කිලිනොච්චියේ කම්කරුවෝ හා තරුනයෝ ජීවන කොන්දේසි වලට එල්ල කෙරෙන ප්‍රහාරයට එරෙහිව කතා කරති

[මෙය இலங்கை: கிளிநொச்சியில் தொழிலாளர்களும் இளைஞர்களும் வாழ்க்கை நிலைமைகள் மீதான தாக்குதலுக்கு எதிராகப் பேசுகின்றனர் මැයෙන් 2022 ජූනි 11 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

සමාජවාදී සමානතා පක්ෂය (සසප), සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සහ උතුරු පලාත් ධීවර ක්‍රියාකාරී කමිටුව, මැයි 30 දා, යුද්ධයෙන් විනාශයට පත් කිලිනොච්චියේ කම්කරුවන්, ගොවීන්, කුඩා ව්‍යාපාරිකයන් හා තරුනයින් සමග සමාජවාදී ඉදිරිදර්ශනය පිලිබඳ සාකච්ඡා කිරීමේ බලගතු උද්ඝෝෂනයක් පැවැත්වීය. ප්‍රදේශය තුල කම්කරු ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීම මෙම ව්‍යාපාරයේ අරමුන විය.

ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට පමනක් නොව ජාත්‍යන්තර කම්කරු පන්තියට සමාජවාදී පිලිවෙත් අවධාරනය කරන අප්‍රේල් 7 සසප ප්‍රකාශය උද්ඝෝෂකයන් විසින් බෙදා හරින ලදී. 

කිලිනොච්චියේ උද්ඝෝෂනයේ යෙදෙන සසප සාමාජිකයෙක් (wsws)

ධනේශ්වර අර්බුදයට මුහුන දීම සඳහා වූ සමාජවාදී ප්‍රතිපත්ති සහිත පුවරු නරඹන අතරතුර ජනතාව උද්ඝෝෂකයන්ට උද්‍යෝගයෙන් ප්‍රතිචාර දැක්වූහ. ජනතාව, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව, කොලඹ පැවති අනුප්‍රාප්තික පාලන තන්ත‍්‍රවල 26 වසරක ලේ වැකි වාර්ගික යුද්ධයට හසු වීමෙන් පසු පිරිහෙමින් පවතින සමාජ කොන්දේසි ඔවුහු පැහැදිලි කලහ.

සිවිල් නිල ඇඳුමින් සැරසුනු පොලිස් ඔත්තුකරුවන් මෙම උද්ඝෝෂනය පිලිබඳව විමසා සිටියහ. සසප සාමාජිකයන් විස්තර ලබාදීම ප්‍රතික්ෂේප කලහ. ඔවුන් අපේ උද්ඝෝෂනය දෙස බලා සිටියහ. යුද්ධය අවසන් වීමෙන් පසුවත්, හමුදාව අත්පත් කරගෙන සිටින රටේ උතුරු හා නැගෙනහිර පලාත්වල, රාජ්‍ය ඔත්තුකරුවන්ගේ සෝදිසි කිරීම් අඛන්ඩව පවතී. එය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට විශාල තර්ජනයකි.

පසුගිය දශක කිහිපය තුල බොහෝ තරුනයන් ජාත්‍යන්තර කම්කරු පන්තියේ කොටසක් බවට පත්වෙමින් ඇඟලුම් හා අනෙකුත් කම්හල්වලට සම්බන්ධ වී ඇත. ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරිකයන් සහ ජාත්‍යන්තර ආයෝජකයින් රැකියා විරහිත තරුනයන්ගේ ලාභ ශ්‍රමය සූරා කෑමට උනන්දු වෙති. 

ආර්ථික අර්බුදය රටේ අනෙකුත් ප්‍රදේශවල මෙන්ම උතුරු නැගෙනහිර ද කම්කරුවන්, ගොවීන් සහ ග්‍රාමීය දුප්පතුන්ට දැඩි ලෙස බලපා ඇත. කොවිඩ්-19 වසංගතය සහ මෑතකාලීනව යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව එක්සත් ජනපද-නැටෝ වක්‍ර යුද්ධය මගින් උත්සන්න වූ විනාශකාරී සමාජ-ආර්ථික බලපෑම් සමස්ත ජනගහනය අතර කෝපය අවුලුවාලීමට හේතු වී ඇත.

වැලැක්විය හැකිව තිබූ වසංගතය ජීවිත 16,000 කට වඩා බිලිගෙන ඇති අතර 663,000 කට වඩා ආසාදනය වී ඇත. රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධී වසංගත ප්‍රතිපත්තිය, එනම්  මිනිස් ජීවිතවලට ඉහලින් ලාභ තැබීම, මහා ව්‍යාපාර වලට සහ ධනවතුන්ට දියුනු වීමට ඉඩ සලසන අතරම, වැඩකරන ජනතාව විනාශ කලේය.

වසංගතය උග්‍ර වෙමින් ජීවිතයට තර්ජනය කෙරුනු අනාරක්ෂිත තත්වයන් යටතේ පවා, සිසුන් සහ ගුරුවරුන් පාසල් වෙත තල්ලු කෙරුනු  අතර කම්කරුවන්ට වැඩ කිරීමට බල කෙරුනි. අහස උසට නැඟෙන උද්ධමනය, ආහාර, ඖෂධ සහ පිහුම් ගෑස් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ පැය ගනන් දිග විදුලි කප්පාදුව වැඩ කරන ජනතාව තුල දරාගත නොහැකි පුපුරන සුලු තත්වයක් නිර්මානය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉවත්ව යන ලෙස බලකරමින් රටතුල පැන නැගුනු මහජන අරගල, උතුරු හා නැගෙනහිර කම්කරුවන් හා තරුනයන් රටේ අනෙකුත් ප්‍රදේශයන්හි මහජනතාව සමග ඒකාබද්ධ කලේය. මෙය කම්කරුවන් ජාතිය, භාෂාව සහ ආගම්වලින් බෙදන දෙමල පක්ෂවල වාර්ගික අවධාරනයන්ට සෘජු පහරක් විය.

යාපනය විශ්වවිද්‍යාලයේ සහ මඩකලපුවේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 1000 ක් පමන ආන්ඩු විරෝධී විරෝධතාවයට සහය පල කරමින් විරෝධතා පා ගමනක් පැවැත්වූහ. ඊට ප්‍රතිචාර වශයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය දෙමල පක්‍ෂවල ජාතිකවාදී දේශපාලනයේ එල්බගනිමින් විශ්වවිද්‍යාල වහා වසා දැමුවේය.

අප්‍රේල් 4 වැනි දා යාපන විශ්ව විද්‍යාලයේ සිසුන් පැවැත් වූ විරෝධතාව (wsws)

දෙමල ජාතික සන්ධානය සහ දෙමල ජාතික මහජන පෙරමුන ඇතුලු දෙමල පක්ෂ වැඩකරන ජනතාවගේ සහ තරුනයන්ගේ මෙම ව්‍යාපාරයට විරුද්ධ වූ අතර, රාජපක්ෂ ආන්ඩුවට සහාය දුන්හ. දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශ්‍රී ධරන් වර්ගවාදී මඩ ගසමින් ප්‍රකාශ කලේ, දකුනේ ආන්ඩු විරෝධී ව්‍යාපාරය දෙමල ජනතාවගේ ප්‍රශ්නයක් නොව සිංහල ජනතාවගේ ප්‍රශ්නයක් බවයි. කොලඹ ප්‍රභූ පැලැන්තිය මෙන්ම දෙමල ධනේශ්වරය ද දෙමල, සිංහල සහ මුස්ලිම් වාර්ගික රේඛා කපාගෙන කම්කරු පන්තියේ එක්සත් අරගලයක් වර්ධනය වීම පිලිබඳව භීතියට පත්ව සිටිති.

කම්කරුවන් සහ තරුනයින් කිහිප දෙනෙකු විසින් දක්වන ලද අදහස් අපි පහත පල කරමු:

භාරතීපුරම් හි විඩියාල් කම්හලේ ඇඟලුම් සේවිකාවක් ඇගේ ජීවන තත්වය විස්තර කලේ මෙසේ ය: “මම වැඩ කලේ විඩියාල් ඇඟලුම් කම්හලේ. මට දිනකට රුපියල් 800 ක් ගෙවනවා; මම අතිකාල වැඩ කලොත් රුපියල් 900 ක් ලැබෙනවා. නිවාඩු ගත්තොත් පඩි කැපෙනවා. අපට වසරක ප්‍රසාද දීමනාව ගෙවා නෑ.'

“යුද්ධය නිසා මට මගේ මහත්තයා නැති වුනා. අම්මගේ ආධාරයෙන් මම දරුවෝ හදන්න වෙර දරනවා. යුද්ධයෙන් මට සියල්ල අහිමි වූ නමුත් කිසිම ආන්ඩුවක් මට වන්දි ලබා දුන්නේ නැහැ. දැනටත් මම ඉන්නේ කුලී ගෙදරක” ඇය කීවාය. විඩියාල් අයත් වන්නේ මාස් හෝල්ඩිංග්ස් සමූහ ව්‍යාපාරයට ය.

කෝනාවිල් ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පාකියරාසා ප්‍රමේශ්වරී මෙසේ පැවසුවා ය: “මම කිලිනොච්චි වෙලඳපොලේ මාලු වෙලෙන්දියක්. හැම දේකම මිල වැඩිවෙලා. මට වැඩි මිලට මාලු මිලදී ගෙන එවැනි අධික මිලකට පාරිභෝගිකයින්ට අලෙවි කල නොහැකියි. කිසිදු ආදායමක් නොමැති විට කුමක් කල යුතු දැයි මා දන්නේ නෑ. බස් ගාස්තුත් වැඩි කරලා. මේ දුෂ්කරතාවලට එරෙහිව අපි පාරට බහින්න ඕනෑ. පොලිසිය, හමුදාව සහ රාජ්‍ය ඔත්තු අංශ පමනක් නොව දෙමල පක්ෂ ද එවැනි උද්ඝෝෂනවලට විරුද්ධයි.”

ත්‍රිරෝද රථ රියදුරෙකු වන ටී. රතීස්: “වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ දා සිට ආහාර ද්‍රව්‍යවල මිල ගනන් සීඝ්‍රයෙන් ඉහල යාම නිසා අපේ ජීවිතයට බලපෑම් එල්ල වී තිබෙනවා. තෙල් මිල වැඩි වීමත් සමඟම කුලී රථ ගාස්තුත් වැඩි කරන්න සිදු වෙනවා. එම ප්‍රශ්නවලටම මුහුන දෙන ජනතාව  ත්‍රිරෝද රථ කුලියට ගන්නේ නැහැ. අපේ ආදායම අඩකින් අඩුවෙලා.”

ඔහු වැඩිදුරටත් පැවසුවේ, “මේ ආන්ඩුව පොහොර ආනයනය තහනම් කල නිසා කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වුනා. 2019 වසරේ අක්කර 10 ක අපේ කුඹුරේ අස්වනු නෙලන විට ගෝනි 330 ක් ලැබුනත් පසුගිය මහ කන්නයේදී ලැබුනේ 166 ක් පමනයි' යනුවෙනි.

“අඩු අස්වැන්න නිසා විශාල පාඩුවකට පමනක් නොව සහල් හිඟයකටත් අපි මුහුන දුන්නා. මේවට ආන්ඩුව වගකිව යුතුයි. මෙහෙම ගියොත් මිනිස්සු බඩගින්නේ මැරෙනවා.”

වවුනියාවේ පදිංචි ගොවියෙකු වන 67 හැවිරිදි එස්. රාසයියා: “මම ඉස්සර කිලිනොච්චියේ පදිංචි වෙලා හිටියා. 2006 මහින්ද රාජපක්ෂ ආන්ඩුව යුද්ධය ආරම්භ කලාම මම මගේ පවුල සමඟ වවුනියාවෙ පදිංචියට ගියා. අපි අවුරුදු 11 ක් විතර නෙලුක්කුලම් සරනාගත කඳවුරේ ජීවත් වුනේ. ඊට පස්සේ අපි චෙඩ්ඩිකුලමේ පදිංචියට ගියා. අපිට අක්කර තුනක කුඹුරු තියෙනවා. පොහොර හිඟයට කලින් ගෝනි 80 ක අස්වනු නෙලා ගත්තත් දැන් ලැබෙන්නේ 30 යි. රජය දුන් කාබනික පොහොරවලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. අපට අසල්වැසියන්ගෙන් නය ලබා ගැනීමට සිදු වන අතර ඒවා පියවීමට නොහැකියි.”

35 හැවිරිදි පලතුරු වෙලෙන්දියක වන නෙමි: “අර්බුදකාරී තත්වයෙන් පසු කිලෝග්‍රෑම් 5000 ක කෙසෙල් අස්වැන්න 500 දක්වා අඩු වුනා. දැන් වාහන හයර් ගාස්තුව දෙගුනයක් වෙලා. මිනිස්සු වැටිලා. අපි දැන් කෙසෙල් කිලෝවක් රුපියල් 100 ට විකුනනවා. කලින් මිල රුපියල් 60 යි. අපට දවසකට රුපියල් 2500 ක් ඕන. අපි අපේ රත්තරන් බඩු සියල්ල බැංකුවල උකස් කරලයි තියෙන්නෙ. අපි යුද්දෙ කාලෙ අපි මෙහෙම ජීවත් උනාට, අපේ දරුවො මේවා ඉවසිය යුතු නෑ. ආහාර මිල රුපියල් 100 සිට 300 දක්වා වැඩි වූ නිසා අපි දැන් උදේ ආහාරය මඟහරිනවා.” 

කුලී වැඩෙහි නිරත කම්කරුවෙකු වන එන්. රවි, අවසන් යුද සමයේ තම අත්දැකීම් විස්තර කලේය: “යුද්ධයේ අවසන් දවසේ අපි මුලතිව් වල කුඩා ප්‍රදේශයට කොටු වුනා. එය යුද මුක්ත කලාපයක් බව ආන්ඩුව නිවේදනය කලා. අපි එය මත විශ්වාසය තැබුවා. නමුත් ශ්‍රී ලංකා හමුදාව දිගින් දිගටම මෙම ප්‍රදේශයට වෙඩි තැබුවා. බෝම්බ සහ ෂෙල් ප්‍රහාරවලින් කාන්තාවන් සහ ලමුන් ඇතුලු විශාල පිරිසක් මිය ගියා. සියලුම මිනිසුන් ආහාර නොමැතිව දුක් වින්දා. සමහර වෙලාවට කොටි සාමාජිකයින් කැඳ දුන්නා. මිනිස්සු කැඳ පෝලිමේ ඉද්දි ශ්‍රී ලංකා හමුදාව පෝලිමට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කලා. මම දැක්කා ගොඩක් මිනිස්සු එතනම මැරිලා ඉන්නවා.”

කිලිනොච්චියේ කුඩා වෙලදසැල් හිමියෙකු වන වී. සන්දිරන් පැවසුවේ: “දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ප්‍රචාරනය කරන්නේ ‘රාජපක්ෂ ආන්ඩුවට එරෙහි මහජන අරගලයට සම්බන්ධ වී සිටින සිංහල ජනතාව සමඟ දෙමල ජනතාව එක්විය යුතු නැත’ යන්නයි. මම මේකට විරුද්ධයි. මේ පවතින ආර්ථික අර්බුදය නිසා සිංහල ජනතාව පමනක් නොව, සියලු දෙනාම ප්‍රශ්නවලට මුහුන දී සිටිනවා. මම හැමදාම මගේ පවුල පෝෂනය කරන්න සටන් කරනවා. රට පුරාම මිනිස්සු මේ විදියට සටන් කරනවා.

“මම දෙමල ජාතික සන්ධානයේ ආධාරකරුවෙක් වුනත්, මම දෙමල ජාතික සන්ධානයේ වත්මන් ක්‍රියාකාරකම්වලට විරුද්ධයි. ටීඑන්ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් කොලඹ පාලක පන්තිය සමග සමීපවයි කටයුතු කරන්නෙ. ඔවුන් අලුත් ව්‍යවස්ථාවක් ගැන කතා කරනවා. මම හිතන්නේ මේක අනවශ්‍ය සාකච්ඡාවක්. දැන් අපට අවශ්‍ය වන්නේ යහපත් ජීවිතයක්.”

පුද්ගලික අලෙවිකරන අධ්‍යන ආයතනයක ඉගෙනුම ලබන තරුනයින් තිදෙනෙකුගෙන් යුත් කන්ඩායමක් ලෝසවෙඅ උද්ඝෝෂකයන්ට කතා කලහ. ඔවුන්ට රුපියල් 15,000 සිට 40,000 දක්වා මාසික දීමනා ගෙවනු ලැබේ.

ඒ අතර සිටි එක් සිසුවෙකු වන නිරූපන්, 'පවතින ආන්ඩු විරෝධී විරෝධතා දෙමල ජනතාවගේ ප්‍රශ්නයක් නොව සිංහල ජනතාවගේ ප්‍රශ්නයක් බවට' දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයක් ගැන සඳහන් කලේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිරූපන්, “යුද්ධය පැවති කාලයේ මිනිසුන් බොහෝ දුෂ්කරතාවලට මුහුන දුන් බව ඇත්ත. ඔවුන් දැඩි සමාජ තත්වයන්ට අනුගත වී ඇති බවද සැබෑය. නමුත් ප්‍රශ්නය නම් අපි මේ කොන්දේසි පිලිගත යුතුද? මිනිස්සු මේකට අනුගත වෙනවා නම් ඒකට මේ ඊනියා නායකයෝ වගකියන්න ඕන.

“මූලික කාරනය භාෂාව හෝ වර්ගය නොවේ. එවැනි බෙදීම් අපි ප්‍රතික්ෂේප කරනවා. එදිනෙදා ජීවන තත්වයන්ට මුහුන දෙන්නේ කෙසේද යන්න මූලික ප්‍රශ්නය බවට පත්වෙලා තියෙන්නෙ. තරුනයෙක් විදියට මට ඕන සතුටින් ජීවත් වෙන්න. 'ශ්‍රී ලංකාවට විප්ලවයක් අවශ්‍යයි', එසේ නොමැතිව මිනිසුන්ට ඉදිරියට යා නොහැකියි.'

“අලෙවිකරනය හදාරන සිසුන් වශයෙන් අපට ක්ෂේත්‍ර වැඩ තිබෙනවා. කිලිනොච්චියේ සිට කිලෝමීටර් 64 ක් ඈතින් පිහිටි මුලතිව් වැනි දුර පලාත්වලට අපි ගමන් කරනවා. වට සංචාරයක් සඳහා රුපියල් 500 කට වඩා වැඩි මුදලක් වැය වෙනවා.”

Loading