[මෙය The “Great Betrayal” in Ceylon, the formation of the American Committee for the Fourth International, and the founding of the Workers League මැයෙන් 2023 අගෝස්තු 30දා පල කල ලිපියේ පරිවර්තනය යි.]
2023 ජූලි 30 සිට අගෝස්තු 4 දක්වා පැවැත්වූ සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාත්‍යන්තර පාසලේදී කැනඩාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් කීත් ජෝන්ස් පහත පල වන දේශනය පැවැත්වී ය.
ලියොන් ට්‍රොට්ස්කි සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ හා සමාජවාදී විප්ලවයේ යුගයේ සමාජවාදය සඳහා අරගලය යන මැයෙන්, සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික සභාපති හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් පැවැත්වූ ආරම්භක දේශනය 2023 අගෝස්තු 24 දින ද, හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික සහ දේශපාලන පදනම් යන මැයෙන්, ක්ලාරා වයිස් සහ ජොහැන්නස් ස්ටර්න් විසින් පැවැත් වූ දෙවන දේශනය 2023 සැප්තැම්බර් 23 දින ද, පැබ්ලෝවාදී සංශෝධනවාදයේ සම්භවයන්, හතරවන ජාත්‍යන්තරය තුල භේදය සහ ජාත්‍යන්තර කමිටුව පිහිටුවීම යන මැයෙන් සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් විසින් පැවැත් වූ තෙවන දේශනය 2023 ඔක්තෝබර් 03 වන දින ද, බ්‍රසීලියානු සමාජවාදී සමානතා කන්ඩායමේ (ජීඑස්අයි) නායක සාමාජිකයෙකු වන තෝමස් කැස්ටන්හයිරා කියුබානු විප්ලවය සහ 1963 මූලධර්ම විරහිත පැබ්ලෝවාදී යලි එකමුතුවට එස්එල්එල් දැක්වූ විරුද්ධත්වය මැයෙන් පැවැත් වූ දේශනය 2024 පෙබරවාරි 25 දින පලවිය.
හැඳින්වීම
එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂය (සකප) පැබ්ලෝවාදී ආස්ථානයන්ට වඩ වඩා විවෘත ව අනුගතවිමත්, පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය වෙත සංවිධානාත්මක යොමුවීමටත් එරෙහි ව, 1961 ජනවාරියේ දී බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීහු අරගලය ආරම්භ කල හ.
සකප නායකත්වයට යැවූ ලිපියක් තුල ඔවුන් ඉස්මතු කල කරුනු අතර මූලික වූයේ:
පලමු ව, “කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය පිලිබඳ මූලෝපායෙන් හා විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමෙන් කවර හෝ පසුබැසීමක්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මත ලෝක-ඓතිහාසික වැරැද්දක අර්ථභාරය දරා සිටී.”
දෙවනුව, සහ පලමු කරුනින් අනිවාර්යයෙන්ම ගලා එන නිගමනයක් ලෙස, “පැබ්ලෝවාදී සංශෝධනවාදය ට්‍රොට්ස්කිවාදය ඇතුලත ප්‍රවනතාවක් ලෙස සලකන ලද කාල පරිච්ඡේදය අවසානයකට ගෙන ඒමට කාලය එලඹ ඇත.' [1]
එක්සත් ජනපදයේ සකප ජාතික කමිටුවට 1961 ජනවාරි 2දා ලියන ලද ලිපියේ සිට පැබ්ලෝවාදීන් සමග යලි එකමුතුවීමේ සම්මේලනය පැවැත්වුනු 1963 ජුනි අතර ගෙවුනු වසර දෙක හමාර තුල, සමාජවාදී කම්කරු ලීගය (එස්එල්එල්) මෙම අනතුරු ඇඟවීම් වර්ධනය කරමින් න්‍යායික ව විස්තාරනය කලේ ය. පැබ්ලෝවාදීන් සමග සකපයේ අප්‍රතිපත්තික යලි එකමුතු වීම කම්කරු පන්තියට දේශපාලනික විනාශයන් අත්කර දෙනු ඇතැයි එය අවධාරනය කලේ ය.
දැන් ශ්‍රී ලංකාව ලෙස හැඳින්වෙන ලංකාවේ මහා පාවාදීමේ රූපයෙන්, යන්තම් මාස 12කට පසු ව, මෙම තක්සේරුව ඛේදජනක ලෙස සනාථ විය. විප්ලවවාදී ශක්‍යතාවයන්ගෙන් ගැබ්ගෙන තිබුනු දිවයිනේ ඇති වූ යෝධ අර්බුදයක් මධ්‍යයේ, පැබ්ලෝවාදී ලංකා සම සමාජ පක්ෂය හෙවත් ලසසපය, 1964 ජුනි 9දා සිරිමා බන්ඩාරනායක මැතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආන්ඩුවට ඇතුල් විය. ට්‍රොට්ස්කිවාදී යයි කියාගත් හා ඓතිහාසික ව හතරවන ජාත්‍යන්තරය සමග සම්බන්ධ වී තිබූ පක්ෂයක්, ධනේශ්වර ආන්ඩුවකට ඇතුල් වූ ප්‍රථම අවස්ථාව එය විය.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) මෙම පාවාදීමේ ලෝක-ඓතිහාසික අර්ථභාරය වහා ම හඳුනාගත්තේ ය. කොලඹට සංචාරය කල ජෙරී හීලි, සභාගයට ඇතුලුවීම සඳහා 1964 ජුනි මාසයේ පැවැත්වුනු සම්මේලනයට මැදිහත් වීමට උත්සාහ කලේ ය.
පැබ්ලෝවාදයේ ප්‍රතිවිප්ලවවාදී භූමිකාවත්, එහි දියකරහැරීම්වාදී දේශපාලනයට එරෙහි අරගලය හජාජාක ශාඛාවන් හෙවත් විප්ලවවාදී කම්කරු-පන්තික පක්ෂ ගොඩනැගීම හරහා විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමේ සටනෙහි හරි මැද තැබීමේ හදිසි භාවයත් පිලිබඳ ව, 1964 ජූලි 5දා නිකුත් කල ප්‍රකාශයක් තුල, හජාජාක පහත දැක්වෙන යුගකාරක නිගමනය උකහා ගත්තේ ය.
“ලසසප නායකයින් බන්ඩාරනායක සභාගයට ඇතුල් වීම, හතරවන ජාත්‍යන්තරයෙහි පරිනාමයේ සමස්ත යුගයක අවසානය සලකුනු කරයි… කම්කරු පන්තියට පරාජයක් සූදානම් කරමින්, අධිරාජ්‍යවාදයට ඍජු ව සේවය සැපයීමේ දී ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල සංශෝධනවාදය එහි ප්‍රකාශනය සොයාගෙන ඇතැයි' එය ප්‍රකාශ කලේ ය.[2]
හජාජාකහි වැඩිදුර වර්ධනයෙහි හා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව තුල නව ජාත්‍යන්තර කමිටු ශාඛා ලෙස පිලිවෙලින් වර්කර්ස් ලීගය සහ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ආරම්භ කිරීමේත් හදවතෙහි පැවතියේ යලි එකමුතුවීමට එරෙහි අරගලයේ පාඩම් සහ ලංකාව තුල එය නිශේධනාත්මක ව සනාථ වීමයි.
1961 ආරම්භයේ පටන්, හජාජාක සමග ඒකාබද්ධ වෙමින් පැබ්ලෝවාදීන් සමග යලි එකමුතුවීමට විරුද්ධ ව එහි විනය යටතේ වැඩ කල, ටිම් වුල්ෆර්ත් නායකත්වය දුන් සකප තුල සුලුතරය දක්වා වර්කර්ස් ලීගයේ මුල් ආපස්සට ගෙන යනු ලැබිය හැක. එහෙත්, අප ඉදිරියේ දී පෙන්වනු ඇති පරිදි, ශ්‍රී ලංකාවේ සිද්ධීන් හා ඒවායේ පාඩම්, හජාජාක ට හිතවත් සුලුතරයේ දේශපාලන පැහැදිලිකමට හා තහවුරු වීමටත් වර්කර්ස් ලීගය ආරම්භ කිරීමටත් තීරනාත්මක විය.
සකප 1953 දී පැබ්ලෝට විරුද්ධ වී තිබුනි. නමුත්, එය, 1963 දී ජාත්‍යන්තර කමිටුවෙන් භේද වී පැබ්ලෝවාදීන් සමග යලි එකමුතු වූයේ, දශකයකට පෙර භේදයට තුඩු දී තිබුනු මතභේද පිලිබඳ සියලු සාකච්ඡාවන් යටපත් කිරීම සහ සුලබ ප්‍රති-ට්‍රොට්ස්කිවාදී ඉදිරි දර්ශනයක පදනම මත යි. මීට විපරීත ව, ලංකාව තුල ජාක ශාඛාවක් හෝ එයට හිතවත් ශාඛාවක් කිසිදා පැවතී නො තිබුනි. 1953-54 දී, ලසසපය පැබ්ලෝට එරෙහි සටන සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් යුත් ආස්ථානයක් ගෙන, අවසානයේ පැබ්ලෝවාදී “හතරවන ජාත්‍යන්තරය” තුල රැඳී සිටීමට තෝරාගෙන තිබූ අතර වඩ වඩා ප්‍රකට ව ජාතික-අවස්ථාවාදී දේශපාලනය කරගෙන යාමේ නිදහස සඳහා හිලව්ව ට පැබ්ලෝට සහ ජාත්‍යන්තර ලේකම් මන්ඩලය ට එහි කීර්තිය පාවා දුන්නේ ය.
එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව යන දෙරටෙහි ම, පැබ්ලෝවාදීන් නො නවතින විප්ලවය ද කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය හා ආධිපත්‍යය සඳහා අරගලය ද පාවාදීමෙන් විකර්ෂනය වූ බලවේගවලට, අව්‍යාජ ට්‍රොට්ස්කිවාදී දිශානතියක් හා ක්‍රියා මාර්ගයක් සම්පාදනය කිරීමේ දී ද එම බලවේග රැලි කරගැනීමේ දී ද එස්එල්එල්හි මැදිහත්වීම තීරනාත්මක බව සනාථ විය. අවස්ථා දෙකේ දී ම, සකපයේ යලි එකමුතු වීමට ද ශ්‍රී ලංකාවේ මහා පාවාදීමට ද විරුද්ධ යයි කියා පෑ සුලු-ධනේශ්වර බලවේගවලින් වෙන්වී, නව ට්‍රොට්ස්කිවාදී පක්ෂ -වර්කර්ස් ලීගය හා විකොස- ඉස්මතු වීමට පෙරාතුව දේශපාලන පැහැදිලිකමේ කාලපරිච්ඡේදයක් අවශ්‍ය විය.
පැබ්ලෝවාදී අවස්ථාවාදය තුල පැවති ලසසපයෙහි මහා පාවාදීමේ මුල්, එහි බලපෑම හා අර්ථභාරය සහ ශ්‍රී ලංකාවේ හා ලෝක කම්කරු පන්තියට එහි පාඩම් උකහා ගැනීම ට ජාක ගෙනගිය අරගලය, මෙම දේශනයේ පලමු කොටස තුල විභාග කෙරෙනු ඇත.
.
දෙවන, කෙටි කොටසක්, පැබ්ලෝවාදී අවස්ථාවාදයට එස්ඩබ්ලිව්පී යටත් වීමට එරෙහි අරගලයේ දී ජාක පක්ෂපාති සුලුතරයක් මතුවීම, දේශපාලන භේදවීම සහ තහවුරුවීම තුල එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මූලාරම්භය සමාලෝචනය කරනු ඇත.
මෙහි දී, ලංකාවේ සිද්ධි -ඒවායේ මූලයන්, වැදගත්කම හා දේශපාලන පාඩම්-තීරනාත්මක විය. මෙම දේශනය තුල පෙන්වනු ඇති පරිදි,1964 දී හතරවන ජාත්‍යන්තරය සඳහා ඇමරිකානු කමිටුව සහ ඊට වසර දෙකකට පසුව වර්කර්ස් ලීගය පිහිටුවීම -මෙය 1995 දී සමාජවාදී සමානතා පක්ෂය බවට පරිවර්තනය කෙරුනි-යන දෙකෙහි දී ම ඒවා (ලංකාවේ සිද්ධි) තීරනාත්මක විය.
ලංකාවේ සිද්ධි ද ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සඳහා ඒවායේ වැදගත්කම ද පිලිබඳ ව අභ්‍යන්තර පක්ෂ සාකච්ඡාවක් සඳහා කැඳවුම් කිරීම නිසා, අද දින දක්වා ම එක්සත් ජනපදයේ සසප හි නායකයෙකු ලෙස සිටින ෆ්‍රෙඩ් මාසෙලිස් ඇතුලු ව කලින් සඳහන් කල වුල්ෆර්ත් හා තවත් අට දෙනෙකු, 1964 ජූලි මාසයේ දී සකපයෙන් නෙරපා දැමුනි. ඔවුහු හතරවන ජාත්‍යන්තරය සඳහා ඇමරිකානු කමිටුව පිහිටුවූහ. සකපය තුල ඉස්මතු වී, හජාජාක සමග එකඟත්වය ප්‍රකාශ කර තිබුනු තවත් කන්ඩායමක් වූ ස්පාටසිස්ට් ලීගයේ සුලු-ධනේශ්වර ජාතිකවාදීන්ගෙන් දේශපාලනික ව වෙන්වීමේ තවදුර කාලපරිච්ඡේදයකින් පසුව, 1966 නොවැම්බරයේ දී හතරවන ජාත්‍යන්තරය සඳහා ඇමරිකානු කමිටුව වර්කර්ස් ලීගය බවට පත් කෙරුනි.
ලංකාව තුල පැබ්ලෝවාදී පාවාදීම විභාග කිරීමට පෙර, එක් අමතර කරුනක් සඳහන් කිරීමට මට අවශ්‍ය යි. යලි එකමුතුවීමේ දී ලසසපය ප්‍රධාන භූමිකාවක් ඉටුකලේ ය. 1950 ගනන් අග දී, එය (ලසසප) සකප දේශපාලනිකව විමර්ශනය කිරීමේ දී පැබ්ලෝවාදීන් සඳහා උපකරනයක් ලෙස සේවය කරමින් පැවතියේ ය. 1960 ගනන් මුල, හැන්සන් හා සකප නායකයන් පැබ්ලෝවාදීන් සමග යලි එකමුතු වීම පිටුපස සාමාජිකයන් ගැලතීමට උත්සාහ දරද්දී, ජාත්‍යන්තර කමිටුවේ “කට්ටිවාදීන්ට” හා “ගතානුගතික පොතේගුරුවාදීන්ට” විරුද්ධ ව ඔවුන් ගොඩනැගීමට උත්සාහ කරන “මහජන ට්‍රොට්ස්කිවාදී පක්ෂවලට” උදාහරනය ලෙස ගෙනහැර පෑවේ ලසසප යි
නොනවතින විප්ලවය සහ දකුනු ආසියාව තුල ට්‍රොට්ස්කිවාදයේ මූලධර්මාත්මක පදනම්
ලංකා සම සමාජ පක්ෂය ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ලෙසත්, ලංකාවේ කම්කරු පන්තියෙහි ප්‍රධාන පක්ෂය ලෙසත් ඉස්මතු වීම, සංකීර්න ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාවේ සසපයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් ලියවිල්ල තුල, මෙම ඉතිහාසය අවශ්‍ය ලෙසින් ම දීර්ඝ ව සාකච්ඡා කරනු ලබයි. එය පරිස්සමින් විමර්ශනය කරන ලෙස මම සහෝදරවරුන් දැඩි ලෙස උනන්දු කරමි,
මෙහි දී, මට කල හැක්කේ, ලුහුඬු නමුත් තීරනාත්මක නිරීක්ෂනයන් සමහරක් ඉදිරිපත් කිරීම පමනි. 1935 දී ලසසපය ආරම්භ කරන විට, එය, දූෂිත ජාතික ධනේශ්වරය හවුල් කරගෙන, දිවයින මත ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයට විරුද්ධ වූ රැඩිකල් ජාතිකවාදී සංවිධානයක් විය. එයට නායකත්වය දෙනු ලැබුවේ තරුනයන් වන අතර, විදේශගත ව අධ්‍යාපනය ලැබීමේ දී මාක්ස්වාදය හා විප්ලවවාදී දේශපාලනය මුනගැසී තිබුනු ඔවුන් ගෙන් බොහෝ දෙනා ට්‍රොට්ස්කිවාදයට හිතවත් ව සිටි අය වූහ. ඔවුන් අතර කොල්වින් ආර් ද සිල්වා, ෆිලිප් ගුනවර්ධන, ලෙස්ලි ගුනවර්ධන හා එන්. එම්. පෙරේරා ප්‍රධාන වූහ.
1930 ගනන් අග දී, ලෝක යුද්ධය දෙසට වේගයෙන් ලුහුටා යාම සහ බ්‍රිතාන්‍ය හා ප්‍රන්ස අධිරාජ්‍යයන්ට අනුගත වන ලෙස විජිතවල ජනතාවට කරන ලද නග්න ආයාචනයන් ඇතුලත් වූ ස්ටැලින්වාදීන්ගේ ප්‍රතිවිප්ලවවාදී මහජන පෙරමුනුවාදී දේශපාලනය, වඩ වඩා ඍජු ව ට්‍රොට්ස්කිවාදය හා හතරවන ජාත්‍යන්තරය දෙසට හැරීමට ලසසප නායකත්වය පොලඹවන ලදි.
ට්‍රොට්ස්කි සමග ඍජු සබඳතා ස්ථාපිත කරගැනීමට, හතරවන ජාත්‍යන්තරයට අනුග්‍රහය දැක්වූ (“ටී” කන්ඩායම නමින් හැඳින්වුනු) ලසසප නායකයන් දැරූ ප්‍රයත්නයන්ට ප්‍රතිචාර ලෙස, 1939 ජූලි මාසයේ දී ට්‍රොට්ස්කි විසින් “ඉන්දියාවේ කම්කරුවන්ට විවෘත ලිපියක්” රචනා කරනු ලැබිනි. එය, සම්භාව්‍ය යටත් විජිත රට ලෙස ට්‍රොට්ස්කි වෙනත් තැනක විස්තර කර තිබූ ඉන්දියාව සම්බන්ධයෙන් නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනය පිලිබඳ ඔහුගේ අවසාන ප්‍රධාන විස්තාරනය වනු ඇත.
එලඹෙන දෙවන ලෝක යුද්ධය, ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයට යෝධ ගාමකයක් සපයනු ඇතැයි පූර්වාපේක්ෂා කරමින්, ට්‍රොට්ස්කි මෙසේ ප්‍රකාශ කලේ ය:
“විප්ලවවාදී අරගලයකට නායකත්වය දීමට ඉන්දියානු ධනේශ්වරය අසමත් ය. ඔවුහු බ්‍රිතාන්‍ය ධනවාදය සමග සමීප ව බැඳී ඒ මත රඳා සිටිති. ඔවුහු ඔවුන්ගේ ම දේපොල වෙනුවෙන් වෙවුලුම් කති. ඔවුහු මහජනයාට බිය වෙති. කොපමන මිලක් ගෙවා හෝ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සමග සම්මුතියක් අපේක්ෂා කරන ඔවුහු, ඉහලින් එන ප්‍රතිසංස්කරන පිලිබඳ අපේක්ෂාවන්ගෙන් ඉන්දියානු ජනයා සනසති. ...ධෛර්යය සම්පන්න, විප්ලවවාදී ගොවිජන වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමට ත්, කෝටි සංඛ්‍යාත ගොවීන් අවදි කරමින් රැලි කර ගැනීමටත්, දේශීය පීඩකයන් ට හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය තුල ඔවුන්ට නායකත්වය දීමටත් සමත් වන්නේ නිර්ධන පන්තිය පමනි. ඉන්දියානු විප්ලවයේ අවසාන ජයග්‍රහනය තහවුරු කල හැකි එකම අවංක හා විශ්වාසවන්ත සන්ධානය වන්නේ, කම්කරුවන් හා දුගී ගොවීන් අතර සන්ධානය පමනි”.[3]
ට්‍රොට්සකිගේ “විවෘත ලිපිය” ලසසප ඇතුලත සිටි හොඳ ම කොටස් වලට මූලෝපායික දිශානතියක් සම්පාදනය කලේ ය. ඊ ලඟ වසර දෙක හමාර පුරා, ලසසපය ප්‍රතිසංවිධානය වී නැවත ගොඩනැගුනේ, ලංකාව මත පදනම් වුනු රැඩිකල් ජාතිකවාදී සංවිධානයක සිට නොනවතින විප්ලවයේ ක්‍රියා මාර්ගයට දකුනු ආසියාව පුරා කම්කරු පන්තිය දිනාගැනීම ට සටන් කරන අව්‍යාජ ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් බව ට පරිවර්තනය වෙමිනි.
මෙම ක්‍රියාදාමයෙහි තීරනාත්මක පලමු පියවර වූයේ, ස්ටැලින්වාද-ගැති කන්ඩායමක් 1939 දෙසැම්බරයේ දී නෙරපා දැමීම යි. ඉන්පසු ව, ලසසප නායකයෝ ලේඛන මාලාවක් තුල නොනවතින විප්ලවයේ ක්‍රියා මාර්ගය විස්තාරනය කල හ. දැනට පොදුවේ දකුනු ආසියාව යනුවෙන් හඳුන්වනු ලබන ඉන්දියානු උප-මහාද්වීපය තුල, ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයෙහි මූලික කර්තව්‍යයන් සාක්ෂාත් කරගත හැකි එක ම මාවත වන්නේ, අධිරාජ්‍යවාදයටත් ජාතික ධනේශ්වරයටත් එරෙහි ව ගම්බද හා නාගරික පීඩිතයන් රැලි කරගනු ඇත්තා වූ ද ලෝක සමාජවාදී විප්ලවයට යොමු වූ ද කම්කරු පන්තිය නායකත්වය දෙන සමාජවාදී විප්ලවයක් හරහා පමනක් බව, ඔවුහු අවධාරනය කල හ.
ලසසපයේ මූලෝපායික පන්ති අක්ෂය යලි නිර්වචනය කිරීමේ මෙම ක්‍රියාදාමයෙ හි කොටසක් ලෙස, ලංකාව නමැති දිවයිනෙහි රාමුව ඇතුලත, අධිරාජ්‍යවාදය සමග සැබෑ ගනුදෙනු බේරාගැනීමක් සිදු වනු හෝ සිදු කල නො හැකිය යන්න, ලංකාවේ ට්‍රොට්ස්කිවාදීහු හඳුනාගත් හ. මේ පදනම මත, සමස්ත-ඉන්දීය පක්ෂයක මූලෝපායික සංකල්පය වර්ධනය කල ඔවුහු, දේශපාලනිකව හා සංවිධානාත්මක ව, ඉන්දියාවේ විවිධ ප්‍රදේශ තුල ට්‍රොට්ස්කි ට හා හතරවන ජාත්‍යන්තරය ට සහයෝගය ප්‍රකාශ කල විවිධ කන්ඩායම්, හතරවන ජාත්‍යන්තරයටත් නොනවතින විප්ලවයේ ක්‍රියා මාර්ගයටත් ඇති ආසක්ත වීම මත පදනම් වන තනි පක්ෂයක් තුලට ඒකාබද්ධ කිරීමේ සටනට නායකත්වය දුන් හ.
මෙම අරගලයෙ හි ප්‍රතිඵලයක් ලෙස, ලසසපය මූලික පරිවර්තනයක ට භාජනය කරනු ලැබ, 1942 අප්‍රේල් මාසයේ දී, නව සමස්ත-ඉන්දීය පක්ෂයක් බව ට හරවන ලද අතර, එය ක්ෂනිකව හතරවන ජාත්‍යන්තරයට ඇතුලුවීම අපේක්ෂා කලේ ය. ඉන්දියාවේ, ලංකාවේ හා බුරුමයේ බොල්ෂෙවික්-ලෙනින්වාදී පක්ෂය හෙවත් බීඑල්පීඅයි යනු එම පක්ෂය යි.
බීඑල්පීඅයි බ්‍රිතාන්‍ය-ඉන්දියාව තුල එලඹෙන විප්ලවවාදී පිපිරීමක් ලෙස හඳුනාගත් දෙය වෙත නිර්භීත හැරීමක් සමග දෙවන ලෝක යුද්ධය සමයේ දී දිවයින තුල එහි නීති-විරෝධී දේශපාලනික වැඩකටයුතු ඒකාබද්ධ කලේ ය. ඒ පිලිබඳ ව සවිස්තර ව කතා කිරීමට කාලය මට ඉඩ නො දුන්න ද යුද්ධය ට විරුද්ධ වීම නිසා බන්ධනාගාර ගත ව සිටි ලංකාවේ ට්‍රොට්ස්කිවාදී නායකයන්ගෙන් කිහිප දෙනෙක්, ට්‍රොට්ස්කිවාදය ට දිනාගත් බන්ධනාගාර නියාමකයෙකු ද සමග 1942 අප්‍රේල් මාසයේ ඉන් පලා ගිය හ. ඉන්පසු, පෝක් සමුද්‍ර සන්ධිය තරනය කරමින් ඉන්දියාව ට ගිය ඔවුන් ට 1942 ක්විට් ඉන්දියා (ඉන්දියාවෙන් පිටවෙනු!) ව්‍යාපාරය ට බීඑල්පීඅයි හි මැදිහත් වීම ට නායකත්වය දීම ට හැකි විය.
ගාන්ධි ට නම්, ක්විට් ඉන්දියා ව්‍යාපාරය යනු, යුද්ධය මධ්‍යයේ ඉහල යමින් තිබුනු මහජන අතෘප්තිය මත, ධනේශ්වර ඉන්දියානු ජාතික කොංග්‍රසයෙහි පාලනය තහවුරු කර ගැනීම ඉලක්ක කර ගත් දේශපාලන ඉරියව්වක් විය. එහෙත්, ක්ෂනික ව කොංග්‍රස් නායකත්වයේ පාලනයෙන් අත් මිදුනු එය, රටේ බොහෝ ප්‍රදේශ අලලාගෙන, බ්‍රිතාන්‍ය පාලනය ට එරෙහි ජාතික නැගිටීමක් බව ට පත් විය. සෝවියට් සංගමයෙහි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී සගයන්ගේ යුද ප්‍රයත්නය ට එය බාධා කලේය යන පදනම මත, ස්ටැලින්වාදීන් ක්විට් ඉන්දියා ව්‍යාපාරය ට පිහියෙන් අනිද්දී, බ්‍රිතාන්‍ය පාලනය ට එරෙහි අරගලය තුල ට කම්කරු පන්තිය ස්වාධීන ව මැදිහත් කරමින් කැරලිකාරී ගම්බද ජනයා ට විප්ලවවාදී නායකත්වය සම්පාදනය කිරීම සඳහා බීඑල්පීඅයි සටන් වැදුනි.
එසේවුවත් අපහසුවකින් තොරව ක්විට් ඉන්දියා ව්‍යාපාරය මර්දනය කිරීම ට බ්‍රිතාන්‍යයෝ සමත් වුහ. එහෙත් යුද්ධය අවසන්වීම ත් සමග, ලෝකයේ බොහෝ ප්‍රදේශ මෙන් ම ඉන්දියාව ද විප්ලවවාදී අරගලයක් මගින් සොලවා දමනු ලැබී ය. රාජකීය ඉන්දීය නාවික හමුදාවේ (ආර්අයිඑන්) නාවිකයන්ගේ කැරැල්ලක්, ගොවි කැරලි සහ, වඩාත් වැදගත් ලෙස, සිය ස්වාධීන පන්ති අවශ්‍යතා අවධාරනය කිරීම ට වෙර දැරූ කම්කරු පන්තියේ යෝධ වැඩ වර්ජන රැල්ලක් මෙය ට ඇතුලත් විය.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සමග සම්මුතියක් ඇතිකර ගැනීමට ගාන්ධි හා ජවහර්ලාල් නේරු නායකත්වය දුන් ඉන්දියානු ජාතික කොංග්‍රසයේ දැරූ ප්‍රයත්නයන් කම්කරු පන්තියෙහි ඉස්මතු වීම මගින් තීව්‍ර කෙරුනි.
දේශපාලනික වශයෙන් තම පාලනය රඳවා ගැනීම ට කොංග්‍රස් පක්ෂය අවසානයේ සමත් වූයේ නම්, එයට විශාල වසයෙන් හේතු වූයේ, ඊට පෙර ගෙවී ගිය දශක ගනනාව පුරා, ජාතික-ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයෙහි සැබෑ නායකයා වන්නේ ජාතික ධනේශ්වරයය යන පදනම මත, නායකත්වය ක්‍රමානුකූල ව ජාතික ධනපති පන්තිය ට පවරමින් කම්කරු පන්තිය එයට යටත් කල ස්ටැලින්වාදීන්ගේ භූමිකාව යි. බ්‍රිතාන්‍යයේ ලේබර් ආන්ඩුව, කොංග්‍රසය හා වර්ගවාදී මුස්ලිම් ලීගය අතර “බලය මාරු කිරීමේ” ගිවිසුම ට ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය අනුමැතිය දුන් අතර, එම ගිවිසුම මගින් 20 වන ශතවර්ෂයේ වඩාත් ම බියකරු සැබෑ අපරාධයන්ගෙන් හා ඛේදවාචකයන්ගෙන් එකක් වූ හින්දු බහුතර ඉන්දියාවක් හා මුස්ලිම් පකිස්තානයක් බව ට වාර්ගික රේඛා ඔස්සේ උප-මහාද්වීපය බෙදා දැමුවේ ය.
1948 දී (බෙන්ගාලි ශිෂ්‍යයනට- පරිවර්තක) කල කතාවක දී, බීඑල්පීඅයි නායක කොල්වින් ද සිල්වා අධිරාජ්‍ය-විරෝධී මහජන ව්‍යාපාරය “ගබ්සා” කිරීම ගැන ජාතික ධනේශ්වරය ට දැඩි ලෙස චෝදනා කලේ ය. උප-මහාද්වීපය ලේවැකි ලෙස බෙදීම හරහා, දකුනු ආසියාවේ රාජ්‍ය ව්‍යුහයන් තුල ට වර්ගවාදය ඇතුලත් කර ඇති ආකාරයත්, ඒ මගින් දකුනු ආසියාවේ අධිරාජ්‍යවාදී ආධිපත්‍යය සඳහා නව යදම් වාත්තු කර ඇති ආකාරය ත් ඔහු විස්තර කලේ ය.
කොල්වින් ද සිල්වා මෙසේ කීවේ ය:
“මුස්ලිම් ලීගය ට පමනක් එතරම් ලෙහෙසියෙන් පවරනු ලබන ඉන්දියාව බෙදා වෙන්කිරීම ට මුලික වශයෙන් ම වගකිව යුත්තේ ලීග් දේශපාලනය නොව, කොංග්‍රස් දේශපාලනය යි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ට සම්බන්ධව කොංග්‍රසයේ දේශපාලනය අරගල දේශපාලනයක් නොව සම්මුති දේශපාලනයක් විය. සම්මුති දේශපාලනය ආරම්භකත්වය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ට දුන්නාක් මෙන් ම බෙදා වෙන් කිරීමේ දේශපාලනය ට උදව් කලේ ය.” ( සිංහල පරිවර්තනය කම්කරු මාවත ප්‍රකාශන පි 5)
ඉන්දියාව හා පකිස්තානය අතර යුද්ධයේ ක්ෂනික තර්ජනය ට අවධානය කැඳවමින් -ශතවර්ෂ තුන්කාලක් ගත වෙද්දී අද දින න්‍යෂ්ටික ව සන්නද්ධ ප්‍රතිමල්ලවයන් වන මේ රටවල් දෙක අතර ගනන් නැති යුද්ධයන් පැවතී තිබේ- ද සිල්වා උප-මහාද්වීපය ස්වේච්ඡාමය සමාජවාදී යලි එකමුතුව සඳහා වන අරගලය ට මූලෝපායික අවශ්‍යතාවයක් ඉදිරිපත් කලේ මෙසේ ප්‍රකාශ කරමිනි:
“ධනපති පන්තිය විසින් ප්‍රතිගාමී ලෙස කීතු කර දැමූ අය කම්කරු පන්තිය ට පමනක් ප්‍රගතිශීලි ලෙස එක්සත් කල හැකිය. මේ යුගයේ අපෝහකය එබඳුය.”[4]
1947 සම්මුතිය ගැන බීඑල්පීඅයි කල විශ්ලේෂනය, කාලයේ පරීක්ෂාව ට වඩා ඉහලින් තහවුරු වී ඇත. එම විශ්ල්ෂනය සහ “ශ්‍රී ලංකාවේ තත්ත්වය සහ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ දේශපාලන කර්තව්‍යයෝ” යන 1987 හජාජාක ප්‍රකාශය අතර ඍජු සම්බන්ධතාවක් පවතී. හජාජාක මෙම ප්‍රකාශය පශ්චාත් දෙවන ලෝක යුද්ධ විජිතහරනයේ සමස්ත අත්දැකීම හා එම විජිතහරනය විසින් නිර්මානය කෙරුන රාජ්‍යයන් ගේ ස්වභාවය ගැන විශිෂ්ට තක්සේරුවක් ඉදිරිපත් කරයි. (5)
පශ්චාත් යුද සමථය සහ බීඑල්පීඅයි දියකර හැරීම
බීඑල්පීඅයි හි විශ්ලේෂනය තීරනාත්මක වූ නමුත්, එය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මත යෙදෙමින් පැවති සුවිශාල පීඩනයන් ඉවත් කලේ නැත. මහජනයා ගේ දැවෙන ගැටලු කිසිදු අයුරකින් නො විසඳූන අතර ම, නාමික නිදහස ජාතික ධනේශ්වරය ට හා සුලු-ධනේශ්වරය ට නව හැකියාවන් විවෘත කලේ ය.
ලසසප යේ රැඩිකල් ජාතිකවාදී සංකල්පයන්ගෙන් කැඩී, හතරවන ජාත්‍යන්තරය ට හා නොනවතින විප්ලවයේ ඉදිරි දර්ශනය වෙත හැරෙමින් බීඑල්පීඅයි ආරම්භ කල ලසසප නායකයන්ගේ මූලික අරටුව අතර, ඒ වන විටත් සැලකිය යුතු බෙදීම් ඉස්මතු වී තිබුනි. 1935 දී ලසසපය ආරම්භ කරන විට පැවති තත්ත්වය ට බොහෝ සෙයින් සමාන වූ, කොංග්‍රස් පක්ෂයෙහි රැඩිකල් සුලු-ධනේශ්වර සංවිධානයක් වූ කොංග්‍රස් සමාජවාදී පක්ෂය තුලට බීඑල්පීඅයි දියකර හරින ලෙස ගුනවර්ධන හා පෙරේරා, ක්විට් ඉන්දියා ව්‍යාපාරයෙ හි පරාජයෙන් පසු ව, 1943 දී ඉල්ලා තිබුනි.
බීඑල්පීඅයි නායකත්ව යේ බොහොමයක් මෙන් ම, ගුනවර්ධන සහ පෙරේරා ද ඉන්දියාවේ බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් අල්ලාගෙන 1943 දී නැවත සිරගත කරන ලදී. 1945 දී ඔවුන් නිදහස් කිරීමත් සමග, ලංකාව තුල ලසසප නමින් ඔවුන් හැඳින්වූ නව සංවිධානයක් දියත් කලේ ය. තමන් ට්‍රොට්ස්කිවාදී බවත් හතරවන ජාත්‍යන්තරය ට ආධාර කරන බවත් එය කියාපෑ නමුත්, එය දේශපාලනික ව හා සංවිධානාත්මක ව බීඑල්පීඅයි වෙතින් වෙනස් විය.
තම වෙන ම පැවැත්ම සාධාරනීකරනය කරනු වස්, මුලුමනින් ම දෙවන ගනයේ හා බොහෝ සෙයින් ආත්මීය වූ විවිධාකාර සංවිධානාත්මක මතභේද ලසසප නායකයින් විසින් ඉදිරිය ට දැමී ය. යථාර්ථයේ දී, ඒවා, වෙනස් පන්ති දිශානතීන් තුල මුල් බැස තිබුනා වූ, ප්‍රධාන දේශපාලන මතභේදයන් ය. බීඑල්පීඅයි මෙය හඳුනාගත්තේ ය. ලසසප නායකයන්ගේ භ්‍රෂ්ටත්වය හෙලා දුටු බීඑල්පීඅයි, ඔවුන්ගේ භේදය “නිර්ධන පන්තික-නොවන ප්‍රවනතාවක ප්‍රකාශනයක්” වූ බව ට අනතුරු ඇඟවූ අතර, නොවැලක් වුවහොත් “සම්පූර්න අවස්ථාවාදී දේශපාලනයක් බව ට” වර්ධනය වනු ඇතැ” යි අනතුරු ඇඟවී ය . (6)
ලංකාව නාමිකව නිදහස් රාජ්‍යයක් ලෙස ස්ථාපිත කරනු වස්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය හා ජාතික ධනේශ්වරය අතර ඇතිකර ගෙන තිබුනු සම්මුතිය නිධන්ගත කරන ව්‍යවස්ථාමය නීතිය සම්බන්ධයෙන්, බීඑල්පීඅයි හා ලසසප ගත් විරුද්ධ ආස්ථාන තුල මෙම මතභේද විස්තෘත ලෙස ප්‍රදර්ශනය කෙරුනි. එම ව්‍යවස්ථා ක්‍රියාදාමයෙන් මහජනයා මුලුමනින් ම බැහැර කරනු ලැබ තිබුනි.
බීඑල්පීඅයි නායක ඩොරික් ද සූසා එය නිවැරදි ලෙස “මහජනතාව ට එරෙහි කුමන්ත්‍රනයක්” බව විලක්ෂනය කල අතර, ජාතික ධනේශ්වරයේත් එහි අධිරාජ්‍යවාදී හාම්පුතුන් ගේත් ලාභ උත්පාදක අවශ්‍යතාවයන් තහවුරු කල රාජ්‍ය යාන්ත්‍රනය පරිපාලනය කිරීමේ දී ජාතික ධනේශ්වරයට වඩා වැඩි වගකීමක් පවරමින්, අධිරාජ්‍යවාදී ආධිපත්‍යයෙහි රූපාකාරයන් පමනක් වෙනස් කරමින් තිබෙන බව ද සිල්වා විස්තර කලේ ය. 1947 නිදහස් පනත ට විරුද්ධ ව පාර්ලිමේන්තුව තුල ඡන්දය දුන් බීඑල්පීඅයි 1948 බලය පැවරීමේ උත්සවය වර්ජනය කල අතර, “ව්‍යාජ නිදහස ට” විරුද්ධ ව කම්කරුවන් දසදහස් ගනනක් කොලඹ ට බලමුලුගැන්වීම ට පියවර ගත්තේ ය.
මීට විපරීත ව, බ්‍රිතාන්‍යයන් පාලනය භාරදීම ඉදිරි පියවරක් බව විලක්ෂනය කල ලසසප, නිදහස් පනත ට ඡන්දය දීමෙන් වැලකී සිට, විරෝධතා රැලියක් පැවැත්වීම ට බීඑල්පීඅයි කල සැලසුම්, “ප්‍රදර්ශනවාදය” ලෙස හෙලා දැක්කේ ය.
ලංකාවේ ධනපති පන්තියේ “ස්වාධීන” පාලනයේ ප්‍රතිගාමී ස්වභාවය ක්ෂනික ව ප්‍රදර්ශනය විය. ලංකාවේ නව “ස්වාධීන” ආන්ඩුව දිවයිනෙ හි හිටපු බ්‍රිතාන්‍ය විජිත හාම්පුතුන් ගේ බෙදා වෙන් කර පාලනය කිරීමේ දේශපාලනය අඛන්ඩ ව පවත්වාගෙන යමින් එහි ආරම්භක ක්‍රියාවන් ගෙන් එකක් ලෙස, කම්කරු පන්තියේ විශාලතම කොටස වූ දෙමල වතු කම්කරුවන් ගේ පුරවැසි අයිතීන් අහෝසි කලේ ය. ජාතිය වාර්ගික යෙදුම්වලින් අර්ථ දැක්වීම මගින්, ලංකාවේ පාලක පන්තිය හා එහි රාජ්‍යය ෆැසිස්ට්වාදයේ භාෂාව අනුයමින් සිටින බව ට අනතුරු ඇඟවූ බීඑල්පීඅයි, එය හෙලාදුටුවේ ය.
නොනවතින විප්ලවයේ ක්‍රියා මාර්ගය සඳහා අරගලය මත පදනම් වූ බීඑල්පීඅයි, විශේෂයෙන් ම ලංකාව නමැති දිවයිනේ කම්කරු පන්තිය තුල බලගතු පෙනී සිටීමක් ස්ථාපිත කර තිබූ අතර, එය 1946 දී හා 1947 දී දිවයින තුල ප්‍රධාන වැඩ වර්ජන ව්‍යාපාරයන් ට නායකත්වය දුන්නේ ය. එහෙත් ඊලඟ අවුරුදු දෙක තුල, හතරවන ජාත්‍යන්තරය ඇතුලත වර්ධනය වෙමින් පැවති අර්බුදයේ කොටසක් ලෙස, බීඑල්පීඅයි දියකර හැරුනි.
සංවිධානාත්මක ලෙස, මෙය පියවර දෙකකින් ක්‍රියාවට දැමුනි. 1948 ශරත් සමයේ, එනම් ඉන්දියාව ට නිදහස ලැබී අවුරුද්දක ට තරමක් වැඩි කාලයක් ගත වූ තැන, පක්ෂය විසුරුවා හැර, ගාන්ධි-නේරු ඉන්දියානු ජාතික කොංග්‍රසය බලය ලබා ගැනීමෙන් පසු එයින් නෙරපන ලද හා සෝෂලිස්ට් (සමාජවාදී) පක්ෂය ලෙස යලි නම් කෙරුනු සුලු-ධනේශ්වර ජාතිකවාදී කොංග්‍රස් සෝෂලිස්ට් පක්ෂය ට ඇතුලුවීමට බීඑල්පීඅයි හි ඉන්දියානු ශාඛාව ඡන්දය දුන්නේ ය.
ඉන්දියාවේ සමාජවාදී පක්ෂය තුල ට බීඑල්පීඅයි දියකර හැරීමෙන් ක්ෂනික ඉක්බිත්තේ, 1950 ජුනි 4දා පැවැත්වූ “එකමුතුවේ සම්මේලනයක” දී එහි ලංකා ශාඛාව ලසසපය සමග ඒකාබද්ධ කිරීම සිදු විය. මුග්ධ තත්කාර්යවාදී හා ඍජුව ම මැතිවරනමය භාෂිතයන්ගෙන් මෙම ඒකාබද්ධ කිරීම ප්‍රේරනය කරනු ලැබ ප්‍රසිද්ධියේ සාධාරනීකරනය කරනු ලැබිනි: 1949 අතුරු මැතිවරනයක දී, පක්ෂ දෙක අතර පැවති තරඟය හේතුවෙන් දක්ෂිනාංශික එජාප ආන්ඩුවේ අපේක්ෂකයාට ජයග්‍රහනය ලබා දී තිබුනි. මූලික දේශපාලන මතභේද “සාකච්ඡා කිරීම ට අසමත් වීම, නව පක්ෂය තුල සම්බන්ධතාවන් ගේ සැබෑ ස්වරූපය එලිදරව් කලේ ය. එන්. එම්. පෙරේරා ගේ නායකත්වයෙන් යුතු දක්ෂිනාංශය සැබවින් ම පක්ෂයේ බලය අල්ලාගෙන සිටි අතර පැරනි බීඑල්පීඅයි නායකයෝ ඔහුට “ට්‍රොට්ස්කිවාදී” අක්තපත්‍ර පිරිනැමුහ. [7]
1948 දී, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර නායකත්වය, වැඩිදුර සාකච්ඡාවකින් තොර ව ඉන්දියාවේ සමාජවාදී පක්ෂයට ඇතුලු නො වන ලෙස බීඑල්පීඅයි වෙතින් ඉල්ලා තිබුනි. එහෙත්, වඩ වඩා දකුන ට යන මෙම සංවිධානය ට ඇතුලුවීම විනාශයක් බව නිගමනය කර තිබුනු ඉන්දියානු ට්‍රොට්ස්කිවාදීන් කන්ඩායමක්, ස්වාධීන විප්ලවවාදී දේශපාලන ක්‍රියාකාරීත්වය සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම ට 1950 දී උත්සාහ කල විට, පැබ්ලෝ උද්ධච්ඡ ලෙස එයට විරුද්ධ විය.
එපරිදිම, පැබ්ලෝ නායකත්වය දැරූ එක්සත් ලේකම් මන්ඩලය, ලංකාව තුල බීඑල්පීඅයි හි විසුරුවා හැරීමට ද එහි ආශීර්වාදය ප්‍රදානය කලේ ය. සම සමාජවාදයේ රැඩිකල් ජාතිකවාදී සම්ප්‍රදායන් කරා ප්‍රධාන පසුබෑමක් නියෝජනය කල මෙම මූලධර්ම විරහිත ඒකාබද්ධවීමට එරෙහි ව මැදිහත් වනු වෙනුවට, බීඑල්පීඅයි යෙන් පසුව හතරවන ජාත්‍යන්තරයේ ලංකා ශාඛාව බවට පත්වීම සඳහා “එක්සත්” ලසසපය ඉදිරිපත් කල අයදුම් පත වහා ම පිලිගත්තේ ය.
පැබ්ලෝ හා මැන්ඩල් මෙලෙස කලේ, වඩාත් ප්‍රකටව ඔවුන් දැන් විස්ථාරනය කරමින් සිටි දියකරහැරීම්වාදී ඉදිරි දර්ශනය සමග බීඑල්පීඅයිහි දියකර හැරීම ගැලපුනු හෙයිනි. පැබ්ලෝ දැක්වූ පරිදි, “රූපික ස්වාධීනත්වය පිලිබඳ ව වේවා නොවේවා, සියලු සංවිධානාත්මක තැකීම්” අත්හැර දමා, “යථා මහජන ව්‍යාපාරය තුල ට ඒකාග්‍ර වීමේ” පිලිවෙතක් අනුගමනය කරන ලෙස ලොව පුරා ට්‍රොට්ස්කිවාදීන්ට කල විශ්වීය ආයාචනයක් - කම්කරු පන්තිය මත ආධිපත්‍යය දරමින් දේශපාලනික ව එහි හුස්ම හිර කරමින් සිටි එනම් ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා අඩු දියුනු රටවල් තුල නම් ජාතික ධනේශ්වර නායකත්වයන්ට අනුගත වන ලෙස කල ආයාචනයක්- මෙ මගින් ක්ෂනික ව පලදැරිම ට නියමිත විය. [8] සිංහල 257
එක්සත් ලසසපයේ දිශානතිය මාධ්‍යමික හා වඩ වඩා පාර්ලිමේන්තු හා වෘත්තීය සමිති දේශපාලනය මත නාභිගත වූ එකක් මිස පන්ති අරගලය මත පදනම් වූවක් නො වී ය. සමස්ත දිවයින අලලාගත් මහා වැඩ වර්ජනයක් වූ 1953 හර්තාලය ට ලසසපයේ ප්‍රතිචාරය තුල මෙය මැනවින් පෙන්නුම් කෙරුනි. ආන්ඩුවේ ම්ලේච්ඡ කප්පාදු පියවරයන්ට විරුද්ධ ව, 1953 අගෝස්තු 12 කැඳවූ එක් දින ජාතික පරිමාන විරෝධතාවට ලැබුනු උද්‍යෝගීමත් ප්‍රතිචාරයෙන් ලසසප නායකයන් තිගැස්සුනි. බලයක් සහිතව ඉදිරිය ට ආ කම්කරු පන්තිය ට ග්‍රමීය ජනතාව ගේ පුලුල් කොටස් එකතු වූහ. අගමැතිවරයා ට ඉල්ලා අස්වීම ට බල කරමින් හා ආන්ඩුව පෙරලා දමනා බව ට තර්ජනය කරමින් රටෙහි සමහර ප්‍රදේශවල, හර්තාල් ව්‍යාපාරය දවස් කිහිපයක් පැවතුනි.
හර්තාලයේ ඉමහත් සාර්ථකත්වය තිබිය දී, ලසසප සහ ලසසප පාලිත වෘත්තීය සමිති තවදුරටත් මහජන ක්‍රියාමාර්ග සඳහා කරන ඉල්ලීම් සමග එය ඉදිරිය ට ගෙන ගියේ නැත. අරගලය විස්තාරනය කිරීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම, රාජ්‍ය මර්දනයට එරෙහි ව ආරක්ෂාව සංවිධානය කිරීම, ගම්බද ජනයා කම්කරු පන්ති නායකත්වය යටතට ගෙන ඒම හා බලය සඳහා අරගලය දේශපාලනික ව සූදානම් කිරීම සඳහා ඔවුන් සටනක් ආරම්භ කලේ නැත. ඒ වෙනුවට ඔවුන් කලේ, හර්තාලය ආරම්භ කර තිබුනු ස්ටැලින්වාදීන් හා අනෙකුත් කන්ඩායම් සමග එක් වී, එය අවසන් කර, පාර්ලිමේන්තුවේ අනෙකුත් විරුද්ධ පක්ෂ සමග සන්ධානගත ව විශ්වාස භංග යෝජනාවක් හරහා ආන්ඩුව පෙරලා දමන ලෙස කැඳවුම් කිරීම යි.
ලසසපය හජාජාකට එරෙහි ව පැබ්ලෝ සමග සිටගනී
1953 නොවැම්බරයේ දී හජාජාක පිහිටුවීම ට පෙර බීඑල්පීඅයි/ලසසපහි පරිනාමය පැහැදිලි කිරීම ට මම සැලකිය යුතු කාලයක් මිඩංගු කලෙමි.
පලමු ව, ලසසපයට හතරවන ජාත්‍යන්තරය තුල සැලකිය යුතු පෞරුෂයක් සතු වූයේ මන්දැයි අවබෝධ කරගැනීම වැදගත් ය. දිවයින මත ප්‍රධාන කම්කරු පන්තික පක්ෂය ලෙස ලංකාවේ ට්‍රොට්ස්කිවාදීන් ඉස්මතු වී තිබීමට සැබෑ හේතු වූයේ එහි ජාත්‍යන්තරවාදය සහ ස්ටැලින්වාදය ට හා ජාතික ධනේශ්වරය ට එරෙහි විප්ලවවාදී විරෝධය වුව ද හුදෙක් එහි මහා පරිමාන වැඩකටයුතු හුවා දක්වමින් ඒවා වඩ වඩා සඟවමින් තිබුනි.
දෙවනුව, එවන් විමර්ශනයක්, 1953 වන විට ලසසපය ප්‍රගාඪ දේශපාලන අර්බුදයක පැවති බවත්, එම අර්බුදය හතරවන ජාත්‍යන්තරය හරහා හමාගිය අර්බුදයෙහි කොටසක් බවත් ප්‍රදර්ශනය කරයි. මීට පෙර දේශන තුල විස්තාරනය කර ඇති පරිදි, ගෝලීය ධනවාදයේ ප්‍රතිස්ථායීකරනය විසින් පෝෂනය කරන ලද හා පැබ්ලෝ-මැන්ඩල් නායකත්වය දුන් ජාත්‍යන්තර ලේකම් මන්ඩලය විසින් දිරිමත් කරන ලද හා ක්‍රමානුකූල න්‍යායික ප්‍රකාශනයක් අත්පත් කර දෙමින් සිටි බලගතු දියකරහැරීම්වාදී ධාරාවක් ඉස්මතු වීම තුල මෙම අර්බුදයේ මුල් පැවතුනි.
මෙය අප තීරනාත්මක ලක්ෂ්‍යය කරා ගෙන එයි: එහි පැරනි පසුබෑම් හා දේශපාලනික ලුහුටා යාම් කවරක් වුවත්, ලසසප පරිනාමයේ තීරනාත්මක හැරුම් ලක්ෂ්‍යය -එනම්, එය ට්‍රොට්ස්කිවාදයෙන් බිඳීම හා 1964 මහා පාවාදීමට මාවත විවෘත කරමින් වේගයෙන් ජාතික අවස්ථාවාදය කරා ඇද වැටීම- වූයේ 1953-54 සමයේ කැනන්ගේ “විවෘත ලිපියටත්,” පැබ්ලෝවාදී දියකරහැරීම්වාදය ට විරුද්ධ ව දේශපාලනික හා සංවිධානාත්මක මධ්‍යස්ථානය ලෙස හජාජාක ආරම්භ කිරීම පිලිබඳව එය ගත් ආස්ථානය යි.
පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය විසින් නිෂ්පාදිත ලේඛන තුල පැවති වඩා විවෘත ස්ටැලින්වාද-ගැති සූත්‍රගත කිරීම්වලට හජාජාක දැක්වූ විරුද්ධත්වයන් බොහොමයක ට තමන් ද එකඟ බව ලසසප නායකයෝ කියාපෑ හ. තව ද ලසසපයට ම ත් ස්ටැලින්වාද-ගැති කන්ඩායමක් පරාජය කිරීමට සිදු වී තිබුනි. 1953 ශරත් සමයේ දී, තථ්‍ය වසයෙන් ම විවෘත ලිපිය නිකුත් කිරීමත් සමග, ලසසප නායකත්වයෙන් සැලකිය යුතු කොටසක් පක්ෂයෙන් බිඳී වෙන් වී ස්ටැලින්වාදීන් සමග එක් වූ හ.
එහෙත් 1953 දෙසැම්බරයේ දී, ජාක පිහිටුවීම සංවිධානාත්මක-කාර්ය පටිපාටිමය පදනමකින් හෙලා දකිමින්, එනම් හතරවන ජාත්‍යන්තරයෙ හි තේරී පත්වුනු නායකත්වය ට ප්‍රසිද්ධියේ පහර දීම මගින්, “විවෘත ලිපිය” ප්‍රජාතාන්ත්‍රික මධ්‍යගතවාදී මූලධර්ම උල්ලංඝනය කර ඇතිය යන කියාපෑම මත පදනම් ව, ප්‍රකාශයක් නිකුත් කිරීම ට ලසසපය හදිසි විය. මේ සියල්ල තුල නොතකා හැර තිබුනේ, පැබ්ලෝ-නායකත්වය දරන ජාත්‍යන්තර ලේකම් මන්ඩලයේ දියකරහැරීම්වාදී දේශපාලනය සහ ට්‍රොට්ස්කිවාදයේ ඓතිහාසික ක්‍රියා මාර්ගය අතදරා සිටියවුන් නිහඬ කිරීම ට හා නෙරපා හැරීම ට එය එහි අධිකාරය අවභාවිතා කිරීම ගැන, “විවෘත ලිපිය” තුල අඩංගු වී තිබුනු තියුනු විවේචනය යි.
මා මෙහි ඍජුව ම උපුටා දක්වන පරිදි, භේදය තුල අඩංගු වුනු “දේශපාලන ප්‍රශ්න”ගැන ඔවුන් ට තවමත් සලකා බැලීම ට තිබෙන බව හජාජාක පිහිටුවීම හෙලාදකිමින් ආරම්භයේ පල කල එහි ප්‍රකාශය තුල ලසසප නායකයෝ ප්‍රකාශ කලහ. ඒ වෙනුවට ලසසප නායකයන් ජාක හා පැබ්ලෝවාදී දියකරහැරීම්වාදීන් අතර අතරමැදියන් ලෙස ඔවුන් තමන්වම පත් කරගනිමින් සැලකිය යුතු දේශපාලන ප්‍රශ්න ආමන්ත්‍රනය කිරීම මෙසේ ප්‍රතික්ෂේප කිරීම දීර්ඝ කාලයක් පුරා පැවතුනි. “විනාශකාරී භේදයක්” යයි ඔවුන් සඳහන් කල දෙය වැලැක්වීමේ හා “හතරවන ජාත්‍යන්තරයේ එකමුතු කම” රැකගැනීමේ නාමයෙන්, පැබ්ලෝවාදීන් හා සමගි වී සම්මුතියේ යෙදෙන ලෙස ඔවුහු ජාක ට බල කල හ. එනම්, ට්‍රොට්ස්කිවාදී ක්‍රියාමාර්ගය පෙරලා දැමීම ට හා ඓතිහාසික ව එකමුතු වී තිබුනු ලෝක ට්‍රොට්ස්කිවාදී කේඩරය විනාශ කිරීම ට උත්සාහ දරන්නේ යයි කැනන් නිවැරදි ව චෝදනා නගා තිබුනු අය සමග සමගි වෙමින් සම්මුතියේ නිරත වන ලෙස යි. අවසානයේ, ජාත්‍යන්තර ලේකම් මන්ඩලය ට සිය දේශපාලන සහයෝගය හා කීර්ති නාමය පුද කරමින්, ලසසපය පැබ්ලෝවාදී හතරවන ලෝක සම්මේලනය ට සහභාගි විය.
පැබ්ලෝගේ ස්ටැලින්වාද-ගැති සූත්‍රගත කිරීම් සමග ලසසප නායකයන් ගේ මතභේද කවරක් වුවත් හජාජක විසින් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දේශපාලන පදනම් ඍජු ව ආරක්ෂා කිරීමත් අවස්ථාවාදය ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමත් මගින් ලසසප නායකයන් ව ඉන් ඉවත ට තල්ලු කෙරුනි. හජාජාක විසින් සාධර්මික ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීම ඔවුන්ගේ ම මාධ්‍යමික දේශපාලනය සහ මැතිවරන හා වෘත්තීය සමිති මත ඔවුන්ගේ වඩ වඩා අවස්ථාවාදී වූ නැඹුරුව ඉක්මවා යාමක් බව ඔවුහු නිවැරදි ව අවබෝධ කරගත් හ.
පරදුවට තැබී ඇති ප්‍රශ්නවල බැරෑරුම්කම සහ ලෝක ව්‍යාපාරය කෙරෙහි ඒවා දක්වන දේශපාලනික වගකීම් ගැන ලසසප නායකයන් ඒත්තු ගැන්වීම ට උත්සාහ කරමින් කැනන් සැලකිය යුතු ශක්තියක් වැය කලේ ය. පටිපාටිමය-සංවිධානාත්මක ප්‍රශ්න සෑමවිට ම දේශපාලනික ප්‍රශ්නවල ට වඩා ද්විතීයක බව ප්‍රදර්ශනය කල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ මූලික අත්දැකීම් 1954 පෙබරවාරියේ ලියූ දීර්ඝ ලිපියක් තුල ඔහු විමර්ශනය කලේ ය: “සෑමවිට ම ට්‍රොට්ස්කිවාදීන්ගේ ප්‍රථම උත්සුකය වී ඇත්තේ හා විය යුත්තේ, අපේ මතවාදය ආරක්ෂා කිරීම” බව ඔහු අවධාරනය කලේ ය. තමන්ගේ ම පක්ෂය තුල පමනක් නො ව, සමස්ත ලෝක ව්‍යාපාරය පුරා, ස්ටැලින්වාද-ගැති බලවේගයන්ට හා “ස්ටැලින්වාදී සම්මුතිවාදයේ විවෘත හෝ ආවෘත ප්‍රකාශනයන්ට” විරුද්ධ වෙමින්, ඔවුන්ගේ ජාත්‍යන්තරවාදී වගකීම් සම්පූර්න කරන ලෙස (10) කැනන් ලසසප නායකයන්ට අවධාරනය කලේ ය.
එහි වැඩකටයුතු සංවිධානය කිරීමේ දී හා ගෙන යාමේ දී හතරවන ජාත්‍යන්තරයෙහි මූලෝපාය, ක්‍රියාමාර්ගය හා ප්‍රථම මූලධර්මය වන්නේ නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය බවට, කැනන් ලසසපට ලියූ ලිපිය බලගතු සනාථනයකි.
“ට්‍රොට්ස්කි හා රුසියානු විපාර්ශ්වය වෙත, මීට වසර 25කට පෙර අපි පැමිනෙන විට, අප භාරගත් ඉහල ම කාර්යය හා වගකීම සම්පූර්න කිරීමට අපි දැන් සටන් කරමින් සිටිමු. එනම්, සියල්ලට පලමුවත් සියල්ලට ඉහලිනුත්, ජාත්‍යන්තර සලකා බැලීම් ප්‍රමුඛස්ථානයේ තැබීම යි; එනම්, ජාත්‍යන්තර ව්‍යාපාරයේ හා එහි අනුබද්ධ පක්ෂවල කටයුතු සම්බන්ධයෙන් අපගේ ම තැකීම යි; අපට හැකි සෑම ආකාරයෙන් ම ඔවුන්ට උදවු කිරීම යි; අප සලකා බලන අදහස්වල ප්‍රතිලාභය ඔවුන්ට දෙමින්, අපේ ම ගැටලු විසඳමේ දී, පෙරලා ඔවුන්ගේ උපදෙස් හා මගපෙන්වීම ලබා ගැනීම යි. ජාත්‍යන්තරවාදයේ ප්‍රථම මූලධර්මය වන්නේ ජාත්‍යන්තර සහයෝගීතාව යි. එය විශ්වාස කරන අපි, අපේ විශ්වාසයට අනුව ක්‍රියා කරමින් සිටින්නෙමු” යැයි කැනන් ලිවීය (අවධාරනය මුල් ලිපියේ) (11).
මහජනයා අතර වැඩ කිරීමේ දී හා කම්කරු පන්තිය ට නායකත්වය සම්පාදනය කිරීමේ ඍජු වගකීම භාර ගැනීමේ දී, විප්ලවවාදී පක්ෂයක් මත ක්‍රියාත්මක වන දේශපාලන පීඩනයන් ගැන කැනන් දැනුවත් ව සිටියේ ය. නිසැක අනතුරු ඇඟවීමක් සමගින්, ඔහු ඔහුගේ ලිපිය සමාප්ත කලේ ය:
“ලසසපයට - අන් කවර පක්ෂයකටත් වඩා- ශක්තියේ මූලාශ්‍රයක් වනු ඇති එහි ට්‍රොට්ස්කිවාදී මතවාදය ට සහයෝගය දෙන ජාත්‍යන්තර නායකත්වයක් අවශ්‍ය බව කීමට මම කැමැත්තෙමි. එහි නොනැසී පැවැත්ම හා අවසාන ජයග්‍රහනයට පවතින එක ම කොන්දේසිය මෙය මිස, දියකරහැරීම්වාදය හා කඩාකප්පල් කිරීම අනුයන සංවිධානාත්මක මධ්‍යස්ථානයක් නො වේ”. (12)
ලසසප නායකයන් හරියට ම ප්‍රතික්ෂේප කලේ මෙම ජාත්‍යන්තර සහයෝගිතාවය යි. ඔවුන් හෝ විශේෂයෙන් ම බීඑල්පීඅයි හි හිටපු නායකයන් වූ කොල්වින් ද සිල්වා, ලෙස්ලි ගුනවර්ධන හෝ ඩොරික් ද සූසා වැනි ඔවුන්ගෙන් කොටසක් හජාජාක වටා රැලි වූවා නම්, ලංකාව හා දකුනු ආසියාව තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දේශපාලනික යලි සන්නද්ධ වීමකට කොන්දේසි නිර්මානය කෙරෙනු ඇත.
හතරවන ජාත්‍යන්තරයේ ෙඑතිහාසික ක්‍රියා මාර්ගය ආරක්ෂා කරමින් සිටි හා පැබ්ලෝවාදී අවස්ථාවාදය ට එරෙහි ව සටන් කිරීමට කැප වූ මෙන් ම හජාජාක නායකත්වය දැරූ මෙම බලවේගවල ට ප්‍රතිරෝධය දක්වා ඒවායෙන් බිඳීම නිසා ලසසප වේගයෙන් දකුන ට පැද්දී ගියේ ය. වඩ වඩා අබාධිත ජාතික-අවස්ථාවාදී දේශපාලනයක් එය විසින් අනුගමනය කෙරුනි. කෙටියෙන් කියතොත්, ජාතික ධනේශ්වරය සමග ඍජු දේශපාලන සන්ධාන කරා, එය වඩා විවෘත ව නැඹුරු විය.
මෙය හා මහා පාවාදීම තුල එය කූටප්‍රාප්තියට ලඟාවීම ඉදිරිපත් කිරීමට පෙර, තවත් එක් කරුනක් සඳහන් කිරීම මට අවශ්‍ය ය. 1953 දී ලසසපයෙන් නෙරපා දැමුනු ස්ටැලින්වාද-ගැති කන්ඩායම, එම කාලපරිච්ඡේදය තුල එහි සාමාජිකත්වය තුලින් ඉස්මතු වූ එක ම දක්ෂිනාංශික කන්ඩායම නො වී ය. බීඑල්පීඅයි තුල මූර්තිමත් ව තිබුනු නොනවතින විප්ලවයේ ඉදිරි දර්ශනයෙන් පසුබැසීමේ දී, තීරනාත්මක ක්‍රියා කලාපයක් ඉටුකර තිබීම පිලිබඳව ඔබ යලි මතකයට නගා ගනු ඇති ෆිලිප් ගුනවර්ධන, 1950 දී ලසසපයෙන් බිඳී විප්ලවකාරී ලසසපය තැනූ අතර, එය පසුව මහජන එක්සත් පෙරමුන (මඑපෙ) බවට පත් විය. අබාධිත ව ජාතිකවාදී, පන්ති සම්මුතිවාදී හා වර්ගවාදී දෙමල-විරෝධී දේශපාලනය කරා ඔවුන්ගේ ඇද වැටීමේ දී, විලසසපය හා මඑපෙ පැබ්ලෝවාදී ලසසපයේ විපරිනාමය ම පෙර ඇඟවුම් කලේ ය.
ලසසප හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
කලින් සාකච්ඡා කල පරිදි, 1953 හර්තාලය ට ලසසපය ප්‍රතිචාර දැක්වූයේ විප්ලවවාදී නො ව අවස්ථාවාදී ආකාරයකිනි. සටකපට ධනපති දේශපාලකයෙකු වූ එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බන්ඩාරනායක ට අතෘප්තිය ට පත් ව සිටි සිංහල ගම්බද ජනයා වෙත ආයාචනා කල හැකි දේශපාලන මාවතක් මෙ මගින් සම්පාදනය කලේ ය. 1951 දක්වා ලංකාවේ දක්ෂිනාංශික, අධිරාජ්‍යවාද-ගැති එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ නායක තානාන්තර දරා තිබුනු බන්ඩාරනායක, එහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) යන ඔහුගේම පක්ෂයක් පිහිටුවීම සඳහා ආන්ඩුවෙන් ඉවත් විය.
බන්ඩාරනායක හර්තාලයට එකහෙලා විරුද්ධ වී තිබුන ද එමගින් ඇති කර තිබුනු පන්ති සබඳතාවල පුපුරනසුලු තත්ත්වයට ප්‍රතිචාර ලෙස, ඔහු හා ඔහුගේ ශ්‍රීලනිපය, ව්‍යාජ අධිරාජ්‍ය-විරෝධී හා සමාජවාදී වාගාලාප දුෂ්ට දෙමල-විරෝධී ස්වෝත්තමවාදය සමග කවලම් කරමින් රැඩිකල් මවාපෑමක යෙදුනි.
ශ්‍රීලනිපයේ ධනපති හා ස්වෝත්තමවාදී දේශපාලනය එකහෙලා හෙලිදරවු කරනු වෙනුවට, ලසසපය සිංහල ජනතාවාදයට අනුගත විය. මින් එක් ප්‍රකාශනයක් වූයේ, ශ්‍රීලනිපයේ සම්භවයන්, ක්‍රියා මාර්ගය හා සමාජ පදනම මත පදනම් ව, එම පක්ෂය පිලිබඳ මාක්ස්වාදී පන්ති ඇගයීමක් කිරීමට ලසසපය දැක්වූ විරුද්ධත්වය යි.
විශේෂයෙන් ම, කම්කරු පන්තියේ අවස්ථාවාදී දුර්-නායකත්වයන් හා ඔවුන් නායකත්වය දෙන නිලධාරිවාදී සංවිධානවලට විරුද්ධ ව යුද්ධය දියත් කරමින්, විප්ලවවාදී නිගමන උකහා ගැනීමට කම්කරුවන්ට සහයෝගය දක්වනු වෙනුවට, භාවිතයේ දී ඉන් බැහැර වී විප්ලවවාදී පූච්චානම් යොදා ගන්නා සමාජවාදී සංවිධාන හැඳින්වීම ට පාවිච්චි කරන භාෂිතයක් වන “මාධ්‍යමික” යන්න යොදා ගනිමින් ලසසපය, ශ්‍රීලනිප විස්තර කලේ ය.
ලසසප වෙනත් අවස්ථාවල දී, ශ්‍රීලනිපය 'සුලු ධනේශ්වර පක්ෂයක්' බව හා ඊට සමාන, මුලුමනින්ම වංචනික ප්‍රකාශ උලුප්පා දැක්වූයේ, එහි මැතිවරන පදනම ග්‍රාමීය ජනතාව සහ නාගරික සුලු ධනේශ්වරය අතර පැවතීම යන කාරනය මත ය.
ඇත්ත වශයෙන් ම, ශ්‍රීලනිපය ලංකාවේ ධනේශ්වරයෙන් සැලකිය යුතු සහයෝගයක් දිනා ගත්තේ ය. එසේ වූයේ හේතු දෙකක් නිසා ය. පශ්චාත් යුද උත්පාතයේ කොන්දේසි යටතේ මොස්කෝවේ හා බෙයිජිනයේ ස්ටැලින්වාදී පාලන තන්ත්‍ර සමග උපාමාරු දැමීමට පැවති හැකියාව ගසා කමින්, අධිරාජ්‍යවාදය සමග වඩා හොඳ කේවලයක් ඇති කරගැනීම ට ඔවුන් බලාපොරොත්තු විය. දෙවනු ව, ශ්‍රීලනිපයේ සිංහල ජනතාවාදී වාචාල කතා, තමන්ගේ පන්ති අරමුනුවලට කම්කරු පන්තිය ගැටගසාගෙන, ඔවුන් ව වාර්ගික රේඛා ඔස්සේ බෙදීම ට ප්‍රයෝජනවත් උපකරනයක් ලෙස ධනපතියෝ දැකගත් හ. තෝරාගත් ජනසතුකරනයන් සඳහා කැඳවුම් කිරීමේ දී හා විදේශීය මිලිටරි කඳවුරු වසා දැමීමේ දී, ශ්‍රීලනිපයේ ක්‍රියා මාර්ගය, ඉන්දියාවේ නේරුගේ කොංග්‍රස් පක්ෂය හෝ ඊජිප්තුවේ නසර් පාලන තන්ත්‍රය වෙතින් සැලකිය යුතු ලෙස වෙනස් නො වී ය. යමක් කීමට ඇත්නම් ඒ එය අනෙක්වාට වඩා බියගුලු වූ බව යි.
1956 දී, එනම් හජාජාක අව්‍යාජ ට්‍රොට්ස්කිවාදීන්ගෙන් බිඳී වෙන්වීමෙන් යන්තම් වසර දෙකකට පසු ව, ලසසපය බන්ඩාරනායක හා ඔහුගේ ශ්‍රීලනිපය බලයට පැමිනීමට සහයෝගය දුන්නේ ය. සෑම තැනක ම අවස්ථාවාදීන්ගේ කුප්‍රකට කූටෝපායක් යොදාගත් ලසසපය, කම්කරු පන්තිය පාලක පන්තියේ “ප්‍රගතිශීලී” යයි පෙනී සිටින හා ජනතාවාදී ආයාචනයන් යොදාගන්නා නියෝජිතයන්ට යටත් කරනුවස්, එහි වඩාත් ම විවෘත හා අනුකම්පා විරහිත දේශපාලන නියෝජිතයන්ගෙන් එල්ල වූ තර්ජනය ඉස්මතු කලේය. එක්සත් ජාතික පක්ෂය ෆැසිස්ට් දිශගාවකට විපරිනාමය වෙමින් පැවතුනේය යන පදනම මත, ලසසපය ශ්‍රීලනිපය සමග “නිතරඟ” මැතිවරන ගිවිසුමකට එලැඹුනි.
ශ්‍රීලනිපය හා එහි සගයා වූ ගුනවර්ධන නායකත්වය දුන් විලසසපය ආන්ඩුව පිහිටුවූ විට, ලසසපය එය “ප්‍රතිචාරී සහයෝගය” යනුවෙන් කී මාවත අනුගමනය කලේ ය. එය වනාහි ලසසපය ආන්ඩුවට සමීප සහයෝගය පිරිනැමූ බව ආචාරශීලී ව කීමකට වැඩි දෙයක් නො වේ. මෙම පිලිවෙත සමග ගැලපෙන පරිදි, ව්‍යවස්ථාදායක න්‍යායපත්‍රය කැටිකොට දක්වන ආන්ඩුවේ රාජාසන කතාවට පක්ෂ ව එය ඡන්දය දුන්නේ ය.
ශ්‍රීලනිපය ට සහයෝගය දැක්වීම මගින්, ලසසපය එහි විෂඝෝර වර්ගවාදී දේශපාලනය සධාරනිකරනය කිරීමට උදවු විය. සිංහල බහුතරයේ මව් භාෂාව වන සිංහල, රටෙහි එක ම නිල භාෂාව බවට පත් කරන සිංහල පමනක් පිලිවෙත බන්ඩාරනායකගේ ක්‍රියාමාර්ගයෙ හි මූලික කුලුනක් විය. මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී, ස්වෝත්තමවාදී ප්‍රතිපත්තියට සුලු ධනේශ්වරයේ කොටස් අතර සහය ලැබුනේ එය රාජ්‍ය අංශයේ රැකියා සඳහා ඔවුන්ගේ අවස්ථා වැඩි කරන අතර දෙමල සුලුතරය දෙවන පන්තියේ පුරවැසියන් බවට පත් කරන නිසාත්, එමගින් සිංහල ආධිපත්‍යය තහවුරු කරන නිසාත් ය.
ශ්‍රීලනිප ආන්ඩුවේ “සිංහල පමනක්” පිලිවෙතට ලසසප විරුද්ධ විය. එහෙත්, 1948 දී දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතීන් අහිමි කිරීමේ දී එය ගොඩනගා තිබුනු විරුද්ධත්වය මෙන් මේ අවස්ථාවේ එය විරුද්ධ වූයේ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ හා කම්කරු පන්තියේ එකමුතුව සඳහා වන අරගලයේ ආස්ථානයෙන් නො වේ. ඒ වෙනුවට, ලසසපය සිංහල පමනක් පිලිවෙත හෙලාදැක්කේ, එය “ජාතිය,” එනම් ශ්‍රී ලංකාවේ ධනපති රාජ්‍යය දුර්වල කරන්නේය යන පදනමිනි.
මෙම පසුබැසීම් හා පාවාදීම් වලට පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලයෙන් විරුද්ධත්වයක් එල්ල වුයේ නැත.
මීට විපරීත ව, ජාත්‍යන්තර කමිටුව ලසසපයෙ හි භූමිකාව ගැන හොඳින් ම දැනුවත් ව සිටියේ ය. 1956 දී, ජාක සාමාජිකත්වය ඇතුලත පැබ්ලෝවාදය සමග සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටි අයෙක්, ලසසපය වනාහි ලෝකයේ එක ම “මහජන පදනමක් සහිත ට්‍රොට්ස්කිවාදී පක්ෂය” යයි උද්‍යෝගය පලකල විට, එක්සත් ජනපදෙය් සකප ප්‍රධාන ලේකම් ෆැරල් ඩොබ්ස් නිවැරදි ව ඔහුට දෝෂාරෝපනය කලේ ය.
ලසසපයේ දේශපාලනය “ජාතික අවස්ථාවාදී” බව ඔහු තහවුරු කලේ ය: “ඔවුන්ගේ ම මහජන ව්‍යාපාරයේ ගැටලු සමග පූර්වනියුක්ත වී” සිටින ලසසපය, “හතරවන ජාත්‍යන්තරය තුල අර්බුදය සම්බන්ධයෙන් උනන්දු නැති බවත්, “තනි ව කටයුතු කිරීමට” මනාප වූ බවත් (13) ඔහු වැඩි දුර ප්‍රකාශ කලේ ය.
මාඕ පාලන තන්ත්‍රයේ ආරාධිතයින් ලෙස, ලසසප නියෝජිතයින් චීනයට සංචාරය කල අවස්ථාවේ, සිර භාරයේ සිටි චීන ට්‍රොට්ස්කිවාදීන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින්නැයි කල ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබීම ගැන, 1957 මාර්තුවේ දී සකප පුවත්පත වූ ද මිලිටන්ට් පත්‍රය ලසසපය තියුනු ලෙස විවේචනය කරමින් කතුවැකියක් පල කලේ ය. ඉන් කෙටි කලකට පසු ව, කැනන්ට ලියූ ලිපියක් තුල ජෙරී හීලී මෙසේ සටහන් කලේ ය: “අපේ ලංකා නායකත්වයේ අවස්ථාවාදය පැබ්ලෝ හොඳින් දන්නා අතර ඔහු ඔවුන්ව ඉදිරියට තල්ලු කරමින් සිටින බව ඇත්තයි. මේ කරුන ගැන අප ට නිහඬ ව සිටිය නො හැක. තව ද 1954 පටන් ලසසප නායකයන් සාධර්මික ට්‍රොට්ස්කිවාදී ආස්ථානයෙන් බොහෝ එපිටට ගමන් කර ඇති බව අප සැලකිල්ලට ගත යුතු ය.” (14)
1960 මැතිවරන සහ ලසසප නායකත්වයේ පලමු සභාග උත්සාහයට පැබ්ලෝවාදී ජාත්‍යන්තරයේ ප්‍රතිචාරය
කම්කරු පන්තිය තුල වර්ධනය වෙමින් පැවති විරුද්ධත්වය, දශකයේ අවසාන අවුරුදුවල දී ශ්‍රීලනිප-විලසසප ආන්ඩුවෙන් ඈත් වී සිටීමට ලසසපයට බල කෙරුනි. කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයට විරුද්ධ ව එක් දින මහා වැඩ වර්ජනයක් සංවිධානය කිරීම මෙයට ඇතුලත් විය.
පන්ති අරගලයේ වැඩෙන කොන්දේසි යටතේ සහ ශ්‍රීලනිපය ම සිංහල ස්වෝත්තමවාදය දිරිමත් කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස දෙමල-විරෝධී කැරලි පවතිද්දී, ශ්‍රීලනිපයට සිය අවශ්‍යතා ඉදිරියට දැමීමට පැවති හැකියාව පිලිබඳ ව පාලක පන්තික කොටස් ඔවුන්ගේ පැත්තෙන් උත්සුක වූහ. සිංහල අන්තවාදී බෞද්ධ භික්ෂුවක් 1959 දී බන්ඩාරනායක ඝාතනය කලේ ය.
1960 මාර්තු මැතිවරනය එලඹෙද්දී, කම්කරු පන්තිය තුල වැඩෙන සටන්කාමීත්වයට ප්‍රතිචාර දක්වමින්, ලසසපය “බලය” සඳහා සටන් කිරීමේ සන්දර්ශනයක් දැක්වී ය. එජාප හා ශ්‍රීලනිප යන දෙක ම අපකීර්තියට පත් ව ඇතැයි ප්‍රකාශ කල එය, “සමසමාජවාදී ආන්ඩුවක්” සඳහා උද්ඝෝෂනයක් දියත් කලේ ය.
එහෙත්, පන්ති අරගලය හා නොනවතින විප්ලවයේ ක්‍රියාමාර්ගය මත පදනම් වූ, විප්ලවවාදී මූලෝපායක් කම්කරු පන්තිය ට ඉදිරිපත් කරනු වෙනුවට, මෙම උද්ඝෝෂනය පිලිසිඳ ගැනුනේ මුලුමනින් ම මැතිවරනමය ගනන් බැලීම් මත ය. ශ්‍රී ලංකාවේ ශාඛාව “බලය සඳහා තීරනාත්මක් අරගලයක” නිරත වී සිටින්නේ යයි ප්‍රකාශ කරමින්, ජාත්‍යන්තර ලේකම් මන්ඩලය ලසසපයේ සමාජවාදය කරා පාර්ලිමේන්තු මාවත උද්‍යෝගයෙන් වැලඳ ගත්තේ ය.
ඇත්ත වශයෙන් ම, ලසසපය වඩ වඩා දකුන ට හැරෙන බවත්, ශ්‍රී ලංකාවේ ධනවාදයේ ප්‍රධාන සමාජ මුක්කුව ලෙස කටයුතු කරනු ඇති ප්‍රතිසංස්කරනවාදී පක්ෂයක් බවට පරිවර්තනය වෙමින් පැවති බවත් පෙන්නුම් කරමින්, එහි මැතිවරන වේදිකාව, “සිංහල පමනක්” පිලිවෙතට එය දැක්වූ විරුද්ධත්වය හා දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතීන් කෙරෙහි එහි සහයෝගය දියාරු කලේ ය.
මැතිවරන ප්‍රතිඵල ලසසප අවස්ථාවාදීන්ට කටුක බලාපොරොත්තු කඩවීමක් විය. වඩා වැඩි අපේක්ෂක කන්ඩායමක් ඉදිරිපත් කල ද එය 1956 ට වඩා සැලකිය යුතු ලෙස අඩු ආසන සංඛ්‍යාවක් හා යන්තමින් වැඩි ඡන්ද සංඛ්‍යාවක් පමනක් දිනාගත්තේ ය. බහුතරයකින් තොර පාර්ලිමේන්තුව තුල බහුතරයක් පුරුද්දා ගැනීම සඳහා උත්සාහ දරමින් සිටි ශ්‍රීලනිපය සමග සභාග ආන්ඩුවක ට ඇතුල්වීමේ යෝජනාවක්, වඩාත් ම දක්ෂිනාංශික කොටස්වල නායකයා වූ පෙරේරා, පක්ෂ සම්මේලනයක් තුලින් සම්මත කරමින් එයට ප්‍රතිචාර දැක්වූයේ ය.
1960 ගනන් මුල වන විට ලසසපය අවස්ථාවාදයේ හා පාර්ලිමේන්තුවාදයේ ගැඹුරින් ම ගිලී සිටියේ ය.
ලසසප මධ්‍යම කාරක සභාව පෙරේරාගේ සභාග පිලිවෙත ප්‍රතික්ෂේප කල ද ආන්ඩුවට සම්බන්ධ වීමට එරෙහි ව ඡන්දය දුන් බොහෝ අයගේ මතභේද මුලුමනින් ම උපායාත්මක විය. ස්ථාවර ආන්ඩුවක් පිහිටුවීම ට නො හැකි වූ නිසා, ජූලි මාසයේ දී දෙවන මැතිවරනයක් පැවැත්වීමට සිදු වූ විට, 1956 දී කල පරිදි, ලසසපය ශ්‍රීලනිපය සමග “නිතරඟ” ගිවිසුමකට ඇතුල් වූ අතර, ශ්‍රීලනිපය ජයග්‍රහනය කල විට, ලසසපය ආන්ඩුවේ රාජාසන කතාවට හා පලමු අයවැයට ඡන්දය දුන්නේ ය.
1960 මාර්තුවේ දී, ධනපති ශ්‍රීලනිපය සමග සභාග ආන්ඩුවක් තැනීමට බලය පැවරීම සඳහා පෙරේරා ඉදිරිපත්කල යෝජනාවට පක්ෂ ව ලසසප තර්ක කරන ලද්දේ, පැහැදිලි පැබ්ලෝවාදී භාෂිතයන්ගෙනි. ට්‍රොට්ස්කි ලියූ සියල්ලට විපරීත ව, ශ්‍රීලනිපය වනාහි “ධනපති පක්ෂයකට” මූලික වසයෙන් වෙනස් “සුලු-ධනේශ්වර පක්ෂයක්” යයි එය අවධාරනය කලේ ය. මෙම ව්‍යාජ ආස්ථානය මත පදනම් වෙමින්, එය ඉන්පසු කියාපෑවේ, ආන්ඩුව තුල ශ්‍රීලනිප යේ කනිෂ්ඨ සහකරුවා බවට පත්වීම මගින්, “ප්‍රතිසංස්කරනවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ” තුල පැබ්ලෝවාදීන් ගෙන යමින් සිටි “ඇතුලුවීමට” සමාන රූපාකාරයක් ලසසපය අනුගමනය කරමින් සිටි බව යි.
“බලය පිලිගැනීම මගින් අපි පැහැදිලිව ම ඇතුලුවීම්වාදය තවත් ඉදිරි අවදියක් කරා ගෙනයමින් සිටිමු. නමුත්, මහජනයාගේ මිථ්‍යාවන් දුරුකිරීමට අවශ්‍ය අත්දැකීම හරහා ඔවුන් ගෙනයාම ට ත්, අපේ අව්‍යාජභාවය කෙරෙහි විශ්වාසය නිර්මානය කිරීමටත්, හොඳ ම මාවත මෙය නො වන්නේ ද. අපේ අනුග්‍රහය ලබන නිර්භීත ප්‍රගතිශීලී පියවරයන් කිහිපයක්, වසර ගනනාවක් තිස්සේ අප නිරත වන ප්‍රචාරනයට වැඩි දෙයක් ඉගන ගැනීමට ඔවුන්ට හැකියාව ලබා දෙනු ඇත” යි (15) යෝජනාව වැඩිදුරටත් සඳහන් කලේ ය.
මින් මාස හයකට පසු ව, 1960 සැප්තැම්බරයේ දී, තමන්ගේ ගමන් මාවත් වසන් කරගැනීමේ අරමුන ඇතිව, පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය ලසසපයට දීර්ඝ ලේඛනයක් ලිවී ය. පෙරේරාගේ නායකත්වයෙහි අසීමිත අවස්ථාවාදය පිලිබඳ ව සීමිත විවේචන ඉදිරිපත් කල එය, ඒ අතර ම, ධනපති ශ්‍රීලනිපය සමග එහි උපාමාරු අඛන්ඩ ව කරගෙන යාම සඳහා ලසසපයට දේශපාලන බලපත්‍රයක් දුන්නේ ය. “මහජනයා විප්ලවවාදී දේශපාලනයේ පදනමකින් ධනපති-විරෝධී ව්‍යාපාරයක් දියත් කිරීමට සූදානම් නො වන” විට, “ප්‍රගතිශීලී පියවරයන්” ක්‍රියාත්මක කිරීමේ දී හෝ “ජයග්‍රහන” ආරක්ෂා කරගැනීමේ දී ධනපති ආන්ඩුවක් සමග ඒකාබද්ධ වීමට පැබ්ලෝවාදී නායකත්වය සිය අනුමැතිය දුන්නේ ය. වෙනත් වචනවලින් කියන්නේ නම්, මෙය හරියට ම ලසසපය කරමින් සිටින බවට පෙරේරා කියාපෑ දෙය යි.
“විජිත හෝ අර්ධ-විජිත රටක් තුල, කම්කරු-පන්තික නො වන (මධ්‍යම පන්තික හෝ ධනපති) ආන්ඩුවකට, විප්ලවවාදී පක්ෂයක් විසින් විවේචනාත්මක සහයෝගය දිය හැකි බව අපි පිලිගනිමු” යැයි (16) ප්‍රකාශ කිරීම දක්වා ජාත්‍යන්තර ලේකම් මන්ඩලයේ ලිපිය ඉදිරියට ගියේ ය. මේ අනුව, අවසානයේ යන්තම් අවුරුදු හතරකට පසුව කැබිනට් මන්ඩලයට ඇතුල්වීමට මාවත පාදා දෙමින්, සිය ලංකා ශාඛාවට ශ්‍රීලනිප ආන්ඩුව සමග ඒකාබද්ධ වීම සඳහා පැබ්ලෝවාදී ලෝක නායකත්වය දොර පලල් ව විවෘත කර තැබී ය.
සිංහල ස්වෝත්තමවාදී ශ්‍රීලනිපයට දැක්වූ අවස්ථාවාදී-සභාගවාදී දිශානතියටත්, 1959 දී ආන්ඩුවෙන් ඉවත් වී මඑපෙ ලෙස යලි නම් කරගත් ගුනවර්ධනගේ විලසසප සමග ගෙන ගිය මිත්‍රශීලී සබඳතාවන්ටත් ගැලපෙන පරිදි, දෙමල වැසියන්ට එරෙහි වර්ගවාදී උද්ඝෝෂනයට අනවරත ව අනුගත වූ ලසසපය එම උද්ඝෝෂනයට දුර දිග යන සහන ප්‍රදානය කලේ ය.
සකප පැබ්ලෝවාදීන් සමග යලි එකමුතු වීම හෙලාදකිමින්, 1963 ජුනි මාසයේ එහි ජාතික කමිටුවට හීලි ලියූ ලිපියක් තුල, ස්ටැලින්වාදීන් හා ගුනවර්ධන සමග ලසසප පැවැත්වූ ඒකාබද්ධ මැයි රැලිය උත්කර්ෂයට නංවමින් ද මිලිටන්ට් හි පල කල වාර්තාවක් ගැන ඔහු සිය කර්කශ අවධානය යොමු කලේ ය. රැලියේ වේදිකාවෙන් දෙමල වතු කම්කරුවන්ගේ නියෝජිතයන් ඉවත් කරන ලෙස ගුනවර්ධන කල ඇනවීමට ලසසපය “එහි සදාකාලික ලජ්ජාවට” තුඩු දෙමින් හිස නමා තිබුනු බව හීලි ලීවේ ය. “දෙමල හා සිංහල ජනයාගේ සමාන තත්ත්වය පිලිබඳ ප්‍රශ්නයට සැබෑ හා විශාල සහන දීමට නායකයන් සූදානම් බව, දැන් ලසසපය තුල නිදහසේ පිලිගැනේ. බන්ඩාරනායක මහත්මියගේ ධනපති ආන්ඩුවට සහයෝගය පල කිරීමට ඔවුන් ව මෙහෙයවූ යටත්වීමේ තර්කනය මෙය යි.” (17)
වතු කම්කරුවන් ලෙස සේවය කිරීමට 19 වන ශතවර්ෂය තුල ශ්‍රී ලංකාවට රැගෙන ආ මුතුන්-මිත්තන්ගෙන් පැවත එන දෙමල වැසියන් ලක්ෂ ගනනක් පෙරලා “සිය රටට යැවීම” -සත්‍ය වසයෙන් පිටුවහල් කිරීම- සඳහා ලංකාවේ හා ඉන්දියාවේ ආන්ඩු අතර පැවති සාකච්ඡා සඳහා ලසසපයේ සහයෝගය දීමට, ඉන් කෙටි කලකට පසු එක්සත් ලේකම් මන්ඩලය තම ආශීර්වාදය ලබා දුන්නේය.
වාමාංශික එක්සත් පෙරමුන -හෙවත් මහා පාවාදීම සූදානම් කෙරුනේ කෙසේ ද?
හීලි සඳහන් කරන ලද 1963 කොලඹ මැයි රැලිය, ලසසප, ලංකා කොමියුනිස්ට් පක්ෂය (කොප) හා ගුනවර්ධනගේ මඑපෙ අතර නිල වශයෙන් වාමාංශික එක්සත් පෙරමුන නමින් හඳුන්වන ලද මහජන පෙරමුනු වර්ගයේ සන්ධානයක් නිර්මානය කිරීමේ නව උපාමාරුවකට කරන ලද සූදානමක් විය.
මීට පෙර පැවැත්වූ දේශනය තුල සාකච්ඡා කල පරිදි, පැබ්ලෝවාදී යලි එකමුතුවීමේ සම්මේලනය, ඍජුව ම නොනවතින විප්ලවයේ ක්‍රියාමාර්ගය ප්‍රතික්ෂේප කලේ ය. එය ධනේශ්වර ජාතිකවාදී කියුබානු විප්ලවය ලෝක සමාජවාදය දෙසට නව මාවතක් විවෘත කිරීම ලෙස උත්කර්ෂයට නැංවූ, සුලු-ධනේශ්වරයේ විප්ලවවාදී ධාරිතාවන් ගැන ගුන ගායනා කරමින්, විප්ලවවාදී නිර්ධන පන්තික පක්ෂ සඳහා අවශ්‍යතාව අතහැර දැමීය. “පසුගාමී රටවල් තුල සතුරාගේ දුර්වලත්වය, මොට්ට වූ ආයුධයකින් වුව ද බලයට පත්වීමේ හැකියාව විවෘත කර ඇත.” යි (18) එය ප්‍රකාශ කලේ ය.
මීට ගැලපෙන පරිදි -වඩාත් නිශ්චිත ව කියන්නේ නම් මෙම ඉදිරි දර්ශනයට අනුව- ලසසප-කොප-මඑපෙ සන්ධානයට ද එහි ආශීර්වාදය ලබා දුන්නේ ය. “ව්‍යාපාරය දකුනට යාම වැලැක්වීම හා විකල්ප වමක් දෙසට ගමන් කිරීමට මහජනයාට උදවු කිරීම යන දෙක ම සඳහා” ලසසපය “වාමාංශික එක්සත් පෙරමුනක් පිලිබඳ ප්‍රශ්නය නිවැරදි ව ඉස්මතු කර ඇත” යි පැබ්ලෝවාදී සම්මේලනය අවධාරනය කලේ ය. (19)
ඉන් ටික කලකට පසුව, 1963 අගෝස්තුවේ දී, වාමාංශික එක්සත් පෙරමුන (වාඑපෙ) නිල වසයෙන් ආරම්භ කරන ලදී. වාඑපෙ හි නම මත් රැවටිල්ලක් විය. විප්ලවවාදී පක්ෂයේ දේශපාලන ස්වාධීනත්වයත්, ප්‍රතිවිරුද්ධ ප්‍රවනතා සමග කරන ඕනෑ ම ඒකාබද්ධ ක්‍රියාවක්, සුවිශේෂී ක්ෂනික අරමුනු උදෙසා වන අතර, ක්‍රියාමාර්ග හෝ ධජ කලවම් නො කරගත යුතු බවත් පිලිබඳ නිරන්තරයෙන් අවධාරනය කර තිබුනු ට්‍රොට්ස්කි විසින් විස්තාරනය කරන ලද එක්සත් පෙරමුනු උපාය සමග එයට කිසිදු සම්බන්ධයක් තිබුනේ නැත.
ඒ වෙනුවට, 2014 දී පල කල ලිපි මාලාවක් තුල ශ්‍රී ලංකාවේ සසප විස්තර කල පරිදි, වාමාංශික එක්සත් පෙරමුන “ධනේශ්වරයට, පෞද්ගලික දේපොලට හා රාජ්‍යයට කම්කරු පන්තිය ගැටගැසූ හා එහි ස්වාධීන විප්ලවවාදී ක්‍රියාකාරීත්වය අවරෝධනය කල අවස්ථාවාදී හා ධනපති පක්ෂ සමග පොදු දේශපාලන ක්‍රියාමාර්ගයක පදනම මත 1930 ගනන්වල දී පිහිටුවන ලද ස්ටැලින්වාදී මහජන පෙරමුනු ප්‍රතිනිර්මානය කලේ ය.” (20)
තේ හා රබර් වතු ජනසතු කිරීම් ඇතුලු විවිධාකාර ප්‍රතිසංස්කරන සඳහා වාඑපෙහි කරුනු 16 ක්‍රියාමාර්ගය කැඳවුම් කල ද එය ධනපති දේශපාලනයේ රාමුවෙන් ඔබ්බට කිසිදු ආකාරයකින් ගියේ නැත. එම ක්‍රියාමාර්ගය විසින් ශ්‍රීලනිප ආන්ඩුවේ වර්ගවාදී දෙමල-විරෝධී පිලිවෙත් පිලිගැනීම තුල මෙය නිදර්ශනය කෙරුනි.
වෘත්තීය සමිති- මින් බොහොමයකට ඍජු නායකත්වය සපයන ලද්දේ වාඑපෙ සාමාජික පක්ෂ තුන විසිනි- ඉල්ලීම් 21 වටා සන්ධානයක් තනන ලද්දේ වාමාංශික එක්සත් පෙරමුනේ පදනම මත ය. ඉල්ලීම්-21 සන්ධානයේ ධජය යටතේ, ප්‍රධාන අරගල පුපුරා යාමට නියමිත විය. එහෙත්, වැඩෙන මහජන කම්කරු-පන්තික පුනර්ජීවනය දේශපාලනික ව අපසරනය කිරීමට, වාඑපෙ හා වෘත්තීය සමිති එක්ව වැඩකලේ ය.
වාඑපෙ හරහා ලසසපය හා එහි සගයන් පාර්ලිමේන්තුව තුලත්, ශ්‍රී ලංකාවේ ධනපති දේශපාලනයේ පලල් ක්ෂේත්‍රය තුලත් උපාමාරු දමන අතර වාමාංශික එක්සත් පෙරමුනේ හා ඉල්ලීම්-21 ව්‍යාපාරයේ ඒකාබද්ධ යාන්ත්‍රනයන් හරහා, කම්කරු පන්තිය සටන්කාමී වෘත්තීය සමිති අරගලවලට කොටු කරනු ලැබී ය. ස්ටැලින්වාදීන් සහ ගුනවර්ධන නායකත්වය දුන් වර්ගවාදී මඑපෙ, ලසසපයටත් වඩා ශ්‍රීලනිපය සමග සන්ධානයක් සඳහා යොමු වී සිටි බව, අවධාරනය කිරීම අවශ්‍ය ය. අවධි-දෙකේ විප්ලවය පිලිබඳ ස්ටැලින්වාදී-මෙන්ෂෙවික්වාදී මිථ්‍යා ප්‍රවාදය සමග ගැලපෙන ආකාරයෙන්, ආසියාව, ලතින් ඇමරිකාව, මැද පෙරදිග හා අප්‍රිකාව පුරා සිටි ස්ටැලින්වාදී පක්ෂ, ජාතික ධනේශ්වරයේ “ප්‍රගතිශීලී,” “අධිරාජ්‍ය-විරෝධී” යයි උපකල්පිත කොටසට කම්කරු පන්තිය යටත් කිරීමේ වාචාල අද්වකාත්වරු වූහ
වාමාංශික එක්සත් පෙරමුනට විරුද්ධ වෙමින්, එය සභාගය දෙසට තබන ආරම්භක පියවර ලෙස අනතුරු ඇඟවූ වාමාංශයක් ලසසපය තුල සිටියේ ය. එහෙත්, පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලය, ලසසප නායකත්වය පිලිබඳ විවේචන මර්දනය කලේ ය. එය 1963 යලි එකමුතුවෙන් පසුව, “විනය” ලිහිල් කිරීම සඳහා අපේක්ෂා කරන ලද අවශ්‍යතාව උපුටා දක්වමින් මෙය සාධාරනීකරනය කලේ ය. ලසසප නායකයන්ට “ඔවුන්ගේ ආස්ථානයේ අවංකභාවය ක්‍රියාවෙන් ඔප්පු කිරීමට” අවස්ථාව දිය යුතු ව ඇතැයි එය කියා සිටියේ ය. “ලසසප තුල වාතාවරනය හිතාමතා ගිනියම් කිරීම,” “පක්ෂයේ සමගියට” -එනම්, කර්කශ ජාතික-අවස්ථාවාදී දක්ෂිනාංශයක් විසින් එය මත ආධිපත්‍යය දැරීමට - අනතුරුදායක හා හානිකර වනු ඇත. (21)
ලසසපයේ මහා පාවාදීමට යන්තම් මාස දෙකකට පෙර,1964 අප්‍රේල් මාසයේ දී, ලසසප නායකත්වයට ලිපියක් යැවූ එක්සත් ලේකම් මන්ඩලය වාඑපෙ ට “තවත් කියුබාවක් හෝ ඇල්ජීරියාවක් සම්පාදනය කරමින්, ලොව පුරා විප්ලවවාදී-සිතැති කම්කරුවන්ට වඩා විශාල ආස්වාදයක් බව ඔප්පු කල හැකි වනු ඇත” යි කියමින් වාඑපෙ උත්කර්ෂයට නැංවී ය. (22)
සිය සැමියාගේ ඝාතනයෙන් පසු ශ්‍රීලනිප නායකත්වය භාරගෙන සිටි අගමැතිනි බන්ඩාරනායක මැතිනිය සමග තිරයෙන් පිටුපස සාකච්ඡාවන්ට ඒ වන විටත් පෙරේරා එලැඹී තිබුනි.
1964 මැයි 10දා කතාවක් කල බන්ඩාරනායක, ශ්‍රී ලංකාවේ ධනේශ්වරය මුහුන දෙමින් සිටි තියුනු අර්බුදය විස්තර කරමින්, කම්කරු පන්තිය දනගස්සවා දේශපාලනික ව මර්දනය කිරීම පිනිස ලසසප නායකයන් ආන්ඩුව තුලට ගෙන ආ යුත්තේ ඇයිදැයි ප්‍රකාශ කලා ය. සමහරුන් හිතන්නේ මෙම කරදර (වැඩවර්ජන) පිටුදැකිය හැක්කේ ආඥාදායකත්වයක් පිහිටුවිම මගින් බව ය. තව සමහරු තුවක්කුවෙන් හා බයිනෙත්තුවෙන් කම්කරුවන් වැඩට දක්කිය යුතු බව කියති. ඒ අතර අනෙක් අය මෙම ගැටලුව විසඳීම සඳහා ජාතික ආන්ඩුවක් පිටුවිය යුතු බව කියා සිටිති. මම මේ අදහස් වෙන් වෙන් ව හා ලෝක සිද්ධීන්ගේ සන්දර්භයක තබා සලකා බැලුවෙමි. මගේ නිගමනය , මේ කිසිදු විසඳුමක් යා යුතු තැන ට අප ගෙන යාම සඳහා උපකාරී නොවන බවයි.... එබැවින් මහත්වරුනි, මම කම්කරු පන්තියේ නායකයන්, විශේෂයෙන් ම පිලිප් ගුනවර්ධන සහ එන්.එම්. පෙරේරා යන මහත්වරුන් සමග සාකච්ඡා කිරීමට තීන්දු කලෙමි'. (23)
වාමාංශික එක්සත් පෙරමුනු ආන්ඩුවක් සඳහා පෙනී සිටින හා “අධිරාජ්‍යවාදයට හා ජාතික ධනේශ්වරය ට එරෙහි සම්මුති විරහිත අරගලයේ දීර්ඝ-කාලීන සම්ප්‍රදායට විශ්වාසවන්ත ව සිටින” (24) ලෙස ලසසපට ආයාචනා කරමින්, ධනපති ආන්ඩුවක් තුලට ලසසපයේ ඇතුල්වීමට පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලය ප්‍රතිචාර දැක්වී ය. එක්සත් ලේකම් මන්ඩලය මෙසේ ඉල්ලා සිටියේ, එහි අනුබලය සහිත ව, සිංහල ජනතාවාදයට වසර ගනනක් තිස්සේ අනුගත ව සිටි සහ අධිරාජ්‍යවාදයට හා දක්ෂිනාංශයට එරෙහි ව සටන් කිරීමේ නාමයෙන් ධනපති ශ්‍රීලනිපය සමග යලි යලිත් විවෘත ව සන්ධානගත වුනු පක්ෂයකින් ය.
මහා පාවාදීම
ලසසපය 1964 ජුනි 9දා ආන්ඩුවට නිල වසයෙන් සම්බන්ධ වූ අතර, පෙරේරා මුදල් ඇමති ලෙස නම් කරනු ලබද්දී, තවත් ලසසප නායකයන් දෙදෙනෙකුට කැබිනට් ඇමති තනතුරු ප්‍රදානය කෙරුනි.
ජුනි 6-7 දිනවල ආන්ඩුවට ඇතුල්වීම අනුමත කිරීම සඳහා පැවති පක්ෂ සම්මේලනයක දී, යෝජනා තුනක් ඉදිරිපත් කරනු ලැබිනි: 1) “ජාතික අරගලයකට” නායකත්වය දීම ගැන ශ්‍රීලනිපය උත්කර්ෂයට නැංවූ පෙරේරා නායකත්වය දුන් දක්ෂිනාංශයේ යෝජනාවට ඡන්ද 501ක් ලැබුනි; 2) “ධනවාදයේ රාමුවෙන්” ඔබ්බට යමින් “අර්බුදයට ප්‍රගතිශීලී විසඳුමක්” සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රීලනිපය හා සමස්තයක් ලෙස වාමාංශික එක්සත් පෙරමුන අතර වන සභාග එකඟතාවක් (25) වඩා හොඳ පදනම් සම්පාදනය කරනු ඇතැයි යන්න කියාපාමින්, හිටපු බීඑල්පීඅයි නායකයන් වූ කොල්වින් ආර්. ද සිල්වා සහ ලෙස්ලි ගුනවර්ධන නායකත්වය දුන් ඊනියා “මැද” කන්ඩායම ඉදිරිපත් කල යෝජනාවට ඡන්ද 75ක් ලැබුනි; 3) ශ්‍රීලනිපය සමග වන ඕනෑ ම සභාගයක් එකහෙලා හෙලාදුටු විප්ලවවාදී සුලුතරයේ යෝජනාවට නියෝජිතයින් 159ක් ඡන්දය දුනි. සභාගයක්, 'විවෘත පන්ති සහයෝගිතාව, ජනතාව අවමංගත කිරීම, කම්කරු පන්තිය බෙදීම හා කම්කරු පන්ති ව්‍යාපාරය විනාශ කිරීමට' තුඩු දෙන බවටත්, තමා සටන් කරමින් සිටින බව කියාපාන සභාගයේ අද්වකාත්වරුන්ගේ දක්ෂිනාංශික බලවේගයන් ම ශක්තිමත් කරනු ඇති බවටත්, විප්ලවවාදී සුලුතරය අනතුරු ඇඟවී ය. (26) එම යෝජනාව ප්‍රතික්ෂේප වීම නිසා, සම්මේලනයෙන් ඉවත් වූ ඔවුහු, ලසසප (විප්ලවකාරී) නමින් පක්ෂයක් ආරම්භ කිරීම ප්‍රකාශ කල හ.
ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට ලංකාවේ වර්ධනයන්ගේ ඓතිහාසික වැදගත්කම හඳුනා ගනිමින්, හජාජාක ඒවා සමීප ව හදාරමින් සිටියේ ය. හීලි ලංකාවට පැමිනි නමුත් ඔහු පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයේ සාමාජිකයෙකු නො වීය යන පදනම මත, ලසසප සම්මේලනයට ඇතුලුවීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කෙරුනි. එහෙත්, සභාගයට විරුද්ධ වූ කම්කරුවන් හා තරුනයන් සමග සම්මේලනයෙන් පිටත සිට සාකච්ඡා පැවැත්වීමට හීලි ක්‍රියා කලේ ය. ලසසපයේ හා එක්සත් ලේකම් මන්ඩලයේ සාපරාධී භූමිකාව ජාක විසින් හෙලිදරවු කිරීම, වඩාත් ම වැඩිදියුනු කොටස් අතරට යාම වලක්වනු වස්, ක්ෂනික ව හා දීර්ඝ කාලීන ව පැබ්ලෝවාදීන් දැරූ ප්‍රයත්නයන් අසාර්ථක විය.
මෙම වාර්තාව හඳුන්වා දීමේ දී, මා උපුටා දැක්වූ ප්‍රකාශය, 1964 ජූලි 5දා හජාජාක විසින් නිකුත් කලේ ය. පැබ්ලෝවාදීන් ලංකාව තුල සිදුකල මහා පාවාදීම ජාත්‍යන්තර කම්කරු පන්තිය සඳහා දරන සාරභූත පාඩම්, එම ප්‍රකාශය තුල උකහා ගැනුනි. එම පාවාදීම “හතරවන ජාත්‍යන්තරයෙහි පරිනාමයේ සමස්ත යුගයක අවසාන සලකුනු කරන” බව එය නිගමනය කලේ ය. “ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල සංශෝධනවාදය අත්කරගෙන ඇති ප්‍රකාශනය වන්නේ, අධිරාජ්‍යවාදයට ඍජු ව සේවය කරමින් කම්කරු පන්තියට පරාජයක් සූදානම් කිරීම”. බව ද එය වැඩි දුරටත් සඳහන් කලේ ය.
ඊලඟ ඡේදය වැදගත්කමින් අඩු නො වී ය. එය මෙසේ කියයි:
අධිරාජ්‍යවාදයේ නිලධාරිවාදී හා අවස්ථාවාදී දාසයන්ටත්, ඔවුන්ගේ ආරක්ෂකයන් වන ට්‍රොට්ස්කිවාදයේ හා හතරවන ජාත්‍යන්තරයේ නාමය පැහැරගෙන ඇති සංශෝධනවාදීන්ටත් එරෙහි අරගලයේ දී, සෑම රටක් තුල ම විප්ලවවාදී නිර්ධන-පන්තික පක්ෂ ගොඩනැගීමේ තිරසාර පදනම මත, හතරවන ජාත්‍යන්තරය යලි ගොඩනැගීමේ කර්තව්‍යය භාරගනු ලැබිය යුතු ය. (27)
මීට අමතර ව, ලසසපයේ දේශපාලනික පරිහානිය සහ එය තුල ජාත්‍යන්තර පැබ්ලෝවාදී නායකත්වය ඉටු කර තිබුනු භූමිකාව ඉස්මතු කර දක්වමින්, “ලංකාව: මහා පාවාදීම” මැයෙන් විස්තීර්න විශ්ලේෂනයක් හීලි ලීවේ ය. ලසසප විප්ලවවාදී පාර්ශවයේ අනාගතය “මෙම සබඳතාවත්,” පැබ්ලෝවාදයට එරෙහි හජාජාක අරගලයත් “බැරෑරුම් ලෙස අධ්‍යයනය කිරීම මත ප්‍රධාන වසයෙන් පදනම් වන” බව එය නිරීක්ෂනය කලේ ය. (28)
තම ලංකා ශාඛාව ධනපති ආන්ඩුවකට ඇතුලුවීමට පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලය දැක්වූ ප්‍රතිචාරය, අතිශයින් ම නරුම දෑත් සෝදාගැනීමක් විය. පෙරේරාගේ සභාග යෝජනාවට ඡන්දය දී තිබුනු ලසසප සාමාජිකයන් 501 දෙනා නෙරපා හැරීමට එය ක්‍රියා කලේ ය. ලසසපය ශ්‍රී ලංකාවේ ධනේශ්වරයේ කටයුතු කලමනාකරනය කිරීමේ හා කම්කරු පන්තිය මර්දනය කිරීමේ ඍජු වගකීම භාරගනිද්දී, වාඑපෙ ආන්ඩුවට තොග පිටින් ඇතුල්වීම වෙනුවෙන් පෙනී සිටි හා ලසසපයෙහි කීකරු සාමාජිකයන් ලෙස දිගට ම රැඳී සිටි ඊනියා “මැද” කන්ඩායමට එරෙහි ව, මාස ගනනක් තිස්සේ එය විනය ක්‍රියා මාර්ග ගැනීමෙන් වැලකී සිටියේ ය.
ඒ අතර, හැන්සන් හා සකප නායකත්වය, පක්ෂයේ ජාකට හිතවත් සුලුතරය ලංකාවේ සිද්ධි ද ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සඳහා එහි අර්ථය ද ගැන සාකච්ඡාවක් ඉල්ලා සිටි විට ප්‍රතිචාර දැක්වූයේ සුලුතරයේ සියලු දෙනාගේ සාමාජිකත්වය වහා ම තහනම් කරමිනි.
පැබ්ලෝවාදී අවස්ථාවාදයේ විනාශකාරී ප්‍රතිවිපාක
හජාජාක ශ්‍රී ලංකාවේ ප්‍රධාන ලේකම් ලෙස වසර 35ක් කටයුතු කල විජේ ඩයස් සහෝදරයාට යෝග්‍ය පරිදි උපහාර දක්වමින් මෙම පාසල ආරම්භ විය. 1962 දී විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමෙන් පසුව, ලසසප තරුන සංවිධානය හරහා විජේ දේශපාලන ජීවිතයට ඇතුලු විය. කම්කරු පන්තියේ වර්ධනය වන ව්‍යාපාරයක නායකත්වයේ සිටිමින් එම ව්‍යාපාරයට විප්ලවවාදී-සමාජවාදී දිශානතියක් සම්පාදනය කිරීමට සටන් කරන ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් යයි ඔහු සිතූ පක්ෂයට ඔහු ආකර්ශනය විය. සත්‍ය වසයෙන් ම, ලසසප නායකයන් සූදානම් කරමින් සිටියේ ඓතිහාසික පාවාදීමකි.
වයස අවුරුදු 80 දී සිදු වූ ඔහුගේ අභාවය නිවේදනය කරමින් ජාක නිකුත් කල ප්‍රකාශය මෙසේ සඳහන් කරයි:
නො නවතින විප්ලවයෙහි සමාජවාදී ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගයේ අශමනීය නායකයෙකු වූ විජේ, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන්කරුවෙකු විය. දේශපාලන අවමංගතවීම, ප්‍රතිගාමීත්වය හා ඛේදනීය ලෙස දිවි අහිමිවීම වැනි රූපාකාරයන්ගෙන් ප්‍රකාශයට පත්වූ, මාක්ස්වාදී හා ට්‍රොට්ස්කිවාදී මූලධර්ම අතහැරීමේ හා පාවාදීමේ ප්‍රතිඵල අත්දැක තිබූ බැවින්, එම මූලධර්ම ආරක්ෂා කිරීමේ දී ඔහු අනම්‍ය විය. (29)
ශ්‍රී ලංකාව තුල පැබ්ලෝවාදී පාවාදීම, දිවයිනේ ද සමස්තයක් ලෙස දකුනු ආසියාවේ ද කම්කරුවන්ට හා පීඩිතයින්ට ගොරතර විපාක ගෙන දුනි. අද දින, එනම් දශක හයකට පසුව, ශ්‍රී ලංකාවේ හා දකුනු ආසියාවේ කම්කරු පන්තිය සහ අපේ පක්ෂය තවමත් එහි බලපෑම යටතේ වැඩ කරමින් සිටිති.
පැබ්ලෝවාදී සංශෝධනවාදයටත්, ජාතික අවස්ථාවාදයේ සියලු රූපාකාරයන්ටත් එරෙහි අරගලය තුල පරදුවට තැබී තිබුනේ හා තිබෙන්නේ කවරක් ද යන්නට, පසුගිය දශක හය පුරා ශ්‍රී ලංකාවේ සමස්ත වේදනාකාරී ඉතිහාසය -මරන 100,000කට අධික ප්‍රමානයකට තුඩු දුන් වාර්ගික සිවිල් යුද්ධයක් ද ඇතුලු ව- සාක්ෂි දරයි. දිවයින තුල ධනේශ්වර පාලනයේ ප්‍රධාන සමාජීය මුක්කුව ලෙස ලසසපයේ පරිවර්තනය, සුලු-ධනේශ්වර ජවිපෙහි නැගීමට දොර විවෘත කලේ ය. මාඕවාදයේ, කස්ත්‍රෝවාදයේ හා සිංහල ස්වෝත්තමවාදයේ මිශ්‍රනයක පදනම මත සන්නද්ධ අරගලය දේශනා කිරීම මගින් පරිපීඩිත සිංහල ගම්බද තරුනයන් අතර අනුගාමිකත්වයක් එය විසින් දිනාගත්තේ ය.
ඒ අතර ම, “සිංහල පලමුව” ස්වෝත්තමවාදයේ කප්පිත්තා ලෙස කටයුතු කර තිබූ පක්ෂය සමග ලසසපයේ ප්‍රතිවිප්ලවවාදී සන්ධානය, තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා, විප්ලවවාදී සමාජවාදී නායකත්වය යටතේ, කම්කරු පන්තිය දෙසට නැඹුරු විය හැකි බවට දෙමල මහජනයා අතර තිබූ විශ්වාසය සුනු විසුනු කර දැම්මේ ය. අවසානයේ දී මෙය තුඩුදුන්නේ යාපන අර්ධද්වීපයේ ශිෂ්‍යයන් හා තරුනයන් අතර එල්ටීටීඊ සහ ඒ හා සමාන දෙමල ජාතිකවාදී බෙදුම්වාදී කන්ඩායම්වල ඉස්මතු වීමට ය.
1964 ජුනි මාසයේ ස්ථාපිත කරන ලද ශ්‍රීලනිප-ලසසප සභාග ආන්ඩුව, ඉල්ලීම් 21 වටා රොක්වුනු කම්කරු පන්තියේ නැගිටීම පීලිපැන්නවීමේ එහි ප්‍රධාන කාර්යය ඉටු කිරීමෙන් අනතුරු ව, වැඩි කල් පැවතුනේ නැත.
එහෙත් 1970 දී, ශ්‍රීලනිපය නායකත්වය දුන් දෙවන සභාග ආන්ඩුවේ ප්‍රධාන හවුල්කරුවා වූයේ ලසසපය යි. 1975 දක්වා පෙරේරා මුදල් ඇමති වූ ශ්‍රීලනිප-ලසසප-කොප ආන්ඩුව, කම්කරු පන්තියට හා පීඩිත ජනයාට එරෙහි ව යෝධ ප්‍රහාර එල්ල කලේ ය. එම ආන්ඩුව විසින් 1971 දී, ගම්බද තරුනයන් 15,000ක් මරා දමමින්, ජවිපෙ නායකත්වය දුන් නැගිටීමක් ම්ලේච්ඡ ලෙස මර්දනය කෙරුනි.
ශ්‍රී ලංකාවේ ධනේශ්වර දේශපාලනයේ මර්දනීය මාවත හොඳින් අනුගමනය කල සභාග ආන්ඩුව, දිවයිනේ මූලික නීතිය තුල ප්‍රධාන සිංහල ස්වෝත්තමවාදී මූලධර්ම ඇතුලත් ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරනයක් සමගින් තරුන නැගිටීම ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීම පරිපූර්න කලේය. වරෙක නොනවතින විප්ලවයේ ඉදිරි දර්ශනය බලගතු ලෙස සංගෘහිත කර තිබුනු කොල්වින් ද සිල්වා විසින් කර්තෘත්වය දැරූ මෙම ව්‍යවස්ථාව, දෙමල සුලුතරයේ රැකියා හා අධ්‍යාපන කෝටාවන් වල දී වෙනස්කොට සැලකීමේ වගන්ති ඇතුලත් කරමින්, බුද්ධාගම රාජ්‍ය ආගම බවටත්, සිංහල එක ම නිල භාෂාව බවටත් පත් කලේ ය.
ලසසපයේ මහා පාවාදීමේ බලපෑම දිවයිනෙන් බොහෝ ඔබ්බෙහි රැව් දුන්නේ ය. ලසසපයේ පාවාදීම, ආසියාව හා ලෝකය පුරා වඩ වඩා අපකීර්තිමත් වූ ස්ටැලින්වාදී හා මාඕවාදී පක්ෂවලට දේශපාලනික තල්ලුවක් දුන්නේ ය. චීන-සෝවියට් භේදය, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය ඉන්දු-චීන දේශ සීමා යුද්ධයේ දී ඉන්දියානු ධනේශ්වරයට සහයෝගය දීම සහ එම පක්ෂය පාලක කොංග්‍රස් පක්ෂය සමග සමීප සබඳතා පැවැත්වීම කෙරෙහි එහි සාමාජිකයන් අතර වැඩුනු විරුද්ධත්වයේ ප්‍රතිඵලයක් ලෙස, 1960 ගනන් පුරා, ඉන්දියානු ස්ටැලින්වාදීන් අර්බුදයකින් වෙලා ගනු ලැබී ය. 1964 මහා පාවාදීම තුල කූටප්‍රාප්තියට පත් වුනු ක්‍රියාදාමයක් වන, 1950 ගනන් තුල පැබ්ලෝවාදීන් විසින් දකුනු ආසියාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය දියකර හැරීම නිසා, එකිනෙකා සමග යුද වැදුනු ස්ටැලින්වාදී කන්ඩායම් අනභියෝගී ලෙස සිටිමින්, කම්කරු පන්තිය මත ඔවුන්ගේ දේශපාලනික පාලනය යලි අත්පත් කරගැනීමට සමත් වූ හ. මේ කාලපරිච්ඡේදය තුල ඉදිරියට පැමිනි නැක්සලයිට් ව්‍යාපාරය, තමන්ගේ මාඕවාදී, කම්කරු පන්ති-විරෝධී “දිග්ගැස්සුනු මහජන යුද්ධයේ” ද ධනේශ්වරයේ ප්‍රකට අධිරාජ්‍ය-විරෝධී, වැඩවසම්-විරෝධී පාර්ශවය සමග සන්ධානගත ව ගෙන ගිය “නව ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ” ද දේශපාලනය සාධාරනීකරනය කිරීමට ලසසපයේ පාවාදීමට ඇඟිල්ල දිගු කලේ ය.
විකොස ඉස්මතු වීමට තුඩු දුන් දේශපාලන අරගලය
1964 ජුනි මාසයේ දී හීලී ලංකාවට කල සංචාරය, ගෝලීය කම්කරු පන්තිය සඳහා මහා පාවාදීමේ අර්ථභාරය උකහා ගැනීමට ද, සියල්ලට ඉහලින් හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීම හරහා විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමේ අරගලය සම්බන්ධයෙන් ද ආරම්භක වෙඩි මුරය විය. ලසසපයේ ක්‍රියාවන් විසින් විකර්ෂනය කරන ලද්දා වූ ද පාවාදීම හා කම්කරු පන්තිය දේශපාලනික ව මර්දනය කිරීම විසින් නිෂ්පන්න කරන ලද ව්‍යාකූලත්වය හා අවමංගත වීම මධ්‍යයේ ඉදිරි මාවතක් සොයාගැනීමට පොරබැදුවා වූ ද ලංකාවේ විප්ලවීය මනෝගතික කොටස්වලට පැහැදිලි කම ලබාදීමට කල සටන මෙහි මූලික අංශයක් වූයේ ය. ආරම්භයේ සිට ම හීලි හා හජාජාක විසින් අවධාරනය කල කේන්ද්‍රීය කරුනක් වූයේ, පැරීසියේ සිටි ලෝක පැබ්ලෝවාදී නායකත්වය විසින් පාවාදීම දේශපාලනික ව සූදානම් කල බව යි. 1963 දී සකපය පැබ්ලෝවාදය වෙතට පලායාම විසින් තීව්‍ර කරන ලද්දා වූ ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දීර්ඝ කාලීන අර්බුදයක ප්‍රතිඵලය වූ එය ජයගත හැකි වූයේ පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහි ගෝලීය ප්‍රතිප්‍රහාරයක් හරහා පමනි.
ලසසප (වි) එක්සත් ලේකම් මන්ඩලයෙන් කැඩීම ප්‍රතික්ෂේප කල බැවින් විප්ලවවාදී දේශපාලනයේ ආස්ථානයෙන් ගත් කල එය මල උපත කි. එම පක්ෂයේ පලමු සම්මේලනයේ දී ම, හජාජාක සහයෝගය දුන් අයෙක් විසින් “ජාත්‍යන්තර ප්‍රශ්නය” හෙවත්, පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහි හජාජාක අරගලය හඳුන්වා දෙමින් ඉදිරිපත් කල යෝජනාවක් වැලැක්වීමට, එහි සමස්ත නායකත්වය ම ඒකාබද්ධ විය.
බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන්ගේ ආනුභාවය හා මග පෙන්වීම යටතේ, ලසසප (වි) දේශපාලන කක්ෂයෙන් ද ලසසප හා ස්ටැලින්වාදී නායකයන්ට පීඩනය යෙදීමේ එහි දිශානතියෙන් ද බිඳී, පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහි හජාජාක අරගලයේ පාඩම්වල පදනම මත ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ නව විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේ කර්තව්‍යය භාරගත් අත්‍යසාමාන්‍ය තරුනයන් කන්ඩායමක් දේශපාලන අරගලයේ හා වෙන්වීමේ ක්‍රියා දාමය, ශ්‍රී ලංකාවේ සසප හි ඓතිහාසික හා දේශපාලන පදනම් ලේඛනය තුල දීර්ඝ ලෙස සාකච්ඡා කරයි. 1968 ජුනි මාසයේ පැවැත්වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගයේ (විකොස) ආරම්භක සම්මේලනයේ දී, එහි ප්‍රධාන ලේකම් ධූරයට තෝරාගනු ලබන විට 19 හැවිරිදි වූ කීර්ති බාලසූරිය සහ විජේ ඩයස් මොවුන් අතර ප්‍රධාන වූ හ.
විකොස ආරම්භක සම්මේලනයේ දී උත්සුක වූ මූලික කාරනයක් වූයේ, ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයේ අඛන්ඩතාව යි. ශ්‍රී ලංකාවේ සසප විස්තර කර ඇති පරිදි, විකොස ආරම්භක සම්මේලනය “ලසසප, ලසසප (වි) හා ශක්ති (බොහෝ විකොස නායකයන් සම්බන්ධ වුනු වාමාංශික කන්ඩායමක්) කන්ඩායම තුලින් තම ඉතිහාසය සලකුනු කර ගත් ශ්‍රී ලංකාවේ විප්ලවවාදී ප්‍රවාහයක් ජාත්‍යන්තර කමිටුව සමග ඇති කර ගත් එකතුවක් ලෙස එම සමුලුව දැකගත් ප්‍රවනතාවකට” (30 -සිංහල 99 පිටුව) කීර්ති සහෝදරයා විරුද්ධ විය.
පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහි හජාජාක අරගලය හතරවන ජාත්‍යන්තරයේ අඛන්ඩතාව තහවුරු කර ඇති බවත්, නිර්ධන පන්ති නායකත්වයේ අර්බුදය විසඳීමේ දී එහි පාඩම් තීරනාත්මක බවත් යන අවබෝධය මත පදනම් ව හජාජාක සමග අනුබද්ධ වීමේ යෝජනාවක් සම්මේලනය විසින් ඒකමතික ව සම්මත කලේ ය. “මෙම සමුලුව සියලු වර්ගයේ සංශෝධනවාදයන්ට එරෙහි අශමනීය අරගලයක් තුලින් ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ලෙස ලංකාවේ කම්කරු පන්ති විප්ලවයේ පක්ෂය ගොඩ නැගීමේ කර්තව්‍යයට පූර්න ලෙසින් කැප වෙයි. මෙම කර්තව්‍යය, හැකි උපරිම දුරටත් සෑම තැනක දී ත්, සෑම අවස්ථාවන්හි දී ත් පන්ති අරගලය තුල ක්‍රියාත්මක ව මැදිහත් වීම සමග නො වෙන් කල හැකි පරිදි බැඳී තිබෙන බව ද එය ප්‍රකාශ කර සිටියි” යි (31) යනුවෙන් යෝජනාව තුල අවධාරනය කෙරුනි.
හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික ක්‍රියා මාර්ගය ආරක්ෂා කිරීමේ හා වර්ධනය කිරීමේ හජාජාක අරගලයේ පාඩම් සමීකරනය කරගැනීමේ සටනක් මත තමන් ම පදනම් වූ හෙයින්, නොනවතින විප්ලවයේ ක්‍රියා මාර්ගයෙන් කවර හෝ පසුබැසීමක් කෙරෙහි විකොස නායකත්වය සහ විශේෂයෙන් ම කීර්ති සහෝදරයා තියුනු ලෙස සංවේදී විය. මෙම දේශනයේ පරිමානයෙන් ඔබ්බට යන්නේ වුව ද විකොස ආරම්භ කිරීමට පෙර පවා, බන්ඩා විසින් මාඕවාදී “සන්නද්ධ අරගලය” උත්කර්ෂයට නැංවීම ගැන මෙම නායකත්වය ප්‍රශ්න කර තිබුනි. නව දිල්ලිය මැදිහත් වෙමින් සිටියේ, බංග්ලාදේශයේ විමුක්ති අරගලයට සහයෝගය දීමට බවට ඉන්දිරා ගාන්ධි කල නරුම කියාපෑම් පිලිගැනීමක පදනම මත, හජාජාක නාමයෙන් එස්එල්එල් ඉදිරියට දමා තිබුනු, පකිස්තානයට එරෙහි 1971 දෙසැම්බර් ඉන්දියානු යුද්ධයට “විවේචනාත්මක සහයෝගය” දීමේ ආස්ථානය ආපසු හැරවීම සඳහා 1971 දී විකොස උත්සාහ දරා තිබුනි. එහෙත්, එස්එල්එල් තුල වැඩෙන අර්බුදයේ සංඥාවක් පෙන්නුම් කරමින්, විකොස විවේචන මර්දනය කරන ලද අතර එය ජාක තුල කිසිදා සාකච්ඡාවට නොගැනුනි.
පැබ්ලෝවාදය, මහා පාවාදීම සහ එක්සත් ජනපදය තුල ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලය
මීට පෙර සටහන් කල පරිදි, පැබ්ලෝවාදී ලසසපය ලංකාවේ ධනපති ආන්ඩුවට ඇතුලුවීමට හරියට ම වසරකට පෙර, සමාජවාදී කම්කරු පක්ෂය ඊනියා එක්සත් ලේකම් මන්ඩලය පිහිටුවමින් පැබ්ලෝවාදීන් සමග යලි එකමුතුවීමට ඡන්දය දුන්නේ ය.
යලි එකමුතුවීම විධිමත් කර ක්‍රියාවට දැමූ පැබ්ලෝවාදී ලෝක සම්මේලනයට යන්තම් දින කිහිපයකට පෙර පවත්වන ලද, 1963 ජුනි සකප සම්මේලනයේ දී, ජාක සමග සහයෝගී ව එහි දේශපාලන මග පෙන්වීම හා විනය යටතේ ක්‍රියා කල, ටිම් වුල්ෆර්ත් විසින් නායකත්වය දුන් සුලුතරයක් යලි එකමුතු වීමට විරුද්ධ ව ඡන්දය දුන්නේ ය.
අර්ථභාරී ලෙස ම, හජාජාකට දේශපාලනික ව හිතවත් යයි කියාපෑ හා පසුව ස්පාටසිස්ට් ලීගය පිහිටු වූ ජේම්ස් රොබට්සන් නායකත්වය දුන් සුලුතරයක් ඡන්දය දීමෙන් වැලකුනේ ය. රොබට්සන් කන්ඩායම සකප නායකත්වය සමග පැවති සකලාකාර මතභේද කියාපෑවේ ය. එහෙත්, ඊට පෙර වසර දෙකහමාර පුරා ගොරතර දේශපාලන ගැටුමකට විෂයය වූ ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මුහුන පෑ කේන්ද්‍රීය ප්‍රශ්නයේ දී, රොබට්සන් කන්ඩායම හජාජාක ට පක්ෂ වීම ප්‍රතික්ෂේප කලේ ය. “පැබ්ලෝගේ සංශෝධනවාදය හා සාධර්මික ට්‍රොට්ස්කිවාදය අතර බෙදුම් කඩන කොතරම් ගැඹුරු දැයි කිවහොත්, දේශපාලනික ව හෝ සංවිධානාත්මක ව කිසිදු සම්මුතියක් ඇති කර ගැනුමට පුලූවන් කමක් නැතැ” යි, හජාජාක පිහිටු වීම ට ආරම්භකත්වය ගනිමින් කැනන් ප්‍රකාශ කර තිබුනි. (32)
ඉන් අවුරුදු දහයකට පසුව, විශේෂයෙන් ම සකපයේ හා ජාත්‍යන්තර ලේකම් මන්ඩලයේ කියුබානු විප්ලවය පිලිබඳ පොදු තක්සේරුව වැනි පසුකාලීන සිද්ධීන් විසින්, 1953 භේදයට තුඩු දුන් මතභේද අභිබවා ගොස් ඇතැයි යන කාරනාවේ දී සකප නායකත්වය සමග එකඟ වන්නේ ද නැද්ද යන්නත්, “යලි එකමුතුව” සමගින් ඉදිරියට යනු පිනිස1953 සියලු සකච්ඡාවන් මර්දනය කල යුතු ද යන්නත්, ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටි විට, රොබට්සන් කන්ඩායම ඡන්දය දීමෙන් වැලකුනේ ය.
සකපය ජාක වෙතින් බිඳී පැබ්ලෝවාදීන් සමග යලි එකමුතු වීමෙන් පසුව, බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන්ගේ ඉල්ලීම මත ජාකට හිතවත් සුලුතරය සකපය තුල රැඳී සිටියේ ය. ලෝක විප්ලවවාදී ඉදිරි දර්ශන හා හතරවන ජාත්‍යන්තරය ගොඩ නැගීම හා විප්ලවවාදී නයකත්වයේ අර්බුදය විසඳීමේ සටන සම්බන්ධ කේන්ද්‍රීය ප්‍රශ්න පිලිබඳ ව සකප ඇතුලත දේශපාලන පැහැදිලි කම සඳහා සටන අඛන්ඩ ව ගෙන යනු පිනිස එසේ කරන ලදී. මෙය දේශපාලනික වශයෙන් අනුමත කිරීමට හෝ යලි එකමුතු වීමට සහභාගී වීමට වඩා බෙහෙවින් වෙනස් නිවැරදි තීරනයක් විය. එක්සත් ජනපදය තුල ට්‍රොට්ස්කිවාදයේ ඓතිහාසික පක්ෂය වූ සකප, සුලු-ධනේශ්වර රැඩිකල්වාදය තුල දියකර හැරෙමින් පැවතියා වූ ද යලි එකමුතුවට එරෙහි ජාක අරගලයේ තීරනාත්මක අර්ථභාරය සිද්ධීන් විසින් සනාථ කරනු හා පැහැදිලි කරනු ඇතැයි යන ඒත්තු ගැනීමේ ද කොන්දේසි යටතේ ජාක ආධාරකරුවන් මුහුන දෙමින් සිටි කේන්ද්‍රීය කර්තව්‍යය පිලිබඳ නිවැරදි තක්සේරුවකින් එය උපත ලැබුවේ ය.
ද්විතීයික කරුනක් වුව ද 1953 භේදය ගැන සාකච්ඡාවක් නොපැවතිය යුතු බව වඩාත් ම අවධාරනය කලේ සකප නායකත්වය බව ද සටහන් කරනු ලැබිය යුතු ය. එයට හේතු වූයේ, ට්‍රොට්ස්කිවාදයේ ඓතිහාසික ක්‍රියා මාර්ගය හා මූලධර්ම සඳහා අරගලයේ ආස්ථානයෙන් ගත් විට, සකපට තමන්ගේ ම ගමන් මාවත විස්තර කල නො හැකි වීම යි. ඒ වෙනුවට, එය 1953 පිලිබඳ සියලු සාකච්ඡාවන් මර්දනය කලේ ය. ඒ අතරම, සකප දශකයකට පෙර ජාත්‍යන්තර කමිටුව පිහිටුවීමට මුලපිරීමේදී නිවැරදි වූ නමුත් එතැන් සිට පැබ්ලෝවාදීන් එහි (ජාක) ආස්ථානයන්ට සේන්දු වූ බව එය සාවද්‍ය ලෙස අවධාරනය කලේය. මැන්ඩල් හා ඔහුගේ ආධාරකරුවෝ මෙය එකහෙලා ප්‍රතික්ෂේප කල හ.
සකප තුල දිගට ම රැඳී සිටීම හේතුවෙන්, ජාකට හිතවත් සුලුතරය සකප නායකත්වයේ කන්ඩායමික ව අභිප්‍රේරනය කරන ලද උපාමාරුවලට යටත් කෙරුනු බවත්, ප්‍රසිද්ධ පක්ෂ වැඩවල දී සමහර අවස්ථාවන් අතහැර දැමීමට එයට බලකෙරුනු බවත් අදහස් කෙරුනි. එහෙත් වුල්ෆර්ත් නායකත්වය දුන් සුලුතරය එසේ කලේ, සකප කේඩරයට හා ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට ජාක අරගලයේ දී සිය භූමිකාවේ වැදගත්කම පැහැදිලි කල හැකි යයි එය හඳුනාගත් බැවිනි.
එක්සත් ලේකම් මන්ඩලයේ නිල ශාඛාව දිවයිනේ ධනේශ්වර ආන්ඩුවට ඇතුලුවීම ඇතුලු ලංකාවේ සිද්ධීන්, සත්‍ය වසයෙන් ම තවත් කරුනක් විය. මේ දේශනය පෙන්වා දී ඇති පරිදි, එය වනාහි, මුලුමනින් ම පැරීසියේ ජාත්‍යන්තර පැබ්ලෝවාදී නායකත්වයේ හස්තයෙන් සිදු කල හා සකප උදව්කර තිබුනු ඓතිහාසික පාවාදීමක් විය.
වුල්ෆර්ත් නායකත්වය දුන් ජාකට හිතවත් සුලුතරය එයට මූලධර්මාත්මක ආකාරයකින් ප්‍රතිචාර දැක්වී ය. ලසසප ඓතිහාසික පාවාදීමත්, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සඳහා එහි අර්ථයත් පිලිබඳ ව, අභ්‍යන්තර පක්ෂ සාකච්ඡාවක් සුලුතරය ඉල්ලා සිටියේ ය. එවන් සාකච්ඡාවක් හදිසියේ අවශ්‍ය වන්නේ මන්දැයි පැහැදිලි කරමින්, එය 1964 ජුනි 30දා පක්ෂයේ සාමාජිකත්වය අතර බෙදා හැරි මුද්‍රිත ප්‍රකාශයක් නිකුත් කලේ ය. මේ “අපරාධය” හේතුවෙන්, ඉන් දින 10 කට පසුව, වුල්ෆර්ත්, ෆ්‍රෙඩ් මාසෙලිස් හා අනෙකුත් හත්දෙනාගේ සකප සාමාජිකත්වය අත්හිටුවනු ලැබී ය.
සුලුතරය නිකුත් කල ප්‍රකාශය යම් ආකාරයකින් දීර්ඝ ලෙස උපුටා දැක්වීම යෝග්‍ය ය. එයින් කොටසක් මෙසේ ය:
“ක්‍රියාත්මක වශයෙන් යලි එකමුතු වීමට පූර්වයෙන් පූර්න දේශපාලන සාකච්ඡාවක් නොමැති ව හතරවන ජාත්‍යන්තරය යලි එකමුතු කලොත් එය ජාත්‍යන්තර ව්‍යාපාරයෙහි ද මෙහි තිබෙන පක්ෂයෙහි ද විනාශයට හා තවදුරටත් විසිර යාමට පමනක් ම තුඩු දෙනු ඇතැයි 1961හි සිට 1963 දක්වා මුලුමහත් කාල පරිච්චේදය තුල ජාත්‍යන්තර කමිටුව සමග දේශපාලනික සහයෝගිතාවෙන් යුතු ව අපි නැවත නැවතත් කියා සිටියෙමු. අපේ ආස්ථානයෙහි යුක්තියුක්ත භාවය මුලුමනින් ම සනාථ කෙරී ඇත ...
අපගේ පක්ෂයත් එය වර්තමානයෙහි දේශපාලනික සහයෝගිතාවෙන් සම්බන්ධ ව තිබෙන ජාත්‍යන්තර සංස්ථානයත් ඉරා දමන දේශපාලන, න්‍යායික හා ක්‍රමවේදීය අර්බුදයට මුහුනදීමට සිදුවනබව තව දුරටත් ප්‍රතික්ෂේප කල නොහැක. පක්ෂයෙහි පැවැත්ම උදෙසාමත් මෙම ප්‍රශ්න පිලිබඳ ව පූර්න සාකච්ඡාවක් සියලුම ශාඛාවල ක්ෂනික ව ම සංවිධානය කල යුතු ය.
පූර්ව-සම්මේලන කාලපරිච්ඡේද අතරෙහි එබඳු සාකච්ඡාවක් අත්‍යසාමාන්‍ය පියවරක් වන බව අපි ඉතා හොඳින් දනිමු. අප එබඳු සාකච්ඡාවක් ඉල්ලා සිටින්නේ නිශ්චය වශයෙන් ම අප අතිශයින් ම අත්‍යසාමාන්‍ය ආකාරයක අර්බුදයකට මුහුන දෙන හෙයිනි. ලෙනින්වාදීහු කිසිවිටක සංවිධානාත්මක ප්‍රශ්න සම්බන්ධයෙන් අර්චනවාදී නො වෙත්. ව්‍යාපාරයෙහි දේශපාලනමය අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ඔවුහු කැමැත්තෙන් ම සංවිධානාත්මක රූපාකාරයන්හි වෙනස්කම් ඇති කර ගනිත්. පක්ෂයට කිරීමට වැදගත් බාහිර කටයුතු ඇති කාලපරිච්ඡේදයක වඳ සාකච්ඡාවක් වගාදිගා කිරීම බොල්ශෙවික් පක්ෂයට විරුද්ධ සාපරාධී ක්‍රියාවකි. පක්ෂයත් ජාත්‍යන්තර ව්‍යාපාරයත් ගැඹුරු දේශපාලනික අර්බුදයකින් සී සී කඩ ව යන විට සාකච්ඡාවක් සංවිධානය නො කිරීම ද අඩුගනනේ එපමනට ම සාපරාධී ක්‍රියාවක් වෙයි. පක්ෂයෙහි පැවැත්මටම අත්‍යවශ්‍ය වන සන්තතියකට ප්‍රතිපක්ෂව පක්ෂය ගොඩනැංවීමේ හදිසි හා අත්‍යවශ්‍ය කටයුතු පිහිටුවන අය කිසි ම අර්ථයකින් ලෙනින්වාදීහු නොවෙත්”. (අවධාරනය මුල් කෘතියේ) (33)
ජාකට හිතවත් සුලුතරයේ සාමාජිකයන්, ඔවුන් ගේ සාමාජිකත්වය අත්හිටුවීමට ප්‍රතිචාර දැක්වූයේ, හතරවන ජාත්‍යන්තරය සඳහා ඇමරිකානු කමිටුව (ඒසීඑෆ්අයි) පිහිටුවමිනි. මේ අනුව, දැන් පැබ්ලෝවාදී වන සකපයෙන් එහි බිඳීම සිදු වූයේ අතිමූලික ජාත්‍යන්තර හා ඓතිහාසික ප්‍රශ්න අරබයා ය.
මෙය අහම්බයක් හෝ ආනුෂංගික හෝ නො වී ය. යලි එකමුතුවට එරෙහි සටනට ජාක හි ප්‍රවිෂ්ටයෙන් හා එම පදනම මත වුල්ෆර්ත් නායකත්වය දුන් එහි සුලුතරය සමග එය සුරක්ෂිත කරගත් එකඟතාවෙන් එය පැන නැගුනි.
එක්සත් ජනපද සසපයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් ලියවිල්ල අවධාරනය කරන පරිදි:
මෙම ප්‍රවනතාවේ ඉමහත් ශක්තිය වූයේ, එස්ඩබ්ලිව්පී හි දේශපාලන අර්බුදයට ප්‍රවිෂ්ට විය යුත්තේ එය ජාත්‍යන්තර ගැටලුවක් ලෙස ගනිමින්‍ය යන වැටහීම ඊට තිබීමයි. එබැවින් එස්ඩබ්ලිව්පීය තුල අරගලය, එක් හෝ තවත් දේශපාලන ප්‍රශ්නයක් පිලිබඳ සාකච්ඡාවකින් උපායික වාසි ලබාගැනීමේ දෘෂ්ටි ආස්ථානය මත ගෙන යා නොහැකි ය. ඒ වෙනුවට සාකච්ඡාවේ මූලික එල්ලය විය යුත්තේ හතරවන ජාත්‍යන්තරයේ විප්ලවවාදී ඉදිරිදර්ශනයෙහි ප්‍රමුඛ ගැටලු පිලිබඳ දේශපාලන හා න්‍යායික පැහැදිලිකම ඇතිකර ගැනීම යි. (34 -සිංහල 123)
මෙහි දී යලි වතාවක් රොබට්සන් කන්ඩායම සමග මූලික මතභේදයක් තිබුනි. ආරම්භයේ දී, රොබට්සන් හා ඔහුගේ ආධාරකරුවෝ, ජාකට සහයෝගය ප්‍රකාශ කල වුල්ෆර්ත්, මාසෙලිස් හා අනෙක් අය සමග තනි සුලුතරයක කොටස්කරුවෝ වූ හ. එහෙත් ජාක “නිලධාරිවාදී මධ්‍යගතවාදී” යැයි නින්දාවට ලක්කරමින්, එහි විනය යටතේ වැඩ කිරීම ඔවුහු ප්‍රතික්ෂේප කල හ. මෙහි ප්‍රතිඵලය ලෙස, සකප ඇතුලත සිටි ජාකට හිතවත් සුලුතරය 1962 මුල දී නිරන්තරව ප්‍රතිසංවිධානය කිරීමට සිදු විය.
දේශපාලන මූලධර්මයේ අතිශයින් ම වැදගත් ප්‍රශ්න මත සකපයෙන් නෙරපා දැමූ ජාක ආධාරකරුවන්ගෙන් කැපී පෙනෙන ලෙස වෙනස් ව, රොබට්සන් කන්ඩායම 1963 පසු භාගයේ සකපයෙන් නෙරපන ලද්දේ, බාහිර හෝ ප්‍රසිද්ධ වැඩ හරහා එහි කන්ඩායම ගොඩනැගීමේ අවස්ථාවන් ලෙස සකප අවබෝධ කරගත් පක්ෂ විනය උල්ලංඝනය කිරීම නිසා ය. ඇමරිකානු විප්ලවයේ කේන්ද්‍රීය ගැටලුව ලෙස රොබට්සන් කන්ඩායම විසින් සැලකූ, වාර්ගික වෙනස්කම් කිරීමට හා අප්‍රිකානු-ඇමරිකානු සුලුතරය පීඩනයට ලක්කිරීමට එරෙහි සටන සම්බන්ධයෙන් සකපයේ ආස්ථානය මූලික ප්‍රශ්නය වෙතැයි යන අදහස සමග මෙය බැඳී තිබුනි.
එතෙකුදු වුවත්, ඒසීඑෆ්අයි ස්ථාපිත කිරීමෙන් අනතුරු ව, දැන් ස්පාටසිස්ට් යයි හඳුන්වන රොබට්සන් කන්ඩායම, ජාක සමග දේශපාලනික සහයෝගයෙන් සිටින්නේ යයි අඛන්ඩ ව කියාපෑ කොන්දේසි යටතේ, මූලධර්මාත්මක ඒකාබද්ධ කිරීමක් සඳහා වැඩකරන ලෙස, එක්සත් ජනපදය තුල ජාකට හිතවත් යයි ස්වයං-ප්‍රකාශිත ප්‍රවනතා දෙක දිරිමත් කිරීම මගින්, හීලි හා බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීහු එම කියාපෑම පරීක්ෂා කිරීමට උත්සාහ දැරූ හ. එහි ප්‍රතිඵලයක් ලෙස, හජාජාක 1966 සම්මේලනයට සහභාගි වන ලෙස ස්පාටසිස්ට් කන්ඩායමට ආරාධනාවක් යවන ලදී.
සම්මේලනයේ විනය උල්ලංඝනය කල රොබට්සන්ගේ ප්‍රකෝපකාරී හැසිරීම ගැන සමහර සහෝදරවරුන්ට නිසැකයෙන් ම මතක ඇත. රොබට්සන් කන්ඩායමේ පැරනි ක්‍රියාවන් සමග මුලුමනින් ම ගැලපුනු මෙය, රොබට්සන් වටා රොක් වී සිටි සුලු-ධනේශ්වර ජාතිකවාදී කන්ඩායමක් ලෙස එහි දේශපාලනික ලක්ෂන ප්‍රදර්ශනය කිරීමට සේවය කලේ ය.
මෙය තරම් ම වැදගත් වූ, ඊටත් වඩා මූලික ප්‍රශ්නයක් වූයේ, ලසසපයේ 1964 මහා පාවාදීමේ මූලයන් හා එහි ලෝක-ඓතිහාසික අර්ථභාරයේ වැදගත් මූලිකාංගයක් වූ, පැබ්ලෝවාදී අවස්ථාවාදයේ ප්‍රතිවිප්ලවවාදී භූමිකාව පිලිබඳ ජාක තක්සේරුවට, රොබට්සන් හා ස්පාටසිස්ට්වාදීන් දැක්වූ විරුද්ධත්වය යි.
1966 අප්‍රේල් මාසයේ දී, එනම් බන්ඩාරනායක මැතිනිය ම විස්තර කර තිබුනු පරිදි ධනේශ්වරය ගලවා ගැනීම සඳහා එක්සත් ලේකම් මන්ඩලයේ ලංකා ශාඛාව ආන්ඩුවට කැඳවනු ලැබීමෙන් වසර දෙකක් ගතවන්නටත් මත්තෙන්, පැබ්ලෝවාදයේ ප්‍රතිවිප්ලවවාදී භූමිකාව පිලිබඳ හජාජාක තක්සේරුවටත් එයට එරෙහි අරගලයේ හදිසිභාවයටත් අභියෝග කරනු වස්, ජාක තුන්වන සම්මේලනයේ වේදිකාව යොදා ගැනීමට රොබට්සන් කටයුතු කලේ ය.
ස්ටැලින්වාදයට සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයටත්, අධිරාජ්‍යවාදය විසින් ඓතිහාසික ව පීඩනයට ලක්කල රටවල් තුල ජාතික ධනේශ්වරයටත් මුක්කුව දීමට සේවය කල පැබ්ලෝවාදී සංශෝධනවාදීන් මත ලෝක අධිරාජ්‍යවාදය වඩ වඩා රඳා සිටීය යන ජාක අවධාරනය රොබට්සන්ගේ සුවිශේෂී ප්‍රශ්න කිරීමට බඳුන් විය. ස්පාටසිස්ට් ගුරා මෙසේ ප්‍රකාශ කලේ ය: “ධනවාදයේ වත්මන් අර්බුදය එතරම්මැ තියුනු හා ගැඹුරු වන බැවින්, කම්කරුවන් හීලෑකිරීම සඳහා පරිහානිගත වූ දෙවන හා තුන්වන ජාත්‍යන්තරවලට සමාන ආකාරයකින් ට්‍රොට්ස්කිවාදය සංශෝධනය කරන්නන්ගේ උදව් අවශ්‍ය ව ඇතැයි යන මතිය අපගේ අවධානයට ලක් විය. එවන් දෝෂසහගත ඇගැයුමක ආරම්භක ලක්ෂ්‍යය වන්නේ අපගේ වත්මන් වැදගත්කම පිලිබඳ ඉමහත් අධිතක්සේරුවක් වන හෙයින් එය නො මග යවනසුලු වේ.” (35 -සිංහල 127)
එක්සත් ජනපද සසප ආරම්භක ලියවිල්ල නිරීක්ෂනය කරන පරිදි:
“මාක්ස්වාදය සුලු-ධනපති රැඩිකල්වාදයෙන්, න්‍යායික ව හා දේශපාලනික ව වෙන්කරලන්නා වූ සියලු දෙය ම මේ ප්‍රකාශය තුල සාරාංශගත ව ඇත. මෙහි දී හතරවන ජාත්‍යන්තරය තුල ඝට්ටනයේ වෛෂයික සමාජ හා දේශපාලන වැදගත්කම, සාරභූත වශයෙන්, රොබට්සන්ගේ හෙලාදැකීමට ලක්වෙයි. සංශෝධනවාදයට එරෙහි ව බොල්ශෙවික් පක්ෂය ගොඩනැගීමේ ලෙනින්ගේ අරගලයෙහි ද පසුව ස්ටැලින්වාදයට හා මාධ්‍යමිකවාදයේ විවිධ රූපාකාරයන්ට එරෙහි ට්‍රොට්ස්කිගේ අරගලයෙහි ද සියලු පාඩම් මෙසේ නො තකා හැරේ. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුකාලයේ ප්‍රධාන දේශපාලන හා සමාජ ක්‍රියාවලීන් සමග එතරම් ම පැහැදිලි ව බැඳී ඇත්තා වූ හතරවන ජාත්‍යන්තරය ඇතුලත පැබ්ලෝවාදයට එරෙහි අරගලය, රොබට්සන් විසින්, අඩු හෝ වැඩි වශයෙන්, විවිධ පුද්ගලයන් අතර ඇති වූ ආත්මීය ව ප්‍රේරිත ගාලගෝට්ටියක තත්ත්වයට පිරිහෙලා තිබේ”. (36 -සිංහල 127-128 පිටු)
හජාජාක ඇමරිකානු ආධාරකරුවන් විසින් පිහිටුවන ලද ප්‍රවනතාවේ ජාත්‍යන්තරවාදී ස්වභාවය සහ නිර්ධන පන්තික පන්ති යොමුව ස්ථාපිත කිරීමේ දී, තීරනාත්මක මූලිකාංගයක්වූයේ, සුලු-ධනේශ්වර ජාතිකවාදී ස්පාටසිස්ට් කල්ලියෙන් දේශපාලනික ව බෙදීම හා වෙන්වීම යි.
ආන්තික ආත්මීයවාදය ද හජාජාකට, වර්කර්ස් ලීගයට හා සසපට එරෙහි හතුරුකම ද විසින් විලක්ෂනය කරනු ලබන, කර්කශ ස්ටැලින්වාද-ගැති පැබ්ලෝවාදී කන්ඩායමක් ලෙස ස්පාටසිස්ට් ලීගයේ පසුකාලීන පරිනාමය විභාග කිරීම මෙම දේශනයෙහි පරිමාවෙන් ඔබ්බට යයි. ස්පාටසිස්ට් ලීගයේ ජාතිකවාදී දේශපාලනය තක්සේරු කිරීම හරහා, ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියා මාර්ගයට නව පොහොසත්බවක් (succulence ) හා සංයුක්ත භාවයක් එකතු කරමින්, ධනවාදී ගෝලීයකරනය පිලිබඳ ව හජාජාක කර තිබුනු විශිෂ්ට විශ්ලේෂනය වැඩි දුර විස්තාරනය කල භූගෝලීයකරනය සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය: මාක්ස්වාදී තක්සේරුවක් නමැති කෘතිය ගැන සඳහන් කිරීම පමනක් මම මෙහි දී කරන්නෙමි. හජාජාක ලෝසවෙඅ ආරම්භ කරමින් සිටි 1998 වසරේ දී මෙම කෘතිය ප්‍රසිද්ධ කෙරුනේ අහම්බයකින් නොවේ.
1966 නොවැම්බරයේ දී, ජාක තුන්වන සම්මේලනයෙහි පාඩම් මත පදනම් වෙමින්, ඒසීඑෆ්අයි වර්කර්ස් ලීගය බවට පරිවර්තනය කෙරුනි. සකපය පැබ්ලෝවාදී දියකරහැරීම්වාදය වැලඳ ගැනීමට එරෙහි ව එස්එල්එල් නායකත්වය දුන් අරගලයේ ප්‍රතිඵලයක් ලෙස, ලෝක අධිරාජ්‍යවාදයේ මධ්‍යස්ථානය වන ඇමරිකාව තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ෙඑතිහාසික අඛන්ඩතාවය සුරක්ෂිත කරන ලදී.
නිගමනය
අවශ්‍ය වෙනස්කම් සහිතව, ලංකාවේ මහා පාවාදීම වනාහි, පැබ්ලෝවාදී සංශෝධනවාදයේ 1914 අගෝස්තු 4 (පලමු ලෝක යුද්ධයේ අයවැයට දෙවන ජාත්‍යන්තරයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ඡන්දය දුන් දිනය) වූ අතර, එමගින්, හතරවන ජාත්‍යන්තරයේ ක්‍රියා මාර්ගය අතහැර ජාතික අවස්ථාවාදය කරා පල්ලම් බැසීමේ පූර්න ප්‍රතිවිපාක අනාවරනය විය.
එය අවිවාදිත ලෙස පැබ්ලෝවාදී සංශෝධනවාදයේ ප්‍රතිවිප්ලවවාදී භූමිකාව ප්‍රදර්ශනය කලේ ය. 1968 හා 1975 අතර කාලයේ කම්කරු පන්තියෙහි ලෝක පරිමාන විප්ලවවාදී ප්‍රහාරයේ හුස්ම දේශපාලනික ව සිරකිරීමේ දී, ස්ටැලින්වාදයට හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට සහයෝගය දෙන අධිරාජ්‍යවාදයේ ද්විතීයික ඒජන්සියක් ලෙස පැබ්ලෝවාදීන් ඉටු කිරීමට නියමිත ව තිබූ භූමිකාව ලංකාවේ සිද්ධීන් තුල පෙර ඇඟවී තිබුනි.
එහෙත් අප මතකයට ගත යුතු එක ම දෙය පාවාදීම පමනක් නො වේ. එම පාවාදීමට තුඩු දුන් දේශපාලනයට විරුද්ධත්වය දක්වන ලදී. 1963 අප්‍රත්පත්තික යලි එකමුතුවට එරෙහි සටනේ දී, බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන් සහ සකප තුල සිටි ජාකට හිතවත් සුලුතරයේ ආධාරකරුවන් යලි යලිත් අනතුරු ඇඟවූයේ, එම එකමුතුව දේශපාලනික විනාශයන් ට තුඩු දෙනු ඇති බව යි. මහා පාවාදීමෙන් පසුව, එය ලෝක කම්කරු පන්තිය සඳහා මූලෝපායික අත්දැකීමක් බවට පරිවර්තනය කිරීමටත්, හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමට කරන සටනේ කේන්ද්‍රයේ එහි පාඩම් තැබීමටත්, ජාක සටන් වැදුනි.
1950 ගනන් මැදින් ඇරඹී, අවසානයේ පැබ්ලෝවාදී අවස්ථාවාදයට යටත් වී 1963 දී හජාජාක වෙතින් භේද වී අවසන් වුනු සකප නායකත්වයේ වේගවත් දේශපාලනික පසුබැසීම, අව්‍යාජ ට්‍රොට්ස්කිවාදීන් ආරක්ෂක සටනකට තල්ලු කලේ ය.
එසේවුවත්, එස්එල්එල් නායකත්වය යටතේ, ජාක ප්‍රතිප්‍රහාරයක් දියත් කලේ ය. එසේ කිරීම මගින් එය, ක්‍රියා මාර්ගයේ හා ඉදිරි දර්ශනයේ මූලික ප්‍රශ්න පැහැදිලි කරන ලද බලගතු දේශපාලනික-න්‍යායික ප්‍රහාර එල්ල කලේ ය. ලෝක සමාජවාදී විප්ලවය තුල මූලික සටන්බිම් වන, ලෝක අධිරාජ්‍යවාදයේ කේන්ද්‍රස්ථානය වන උතුරු ඇමරිකාව සහ අද දින ලෝකයේ ජනාකීර්න ම කලාපය වන දකුනු ආසියාව යන ලෝකයේ කොටස් දෙක මෙන් ම හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයට තීරනාත්මක රටවල් දෙකක් වන ඇමරිකාව හා ශ්‍රී ලංකාව තුල නව ශාඛා දෙකක් ගොඩනැගීමට පදනම් දැමීම එයට ඇතුලත් විය.
1982-86 කම්කරු විප්ලවවාදී පක්ෂය සමග භේදයේ දී ද ඉන් ක්ෂනික ඉක්බිත්තේ ද වර්කර්ස් ලීගය හා විකොස ඉටු කල භූමිකාවේ අනිවාර්ය කිසිවක් නොතිබුනි. එහෙත්, යලි එකමුතුවට හා මහා පාවාදීමට එරෙහිව ජාක කල අරගලයේ ප්‍රතිඵලයක් ලෙස, වර්කර්ස් ලීගය හා විකොස ආරම්භ කිරීමේ පදනම දමා තිබුනු බලගතු ට්‍රොට්ස්කිවාදී සම්ප්‍රදායයන් සමග ඒවා ඉටුකල නායක භූමිකාව බැඳී තිබුනි.
2022 ජූලි 20දා, ලංකාවේ සසප “කම්කරුවන්ගේ සහ ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!” මැයෙන් තීරනාත්මක ප්‍රකාශයක් නිකුත් කලේ ය. එම මාසය මුල දී, වෛරයට පාත්‍ර වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකෙරුනු, දිවයින අඛන්ඩ ව අලලාගත් විප්ලවවාදී අර්බුදය මගින් නිර්මානය කෙරුනු මහජන නැගිටීමට ප්‍රතිචාර වසයෙන්, කම්කරුවන්ගේ බලය සඳහා අරගලයට මග පෙන්වන විප්ලවවාදී මූලෝපායක් එය ඉදිරිපත් කලේ ය. එක් ඉතා වැදගත් ඡේදයක මෙසේ කියයි:
“අන්තර්-කාලීන ආන්ඩුවක් තැනීම පිලිබඳ සාකච්ඡාවන්ට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීමේ දී, ට්‍රොට්ස්කිවාදයේ සාරභූත දේශපාලන මූලධර්ම ලංකා සම සමාජ පක්ෂය (ලසසප) විසින් 1964 දී විනාශකාරී ලෙස පාවාදීමේ කටුක දේශපාලන පාඩම් මත සසප මෙහෙයවුනි. ආර්ථික හා දේශපාලන අර්බුදයක් මධ්‍යයේ, කම්කරු පන්තියේ බලගතු “ඉල්ලීම් 21” ව්‍යාපාරයට මුහුන දෙමින් සිටි ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා අගමැතිනි සිරිමා බන්ඩාරනායක, ධනේශ්වර පාලනයට මුක්කුව ලබාගැනීම පිනිස, ලසසප නායකයන් වෙත හැරුනි. බන්ඩාරනායකගේ ධනේශ්වර “සිංහල පලමුව” ආන්ඩුවට ලසසපයේ ඇතුල් වීම සලකුනු කලේ හුදෙක් “ඉල්ලීම් 21” ව්‍යාපාරයෙහි අවසානය පමනක් නො වේ. මහජනතාව දිරිසුන් කරමින්, පන්ති අරගලයට ඉහලින් ජනවාර්ගික-භාෂාමය ගැටුම දිරිමත් කල එය, ප්‍රතිගාමී වාර්ගික දේශපාලනයට හා දශක ගනනක සිවිල් යුද්ධයට මාවත පාදා දුන්නේ ය.
සසප, ලසසපයේ පාවාදීමේ මාවතෙහි කිසිදිනක ගොස් නැති අතර, යන්නේ ද නැත. ධනපති ආන්ඩුවලට ලබා දෙන සියලු ඍජු හා වක්‍ර සහයෝගයන් අපි ප්‍රතික්ෂේප කරමු”. (37)
පන්ති අරගලයේ වර්ධනය, මහජනතාවගේ මනෝගතිය සහ පක්ෂයේ කර්තව්‍යයන් පිලිබඳ එහි විශ්ලේෂනයේ දී, 1917 ඔක්තෝබර් විප්ලවයේ හා ස්පාඤ්ඤ විප්ලවයේ අත්දැකීම් පිලිබඳව මෙම ප්‍රකාශය නිශ්චිත ව සැඳහුම් කලේ ය. සත්‍ය වසයෙන් ම, එයට ජීවය සපයනු ලබන්නේ, ලෝක ධනවාදයේ පද්ධතිගත අර්බුදය පිලිබඳ ජාක විශ්ලේෂනය සහ මෙය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ පස්වන අවදිය යන අපගේ අවබෝධය විසිනි.
තීව්‍රතර ජාත්‍යන්තර ඒකාබද්ධතාවක ප්‍රතිඵලය වූ මෙම ප්‍රකාශය, විජේ සහෝදරයා වැඩ කල අවසන් ලේඛනය යි. හතරවන ජාත්‍යන්තරයෙහි ඉතිහාසයට සහ ලෝක කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම්වලට හජාජාක ප්‍රවිෂ්ටය එය විසින් මූර්තිමත් කරන අතර, වර්ධනය වන ගෝලීය කම්කරු පන්තික අරගලයට විප්ලවවාදී නායකත්වය සම්පාදනය කිරීමේ දී එහි ශාඛාවන් හා සහයෝගය දෙන කන්ඩායම් සියල්ලේ වැඩකටයුතුවලට ප්‍රානය සැපයිය යුත්තේ එය විසිනි.
Letter of the National Committee of the SLL to the National Committee of the SWP, Jan. 2, 1961—Trotskyism versus Revisionism, Volume 3, p. 49. එස්එල්එල් ජාතික කමිටුව සකප ජාතික කමිටුවට යැවූ ලිපිය, 1962 ජනවාරි 2, සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 3 වෙලුම, 49 පිටුව.
Trotskyism versus Revisionism, Volume 4, p. 255. සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 4 වෙලුම, 255 පිටුව.
Leon Trotsky, “Open Letter to the Workers of India,” ලියොන් ට්‍රොට්ස්කි, “ඉන්දියානු කම්කරුවන්ට විවෘත ලිපිය,”
As cited in “Editorial,” Fourth International, Vol. 14, No. 1 (July 1987), pp.vii-viii. හතරවන ජාත්‍යන්තරය, 14 වෙලුම, අංක 1හි “කතුවැකිය” තුල උපුටා දක්වා ඇත. (1987 ජූලි), vii-viii පිටු.
“The Situation in Sri Lanka and the Political Tasks of the Revolutionary Communist League,” https://www.wsws.org/en/special/library/fi-15-1/05.html “ශ්‍රී ලංකාව තුල තත්ත්වය සහ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ දේශපාලන කර්තව්‍යයෝ,”
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් තුල උපුටා දක්වා ඇත. පි 51
එම
As cited in David North, The Heritage We Defend, p. 193. ඩේවිඩ් නෝර්ත්, අප රක්නා උරුමය තුල උපුටා දක්වා ඇත. කම්කරු මාවත ප්‍රකාශන, 257 පිටුව.
James P. Cannon to L. Goonewardene, Feb. 23, 1954, Trotskyism versus Revisionism, Vol. 2, p. 106. ජේම්ස් පී. කැනන්ගෙන් එල්. ගුනවර්ධනට, 1954 පෙබරවාරි 23, සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 2 වෙලුම, 106 පිටුව.
ඉහත කී කෘතිය, 89 පිටුව.
ඉහත කී කෘතිය, 91 පිටුව.
ඉහත කී කෘතිය, 113 පිටුව.
As cited in The Heritage We Defend, pp. 260-61.- අප රක්නා උරුමය කෘතිය තුල උපුටා දක්වා ඇත. කම්කරු මාවත ප්‍රකාශන, 360 පිටුව.
G. Healy to James P. Cannon, May 10, 1957, Trotskyism versus Revisionism, Vol. 3, p. 31. - ජී. හීලිගෙන් ජේම්ස් පී. කැනන්ට, 1957 මැයි 10, සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 3 වෙලුම, 31 පිටුව.
අප රක්නා උරුමය කෘතිය තුල උපුටා දක්වා ඇත. කම්කරු මාවත ප්‍රකාශන, 558 පිටුව.
එම -පිටුව 558
G. Healy to the National Committee of the SWP, June 12, 1963, Trotskyism versus Revisionism, Vol. 4, p. 162. -ජී. හීලිගෙන් සකප ජාතික කමිටුව, 1963 ජුනි 12, සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 4 වෙලුම, 162 පිටුව.
“Dynamics of World Revolution,” June 1963, “ලෝක විප්ලවයේ ගතිකය,” 1963 ජුනි, https://www.marxists.org/history/etol/document/fi/1963-1985/usfi/7thWC/usfi01.htm
As cited in, G. Healy, “Ceylon the Great Betrayal,” Trotskyism versus Revisionism, Vol. 4, pp. 233-34. -ජී. හීලිගේ “ලංකාවේ මහා පාවාදීම” තුල උපුටා දක්වා ඇත, සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 4 වෙලුම, 233-34 පිටුව.
“ලසසපයේ මහා පාවාදීම 3 වන කොටස” කම්කරු මාවත ප්‍රකාශන පිටුව ..
අප රක්නා උරුමය කෘතිය තුල උපුටා දක්වා ඇත. කම්කරු මාවත ප්‍රකාශන, 559 පිටුව.
As cited in “The Great Betrayal,” Trotskyism versus Revisionism, Vol. 4, p. 235. –“මහා පාවාදීම”තුල උපුටා දක්වා ඇත. සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 4 වෙලුම, 235 පිටුව.
ඉහත කී කෘතිය, 241 පිටුව.
Letter from the IEC (Pabloite) to members of the LSSP, May 25, 1964, Trotskyism versus Revisionism, Vol. 4, p. 265. - අයිඊසී (පැබ්ලෝවාදී) ගෙන් ලසසප සාමාජිකයන්ට, 1964 මැයි 25, සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 4 වෙලුම, 265 පිටුව.
Resolution of the ‘Centre’ Group to the LSSP Congress, June 6-7, 1964, Trotskyism versus Revisionism, Vol. 4, p. 257. ‘මධ්‍යස්ථ’ කන්ඩායමෙන් ලසසප සම්මේලනයට යෝජනාව, 1964 ජුනි 6-7, සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 4 වෙලුම, 257 පිටුව.
Resolution of the ‘Revolutionary Minority’ to the LSSP Congress, June 6-7, 1964, Trotskyism versus Revisionism, Vol. 4, p. 256. -ලසසප සම්මේලනයට ‘විප්ලවවාදී සුලුතරයේ’ යෝජනාව, 1964 ජුනි 6-7, සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 4 වෙලුම, 256 පිටුව.
July 5, 1964 IC Statement, Trotskyism versus Revisionism, Volume 4, p. 255. -1964 ජූලි 5 ජාක ප්‍රකාශය, සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 4 වෙලුම, 255 පිටුව.
Trotskyism versus Revisionism, Volume 4, p. 245. - සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය, 4 වෙලුම, 245 පිටුව.
විජේ ඩයස් සහෝදරයා: ට්‍රොට්ස්කිවාදය සඳහා සටන්කල විප්ලවවාදියෙක් (1941 අගෝස්තු 27 - 2022 ජූලි 27) https://www.wsws.org/si/articles/2022/07/29/pers-j29.html
ශ්‍රී ලංකාවෙහි සමාජවාදී සමානතා පක්ෂයේ ෙඑතිහාසික හා ජාත්‍යන්තර පදනම්, කම්කරු මාවත ප්‍රකාශන, 99 පිටුව.
ඉහත කී කෘතිය, 99-100 පිටු
Open Letter to Trotskyists Throughout the World-1953https://www.wsws.org/en/articles/2008/10/open-o21.html ලොව පුරා ට්‍රොට්ස්කිවාදීන්ට ලිපියක්, 1953,
අප රක්නා උරුමය කෘතියේ උපුටා දක්වා ඇත. කම්කරු මාවත ප්‍රකාශන, 565-566 පිටු.
සසප (එක්සත් ජනපද) ෙඑතිහාසික හා ජාත්‍යන්තර පදනම්, කම්කරු මාවත ප්‍රකාශන, 123 පිටුව.
එම 127 පිටුව.
එම
කම්කරුවන්ගේ සහ ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා! https://www.wsws.org/si/articles/2022/07/22/pers-j22.html
වැඩිදුර කියවන්න
- කියුබානු විප්ලවය සහ 1963 මූලධර්ම විරහිත පැබ්ලෝවාදී යලි එකමුතුවට එස්එල්එල් දැක්වූ විරුද්ධත්වය
- පැබ්ලෝවාදී සංශෝධනවාදයේ සම්භවයන්, හතරවන ජාත්‍යන්තරය තුල භේදය සහ ජාත්‍යන්තර කමිටුව පිහිටුවීම
- හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික සහ දේශපාලන පදනම්
- සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල: අද දවසේ සමාජවාදය සඳහා අරගලය තුල ඉතිහාසයේ පාඩම්
- ලියොන් ට්‍රොට්ස්කි සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ හා සමාජවාදී විප්ලවයේ යුගයේ සමාජවාදය සඳහා අරගලය