ඉදිරිදර්ශන

යුක්‍රේන ආන්ඩුවට බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරන ලෙස බලකරමින් හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ජාත්‍යන්තර පිකට් උද්ඝෝෂන පවත්වයි

[මෙය ICFI mounts international pickets demanding the Ukrainian government release Bogdan Syrotiuk යන මැයෙන් 2024 ජූනි 13 දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

බොග්ඩාන්ට නිදහස ඉල්ලා සිටිමු! මෙම පෙත්සම පුරවන්න.

ජූනි 13 බ්‍රහස්පතින්දා, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක), පැරනි සෝවියට් සංගමයේ ට්‍රොට්ස්කිවාදී සංවිධානයක් වන බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (වයිජීබීඑල්) හි නායකයෙකු වන යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරෝටියුක් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට විරෝධය දැක්වීම සඳහා ප්‍රධාන නගර ගනනාවක යුක්‍රේන තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල ඉදිරිපිට ජාත්‍යන්තරව සම්බන්ධීකරනය කෙරුනු පිකට් උද්ඝෝෂන පැවැත්වූයේය.

පිකට් උද්ඝෝෂන අනුපිලිවෙලින් ඉස්තාන්බුල්, පැරිස්, ලන්ඩන්, බර්ලින්, වොෂින්ටන් ඩී.සී, ටොරොන්ටෝ, කැන්බරා සහ සිඩ්නි යන නගරවල පැවැත්විනි; අවසාන උද්ඝෝෂන දෙක පැවැත්වුනේ ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් ජුනි 14 වන දින උදෑසන ය.

සෑම පිකට් උද්ඝෝෂනයකදී ම, ජාත්‍යන්තර කමිටුවේ ප්‍රමුඛ නියෝජිතයෙක්, බොග්ඩාන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ විවෘත ලිපිය කියවූ අතර, එය තානාපති කාර්යාලයට භාර දුන්නේ ය, නැතහොත් භාර දීමට උත්සාහ කලේය.

ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකයින් සහ ආධාරකරුවන් 2024 ජූනි 13 වන දින (වම්පස ඉහල සිට දක්ෂිනාවර්තව) බර්ලින්, ලන්ඩන්, වොෂින්ටන් ඩී.සී සහ ඉස්තාන්බුල් හි යුක්‍රේන තානාපති කාර්යාල ඉදිරිපිට, සිරගතව සිටින යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කිරීම ඉල්ලා පිකට් උද්ඝෝෂන පවත්වති.

ට්විටර්/එක්ස් හි දැන් 10,000 වාරයකට වඩා නරඹා ඇති එම ලිපියේ වීඩියෝව, බොග්ඩාන්ගේ හිංසා-පීඩාවන් සාරාංශ කරන අතර ඔහුගේ නිදහස ඉල්ලා සිටී. යුක්‍රේන සහ රුසියානු ආන්ඩු දෙකට ම ඔහුගේ ප්‍රතිපත්තිමය විරුද්ධත්වය 'රුසියානු ගැති' ලෙස විකෘති කරමින් රාජද්‍රෝහී චෝදනා මත 2024 අප්‍රේල් 25 දින, යුක්‍රේන ආරක්ෂක සේවය (එස්බීයූ) විසින් බොග්ඩාන් අත්අඩංගුවට ගන්නා ලදී. දැන් යුක්‍රේනය පුරා තහනම් කර ඇති ලෝක සමාජවාදී වෙබ් අඩවියට එරෙහිව ද යුක්‍රේන ආන්ඩුව එම චෝදනාව ම එල්ල කලේය. එම ලිපියේ මෙසේ සටහන් වේ:

“මෙම තරුන හා ධෛර්ය සම්පන්න සමාජවාදියාට එරෙහි ඔවුන්ගේ රාජද්‍රෝහී චෝදනාව සනාථ කල නොහැකි බව යුක්‍රේනයේ රාජ්‍ය පොලිසිය හොඳින් දනී. එබැවින්, සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී තන්ත්‍රය විසින්, නාසි ජර්මනියේ ඒජන්තයින් ලෙස ට්‍රොට්ස්කිවාදී විරුද්ධවාදීන් හෙලා දකින ලද ත්‍රස්තයේ සහ මොස්කව් නඩු විභාගවල යුගයේ දී භාවිතා කරන ලද ආකාරයේ බොරුවලට ඔවුන් යොමු විය යුතුය. සෝවියට් සංගමය විසුරුවා හැරීම සහ යුක්‍රේනයේ ධනවාදය පුනස්ථාපනය කිරීම සිදුවූයේ වුව ද, ස්ටැලින්වාදී පොලිස් ඒජන්සිවල විධික්‍රම සහ ස්වභාවය දිගටම පවතී....

“බොග්ඩාන් සයිරොටියුක් ඔබේ ආන්ඩුවේ අවනීතියේ ගොදුරකි. යුක්‍රේන කම්කරුවන් හා තරුනයින් අතර යුද්ධයට එරෙහිව නැගෙන විරෝධය පිලිබඳ ජාත්‍යන්තර මාධ්‍යවල පලවූ නොයෙකුත් වාර්තා මධ්‍යයේ අප්‍රේල් 25 දා ඔහු අත්අඩංගුවට ගැනීම සිදු විය. රාජද්‍රෝහී චෝදනා මත සයිරොටියුක් පිලිබඳ මුසාකරනය, යුක්‍රේනයේ ධනේශ්වර ප්‍රභූවේ සහ එහි අධිරාජ්‍යවාදී සහචරයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඔබේ ආන්ඩුව යුද්ධයට විරුද්ධවන්නන් බිය ගැන්වීම අරමුනු කර ඇති බව පැහැදිලිය.”

හජාජාක පිකට් උද්ඝෝෂන වලට සහ ලිපිය භාර දීමට දැරූ උත්සාහයන්ට යුක්‍රේන ආන්ඩුව දැක්වූ ප්‍රතිචාරය දේශපාලනිකව අනාවරනය විය.

මෙදින ආරම්භ වූයේ ඉස්තාන්බුල්හි සිදුකල පලමු පිකට් උද්ඝෝෂනයෙනි; එහිදී කොන්සල් සේවකයෙකු තුර්කියේ සමාජවාදී සමානතා කන්ඩායමේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන උලාස් අටෙසි ගේ ලිපිය භාර ගත්තේය. ලිපිය ඉස්තාන්බුල්හි කොන්සල් ජනරාල් නෙඩිල්ස්කි රෝමන් වෙත භාර දිය යුතු බව අටෙසි පැහැදිලි කල අතර සේවකයා එසේ කිරීමට එකඟ විය.

මෙම ලිපිය ලැබීම සහ යුක්‍රේන නිලධාරීන් විසින් එය සමාලෝචනය කිරීම ක්ෂනික හා සැලකිය යුතු ප්‍රතිචාරයක් ජනනය කල බව පැහැදිලි ය. පැරිස්, ලන්ඩන්, බර්ලින් සහ වොෂින්ටන් ඩී.සී. හි මීලඟ පිකට් උද්ඝෝෂන කිරීම් සිදු වූ අවස්ථාව වන විට, ලිපිය පිලිගැනීම ප්‍රතික්ෂේප කර, සියලු සද්චාරිත්‍ර අත්හැරීමට තානාපති කාර්යාල නිලධාරීන්ට සෙලෙන්ස්කි පාලන තන්ත්‍රය විසින් උපදෙස් යවා තිබුනි.

ලෝකයේ ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අගනගර හතරේ සෑම තානාපති කාර්යාලයක ම දිග හැරුනේ ඊට සමාන දර්ශනයකි; එහිදී නිලධාරීහු සම්මත භාවිතයන් උල්ලංඝනය කරමින්, ලිපිය පිලිගැනීමට හෝ හජාජාක නියෝජිතයන් සමඟ කතා කිරීමට කිසිවෙකු යැවීම ප්‍රතික්ෂේප කලහ.

පැරිසියේදී, තානාපති කාර්යාලයේ නිලධාරියෙක් පිටතට පැමින එහි මුරකාවලේ සිටි පොලිස් නිලධාරියෙකුට කතා කල අතර, එම පොලිස් නිලධාරියා ලිපිය තානාපති කාර්යාලයට නොලැබෙන බව ප්‍රංශ සමාජවාදී සමානතා පක්ෂයේ (පීඊඑස්) ජාතික ලේකම් ඇලෙක්ස් ලැන්ටියර්ට දන්වා සිටියේය.

ලන්ඩනයේදී සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් රාජධානියේ) ජාතික ලේකම් ක්‍රිස් මාර්ස්ඩන් පිලිගනු ලැබුවේ නිහඬතාවයෙනි. පිකට් උද්ඝෝෂනයේ වීඩියෝවේ පටිගතව තිබූ පරිදි, තානාපති කාර්යාලයේ ඉදිරිපස දොරට යාබද ජනේලයේ සෙවනැලි දක්නට ලැබෙන මුත්, කිසිවෙකු ගොඩනැගිල්ලෙන් පිටතට නො පැමිනේ.

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

බර්ලිනයේ, ජර්මානු සමාජවාදී සමානතා පක්ෂයේ (එස්ජීපී) ජාතික ලේකම් ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර් සීනුව නාද කිරීමෙන් පසු කිසිවෙක් පිලිතුරු දුන්නේ නැත. තානාපති කාර්යාල ප්‍රවේශය අසලින් තැපැල් පෙට්ටියකට ලිපිය දැමීමට පෙර වැන්ඩ්‍රියර් මෙසේ අදහස් දැක්වීය:

'මෙතැනින් පිටත සිට පෙනෙන තානාපති කාර්යාලයේ සාමාජිකයන් ඔවුන්ගේ තානාපති කාර්යාලයේ සැඟවී සිටින බව පැහැදිලිය. බොග්ඩාන් සයිරොටියුක්ට සහ ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව ඇති චෝදනාවලට කිසිදු සත්‍ය පදනමක් නොමැති බවත්, ඔහු නිදහස් කිරීමේ ව්‍යාපාරය දිනෙන් දින වර්ධනය වන බවත් ඔවුන් දන්නා නිසා, අප දැන් කියවා ඇති මෙම ලිපිය ලබා ගැනීමට පවා ඔවුන් කැමති නැත.'

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

ලෝක අධිරාජ්‍යවාදයේ කේන්ද්‍රස්ථානය වන වොෂින්ටන් ඩී.සී. හි තානාපති කාර්යාලයේ නිලධාරියෙක් මොහොතකට දොර විවර කර, සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදයේ) උප ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් සිටිනු දැකීමෙන් පසු වහාම එය වසා දැමීය. ඉන් ටික වේලාවකට පසු, රහස් සේවා නියෝජිතයන් පැමින වයිට් වෙත දන්වා සිටියේ, තානාපති කාර්යාල නිලධාරීන් විසින් එම ලිපිය බාර නොගන්නා බව දැනුම් දී ඇති බවත්, ඒ වෙනුවට තානාපති කාර්යාලයට ලිපිය තැපැල් කල යුතු බවත් ය.

මෙම සිදුවීමෙන් පසු වීඩියෝ ප්‍රකාශයක් කරමින් වයිට් මෙසේ පැවසීය:

'මෙය යුක්‍රේන තන්ත්‍රයේ අසීමිත බියගුලුකම පිලිබඳ ඇඟවීමක් පමනි. මෙය වනාහි , බිහිසුනු යුද්ධයට එරෙහිව යුක්‍රේන සහ රුසියානු කම්කරුවන් එක්සත් කිරීමට සටන් කිරීමේ එකම 'අපරාධය' කරමින් සිටින නිර්භීත සමාජවාදියෙකුට එරෙහි අශික්ෂිත බොරු නඩුවක් බවට එල්ල වන චෝදනාවලට පිලිතුරු දීමට එය අසමත් ය. ස්ටැලින්වාදයට සහ රුසියාවේ කතිපයාධිකාරී තන්ත්‍රයට එරෙහි අපගේ දීර්ඝ, සාඩම්බර ඉතිහාසයෙන්, බොග්ඩාන් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය “පුටින්ගේ නියෝජිතයන්” බවට ඔවුන්ප්‍ර කාශ කරන බොරු හෙලිදරව් වීමේදී, ඔවුන්ට ඒවාට පිලිතුරු නැත.'

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

වයිට් ලිපිය කියවීමෙන් පසු, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ (කක්‍රික-ජාස) නායකයෙකු වන මැක් ට්‍රක්ස් මෝටර් රථ සේවක විල් ලේමන්, බොග්ඩාන් ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර කම්කරු පන්තියට ආරාධනා කරමින් වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කලේය. ලේමන් යුක්‍රේනයේ යුද්ධයට මුලුමනින්ම සහාය දුන් වෘත්තීය සමිති නිලධරයන්ගේ භූමිකාව ද මෙසේ හෙලිදරව් කලේ ය:

'මෙහිදී එක්සත් ජනපදයේ බයිඩන් පරිපාලනය සහ දූෂිත එක්සත් මෝටර් රථ කම්කරු නිලධරය, මෝටර් රථ කම්හල් ‘ප්‍රජාතන්ත්‍රවාදයේ අවි ගබඩා’ බවට පත් කිරීම ගැන කතා කරති. බොග්ඩන්ගේ අත්අඩංගුවට ගැනීම යුක්‍රේනය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව ඔප්පු කරයි. මැතිවරන නැත; විරුද්ධ දේශපාලන පක්ෂ නැත; ඔබ බොග්ඩන් කලාක් මෙන් කම්කරුවන් වෙනුවෙන් කතා කලහොත් සහ යුද්ධයට විරුද්ධ වුවහොත් ඔබ සිරගත කරනු ලැබේ. බයිඩන් සහ යූඒඩබ්ලිව් සභාපති ෂෝන් ෆේන් සත්‍යය පවසන්නේ නම්, ඔවුන් ප්‍රකාශ කරනු ඇත්තේ, ඇමරිකානු වාහන කම්හල් “ආඥාදායකත්වය සඳහා අවි ගබඩා” බවට පත් කිරීමට අවශ්‍ය බව ය.'

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

හජාජාක නියෝජිතයන් ව හිතාමතාම නොසලකා හරින තානාපති කාර්යාලවල මෙම රටාව බිඳ වැටුනේ, ඈත හුදකලා තානාපති කාර්යාලයක් ඇති, ජනාකීර්නත්වය අඩු ඕස්ට්‍රේලියාවේ අගනගරය වන කැන්බරාහිදී පමනි. තානාපති කාර්යාල නිලධාරීන් දැනුවත් කර නොතිබීම නිසා හෝ හජාජාක පිකට් උද්ඝෝෂනවල සමාජ මාධ්‍ය පෝස්ටු අන්තර්ජාලය හරහා පුලුල් ලෙස සංසරනය වීමෙන් ඔවුන්ගේ උපක්‍රමය පසුබෑමකට ලක්ව ඇති බව වටහාගෙන තිබුනු නිසා හෝ ලිපිය භාරගන්නා ලදී. ටොරොන්ටෝ හි කුඩා යුක්‍රේන කොන්සල් කාර්යාලයේදී ද හජාජාක නියෝජිතයින්ට ලිපිය භාර දීමට ද හැකි වූයේ, එම හේතු නිසා විය හැක.

එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ, ජර්මනියේ සහ ප්‍රංශයේ පිහිටි යුක්‍රේන තානාපති කාර්යාල, ලිපිය භාර ගැනීම හෝ ජාත්‍යන්තර කමිටුවේ නියෝජිතයන් සමඟ අදහස් හුවමාරුවක් පවා ප්‍රතික්ෂේප කිරීම පැහැදිලිවම යුක්‍රේන ආන්ඩුව විසින්, වැන්ඩ්‍රියර් ප්‍රකාශ කල පරිදි, “තම තානාපති කාර්යාල තුල සැඟවීමට” යුක්‍රේන නිලධාරීන් ගත් තීරනය, බොග්ඩාන් අත්අඩංගුවට ගැනීම යුක්‍රේනයේ යුද්ධයට එරෙහි සියලු විරෝධයන් බිය ගැන්වීමේ අරමුනක් සහිත දේශපාලන මුසාකරනයක් ම වන බවට ලිපියෙන් ඉදිරිපත් කර ඇති කේන්ද්‍රීය චෝදනා සනාථ කරයි. නිලධාරීන් එම ලිපිය භාර ගැනීම ප්‍රතික්ෂේප කලේ, එය ඔවුන්ගේ සාපරාධී පාලන තන්ත්‍රයන්ට පිලිතුරු දිය නොහැකි චෝදනා පත්‍රයක් බව දන්නා නිසාය.

තවද, යුක්‍රේන නිලධාරීන්ගේ හැසිරීම, යුද නීතිය පනවා ඇති, මැතිවරන අත්හිටුවා ඇති සහ යුද්ධයේ විරුද්ධවාදීන් දහස් ගනනක් අත් අඩංගුවට ගෙන ඇති සෙලෙන්ස්කි තන්ත්‍රයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ෆැසිස්ට්වාදී ස්වභාවය හෙලිදරව් කිරීමකි. එවැනි ආන්ඩුවක් මහජන විරෝධතා නො ඉවසන අතර, ඒවා යුක්‍රේනයේ සිදු වුවහොත් කුරිරු මර්දනයකට මුහුන දෙනු ඇත.

විශාල දේශපාලනික ආයෝජනයක් කර බොග්ඩාන් සම්බන්ධයෙන් ගෙතූ බොරුව පවත්වාගෙන යාමට යුක්‍රේන ආන්ඩුව සහ එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවන් දැන් අධිෂ්ඨානවත් වීම, මෙම ප්‍රතිචාරයෙන් පැහැදිලි වේ.

බෙනිටෝ මුසෝලිනි ගේ ෆැසිස්ට් දේශපාලන උරුමක්කාරිය වන ජෝර්ජියා මෙලොනි විසින් සත්කාරකත්වය දරන ජී7 සමුලුව ඉතාලියේ ආරම්භ වූ දිනයේම ජාත්‍යන්තර පිකට් උද්ඝෝෂන සිදු විය. සමුලුවේ දී, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි වසර 10 ක නව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබූ අතර, ජී7 බලවතුන් යුක්‍රේනයට තවත් ඩොලර් බිලියන 50 ක අරමුදල් සැපයීමට එකඟ විය.

මෑත සතිවල දී, එක්සත් ජනපදය සහ අනෙකුත් නැටෝ බලවතුන්, නැටෝව නිෂ්පාදනය කරන ලද ආයුධ වලින් රුසියාවට පහරදීමට යුක්‍රේනයට අවසර ලබා දී ඇති අතර, නැටෝ නායකයන් කිහිප දෙනෙකු තම හමුදා සෘජුවම යුක්‍රේනයට යැවීම ගැන විවෘතව සාකච්ඡා කර ඇත. අධිරාජ්‍යවාදී බලවතුන් රුසියාව සමග යුද්ධය නිර්දය ලෙස තීව්‍ර කරමින්, න්‍යෂ්ටික වහ්නි ජාලාවක අන්තරාය පෙර නොවූ විරූ මට්ටම් කරා ඉහල නංවමින් සිටී.

මෙම සන්දර්භය තුල, බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කිරීමේ සටන දැවැන්ත දේශපාලන වැදගත්කමක් අත්පත් කර ගනී. එය, වර්ධනය වෙමින් පවතින ජාත්‍යන්තර සමාජවාදී, යුද විරෝධී ව්‍යාපාරයක තෝමරයයි. බොග්ඩාන්ගේ නිදහස සහ අධිරාජ්‍යවාදී යුද්ධය අවසන් කිරීම ඉල්ලා සිටින ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනැගීමේ වැදගත් ඉදිරි පියවරක් ලෙස බ්‍රහස්පතින්දා පිකට් උද්ඝෝෂනය සැලකිය යුතුය. යුක්‍රේන ආන්ඩුව පිලිගත්තත්, නැතත්, මෙම උද්ඝෝෂනය අඛන්ඩව ගෙනයනු ඇත.

අධිරාජ්‍යවාදී යුද්ධය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි සියලු ප්‍රහාර නැවැත්වීම සඳහා ජාත්‍යන්තර ව්‍යාපාරයක අවශ්‍යතාවය පිකට් උද්ඝෝෂනය විසින් මූර්තිමත් කෙරුනි. යුද්ධය, ජන සංහාරය, ආඥාදායකත්වය, දේශගුනික විපර්යාස සහ වසංගතවලට එරෙහි සටන මෙන් බොග්ඩන් නිදහස් කිරීමේ සටන ද දියත් කල හැක්කේ ජාත්‍යන්තර පරිමාන සටනක් ලෙසින් පමනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ ජාත්‍යන්තර කමිටුව බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කිරීම, යුක්‍රේනයේ යුද්ධය නැවැත්වීම, ගාසා තීරයේ ජන සංහාරය අවසන් කිරීම සහ ලෝක සමාජවාදී විප්ලවය සඳහා අරගලය ගැඹුරු කිරීමට මෙම උද්ඝෝෂනයට සම්බන්ධ වන ලෙස අපගේ සියලුම පාඨකයින්ට සහ ආධාරකරුවන්ට ආයාචනා කරයි. බොග්ඩාන්ගේ නිදහස ඉල්ලා පෙත්සමට අත්සන් කර ඔහු නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයට අද ම සම්බන්ධ වන්න!

Loading