ. උසස් පෙල හදාරන නැගනියක් ඇයට සිටින බවත් මව රැකියාවක් නොකරන බවත් ඇය කීවා ය.

නැගනියගේ අධ්‍යාපන කටයුතු සඳහා ද එවැනිම මුදලක් වැයවන බව සංසලා සඳහන් කලා ය. තම පියා මෙරට රියදුරෙකු වසයෙන් රැකියාව කල ද එයින් ලද වැටුප මෙම වියදම් පියවා ගැනීමට ප්‍රමානවත් නොවන බැවින්, රියදුරෙකු ලෙස සේවය කිරීමට මෑතකදී මැදපෙරදිග බලා ගිය බව ඇය කීවා ය. මැදපෙරදිග සංක්‍රමනික කම්කරුවන්ට නිරතවීමට ඇති සෙසු රැකියා මෙන්ම, රියදුරු රැකියාවද අතිශයින් සූරා කැවෙන, අවදානම් සහගත සහ දුෂ්කර එකක් බව පැහැදිලි ය.

ආන්ඩුවේ විදුලි ගාස්තු වැඩිවීමත් සමග ඔවුන්ගේ නිවසේ විදුලි බිල ද රු.3,000යි සිට රු.7,000 දක්වා, එනම් දෙගුනකින් වැඩි වී ඇත. 'ඒ විදුලිබල ගෙවාගත නොහැකිව එකතුවෙල තිබුනු රු. 15,000කට අධික මුදල ගෙවන්න රත්තරන් බඩු උකස් තියන්න සිදු වුනා. එහෙම නොගෙව්වනම් විදුලිය විසන්ධි කරන බවට විදුලි බල මන්ඩලයෙන් දන්වල තිබුනා' යැයි ඇය කීවාය.

'මටත්, අනෙක් සිසුන්ටත් මාස අටක පමන ශිෂ්‍යාධාර ගෙවල නෑ. ඒ වෙනුවට ගිය මාසෙදී රු. 8,000කුයි, මේ මාසෙදි රුපියල් 4,000කුයි ලැබුනා. හිග මුදල් ලැබීම ගැන කිසිම විශ්වාසයක් අපට නෑ' යැයි සංසලා කීවා ය.

පවත්නා ධනපති දේශපාලන පක්ෂ විවේචනය කරමින් ඇය මෙසේ පැවසුවා ය. “කිසිදු දේශපාලන පක්ෂයක් පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් හරියාකාර පැහැදිලි කිරීමක් සිදු කරන්නෙත් නෑ. ඔබ කීවා වගේම ජනතා විමුක්ති පෙරමුන ධනපති දේශපාලන පක්ෂයක් බවට පත්වී ඇති බව පැහැදිලියි. ඒ නිසා එම පක්ෂය ගැන කිසිම විශ්වාසයක් මට නෑ.”

'ඔබ සඳහන් කලා වගේ, ශිෂ්‍යයෝ වගේ ම අනෙකුත් මහජනයා ලෝකයේ පවතින දේශපාලනය ගැන දැනුවත් වීම අවශ්‍යයි. ඒ වගේම ආන්ඩුවලට සහ විශ්වවිද්‍යාල පරිපාලනයන්ට බලපෑම් දැමීමේ ශිෂ්‍ය උද්ඝෝෂනවලින් කිසිදු පල ප්‍රයෝජනයක් නෑ කියල මම හිතනව”

සසප/සසජාතශි වැඩපිලිවෙල ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට එකඟතාව පලකල සංසලා, ලෝසවෙඅ ලිපි වට්ස්ඇප් මාර්ගයෙන් එවන ලෙස ඉල්ලා සිටියා ය.

විදුසර

හෙද වෛද්‍ය සේවයේ පලමු වසර ඉගෙනුම ලබන විදුසර, ජවිපෙ ප්‍රතිගාමී දේශපාලන විකාශනය සම්බන්ධයෙන් කීර්ති බාලසූරියගේ පොත ද ඇසුරින් සසප/සසජාතශි සාමාජිකයන් සිදුකල විශ්ලේෂනයට උද්‍යෝගිමත් ලෙස අවධානය යොමු කල අතර එම මාක්ස්වාදී පැහැදිකිරීමට ඔහුගේ එකඟතාව පලකලේ ය.

පවත්නා ධනපති පක්ෂවලට වඩා වෙනස් දේශපාලන වැඩපිලිවෙලක් ජවිපෙට නොමැති බවත් ඔවුන් කෙරේ ඇති විශ්වාසය දැන් හීන වෙමින් යන බවත් විදුසර සඳහන් කලේය. ජවිපෙ/ජාජබ නායක අනුර දිසානායක ඉන්දියාවට සිදුකල සංචාරයේ දි, මෙරට තුල ඉන්දියාවේ භූමූලෝපායික අවශ්‍යතාවන් ආරක්ෂා කිරීමට සපථ කල බව ද අතීතයේදී සිදුකල අධිරාජ්‍ය-විරෝධී කතා, ඊනියා ඉන්දියානු විරෝධයන් මෙම පක්ෂය විසින් දැන් අත්හැර ඇති බව එයින් පැහැදිලිවන බවත් ශිෂ්‍යයා සඳහන් කලේ ය.

'එපමනක් නොවෙයි. අද වන විට අයිඑම්එෆ් නියෝජිතයන් සමග ද ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී රටවල්වල තානාපතියන් සමග සිදුකරන සාකච්ඡා කිසිසේත්ම මහජනයාට හිතකර ඒවා නොවන බව පැහැදිලි යි.'

ගෝලීය නිෂ්පාදන ක්‍රියාවලියක් තුල ධනපති සංගත කම්කරු පන්තිය අන්තයටම සූරාකමින් ගෙන යන රුදුරු වැඩ පිලිවෙලට කම්කරුවන් ගැටගැසීමේ වැඩපිලිවෙල හැර වෙනත් වැඩපිලිවෙලක් ජවිපෙ/ජාබට ඇත්තේ නැති බවත් එලැඹෙන මැතිවරනයකින් බලය ඩැහැගන්නනා මොනම ධනපති ආන්ඩුවකටවත් මහජනයා මුනු දෙන ප්‍රශ්න වලට උත්තර නැති බවත් විදුසර කීවේ ය. අප්‍රේල් 4 රැස්වීමට සහභාගී වන බව සඳහන් කල ඔහු වට්ස්ඇප් මාර්ගයෙන් ලෝසවෙඅ ලිපි එවැන්නැයි ඉල්ලා සිටියේ ය.

Loading