ශ්‍රී ලංකාවේ සසප, ආන්ඩුවේ කප්පාදුවලට සහ පුද්ගලීකරන පියවරයන්ට එරෙහි එහි උද්ඝෝෂනයට බලගතු සහයෝගයක් දිනා ගනී

[මෙය Sri Lankan SEP wins strong support for its campaign against government austerity and privatisation measures යන මැයෙන් 2023 ජූනි 25දා පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) ඉල්ලා සිටින පරිදි, රාජ්‍ය ව්‍යවසාය සිය ගනනක් පුද්ගලීකරනය කිරීමේ වික්‍රමසිංහ ආන්ඩුවේ සැලසුම් වලට එරෙහිව සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) උද්ඝෝෂනය, රාජ්‍ය හා පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ උද්‍යෝගිමත් සහයෝගය දිනා ගනිමින් තිබේ.

සසප උද්ඝෝෂකයෝ කොලඹ, රත්මලානේ එන්ඩබ්ලිව්එස්ඩීබී ප්‍රධාන කාර්යාලයෙන් පිටත පත්‍රිකා බෙදා හරිමින්. [ඡායාරූපය: ලෝසවෙඅ]

මෙම උද්ඝෝෂනය ඉදිරියට ගෙන යාම සඳහා සසප ජූලි 6 දා සවස 4 ට කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී මහජන රැස්වීමක් පවත්වයි. 'ශ්‍රී ලංකා ආන්ඩුව රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය කිරීමට එරෙහි වනු! රැකියා සහ වැටුප් සඳහා සටන් කිරීමට කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනඟමු!' යන මැයෙන් වූ පක්ෂ ප්‍රකාශයේ සිංහල - සහ දෙමල පරිවර්තනවල පිටපත් සිය ගනනක් උද්ඝෝෂකයින් විසින් බෙදා හැර තිබේ.

තේ වතු කම්කරුවන් කිහිප දෙනෙක්, ඔවුන්ගෙන් ඉල්ලා සිටින වැඩ කාලසටහනට සිදුවන බාධාව නොතකා, සසප උද්ඝෝෂකයන් සමග කතා කලහ. දශක ගනනාවක් තිස්සේ වහල් ශ්‍රම කොන්දේසි වලට සහ දරිද්‍රතාවයෙන් පහල වැටුප් තත්ව වලට යටත්ව සිටින ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ වඩාත්ම පීඩිත ස්ථරයන් අතර වතු කම්කරුවෝ සිටිති.

2021 පෙබරවාරියේ වැඩි වැටුප් ඉල්ලා වතු කම්කරුවන්ගේ රටපුරා සිදුකල වැඩවර්ජනය අතරතුර, වතු කම්කරුවන් පිරිසක්, සසප දේශපාලන සහාය ඇතිව ඕල්ටන් කම්කරු ක්‍රියාකාරී කමිටුව (ඕකක්‍රික) පිහිටවූ මස්කෙලිය අප්-කොට්හි ඕල්ටන් වත්තට අපගේ උද්ඝෝෂකයෝ ගියහ.

ඕල්ටන් කලමනාකාරිත්වය සහ පොලිසිය ඊට ප්‍රතිචාර දැක්වූයේ, දින 47 ක් පැවති වත්තේ වැඩ වර්ජනයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කල සටන්කාමී කම්කරුවන්ට එරෙහිව ඒකාබද්ධ දඩයමක් දියත් කිරීමෙනි. ඔවුන්ගෙන් 22 දෙනෙකුට සහ වත්තේ තරුනයින් දෙදෙනෙකුට එරෙහිව ව්‍යාජ නඩුවක් ආරම්භ කිරීමෙන් පසු, කලමනාකාරිත්වය විසින් සේවකයින් 38 දෙනෙකු සේවයෙන් පහ කරන ලදි.

කලමනාකාරීත්වයේ ව්‍යාජ චෝදනා සම්බන්ධයෙන් අදාල අධිකරන කටයුතු, හැටන් මහේස්ත්‍රාත් අධිකරනයේ තවමත් කෙරීගෙන යයි. වින්දිත කම්කරුවන් ආරක්ෂා කිරීම, ගොතා ඇති චෝදනා හෙලිදරව් කිරීම සහ ඒවා වහාම ඉල්ලා අස්කර ගැනීම සහ කම්කරුවන් සම්පූර්නයෙන් යලි සේවයේ පිහිටුවන ලෙස බලකිරීම සඳහා උද්ඝෝෂනයක් පවත්වන්නේ සසප සහ ඕකක්‍රික පමනි.

ලිංගම් (ඔහුගේ බිරිද දඩයමට ලක්වූ වතු කම්කරුවන් 38 දෙනාගෙන් අයෙකි), පුද්ගලීකරනයට එරෙහි සසප අරගලයට තමන් එකඟ බව පැවසීය. රාජ්‍ය ව්‍යවසායන් (රව්‍ය) 430 පුද්ගලීකරනය කිරීම “ජනතාවට ව්‍යසනයක්” වනු ඇති බව පැවසූ ඔහු, රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පිහිටුවීමේ ආන්ඩුව ගෙන යන පියවර ගැන ද කතා කලේය.

“මෙම ක්‍රමය හඳුන්වා දුන්නොත් වතු කම්කරුවන් ඇතුලු අන්ත දුප්පත් මිනිස්සු මිය යාවි. මගේ පුතාට පුංචි කාලයේ ඉඳලාම ස්නායු රෝගයක් තියෙනවා. මේ හින්දා හැම මාසයකම අපි කිලෝමීටර් 45 ක් ඈත තියෙන මහනුවර රෝහලට යන්න ඕන,” ලිංගම් කීවේ ය.

ඕල්ටන් වතු කම්කරු කාන්තාවක් සහ ඇගේ දරුවන් ඔවුන්ගේ ලයින් කාමරය ඉදිරිපිට[ඡායාරූපය: ලෝසවෙඅ]

“මගේ පුතාගේ අයහපත් සෞඛ්‍ය තත්වය හින්දා අපිට බස් එකේ යන්න බැහැ. ඒ නිසා අපිට ත්‍රිරෝද රථයක් කුලියට ගන්න වෙනවා. මේ එක් එක් ගමනකට රුපියල් 7,000 ගානේ ගෙවන්න අපිට සිද්ධ වෙනවා. සෞඛ්‍ය සේවය පෞද්ගලීකරනය කලාම ඇතිවන තත්වය මට හිතාගන්නවත් බැහැ! ජීවන වියදම අහස උසට නැගලා තියෙන තත්වයක් ඇතුලේ දැනටමත් දේවල් කලමනාකරනය කරගන්න අපට අමාරුයි. මේ තත්වය මීටත් වඩා නරක අතට හැරුනොත් සායනයට යන එකත් නතර කරන්න වෙයි.”

සියලුම පාර්ලිමේන්තු දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති එම කප්පාදු පියවරයන්ට සහය දක්වන බැවින් මහජනයා එකසත්ව ස්වාධීනව එක්සත් වී ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට විරුද්ධ විය යුතු බව, ඔහුගේ අදහසයි. ප්‍රධාන වතු සංගමය වන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට සහාය දක්වන අනෙකුත් පක්ෂ සමඟ අත්වැල් බැඳගෙන ඇති බව ඔහු පැවසීය.

උද්ඝෝෂකයන්ට තුති පලකරමින්, “අපේ වත්තේ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවමින්, රැකියාවෙන් නෙරපා හරින ලද කම්කරුවන් 38 දෙනා නැවත සේවයේ පිහිටුවීමට සහ ඔවුන්ගේ උසාවි නඩු ඉල්ලා අස්කර ගැනීමට සටන් වදින එකම පක්ෂය සසප” බව ලිංගම් සඳහන් කලේ ය.

පෞද්ගලීකරනය කම්කරුවන්ට 'අනතුරුදායක' බව හැටන් හි ප්‍රවෘත්ති වාර්තාකරුවෙකු වන පරම් කීවේ ය. “පුද්ගලීකරනය නවත්වන්න පුලුවන් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට පමනක් ය කියන සසප තක්සේරුවට මම එකඟයි. ආදායම් බෙදාගැනීමේ ක්‍රමය [වතුකරයේ] හඳුන්වාදීම මෙම පෞද්ගලීකරන වැඩසටහනේ කොටසක්,” යැයි ඔහු පැවසීය.

“ඔබේ පක්ෂයත් ඇතුලුව සියලුම සමාජවාදීන් එකට එකතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට බල කල මහජන ව්‍යාපාරයට සහභාගි වුනා. එය සාර්ථක වුනා. එහෙමනම්, සියලුම සමාජවාදීන්ට එකට එකතු වී සමාජවාදී ආන්ඩුවක් සඳහා සටන් කල නොහැක්කේ ඇයි?” යැයි පරම් යෝජනා කලේ ය.

සසප හැර, ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඇතුලුව, සමාජවාදීන් යැයි කියා ගන්නා ශ්‍රී ලංකාවේ අනෙකුත් සියලුම පක්ෂවලට සමාජවාදය සමග කිසිදු සම්බන්ධයක් නොමැති බව පැහැදිලි කරමින්, උද්ඝෝෂකයින් පරම් සමඟ මෙම ප්‍රශ්නය සාකච්ඡා කලහ. පසුගිය වසරේ ආන්ඩුවට එරෙහි මහජන නැගිටීමේදී සසප එම සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු නොකල බව ද ඔවුහු පෙන්වා දුන්හ.

කම්කරුවන්ගේ, තරුනයන්ගේ හා ගම්බද දුගීන්ගේ මහජන නැගිටීම රාජපක්ෂ ආන්ඩුව පලවා හැරීමට සමත් වූ බව සසප උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ. එහෙත් වික්‍රමසිංහට බලයට පැමින, ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදු පිලිවෙත් ක්‍රියාවට නැංවීමට හැකි වූයේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේද සහාය ලද වෘත්තීය සමිති විසින් මහජන නැගිටීම අන්තර්වාර ආන්ඩුවක් වෙතට හරවා යැවීම නිසාය.

විකල්ප ධනේශ්වර ආන්ඩුවක් සඳහා වූ මෙම දේශපාලන උගුල, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන වැනි විරුද්ධ පක්ෂ විසින් ප්‍රවර්ධනය කරන ලද අතර, සසප පමනක්ම පසුගිය වසරේ මහා නැගිටීම තුල මහජන ක්‍රියාමාර්ගයක් සහ ඉදිරිදර්ශනයක් මත කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට සටන් කල බව උද්ඝෝෂකයෝ අවධාරනය කලහ.

සසප උද්ඝෝෂකයෝ කොලඹ පිටත තදාසන්න ප්‍රදේශයක් වන රත්මලාන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලයේ (එන්ඩබ්ලිව්එස්ඩීබී) කාර්යාලයෙන් පිටත කම්කරුවන් සමග ද කතා කලහ.

එන්ඩබ්ලිව්එස්ඩීබී යනු පුද්ගලීකරනය සඳහා ඉලක්ක කර ඇති ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායවලින් එකකි. පසුගිය සැප්තැම්බර් මාසයේ ජල ගාස්තු වැඩි කල අතර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. කේ. රනතුංග පසුගියදා ප්‍රකාශ කලේ, විදුලි ගාස්තු ඉහල දැමීම නිසා මන්ඩලයට අමතර වියදම් දැරීමට සිදු වූ බවත්, දැනටත් වඩා ගාස්තු ඉහල නැංවීමට සූදානම් වන බවත්‍ ය.

සසප උද්ඝෝෂකයන් සමග කතා කල බොහෝ කම්කරුවන් කියා සිටියේ, කලමනාකාරීත්වය විසින් පමනක් නොව වෘත්තීය සමිති විසින් ද පුද්ගලීකරනය පිලිබඳව තමන්ව “අඳුරේ තබා” ඇති බවයි. එන්ඩබ්ලිව්එස්ඩීබී හි ක්‍රියාත්මක වන වෘත්තීය සමිති විවිධ දේශපාලන පක්‍ෂවලට අනුබද්ධ ඒවා බවත්, ඒ කිසිවකු පෞද්ගලීකරනයට එරෙහිව කිසිදු ව්‍යාපාරයක් සූදානම් කර හෝ ආරම්භ කර නොමැති බවත් ඔවුහු පැවසූහ.

“අපට අතිකාල දීමනා ලැබෙන්නෙ නැති නිසා ජීවිතය අන්තිම දුෂ්කරයි. පසුගිය වසර දෙකේදදි ව්‍යාපෘති අසූවක් නවතා දමා තිබෙනවා. දැන් මෙහි ව්‍යාපෘති දෙකක් පමනයි තියෙන්නේ, ඒ හින්දා අතිකාල නැහැ,” එන්ඩබ්ලිව්එස්ඩීබී කම්කරුවෙකු වන රන්ජන් පැවසුවේ ය. “නව ජලාශ නොමැතිවීම නිසා, ජල ධාරිතාව ඉහල නැංවීම සඳහා අලුතින් ජලය ලබා ගැනීම, නල එලීම සහ නව ජල සම්බන්ධතා අත්හිටුවලයි තියෙන්නේ. පූර්ව ඉලක්කය වුනු, 2025 වන විට නව සම්බන්ධතා ලක්ෂ 5 ක් කරා යාම දැන් නවතා දමා තියෙනවා.”

තවදුරටත් කතා කරමින්,“2020 දී කොරෝනා වෛරසය පැතිර යාමෙන් පසු අපගේ වැඩ කරන සේවක පිරිසට නව බඳවා ගැනීම් සිදුවී නැහැ. කාර්ය මන්ඩලයෙන් 3,000 කට ආසන්න ප්‍රමානයක් විශ්‍රාම ගිහින් තිබුනත්, අලුතින් බඳවාගැනීම් සිදුකරලා නැහැ. මේ මෙම දැවෙන හිඟයන්ට මුහුන දෙන කලමනාකාරීත්වය [කොන්ත්‍රාත් සේවකයින්] මිනිස් බල ඒජන්සිවලින් බඳවා ගන්නවා. ඒත් ඒ ඉතා අඩු වැටුපකට”, රන්ජන් කීවේ ය.

“විදුලි ගාස්තු සහ ඉන්ධන මිල වැඩි කරාම එන්ඩබ්ලිව්එස්ඩීබී බලපෑමට ලක්වුනා. සෞඛ්‍ය හා අධ්‍යාපනය ඇතුලු සියලුම සමාජ සේවා සඳහා භාන්ඩාගාරය විසින් මුදල් කපා හැර ඇති කොන්දේසි යටතේ, මන්ඩලය එහි ආදායමෙන් මේවාට ගෙවිය යුතු වෙනවා. ඔවුන් සැප්තැම්බර් මාසයේදී ජල බිල්පත් සියයට 60 කින් වැඩි කලත් අපේ වතුර බිල්වලට මොනම සහනයක්වත් ලබලා දුන්නේ නැහැ. මේ තත්වයන්ට එරෙහිව සටන් කිරීමට අපි සංවිධානය විය යුතුයි” රන්ජන් පැවසීය.

තවත් එන්ඩබ්ලිව්එස්ඩීබී සේවකයෙක් මෙසේ කීවේ ය: “කලමනාකාරීත්වයේ අවශ්‍යතා මිසක්, අපේ අවශ්‍යතා ඉටු කරන්නේ නැති වෘත්තීය සමිති වලින් කම්කරුවන්ට ප්‍රයෝජනයක් නැහැ. පුද්ගලීකරනයට එරෙහිව සටන් කිරීමේදී අපට වෘත්තීය සමිති මත යැපෙන්න පුලුවන්කමන් නෑ.”

පුද්ගලීකරනයට සහ අනෙකුත් කප්පාදු ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරුවන් ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීමේ අවශ්‍යතාවය පිලිබඳව සසප උද්ඝෝෂකයින් සිදුකල පැහැදිලි කිරීමට ඇහුම්කන් දීමෙන් පසු එන්ඩබ්ලිව්එස්ඩීබී කම්කරුවා මෙසේ පැවසීය: 'කම්කරුවන්ට වෙනම සංවිධානයක් අවශ්‍ය බවට මම එකඟයි, නමුත් එය ශක්තිමත් එකක් විය යුතුයි. එහෙම නැතිනම්, වෘත්තීය සමිති නිලධරය අපට තර්ජනය කරාවි.”

එන්ඩබ්ලිව්එස්ඩීබී කාර්යාලයේ පිරිසිදු කිරීමේ කාර්ය මන්ඩලය අධීක්‍ෂනය කරන සේවකයෙක්: “හැම දවසකම ජීවත්වීම එන්න එන්නම දුෂ්කර වෙමින් තියෙනවා. පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ බාහිර සමාගමකට. ඔවුන් සේවකයන්ට දවසකට ගෙවන්නේ රුපියල් 950 ක් විතරයි. මේ සොච්චම පවුලක් නඩත්තු කරන්න තියා, එක්කෙනෙක්ට ජීවත් වෙන්නවත් මඳි.”

සසප උද්ඝෝෂන කන්ඩායම එන්ඩබ්ලිව්එස්ඩීබී කම්කරුවන් ජීවත් වන ප්‍රත්‍යන්ත නිවාස ප්‍රදේශයකටද ගියහ. නිවාස 20 ක් පමන ඇති මෙම ප්‍රදේශයේ බොහෝ ගොඩනැගිලි, පදිංචි නැති හෝ අලුත්වැඩියා කිරීමට අතවශ්‍යව තිබීම හේතුවෙන් අතහැර දමා ඇති බව පෙනෙන්නට තිබුනි.

එහි වෙසෙන ඉංජිනේරු සහායකයෙක් උද්ඝෝෂන කන්ඩායම සමඟ කතා කලේය. 'මන්ඩලය විශ්‍රාම යන කම්කරුවන් වෙනුවට වෙන බඳවාගැනීම් කරන්නේ නැහැ. ඒ හින්දා අපේ වැඩ ප්‍රමානය දවසින් දවස වැඩි වෙනවා,' ඔහු කීවේ ය.

“ඔවුන් කොන්ත‍්‍රාත් පදනම උඩ මිනිස් බල සමාගම්වලින් ශ‍්‍රමිකයින් බඳවා ගැනීමට ඔවුන් යොමු වී තිබෙනවා. මෙම සේවකයන්ට මොනම කම්කරු අයිතියක්වත් නෑ. ඔවුන්ට අතිකාල සඳහා පැයකට ලැබෙන්නේ රුපියල් 150ක් විතරයි” යැයි පැවසූ ඉංජිනේරු සහාකයා ඔවුන් මුහුන දෙන දුෂ්කරතා කිහිපයක් පැහැදිලි කලේය.

“වෘත්තීය වශයෙන් සුදුසුකම් තියෙන කම්කරුවන් රට යාම ගැන කල්පනා කරනවා. අසල්වැසි කම්කරුවන් හය දෙනෙකු විතර දැනටමත් ප්‍රධාන වශයෙන් ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ එක්සත් රාජධානිය වෙත සංක්‍රමනය වෙලා. මමත් ඉන්නේ, දැන් එම විකල්පය ගැනසිතමින්,” ඔහු පැවසීය.

ඉහල යන උද්ධමනය, ඕස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා කම්කරුවන්ට දැඩි ලෙස බලපාන බව කන්ඩායම පැහැදිලි කල විට, ඔහු වහාම එකඟ විය. “ඔව්, එම රටවල පවා කම්කරුවන්ට යහපත් ජීවිතයක් නොලැබෙන බව මම දන්නවා. එහෙම වුනත් පවතින එකම විකල්පය එය බවයි මට හැඟෙන්නේ,” යනුවෙන් පිලිතුරු දුන් ඔහු, ප්‍රකාශය කියවීමටත්, සසප සමඟ සාකච්ඡාව දිගටම කරගෙන යාමටත් කැමැත්ත පල කලේය.

සසප ප්‍රකාශය සමඟ ඡායාරූපයකට පෙනී සිටි භාෂිත. [ඡායාරූපය: ලෝසවෙඅ]

මෑතකදී ලංකා ජර්මානු තාක්ෂනික පුහුනු ආයතනයෙන් උපාධිය ලබා දැන් එන්ඩබ්ලිව්එස්ඩීබී වැඩපොලේ සේවය කරන භාෂිත උද්ඝෝෂන කන්ඩායම සමඟ කතා කලේය. “වසරකට අඩු කාලයකට ඉස්සෙල්ලා, අපෙන් 20ක් පමන දෙනා එන්ඩබ්ලිව්එස්ඩීබී එකට බඳවා ගත්තා. නමුත් පෞද්ගලීකරන ප්‍රශ්න එනවා කියලා මම දන්නවා. ඔවුන් බඳවා ගැනීම දැනටම නතර කරලා. දැන් ශ්‍රම බලකායේ සංඛ්‍යාව 5,000 දක්වා අඩු කිරීමට යන බවට ආරංචියි,” භාෂිත සඳහන් කලේ ය.

කම්කරුවන්ට තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු සංවිධානය කල යුත්තේ කෙසේද, ඒවා සංවිධානය කල යුත්තේ ඇයි යන්න පිලිබඳව උද්ඝෝෂන කන්ඩායම පැහැදිලි කරන විට, භාෂිත සාවධානව ඇහුන්කන් දුන්නේය. 'අපගේ තනතුරු තවමත් ස්ථිර කරලා නැහැ.සමහර අවදානම් තියෙනවා. නමුත් මම ඔබේ ප්‍රකාශය බෙදා ගැනීමට උත්සාහ කරන්නම්,' ඔහු පැවසීය.

Loading