න්‍යෂ්ටික යුද්ධයේ අන්තරාය පිලිබඳ එලඹෙන සසප-සසජාතශි ප්‍රසිද්ධ රැස්වීමට ශ්‍රී ලංකාවේ කම්කරුවෝ හා තරුනයෝ සහය පලකරති

[මෙය Sri Lankan workers and youth support forthcoming SEP-IYSSE public meeting on the danger of nuclear war යන මැයෙන් 2022 ඔක්තෝබර් 14 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය විසින් ඔක්තෝබර් 16 ඉරිදා (අද) සවස 4 ට පවත්වනු ලබන යුද විරෝධී අන්තර්ජාල රැස්වීමට කම්කරුවන් හා ශිෂ්‍යයින් උද්යෝගිමත් ප්‍රතිචාර දක්වා ඇත.

ඔක්තෝබර් 16 ප්‍රසිද්ධ රැස්වීමේ උද්ඝෝෂනය අතරතුර, යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමාජවාදී සමානතා පක්ෂයේ පොත් පත් මිල දී ගනිමින්.

න්‍යෂ්ටික යුද අන්තරාය නැවැත්වීමට ජාත්‍යන්තර කම්කරු පන්තික ව්‍යාපාරයක් ගොඩ නගනු යන මාතෘකාව යටතේ මෙම රැස්වීම පැවැත් වේ. යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ප්‍රකෝපකාරී එක්සත් ජනපද-නැටෝ යුද්ධය, ව්‍යසනයකට හා ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනයාගේ විනාශයට වඩා අඩු දෙයකට තර්ජනය නොකරන තුන්වන ලෝක යුද්ධයක පලමු අදියර බව, එහි දී පැහැදිලි කෙරෙනු ඇත.

කම්කරු පන්තිය විසින්, සංගත මාධ්‍ය මෙන්ම ධනේශ්වර හා ව්‍යාජ වාම පක්ෂ ද වෘත්තීය සමිති නිලධරය ද ප්‍රවර්ධනය කරනු ලබන ස්වයංතෘප්තිය ප්‍රතික්ෂේප කල යුතු අතර මෙම අනතුරට අතිශය බැරෑරුම් ලෙස ප්‍රතිචාර දැක්විය යුතු ය. යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය න්‍යෂ්ටික ව්‍යසනයක් දක්වා වර්ධනය වීම වැලැක්වීමට ඇති එක ම මාර්ගය වන්නේ සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමයි.

සසප හා සසජාතශි උද්ඝෝෂකයින් ඉදිරි රැස්වීම සඳහා පසුගිය සතිය පුරා ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරවල සහ විශ්ව විද්‍යාලවල සිසුන් හා කම්කරුවන්ගේ ප්‍රබල සහයෝගයක් දිනා ගෙන ඇත.

ඔක්තෝබර් 11 වැනි දින, යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව අසල පක්ෂ උද්ඝෝෂකයින් විසින් පිහිටුවන ලද පොත් මේසයක් වෙත සිසුන්, විශ්වවිද්‍යාල සේවකයන් සහ අනෙකුත් අය ආකර්ෂනය විය. ඉරිදා රැස්වීමට සහභාගි වීම සඳහා සිසුන් කිහිප දෙනෙක් එම ස්ථානයේ ම ලියාපදිංචි වූහ.

බොහෝ දෙනෙක් යුද්ධයේ බිහිසුනු බව ගැන, විශේෂයෙන් ම බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව කොලඹ ආන්ඩු විසින් ගෙන ගිය දශක තුනකට ආසන්න වාර්ගික යුද්ධය තුල සිදු කරන ලද අපරාධ පිලිබඳ ව කතා කලහ. කිහිප දෙනෙක් යුක්‍රේනයේ යුද්ධයට එහි සමාන්තර බව ගැන සඳහන් කලහ.

විද්‍යා පීඨ ශිෂ්‍යාවන වන කේ. සංකවි මෙසේ පැවසීය: “[යුක්‍රේනයේ] මෙම විනාශකාරී යුද්ධය නැවැත්විය යුතුයි. ජපානයේ හිරෝෂිමා සහ නාගසාකිවල සිදුවූ දේ ද, එහි ජනතාව අදටත් දුක් විඳින බව ද මම දන්නවා. ඔවුන් මේ යුද්ධයේදී න්‍යෂ්ටික අවි භාවිත කලහොත් එය විනාශයක් වනු ඇති.”

කොලඹ විශ්ව විද්‍යාලයේ කලමනාකරන පීඨයේ සවිඳු උද්ඝෝෂකයන්ට පැවසුවේ තමා ප්‍රසිද්ධ රැස්වීමට සහාය දෙන බවයි.

“යුක්‍රේනයේ යුද්ධය පිලිබඳ ඔබ ඉදිරිපත් කල කරුනු සමඟ මම සම්පුර්නයෙන්ම එකඟයි. න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ වුවහොත් අපගේ අනාගත සැලසුම් සියල්ල විනාශ වී යනු ඇති. ඇත්ත වශයෙන්ම, න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ වීමට ආසන්න කොන්දේසි යටතේ අපට මානව වර්ගයාගේ අනාගතයක් ගැන සිතීමට පවා නොහැකියි.”

සවිඳු

යුක්‍රේනයේ යුද්ධයට ඇමරිකාව සහ රුසියාව එක හා සමාන ව වගකිව යුතු නැති බව පැවසූ සවිඳු, “මට මතකයි ඇමරිකාවට සහ නැටෝ බලවතුන්ට මේ යුද්ධය අවශ්‍ය වූ ආකාරය සහ ඔවුන් රුසියාව කුපිත කල ආකාරය.”

“මම යුද්ධයට විරුද්ධයි. ඔබ සමඟ කතා කිරීමට පෙර එය නතර කිරීමට ක්‍රමයක් ඇතැයි මම හිතුවේ නැහැ. නමුත් ඔබ කී පරිදි, ජාත්‍යන්තර කම්කරු පන්තිය දේශපාලන අවබෝධයකට පැමිනියහොත් යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් එය නැවැත්විය හැකියි. යුද්ධයේ විනාශය ගැන අපි කම්කරුවන් අතර පුලුල් අවබෝධයක් ඇති කල යුතුයි. මෙම කර්තව්‍යය ඉදිරියට ගෙන යාම සඳහා මෙම රැස්වීම ඉතා වැදගත් වනු ඇති,” ඔහු පැවසී ය.

සසප/සසජාතශි සාමාජිකයන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පොත් පත් මේසයක් ද සහිත ව උද්ඝෝෂන කටයුතුවල නිරත වූහ.

නුවරඑලියේ ශිෂ්‍යයෙකු වන ප්‍රේම්, යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා සටන නමැති පොතේ දෙමල භාෂා අනුවාදයේ පිටපතක් මිල දී ගත්තේය.

“පරම්පරාවෙන් පරම්පරාවට අපි දරිද්‍රතාවයට තල්ලු කර තිබෙනවා, නමුත් ධනපතියන් සහ පාලක ප්‍රභූව වසරින් වසර තව තවත් පොහොසත් වෙනවා,' ඔහු පැවසී ය. “මම මේ යුද්ධය සලකන්නේ ධනපතියන් තවත් පොහොසත් වීමට කරන තවත් සටනක් ලෙසයි. මට යුද්ධයට එරෙහි ව සටන් කරන්නේ කෙසේදැයි දැන ගැනීමට අවශ්‍ය නිසයි මම ඔබේ රැස්වීමට සහභාගී වෙන්නේ.”

චන්ද්‍ර කුමාර්

මහවැලි අධිකාරියේ සේවකයෙකු වන චන්ද්‍ර කුමාර් මෙසේ පැවසී ය: “මෙම යුද්ධය මාස ගනනාවක් තිස්සේ තීව්‍ර වෙමින් පවතින බව මම දන්නවා, නමුත් න්‍යෂ්ටික තර්ජනය ගැන දැන සිටියේ නැහැ. මේ කලාපය තුල එවැනි න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් ලෝකයේ කිසිවකුට ගැලවීමක් නැහැ. අපි එක්සත් වී මේ යුද්ධයට විරුද්ධ විය යුතුයි. ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් සංවිධානය කිරීම අවශ්‍යතාවයක්. වාමාංශික යැයි කියාගන්නා කිසිම පක්ෂයක් මේක කරන්නේ නැහැ.”

මිනින්දෝරු දෙපාර්තමේන්තු සේවකයෙක් උද්ධමනය සහ නිවාස නය සඳහා ඉහල පොලී අනුපාත සමඟ කටයුතු කිරීමට පොර බදන රාජ්‍ය අංශයේ සේවකයින් මුහුන දෙන දුෂ්කරතා පිලිබඳව උද්ඝෝෂකයන්ට කතා කලේය. ජුලි මාසයේ, හිටපු රාජපක්ෂ ආන්ඩුවට එරෙහි මහජන පෙලපාලිවලට සහභාගී වූ ඔහු, කම්කරුවන් නිහඬ කිරීමට දැන් භාවිතා කරන මර්දනකාරී පියවරයන් ද හෙලා දුටුවේ ය.

“ඔබේ පැහැදිලි කිරීම් අනුව, මේ රටේ අර්බුදය ගෝලීය අර්බුදයේ කොටසක් බව මට දැන් වැටහෙනවා,” ඔහු පැවසී ය. “බටහිර බලවතුන් විසින් යුක්‍රේනය තුල උසිගන්වන ලද යුද්ධය නිසා ලෝකය පැහැදිලි ව ම කඳවුරු දෙකකට බෙදිලයි ඉන්නේ, න්‍යෂ්ටික යුද්ධය සැබෑ අනතුරක්. ඔබ ඉදිරිපත් කල වැඩපිලිවෙල නිවැරදියි කියලා මම හිතනවා.”

අප්කොට් වතු ප්‍රදේශයේ ෆෙයාර්ලෝන් වතුයායේ තම දෙමාපියන් සමඟ ජීවත් වන තරුන මාධ්‍යවේදියෙකු වන ආර්. ගෝපිරාජ් මෙසේ පැවසී ය: “යුක්‍රේනයේ යුද්ධය උත්සන්න වීමට ප්‍රධාන හේතුව එක්සත් ජනපදයයි. එක්සත් ජනපදය සෑම විට ම වෙනත් රටවල මිනිසුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන බව පවසන මුත්, ඔවුන් ඉරාකය, සිරියාව සහ ලිබියාව වැනි බොහෝ රටවල් විනාශ කර තිබෙනවා.”

ආර්. ගෝපිරාජ්

“හිරෝෂිමාවේ සිදු වූ දේ අප දන්නා නිසා න්‍යෂ්ටික යුද්ධය කෙතරම් භයානකදැයි අපි දන්නවා. මේ යුද්ධය නැවැත්විය යුතුයි, ඒ සඳහා අපි කටයුතු කල යුතුයි. ධනවාදය යටතේ යුද්ධය නැවැත්විය නොහැකි බවටත් ධනවාදය පෙරලා දමා යුද්ධය නැවැත්වීමට ජාත්‍යන්තර කම්කරු පන්තිය මැදිහත් විය යුතු බවටත් මම එකඟයි.”

ගෝපිරාජ් පැවසුවේ තමා ලියාපදිංචි වී ඉරිදා රැස්වීමට සහභාගී වන බවත් රැස්වීමේ සබැඳිය ඔහුගේ මාධ්‍ය සගයන් අතර බෙදා ගන්නා බවත්ය.

හැටන්හි ගුරුවරියක වන ආර්. පත්මාවතී මෙසේ පැවසුවා ය: “එක්සත් ජනපද ප්‍රතිපත්තිය තමයි ලෝකය පුරා ආධිපත්‍යය දරන්නේ, නේටෝව සහ එක්සත් ජනපදය යුක්‍රේනය තුල මෙම යුද්ධය පවත්වාගෙන යන්නේ ඒ නිසයි. මේ භයානක යුද්ධය වහා නැවැත්විය යුතුයි.”

යුක්‍රේනයේ යුද්ධය ලොව පුරා සමාජ අර්බුදය තීව්‍ර කරන බව පත්මාවතී සඳහන් කලා ය. “ජීවන වියදම දැන් මිනිස්සුන්ට දරාගන්න බැරි තරම්. අපේ පාසලේ බොහෝ සිසුන්ට තම දෙමාපියන්ගේ ආර්ථික දුෂ්කරතා නිසා යම් මුදලක් උපයා ගැනීමට සහ ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට රැකියාවක් ලබා ගැනීමට අවශ්‍ය වෙලා. අපේ පාසලේ සිසුන් 1000 ක් පමන සිටින නමුත් දිනකට සිසුන් 300 කට ආසන්න පිරිසක් පැමිනෙන්නේ නැහැ.”

“සමහර සිසුන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගත්තත් ඔවුන්ට එහි යාමට අවශ්‍යතාවයක් නැහැ, මන්ද, ඔවුන්ට එහි වසර හතරක් ගත කිරීමට සිදුවන අතර එම වියදම් දැරිය නොහැකියි.”

ඒටීජී සිලෝන්හි තරුන කම්කරුවෙක් සසප උද්ඝෝෂකයන් සමග කතා කලේ ය. අපනයනය සඳහා උසස් තත්ත්වයේ අත්වැසුම් නිෂ්පාදනය කරන එම සමාගම කටුනායක නිදහස් වෙලඳ කලාපයේ පිහිටා ඇත. “ලෝක ව්‍යාප්ත යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු අතර මෙම යුද්ධය සඳහා මෙතරම් ධනයක් වැය කරන ධනපතියන්ගේ බාධක බිඳ දැමීමට ඔබට [සසපට] ශක්තිය ලැබිය යුතු ය” යනුවෙන් ප්‍රකාශ කරමින්, එලඹෙන මහජන රැස්වීමට සහාය දක්වන බව ඔහු පැවසී ය.

2019 දී විරෝධතාවයේ යෙදී සිටින ඒටීජී කම්කරුවන්

විශ්‍රාමික ගුරුවරියක වන පුෂ්පා වික්‍රමනායක මෙසේ පැවසුවාය: “යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය දිගු කලක් තිස්සේ සැලසුම් කර ඇති අධිරාජ්‍යවාදී යුද්ධයක්. පෘථිවිය මත මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් වන න්‍යෂ්ටික අවි ගැටෙන අවසන් සංග්‍රාමය වන—මෙම මහා ව්‍යසනය වැලැක්විය හැකි එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි. ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කැඳවුම් කරන මේ අන්තර්ජාල මහජන රැස්වීම තීරනාත්මක රැස්වීමක්.”

Loading