එක්සත් ජාතීන්ගේ වාර්තාව ලංකාවේ ගැඹුරු වන සමාජ ව්‍යසනය හෙලිදරවු කරයි

[මෙය United Nations report reveals worsening social catastrophe in Sri Lanka මැයෙන් 2022 ජුනි 14 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ජුනි 9දා නිකුත් කරන ලද “මානවවාදී අවශ්‍යතා හා ප්‍රමුඛතා- ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා අර්බුදය” නමැති එක්සත් ජාතීන්ගේ සමීක්ෂන වාර්තාව, කොලඹ පාලක ප්‍රභූව හා ධනපති ක්‍රමය මගින් කම්කරුවන් හා දුගීන් මත පතිත කරමින් තිබෙන සමාජ ව්‍යසනය පිලිබඳ ඛේදවාචී පින්තූරයක් චිත්‍රනය කලේ ය.

“ශ්‍රී ලංකාව ආහාර අනාරක්ෂිතතාව, තර්ජනයට ලක්වන රැකියා, අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයන් හා ඉහල යන සුරක්ෂිතතා උත්සුකයන් විසින් සංකීර්න කරන ලද බහු-ආංශික අර්බුදයක් අත්දකිමින් සිටී” යි පිටු 39කින් යුත් වාර්තාව සඳහන් කලේ ය.

මහබාගේ දී ඉවීමට ගන්නා ගෑස් අපේක්ෂාවෙන් පසුවන දිගු පෝලිමක්, 2022 මැයි 5 (ලෝසවෙඅ මාධ්‍ය)

අත්‍යවශ්‍ය භාන්ඩවල හිඟයන්, තීව්‍ර වන උද්ධමනය හා දීර්ඝ විදුලි කප්පාදු අරබයා, මාස ගනනාවක් තිස්සේ පැවති වැඩ වර්ජන හා විරෝධතාවලින් පසුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරන මහජන විරෝධතා, අප්‍රේල් මාසය මුල දී දිවයින පුරා පුපුරා ගියේ ය. ඒවාට පසු අප්‍රේල් 28 හා මැයි 6 යන දිනවල එක් දින මහා වැඩ වර්ජන පැවැත්වුනි.

වාර්තාවට ලියූ පෙරවදනේ දී, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරිකා හනා සිංගර් හැම්ඩි, පුද්ගලයන් මිලියන 5.7කට නොහොත් සමස්ත ජනගහනයෙන් සියයට 22කට, හදිසි මානුෂීය උපකාර අවශ්‍ය බව හෙලිදරවු කලා ය. “බොහෝ පවුල් මූලික ආහාරමය භාන්ඩවල මිල ගනන් දරාගැනීමට අසමත් වන” හා “නිවහන්වලින් සියයට 70ක් දක්වා පිරිසකට ආහාර වේල් මගහැරීම ඇතුලු ව ආහාර පරි‌භෝජනය අඩු කිරීමට සිදුවන” තත්ත්වය තුල “පැති ගනනාවකින් ආහාර සුරක්ෂිතතා අර්බුදයක් දිගහැරෙමින් පවතින” බව ඇය ලීවා ය.

උද්ධමනය හා රටෙහි කෘෂිකාර්මික නිෂ්පාදනවල තියුනු ඇදවැටීමෙහි අර්ථය වන්නේ, “අඩු ආදායම්ලාභී පවුල් දරුනු ආහාර සුරක්ෂිතතා අර්බුදයකට මුහුන දෙන” බව යි. ආහාර ද්‍රව්‍යවල පිරිවැය සියයට 73ක ඉහල යාමක් සිදු වූ ගෙවීගිය වසර දෙක තුල මෙය වඩාත් නරක අතට හැරී ඇත. වාර්ෂික ආහාර උද්ධමන අනුපාතය පසුගිය මාසයේ දී සියයට 57.4 දක්වා තියුනු ලෙස නැගුනු බව හැම්ඩි කීවා ය.

ඉහල යන මිල ගනන් දරාගත නො හැකි මහජනයා, සිය අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා මුදල් නයට ගැනීම, ඉතුරුම්වලින් මුදල් ගැනීම, සන්තකයේ තිබෙන භාන්ඩ උකසට තැබීම හා දේපොල විකිනීම වැනි “පොරබැදීමේ යාන්ත්‍රනයන්ට” යොමු වී ඇත. “2021 අගෝස්තුවේ දී සියයට 40ක් වූ මුදල් නයට ගත් නිවහන් සංඛ්‍යාව, 2022 අප්‍රේල් වන විට සියයට 68 දක්වා දැවැන්ත වසයෙන් ඉහල ගොස් ඇතැ” යි හැම්ඩි සඳහන් කලා ය. “දීර්ඝ කාලීන ව දැරිය හැකි නො වන” එවන් යාන්ත්‍රනයන් “අනාගතයේ දී වඩා විශාල අහිමිවීම්වලට තුඩු දෙනු ඇතැ” යි ඇය තව දුරටත් කීවා ය.

ඉහල ම අවදානම සහිත ආහාර අනාරක්ෂිතතාව පවතින්නේ “නුපුහුනු අනියම් ශ්‍රමය, ධීවර කර්මාන්තය සහ ගෘහස්ථ වතු හා පශු සම්පත් නොමැති” ගෘහයන් තුල බව, ලෝක ආහාර වැඩසටහනේ තක්සේරුවක් උපුටා දක්වමින් එක්සත් ජාතීන්ගේ වාර්තාව කීවේ ය. “සංක්‍රමනිකයන් ද ඇතුලු වතු හා නාගරික දුගීන් අසමානුපාතික ලෙස බලපෑමට ලක් වී ඇතැයි සලකනු ලැබේ.”

සමීක්ෂනයට බඳුන් කල නිවහන්වලින්, සියයට 73ක් පසුගිය වසර දෙක පුරා තම ආදායම් අඩුවිම දැකගෙන ඇති බවත්, ඉන් සියයට 11කට එම කාලය තුල ආදායමක් ලැබී නොමැති බවත්, වාර්තාව පෙන්නුම් කලේ ය.

වඩාත් ම දරුනු ලෙස බලපෑමට ලක්වූ ක්ෂේත්‍රයන් අතර සෞඛ්‍ය අංශ්‍ය තිබෙන බව එක්සත් ජාතීන්ගේ වාර්තාව සඳහන් කලේ ය. ශ්‍රී ලංකාව එහි ඖෂධවලින් සියයට 80ක් පමන ආනයනය කල ද සිඳී ගොස් ඇති විදෙස් සංචිත අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය කිරීම වලක්වා ඇත. “ඖෂධ හිඟය රට තුල වෛද්‍ය සැත්කම්වලින් සියයට 50ක් පමන ඇද වට්ටවා තිබේ. හදිසි ශල්‍යකර්ම පමනක් සිදු කරනු ලබන්නේ, සමහර වෛද්‍ය උපකරන හා නිර්වින්දක ද්‍රව්‍ය වේගයෙන් ක්ෂය වී යද්දීය” යි වාර්තාව සඳහන් කලේ ය.

වාර්තාව තුල උපුටා දක්වනු ලබන සමීක්ෂනයන්ට අනුව, හෘදය රෝගීන්ට ලබා දෙන ලේ කැටි ගස්සවන ඖෂධ, ප්‍රතිජීවක, එන්නත් හා පිලිකා රසායනික ඇතුලු අත්‍යවශ්‍ය ඖෂධ 200ක පමන තොග, ඊලඟ මාස තුන තුල අහවර වනු ඇත. ශල්‍යකර්මවලට අත්‍යවශ්‍ය වන පරිභෝජ්‍ය ද්‍රව්‍ය 2,720ට වැඩි ගනනක් හා රසායනාගාරවල භාවිතා කරන අයිතමයන් 250ට අධික සංඛ්‍යාවක් දැනට ම හමාර ය. ජීවිත ආරක්ෂා කිරීමට හා මරන වලක්වා ගැනීමට “අත්‍යවශ්‍ය ඖෂධ හා වෛද්‍ය සැපයුම් ප්‍රතිපූර්නය කිරීමේ හදිසි අවශ්‍යතාවක් පවතී” යි වාර්තාව අනතුරු ඇඟවී ය. ඉන්ධන හිඟය හා දීර්ඝ විදුලි කප්පාදු විසින් මෙම අර්බුදය ගැඹුරු කරනු ලැබ තිබේ.

එලඹෙන මාස තුන තුල උපත් 72,000ක් සිදු වේ යයි තක්සේරු කරන කොන්දේසි යටතේ, “අත්‍යවශ්‍ය ඖෂධවල හිඟය, ජීවිතාරක්ෂක ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවාවන් හා ඒවාට ප්‍රවිෂ්ට ද සීමා කරමින් තිබෙන” බව එක්සත් ජාතීන්ගේ වාර්තාව සඳහන් කලේ ය.

ඉහල ආහාර පිරිවැය, සැපයුම් දාමවල බිඳවැටීම හා ඉන් ප්‍රතිඵල වන ආන්ඩුවේ පෝෂන සහායක වැඩසටහන් කඩාකප්පල් වීම හේතුවෙන්, ලංකාවේ දුර්වල පෝෂන තත්ත්වය වැඩි දුර ඛාදනය වී ඇත. බහුවිධ ආහාර වර්ග මිලට ගැනීම “වඩාත් ම අඩු ආදායම් ලාභී නිවහන්වලට දැරිය නො හැකි අතර, ඒවාට සමීප විය නො හැකි ය. බහුතරයක් දෙනාට අවශ්‍ය කරන පෝෂනීය ආහාර මිලට ගත නො හැකි තතු යටතේ, ගර්භනී හා කිරිදෙන මව්වරු විශේෂයෙන් ම අන්තරායට මුහුන දී සිටිති” යි වාර්තාව සටහන් කලේ ය.

අනෙකුත් සමීක්ෂන උපුටා දක්වන එක්සත් ජාතීන්ගේ වාර්තාව මෙසේ සඳහන් කලේ ය: “අවුරුදු පහට අඩු දරුවන් අතර පවතින මන්දපෝෂක ආහාර වේල්, ලංකාව ලෝකයේ නරක ම අඩු හා මධ්‍ය ආදායම් ලාභී රටවල් දහය අතර පිහිටුවයි.”

කොලඹ කජීමාවත්තේ පැල්පත් නිවාස (ඡායාරූපය: ලෝසවෙඅ මාධ්‍ය)

කෝවිඩ්-19 වසංගතයට පෙර, ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන් අතර අඩු-වර්ධන අනුපාතය සියයට 17.3ක් ද ක්ෂය වීමේ අනුපාතය සියයට 15ක් ද අඩු-බර අනුපාතය සියයට 20.5ක් ද විය. 2022 අප්‍රේල් වන විට, නිවහනක පෝෂනීය ආහාර වේලක මාසික පිරිවැය සියයට 156කින් ඉහල ගොස් තිබුනු බව ද අවුරුදු 5ට අඩු දරුවන් අඩු වසයෙන් 56,000ක් පමන තියුනු මන්දපෝෂනයෙන් පෙලෙමින් සිටින බව ද එක්සත් ජාතීන්ගේ වාර්තාව හෙලිදරවු කලේ ය.

උදේ ආහාරය නො ගෙන පාසල් යන ලමුන් සංඛ්‍යාව ද මේ වසරේ දී සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇති අතර, අරමුදල් නැතිකම හේතුවෙන්, පාස්ලවලට නොමිලේ පෝෂනීය ආහාර වේල් සම්පාදනය කල නො හැක.

ව්‍යසනකාරී තත්ත්වයේ අනෙකුත් දර්ශකයන්, වතුවල නිවහන්වලින් සියයට 66.3කට පිරිසිදු පානීය ජලය නැති බව ද ලංකාවේ නිවහන්වලින් සියයට 48.5ට වැඩි ප්‍රමානයක් උනු කිරීම හෝ ජීවානුහරනය වැනි ජලය පිරිසිදු කිරීමේ යොදා නො ගන්නා බව ද පෙන්වා දුන්නේ ය. ආහාර පිසීම සඳහා පවතින සීමිත ගෑස් සැපයුම්වල ප්‍රතිඵලය ලෙස, බොහෝ නිවාස ජලය පිරිසිදු කිරීම නවතා දමා ඇත.

විදේශ විනිමය හිඟය හේතුවෙන් රාජපක්ෂ ආන්ඩුව රසායනික පොහොර ආනයනය තහනම් කල නිසා, ග්‍රාමීය ප්‍රදේශ බරපතල අස්වනු අහිමි වීමකට මුහුන දෙමින් සිටී. සහල් නිෂ්පාදනය සියයට 50කින් පමන හා බඩ ඉරිඟු නිෂ්පාදනය සියයට 35 සිට 70කින් පමන ඇදවැටී ඇත්තේ, මිල ගනන් ඉහල දමමින් හා ආහාර හිඟයන් ඇති කරමින්, ගම්බද ජනයාට ප්‍රධාන මූල්‍ය ගැටලු නිර්මානය කරමිනි.

ලංකාවේ පුද්ගලයන් මිලියන 5.7කට මානුෂීය උපකාර අවශ්‍ය කරද්දී, එක්සත් ජාතීන්ගේ වැඩසටහන වඩාත් ම බලපෑමට ලක්ව ඇති මිලියන 1.7ක් ඉලක්ක කරන අතර ඒ සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 47.2ක් අවශ්‍ය කරන බව නේවාසික සම්බන්ධීකාරිකා හැම්ඩි පැවසුවා ය. එක්සත් ජාතීන්ගේ මානුෂවාදී නේවාසික කන්ඩායම අරමුදල් පරිත්‍යාග කරන ලෙස ජාත්‍යන්තර සංවිධානවලට ආයාචනා කර ඇත.

“අපි දැන් ක්‍රියාත්මක නො වුනහොත්, ලංකාව මානුෂීය අර්බුදයකට ලුහුටා යාම දැකගැනීමට අපට සිදු වේවි” යි හැම්ඩි තව දුරටත් කීවා ය. “බහු-පාර්ශවීය ජාත්‍යන්තර සහයෝගය පතා” අගමැති රනිල් වික්‍රමසිංහ කල ආයාචනයන්ට එක්සත් ජාතීන් ක්ෂනික ව ප්‍රතිචාර දක්වමින් සිටින බව ඇය කීවා ය.

එක්සත් ජාතීන්ට වික්‍රමසිංහ කරන ආයාචනා වනාහි, මහජනයා දේශපාලනික ව රැවටීමට දරන නරුම උත්සාහයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පියවරයන් ක්‍රියාත්මක කිරීම සඳහා, මැයි මස මුල දී ජනාධිපති රාජපක්ෂ, වික්‍රමසිංහ අගමැති ධූරයට පත්කලේ ය.

ඇප නයක් සඳහා වන සාකච්ඡා අවසන් තීරනයකට ගෙන ඒමට, පසුගිය සතියේ දී වික්‍රමසිංහ ජාමූඅ කලමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවාට දුරකථනයෙන් ඇමතී ය. ඕනෑ ම නය වැඩසටහනක්, කොලඹ ආන්ඩුව රුදුරු කප්පාදු පියවරයන් පැටවීම මත රඳා පවතින බව ජාමූඅ අවධාරනය කර ඇත. බදු ඉහල දැමීම්, රාජ්‍ය අංශය කප්පාදු කිරීම හා පුද්ගලීකරනය කිරීම, සමාජ සුභසාධන කපා දැමීම, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය කපා දැමීම සහ දැනට මත් ක්‍රියාවට දමා ඇති ඒවා ඇතුලු ප්‍රතිගාමී පිලිවෙත් මේවාට ඇතුලත් වේ.

මහජනයා පීඩා විඳින අතර, මහ ව්‍යාපාරිකය හා බැංකු ලාභ පොදිගසා ගනිති. පසුගිය වසරේ පාඩු ලබා මේ වසරේ මැයි මාසය අවසානය වන විට රුපියල් මිලියන 515.6ක ශුද්ධ ලාභයක් වාර්තා කල හැටන් නැෂනල් ෆයිනෑන්ස්, බදුවලට පෙර රුපියල් බිලියන 14.2ක් නිවේදනය කල බහු-ආයෝජක ඒට්කන් ස්පෙන්ස් සංගතය සහ සියයට 35ක වාර්ෂික ආදායම් ඉහල යාමක් හා සියයට 52ක වැඩි වීමක් වන රුපියල් බිලියන 39ක දල ලාභයක් වාර්තා කල සොෆ්ට්ලොජික් හෝල්ඩිංස් මේ අතරට අයත් වෙයි.

ඒ අතර ම, ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙත ගෙවීමට නියමිත ඩොලර් බිලියන 5ක නය ආපසු ගෙවීම තමන්ගේ එක් ප්‍රමුඛතාවක් බව, වික්‍රමසිංහ පසුගිය සතියේ දී පාර්ලිමේන්තුවට කීවේ ය. සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන ඇතුලු ලංකාවේ සියලු ධනපති පක්ෂ මෙන් ම වෘත්තීය සමිති ද ජාමූඅ විධානයන් හා ලාභ පද්ධතිය අනුමත කරති.

ගැඹුරු වන සමාජ ව්‍යසනය නැවැත්වීමටත්, ආන්ඩුව, බැංකු හා මහ ව්‍යාපාරිකය එල්ල කරන ප්‍රහාර පරාජය කිරීමටත්, කම්කරු පන්තියට පවතින එක ම මාවත වන්නේ, එහි ස්වාධීන දේශපාලන ශක්තිය බලමුලු ගන්වා ගනිමින් සමාජවාදී ක්‍රියා මාර්ගයකට සටන් කිරීම යි. සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම, බැංකු, විශාල සමාගම් හා වතු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීම සහ දරිද්‍රතාවට හා කුසගින්නට ආමන්ත්‍රනය කිරීම සඳහා බිලියනපතියන්ගේ ධනය බෙදාහැරීම මෙයට ඇතුලත් වේ.

ඒ සඳහා, වෘත්තීය සමිති හා ධනපති පක්ෂවලින් ස්වාධීන වන තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු, සෑම වැඩපොලක හා කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශයක ම ස්ථාපිත කරන ලෙස, සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගෙන් ඉල්ලයි. මෙම පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කරන මහජන ව්‍යාපාරයකට, මෙම කමිටු මගින් පදනම දැමිය යුතු ය.

Loading