ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය -සිව්වන කොටස

4. ජනතා විමුක්ති පෙරමුන හා වෘත්තීය සමිති

අප මේ සමග පලකිරීම ආරම්භ කර ඇත්තේ, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්‍රධාන ලේකම්ව සිටි කීර්ති බාලසූරිය (1948 -1987) විසින් 'ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය' යන මාතෘකාවෙන් ලියන ලද ලිපි මාලාවයි. මෙම ලිපි මාලාව ප්‍රථමයෙන්ම පල කෙරුනේ, එවක විකොස සතිපතා මධ්‍යම පුවත් පතවූ “කම්කරු පුවත්” 1970 අගෝස්තු අවසානයේ සිට නොවැම්බර් අවසානය දක්වා කලාප තුලය. පසුව එය පොතක් වශයෙන් මුද්‍රනය කෙරුනි. ලෝසවෙඅ හි පලකල කෘතියේ හැඳින්වීම පෙබරවාරි 19 දින පලකෙරුනි. කොටස් දහයකින් සමන්විත ලිපි මාලාවේ සිව්වන කොටස “ජනතා විමුක්ති පෙරමුන හා වෘත්තීය සමිති” යි. තුන්වන කොටස 22 දින, දෙවන කොටස 21 දින සහ පලවන කොටස 20 දින පලවිය.

ලිපි අනුපිලිවෙලින් කොටස් වශයෙන් පලකරමු.

***

4 - ජනතා විමුක්ති පෙරමුන හා වෘත්තීය සමිති

යම් සංවිධානයකට හෝ පක්ෂයකට වෘත්තීය සමිති සංවිධානයන් හා ස්ට්‍රයික් සටන් ගැන ඇති ආකල්පය එම සංවිධානයේ හෝ පක්ෂයේ ස්වභාවය හා දේශපාලනය මැනීමේ උරගල යි.

විශේෂයෙන් ම ලෝක ධනවාදය මුලු ලෝකය පුරා ම වෘත්තීය සමිතිවලට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කර ඇති අද වැනි කාලයක දී යමෙකු සිටින්නේ විප්ලවය පැත්තේ ද නැත් නම් ප්‍රතිවිප්ලවය පැත්තේ ද යන්න තීන්දු වන්නේ මේ ප්‍රශ්නය ගැන ඔහු ගන්නා ආකල්පයෙනි.

වෘත්තීය සමිති සංවිධානයන්, ධනේශ්වර ක්‍රමය තුල කම්කරු පන්තියේ ජීවන තත්වයන් හා සේවා තත්වයන් ආරක්ෂක්ෂා කර ගැනීමේ පන්ති සංවිධානයන් ය. පඩි සහ සේවා තත්වයන් රැක ගැනීමට හා වැඩි දියුනු කර ගැනීමට වෘත්තීය සමිති තුලින් කම්කරු පන්තිය ගෙන යන අරගලය බීජ අවස්ථාවේ ඇති පන්ති සටන යි.

වෘත්තීය සමිතිත්, ඒවා තුලින් කම්කරුවන් ලෝකය පුරා ම අත් කර ගෙන ඇති සහනයන් සියල්ලත් කම්කරු පන්තිය තම පන්ති සටන තුලින් අත් කර ගෙන ඇති දේ ය.

වෘත්තීය සමිති ඒවා පවතින මට්ටම්වලින් ගත් කල ධනපති පන්ති පාලනය පෙරලා දැමීමේ උපකරනයන් නොවන බව ඇත්ත ය.

ධනේශ්වර සූරා කෑමට විරුද්ධව ප්‍රතිරෝධය දැක්වීම සඳහා කම්කරු පන්තිය සහජයෙන් ඇදී යාම වෘත්තීය සමිතිවල වර්ධනය පෙන්නුම් කරන අතර, මේ ඇදී යාම රාජ්‍ය බලය අල්ලා ගැනීමේ නිශ්චිත විඤ්ඤාන මට්ටම් කරා ඉබේ ම විකාශනය නො වේ.

ධනේශ්වර ක්‍රමය තුල වෘත්තීය සමිති පවතින්නේ මේ ක්‍රමය තුල කම්කරු පන්තියේ ජීවන තත්වයන් ධනපති ප්‍රහාරයන්ගෙන් බේරා ගැනීමේ සංවිධාන ලෙස පමනි.

ධනවාදයට කම්කරු පන්තියට සහන සැලසිය නොහැකි අද වැනි අර්බුදකාරී කාලයන්හි දී වෘත්තීය සමිතිවලට ධනපති ක්‍රමය තුල ම කම්කරු පන්තියේ ජීවන තත්වයන් රැක දිය නොහැකි ය.

ධනවාදයේ අර්බුදය නිසා ම ධනපති පන්තීන් කම්කරු පන්තියේ හා දුගී ජනතාවගේ ජීවන තත්වයන්ට මාරක ප්‍රහාරයන් එල්ල කරද්දී ජීවන තත්වයන් රැක ගැනීමේ ප්‍රශ්නය ධනපති ක්‍රමය පෙරලා දැමීම පිලිබඳ ප්‍රශ්නය බවට කෙලින් ම පරිවර්තනය වේ. ජීවත් වීම සඳහා නම් බලය ඇල්ලිය යුතු ය; නැත් නම් විනාශ වී යා යුතු ය යන සංකල්පයන් ධනවාදයේ අර්බුදය කම්කරු පන්තිය හමුයේ මතු කරයි.

ධනේශ්වර පන්තිය තම අර්බුදයේ බර කම්කරු පන්තියේ හා දුගී ජනතාවගේ කර පිටින් යැවීමට කැස කවන මේ කාලයේ දී සෑම කුඩා ස්ට්‍රයිකයක් තුල ම වුව ද ඉස්මතු වන්නේ රාජ්‍ය බලය අල්ලා ගැනීම පිලිබඳ ප්‍රශ්නය යි.

ධනපති පන්තිය කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට ගසන පහර කම්කරු පන්තිය දැවැන්ත සටන්වලට මෙහෙයවන අතර ම මේ කාල පරිච්ඡේදයේ දී වෘත්තීය සමිති සටන්වලින් ඔබ්බට මේවා තල්ලු වී යයි. ධනේශ්වර ක්‍රමය තුල ම ජීවන තත්වයන් රැක ගැනීමේ සටන් ලෙස පමනක් මේවාට පැවතිය නොහැකි ය. මේ සටන් කෙලින් ම බලය සඳහා කරන සටන් බවට, ධනපති ක්‍රමය ම අභියෝගයට ලක් කිරීමේ සටන් බවට වෛෂයිකව පෙරලේ.

මේ වෙෂයික අවශ්‍යතාවෙන් කම්කරු පන්තියේ තීරනාත්මක කොටස් දැනුවත් වී, ධනේශ්වර රාජ්‍ය බලයට එරෙහිව කෙරෙන දැනුවත් සටනක් හැටියට පන්ති සටන ගෙන යාම මේ කාලයේ දී අත්‍යවශ්‍ය වේ.

ධනපති ක්‍රමයට එරෙහිව ඉබේ ඇති වන සටන දැනුවත් දේශපාලන සටනක් බවට පත් කල හැක්කේ කම්කරු පන්තිය මාක්ස්වාදී පක්ෂයක නායකත්වය ලැබ බලවත් දේශපාලන බලයක් බවට පත් වීමෙනි. මාක්ස්වාදීන් කම්කරු පන්තිය තුල නිරතුරුව සටන් කරන්නේ රාජ්‍ය බලය ඇල්ලීමේ මේ විප්ලවවාදී විඤ්ඤානය කම්කරු පන්තියේ නෛසර්ගික අරගලය මත ජයග්‍රහනය කරවීමට ය.

කම්කරු පන්තිය ඉදිරියේ රාජ්‍ය බලය පිලිබඳ ප්‍රශ්නය මතු වන විට ම ප්‍රතිසංස්කරනවාදීන් කම්කරු ව්‍යාපාරය තුල සටන් කරන්නේ කම්කරු පන්ති සටන් 'ආර්ථික සටන්' මට්ටමේ රඳවා තැබීමටත් බලය ඇල්ලීමේ දිශාවට වෛෂයිකව තල්ලු වන කම්කරු පන්තිය ධනේශ්වර පන්තියට යලි ගැට ගසා දැමීමටත් එමගින් කම්කරු පන්තිය දැනුවත් දේශපාලන බලයක් වීම නැවැත්වීමටත් ය. ලංකාව තුල සමසමාජවාදීන් හා ස්ටැලින්වාදීන් කරන්නේ ඒ කටයුන්ත යි.

වෘත්තීය සමිති සංවිධාන ධනේශ්වර රාජ්‍යයට ගැට ගසා ගෙන, ඒවාට කම්කරු පන්තියේ සංවිධානයන් හැටියට පැවතීමට ඇති අයිතිය පවා උදුරා ගැනීමට ධනපති පන්තිය අවි අමෝරා ගෙන පෙරට එද්දී වෘත්තීය සමිති නිර්ධන පන්ති විප්ලවයේ උපකරන බවට පත් කරනු වෙනුවට, එනම් බලය ඇල්ලීමේ විඤ්ඤානය වෘත්තීය සමිති තුල ගොඩ නගනු වෙනුවට මොවුහු ධනේශ්වර ආන්ඩුවලට කෙලින් ම ඇතුලු වෙමින් වෘත්තීය සමිති රජයට ගැට ගැසීමට දරුනු සටනක් ගෙන යති.

කම්කරු පන්තියේ ආර්ථික සටන් සමග සම්මුති ගැසීමට ධනේශ්වර ක්‍රමයට පදනමක් නැති මේ කාලයේ දී, කම්කරු පන්තියේ ජීවන තත්වයන් විනාශ කර දැමීම ධනවාදයේ අවශ්‍යතාවක්ව ඇති මේ කාලයේ දී වෘත්තීය සමිතිවලට නිකම් ම ආරක්ෂාකාරී සංවිධාන ලෙසට පමනක් පවතින්ට හැකියාවක් නැති බව අපි මුලින් ම ප්‍රකාශ කලෙමු. මේ කරුන වෘත්තීය සමිතිවල වැදගත්කම අඩු කර තිබේ ද?

කිසි සේත් ම නැත. ධනපති පන්තිය කම්කරු පන්තියට විරුද්ධව පහර දීමට පෙරට එන කාලයන්හි දී වෘත්තීය සමිති ධනේශ්වරයේ සැලසුම් පෙරට දැමීමේ ඉමහත් බාධකයන් ලෙස ඉස්මතු වේ. කම්කරුවන් වඩ වඩාත් වෘත්තීය සමිති තුලින් ධනපති ක්‍රමයට එරෙහිව පෙරට ඇදෙන අතර ස්ට්‍රයික් සටන් වඩා ප්‍රචන්ඩ අරගලයන්ගේ මට්ටම්වලට සේන්දු වේ.

ලෝකය පුරා ම ධනපති පන්තීන්, වෘත්තීය සමිති රජයට ගැට ගසා ගැනීමට, ඒවා නීති විරෝධී කර දැමීමට අනපනත් සකසමින් ස්ට්‍රයික් සටන් කැඩීමට රාජ්‍ය බලය යොදමින් පෙරට එන්නේ වෘත්තීය සමිති ධනේශ්වර සැලසුම් ක්‍රියාවට දැමීමේ ඉමහත් බාධකයන් හැටියට පවතින නිසා ය.

පසු ගිය කාලය මුලුල්ලේ ම දියුනු ධනේශ්වර රටවල සිට නොදියුනු විජිතයන් දක්වා ම පවතින ධනේශ්වර ආන්ඩු සැමෙකක් ම පාහේ වෘත්තීය සමිති මර්දන නීති ගෙන ඒමටත් ඒවා ක්‍රියාවට දැමීමටත් දරුනු උත්සාහයක් දැරීම ඉහත කී කරුන වඩාත් නිශ්චිත ලෙස සනාථ කරයි.

කම්කරු පන්තිය බලය කරා ගෙන යාමේ සටන මෙවන් තත්වයක් තුල වෘත්තීය සමිති ආරක්ෂා කිරීමේ සටනත් සමග කෙලින් ම අත්වැල් බැඳ ගනී. වෘත්තීය සමිති ධනේශ්වර ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කිරීම යනු ඒවා තුල විප්ලවවාදී නායකත්වය ගොඩ නගා ඒවා ධන්නේශ්වර රාජ්‍යයට විරුද්ධව විප්ලවවාදී අරගලයේ උපකරන බවට පත් කිරීම යි.

මෙය කල හැකි වන්නේ බලය අල්ලා ගැනීමේ ක්‍රියා මාර්ගය අතැතිව සෑම ස්ට්‍රයික් සටනකට ම මැදිහත් වෙමින්, සෑම ස්ට්‍රයිකයක් ම රාජ්‍ය බලයට එරෙහිව කරන සටනක් බවට පත් කිරීමට සටන් කරන මාක්ස්වාදී පක්ෂයකට පමනි.

වෘත්තීය සමිති තුල විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීමෙන් තොරව ධනේශ්වර පන්තියට විරුද්ධ සටන දැනුවත් පන්ති සටන බවට පත් වන්නේ නැත.

අද ලංකාවේ කම්කරු ව්‍යාපාරය තුල ඉතා ම වැදගත් හා හදිසි ස්වරූපයකින් ඉස්මතුව ඇත්තේ මේ නායකත්වය ගොඩ නැගීමේ ප්‍රශ්නය යි.

ධනවාදයට එරෙහිව නෛසර්ගිකව ඇවිලී ගෙන එන පත්ති සටන පන්ති විඤ්ඤානයෙන් යුතුව දැනුවත්ව ගෙන යාමේ ප්‍රශ්නය ලංකාවේ කම්කරු පන්තිය තුල බිහිසුනු අයුරකින් මතු වත් ම, කම්කරු පන්තිය පන්ති සටනෙන් ඉවතට හැරවීම සඳහා සුලු ධනේශ්වර අගතීන් රැසක් කර පින්නා ගෙන ජනතා විමුක්ති පෙරමුන කම්කරු පන්තිය තුලට පිවිසෙයි.

කම්කරු පන්තිය විසින් බලය ඇල්ලීම වලක්වා ලීමට, ධනපති ආන්ඩුවක් තුලට වැදී සිටින සමසමාජවාදීන් හා ස්ටැලින්වාදීන් පන්ති සටන මේ ආන්ඩුව යටතේ සාමකාමී කර, මොට කිරීමට යත්න දරද්දී, පන්ති සටන සහමුලින් ම ප්‍රතික්ෂේප කිරීමට හා පලක් නැති බව කීමට ජනතා විමුක්ති පෙරමුනේ සුලු ධනේශ්වර නරුමයන් රැල ව්‍යාපාරයක් ගෙන යති.

ලංකාවේ වෘත්තීය සමිති තුලට අරක් ගෙන සිටින සමසමාජවාදී හා ස්ටැලින්වාදී අවස්ථාවාදීන්ගේ පාවා දීම් හා ද්‍රෝහිකම් කම්කරු පන්තිය ධනවාදයට විරුද්ධව ගෙන යන සටනේ අනිවාර්ය ප්‍රතිඵලය ලෙස හුවා දක්වන්ට හදන මොවුහු, වැරැද්ද ඇත්තේ මේ ප්‍රතිවිප්ලවවාදී නායකයන්ගේ පමනක් නො ව වැඩ වර්ජන ආදි කම්කරු පන්ති ක්‍රියාවන් තුල ම (!) බව ප්‍රකාශ කරති.

1970 සැප්තැම්බර් 5 වන දා ජනතා විමුක්ති පත්‍රයේ මැද පිටුවල 'ලාංකීය විප්ලවය හා වෘත්තීය සමිති” යනුවෙන් පල කර තිබූ ලිපිය මුලුමනින් ම ඉදිරිපත් කරන්නේ ඒ අදහස යි.

කම්කරු පන්තියේ ආර්ථික අරගලයන්, කෙලින් ම දේශපාලන බලයට කරන සටන් බවට පත් වන මේ කාලයේ දී මාක්ස්වාදීන් අවධාරනය කරන්නේ මේ සටන් තුලින් විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීමේ ප්‍රශ්නය යි.

මේ ආර්ථික සටන්වලට ආර්ථික මට්ටමේ දී ජය ගැනීමට බැරි බව පෙන්වා ජනතා විමුක්ති පෙරමුන අවධාරනය කරන්නේ ඒවා දේශපාලන සටන් බවට පත් කිරීමේ අවශ්‍යතාව නො වේ. මේ සටන් අත හැර දමා විරෝධතා කැරලි ඇති කිරීමේ මධ්‍යම පන්තික දේශපාලනය කරා කම්කරු පන්තිය පල්ලම් බැසිය යුතු බව යි!

ඔවුන්ගේ මේ විරෝධතා දේශපාලනය ධනවාදයේ බලය පෙරලීමේ දේශපාලනයක් නො ව, ධනපති ක්‍රමය මධ්‍යම පන්තිකයන්ගේ අවශ්‍යතාවන්ට අනුව හැඩ ගස්වා ගත හැකි ය යන මායාවෙන් ඔටුනු පැලඳ සිටින තකතිරු, නිෂ්ඵල, විනාශකාරී

දේශපාලනයක් බව පසු ගිය ලිපියේ දී අපි දැක්වීමු. දැන් ඔවුන් වෘත්තීය සමිති තුලට විත් යෝජනා කරන්නේ වෘත්තීය සමිති, ස්ට්‍රයික් සටන් ආදි මේ සියල්ල අත හැර දමා ඔවුන්ගේ විරෝධතා දේශපාලන මඩ වලට කම්කරු පන්තිය ද බැසිය යුතු බව යි.

එසේ ආ යුතු බව පෙන්වීමට ඔවුහු මතුපිටින් විප්ලවවාදී ලෙස පෙනෙන තර්ක රැසක් ගෙනෙති.

'අද ලංකාවේ මුලු මහත් කම්කරු සමිති ව්‍යාපාරය ම ධනේශ්වර වෘත්තීය සමිතිවාදය නමැති මඩ වගුරේ ගිලී ඇතැ”යි ඔවුහු කියති. මෙය ඇත්තකි. ඊලඟට, මේ තත්වයෙන් ගොඩ ඒමට මාවතක් ඔවුන් පෙන්වතැයි සිතමින් ඔහුගේ ලිපිය තව දුරටත් කියවා ගෙන යනෙකුට වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රය හොරකම්, ප්‍රතිවිප්ලවවාදීකම් ගැන ආවේගවාදී කියුම් හමු වේ. ඒවාත් සෑහෙන දුරකට ඇත්ත ය.

ලංකාවේ වෘත්තීය සමිති ධනේශ්වර වෘත්තීය සමිතිවාදයේ ගිලී සිටින බවත්, මේ වෘත්තීය සමිති මුදුනේ සිටින නායකත්වයන් ඊට වගකිව යුතු බවත් කීම නිවැරදි ය. දැන් ජනතා විමුක්ති පෙරමුන මේ නායකත්වයන් පෙරලා දමා විප්ලවවාදී ක්‍රියා මාර්ගයකින් වෘත්තීය සමිති සන්නද්ධ කිරීමේත් එමගින් පන්ති සටන දැනුවත්ව ගෙන යාමේ ක්‍රියා මාර්ගය ඉදිරිපත් කරනවා ද? ඒ ප්‍රශ්නය මතු වන විට ම අපට දකින්ට ලැබෙන්නේ මෙන්න මේ පුදුමාකාර ඡේදය යි:

පවතින ආර්ථික පරිහානිය, පීඩනය සහ විනාශයට එක ම පිළිතුර නිර්ධන පංති විප්ලව පවතිද්දී වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් මුළු මහත් වැඩ කරන ජනතාවට හඳුන්වා දුන් පිළියම කුමක් ද? වැඩ වර්ජන පමණි. පවතින ආර්ථික අර්බුදය ඉදිරියේ ලැබෙන වැටුපෙන් ජීවත් විය නොහැකි ජනතාවට ඇති ප්‍රශ්න විසඳීමේ දී මාවත වැඩ වර්ජනය පමණක් නො වේ. එය, කම්කරු අරගල වැඩ වර්ජනය නමැති රාමුව තුළ කොටු කර ධනේශ්වර ක්‍රමය ආරක්ෂා කිරිමේ ධනපති උපක්‍රමයකි (!) අධිරාජ්‍යවාදීන්ට, සියලු ආකාර සූරා කන්නන්ට විරුද්ධව පංති වෛරයෙන් ඇවිලුනු ගිනිසිළු වැනි නිර්ධන පංති ජනතාවගේ සිත ඒ තුළින් ඈත් කර, විප්ලවවාදී ව්‍යාපාරය කම්කරු ජනතාව තුළින් බිහි වීම, වැඩීම හා පෝෂණය වීම වැළැක්වීම අරමුණු කොට ගත් වැඩි පඩි ඉල්ලීම්, වෙනත් සහනදායක ඉල්ලීම් වැනි සාර්ථක ඉල්ලීම් (!) - මත පමණක් මෙහෙයවුණු වැඩ වර්ජන වැඩ කරන ජනතාවගේ වැඩෙන පංති වෛරය හා සටන්කාමිත්වය අන් මගකට යොමු කිරීමකි! (අවධාරනය ඈඳුනි).

ඔවුන් මේ කියන්නේ “වැඩ වර්ජන ධනපති ක්‍රමය ආරක්ෂ කිරීමේ උපක්‍රමයක්” බවත් “වැඩි පඩි ඉල්ලීම ආදිය උඩ කෙරෙන සටන් සටන්කාමිත්වය අන් මගකට යොමු කරවීමක්” බවත් ය.

මේ ලිපි ලියන මිනිසුන්ට මානසික ආබාධයක් ඇත් දැයි කිසිවෙකු සැක කල හොත් ඒ ගැන පුදුම විය යුතු නැත. මේවා ඒ තරම් ම පුදුමාකාර අන්දබූතයන් ය.

ස්ට්‍රයික් සටන්වලින් කම්කරුවන් ඉදිරිපත් කරන ඉල්ලුම් දිය නොහැකිව, කම්කරුවන්ට විරුද්ධව ධනපති රාජ්‍යය සිය බලය යොදද්දී ධනපති රාජ්‍ය බලයට එරෙහිව සටන් කිරීමේ වෛෂයිකව අවශ්‍යතාව කම්කරු පන්තිය තුල මතු වන විට, මොවුන් කියන්නේ ස්ට්‍රයික් සටන් ධනපති ක්‍රමය රැකීමේ (!) උපක්‍රමයක් බව යි.

මේ සටන් තුලින් මතු වන දේශපාලන ප්‍රශ්නය යට ගැසීමෙන්, ඒවා තුල විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීමේ ප්‍රශ්නය යට ගැසීමෙන් පමනක් නො ව කම්කරු පන්තිය පන්ති සටනෙන් ඉවතට ඇදීමට හැදීමෙනුත් ධනපති පන්තියේ උපක්‍රමයන්ට අනුකූලව වැඩ කරන්නේ ජනතා විමුක්ති පෙරමුන යි.

පසු ගිය යූඇන්පී ආන්ඩු සමයේ ඩඩ්ලි සේනානායක ගුවන් විදුලිය බදු ගනිමින් ස්ට්‍රයික් නො කරන ලෙස කම්කරුවන්ට කියද්දී ජනතා විමුක්ති පෙරමුන ඒ සටන්වලින් කට්ටි පැන සිටියේ මන්ද යන්න දැන් තේරුම් ගැනීම ඉතා ම පහසු ය.

වෘත්තීය සමිති කුඩු පට්ටම් කිරීමේ යූඇන්පී මූලෝපායත්, යූඇන්පියට විරුද්ධව සන්නද්ධ විරෝධතා කැරලි ඇති කිරීමේ ජනතා විමුක්ති පෙරමුනේ මූලෝපායත් ස්ට්‍රයික් සටන් නැවැත්වීමේ ප්‍රශ්නයේ දී ආකාර දෙකකින් වුවත් ක්‍රියා කර ඇ ත්තේ එක ම විදියකට ය. ඩඩ්ලි සේස්නානායක ධනපති ක්‍රමයට තර්ජනයක් හැටියට ඒ ස්ට්‍රයික් සටන් දුටු අතර ජනතා විමුක්ති පෙරමුන ධනපති ක්‍රමය ආරක්ෂා කිරීමේ උපක්‍රමයක් ලෙස ඒවා දැක ඇත!

වෘත්තීය සමිතිවලට විරුද්ධව අධිරාජ්‍යවාදයේ මූලෝපාය සුලු ධනේශ්වර විරෝධතා දේශපාලනයත් සමග සම්බන්ධ වන්නේ මෙසේ ය.

මේ ප්‍රතිගාමී කම්කරු විරෝධී දේශපාලනය කරා ඔවුන් තල්ලු වන්නේ ඔහුගේ මධ්‍යම පන්තික විරෝධතා දේශපාලනයේ තර්කානුකූල නිගමනයක් ලෙස ය.

ධනේශ්වර නිෂ්පාදනයේ පදනම තුලින් හට ගන්නා කම්කරු පන්තියේ නෛසර්ගික වැටුප් සටනත් මධ්‍යම පන්තික විරෝධතා කැරලිත් අතර වෙනසක් ඇති අතර, වැටුප් සටන් නිෂ්පාදනය තුල ධනේශ්වර ආධිපත්‍යය අභියෝගයට ලක් වන බීජ අවස්ථාවේ ඇති පන්ති සටන වේ.

කල යුත්තේ කුමක් ද යන පොතෙහි ලෙනින් සඳහන් කල පරිදි

කැරලි සරලව ම පීඩිතයන්ගේ විරුද්ධත්වය පෑම් වූ අතර ක්‍රමානුකූල ස්ට්‍රයික් සටන් බීජ අවස්ථාවක ඇති පන්ති සටන නියෝජනය කලේ ය; එහෙත් බීජ අවස්ථාවක ඇති පන්ති සටන පමනි. ස්ට්‍රයික් සටන් ඒ ආකාරයෙන් ම ගත් කල සරලව ම වෘත්තීය සමිති සටන් වූ අතර තව මත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී (එනම්, විප්ලවවාදී) සටන් නො වී ය. මේවා ධනපතියන් හා කම්කරුවන් අතර පිබිදෙන ගැටුම සලකුනු කලේ ය. එහෙත් තම අවශ්‍යතාවන් වර්තමාන සමාජ දේශපාලන රටාවට මුලුමනින් ම පටහැනි වී ඇති බව ගැන කම්කරුවෝ දැනුවත් නො වූහ. ඔවුන්ට දැනුවත් වීමට හැකියාවක් ඇත්තේත් නැත. එසේ වූයේ ඔවුන්ගේ විඤ්ඤානය තව මත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී (විප්ලවවාදී) විඤ්ඤානය නොවූ බැවිනි. මේ අර්ථයෙන් ගත් විට අනූ ගනන්වල ඇති වූ ස්ට්‍රයික් සටන් 'කැරලි” හා සැසඳූ කල, ඒවා (ස්ට්‍රයික් සටන්) නියෝජනය කල ඉමහත් ප්‍රගතිය තිබිය දීත් හුදු ඉබේ සිදු වන ව්‍යාපාරයන් ලෙස පැවැත්තේ ය.

කම්කරුවන් අතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී විඤ්ඤානය (විප්ලවවාදී විඤ්ඤානය) තිබිය නොහැකි වූ බව අපි කීවෙමු. මෙය පිටත සිට ඔවුන් වෙත ගෙන ආ යුතු ය. සෑම රටක ම ඉතිහාසය පැහැදිලි කර ඇත්තේ කම්කරු පන්තියට තමන්ගේ හුදු ස්වාධීන උත්සාහයෙන් වර්ධනය කර ගත හැකි වන්නේ වෘත්තීය සමිති විඤ්ඤානය පමනක් බව යි. එනම්, ධනපතියන්ට විරුද්ධව සටන් කිරීම සඳහා සමිති එක් කිරීම, අවශ්‍ය කම්කරු නීති පනවන ලෙස ආන්ඩුවට බල කිරීම අවශ්‍ය ය යන වැටහීම අත් කර ගැනීම පමනක් බව යි (ලෙනින්, එකතු කල කෘති, 5 වන වෙලුම, 375 පි.)..

කම්කරු පන්තියේ ආර්ථික සටනේ ඇත්ත මට්ටම මෙසේ සඳහන් කරන ලෙනින් ඒවාට ඉබේ ම විප්ලවවාදී විඤ්ඤානය අත් කර ගැනීමට නොහැකි බවත්, මේ විප්ලවවාදී විඤ්ඤානය, මාක්ස්වාදී විඤ්ඤානය පිටත සිට කම්කරු පන්තිය තුලට ගෙන යා යුතු බවත් ප්‍රකාශ කරයි.

විප්ලවවාදී විඤ්ඤානය කම්කරු පන්තිය තුල ඇති කිරීම සඳහා කම්කරු පන්තිය තුල පවතින වෘත්තීය සමිති විඤ්ඤානය විරුද්ධව සටන් කරමින්, ධනේශ්වරයේ තටුව යටට ම තල්ලු වන කම්කරු පන්තියේ ස්වභාවික ව්‍යාපාර විප්ලවවාදී මාක්ස්වාදය දෙසට හැරවීමට නෛසර්ගිකත්වයට විරුද්ධව සටන් කල යුතු බව ලෙනින් කියයි.

කම්කරු පන්තිය ආර්ථික මඩ වගුරේ ගිලී සිටීම ගැන ඉදිරිපත් කර ඇති අදහස් හරහා ගොස් ජනතා විමුක්ති පෙරමුන බැස ගෙන ඇත්තේ ලෙනින්ගේ නිගමනයට නො වේ; එනම්, ඉබේ ඇති වන ආර්ථික සටන 'තම අවශ්‍යතාවන් වර්තමාන සමාජ දේශපාලන රටාවට මුලුමනින් ම පටහැනිව ඇති බව” ගැන දැනුවත් වී කරන සටන කරා හැරවිය යුතු ය යන නිගමනයට නො වේ.

ඊට වඩා හාත්පසින් ම වෙනස් ලෙස මධ්‍යම පන්තියේ නෛසර්ගික ව්‍යාපාරයට කම්කරු පන්තිය ද ගැට ගැසිය යුතු බව ඔවුහු කියා සිටිති.

ඔව්, ජනතා විමුක්ති පෙරමුනත් කම්කරු පන්තියේ ආර්ථික අරගලය වෙනතකට හැරවීමට සටන් කරයි. මේ හැරවීම සඳහා ආර්ථික අරගලය “නිරර්ථක” දෙයක් බව කීමට මාක්ස්වාදීන් ආර්ථික සටන ගැන දක්වන අදහස් කීපයක් ඔවුන් උදුරා ගෙන තිබේ. කම්කරු පන්තියේ වැටුප් ප්‍රශ්න මත නෛසර්ගිකව ඇති වන අරගලයෙන් මුලුමනින් ම ඉවත් වී කරන මධ්‍යම පන්තික විරෝධතා කැරලිවලට කම්කරු පන්තිය හැරවීමට යත්න දැරීමට මේ සියලු ම ක්‍රියාවන් නිශ්චිතව ම එල්ල කර ඇත. මේ නිසා ම “ලාංකීය විප්ලවය හා වෘත්තීය සමිති” නමැති ඔවුන්ගේ ලිපිය අවසන් වන්නේ මෙසේ ය.

රටේ බහුජනතාවගෙන් ඈත් වූ (!) නිස්සාර වැඩ වර්ජන සඳහා නො ව ජනතාවගේ නාමයෙන්, මව් බිමේ නාමයෙන්, විමුක්තියේ නාමයෙන් ඔවුන් (කම්කරු පංතිය) වහා ම පෙරමුන ගත යුතු ය.

අවසානයේ දී බලලා මල්ලෙන් එලියට පැන ඇත. මධ්‍යම පන්තිකයන්ගේ පංගුව රැකීමට කම්කරු පන්තිය සටන් නො කරති යි යන මධ්‍යම පන්තික අඳෝනාවත්, එයින් ම ඇතිව ඇති ස්ටයික් විරෝධයත් වසා ගැනීමට යෙදූ ආවරනයක් පමනක් බවට ඔවුන්ගේ තර්කයන් පත් වන්නේ මෙතැන දී ය.

මධ්‍යම පන්තියේ නෛසර්ගික ව්‍යාපාරය අතිශයින් ම ප්‍රතිගාමී අන්තයන් කරා වුව ද යන බව අපි පසු ගිය ලිපියේ දී පෙන්වූයෙමු.

මේ නෛසර්ගික ව්‍යාපාරයේ මූලික අරමුන නම් ඔවුන්ගේ ප්‍රතිසංස්කරනවාදී අරමුනුවලින් ඔබ්බට කම්කරු පන්තිය යාම නැවැත්වීම යි.

කම්කරු පන්තිය තම අවශ්‍යතාවන් අනුව බලපෑම් දැමීමේ උපකරනයක් බවට පත් කර ගැනීම සඳහා, තම දේශපාලනය යටතේ කම්කරු පන්තිය ඇද ගෙන යාමට මධ්‍යම පන්තික රැඩිකලීභවනය සැරසේ.

මේ මධ්‍යම පන්තික දේශපාලනයට කම්කරු පන්තිය යටත් කිරීමේ ප්‍රතිඵලය වන්නේ කම්කරු පන්තියට මාක්ස්වාදී නායකත්වය නැති කර දැමීම පමනක් නො වේ.

රාජ්‍ය බලය අල්ලා ගැනීමේ එල්ලය කරා දැනුවත්ව එල්ල කල යුතු පන්ති සටන මධ්‍යම පන්තිකයන්ගේ ජාතිවාදී හා කට්ටිවාදී අවශ්‍යතාවන් තුල ගිල්වා විනාශ කර දැමීමේ නිශ්චිත ක්‍රියා කලාපය ද ඉන් ඉටු කරනු ලබයි.

සිංහල මධ්‍යම පන්තිකයන්ගේ භීතියට හා වෛරයට පාත්‍රව ඇති වතු කම්කරුවන්ට එරෙහිව සිංහල කම්කරුවන් ගෙන යාමට ද, විවිධාකාර සංස්කෘතික ආක්‍රමනයන්ට විරුද්ධව සටන් කිරීමේ මුවාවෙන් අතිශයින් ම ජරාජීර්න පරපුටු ධනේශ්වර අදහස් කම්කරු පන්තිය තුල පැලපදියම් කරවීමට ද මේ මගින් ජනතා විමුක්ති පෙරමුන දොර විවෘත කර ගනී.

කම්කරු පන්තියේ ඇති වී ගෙන එන ඉමහත් පෙරලිකාරිත්වය ධනේශ්වර ක්‍රමය තුල ම විසුරුවා හැරීමේ මාධ්‍යයක් බවට ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය පත්ව ඇත්තේ මෙසේ ය. කම්කරු පන්තියේ දැන් ඇති වන පෙරලිකාරිත්වය මාක්ස්වාදී නායකත්වය ගොඩ නැගීම කරා යොමු කරවීමට මාක්ස්වාදීන් කරන සටනේ ප්‍රධානතම බාධකයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුනේ මේ දේශපාලනය යි.

වෘත්තීය සමිති තුල විප්ලවවාදී නායකත්වය ගොඩ නැංවීමට කරන සටනේ දී ලංකාවේ කම්කරු පන්තිය ජනතා විමුක්ති පෙරමුන වැනි මධ්‍යම පන්තික සංවිධානයන්ට එරෙහිව හැරිය යුත්තේ කම්කරු සමිති සම්බන්ධතා කමිටුව වෙත යි. වෘත්තීය සමිති නිර්ධන පන්ති විප්ලවයේ උපකරන බවට පත් කිරීමට ලංකාවේ වෘත්තීය සමිති තුල සටන් කරන එක ම මාක්ස්වාදී සංවිධානය කම්කරු සමිති සම්බන්ධතා කමිටුව යි. කම්කරු සමිති සම්බන්ධතා කමිටුවේ ඉදිරි දර්ශන ලියවිල්ලෙන් උපුටා ගත් මේ පාඨය වෘත්තීය සමිති තුල ජනතා විමුක්ති පෙරමුනේ මධ්‍යම පන්තික දේශපාලනය හා විප්ලවවාදී මාක්ස්වාදයට කරන සටන අතර ඇති නො පෑහිය හැකි පරතරය විදහා දක්වයි:

ගරා වැටෙන ධනපති ක්‍රමයට කම්කරු පන්තියේ කිසි ම අවශ්‍යතාවක් සැපිරිය නොහැකි මේ තත්වයේ දී කම්කරු පන්තියේ ඉතා ම මූලික ඉල්ලීම් දිනා ගැනීම සඳහා පවා, ධනපති පන්තියේ දේපල අයිතිය නොහිමි කර දමන කම්කරු-ගොවි ආණ්ඩුවක් පිහිටුවිය යුතු වේ. එබඳු ආණ්ඩුවක් ගොඩ නැගීමේ අවශ්‍යතාව පන්ති සටන තුලින් කම්කරු පන්තියට තේරුම් කර දෙමින් එබඳු ආණ්ඩුවක් සඳහා සටන් කිරීමට නායකත්වය ගොඩ නැගීම අද දවසේ අවශ්‍යතාව බවට පත්ව ඇත.

අද තත්වය යටතේ අප සංයුක්තව කම්කරු පන්තිය තුල සටන් කල යුත්තේ වර්තමාන ධනේශ්වර ආන්ඩුව කම්කරු පන්ති පක්ෂයන්ගේ ආන්ඩුවකින් විස්ථාපනය කිරීම සඳහා ය. කම්කරු පන්තියට අප ඉවසිලිවන්තව තේරුම් කල යුත්තේ මේ ආන්ඩුවට මොන තරම් බලපෑම් දැම්මත් ඒවා අතිශයින් ම නිෂ්ඵල දෙයක් වන බවත්, මේ ආන්ඩුව ඉවත් කර දමා ධනපති දේපලවලට පහර දෙන ආන්ඩුවක් ගෙන ඒම අත්‍යවශ්‍ය බවත් ය.

කම්කරු පන්තියේ ඉතා ම මූලික වැටුප් ඉල්ලීම් සම්බන්ධයෙන් හෝ වෘත්තීය සමිති හදා ගැනීම සම්බන්ධයෙන් හෝ ඇති වන සෑම සටනක් ම ඉස්මත්තට ගෙන එන්නේ පුද්ගලික ධන හිමියන් හා අධිරාජ්‍යවාදීන් අස්වාමික කිරීමේ ප්‍රශ්නය යි. ඒ නිසා ඒවා කෙලින් ම එල්ල විය යුත්තේ හා අප ඒවා දැනුවත්ව ම එල්ල කරවිය යුත්තේ වර්තමාන ධනේශ්වර සභාගය කඩා කම්කරු පන්ති පක්ෂයන්ගේ ආන්ඩුවක් හැදීම සඳහා වමේ නායකයන්ට බල කිරීමේ දිශාවට යි.

පුද්ගලික ධන හිමියන්ගේ, අධිරාජ්‍යවාදීන්ගේ ආධිපත්‍යය බිඳීමට වමේ නායකයන් කිසි ම සටනක් නො කරන අතර කම්කරු-ගොවි ආන්ඩුවක් ගොඩ නැගීම සඳහා ඔවුන් ධනපති පන්තියෙන් වෙන් වීම ද සිදු වන දෙයක් නො වේ.

මේ නායකයන්ට තනිව ම ආන්ඩුවක් පිහිටුවීමට කරන උඝෝෂනය තුලින් වෘත්තීය සමිති ව්‍යාපාරය ඇතුලේ කම්කරු සටන්කාමීන් බලය පිලිබඳ ක්‍රියා මාර්ගයෙන් සන්නද්ධ කිරීමටත් ඔවුන් නායකත්වයක් හැටියට සංවිධානය කිරීමටත් අවස්ථාව සැලසෙනු ඇත.

... වෘත්තීය සමිති ව්‍යාපාරය තුල විප්ලවවාදී නායකත්වය ගොඩ නැගිය හැකි වන්නේ විප්ලවවාදී ක්‍රියා මාර්ගය හා බලය ඇල්ලීමේ ඉදිරි දර්ශනය මත පදනම්ව කම්කරු පන්තිය තුල දැන් පවතින විවිධාකාර මිථ්‍යා විශ්වාසයන්ට විරුද්ධව සටන් කිරීමෙනි. කම්කරු පන්තියේ ස්වභාවික සටන්කාමිත්වයට විප්ලවවාදී ක්‍රියා මාර්ගය වෙනුවට ආදේශකයක් වීමට කිසිදු හැකියාවක් නැත.

1964 ඉල්ලීම් 21 සටනත් යූඇන්පී ආන්ඩුවට විරුද්ධව ඇති වූ සෑම සටනක් මත් පෙන්වූයේ හුදු සටන්කාමිත්වයට පමනක් කල හැකි කිසි ම දෙයක් නැති බව යි. වර්තමාන යුගය ගැනත්, ධනවාදයේ අර්බුදය ගැනත්, කම්කරු පන්තිය බලය අල්ලා ගැනීමේ අවශ්‍යතාව ගැනත් කම්කරු පන්තිය තුල ඇති කරවිය යුතු වැටහීම හා සම්බන්ධ වන සටන්කාමිත්වය පමනක් විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීමට සුදුසු වන්නේ ය.

කම්කරු සමිති සම්බන්ධතා කමිටුව රාජ්‍ය බලය ඇල්ලීමේ ඉදිරි දර්ශනය මත පදනම්ව කම්කරු ව්‍යාපාරය තුල කරන සටන මේ නිසා ම මාක්ස්වාදී න්‍යය හා විධික්‍රමය සඳහා සියලු ම වර්ගවල ප්‍රතිසංස්කරනවාදී හා සංශෝධනවාදී දෘෂ්ටීන්ට විරුද්ධව ගෙන යන සටනක් බවට පත් වේ.

ජනතා විමුක්ති පෙරමුන වෘත්තීය සමිති තුල ඉදිරිපත් කරන ප්‍රතිගාමී සුලු ධනේශ්වර විකල්පයට පටහැනි මාක්ස්-ලෙනින්වාදී, විප්ලවවාදී විකල්පය එය පමනි.

Loading