[මෙය Bangladesh police kill four garment workers during mass protests for higher wages යන මැයෙන් 2023 නොවැම්බර් 13 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි. ]
දස දහස් සංඛ්‍යා බංග්ලාදේශ ඇඟලුම් කම්කරුවෝ වැඩි වැටුප් ඉල්ලා අඛන්ඩව තුන්වන සතියටත් විරෝධතා පවත්වමින් සිටිති. පොලිසිය සහ කුප්‍රකට 'ඉක්මන් ක්‍රියා බලඇනිය (Rapid Action Battalion)' විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරවලින් මේ වන විට කම්කරුවන් හතර දෙනෙකු මිය ගොස් ඇත.
මිර්පූර්, නාරායන්ගන්ජ්, අෂුලියා, සවාර් සහ ගාසිපූර් හි කම්හල්වල වැඩ වර්ජිත කම්කරුවෝ, ඇඟලුම් කර්මාන්ත හිමියන් සියයට 25ක වැටුප් වැඩිවීමක් පමනක් ලබා දීමෙන් පසුව ඔක්තෝබර් 23දා කාර්මික ක්‍රියාමාර්ග ආරම්භ කලහ. කම්කරුවන්ට ඔවුන්ගේ මාසික අවම මූලික වැටුප ටකා 23,000 (එජ ඩොලර් 208) දක්වා හෝ 2018 දී නීර්නය කෙරුනු දැනට පවතින ටකා 8,000 අවම වැටුප මෙන් තුන් ගුනයකින් වැඩිකර ගැනීමට අවශ්‍ය විය.
කඳුලු ගෑස් සහ අත්බෝම්බ භාවිතා කිරීම ඇතුලුව පොලීසිය විරෝධතාකරුවන්ට අමානුෂික ලෙස පහර දී ඇත. මෙහෙයුම්වල මුල් සතිවලදී, පොලීසිය සමග ඇති වූ ගැටුම්වලින් කම්කරුවන් දෙදෙනෙකු මිය ගිය අතර අසූ දෙනෙකු තුවාල ලැබූහ. අගමැතිනි ෂීක් හසීනාගේ අවාමි ලීගයේ මැරයන් පොලිසියට සහාය දුන් බවට කම්කරුවෝ චෝදනා කලහ.
ඉහල වැටුප් අනුපාතයක් ප්‍රකාශයට පත් කරන බවට ත්‍රෛපාර්ශ්වික 'අවම වැටුප් මන්ඩලයේ' (එම්ඩබ්ලිව්බී) පොරොන්දුව හුවා දැක්වූ වෘත්තීය සමිතිවල උපදෙස් මත ඇඟලුම් කම්කරුවෝ පසුගිය සඳුදා (6දා) සිය විරෝධතා අවසන් කලහ. එම්ඩබ්ලිව්බීය සමන්විත වන්නේ බංග්ලාදේශ ඇඟලුම් නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය, සමහර වෘත්තීය සමිති නායකයින් සහ රජයේ නිලධාරීන්ගෙනි.
කෙසේ වෙතත්, කම්කරු හා රැකියා අමාත්‍ය මොන්නුජන් සුෆියන් පසුගිය සතියේ නව අවම වැටුප් අනුපාතය ඩොලර් 113.50 ක් හෝ කම්කරුවන් ඉල්ලා සිටි ප්‍රමානයෙන් අඩක් පමන වනු ඇතැයි පැවසීමෙන් පසු ඇඟලුම් කම්කරුවෝ වහාම සිය ක්‍රියාමාර්ගය ආරම්භ කලහ. මේ වන විට විරෝධතා හේතුවෙන් කර්මාන්ත ශාලා 500ක් පමන වසා දමා ඇත.
අගමැති හසීනාගේ මඟපෙන්වීම යටතේ නව වැටුප නියම කල බව සුෆියන් පැවසීය. වියට්නාමය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, කාම්බෝජය සහ චීනය වැනි අනෙකුත් ඇඟලුම් නිෂ්පාදනය කරන රටවල් සමඟ තරඟ කිරීම සඳහා සිය ලාභ ශ්‍රම උල්පත පවත්වාගෙන යාමට ආන්ඩුව අධිෂ්ඨාන කර ඇත.
2023 නොවැම්බර් 2 වන දින ඩකා-මිර්පූර් ප්‍රදේශයේ විරෝධතා දක්වන ඇඟලුම් කම්කරුවන්ට පහර දීමට බංග්ලාදේශ පොලිසිය ඉදිරියට යමින් සිටිති. [ඒපී ඡායාරූප/මහමුඩ් හුසේන් ඕපු]
පසුදා විරෝධතාවලට ප්‍රහාර එල්ල කල පොලීසිය ගාසිපූර්හි කොනබරි ප්‍රදේශයේ දී එක් කාන්තා කම්කරුවෙකු මරා දමා 10 දෙනෙකුට තුවාල සිදු කලහ. උද්ඝෝෂනයේ යෙදුනු කම්කරුවෙකු වන 42 හැවිරිදි ජලාල් උද්දීන්, පොලීසියේ වෙඩි තැබීමෙන්, නොවැම්බර් 12 දා ඩකා වෛද්‍ය විද්‍යාල රෝහලේදී මිය ගියේය. ඔහුගේ මස්සිනා වන රෙසාඋල් කරීම් වාර්තාකරුවන්ට පැවසුවේ ඔහුගේ බඩට වෙඩි වැදී තිබුනු බවයි.
ප්‍රධාන වශයෙන් කාන්තා කම්කරුවන්ගෙන් සමන්විත මිලියන 4ක් පමන සේවයේ නිරත 3500 ක් වන රටේ සියලුම කම්හල් දක්වා වැටුප් අරගලය පැතිර යනු ඇතැයි හසීනා ආන්ඩුව දැඩි ලෙස කලබලයට පත්ව සිටී.
පසුගිය මූල්‍ය වර්ෂයේදී මෙම කර්මාන්ත අංශය ඩොලර් බිලියන 47ක් පමන උපයා ඇත. මෙය රටේ වාර්ෂික අපනයනවලින් සියයට 85ක් පමන වන අතර දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10කට වඩා වැඩිය. කෝවිඩ්-19 වසංගතයේ පලමු අදියර තුල කෙටි හා අප්‍රමානවත් අගුලු දැමීමකින් පසුව, සියලුම ඇඟලුම් කම්හල් නැවත විවෘත කිරීමට බංග්ලාදේශ රජය නියෝග කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ කම්කරුවෝ මාරාන්තික වෛරසයට ගොදුරු වූහ.
දක්ෂිනාංශික බංග්ලාදේශ ජාතික පක්ෂය (බීඑන්පී) විසින් ඔවුන් උසිගන්වා ඇති බව පවසමින් අගමැතිනි හසීනා, වැඩ වර්ජිත ඇඟලුම් කම්කරුවන් හෙලා දැක තිබේ. හසීනා ආන්ඩුවට වහාම ඉල්ලා අස්වන ලෙසත්, භාරකාර පාලනයක් යටතේ නව මැතිවරනයක් පවත්වන ලෙසත් බීඑන්පී ඉල්ලා සිටී.
නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවකට අනුව, හසීනා ඩකාහි රැස්වීමකදී මෙසේ පවසා ඇත: “ඇගලුම් කම්කරුවන් මතක තබා ගත යුතු කරුනක් නම්, ඔවුන් කම්හල්වලට හානි කලහොත්, ඔවුන්ට තම ගම්බිම් වෙත ආපසු ගොස් රැකියාවක් නොමැතිව ජීවත් වීමට සිදුවනු ඇති බවයි. මෙම විරෝධතා සහ විනාශකාරී ක්‍රියා උසිගැන්වූයේ කවුරුන්දැයි අපි දනිමු, බීඑන්පීයේ කුමන පුද්ගලයින් සම්බන්ධ දැයි අපි දනිමු.“ පසුගිය වසරේ ජූනි මාසයේදී හසීනා ඇඟලුම් කම්කරුවන්ට තර්ජනය කලේ වැඩි වැටුප් සඳහා ඔවුන්ගේ අරගලය රැකියා විනාශ කරන බවටයි.
එම්ඩබ්ලිව්බී හි කර්මාන්තශාලා හිමිකරුවන්ගේ නියෝජිතයෙකු වන සිද්දික් රහමන්, dw.com වෙබ් අඩවියට පැවසුවේ බංග්ලාදේශ ඇඟලුම් කම්කරුවන්ගේ අවම වැටුප “අපේ රටට උචිත” වැටුපට අනුව වැඩි කරන බවයි. ඔහු ප්රකාශ කලේ ඇඟලුම් කම්කරුවන්ගේ විරෝධතාවන්, 'වැටුප් වැඩිවීමකට වඩා දේශපාලනයට සම්බන්ධ' බවයි.
හසීනා සහ කර්මාන්තශාලා හිමියන්ගේ චෝදනා අමූලික බොරු ය. සරලව ජීවත්විය හැකි වැටුපක් ඉල්ලා සිටින බංග්ලාදේශ ඇඟලුම් කම්කරුවන්ට ලැබෙන්නේ අනෙකුත් සියලුම ඇඟලුම් අපනයනය කරන රටවලට සාපේක්ෂව අඩුම වැටුපකි.
පසුගිය වසරේ මුල් භාගයේ සිට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව බංග්ලාදේශ ටකා මුදල සියයට 30 කින් අවප්‍රමානය වී ඇත. වර්තමාන උද්ධමන අනුපාතය සියයට 10 ක් වන අතර ආහාර උද්ධමනය පසුගිය මාසයේදී සියයට 12.56 ක නව ඉහල අගයක් වාර්තා කලේය.
බංග්ලාදේශ කම්කරු අධ්‍යයන ආයතනය තක්සේරු කර ඇති පරිදි කම්කරුවන්ට දරිද්‍රතා රේඛාවට ඉහලින් සිටීමට අවම වශයෙන් මසකට ටකා 23,000ක් අවශ්‍ය වන අතර වෘත්තීය සමිති නිලධරයන් ඔවුන්ගේ ඉල්ලීම් මෙම අවම මට්ටමට සීමා කර ඇත.
22 හැවිරිදි මසන්නියක් වන සබීනා බෙගම් dw.com වෙත පැවසුවේ ඇය තම පවුලේ “එදාවේල සඳහා අරගලයක යෙදි සිටින” බැවින් විරෝධතාවලට එක් වූ බවයි. දැනට පවතින මාසික අවම වැටුප මූලික අවශ්‍යතා සපුරන්නේ නැති බව ඇය පැවසුවාය.
නෙදර්ලන්තය පදනම් කරගත් ක්ලීන් ක්ලෝත්ස් කැම්පේන් කම්හලෙහි බෝගු ගොජ්ඩ්ස්, dw.com වෙත මෙසේ පැවසුවේය: “එය [ටකා 23,000ක වැටුප] ට වඩා අඩු ඕනෑම වැටුපක් කම්කරුවන් තවත් වසර පහක් දරිද්‍රතාවයේ චක්‍රයක සිර කර තබනු ඇති, එබැවින් මන්දපෝෂනය, නය සහ ඇඟලුම් සේවක පවුල් අතර ලමා ශ්‍රමය දිගටම පවතිනු ඇත.“
ආසියානු කම්කරු සංවිධානයක් වන ඒෂියා ෆ්ලෝර් වේජ් එලයන්ස් විසින් 2023 ජූනි මස නිකුත් කල වාර්තාවක් මගින් තහවුරු කෙරුනේ ඇඟලුම් සේවිකාවන් දැනට ආන්ඩුව විසින් නියම කර ඇති දරිද්‍රතා මට්ටමේ කැලරි ප්‍රමිතියට වඩා අඩු කැලරි ප්‍රමානයක් පරිභෝජනය කරන බවයි.
බංග්ලාදේශයේ දියවැඩියා සංගමයේ අධ්‍යනයක් උපුටා දක්වමින් ජූනි 11 වැනි දින නිව්ඒජ් පුවත්පත හෙලි කලේ ඇඟලුම් කම්කරුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු ආමාශ සහ බඩවැල් සම්බන්ධ ගැටලු, සියයට 18.5 ක් මාංශපේශී සහ අස්ථි සම්බන්ධ ගැටලු, සියයට 15 ක් කන්, නාසය සහ උගුර ආසාදන සහ ඉතිරි අනෙකුත් අයට සෞඛ්ය සංකූලතා ඇති බවයි.
වැඩවර්ජන අවසන් කිරීම සඳහා ආන්ඩුවේ නියෝගවලට අනුකූලව, වෘත්තීය සමිති නායකයින් හා කම්කරුවන් ගනනාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. “විරෝධතාකරුවන්ට එරෙහිව බොහෝ නඩු පැවරී ඇත. බොහෝ කම්කරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සමහරෙක් දේශපාලන ක්‍රියාකාරීන් ලෙස ලේබල් කර ඇත” යනුවෙන් බංග්ලාදේශ ඇඟලුම් සහ කාර්මික කම්කරු ෆෙඩරේෂනයේ සභාපතිනි කල්පොනා අක්තර් dw.com වෙත පැවසුවාය.
අක්තර්ගේ බියගුලු පැමිනිලි කෙසේවෙතත්, ඇඟලුම් කම්කරුවන්ගේ වැඩෙමින් පවතින කෝපය පාලනය කිරීම තමන්ට අහිමි වනු ඇතැයි වෘත්තීය සමිති නිලධරය ගැඹුරින් බියට පත්ව සිටිති.
ස්ටැලින්වාදී බංග්ලාදේශ කොමියුනිස්ට් පක්ෂය විසින් නායකත්වය දෙන බංග්ලාදේශ ඇඟලුම් කම්කරු වෘත්තීය සමිති මධ්‍යස්ථානය, බංගලාදේශ ජාතික ඇඟලුම් සේවක සංගමය (බීඑන්ජීඩබිලිව්ඊඑල්) සහ අනෙකුත් ඇඟලුම් සේවක සම්මේලන වැනි වෘත්තීය සමිති, [කම්කරුවන්ට එරෙහිව] සේවා යෝජකයන්ට අඩු වැටුප් සඳහා සහන පුද කරති. තවද මෙම සමිති, හානිකර නොවන ඉල්ලීම් ආන්ඩුවලින් ඉල්ලීම සඳහා තම සාමාජිකයන් යොමු කිරීමේ අත්‍යාවශ්‍ය උපකරන ලෙස ක්‍රියා කරති.
ත්‍රෛපාර්ශ්වික එම්ඩබ්ලිව්බී හි සාමාජිකයෙකු වන බීඑන්ජීඩබිලිව්ඊඑල් හි සභාපති සිරජුල් ඉස්ලාම් රොනී පසුගිය සතියේ ඩේලි ස්ටාර් වෙත පැවසුවේ ඔහු ටකා 20,393 ක් ඉල්ලා සිටි බවත්, එම ඉල්ලීම 13,000 දක්වා අඩු කල නමුත් හාම්පුතුන් එයට ද එකඟ නොවූ බවත්ය.
පසුගිය සතියේ ප්‍රකෝපකාරී [අඩු වැටුප්] 'යෝජනාව' තීරනය කිරීමේදී අගමැතිනි හසීනාගේ සෘජු මැදිහත්වීම පෙන්නුම් කරන්නේ ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදයේ බලපෑම යටතේ බංග්ලාදේශ ඇඟලුම් කර්මාන්තයේ නරක අතට හැරෙන තත්වයට දැක්වූ ප්‍රතිචාරයක් වශයෙනි.
ටෙක්ස්ටයිල් ටුඩේට අනුව, 2023 පලමු මාස හත තුල එක්සත් ජනපද වෙලඳපොලට සැපයූ බංග්ලාදේශ ඇඟලුම් අපනයන සියයට 21.77 කින් සහ යුරෝපීය වෙලඳපොලට සියයට 14.5 කින් අඩු වී ඇත. සැප්තැම්බර් මාසයේදී බීජීඑම්ඊඒ හි සභාපති ෆාරුක් හසන් පැවසුවේ එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය වෙත සමස්ත ඇඟලුම් ආනයනය මේ වසරේ 'තවත් භයානක පුතිශතතයකින්' පහත වැටී ඇති බවයි. ඔහු තවදුරටත් පැවසුවේ, රුසියානු-යුක්රේන යුද්ධය, එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ඉහල උද්ධමනයද සහ කෝවිඩ් වසංගතයද යන මේ සියල්ල “ගෝලීය ආර්ථිකයේ සෑම අංශයකටම ප්‍රගාඪ සෘනාත්මක බලපෑමක් ඇති කර ඇති” බවයි.
ජීවත් වීමට සරිලන වැටුපක් සඳහා වන බංග්ලාදේශ ඇඟලුම් කම්කරුවන්ගේ අරගලය තලා දැමීමට හසීනා අධිෂ්ඨාන කරගෙන ඇත්තේ බංග්ලාදේශ කම්හල් හිමියන්ගේ සහ විශේෂයෙන්ම නිකේ, ගැප්, ලෙවිස්, අඩිඩාස්, එච් ඇන්ඩ් එම්, සහ පීවීඑච් (ෆිලිප්ස් ෆොන් හොයිසන්) වැනි ගෝලීය දැවැන්තයන්ගේ ලාභ අවශ්‍යතා ආරක්ෂා කිරීම වෙනුවෙනි.
ජීවත් වීමට සරිලන වැටුපක් සඳහා වන ඔවුන්ගේ අරගලය ඉදිරියට ගෙන යාමට, බංග්ලාදේශ ඇඟලුම් කම්කරුවන් තම වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සංවිධානය විය යුතු අතර ගෝලීය ඇඟලුම් සිල්ලර වෙලඳ යෝධයින්ට සහ ඔවුන්ගේ දේශීය උප කොන්ත්‍රාත්කරුවන්ට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරනු ලබන ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතුය. මේ සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, වියට්නාමය, චීනය, කාම්බෝජය සහ පකිස්ථානය යන රටවල නරක අතට හැරෙන සමාන තත්වයන්ට හා එකම පන්ති සතුරන්ට මුහුන දෙන ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් වෙත හැරීමක් අවශ්‍ය වේ.