විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජනයට දෙමසක් සපිරේ

වැටුප් සහ මාසික හිලවු දීමනාව (එම්සීඒ) වැඩි කරන ලෙස ඉල්ලා මැයි 02 දා ආරම්භ කල විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජනයට හෙටවනවිට දෙමසක් සපිරේ. මෙම වර්ජනයට දිවයිනේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සේවයේ නියුතු අනධ්‍යන කම්කරුවන් 13,000 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වී සිටිති.

වික්‍රමසිංහ ආන්ඩුව, 2024 ජූනි 26 වැනි දින ශ්‍රී ලංකාවේ කොලඹදී, විරෝධතා දක්වන ගුරුවරුන්ට එරෙහිව පොලිසිය සහ හමුදාව බලමුලු ගන්වා තිබූ අයුරු

ආන්ඩුව අනධ්‍යන සේවකයන්ගේ ඉල්ලීම් යලියලිත් ප්‍රතික්ෂේපකොට ඇති අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරනයෙන් කියා සිටින්නේ, ලබන වසර වනතෙක් රාජ්‍ය අංශයේ කවර හෝ ක්ෂේත්‍රයක වැටුප් වැඩි කල නොහැකි බවයි.

වර්ජිත අනධ්‍යන සේවකයන් පැවැත්වූ විරෝධතාවන්ට එරෙහිව දැඩි පොලිස් ප්‍රහාර එල්ල කල ආන්ඩුව, වර්ජනය බිඳ හෙලීම සඳහා සෑම අතින්ම පියවර ගනිමින් සිටී. මෙහි කොටසක් ලෙස, විශ්වවිද්‍යාලවල 'ආරක්ෂාව' තහවුරු කෙරීමේ කඩතුරාව යටතේ, දිවයිනේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආසන්නයේ පොලිස් සහ හමුදා භට කන්ඩායම් බලමුළු ගන්වා ඇත.

මෙම බලමුළුගැන්වීම හරහා වර්ජිත අනධ්‍යන කම්කරුවන්ට එරෙහි රුදුරු පොලිස් කඩාපැනීමක් සූදානම් කෙරෙමින් පවතිනබව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග, ජූනි 30 දා සන්ඩේ ටයිමිස් පුවත්පතට කල ප්‍රකාශයකින් අනාවරනය වෙයි. ආචාර්යවරුන් සහ සිසුන් නවතැන් ගෙන සිටින ගොඩනැගිලිවල ජල සහ විදුලි සැපයුම් විසන්ධි කිරීමේ ප්‍රයත්නයන්හි අනධ්‍යන සේවකයන් යෙදී සිටින බවට වාර්තා වී ඇතැයි අමරතුංග එහිදී පවසා ඇත. මාර්ගගත අධ්‍යාපන පද්ධතිය අඩපන කිරීම සඳහා විදුලිය විසන්ධි කිරීමේ උත්සාහයන් ද ඔවුන් දරා ඇතැයි ඔහු තවදුරටත් පවසා තිබේ.

මේ අතර, වර්ජනය හේතුවෙන් අඩපන වී ඇති, ආචාර්යවරුන්ගේ වැටුප් ගෙවීම ඇතුලු විශ්වවිද්‍යාල වැඩකටයුතු පනගැන්වීම සඳහා, වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන ලෙස උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති සුරේන් රාඝවන් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට උපදෙස් දී ඇති බව ද ටයිමිස් වාර්තාව පවසයි. මෙම වැඩකටයුතු සඳහා මිලිටරිය යොදවා ගැනීමේ සෑම ඉඩකඩක්ම පවතී.

වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ඇති බවට චෝදනා කරමින්, අනධ්‍යන සේවකයන්ට එරෙහිව මහජනතාව ප්‍රකෝප ගැන්වීම සඳහා ධනපති මාධ්‍ය විසින් ගෙනයන නින්දිත උද්ඝෝෂනය ද ඉහල මට්ටමකට නංවා ඇත.

මෙම තතු තුල, වර්ජනය කැඳවූ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සන්ධානය කරමින් සිටින්නේ කුමක්ද?

ආන්ඩුවේ ඇමතිවරුන් සහ නිලධාරීන් සමග දොරවල් වැසූ කාමරවල විවිධ සාකච්ඡාවන්හි නිරත වූ සමිති නිලධරය, වර්ජනය නතර කිරීම සඳහා තම සාමාජිකත්වයට ඉදිරිපත් කලහැකි කවර හෝ ප්‍රතිචාරයක් ආන්ඩුව පාර්ශ්වයෙන් නොලැබුනු තතු තුල, අනධ්‍යන සේවකයන් තල්ලුකර ඇත්තේ, ඊනියා සත්‍යග්‍රහ තුලටයි.

දැන් ඔවුන් කියා සිටින්නේ, ජූලි 01 වන දා, එනම් අද දින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සමග පැවැත්වීමට නියමිත සාකච්ජාවේදී 'පිලිගතහැකි විසඳුමක්' නොලැබේනම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 'දැඩි කිරීමට' තීරනය කොට ඇති බවයි.

පලමුකොටම, සමිති නිලධරය මාන බලන්නේ, ආන්ඩුවේ කවර හෝ ව්‍යාජ පොරොන්දුවක් මත වර්ජනය කෙසේ හෝ නතර කිරීමටයි.

එවන් පොරොන්දුවක් හෝ නොලැබුනහොත්, ඔවුන් 'දැඩි' කරන ක්‍රියාමාර්ග මොනවාද? ඔවුනට අනුව, පාසල් ගුරුවරුන්ගේ වෘත්තීය සමිති සමග එක්ව සාකච්ජා කිරීම ඉන් එක් කොටසකි. නිශ්චිතව, මෙම සාකච්ඡා සහ ඒ අනුව ගනු ලබන 'දැඩි' ක්‍රියාමාර්ග ආන්ඩුවට පීඩනය යෙදීමෙන් ඉල්ලීම් දිනාගැනීමේ වෘත්තීය සමිති පිලිවෙතින් ඔබ්බට නොයනු ඇත. නමුත් සෑම ක්ෂේත්‍රයකම කම්කරුවන් යලි යලිත් අත් දකිමින් සිටින්නේ මෙම පිලිවෙතේ ආන්තික බංකොලොත්භාවය යි.

අනෙක් අතට, ඒ ඒ ධනපති පක්ෂ වලට සම්බන්ධිත වෘත්තීය සමිති නායකයන්, විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ සමිති, තම සාමාජිකත්වයට කියා සිටින්නේ, ලඟ එන ජනාධිපතිවරනයෙන් තම අපේක්ෂකයා ජයගෙන කව ආන්ඩුවක් පිහිටුවා ප්‍රශ්න විසඳනතෙක්, වැඩවර්ජන සහ විරෝධතා ඇතුලු කාර්මික ක්‍රියා නතර කර සිටියයුතු බවයි.

මෙම සියලුම පක්ෂ ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙල වෙනුවෙන් කැප වී සිටිති.

2024 ජූනි 25 දා සමාජවාදී සමානතා පක්ෂය නිකුත් කල ප්‍රකාශයේ සඳහන් කෙරුනු පරිදි,

'සමාජවාදී සමානතා පක්ෂය (සසප) ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියෙන් ඉල්ලා සිටින්නේ, වෘත්තීය සමිති, සිය අරගල පීලි පැන්නවීමට සහ ධනේශ්වර පාර්ලිමේන්තු රාමුවට කොටු කිරීමට දරන උත්සාහය ප්‍රතික්ෂේප කරන ලෙසයි. කම්කරු පන්තියේ සෑම කොටසකම විරෝධතා සහ වැඩ වර්ජන, වික්‍රමසිංහ තන්ත්‍රයේ කප්පාදු පියවර පරාජය කිරීමේ පොදු අරගලයක වෛෂයික අවශ්‍යතාවය පෙන්නුම් කරයි.

'තම වැටුප්, රැකියා, ජීවන කොන්දේසි සහ මහජන සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කර ගැනීමටත්, ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදුවලට එරෙහිව සටන් කිරීමටත් දේශපාලන මහා වැඩ වර්ජනයක් සූදානම් කරන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි. වික්‍රමසිංහ තන්ත්‍රයට එරෙහි සහ ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමේ දේශපාලන සටනකින් තොරව ඔවුන්ට මේ කිසිදු අයිතියක් ආරක්ෂා කරගත නොහැක.'

250,000 න් වන රජයේ පාසල් ගුරුවරුන්, වැඩි වැටුප් ඉල්ලා දියත්කල වැඩවර්ජනයට ආන්ඩුව දැක්වූ ප්‍රතිචාරයෙන්, මෙම වැඩපිලිවෙලේ අත්‍යවශ්‍යභාවය සහ හදිසිභාවය දැඩිව තහවුරු කරයි.

පසුගිය සතියේ බදාදා (26), කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සහ එයට යාබද මාර්ගවල, 10,000 ක පමන ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ විරෝධතාවයකට ආන්ඩුව පොලීසිය යොදවා දරුනු ලෙස පහර දුනි. ඊට පසුදින, මහනුවර දී, ජනාධිපති වික්‍රමසිංහ ගුරුවරුන්ට තර්ජනය කරමින් කියා සිටියේ, ගුරු සේවය 'අත්‍යවශ්‍ය' සේවාවක් බවට පත් කරන බවයි. 'අත්‍යවශ්‍ය සේවා' විධිවිධානයන්ට අනුව වැඩවර්ජන තහනම් කෙරේ.

අනධ්‍යන සේවකයන්ගේ සහ පාසල් ගුරුවරුන්ගේ අරගල, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන්ට අනුව ජනාධිපති වික්‍රමසිංහගේ ආන්ඩුව ගෙනයන දරුනු කප්පාදු පියවර වලට එරෙහිව සමස්ත කම්කරු පංතිය තුල වැඩෙමින් පවතින අරගල මාලාවේ කොටසකි. 2022 මහජන නැගිටීම අභිබවා යන සමාජ පිපිරීමක් දෙසට එම අරගල මාලාව වර්ධනය වෙතැයි බියපත්වන ආන්ඩුව, ඒවා ප්‍රචන්ඩ ලෙස තලා දැමීමට පියවර ගනිමින් සිටී.

මෙම මර්දනය පරාජය කරමින් තම ඉල්ලීම් සාක්ෂාත් කල හැක්කේ කෙසේද? යන බරපතල අභියෝගය කම්කරු පංතියට අභිමුඛව පවතී.

ඉහත සසප ප්‍රකාශයෙන් පෙන්වාදුන් පරිදි මෙම අභියෝගය ජයගත හැක්කේ, ධනපති ආන්ඩුවටත්, සමස්ත ධනපති ක්‍රමයටත් එරෙහි කම්කරු පංතියේ ඒකාබද්ධ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් මගිනි. නමුත් එයට සපුරා එරෙහිවන වෘත්තීය සමිති, ආන්ඩුවේ රුදුරු බලමුලුගැන්වීම්වලින් මතු කෙරෙන සැබෑ අන්තරාය කම්කරුවන්ගෙන් වසන් කරයි.

පසුගිය 26 වෙනිදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට දී මාධ්‍යයට ප්‍රකාශයක් කල විශ්වවිද්‍යාල වෘත්තිය සමිති සන්ධානයේ නායකයෙකු වන සමන්ත ප්‍රියදර්ශන විශ්ව විද්‍යාල තුලට පොලීසිය සහ හමුදාව බලමුලුගැන්වීම හුදු සමච්චලයකට ලක් කරමින් මෙසේ පැවසීය: 'අධ්යාපන අමාත්යංශයේ ලේකම්වරිය ආරක්ෂාව ඉල්ලන ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා. එම ලිපිය අනුව විශ්වවිද්‍යාලවලට පොලිස් ආරක්ෂාවන් සපයලා තියෙනවා. විශ්වවිද්‍යාලවල පොලිස් ආරක්ෂාව අවශ්ය නැහැ. ඒකෙ වගකීම අපි භාරගෙන ඉන්නවා. ඒකට තමයි අපි ඉන්නෙ. ඒක නිසා එවැනි කටයුතු වලින් බැහැර වෙන්න ඕන.'

යු ටියුබ් චැනලයක සාකච්ඡාවට එක්වූ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති ධම්මික එස්.ප්රියන්ත, වර්ජනය හේතුවෙන් අනධ්‍යන කම්කරුවන් රැකියා අහිමිවීමේ තර්ජනයට මුහුන දී ඇත්දැයි විමසූ විට මෙසේ පිලිතුරු දුන්නේ ය: 'මං හිතන්නනේ නැහැ පාලකයන්ට ඒ මට්ටමින් තීරන ගන්න පුළුවන් වේවි කියල ඇත්තටම මේ වෙලාවේ රජය මැතිවරනයකට මුහුනදිලා ඉන්න අවස්ථාවක්.' ප්‍රියන්ත මෙසේ පවසන්නේ, මේ වසර මුල දී ලංකා විදුලිබල මන්ඩලයේ කම්කරුවන් පුද්ගලීකරනයට එරෙහිව ගෙනගිය කාර්මික ක්‍රියාවකට සහභාගිවීම හේතුවෙන්, ආන්ඩුව එහි කම්කරුවන් 62 ක ගේ වැඩ තහනම්කර ඇති තතු යටතේ ය.

තමා මුහුනදෙන සැබෑ අන්තරායන් වසන් කරන සහ ආන්ඩුවට පීඩනය යෙදීමේ බංකොලොත් වැඩපිලිවෙල තුල තමා සිරකොට ධනපති ප්‍රහාරයන්ට ගොදුරු කරන ද්‍රෝහී සමිති නිලධරය අත තම සටන තවදුරටත් රැඳවිය නොහැකි බව කම්කරුවන් වටහාගත යුතුය.

ඉහත සසප ප්‍රකාශය සඳහන් කරන පරිදි,

'දේශපාලන මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීමට කම්කරුවන් තම දැවෙන ඉල්ලීම් සඳහා වන අරගලය තමන්ගේ අතට ගත යුතුය. වෘත්තීය සමිති නිලධරයන්ගෙන් සහ ඔවුන් පෙලගැසී සිටින ධනේශ්වර දේශපාලන පක්ෂවලින් ස්වාධීනව වැඩබිම්, කර්මාන්තශාලා, වතුකරයේ ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කර ගත් ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට අපි කම්කරුවන්ට කැඳවුම් කර සිටින්නෙමු.'

Loading