දුම්රිය කම්කරුවෝ විදුලි බල සේවක දඩයමට විරුද්ධත්වය පල කරති

ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි ව, ජනවාරි 3, 4 හා 5 දිනවල එහි කම්කරුවෝ වැඩ වර්ජනයක නිරත වූ හ. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, මෑත කාලයේ යොදාගත් පරිදි අත්‍යවශ්‍ය සේවා නියෝග පනවමින් හා උසාවි නියෝග යොදා ගනිමින්, වැඩ වර්ජනය කඩාකප්පල් කිරීමට උත්සාහ දැරුව ද කම්කරුවෝ එය නො තකමින් වර්ජනයට සහභාගි වූ හ. ලංවිම පාලනාධිකාරය, වික්‍රමසිංහ ආන්ඩුවේ විධානයන් මත කම්කරුවන් 66 දෙනෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත්තේ ය. මීට අමතරව, තවත් කම්කරුවන් ගනනාවකට වැඩ නැවැත්වීමේ ලිපි යැවීමට ද පාලනාධිකාරිය සූදානම් වෙයි.

පෞද්ගලීකරණයට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් 2024 ජනවාරි 4 වැනි දින කොළඹදී විරෝධතාවයක නිරත වේ.

ආන්ඩුවේ කම්කරු දඩයමට එරෙහි ව ලංවිම සේවකයන් සහ අවශේෂ කම්කරුවන් අතර වැඩුනු බලගතු විරෝධය හමුවේ, ඉහත වර්ජනය කැඳවූ ලංවිම වෘත්තීය සමිති සන්ධානය, එකී වැඩ තහනම් නියෝග ඉවත් කරන ලෙස ඉල්ලා, පෙබරවාරි 5දා, දීප ව්‍යාප්ත විරෝධතාවක් පවත්වන බව නිවේදනය කලේය. සමිති සන්ධානය පසුව එය පෙබරවාරි 7දා ට කල්දැමූ අතර, එදින සමස්ත දිවයින පුරා විදුලි බල කම්කරුවෝ දිවා ආහාර විවේකයේ දී සිය වැඩපොලවල් ඉදිරියට පැමින විරෝධතාවේ යෙදෙමින්, සිය සහෝදර සේවකයන් වහා ම යලි සේවයේ පිහිටුවන ලෙස බලකර සිටියහ.

ලංවිම වෘත්තීය සමිති සන්ධානය යනු, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් මෙහෙයවන සමස්ත ලංකා විදුලි බල සේවක සමිතිය ප්‍රධානකොටගත් සමිති එකමුතුවකි. ආන්ඩුවේ තර්ජන නො තකා විදුලිබල කම්කරුවන් වැඩ වර්ජනයේ සහ විරෝධතාවයේ යෙදුන ද වෘත්තීය සමිතිවල ප්‍රධාන අභිප්‍රායය වූයේ, වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට සහ මර්දනයට එරෙහිව සමස්ත කම්කරු පන්තියේ ඒකාබද්ධ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සංවිධානය කිරීම වෙනුවට, ආන්ඩුවට බලපෑම් දැමීමේ නිස්සාර විරෝධතාවන්ට විදුලි බල කම්කරුවන් කොටු කර, ඔවුනගේ විරෝධය වාෂ්ප කර දැමීම බව පසුව සිදු වූ වර්ධනයන්ගෙන් සනාථ කෙරුනි.

ආන්ඩුවේ ප්‍රහාරයන්ට ලක්ව සිටින අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන්ට මෙන්ම, ලංවිම කම්කරුවන්ට ද අවශ්‍ය ව තිබුනේ මෙලෙස හුදකලා විරෝධතා දැක්වීම නො ව, කම්කරු පංතියේ ඒකාබද්ධ සටනක් දියත් කිරීම යි. එහෙත් අනෙක් වෘත්තීය සමිති මෙන්ම, විදුලිබල සමිති ද එවන් ඒකාබද්ධ සටනක් කැඳවීමෙන් වැලකුනේ, එය තමන්ගේ පාලනය ඉක්මවා වර්ධනය වෙතැයි යන භීතියෙනි.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන මග පෙන්වීම මත පිහිටුවා ඇති කම්කරු ක්‍රියාකාරී කමිටුවල එකමුතුව පෙබරවාරි 1දා කොලඹ දී රැස්වීමක් පවත්වමින්, කම්කරු පංතියේ ඒකාබද්ධ සටනක් සංවිධානය කිරීම සඳහා, වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ කම්කරුවන්ගේම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ලෙස, කම්හල්, වැඩබිම්, වැඩපොල සහ නිවහන් ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනී‌මේ අවශ්‍යතාව අවධාරනය කලේ ය.

එහිදී ඒකච්ඡන්දයෙන් සම්මත වූ යෝජනාවේ මෙසේ සඳහන් විය: “මේ (ආන්ඩුවේ) ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට නම් කම්කරු පන්තියේ සෑම කොටසක්ම එක්සත් ක්‍රියාමාර්ගයකින් බලමුලු ගැන්විය යුතුය. වෘත්තීය සමිති නායකයෝ කඩින්කඩ, සීමිත විරෝධතා සහ වැඩවර්ජන කැඳවමින් එවැනි ඒකාබද්ධ පන්ති ක්‍රියාමාර්ග වලක්වා, නිර්දය ප්‍රහාර එල්ල කරන ආන්ඩුවට ම ආයාචනා කිරීමට හා නෛතික ක්‍රියාමාර්ගවලට කම්කරුවන් කොටුකරති. ඉන් වාසිය සැලසී ඇත්තේ ආන්ඩුවටම ය.”

දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුව (දුකක්‍රික), ලංවිම කම්කරුවන් මුහුන දී ඇති තත්ත්වය පිලිබඳ ව දුම්රිය කම්කරුවන් සමග කල සාකච්ඡාවල දී කම්කරුවන් කිහිප දෙනෙක් දැක්වූ අදහස් අපි පහත පලකරමු.

රත්මලාන දුම්රිය වැඩපොලේ චාමර: “ආන්ඩුව වැඩ වර්ජනය කල විදුලි සේවකයන් 66කගේ වැඩ තහනම් කර තිබෙනවා. විදුලි බල මන්ඩලය කම්කරු පන්තියේ බලගතු කොටසක් සිටින ආයතනයක්. මුලු රටට ම බලපෑම් කිරීමේ හැකියාවක් ලංවිම කම්කරුවන්ට තිබෙනවා. ඒත් වෘත්තීය සමිති උත්සාහ කරන්නේ ආන්ඩුවට බලපෑම් දැමීමට කම්කරුවන් කොටු කිරීමට යි. 2022 මහජන නැගිටීම තුලත් අපි අත්දැක්කේ මේ වගේ තත්ත්වයක්. දැනට පවතින තත්ත්වය තුල නිවැරදි වැඩපිලිවෙලක හා නායකත්වයක අවශ්‍යතාව තදින් මතු වෙනවා.”

එම දුම්රිය වැඩපොලේ ම සංඛ වෘත්තීය සමිති හෙලා දකිමින් මෙසේ පැවසී ය: “ලංවිම වගේ ආයතනයක 66 දෙනෙකු දොට්ට දැමීම සැලකිය යුතු කාරනයක්. විදුලි බල වෘත්තීය සමිති මොනව ද මේ කරන්නේ? සාකච්ඡා කරලා, ලෙඩ නිවාඩු වාර්තා කරලා පලක් තියෙනවා ද? නමුත් වෘත්තීය සමිති නායකත්වයෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. විදුලි බල මන්ඩලයේ කම්කරුවන්ගේ රැකියා ආරක්ෂා කිරීම සමස්ත කම්කරු පන්තියේ ම කාර්යයක්. දුම්රිය වැඩපොල ඇතුලේ මේ ගැන කිසිම සාකච්ඡාවක් යන්නේ නැහැ. අපි එම කම්කරුවන් ආරක්ෂා කල යුතු යි. එතකොට තමයි අපේ රැකියාවල ආරක්ෂාවත් තහවුරු වෙන්නේ. ”

රත්මලාන දුම්රිය වැඩපොලේ ෂෙහාන්: “විදුලි බල සේවකයින් 66 දෙනෙකුගේ සේවය අත්හිටවූ බව මම චාමර හරහා දැනුවත් වුනා. දුම්රිය වැඩපොල ඇතුලෙ මේ ගැන සාකච්ඡා වුනේ නැහැ. විදුලි බල සේවකයොත් වැඩ වර්ජනය කලේ තමන්ගෙ රැකියා සහ අයිතීන් ආරක්ෂා කර ගන්න. කම්කරුවන්ට ඒකට අයිතියක් නැද්ද? අපට බෙදන්නෙත් ඔය හැන්දෙන් ම තමයි. මම මේ අසාධාරනයට විරුද්ධ යි. විදුලි බල කම්කරුවන්ගේ රැකියා ආරක්ෂා කිරීමට අපිත් සහයෝගය දෙන්න ඕන.”

දෙමටගොඩ මිහිඳුසෙන්පුර දුම්රිය මහල් නිවාසයේ සිටින වසර 35කට අධික සේවා කාලයක් සහිත කම්කරුවෙක් විදුලි බල කම්කරු දඩයම හෙලා දකිමින් මෙසේ අදහස් දැක්වී ය: 'ලංවිම සේවකයින්ට එරෙහි මේ දඩයම කරලා තියෙන්නේ (ආන්ඩුව) ඒකාධිපති ක්‍රමය ආරක්ෂා කරන්නයි. මේ සියලු දෙනාම (සියලුම දේශපාලකයෝ) එක වගේ. මේක ජනතාවට තේරෙනවා. මේක දඩ බිමක්.“

ආන්ඩුවේ මර්දනය නොතකා කම්කරුවෝ ඉදිරියට යා යුතු බව පවසමින් ඔහු පැවසුවේ අරගලවලට එරෙහි ව “පොලිසිය කඳුලු ගෑස් ගහනවා, වතුර පහරවල් එල්ල කරනවා, ඕව කාගෙන හරි අපිට ඉස්සරහට යන්න සිද්ධ වෙනවා.”

කම්කරුවන් හුදෙකලා සටන් වලට කොටු කරන සමිති හෙලා දකිමින් ඔහු මෙසේ පැවසීය: “විදුලි බල මන්ඩලය එක දවසක, සෞඛ්‍යය තව දවසක, රේල්ලුව තව දවසකට අරගල කරල හරි යන්නෙ නෑ. කම්කරුවන් ඒකාබද්ධ අරගලයක් තුල එකතු වෙන එක වලක්වාගෙන ඉන්නේ වෘත්තීය සමිති. අද රේල්ලුවේ වෘත්තීය සමිති කීයක් තියෙනවද. සිය ගානක් තියෙනවා.' විවිධ ශ්‍රේනිවල කම්කරුවන් බෙදමින් වෙන වෙන ම වෘත්තීය සමිති පැවතීම ඔහු හෙලා දැක්කේ ය.

සසප විසින් ගොඩනගා ඇති සහ ගොඩනැගීමට යෝජනා කරන කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු පිලිබඳ ව දුම්රිය ක්‍රියාකාරී කමිටු සාමාජිකයෝ ඔහුට පැහැදිලි කලහ. එමගින් එක ආයතනයකට එක ක්‍රියාකාරී කමිටුවක් පමනක් පැවතීමේ අවශ්‍යතාව ද, නිදසුනක් වශයෙන් සෞඛ්‍යය ක්‍රියාකාරි කමිටුව වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ අනෙකුත් කම්කරුවන්ගෙන් සමන්විත ව ඒකාබද්ධ ව වැඩ කරන ආකාරය ද එහිදී පැහැදිලි කෙරුනි.

ලංවිම රියැදුරෙකු වන චන්දිමාල් මෙසේ කියා සිටියේ ය: “වැඩ තහනම්කල විදුලි සේවකයන් නැවත සේවයට ගැනීම සඳහා ඇමති සමග සාකච්ඡා කරන බව සමිති නායකයන් කියනවා. අත්‍යවශ්‍ය සේවා නියෝග ඉවත් කර ගන්න කියලා ආන්ඩුවෙන් ඉල්ලා සිටින බවත් වෘත්තීය සමිති කියලා තියෙනවා. වැඩට නොපැමිනීම ගැන නිදහසට කරුනු විමසා සිටීමට පිලිතුරු ලෙස, අසනීපයෙන් සිටි නිසා බව දැනුම් දෙන්න කියලා සමිති නායකයන් උපදෙස් දුන්නා. ඒ හින්දා අපි එහෙම කලා. ඔබ පවසන අයුරින්, මෙය පුද්ගලීකරනයට විරුද්ධව කල අරගලයක් බව කෙලින් ම කියන්න වෘත්තීය සමිතිවලට හයියක් නැහැ. සටනක් දියත් කිරීම වෙනුවට ඒ සමිතිවල නායකයන් කියන්නේ සාකච්ඡාවක් ලබා දෙන තුරු ඉවසන්න කියල යි.”

Loading