වැඩිවන වැඩ බර, වැටුප් කප්පාදුව සහ මර්දනයට එරෙහිව සටන් කිරීම සඳහා වතුකරය පුරා ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ අනුබලය ලබන වතු සමාගම්වල දරාගත නොහැකි වැඩ බරට, වැටුප් කප්පාදුවලට සහ කුරිරු මර්දනයට වතු කම්කරුවන් මුහුන දී සිටිති. අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල අහස උසට නැඟීමත් සමඟ ඔවුන් සිටින්නේ සාගින්නට ඇද වැටීමට ආසන්න තත්ත්වයක ය.

සමාගම්, කුරිරු ශ්‍රම සූරාකෑමේ ක්‍රම පැටවීම සඳහා, ශ්‍රී ලංකාවට තියුනු ලෙස බලපා ඇති කොවිඩ්-19 වසංගතය විසින් වේගවත් කරන ලද ගෝලීය අර්බුදය භාවිතා කරයි. මෙම ප්‍රහාරවලට එරෙහිව සමාගම්වලට සහ රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වතුකරයේ මහජන කෝපයක් වැඩෙමින් පවතී.

වසංගතය මධ්‍යයේ දැවැන්ත ලාභ උපයා ගන්නා විශාල ප්‍රාදේශීය වතු සමාගම් 22 ක් විසින් පාලනය කරනු ලබන වතු වලින් එකක හෝ කීපයක වැඩ වර්ජන හෝ විරෝධතා නොමැති දවසක් නැත.

පසුගිය සති කිහිපය තුල අපි පහත සඳහන් වතුවල අරගල දුටුවෙමු.

  • සඳුදා (20) ආගරපතන වතු සමාගම යටතේ ක්‍රියාත්මක වන ආගරපතන වතු 12 ක කම්කරුවන්, 10,000කට වැඩි පිරිසක් වැඩ වැඩි කිරීමට, වැටුප් කප්පාදුවට එරෙහිව සහ දෛනික වැටුප රුපියල් 1000 ක් ඉල්ලමින් දින පහක වැඩ වර්ජනයක නිරත වූහ.
  • ඊට පෙරදින, ඩයගම, තලවාකැලේ, කොටගල සහ ලිඳුල වතු කිහිපයක කම්කරුවන් සියගනනක් දෛනික වැටුප රුපියල් 1000 ක් ඉල්ලා සාමූහික ගිවිසුමක් අත්සන් කරමින් උද්ඝෝෂනය කලහ.
  • නොවැම්බර් 19 දා මස්කෙලිය ග්ලෙනුයිජ් වතුයායේ ඩීසයිඩ් අංශයේ කම්කරුවන් 300 ක් පමන ඵලදායිතා ඉලක්ක සහ කලමනාකාරීත්වයේ අඩන්තේට්ටම් වලට එරෙහිව වැඩ නතර කලහ. මීට පෙර, ග්ලෙනුයිජ් වතුයායේ, ග්ලෙනුයිජ් සහ ඩීසයිඩ් යන කොට්ඨාස දෙකෙහිම කම්කරුවන් 500 කට වැඩි පිරිසක් සැප්තැම්බර් 21 දින සිට දින 15 ක අඛන්ඩ වැඩ වර්ජනයක නිරත වූහ.
  • සැප්තැම්බරයේ තලවාකැලේ කටුකැලේ වත්තේ කම්කරුවන් 130 ක්, දරාගත නොහැකි වැඩ බරට සහ වැටුප් කප්පාදුවට එරෙහිව වැඩ නතර කරමින් විරෝධතා දැක්වූහ. සමාගම, කම්කරුවන්ට එරෙහිව දඩයම් දියත් කරන ලද අතර 11 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනි, දෙසැම්බර් පලමු සතිය දක්වා අනෙක් අයගේ වැඩ නවත්වා ඇත.

ලැයිස්තුව මෙයින් නිම නොවේ. නුවරඑලිය, බදුල්ල, රත්නපුර සහ මහනුවර යන සියලුම වතු දිස්ත්‍රික්කවල කම්කරු කාර්මික ක්‍රියාකාරකම් සිදු විය.

වර්ජනයේ යෙදෙන ඩීසයිඩ් වත්තේ කම්කරුවෝ [ස්තූතිය: කේ. කිෂාන්තන්]

දශකයක පමන කාලයක සිට දෛනික මූලික වැටුප රුපියල් 1000 ක් ඉල්ලා කම්කරුවෝ සටනට පැමිනියහ. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල ගොස් ජීවන වියදම අහස උසට නගිමින් තිබියදී වෘත්තීය සමිති තවමත් උත්සාහ කරන්නේ මෙම සොච්චම් මුදලට ඉල්ලීම සීමා කිරීමට ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අප්‍රේල් මාසයේදී දෛනික වැටුප ලෙස රුපියල් 1000 ක් ලබාදෙන බව ප්‍රකාශයට පත් කලේය. ඔහු මෙම නිවේදනය කලේ කම්කරුවන්ගේ පිරිහෙමින් පවත්නා කොන්දේසි පිලිබඳ අනුකම්පාවෙන් නොව වතුකරයේ කෝපය වෙනතකට හැරවීමට ය. කම්කරුවන්ගේ ක්‍රියාවන් මර්දනය කිරීම සඳහා වෘත්තීය සමිති, විශේෂයෙන්ම ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) තම පැත්තේ තබා ගැනීමට ද ආන්ඩුවට අවශ්‍ය විය.

සමාගම් රාජපක්ෂගේ නියෝගය ප්‍රතික්ෂේප කල නමුත් දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම සඳහා කම්කරුවන් වැඩි වැඩ බරක් පිලිගත යුතු බව අවධාරනය කලහ—එනම්, දිනකට නෙලන තේ දලු ප්‍රමානය කිලෝ 20 දක්වා, එනම්, කිලෝ 2 සිට 4 දක්වා ඉහල නැංවීම සහ අනෙකුත් ක්ෂේත්‍ර කාර්යයන් වැඩි කිරීම යි.

දිගු කලක් තිස්සේ වතු සමාගම්වල සැලැස්ම වූයේ, ආදායම් බෙදාගැනීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමයි. මෙම සැලැස්ම යටතේ වතු සමාගම් අවශ්‍ය දෑ සපයන අතරම, මුලු පවුල විසින් රැකබලා ගතයුතු වන පරිදි එක් සේවකයෙකුට තේ පඳුරු 1000 ක් පමන වන ඉඩම් කට්ටි බෙදා හැරීමට නියමිත විය. අවසානයේදී වතු කලමනාකාරීත්වය අස්වැන්න ලබා ගනී. නිෂ්පාදනය සඳහා වෙහෙසෙන කම්කරුවාට ලැබෙන්නේ, සමාගමේ වියදම් සහ ලාභය අඩු කිරීමෙන් පසු ඉතිරිය පමනි.

සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් සොච්චම් සමාජ අයිතීන් අහෝසි කරන අතරම සූරාකෑම පමනක් වැඩි කර ඇති මෙම ක්‍රමය කම්කරුවන් ප්‍රතික්ෂේප කර ඇත.

මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වුවත් නැතත් සමාගම් වැඩි වැඩ බර පැටවීමට සහ එම ඉලක්කයන් ඉටුකල නොහැකි අයගේ වැටුප් කපා හැරීමට අධිෂ්ඨාන කරගෙන සිටී.

සීඩබ්ලිව්සී, ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්), කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) සහ ලංකා ජාතික වතු කම්කරු සංගමය (එල්එන්ඊඩබ්ලිව්යූ) සහ ජවිපෙ පාලනය කරන සමස්ත ලංකා වතු සේවක සංගමය ඇතුලු සියලු වතු වෘත්තීය සමිති, මෑත අරගල හුදකලා කර, කඩාකප්පල් කර, අවසානයේ පාවා දුන්හ.

සෑම විටම සමාගම් හා ආන්ඩුව සමග සහයෝගීව කටයුතු කරන වෘත්තීය සමිති ගැන කම්කරුවන් සැක කරන බැවින් කම්කරුවෝ බොහෝ ක්‍රියාවන් තමන් විසින්ම දියත් කරති. කෙසේ වෙතත්, අරගලයක් පුපුරා ගිය සැනින් වෘත්තීය සමිති වහාම මැදිහත් වේ. ඔවුන් ක්‍රියාවන්ට සහාය දෙන බව මවාපාන මුත් ඇත්ත වශයෙන්ම අරගලය මර්දනය කිරීමට සමාගම් වෙනුවෙන් ක්‍රියා කරයි.

සීඩබ්ලිව්සී භාන්ඩාගාරික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.රාමේශ්වරන් සිය පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් පසුගියදා මාධ්‍ය වෙත මෙසේ පැවසීය: “අපේ රැකියා ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් වතු තිබිය යුතුයි. වැටුප් ගැටලුව පිලිබඳ සෑම සාකච්ඡාවකින්ම පසුව නිෂ්පාදන ඉලක්කය [සමාගම් විසින්] වැඩි කරනු ලැබේ.' එයින් අදහස් වන්නේ සමාගම්වල කොන්දේසි කුමක් වුවත් සේවකයින් ඒවා පිලිගත යුතු බවයි.

සීඩබ්ලිව්සී සහ අනෙකුත් වෘත්තීය සමිති ද සාමූහික ගිවිසුමක් අත්සන් කරන ලෙස අවධාරනය කරන අතර එය සේවකයින්ගේ ඉල්ලීමක් ලෙස හඳුන්වා දී ඇත. කෙසේ වෙතත්, සොච්චම් වැටුප් වැඩිවීමක් සමඟ ඉහල ඵලදායිතාවක් පැටවීම සඳහා, සමාගම් සහ ආන්ඩුව, වෘත්තීය සමිතිවල සහයෝගයෙන්, අතීතයේදී මෙම සාමූහික ගිවිසුම් යොදා ගත්හ.

මෙම වෘත්තීය සමිති ක්‍රියා කරන්නේ කාර්මික පොලීසි ලෙසය. එවැනි සිද්ධීන් ඕනෑ තරම් තිබේ. ඕල්ටන් වතු කම්කරුවන් වැඩි වැටුප් ඉල්ලා වැඩ වර්ජනවලට එක්වීමෙන් පසු කලමනාකාරීත්වය ඔවුන්ට එරෙහිව ප්‍රකෝපකරනයන් උසිගන්වන ලදී. එක් ප්‍රකෝපකරනයක් භාවිතා කරමින්, මර්දනය මුදා හැරීමට සමාගම පොලිසිය සමඟ කුමන්ත්‍රනය කලේය.

පොලිසිය කම්කරුවන් 29 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, සමාගම විසින් කම්කරුවන් 38 දෙනෙකු වහාම නෙරපා හරින ලද්දේ ඕනෑම වතුයායක කවර හෝ ක්‍රියාවක් කුරිරු ලෙස තලා දමන බවට වතු කම්කරුවන්ට “පාඩමක් ඉගැන්වීමට” ය.

සීඩබ්ලිව්සී මුල සිටම සමාගම්-පොලිස් කුමන්ත්‍රනයට සහාය දැක්වීය.

එසේම, සමාගම් කලමනාකාරීත්වයේ ප්‍රකෝපකිරීම්වලින් පසු වැලිඔය වත්තේ කම්කරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත. ඔවුන්ගෙන් කම්කරුවන් 9 දෙනෙකුගේ වැඩ තහනම් කරන ලද අතර පසුව ඔවුන්ගෙන් 4 දෙනෙකු නැවත සේවයේ පිහිටුවන ලද මුත් අනෙකුත් සේවකයින් 5 දෙනාගේ වැඩ තහනම ඉවත්කර නැත. කටුකැලේ වතු කම්කරුවන් ද එවැනිම අත්දැකීමකට මුහුන දුන්හ.

වතු කම්කරුවන්ට එරෙහි මෙම දඩයම කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට හා මර්දනයට එරෙහි පුලුල් ප්‍රහාරයන්ගේ කොටසකි. එම කම්කරුවන් ආරක්ෂා කිරීම සියලුම වතු වෘත්තීය සමිති විසින් ප්‍රතික්ෂේප කර ඇත. එම කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි.

ඕල්ටන්, ඩීසයිඩ් සහ ඇබොට්ස්ලි වතුවල අපි මෙම දඩයමට එරෙහිව ද, වැටුප් හා වඩා යහපත් සේවා කොන්දේසි ඇතුලු වතු කම්කරුවන්ගේ අනෙකුත් අයිතීන් සඳහා ද සටන් කිරීමට සසප සහාය ඇතිව ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගත්තෙමු.

ඔක්තෝබර් 24 දා පැවති රැස්වීමකදී ග්ලෙනුයිජ් හා ඕල්ටන් වතු ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෝ සහ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) නියෝජිතයෝ ග්ලෙනුයිජ් වතු කම්කරුවන්ගේ වර්ජනයේ පාඩම් සහ එම වතු කම්කරුවන් මුහුන දී ඇති ගැටලු පිලිබඳව සාකච්ඡා කලහ. ඕල්ටන් වතුයායේ වින්දිත කම්කරුවන් ආරක්ෂා කිරීමට සහ මර්දනයට එරෙහිව සටන් කිරීමට ඔවුහු ඒකමතිකව තීරනය කලහ.

ඕල්ටන් කම්කරුවන්ගේ විරෝධතාවයෙන් පසු වතුවල 'ප්‍රචන්ඩත්වය' මැඩපැවැත්වීම සඳහා සමාගම් ආන්ඩුවෙන් ආරක්ෂාව ඉල්ලා සිටියහ. ඊට ප්‍රතිචාරයක් ලෙස ආන්ඩුව වතු කම්කරුවන්ට එරෙහිව පොලිසිය සහ ආරක්ෂක අංශ යොදවා ඇත. මේ වන විටත් ආගරපතන හෙන්ෆෝල්ඩ් වතුවල පොලිස් මුරපොලවල් ස්ථාපිත කර තිබේ. පොලිසිය, ඕල්ටන් වතුයාය අසල මුරපොලක් තැනීමට ස්ථානයක් සොයමින් සිටී. වතුකරයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන කොටගල, නව හමුදා කඳවුරක් ද පිහිටුවන ලදී.

වෘත්තීය සමිති කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ නැත. කලින් සඳහන් කල පරිදි, ඔවුන් කටයුතු කරන්නේ කම්කරුවන්ට විරුද්ධව කාර්මික පොලිසියක් ලෙසට ය.

අනුප්‍රාප්තික ආන්ඩු සහ සමාගම් සමග තිරය පිටුපස කෙරෙන ගනුදෙනු සහ ව්‍යාපාරික සබඳතා හරහා වරප්‍රසාදවලින් තරබාරු වන වෘත්තීය සමිති වලට සහ ඔවුන්ගේ නිලධරයන්ට සෑම වතුයායකම සිටින අපගේ සහෝදර-කම්කරුවන් වෛර කරන බව සහ හෙලා දකින බව අපි දනිමු. සියලුම ඉහල වෘත්තීය සමිති නිලධරයන් පාහේ රජයේ ඇමති තනතුරු භුක්ති විඳ ඇත. දැනට සීඩබ්ලිව්සී නායක ජීවන් තොන්ඩමන් වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා වේ.

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ වෘත්තීය සමිතිවල ඓතිහාසික පරිහානිගත බව කම්කරුවන් තේරුම් ගැනීමයි. ගෝලීය වශයෙන්, වෘත්තීය සමිති ධනේශ්වර පද්ධතියට ඒකාග්‍ර වෙමින් දකුනට ගමන් කොට ඇත.

ඉහල යන ජීවන වියදමට අනුව වැඩිවන යහපත් වැටුපක්, විශ්‍රාම වැටුප් ක්‍රමයක්, ආරක්ෂිත සේවා කොන්දේසි, නිසි නිවාස, සෞඛ්‍ය පහසුකම් සහ දරුවන්ට නිසි අධ්‍යාපනයක්, කම්කරුවන්ට අවශ්‍ය වේ.

අපි ජීවත් වන්නේ කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ ය. “වෛරසය සමඟ ජීවත් වීමේ” ඔවුන්ගේ ප්‍රතිපත්තිය තුල වතු සමාගම් සහ ආන්ඩුව අපව ආරක්ෂා කිරීමට කිසිදු සැලකිය යුතු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ආන්ඩුවේ සහ රට තුල අනුගමනය කරන සමස්ත ධනපති පන්තියේ පිලිවෙත මෙයයි. වෘත්තීය සමිති ඔවුන්ට සහාය දක්වයි.

සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට අප ගෙනයන අරගලයේදී අපේ මිතුරන් වන්නේ ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියයි. අපේ සටන තුල අප ඔවුන් සමඟ එකතු විය යුතු ය.

සියලුම වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සෑම වත්තකම ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. නියෝජිතයන් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගත යුතුය. මේවා වෘත්තීය සමිති මෙන් නොව ප්‍රජාතන්ත්‍රවාදී කමිටු වනු ඇත. අපි වතුකරයේ ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනගා ගත යුතු අතර ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව ඇති ඒ හා සමාන ක්‍රියාකාරී කමිටු සමඟ එකමුතුවක් සඳහා ක්‍රියා කල යුතුයි.

මෙම කමිටු පිහිටුවීමට අවශ්‍ය විස්තර සඳහා අපව අමතන්න.

Loading