ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අවිශිබම කැඳවුම්කරුගේ ජීවිතය අනතුරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින්, රුදුරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ දින 50කට ආසන්න කාලයක් ‍රඳවා ගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ බලගතු ජීවිත අන්තරායකට මුහුන දී සිටී.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ

ඔහුගේ දෑස් බැඳ, රාත්‍රී කාලය තුල විවිධ ස්ථාන වලට රැගෙන යන බවට මාධ්‍ය වාර්තා පල කෙරුනි. පොලීසියේ හුරුපුරුදු ප්‍රබන්ධය වන, “සඟවා තිබූ ආයුධ සොයා ගැනීමට ගෙන ගිය අවස්ථාවේ පලා යාමට/වෙඩි තැබීමට තැත්කල බව” පවසමින් වෙඩි තබා මරා දැමීමේ අන්තරායට මුදලිගේ මුහුන දී සිටින බව එහි ඇඟවුමයි.

ජනතා විමුක්ති පෙරමුනේ නායකයෙකු වූ උපතිස්ස ගමනායකද 1989 දී වෙඩි තබා ඝාතනය කලේ පලා යාමට උත්සාහ කල බවට ව්‍යාජ චෝදනා නගමිනි. “පාතාල නායකයන්” ඝාතනය කිරීම සඳහා ද පොලීසිය නිරන්තරව යොදා ගනු ලබනුයේ මෙම ප්‍රබන්ධය ම ය. 2020 ඔක්තෝබර් මාසයේ මාකඳුරේ මධුෂ් නමින් හැඳින්වෙන පාතාල නායකයා මරා දැමුනේ එලෙසිනි.

මුදලිගේ සමග අත් අඩංගුවට ගත් හෂාන් ජීවන්ත, “සාක්ෂි නොමැති” බව පවසමින්, පසුගිය සති අන්තයේ ඇප මත නිදහස් කිරීම තුල වැදගත් ඇඟවුම් පවතී. කවර හෝ සාක්ෂියක් නොමැති ව, දෙ මසකට අධික කාලයක් ඔහු රඳවා ගෙන සිටීමෙන් පෙන්නුම් කෙරෙනුයේ, ආන්ඩුව ගෙන යන මර්දනයේ රුදුරු ස්වභාවයයි. සාක්ෂි මත අත්අඩංගුවට ගැනීම වෙනුවට, අත්අඩංගුවට ගෙන සාක්ෂි ගෙතීම ආන්ඩු විරෝධීන් මර්දනය කිරීමේ දී අනුගමනය කෙරෙන සාමාන්‍ය පිලිවෙත බවට පත් ව ඇත.

රාජ්‍ය මර්දනය නව ඉහලකට නංවමින්, ආන්ඩුව සැප්තැම්බර් 23 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ‘පුනරුත්ථාපන කාර්යාංශ පනත්’ කෙටුම්පතට අනුව, සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කරන පුලුල් පරාසයක දේශපාලන පක්ෂ හෝ කන්ඩායම්වල ඕනෑ ම පුද්ගලයෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථානවල සිරගත කල හැකි වේ.

මෙම පියවර මගින් පෙන්නුම් කරනුයේ, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) දියත් කර ඇති “ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය නවතනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!” උද්ඝෝෂනයේ අදාලත්වයයි.

අත්අඩංගුවට පත්වූවන් සහ ඔවුන්ගේ සංවිධාන හා පක්ෂ සමග තිබෙන මූලික දේශපාලන වෙනස්කම් නො තකා, මෙම ප්‍රහාරයන් හෙලා දකින සසප, සියලු දේශපාලන සිරකරුවන් වහා ම කොන්දේසි විරහිත ව නිදහස් කරන ලෙසත්, ඔවුන්ට එරෙහි සියලු චෝදනා ඉවත් කර ගන්නා ලෙසත් බලකර සිටී.

මුදලිගේ රාත්‍රී කාලයේ ස්ථාන පරීක්ෂා සඳහා ගෙන ගිය බව සනාථ කරමින්, ඔහුගේ සොහොයුරා වන අරුන මුදලිගේ පසුගිය අඟහරුවාදා ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කලේ, අත් අඩංගුවට ගත් මුල් කාලවල “රාත්‍රියේ බැසිල් රාජපක්ෂට අයත් යැයි පවසන ඉඩමට” රැගෙන ගිය බව වසන්ත මුදලිගේ ඔහුට පැවසූ බවයි. මීට අමතර ව නවගමුව, ගම්පහ, කඩවත ප්‍රදේශයන්හි ස්ථාන ගනනාවකට “මුහුන වසා රහසිගතව” තමා රැගෙන ගිය බව මුදලිගේ තම සොහොයුරාට සඳහන් කර ඇත.

අරුන මුදලිගේ වැඩි දුරටත් සඳහන්කොට ඇත්තේ, “මෙය කලකට පෙර සිදු වූ ගිනිගත් නිවස හෝ වෙන යම් ස්ථානවලට වසන්ත රැගෙන ගොස් සාක්ෂි ඔබ්බවා ඉතා උපක්‍රමශීලීව” සාක්ෂි ගොතා මර්දනය කිරීමේ පියවරක් බවයි.

පසුගිය බදාදා, අමාත්‍ය ප්‍රසන්න රනතුංග පාර්ලිමේන්තුවේ දී කල ප්‍රකාශයෙන්, ආන්ඩුව එවැන්නකට සැලසුම් කරන බව සනාථ වෙයි. වසන්ත මුදලිගේ ඇතුලු කන්ඩායම “ගෙවල් ගිනිතිබ්බා, ගෙවල් හයසිය ගානක් ගිනි තියලා තියෙනවා” යැයි රනතුංග එහි දී පැවසී ය. “මේ ගොල්ලො තමා පහුගිය කාලේ අරගලකරුවන්ට දේශපාලන නායකත්වය දුන්නේ” යැයි රනතුංග සඳහන් කලේ ය.

වසන්ත මුදලිගේ සහ ඔහු සමග අත්අඩංගුවට ගත් ගල්වැව සිරිධම්මට එරෙහි ව චෝදනා ගොතමින්, ඔවුන් දඬු ගැසීමේ කාර්යය පවරා ඇත්තේ, එවන් වැඩකටයුතු සඳහා කුප්‍රකට පොලිස් ත්‍රස්ත මර්දන කොට්ඨාසයට සහ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවටයි.

ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ට එරෙහි ව ගෙන යන මෙම මර්දනය, සමස්ත කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍ර අයිතින් මත එල්ල කරන පලල් ප්‍රහාරයක කොටසකි. ආන්ඩුව සැප්තැම්බර් 27 වනදා චක්‍රලේඛයක් නිකුත් කරමින් රාජ්‍ය සේවකයන්ට සමාජ මාධ්‍ය වෙත අදහස් දැක්වීමට ඇති ඉඩකඩ අහුරා දැමුවේ ය.

ශිෂ්‍ය මර්දනයේ කොටසක් ලෙස, පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියා වලට එරෙහිව විරෝධය පෑ රුහුනු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ට, පසුගිය 3 වනදා සිට සවස 6.00 න් පසු සරසවු භූමියට ඇතුල් වීම තහනම් කොට ඇත. පසුගිය අඟහරුවාදා කැලනිය ප්‍රදේශයේ පැවති ශිෂ්‍ය පා ගමනකදී අවිශිබම හිටපු කැඳවුම්කරු සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රත්කරව්වේ ජිනරතන පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේය. එම විරෝධතාවයට ජල ප්‍රහාරක රථ, කඳුළු ගෑස් සහ පොලිස් භටයින් යොදා ගනිමින් රුදුරු ලෙස ආන්ඩුව පහර දුනි.

මේ අතර, නවක වදය මැඩීමේ මුවාවෙන් ශිෂ්‍ය මර්දනය ඉස්මත්තට ගැනීමට ආන්ඩුව අර අඳිමින් සිටී. මෙය තහවුරු කරමින්, රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන්, බදාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ, “ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාලයන්හි ෆැසිස්ට්වාදය, අන්තවාදය, තර්ජනය, මැරබලය, පාතාල ක්‍රියාකාරීත්වය තදින්ම ක්‍රියාත්මක කරන” බවයි.

මේ ප්‍රකාශ හරහා පැහැදිලි කෙරෙන්නේ වික්‍රමසිංහ ආන්ඩුව සූදානම් වෙමින් සිටින්නේ දැනටමත් ක්‍රියාවට දමමින් සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු නියෝග වලට එරෙහිව වැඩෙන මහජන විරුද්ධත්වය රුදුරු ආකාරයෙන් තලා දැමීමට බවයි. ඒ සඳහා අවශ්‍ය පන්ති යුද පියවරයන් වික්‍රමසිංහ ආන්ඩුව විසින් වේගයෙන් ක්‍රියාවට දමමින් සිටී.

කම්කරු පන්තිය මෙම පන්ති යුද පියවරයන්ට එරෙහි ව, පන්ති අරගලය තීව්‍ර කිරීම මගින් ප්‍රතිචාර දැක්විය යුතු ය. වැඩෙන පංති අරගල රැල්ල පෙන්නුම් කරන්නේ, වික්‍රමසිංහ ආන්ඩුව තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමට, කම්කරුවන්ට, ශිෂ්‍යයින්ට සහ පීඩිත මහජනතාවට, ඇති දැවෙන උවමනාවයි.

වෘත්තිය සමිති, අවිශිබම සහ එයට නායකත්වය දෙන ව්‍යාජ-වාම සංවිධානය වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ධනපති පක්ෂ සමග එකතුව මෙම සටන්කාමිත්වය වාෂ්ප කර හැරීමට කටයුතු කරමින් සිටී. මහජනතාවගේ විරුද්ධත්වය අපසරනය කිරීම සඳහා විවිධාකාර ධනපති පෙරමුනු ඇටවීමේ කුජීත ඉතිහාසයක් සහිත මෙම සංවිධාන දැන් “මර්දනය නවතනු” යන තේමාව යටතේ තවත් ධනපති පෙරමුනක් අටවා රට පුරා රැලි පවත්වමින් සිටී.

ඊට සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා, ජනතා විමුක්ති පෙරමුනේ නියෝජිතයින්, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුනේ වසන්ත යාපා බන්ඩාර, වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව සහ වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය ඇතුලත්ය. මෙම ධනපති පෙරමුනු දේශපාලනය ප්‍රවර්ධනය කිරීමේ මූලික කර්තව්‍යයක් ඉටු කරන්නේ පෙසප සහ අවිශිබමයි.

වික්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් දැමීම සඳහා ගොඩනගන මෙම ධනපති පෙරමුනු වලට කිසිසේත්ම වත්මන් ආන්ඩුවේ මර්දනකාරී පිලිවෙත් වලට එරෙහි ව සටන් කල නොහැක. ඒ වෙනුවට මෙම පෙරමුනු, රාජ්‍ය යන්ත්‍රය ශක්තිමත් කරමින් මර්දනය තීව්‍ර කිරීමට වික්‍රමසිංහට අවශ්‍ය කල් ලබා දෙයි.

අවිශිබම සහ පෙසප, මෙම බංකොලොත් ඉදිරි දර්ශනය යටතේ ම පසුගිය මාස කිහිපය තුල පැන නැගුනු මහජන නැගිටීම ධනපති අන්තර්වාර ආන්ඩුවක් දෙසට අපසරනය කලේය. එමගින් රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරය කරා නැග ගැනීමට ඉඩකඩ සම්පාදනය කෙරිනි. මෙම සංවිධාන වලට තවදුරටත් නායකත්වයේ සිටීමට ඉඩ හැරීම මග පාදනු ඇත්තේ තවත් මෙවන් ව්‍යසනයන්ට ය.

මර්දනයට එරෙහිව සටන් කිරීමට දේශපාලන ඉදිරිදර්ශනයක් සම්පාදනය කරමින්, “ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය නවතනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!” යන හිසින් සැප්තැම්බර් 14 වනදා සසප නිකුත් කල ප්‍රකාශය සඳහන් කල පරිදි:

“මෙම ඉල්ලීම් සඳහා වන සටනට, කම්කරු පන්තියෙහි යෝධ සමාජ බලය ස්වාධීන ව බලමුලු ගැන්වීම අවශ්‍ය වෙයි. කම්කරුවන් ඔවුන්ගේ වැඩපොල හා නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සහ ගම්බද දුගීන්ට ඔවුන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සහයෝගය දීම ද අවශ්‍ය ය. මේවා වෘත්තීය සමිතිවලින් හා සියලු ධනපති පක්ෂවලින් ස්වාධීන විය යුතු ය.”

Loading