ඉදිරිදර්ශන

කම්කරු පන්තිය, ධනපති ම්ලේච්ඡත්වයට එරෙහි සටන සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම (හතරවන කොටස)

[මෙය The working class, the fight against capitalist barbarism and the building of the World Party of Socialist Revolution (Part Four) යන මැයෙන් 2024 ජනවාරි 06 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

මෙය කොටස් හතරකින් යුත් ප්‍රකාශයක සිව් වැන්නයි. පලමු කොටස ජනවාරි 6 වැනිදාත්, දෙවැනි කොටස ජනවාරි 8 වැනිදාත්, තුන්වැනි කොටස ජනවාරි 15 වැනිදාත් පලවිය.

පන්ති අරගලයේ වර්ධනය සහ සමාජවාදය සඳහා අරගලය

1. මෙම ප්‍රකාශයේ පෙර කොටස් 2024 ආරම්භයේදී ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බුදයේ ප්‍රධාන අංග කෙරෙහි අවධානය යොමු කර ඇත: 1) රුසියාවට එරෙහි වක්‍ර යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ උත්සන්න වීම, චීනයට එරෙහි යුද්ධය සඳහා විවෘතව සූදානම් වීම සහ ගාසා තීරයේ ජන සංහාරය රාජ්‍ය ප්‍රතිපත්තියේ නීත්‍යානුකූල මෙවලමක් ලෙස සම්මත කර ගැනීම; 2) කෝවිඩ්-19 වසංගතයට එරෙහිව ක්‍රියාත්මකවීම සහ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් රෝගාබාධ වලින්, දුබලතා වලින් සහ මරනයෙන් ගලවා ගැනීම සඳහා වන මූලික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග හිතාමතාම ප්‍රතික්ෂේප කිරීම මගින් විදහා දැක්වෙන සමාජ පිලිවෙතේ දැවැන්ත පරිහානියක්; 3) දියුනු ධනේශ්වර රටවල සහ ගෝලීය පරිමානයෙන්, සුවිසල් මට්ටමේ සමාජ අසමානතාවයක් අති ඇති කරමින් ධනේශ්වර සමාජයේ ඉහල ස්ථරයේ ධනය අතිශයින් සංකේන්ද්‍රනය වීම; එය යටින් පවතින 4) 1930 ගනන්වල සිට නොදුටු පරිමානයෙන් ඒකාධිපති හා ෆැසිස්ට්වාදී දේශපාලන සංවිධාන සහ ආන්ඩුවල පුනර්ජීවනය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන රූපයන්ගේ ලෝක ව්‍යාප්ත ඛාදනය හා බිඳවැටීම.

2. ශිෂ්ටාචාරය ම්ලේච්ඡත්වයෙන් වෙන් කරන සියලුම 'සීමා' මැකී යමින් පවතී. ධනේශ්වර ආන්ඩුවල ආදර්ශ පාඨය වන්නේ: 'සාපරාධී කිසිවක් අපට ආගන්තුක නොවේ.' න්‍යෂ්ටික යුද්ධය “සාමාන්‍යකරනය” වෙමින් පවතී; ජන සංහාරය 'සාමාන්‍යකරනය' වෙමින් පවතී; වසංගත රෝග සහ, දුබලතා සහ වැඩිහිටියන් හිතාමතා මරා දැමීම 'සාමාන්‍යකරනය' වී ඇත; ධනය සංකේන්ද්‍රනය සහ සමාජ අසමානතාවයේ අදහාගත නොහැකි මට්ටම් “සාමාන්‍යකරනය” වී ඇත; ප්‍රජාතන්ත්‍රවාදය පාගා දැමීම සහ ඒකාධිපතිවාදයේ සහ ෆැසිස්ට්වාදයේ පිහිට පැතීම “සාමාන්‍යකරනය” වෙමින් පවතී.

3. සමස්තයක් ලෙස ගත් කල, විවිධ ආකාරයේ සමාජ ම්ලේච්ඡත්වය සාමාන්‍යකරනය වීම ධනේශ්වර පන්තිය ආවෘත අන්තයකට පැමින ඇති බව පෙන්නුම් කරයි. විවිධ ආකාරයේ සමාජ ඝාතනවලින් සමන්විත ප්‍රතිපත්ති ඇති පන්තියක් පැහැදිලිවම එහි ඓතිහාසික, ආර්ථික, සමාජීය සහ දේශපාලන යුක්තියුක්තභාවය අහෝසිකරගෙන ඇත.

4. ධනවාදය විනාශය කරා ගෙන යන ප්‍රතිවිරෝධතා ම එය පෙරලා දැමීම සහ සමාජය නව සහ ප්‍රගතිශීලී, එනම් සමාජවාදී, පදනමක් මත ප්‍රතිසංවිධානය කිරීමේ කොන්දේසි ද සකසන බවට ඓතිහාසිකව තහවුරු කරන ලද දෑ සත්‍යයක් නොවන්නේ නම් මනුෂ්‍යත්වය සඳහා වූ අපේක්ෂාවන් අඳුරු වනු ඇත. මෙම ප්‍රතිසංවිධානය සඳහා විභවය මුල් බැස ඇත්තේ කම්කරු පන්තියේ වෛෂයික පැවැත්ම තුල ය. පන්ති අරගලය යනු සමාජවාදී ප්‍රතිසංවිධානය කිරීමේ වෛෂයික හැකියාව ප්‍රායෝගිකව සාක්ෂාත් කර ගන්නා මාධ්‍යයයි.

5. එබැවින් පන්ති අරගලයේ වර්ධනය කෙරෙහි අවධානය යොමු කල යුතුය. වසර ඇරඹෙන විට, ධනවාදයේ අර්බුදය කෙතරම් දුරකට කම්කරු පන්තියේ ප්‍රතිවිරෝධතා ව්‍යාපාරයක් ජනනය කර තිබේද?

6. 2023 සමාජ අරගල විභාග කිරීම, පන්ති අරගලයේ සැලකිය යුතු ප්‍රමානාත්මක හා ගුනාත්මක වර්ධනයන් පිලිබඳ පැහැදිලි සාක්ෂි සපයයි. සූරාකෑමට, පිරිහෙන ජීවන තත්වයන්ට, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරවලට හා මිලිටරිවාදයට විරුද්ධව වැඩ වර්ජන සහ ඒ ආශ්‍රිත විරෝධතා ක්‍රමවල නියැලී සිටින කම්කරුවන් සංඛ්‍යාවේ නිසැක වර්ධනය යනු ප්‍රමානාත්මක වර්ධනය යි. ගුනාත්මක වර්ධනය යනු පන්ති අරගලයේ ගෝලීය පරිමානයයි. එනම්, ජාතික දේශසීමා අතුගා දමා ජාත්‍යන්තර ස්වභාවයක් අත්පත් කර ගන්නා කම්කරු පන්ති ව්‍යාපාරයේ ප්‍රවනතාවයයි.

2023 පෙබරවාරි 7 වනදා පැවැත්වුනු ප්‍රංශය තුල විශ්‍රාම යෑමේ වයස වෙනස් කිරීමේ වැඩ කටයුතු වලට එරෙහිව සටන් වලදී විරෝධතාකරුවන්ගේ පාගමනක්. [AP Photo/Michel Euler]

7. මෙම ක්‍රියාවලිය 1988 තරම් ඈත කාලයකදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් අපේක්ෂා කරන ලද්දකි. නිෂ්පාදන ක්‍රියාවලියේ වර්ධනය වෙමින් පවතින ගෝලීයකරනයේ සහ ජාත්‍යන්තර සංගත මතුවීමේ ඇඟවුම් අනුව ක්‍රියාත්මක වෙමින්, 1988 අගෝස්තු 30 දින, වර්කර්ස් ලීගයේ (එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා) දහතුන්වන ජාතික සම්මේලනයේ දී ඉදිරිපත් කරන ලද ආරම්භක වාර්තාව මෙසේ ප්‍රකාශ කලේය:

වෛෂයික ආර්ථික ප්‍රවනතාවන්ගේ සහ මාක්ස්වාදීන්ගේ ආත්මීය බලපෑමේ ඒකාබද්ධ පීඩනයට යටින්, ජාත්‍යන්තරවාදී මාවතක් ඔස්සේ නිර්ධන පංති අරගලවල මීලඟ අදියර නොවැලැක්විය හැකි ලෙස වර්ධනය වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. නිර්ධන පංතිය ජාත්‍යන්තර පන්තියක් ලෙස ප්‍රායෝගිකව නිර්වචනය කිරීමට වඩ වඩාත් නැඹුරු වනු ඇත; සහ, මෙම ඓන්ද්‍රීය ප්‍රවනතාවයේ ප්‍රකාශනය වන මාක්ස්වාදී ජාත්‍යන්තරවාදීන් මෙම ක්‍රියාවලිය වර්ධනය කර එයට සවිඥානික ස්වරූපයක් ලබා දෙනු ඇත. [හතරවන ජාත්‍යන්තරය, 1988 ජූලි-දෙසැම්බර්, පි. 39]

8. මෙම ඉදිරිදර්ශනය සිදුවීම් මගින් තහවුරු කර ඇත. පසුගිය වසරේ ජාත්‍යන්තරව විරෝධතා සහ වැඩ වර්ජන ක්‍රියාමාර්ග වැඩි වීමේ ප්‍රවනතාව දිගටම පැවතුනි. 'ජාත්‍යන්තර සාමය සඳහා වූ කානගී උරුමය' [Carnegie Endowment for International Peace නම් වූ චින්තන පර්ෂදය] දෙසැම්බර් මාසයේදී වාර්තා කලේ, විවිධ රටවල් 83 ක නව විරෝධතා ඇතුලුව “මෑත වසරවල ලොව පුරා රටවල් ව්‍යාකූල කල රාජ්‍ය විරෝධී විරෝධතා රැල්ල 2023 දී දිගටම පැවතුනු” බවයි. “පසුගිය වසර පහ තුල විශාල විරෝධතා අත්විඳ නැති රටවල් හතක් එම කන්ඩායමට එක්විය: ඩෙන්මාර්කය, ප්‍රංශ පොලිනීසියාව, මොසැම්බික්, නෝර්වේ, අයර්ලන්ත ජනරජය, සුරිනාම් සහ ස්වීඩනය. මීට අමතරව, හංගේරියාවේ ගුරුවරුන්ගේ විරෝධතා, බංග්ලාදේශයේ පාලක පක්ෂ විරෝධී පෙලපාලි සහ ටියුනීසියානු ජනාධිපති කයිස් සයිඩ් ගේ 2021 ජූලි 'ස්වයං-කුමන්ත්‍රනයට' සහ විපක්ෂයට එරෙහි ඔහුගේ මර්දනයට විරෝධය පලකිරීම ඇතුලුව, මෙම වසරට පෙර ආරම්භ වූ ඇතැම් විරෝධතා දිගටම පැවතුනි.”

9. රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය විසින් වේගවත් කරන ලද මිල ඉහල යාම පිලිබඳ විරෝධතා, පකිස්ථානය, පෘතුගාලය සහ ස්ලෝවේනියාව ඇතුලු බොහෝ රටවල ඇති විය. “මුල්‍ය ප්‍රතිපත්ති සහ මුදල් හිඟය පිලිබඳ මහජන අතෘප්තිය ඝානාවේ සහ නයිජීරියාවේ විරෝධතා පිපිරවීය. ප්‍රංශයේ, ජාතික විශ්‍රාම වයස හැට දෙකේ සිට හැට හතර දක්වා ඉහල දැමූ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරනයට එරෙහි වැඩ වර්ජන සහ විරෝධතා වසර මුලදී රට කැලඹීමට හේතු විය. චෙක් ජනරජයේ සහ ඉන්දියානු ප්‍රාන්ත කිහිපයක ද විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරන සම්බන්ධයෙන් විරෝධතා පැවැත්විනි.

2023 පෙබරවාරි 1 වන දින වයිට්හෝල් හි පැවති වෘත්තීය සමිති සම්මේලන රැලියේදී වර්ජකයින් සහ විරෝධතාකරුවන්

10. 2022 මැද සිට 2023 දක්වා අඛන්ඩව, එක්සත් රාජධානියේ සිය දහස් ගනන් දුම්‍රිය සේවකයින්, නැව් තටාක සේවකයින්, ගුරුවරුන් සහ අනෙකුත් කම්කරු කොටස් සම්බන්ධ වැඩ වර්ජන ද සිදුවිය; පෘතුගාලය, බෙල්ජියම සහ ජර්මනියේ විශාල වැඩ වර්ජන පැවැත්විනි; ක්විබෙක්හි රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ 420,000 වැඩ වර්ජනයක් පැවැත්විනි; නීතිය සහ යුක්තිය පක්ෂය (Law and Justice Party) නමැති අන්ත දක්ෂිනාංශික සංවිධානයට එරෙහිව පෝලන්තයේ මිලියනයකට වඩා වැඩි සහභාගීත්වයක් ඇතිව පැවතුනු විරෝධතා; සහ, ගාසා ජන සංහාරයට පෙර, නෙතන්‍යාහුගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී අධිකරන ප්‍රතිසංස්කරනවලට එරෙහිව ඊශ්‍රායලයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සම්බන්ධ කර ගත් විරෝධතා. වසර අවසන් වන විට, ආර්ජන්ටිනාවේ නව අන්ත දක්ෂිනාංශික ජනාධිපති ජාවියර් මිලෙයිට එරෙහිව මහජන විරෝධතාවලට දහස් ගනනක් කම්කරුවෝ සහභාගී වූහ.

11. පසුගිය වසරේ එක්සත් ජනපදයේ වැඩ වර්ජන ක්‍රියාකාරකම්වල සැලකිය යුතු ඉහල යාමක්, එනම් සහභාගි වූ කම්කරුවන් සංඛ්‍යාව සහ අරගල වලට ඇතුලත් වූ කම්කරු පන්තියේ විවිධ කොටස් සංඛ්‍යාව යන දෙකෙහිම සැලකිය යුතු ඉහල යාමක් සිදු විය. කම්කරු සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව, 2022 දී කම්කරුවන් 1,000 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වූ ප්‍රධාන වැඩ වර්ජන 23 ක සිට 2023 දී, 36 ක් දක්වා වැඩි විය. පසුගිය වසරේ ප්‍රධාන වැඩ වර්ජන සඳහා කම්කරුවන් 500,000 කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ වූ අතර, එය 2022 දී වැඩ වර්ජනය කල 120,600 මෙන් හතර ගුනයක් පමන විය. 2023 ඔක්තෝමබර් මාසයේදී, වැඩ ඇනහිටීම් හේතුවෙන් වැඩ දින මිලියන 4.5 ක් අහිමි විය, එය දශක හතරක් තුල අන් කවර හෝ මාසයකට වඩා වැඩිය. ප්‍රධාන වැඩ වර්ජනවලින් තුනෙන් එකකට (12 කට) කයිසර් පර්මනන්ට් කම්කරුවන් 75,000 ක් ඇතුලුව හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් සම්බන්ධ විය. අනෙක් හතට ගුරුවරුන් සහ උපාධිධාරී සිසුන් සම්බන්ධ විය.

12. කෝනෙල් කාර්මික හා කම්කරු සබඳතා පිලිබඳ විශ්ව විද්‍යාලයේ වැඩ නැවැත්වීම් පිලිබඳ දත්ත සමුදාය (database) වාර්තා කරන්නේ, කම්කරුවන් 508,000 ක් සම්බන්ධ වූ නොයෙකුත් ප්‍රමාන වල වැඩ වර්ජන 421 ක් පැවති බවයි. සතියකට වැඩි කාලයක් පැවති, කම්කරුවන් 100 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සහභාගී වූ වැඩ වර්ජන 70 ක් මෙයට ඇතුලත් වන අතර එය පෙර වසරට වඩා සියයට 59 ක වැඩිවීමකි. 2023 දී සිදුවූ සියලු ප්‍රමානවල මුලු වැඩ වර්ජන සංඛ්‍යාව 2022 දී සංඛ්‍යාවට (424 ට සාපේක්ෂව 421) සමාන වූ අතර, වැඩ වර්ජන කරන කම්කරුවන් සංඛ්‍යාව 224,000 සිට 508,000 දක්වා දෙගුනයකටත් වඩා වැඩි විය.

කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි පැරමවුන්ට් පික්චර්ස් ඉදිරිපිට ඩබ්ලිව්ජීඒ තිර රචකයින්ගේ වර්ජනය.

.
13. වර්ධනය වෙමින් පවතින වැඩ වර්ජන ව්‍යාපාරයට තිර රචකයින් 11,000 ක් සහ නලු නිලියන් 65,000 ක් සම්බන්ධ වීම, තමන් කලින් “මධ්‍යම පන්තිය” ලෙස සලකනු ලැබූ ජනගහනයේ වැඩෙන ස්ථරයන් ආවරනය කරන කම්කරු පන්තියේ නිර්වචනයම පුලුල් වීමක් ප්‍රකාශ කලේය. මානව වර්ගයාගේ සංවර්ධනය සඳහා අතිවිශාල විභවයක් ඇති කෘතිම බුද්ධිය (AI) ඇතුලු විද්‍යාවේ විප්ලවීය දියුනුව, සංස්කෘතික හා තාක්ෂනික සේවකයින් සූරාකෑම වැඩි කිරීමට සහ සමස්තයක් ලෙස ආර්ථිකයේ පුලුල් ප්‍රතිව්‍යුහගත කිරීමකට පහසුකම් සැලසීම සඳහා යොදා ගැනේ.

14. පන්ති අරගලයේ මෙම ගෝලීය වර්ධනයට සමගාමීව, ගාසා තීරයේ ජන සංහාරයට එරෙහි මහජන යුද විරෝධී ව්‍යාපාරයක් 2023 අවසාන මාස තුනේ දී ලොව පුරා පැතිර ගිය අතර එය නව වසරේ ද ඉදිරියට යනු ඇත. එක්සත් ජනපදයේ ඉරාක ආක්‍රමනයට එරෙහිව 2003 විරෝධතා වලින් පසුව, ලෝක ධනවාදයේ බිඳවැටීමේ වඩා ඉහල අවධියක සිදුවෙමින් පවතින මෙය, දැනටමත් විශාලතම හා වඩාත්ම තිරසාර යුද විරෝධී ව්‍යාපාරයයි. මිනිසුන් වාසය කරන සෑම මහාද්වීපයකම නගර සිය ගනනක, ඊශ්‍රායල ආන්ඩුවේ සහ එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවන්ගේ කෲරත්වයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට මිලියන ගනන් ජනයා වීදි බැස ඇත. සමාජයේ පුලුල් කොටස් සම්බන්ධ වී ඇති මෙම විරෝධතාවල තරුනයින් ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරයි.

15. අධිරාජ්‍යවාදී රටවලින් විශාලතම විරෝධතා සිදුවී ඇත්තේ ලන්ඩනයේ ය (නොවැම්බර් 11 දා මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් සහ තවත් විරෝධතා රැසක 100,000 ක් පමන); වොෂින්ටන් ඩීසී (නොවැම්බර් 4 වන දින 300,000 ට වැඩි); නිව් යෝර්ක් නගරය, චිකාගෝ සහ ලොස් ඇන්ජලීස් (විවිධ විරෝධතා වල 10,000 ගනනක්); සිඩ්නි සහ මෙල්බර්න් (නොවැම්බර් 12 දින 50,000 ට වැඩි); බර්ලින් (පොලිස් තහනම නොතකා ඔක්තෝබර් 28 දින 10,000 කට වැඩි); පැරිස් (ඔක්තෝබර් 22 දින 15,000 ට වැඩි); ඇම්ස්ටර්ඩෑම් (ඔක්තෝබර් 15 දින 15,000 ට වැඩි); ටොරොන්ටෝ (ඔක්තෝබර් 10 දින 15,000 ට වැඩි); සහ ටෝකියෝ (නොවැම්බර් 20 දින 1,500). විශේෂයෙන්ම අරාබි ලෝකය පුරා තවත් මිලියන ගනනක් ජන සංහාරයට එරෙහිව විරෝධතා දක්වා ඇත.

2023 ඔක්තෝබර් 28 වන දින කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි සෞඛ්‍ය සේවකයින්ගේ පාගමනක්.

16. ජන සංහාරය සහ ගෝලීය විරෝධතා යන දෙකම වසන් කිරීමට සංගත මාධ්‍ය හැකි සෑම දෙයක්ම කර ඇත. යුද්ධයේ යථාර්ථය සහ එයට විරුද්ධත්වය සම්පූර්නයෙන් ග්‍රහනය කර ගත හැක්කේ, මහජනතාව විසින් වර්ධනයන් සමීපව අධ්‍යනය කර ඇති සහ විරෝධතා සංවිධානය කර ඇති සමාජ මාධ්‍ය හරහා පමනි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම වේදිකා පාලනය කරන කතිපයාධිකාරීන්, විශේෂයෙන්ම එලෝන් මස්ක් (Twitter/X) සහ මාක් සකර්බර්ග් (Facebook, Instagram සහ Threads) වැඩි වැඩියෙන් දරුනු වාරනයකට යොමු වෙමින් සිටිති.

17. පන්ති අරගලයේ ගෝලීය පුනර්ජීවනයේ ආරම්භක අදියරේ දී හෙලිදරව් වූ මූලික ගැටලු වෙත අවධානය යොමු කිරීම, වැඩ වර්ජන හා විරෝධතාවල වෛෂයික වැදගත්කම අඩු නොකරයි. වෛෂයික අර්බුදයේ ඉහල මට්ටමත්, මෙම අර්බුදය පිලිබඳ ආත්මීය අවබෝධය සහ කම්කරු පන්තියේ විඥානය තුල එහි දේශපාලන ඇඟවුමත් අතර ඉමහත් පරතරයක් පවතී. මෙම පරතරය ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන්, ප්‍රතිගාමී අධිරාජ්‍ය ගැති වෘත්තීය සමිති නිලධරයන් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, හිටපු ස්ටැලින්වාදී සහ විවිධ සුලු ධනේශ්වර ව්‍යාජ වාම සංවිධානවල ඔවුන්ගේ සහචරයින් විසින් කම්කරු අරගල තුල දරන අඛන්ඩ ආධිපත්‍යය තුලින් තම ප්‍රකාශනය සොයා ගනී.

18. රටින් රටට, සංගත ගැති හා ජාතිකවාදී වෘත්තීය සමිති යාන්ත්‍රනය විසින් කම්කරු අරගලවල ගෙල සිරකරනු ලැබූ අතර, දේශපාලන සංස්ථාපිතයේ කොටසක් ලෙස ක්‍රියාකරන විවිධ වාම හා ව්‍යාජ වාම සංවිධාන විසින් මහජන විරෝධතා මර්දනය කර තලා දමා ඇත.

19. ප්‍රංශයේ, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවලට එරෙහි විරෝධය අතිමහත් විය; ඒවා නැවැත්වීම සඳහා ජනගහනයෙන් තුනෙන් දෙකක් මහා වැඩ වර්ජනයකට සහාය දැක්වීය. කෙසේ වෙතත්, සීජීටී සහ එස්එෆ්ඩීටී වෘත්තීය සමිති නිලධර ය, විරෝධතා විසුරුවා හැරීමට සහ වැඩ වර්ජන ක්‍රියාමාර්ග සීමා කිරීමට ජීන්-ලූක් මෙලන්චොන් ගේ 'යටත් නොවන ප්‍රංශය' (Unsubmissive France) සමඟ වැඩ කලහ. මැක්‍රොන් ආන්ඩුව සමග කෙරෙන සාකච්ඡා හෝ පාර්ලිමේන්තු ආයතන හරහා විශ්‍රාම වැටුප්වලට එරෙහි ප්‍රහාරය නැවැත්විය හැකිය යන ප්‍රබන්ධය ප්‍රවර්ධනය කල ඔවුහු, කම්කරුවන්ට එරෙහි ප්‍රහාරය සහ යුක්‍රේනය හරහා රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය අතර සම්බන්ධය වසන් කලහ. අවසානයේ දී, මැක්‍රොන්ට පාර්ලිමේන්තුවෙන් පරිබාහිර උපාමාරුවක් හරහා කප්පාදු සම්මත කර ගැනීමට හැකි වූ අතර, වෘත්තීය සමිති පසුව ඇති වූ වැඩ වර්ජන සහ විරෝධතා හුදකලා කිරීමට හා මර්දනය කිරීමට කටයුතු කලහ.

20. මිල ඉහල යාම සහ ජාමූඅ පිටුබලය ලත් ප්‍රතිසංස්කරන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැනනැගි මහජන විරෝධතා 2022 ජූලි මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වීමට බල කලේය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි කන්ඩායම්වල පිටුබලය ලත් වෘත්තීය සමිති යාන්ත්‍රනය, පාර්ලිමේන්තු රාමුව තුල සහ නිල විරුද්ධ පක්ෂ තුල විරුද්ධත්වය සිරකර තැබීමට ක්‍රියා කලහ. පාර්ලිමේන්තු ඡන්දයකින් රාජපක්ෂ වෙනුවට තේරී පත් වූයේ, ශ්‍රී ලංකාවේ වඩාත්ම වෛරයට පාත්‍ර වූ දේශපාලන චරිතයක් වන රනිල් වික්‍රමසිංහ ය. 2023 අවසානයේ අත්‍යවශ්‍ය භාන්ඩවල මිල තියුනු ලෙස ඉහල දැමූ වික්‍රමසිංහ, දුප්පත්කම තියුනු ලෙස ඉහල දමනු ඇති නව බදු ඇතුලුව, රාජපක්ෂ විසින් සහාය දක්වන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම ප්‍රතිපත්තිම බලාත්මක කිරීමට පසුගිය වසර පුරාවටම සියලු ප්‍රධාන ධනේශ්වර පක්ෂ සමග සහයෝගයෙන් කටයුතු කර ඇත.

2023 පෙබරවාරි 4දා කොලඹ පැවති 75 වන නිදහස් දින උත්සවයේ දී සන්නද්ධ හමුදා ප්‍රධානීන් පෙරටු කොටගෙන පැමිනෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ. (ඡායාරූපය: ජනාධිපති මාධ්‍ය අංශය) [Photo: Sri Lanka president’s media division]

21. වෘත්තීය සමිති යාන්ත්‍රනය එක්සත් ජනපදයේ බයිඩන් පරිපාලනය සමග සමීපව කටයුතු කරමින්, 2023 වසරේ සියලුම ප්‍රධාන වැඩ වර්ජන හුදකලා කර නවතා දැමීය. සභාපති ෂෝන් ෆේන්ගේ නායකත්වය යටතේ යූඒඩබ්ලිව් සමිතිය සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල “තෝරාගත් ස්ථානවල පමනක්' පැවැත්වෙන ව්‍යාජ වැඩ වර්ජනයක් ගෙන ගියේය. එය බිග් ත්‍රී (ජෙනරල් මෝටර්ස්, ස්ටෙලන්ටිස් සහ ෆෝර්ඩ්) මෝටර් රථ කම්කරුවන් 145,000 න් අතිමහත් බහුතරයක් සේවයේ නියුතුකොට තබා ගත් අතර පසුව ඔවුන්ගේ ඉල්ලීම් කිසිවක් ඉටු නොකරන පාවාදීමේ කොන්ත්‍රාත්තුවලට කම්කරුවන් ඡන්දය දීමටත් පෙර ම වර්ජනය නවතා දැමීය. සංගත ගැති වෘත්තීය සමිති යාන්ත්‍රනය තුලට කෙලින්ම ගෙන එන ලද ඇමරිකාවේ ඩිමොක්‍රටික් සමාජවාදීන් (Democratic Socialist of America) ඇතුලු ව්‍යාජ වාම කන්ඩායම් විසින් ෆේන් මහත් සේ ප්‍රවර්ධනය කරන ලදී.

22. යූඒඩබ්ලිව් හි ක්‍රියා එයට පමනක් ආවේනික නොවේ. සෑම තැනකම, වෘත්තීය සමිති පාලනය කරනු ලබන්නේ ඔවුන් නියෝජනය කරන බව කියන කම්කරුවන්ගේ අවශ්‍යතාවලින් ස්වායත්ත සහ වෙනත් සතුරු සමාජ අවශ්‍යතා සහිත ඉහල මධ්‍යම පන්තික ස්ථරයක් මගිනි. පුද්ගලයන් ලක්ෂ ගනනක් සේවයේ යොදවන එක්සත් ජනපදයේ වෘත්තීය සමිති නිලධරයේ සමුච්ඡිත ආදායම ඩොලර් බිලියන ගනනක් දක්වා දිව යයි. යූඒඩබ්ලිව් හි ඩෙට්‍රොයිට් මූලස්ථානයේ සේවයේ නියුතු කාර්ය මන්ඩලය සඳහා වාර්ෂික වැටුප් ලේඛනය ඩොලර් මිලියන 75 ඉක්මවයි. ඇමෙරිකානු ගුරුවරුන්ගේ සම්මේලනයේ සභාපති රන්දි වයින්ගාර්ටන් වැනි ඒඑෆ්එල්-සීඅයිඕ සමග අනුබද්ධ වෘත්තීය සමිතිවල ඉහල මට්ටමේ විධායකයින්, සාමාන්‍ය වෘත්තීය සමිති සාමාජිකයන් ලබන වැටුප්වලට වඩා දස ගුනයක සිට විසි ගුනයක් දක්වා වැඩි, ඉලක්කම් හයක වැටුප් ලබා ගනී.

23. 1940 දී ට්‍රොට්ස්කි, 'අධිරාජ්‍යවාදී පරිහානිගත යුගය' ලෙස ඔහු හැඳින්වූ කාලය තුල වෘත්තීය සමිතිවල පරිහානිය විශ්ලේෂනය කලේය.

සමස්ත ලෝකයේම නූතන වෘත්තීය සමිති සංවිධානවල වර්ධනයෙහි, හෝ වඩාත් නිවැරදිව කියන්නේ නම් පිරිහීමෙහි එක් පොදු ලක්ෂනයක් තිබේ: එය ඔවුන් රාජ්‍ය බලයට සමීප වීම සහ එයත් සමග වර්ධනය වීමයි. මෙම ක්‍රියාවලිය මධ්‍යස්ථ, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී, කොමියුනිස්ට් සහ 'අරාජකවාදී' වෘත්තීය සමිතිවල සමාන ලක්ෂනයකි. මෙම කරුන පමනක් පෙන්නුම් කරන්නේ, “එකට වර්ධනය වීමේ” ප්‍රවනතාවය, ඒ හෝ මේ මතවාදය තුලින් නොව, සියලුම වෘත්තීය සමිති සඳහා පොදු සමාජ තත්වයන් තුලින් නිර්නයවන අනිවාර්ය ලක්ෂනයක් බව යි.

ඒකාධිකාරී ධනවාදය රඳා පවතින්නේ තරඟය සහ නිදහස් පුද්ගලික ආරම්භකත්වය මත නොව මධ්‍යගත විධානය මත ය. ප්‍රබල භාරකාර මන්ඩල, වෙලඳ මන්ඩල, බැංකු සංගම් යනාදියෙහි මුදුනෙහි සිටින ධනේශ්වර කල්ලි ආර්ථික ජීවිතය දෙස බලන්නේ රාජ්‍ය බලය හා සමාන උච්ඡයක සිට ය; ඔවුන්ට සෑම පියවරකදීම රාජ්‍යයේ සහයෝගීතාව අවශ්‍ය වේ. කර්මාන්තයේ වැදගත්ම ශාඛාවන්හි වෘත්තීය සමිති, විවිධ ව්‍යවසායන් අතර තරඟයෙන් වාසි අත්කර ගැනීමේ හැකියාව තමාට අහිමිවන බව දැක ගනී. ඔවුන්ට රාජ්‍ය බලය සමඟ සමීපව බැඳී ඇති මධ්‍යගත ධනේශ්වර විරුද්ධවාදියෙකුට මුහුන දීමට සිදුවේ. ඒ හේතුවෙන්, වෘත්තීය සමිතිවලට – ඔවුන් ප්‍රතිසංස්කරනවාදී ස්ථාවරයන් මත රැඳී සිටින තාක් දුරට, එනම්, පුද්ගලික දේපල වලට අනුගත වීමේ ආස්ථානයන් මත සිටින තාක් දුරට – ධනේශ්වර රාජ්‍යයට අනුගතවීමේ සහ එහි සහයෝගීතාවය සඳහා පොරබැදීමේ අවශ්‍යතාව ගලා එයි.

ලියොන් ට්‍රොට්ස්කි මෙක්සිකෝවේදී

24. වසර 84 කට පෙර ට්‍රොට්ස්කි විසින් හදුනාගත් ප්‍රවනතාවය, වර්තමානයේ “වෘත්තීය සමිති” ලෙස විස්තර කෙරෙන සංවිධාන, ප්‍රායෝගිකව, එම පදයේ ඓතිහාසික අරුතට කිසිඳු සම්බන්ධයක් නැති තරම් බිහිසුනු පරිමාවක් අත්කරගෙන ඇත. 'අධිරාජ්‍යවාදයේ පරිහානිගත යුගයේ වෘත්තීය සමිති' පිලිබඳ ඔහුගේ 1940 රචනයට පෙර 1937 දී පවා, යම් සංවිධානයක වෛෂයික භූමිකාව මත නොව, එහි රූපික මාතෘකාව මත ප්‍රතිපත්ති නිර්නය කිරීමේ පරිමාවට පාරිභාෂික වචන වන්දනා කිරීමේ ප්‍රවනතාවයට එරෙහිව ට්‍රොට්ස්කි අනතුරු ඇඟවීය. ඔහු මෙසේ ලිවීය:

වෘත්තීය සමිතියක් වැනි කම්කරුවන්ගේ සංවිධානයක ස්වභාවය නිර්නය වන්නේ ජාතික ආදායම බෙදීයාම කෙරෙහි එයට ඇති සම්බන්ධය අනුව ය. ග්‍රීන් සහ සමාගම [එකල ඇමරිකානු කම්කරු සම්මේලනයේ නායකයින්] නිෂ්පාදන මාධ්‍යයන් තුල පුද්ගලික දේපල ආරක්ෂා කිරීම මගින්, ඔවුන් ධනේශ්වර බව සංලක්ෂනය කරයි. ඊට අමතරව, මෙම මහත්වරුන්, කම්කරුවන්ගේ පැත්තෙන් එල්ලවන ප්‍රහාරවලින් ධනේශ්වරයේ ආදායම ආරක්ෂා කරයි ද; ඔවුන් වැඩ වර්ජනවලට එරෙහිව, වැටුප් වැඩි කිරීමට එරෙහිව, රැකියා විරහිතයින්ට උපකාර කිරීමට එරෙහිව අරගලයක් කරයි ද; එවිට අපට ඇත්තේ වෘත්තීය සමිතියක් නොව, වැඩ වර්ජන කඩාකප්පල් කරන හොරිකඩ සංවිධානයකි. [“කම්කරු රාජ්‍යයක් නොවේ, ධනේශ්වර රාජ්‍යයක් ද නොවේ”]

25. ට්‍රොට්ස්කිගේ නිර්නායක යොදාගතහොත්, ප්‍රධාන ජාතික වෘත්තීය සමිති සංවිධාන සහ සම්මේලන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පවා ක්‍රියා කරන්නේ “ හොරිකඩ” සංවිධාන ලෙසය. ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන්හි කර්තව්‍යය වන්නේ, වෘත්තීය සමිති නිලධරයන්ට එරෙහිව සාමාන්‍ය කම්කරුවන්ගේ පූර්න පරිමානයේ කැරැල්ලක් සූදානම් කිරීමේ දී කම්කරු පන්තියට සහායවීම, කම්හල් හා වැඩපලවල සියලු තීරන ගැනීමේ බලය පැවරෙනු ඇති, සාමාන්‍ය කම්කරුවන්ගේ නව සටන්කාමී සංවිධානයක් වර්ධනය කිරීම යි. මෙම ප්‍රවිෂ්ටය පදනම් වී ඇත්තේ, ට්‍රොට්ස්කි හතරවන ජාත්‍යන්තරයේ කේඩරයෙන් ඉල්ලා සිටි සංක්‍රමන ක්‍රියාමාර්ගය මත ය, එනම්, 'හැකි සෑම අවස්ථාවලදී ම ධනපති සමාජය ට එරෙහි මහජන අරගලයේ කර්තව්‍යන්ට වඩාත් සමීපව අනුරූප වන ස්වාධීන සටන්කාමි සංවිධාන නිර්මානය කිරීමටත් නිර්මානශීලීව සහ අධිෂ්ටානශීලීව ප්‍රයත්න දැරිය යුතු යි; අවශ්‍ය වුව හොත් වෘත්තීය සමිතිවල ගතානුගතික යාන්ත්‍රනයෙන් කෙලින් ම බිඳී වෙන් වීමක් ඉදිරියේ පවා බිය නො විය යුතුයි.'

26. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කම්කරුවන් විසින්ම පාලනය වන සංවිධාන වර්ධනය කිරීම හරහා වෘත්තීය සමිති යාන්ත්‍රනයේ සීමාවන්ගෙන් කම්කරුවන් නිදහස් කිරීමට සටන් කර ඇත. 2021 අප්‍රේල් මාසයේ දී කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) සඳහා ආරම්භකත්වය දියත් කරන විට, ජාත්‍යන්තර කමිටුව පැහැදිලි කලේ, එය “ධනපති ආන්ඩුවල මෙන්ම, කම්කරු පන්තිය අන්‍යොන්‍යව ප්‍රතිවිරුද්ධ කන්ඩායම්වලට බෙදීම සඳහා ජාතික, ජනවාර්ගික හා වාර්ගික ස්වෝත්තමවාදයේ සහ අනන්‍යතා දේශපාලනයේ අසංඛ්‍ය ආකාරවල ප්‍රතිගාමී අනුගාමිකයින්ගේ සෑම ප්‍රයත්නයකටම විරුද්ධ වෙමින්, පොදු ලෝක ව්‍යාප්ත අරගලයක් තුල කම්කරුවන් එක්සත් කිරීමට උත්සාහ කරයි,” යනුවෙනි.

ස්වාභාවිකවම, කම්කරුවන් මුහුන දෙන තත්වයන් කලාපයෙන් කලාපයට සහ රටින් රටට වෙනස් වන අතර, මේවා උපායන් තෝරාගැනීමට බලපෑ හැකිය. එහෙත් වැඩෙන මහජන ප්‍රතිරෝධයට එරෙහිව පාලක ප්‍රභූවේ සහ ඔවුන්ගේ ආන්ඩුවල සංගත හා මූල්‍ය අවශ්‍යතා ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කරගත්, පවත්නා නිලධාරීකෘත වෘත්තීය සමිති, ආයතනගත පොලිස් බලකායක් ලෙස ක්‍රියා කරන බව සියලු රටවලට අදාල, ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි.

27. වෘත්තීය සමිති නිලධරය සාමාන්‍ය කම්කරුවන් අතර සමාජවාදී බලපෑම වර්ධනය වීම වැලැක්වීම සඳහා කරන කිසිවක් නතර නොකරනු ඇත. එහෙත් ධනේශ්වර රාජ්‍යයේ සහ ව්‍යාජ වම්මුන්ගේ සහයෝගයෙන් වර්ධනය වූ එහි සම්පත් තිබියදී, එය පරාජය කල නොහැකි දෙයක් නොවේ. එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තරව කම්කරු පන්තියේ වැඩෙන සටන්කාමීත්වය ධනවාදයේ වෛෂයික අර්බුදය විසින් මෙහෙයවනු ලැබේ. පක්ෂය මුහුන දෙන කර්තව්‍යය නම්, කම්කරු පන්තියේ අරගලවලට මැදිහත් වීම සහ ධනවාදය පෙරලා දැමීම හා ලෝක පරිමානයෙන් කම්කරුවන්ගේ බලය පිහිටුවීම දෙසට සවිඥානිකව යොමුකල, මුලුමනින්ම වර්ධනය කරන ලද සමාජවාදී ඉදිරිදර්ශනයකින් එම සටන්කාමීත්වය පෝෂනය කිරීමයි.

28. වසර හතරකට පෙර, 2020 ජනවාරි 3 වැනි දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ අලුත් අවුරුදු ප්‍රකාශය “සමාජවාදී විප්ලවයේ දශකය ඇරඹේ” යන සිරස්තලය යටතේ පල විය. ලෝක තත්වය පිලිබඳ මෙම තක්සේරුව, මධ්‍යම පන්තික ව්‍යාජ වාම සංවිධානවල දේශපාලන බංකොලොත්කාරයින්ට සිනහ උපදවන කාරනයක් වූ බවට සැකයක් නැත. ධනේශ්වර පාලනයට, සියල්ලටත් වඩා එහි උතුරු ඇමරිකානු බලකොටුවට වඩා අනභිභවනීය කිසිවක් ඔවුන්ට නොපෙනේ. ඔවුන්, 2020 ගනන්වල දී විප්ලවවාදී අර්බුදයක ආරම්භය සිදුවිය නොහැක්කක් ලෙස සලකනවා පමනක් නොවේ; විසිඑක්වන සියවසේ ඉතිරි වසර 76 තුල පවා සමාජවාදී විප්ලවයක් ගැන ඔවුන්ට සිතාගත නොහැකි තරම් ය. ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය ප්‍රතික්ෂේප කරන ව්‍යාජ වම්මුන්ගේ දේශපාලන භාවිතාව, ධනවාදයේ ස්ථීරභාවය පිලිබඳ නොසැලෙන විශ්වාසයක් මත පදනම් වේ.

29. එහෙත් 2020 ජනවාරියේ සිට සිදු වූ සියල්ල ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන පුරෝකථනය සනාථ කර ඇත. නව දශකයේ පලමු මාසය අවසන් වීමට පෙර, කෝවිඩ්-19 ලොව පුරා ව්‍යාප්ත විය. ප්‍රකාශය පල කර හරියටම වසරකට පමන පසු, ට්‍රම්ප් සහ ඔහුගේ මැර කල්ලිය විසින් ව්‍යවස්ථාව පෙරලා දමා ෆැසිස්ට් ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට උත්සාහයක් ගන්නා ලදී. තුන්වන සහ හතර වන වසර තුල ආධිපත්‍යය දැරුවේ යුද්ධය උත්සන්න වීම සහ කම්කරු පන්තියේ සමාජ ප්‍රතිරෝධය වැඩි වීම යි.

30. ලෝක ධනවාදයේ අර්බුදය පහව යනු ඇති බවටත්, එහි රෝග ලක්ෂන කෙටි කාලීන උන රෝගයක් මෙන් පහව යනු ඇතැයි විශ්වාස කිරීමටත් හේතුවක් නැත. ඊට පටහැනිව, අර්බුදය තීව්‍ර වන අතර කම්කරු පන්තියේ ගෝලීය ප්‍රතිරෝධය වඩාත් අධිෂ්ඨානශීලීව සහ දේශපාලනිකව සවිඥානිකව වර්ධනය වනු ඇත. අවසාන ක්‍රියාවලියේදී ජාත්‍යන්තර කමිටුවේ භූමිකාව තීරනාත්මක ස්වභාවයක් ගනු ඇත.

31. මෙය හිස් පුරසාරමක් නොවේ. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඉතිහාසයේ පක්ෂයකි. එහි න්‍යායික, දේශපාලනික හා ප්‍රායෝගික වැඩකටයුතු පදනම් වී ඇත්තේ සියවසකට වැඩි කාලයක් පුරා විහිදුනු අධිරාජ්‍යවාදී යුගයේ විප්ලවවාදී අරගලයේ දැවැන්ත අත්දැකීම් මත ය. ස්ටැලින්වාදයට, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට, පැබ්ලෝවාදී සංශෝධනවාදයට, ධනේශ්වර ජාතිකවාදයට සහ සෑම ප්‍රතිගාමී ප්‍රභේදයක ම සුලු ධනේශ්වර රැඩිකල්වාදයට එරෙහිව 1923 දී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ආරම්භ කල දා පටන්, ආරක්ෂා කර වර්ධනය කර ඇති එය පමනක් ම මාක්ස්වාදයේ අඛන්ඩතාවය නියෝජනය කරයි.

32. ජාත්‍යන්තර කමිටුව, කම්කරු පන්තිය මුහුන දෙන අන්තරායන් හෝ විප්ලවවාදී පෙරටු බලඇනිය මුහුන දෙන අභියෝගවල දැවැන්ත පරිමානය හෝ අවතක්සේරු නොකරයි. හජාජාක තවමත් මහජන ව්‍යාපාරයකට නායකත්වය දී නැත. එය සිදුවීමට නම් කම්කරු පන්තියේ මහජන අරගලවල වර්ධනයක් අවශ්‍ය වේ. කෙසේ වෙතත්, කම්කරුවන් අතර මාක්ස්වාදී බලපෑමේ වර්ධනය, එක්සත් මෝටර් රථ කම්කරුවන්ගේ සභාපතිත්වය සඳහා විල් ලේමන්ගේ මෑත කාලීන උද්ඝෝෂනය තුලින් පුරෝකථනය කර ඇත. සමාජවාදියෙකු ලෙස විවෘතව උද්ඝෝෂනය කරමින්, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයේ වැඩපිලිවෙල වෙනුවෙන් පෙනී සිටි ලීමන්, මෝටර් රථ කම්කරුවන් 5,000 කට ආසන්න සංඛ්‍යාවකගේ ඡන්ද ලබා ගත්තේය. නිලධරය මැතිවරනය පිලිබඳව කම්කරුවන්ට දැනුම් දීමට අපොහොසත් වීමත්, යූඒඩබ්ලිව් සාමාජිකත්වයෙන් සියයට 10 කට වඩා අඩු ඡන්ද ප්‍රමානයකට සීමා කිරීමට සමත් වීමත් නිසා එම ජයග්‍රහනය වඩාත් වැදගත් විය.

33. හජාජාක කේඩරයන්හි සැලකිය යුතු වර්ධනයක් සහ නව ශාඛා ගොඩනැගීම සඳහා පදනම් දමා ඇත. ලෝක සමාජවාදී වෙබ් අඩවිය, සියවස් කාර්තුවක අඛන්ඩ දෛනික ප්‍රකාශනය තුල විශාල ජාත්‍යන්තර පාඨක පිරිසක් ස්ථාපිත කර ඇත. නිර්දය වාරනය නොතකා, ලෝසවෙඅ සෑම දිනකම දස දහස් ගනනක් විසින් කියවනු ලබන අතර, ජාත්‍යන්තර කම්කරු පන්තිය සහ තරුන ශිෂ්‍යයින් අතර එහි බලපෑම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී.

34. එපමනක් නොව, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ කාර්යය දේශපාලන රික්තකයක් තුල සිදු නොවේ. ලෝක අර්බුදය, මිලියන සිය ගනනින් රැඩිකලීකරනය කරමින් පවතී. මහජනතාවගේ තීරනාත්මක අවශ්‍යතා සහ පාලක පන්තියේ වරප්‍රසාද අතර පරතරය එන්න එන්නම පැහැදිලි වෙමින් තිබේ. අධිරාජ්‍යවාදය විසින් යුද්ධය, ජන සංහාරය, වසංගත සහ ෆැසිස්ට්වාදය සාමාන්‍යකරනය කිරීම, මහජන විඥානයේ විප්ලවීයකරනය සඳහා ප්‍රබල ආවේගයක් සපයනු ඇති අතර, එබැවින් කම්කරු පන්තියේ දේශපාලන දෘෂ්ටිය තුල සමාජවාදය සාමාන්‍යකරනය වනු ඇත.

35. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සියලුම පාඨකයන්ගෙන් අපි කැඳවුම් කර සිටින්නේ මෙම ඉදිරිදර්ශනයෙන් පැමිනි යුතු නොවැලැක්විය හැකි නිගමනයට එලඹෙන ලෙසයි. ම්ලේච්ඡත්වයට ඇද වැටීම නවත්වනු! ආඥාදායකත්වයට, අසමානතාවයට හා යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ බලය බලමුලු ගන්වනු! විසි එක්වන සියවසේ මාක්ස්වාදය වන ට්‍රොට්ස්කිවාදය සඳහා සටන අතට ගනිමු! සමාජවාදී සමානතා පක්ෂයට සම්බන්ධ වී සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනඟමු!

Loading