දුම්රිය පුද්ගලීකරන වැඩ කටයුතුවල ඉදිරි පියවරක්:

රත්මලාන දුම්රිය වැඩපොලේ පුද්ගලික අංශයේ කර්මාන්තශාලාවක් ඉදිකිරීමට යයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග පරිදි, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ලහි ලහියේ ක්‍රියාවට දමමින් සිටින කප්පාදු වැඩපිලිවෙලේ කොටසක් ලෙස රජයට අයත් ව්‍යවසායයන් 430ක් වසා දැමීමට, වානිජකරනයට හෝ පුද්ගලීකරනයට නතු කෙරෙන අතර, ශ්‍රී ලංකා දුම්රිය සේවය ඒ අතරින් ප්‍රධාන එකකි.

ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු, දශක ගනනාවක් තිස්සේ දුම්රිය ඇතුලු රාජ්‍ය ප්‍රවාහන සේවයට වෙන් කරන අයවැය ප්‍රතිපාදන කපා දමා ඇත. 1977 දී බලයට පත් ජේ. ආර්.ජයවර්ධනගේ ආන්ඩුව ගත් මූලික පියවරක් වූයේ, මහජන මාර්ග ප්‍රවාහන සේවය පුද්ගලික අංශයට විවෘත කිරීම යි. මෙලෙස එක් අතකින් පුද්ගලික අංශයට මාවත විවෘත කරමින් ද අනෙක් අතින් ඉතුරු වී ඇති රාජ්‍ය ප්‍රතිපාදන කපා දමමින් ද ධනපති පන්තියේ ලාභ පොදි තර කිරීම සඳහා ගෙන ඇති පියවර හේතුවෙන් ප්‍රවාහන සේවාව අරාජික වී බිඳ වැටී ඇත.

1977 දී රට ගෝලීය ධනේශ්වර වෙලඳපොලට විවෘත කිරීමේ මූලික ඉලක්කයක් ලෙස පුද්ගලීකරනය පැවතුන ද, 1983 දී ජයවර්ධන ආන්ඩුව ආරම්භ කල වර්ගවාදී යුද්ධය මධ්‍යයේ එය ක්ෂනිකව ක්‍රියාවට නැංවීම අපහසු විය. 1993 දී එවක ජනාධිපති රනසිංහ ප්‍රේමදාස ඝාතනය කිරීමෙන් පසු ජනාධිපති ධූරයට පත් වූ ඩී.බී. විජේතුංගගේ ආන්ඩුව දුම්රිය අධිකාරී පනත ගෙන එමින් දුම්රිය පුද්ගලීකරනය මුල පිරුවේ ය. එහෙත්, දුම්රිය කම්කරුවන් ඇතුලු කම්කරු පන්තිය හා අවශේෂ මහජනතාවගෙන් එල්ල වූ බලගතු විරුද්ධත්වය හමුවේ එය හකුලා ගැනීමට සිදු විය.

නැවත වරක් 2002 වසරේ දී එවකට බලයේ සිටි අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව දුම්රිය අධිකාරියක් බවට ප්‍රකාශ පත් කල නමුත්, පෙර පරිදි ම එල්ල වූ විරෝධය හමුවේ යලි වතාවක් දුම්රිය අධිකාරි පනත හකුලා ගැනීමට බල කෙරුනි.

කෙසේ නමුත්, ධනපති පාලක පන්තිය කිසි විටෙක තම සැලසුම් හකුලා නො ගත් අතර, ඔවුන් කලේ කල් ගැනීමක් පමනි. දැන් යලි වතාවක් “සාකච්ඡාව” සඳහා යයි කියමින්, දුම්රිය අධිකාරි පනත ඉදිරිපත් කර ඇති අතර, වෘත්තීය සමිති නිලධරය එයට පූර්න සහයෝගය ලබා දෙයි. මුල දී දුම්රිය මැදිරි අලුත් වැඩියාවෙන් සියයට 5ක් තන්ත්‍රී නම් සමාගමකට පැවරූ දුම්රිය පාලනාධිකාරය, දැන් එය සම්පූර්නයෙන් ම පාහේ එම පුද්ගලික සමාගමට පවරා තිබේ.

දුම්රිය පුද්ගලීකරනයට වික්‍රමසිංහ ආන්ඩුව දී ඇති ප්‍රමුඛතාව කොතෙක් ද යත්, පුද්ගලීකරනයේ කුප්‍රකට ගහලයෙකු වන ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමති බන්දුල ගුනවර්ධන මෑත මාස කිහිපය තුල වාර කිහිපයක් ම රත්මලාන දුම්රිය අංගනය නැරඹීමට පැමින, එහි කටයුතු අධීක්ෂනය කර ඇත.

අවසන් වරට ගුනවර්ධන මාර්තු 25දා හිමිදිරි පාන්දර දැඩි පොලිස් මුරකාවලක් ද යොදාගෙන රත්මලාන දුම්රිය අංගනයට පැමිනියේ ය. ඔහුගේ පැමිනීම ගැන වාර්තා කල ඩේලි මිරර් පත්‍රය සඳහන් කලේ, “දේශීය ඉංජිනේරු තාක්ෂනය යොදාගෙන,” රුපියල් මිලියන 5.5ක මුදලක් පමනක් වැය කරමින් දුම්රිය මැදිරි දෙකක් අලුතින් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සමත් වී ඇතැයි ගුනවර්ධන ප්‍රකාශ කල බව යි.

එහෙත් ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මුහුනුපොත් ගිනුමේ සටහන් වන ආකාරයට, මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට දැමී ඇත්තේ තන්ත්‍රී සමාගම හා එක් ව වන අතර, එය රාජ්‍ය-පුද්ගල හවුල්කාරී (Public-Private Partnership -පීපීපී) ව්‍යාපෘතියකි. දුම්රිය කම්කරුවන්ගේ කැලඹීමක් ඇති වනු ඇතැයි උත්සුක වූ දුම්රිය පාලනාධිකාරය පොලීසිය ද දුම්රිය අංගනයට කැඳවා ගැනීමට පියවර ගෙන තිබුනි.

මීට අමතර ව, රත්මලාන දුම්රිය අංගනයේ මෙතෙක් ක්‍රියාත්මක වූ රේල් බස් ව්‍යාපෘතිය පැවති කර්මාන්තශාලාව ඉවත් කර ඇති අතර, දේශීය හා විදේශීය ප්‍රාග්ධනයේ ආයෝජනයන් සහිත ව අංගනයේ විශාල භූමි භාගයක නව කර්මාන්තශාලාවක් ඉදි කිරීමට යයි. දුම්රිය මැදිරි හා එන්ජින් අලුත්වැඩියාව සඳහා සියලු නවීන අංගෝපාංග සහිත ව මෙය ඉදිකරන බව දුම්රිය පාලනාධිකාරය සඳහන් කර ඇත. මේ සඳහා ලංකාවේ තන්ත්‍රී සමාගමේ මෙන් ම ඉන්දියාවේ අදානි සංගතයේ මූල්‍ය ප්‍රතිපාදන ලැබීමට නියමිත ය.

දුම්රිය වෘත්තීය සමිති පුද්ගලීකරනය විරුද්ධ යයි පාරම්බාන නමුත් එයට එරෙහිව කිසිදු ලෙසකින් හෝ කම්කරුවන් සංවිධානය නොකරති. සියලු දුම්රිය වෘත්තීය සමිති නිහඬ ව සිටිමින් මෙම කටයුතුවලට සහාය දෙති. මෙහි දී සුවිශේෂී ක්‍රියා කලාපයක් ඉටු කරන, ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ වෘත්තීය සමිති, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කල හොත්, ඊට පසුදින සිට “අරගලය” ආරම්භ කරන බව කීව ද රත්මලාන අංගනය තුල නව කර්මාන්තශාලාවක් ඉදි කිරීම ගැන හෝ සාකච්ඡාවට ඉදිරිපත් කර ඇති දුම්රිය අධිකාරී පනත ගැන මුලුමනින් මුනිවත රකිති.

පුද්ගලීකරනය ඇතුලු ආන්ඩුවේ ප්‍රහාර වලට එරෙහිව සටන් කරනුවස්, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මගපෙන්වීම මත, දුම්රිය කම්කරුවන් කන්ඩායමක් විසින් ගොඩනගා ඇති දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුවේ (දුකක්‍රික) සාමාජිකයෝ, සහෝදර දුම්රිය කම්කරුවන් කිහිප දෙනෙකු සමග මේ පිලිබඳ ව සාකච්ඡා කලහ. සමහර කම්කරුවන් සඳහන් කලේ, රත්මලාන දුම්රිය වැඩපොලේ පුද්ගලික අංශයේ කර්මාන්තශාලාවක් ඉදිකිරීමට යනබව මුල් වරට දැන ගත්තේ දුකක්‍රික වෙතින් බව යි. නව ඉදිකිරීම පිලිබඳ ව දන්නා කම්කරුවෝ පවා මෙය පුද්ගලීකරනයෙහි කොටසක් බව නො දනිති.

පුද්ගලීකරනය යටතේ දුම්රිය කම්කරුවන් මුහුන දෙන ව්‍යසනය කෙසේ වනු ඇද්දැයි, ආන්ඩුවේ වැඩපිලිවෙලට විරුද්ධ ව සටනට බට සමූපකාර තොග වෙලඳ සංස්ථාවේ (සතොස) හා විදුලිබල කම්කරුවන්, මුහුන දෙන තත්ත්වය දෙස බැලීමෙන් අවබෝධ කරගත හැකි ය. සතොස වසා දැමීම හේතුවෙන් කම්කරුවන් 292ක් පමන රැකියාවලින් දොට්ට දැමුනු අතර, වෘත්තීය සමිති කලේ ඔවුන් ධනපති උසාවියේ නඩුවකට කොටු කිරීම යි. අවසානයේ අභියාචනාධිකරනය ආන්ඩුවේ වැඩපිලිවෙල අනුමත කල අතර, දොට්ට දැමුනු කම්කරුවන් යන එන මං නැති තත්ත්වයකට ඇද වැටී ඇත.

මේ වසරේ ජනවාරි 3,4 හා 5 දිනවල පුද්ගලීකරනයට එරෙහි ව කාර්මික ක්‍රියාවල යෙදුනු විදුලිබල කම්කරුවන්ට විරුද්ධ ව වික්‍රමසිංහ ආන්ඩුව දියත් කර ඇති දඩයමේ කොටසක් ලෙස කම්කරුවන් 62කගේ වැඩ තහනම් කර ඇත. තවත් කම්කරුවන් දුසිම් ගනනකට එලෙස දඬුවම් දීමේ ලිපි සකස් කරගෙන යන බව වාර්තා වේ. සමස්ත කම්කරු පංතිය කෙසේ වෙතත්, තම සහෝදර සේවකයන්ගේ රැකියා අයිතිය වෙනුවෙන් අවම වශයෙන් විදුලිබල කම්කරුවන් හෝ බලමුලුගැන්වීම මෙම සමිති නිලධරය විසින් අත්හැර දමා සිටිති.

වෘත්තීය සමිති 100ට අධික සංඛ්‍යාවක් දුම්රිය දෙපාර්තමේන්තුව තුල ඇති අතර, ඒවා කම්කරුවන් අනේකවිධ ලෙස බෙදා ඇත. කිසිදු ශ්‍රේනි භේදයකින් තොර දුකක්‍රික, ධනපති ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමේ දී සමස්ත කම්කරු පන්තියේ ස්වාධීන ශක්තිය මත විශ්වාසය තබයි. එය, අනෙකුත් ක්ෂේත්‍රයන් හි පිහිටුවා ඇති ක්‍රියාකාරී කමිටු සමග එක්ව, ධනපති ගැති වෘත්තීය සමිති නිලධරයේ ග්‍රහනයෙන් කම්කරුවන් මුදා ගනිමින් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත ඔවුන් බලමුලු ගැන්වීමට සටන් වදී. දුකක්‍රික ට බැඳී එම සටනට උරදෙන ලෙස අපි සියලු දුම්රිය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading