ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය -පස්වැනි කොටස

5. ජනතා විමුක්ති පෙරමුන, දේශප්‍රේමිත්වය හා මාක්ස්වාදය

අප මේ සමග පලකිරීම ආරම්භ කර ඇත්තේ, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්‍රධාන ලේකම්ව සිටි කීර්ති බාලසූරිය (1948 -1987) විසින් 'ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය' යන මාතෘකාවෙන් ලියන ලද ලිපි මාලාවයි. මෙම ලිපි මාලාව ප්‍රථමයෙන්ම පල කෙරුනේ, එවක විකොස සතිපතා මධ්‍යම පුවත් පතවූ “කම්කරු පුවත්” 1970 අගෝස්තු අවසානයේ සිට නොවැම්බර් අවසානය දක්වා කලාප තුලය. පසුව එය පොතක් වශයෙන් මුද්‍රනය කෙරුනි. ලෝසවෙඅ හි පලකල කෘතියේ හැඳින්වීම පෙබරවාරි 19 දින පලකෙරුනි. කොටස් දහයකින් සමන්විත ලිපි මාලාවේ පස්වැනි කොටස “ජනතා විමුක්ති පෙරමුන, දේශප්‍රේමිත්වය හා මාක්ස්වාදය” යි. සිව්වන කොටස 25දින, තුන්වන කොටස 22 දින, දෙවන කොටස 21 දින සහ පලමුවන කොටස 20 දින පලවිය.

ලිපි අනුපිලිවෙලින් කොටස් වශයෙන් පලකරමු.

***

1970 දෙසැම්බර් 11 දින ප්‍රකාශයට පත් කෙරුනු පොතේ පිටකවරය
5. ජනතා විමුක්ති පෙරමුන, දේශප්‍රේමිත්වය හා මාක්ස්වාදය

අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය පෙරලා දැමීමෙහි ලා කම්කරු පන්තිය ඉටු කරන විප්ලවවාදී කටයුත්ත ප්‍රතික්ෂේප කර දමා පන්ති සටනට පිටින් අධිරාජ්‍යවාදයත් සමග ගැටීමට සැලසුම් කිරීම හා සටන් “නිර්මානය කරන්ට” උත්සාහ දැරීම ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය යි.

මාක්ස්වාදී න්‍යාය මත පදනම් වන මධ්‍යගත විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගීමට ගෙන යා යුතු දීර්ඝ අරගලය ඇතුලතින් කම්කරු පන්තිය පන්ති විඤ්ඤානයෙන් යුක්ත වූ බලවේගයක් බවට පත් කර, පෑගෙන ජනතාවගේ නායකයා බවට පත් කර නිර්ධන පන්තියේ ආඥාදායකත්වය කරා මෙහෙයවීම කල නොහැකි අසීරු කටයුත්තක් ලෙස ජනතා විමුක්ති පෙරමුන සලකයි.

මාක්ස්වාදී නිර්ධන පන්තික පක්ෂයක් ගොඩ නැගීමට කල යුතු සටනේ අසාර්ථක, කාලය කා දමන වැඩක් බව අඩු ගනනේ ඇඟවීමෙන් වත් පෙන්වීමට කම්කරු පන්තිය අවස්ථාවාදී නායකත්වයන් පස්සෙන් යාමත් වෘත්තීය සමිති සීමාවන් තුල හිරව හිඳීම ආදියත් ඔවුහු ගෙන හැර දක්වති.

පාරම්පරික ප්‍රතිසංස්කරණවාදී නායකත්වයන් ගැන හා කම්කරු පන්තිය “ආර්ථික සටන්” තුල ගිලී සිටීම ගැන ඔවුන් කරන විවේචනයක් එල්ල වන්නේ සාම්ප්‍රදායික නායකත්වයන්ගේ ග්‍රහනය කඩා දමා බලය ඇල්ලීමේ විඤ්ඤානය කම්කරු පන්තිය තුල ඇති කිරීමට නො වේ; නායකත්වයන්ගේ ග්‍රහනයත් කම්කරු පන්තිය වෘත්තීය සමිති සීමාවන් තුල හිරව හිඳීමත් ඉෂ්ට වූ කරුනු ලෙස පෙන්වා, එමගින් කම්කරු පන්තිය විප්ලවවාදී බලවේගයක් නො වෙතැයි පෙන්වීම සඳහා ය!

කම්කරු පන්තිය තුල විප්ලවවාදී පක්ෂය ගොඩ නගා විප්ලවවාදී සටන්වලට මේ පන්තිය සකසා සූදානම් කිරීමට ආදේශකයක් හැටියට ඔවුහු ගොවි ජනතාව සමග බද්ධ වී කල යුතු දේශප්‍රේමී සටනක “ඉදිරි දර්ශනය” ඉදිරිපත් කරති.

සමසමාජවාදය හා ස්ටැලින්වාදය කම්කරු පන්තිය තුලින් අතු ගා දැමීමේ කටයුත්ත වෙනුවට ගොවි ජනතාවගේ විරෝධතා කැරලි සමග කම්කරුවන් බද්ධ කර, විරෝධතා ව්‍යාපාරයක් ගොඩ නැගීමෙන් විප්ලවවාදී නායකත්වය සම්බන්ධ ප්‍රශ්නය ඒ හෝ මේ ආකාරයෙන් විසඳා ගත හැකි ය යන භයානක මායාව ඔවුහු මෙමගින් තොරොම්බල් කරති.

කම්කරු පන්තිය ප්‍රතික්ෂේප කර මධ්‍යම පන්තියේ “අධිරාජ්‍ය විරෝධී” වේදනාවන් හා හැඟීම් මත පදනම් වීමේ ඔවුන්ගේ දේශපාලනය අද ලෝකය පුරා ම විප්ලවවාදීන් ඉදිරියේ ඉස්මතුව ඇති කටයුත්ත වන කම්කරු පන්ති නායකත්වයේ ඓතිහාසික අර්බුදය විසඳීමට ජනතා විමුක්ති පෙරමුනට ඇති බැරිකමත්, ඔවුන් එම කටයුත්තෙන් පලා යාමත් පමනක් පෙන්නුම් කරයි.

මේ නිසා ම ඔවුන් ක්‍රියා කරන්නේ තවත් දුර්නායකත්වයක් ලෙස යි. ලංකාවේ කම්කරු පන්තිය රාජ්‍ය බලය ඇල්ලීම නවතා ගෙන සිටින සමසමාජවාදයේ හා ස්ටැලින්වාදයේ ප්‍රතිවිප්ලවවාදී දේශපාලනයට ඔවුන් පිලිතුරු දෙන්නේ විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගීමෙන් නො වේ. මේ නායකත්වයන් මග හැර ගෙන සටනට ආ හැකි කෙටි මාවතක් ජනතාවට පෙන්වීමේ මුවාවෙන් කම්කරු පන්තිය හැසිරවීමට සමසමාජවාදීන්ට හා ස්ටැලින්වාදින්ට ඉඩ හරිමින් තමන් කම්කරු පන්තිය අත හැර පලා යාමෙනි.

අධිරාජ්‍යවාදයට විරුද්ධ සටනේ දී කම්කරු පන්තිය අත හැර දැමීමෙනුත්, “පුලුවන් විදියකට”, “පුලුවන් බලවේගයන්” ගොනු කර ගැනීමට යත්න දැරීමෙනුත් ජනතා විමුක්ති පෙරමුන විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳන්නෙකු ලෙස නො ව එය උග්‍ර කරන්නෙකු ලෙසත් ඒ අර්බුදය ප්‍රකාශ කරන්නෙකු ලෙසත් ක්‍රියා කරයි.

“කෙරෙන විදියකට” අධිරාජ්‍ය විරෝධී සටන කිරීම සඳහා ඇති බාධාවක් ලෙස මාක්ස්වාදී න්‍යාය දකින මොවුහු මේ න්‍යාය “ලංකාවේ සුවිශේෂ තත්වයන්ට ගැලපීමේ” කඩතුරාවට මුවා වී හැඟීම් තොගයක් මත පදනම් වූ අවිද්‍යාත්මක “න්‍යායන්” ගනනාවක නිර්මාතෘවරුන් බවට පත්ව සිටිති.

“විප්ලවවාදී න්‍යායක් නැතිව විප්ලවවාදී ව්‍යාපාරයක් නොමැති” බව මේ සියවසේ මුල දී ලෙනින් ප්‍රකාශ කලේ ය. ලෙනින් මෙයින් අදහස් කලේ මාක්ස්වාදය තුල අන්තර්ගතව ඇති සමාජයේ වර්ධනය සම්බන්ධ නියාම ගැන වන විද්‍යාත්මක දැනීමෙන් තොරව විප්ලවවාදී ව්‍යාපාරයක් නොමැති බව යි. මේ විද්‍යාත්මක දැනීමට වෙන මොන ම දෙයක් වත් ආදේශකයක් කල නොහැකි බව ලෙනින් තම ජීවිත කාලය තුල දී ම අවධාරනය කල දෙය විය. ලෙනින්වාදී විප්ලවවාදී පක්ෂයන් ගොඩ නැගීමේ සටනේ හරය ලෙස පවතින්නේ පන්ති සතුරාට විරුද්ධව කරන සටන තුලින් මේ න්‍යාය සංවර්ධනය කිරීම යි; එමගින් යථාර්ථය තව තවත් ගැඹුරින් ග්‍රහනය කර ගනිමින් වඩ වඩා ඉහල මට්ටම්වලින් පන්ති සටනට මැදිහත් වීමට සැකසී සූදානම් වීම යි. මේ නිසා ම ලෙනින්ට නම්, විප්ලවය ඒ හෝ මේ ආකාරයෙන් සිදු කෙරෙන හුදු ප්‍රායෝගික ක්‍රියාවක් වත්, හුදු හැගීම්වලින් පමනක් කෙරෙන ක්‍රියාවක් වත් නො වී ය. එය කම්කරු පන්තිය දැනුවත්ව කල යුතු ක්‍රියාවකි.

අධිරාජ්‍යවාදයට විරුද්ධ සටනට මේ රටේ පෑගෙන ජනතාව ගෙන යා හැකි වන්නේ අධිරාජ්‍යවාදය ගැන ගැඹුරු වෛරයක් හා “දේශප්‍රේමිත්වයක්” ඇති කොටසකට පමනක් බව ජනතා විමුක්ති පෙරමුන කියන විට ඔවුහු න්‍යාය හා භාවිතය පිලිබඳ ලෙනින්වාදී අදහස් සියල්ල ම එක් සැනෙකින් පෙරලා දමති. සාර්වාදය ගැන ඇති වෛරයට හා සාර්දවාදය පෙරලීමේ අධිෂ්ඨානයට පමනක් සාර්වාදය පෙරලිය හැකි ය යන මායාව ලෙනින් තරයේ ම ප්‍රතික්ෂේප කල අතර, නරෝද්නිකයන්ට හා රුසියානු සමාජ විප්ලවවාදී පක්ෂයට එරෙහිව ලෙනින් ලියා ඇති දෑ උඩින් මත්තෙන් කියවන්නෙකුට වුව ද මෙය පැහැදිලි වනු ඇත.

මේ නිසා ම සාර්වාදී පරිපාලකයන් මරා දැමීමට බෝම්බ හා පිස්තෝල අතැතිව ඉමහත් ධෛර්යයකින් යුතුව පෙරට ආ නරෝද්නිකයන්ගේ අසමාන වීරත්වය එසේ ම තිබිය දීත්, ලෙනින් මේ ක්‍රියාවන්ට තම මුලු ශක්තිය ම යොදා විරුද්ධ විය.

ලෙනින්ට නම් “බලය තුවක්කු කඳක් තුලින් වැඩෙන දෙයක්” නො වී ය.

වැඩ කරන ජනතාවගෙන් තොරව සියලු ම බෝම්බ බලයෙන් තොර ය; ප්‍රත්‍යක්ෂ ලෙස ම බලයෙන් තොර ය (ලෙනින්, එකතු කල කෘති, 6 වන වෙලුම, 191 පි.)

යනුවෙන් විප්ලවකාරී අතිධාවනකාරීන්ට එරෙහිව ලෙනින් සටහන් කලේ ය.

පෑගෙන රුසියානු ජනතාව සාර්වාදයට විරුද්ධව කෙසේ හෝ මෙහෙයවිය හැකි “හැඟීමක්” සොයා ගැනීමට ලෙනින් උනන්දු වුනේ නැත. ඔහු කලේ මේ ඒකාධිපතිත්වයට එරෙහිව සටන් කිරීමට හැකියාව ඇති විප්ලවවාදී පන්තිය මේ ඒකාධිපතිත්වය පෙරලීමට අවශ්‍ය විප්ලවවාදී විද්‍යාත්මක දැනීමෙන් සන්නද්ධ කිරීම යි. සාර් රුසියාවේ අතිවිශාල පීඩිත ජනතාව ලෙස සිටි ගොවියන් තමන් විඳින පීඩාව නිසා ම විප්ලවවාදීන් වී ඇති බව ලෙනින් නිගමනය නොකලේ ය. රුසියානු සමාජයේ නිෂ්පාදන බලවේගයන් විප්ලවවාදී ලෙස සංවිධානය කිරීමට හැකියාව ඇති පන්තිය කම්කරු පන්තිය බව ලෙනින් නිගමනය කරද්දී ඔහු එසේ කලේ මාක්ස්ගේ හා එංගල්ස්ගේ න්‍යායන් මත ස්ථිරව පදනම්ව ය.

ඒ න්‍යායන් මත පදනම් වූ ලෙනින්, තමාගේ සියලු ම ශක්තිය යෙදුවේ රුසියානු පීඩිතයන්ගේ හැඟීම් කෙසේ හෝ සාර්ට එරෙහිව යෙදවීමට නො ව “පන්ති සටන ගෙන යන විප්ලවවාදී පන්තියේ පක්ෂය” ගොඩ නැංවීමට ය.

නරෝද්නිකයන් හා සමාජ විප්ලවවාදීන් තුල ලෙනින් දුටු ඉමහත් විනාශකාරී ලක්ෂනය නම් ඔවුන් කම්කරු පන්තියට පසුපස හරවා ගෙන හිඳීම යි. කම්කරු පන්ති සටනට පිටින්, වෙන වර්ගයක “විප්ලව” කරන්ට යාම කම්කරු පන්තිය නායකත්වයෙන් තොර තත්වයකට ඇද දැමීමේ භයානක ව්‍යාපාරයක් වන බව ලෙනින් දුටුවේ ය. මේ නිසා ඔහු ඉහත කී සුලු ධනේශ්වර විප්ලවවාදීන්ට කටුකව පහර දුන්නේ ය.

මේ සටන තුලින් ඔහු නැවතත් වරක් කම්කරු පන්තියට ඔහුගෙන් ලැබුන අසමාන දායාදය වන “අලුත් වර්ගයක විප්ලවවාදී පක්ෂයේ” ස්වභාවය, දේශපාලනය හා විධික්‍රමය කුමක් ද යන්න වඩා ගැඹුරින් එලිදරව් කලේ ය. උදාහරනයක් ලෙස, 1902 දී සමාජ විප්ලවවාදී පක්ෂයට එරෙහිව ලෙනින් ලියූ මේ දෑ තුල සුලු ධනේශ්වර විප්ලවීයවාදය හා මාක්ස්වාදය අතර වෙනස ලෙනින් ඉස්මතු කරන ආකාරය දැකිය හැකි ය:

ජාත්‍යන්තර හා රුසියානු සමාජවාදයේ ප්‍රශ්නයන් ගැන ඔවුන්ට කිසි ම ප්‍රතිපත්තියක් නැති නිසා ම ඔවුහු එක ම විප්ලවවාදී මූලධර්මය වන පන්ති සටනේ මූලධර්මය තේරුම් නො ගනිති. රුසියානු කම්කරු පන්ති ව්‍යාපාරයට සමාජවාදය ඇතුලු කරන පක්ෂයක් පමනක් අද රුසියාව තුල නියම විප්ලවවාදී හා නියම සමාජවාදී පක්ෂයක් වන බව ඔවුහු තේරුම් නො ගනිති. රුසියානු කම්කරු පන්ති ව්‍යාපාරය ගැන සමාජ විප්ලවවාදීන්ගේ ආකල්පය හැම විට ම වාගේ බාහිර නිරික්ෂකයෙකුගේ ආකල්පය යි.

... කම්කරු පන්තිය කෙරෙහි දක්වන දෙගිඩියා සහගත ආකල්පය අනිවාර්යයෙන් ම එයින් (කම්කරු පන්තියෙන්) හුදෙකලා වීමට මග පාදයි. මේ හුදෙකලාව නිසා ම සමාජ විප්ලවවාදී පක්ෂයට කිසි යම් ම වූ හෝ සමාජ පදනමක් නැත.

... සමාජවාදී දෘෂ්ටිය කෙරෙහි අවඥා සහගත ආකල්පයකින් යුතු වෙමින් එක විට ම හා සම ප්‍රමානයෙන් බුද්ධිමතුන්, නිර්ධනීන් හා ගොවියන් මත පදනම් වන්ට හැදීමෙන් සමාජ විප්ලවවාදී පක්ෂය - එයට අවශ්‍යව තිබුනත් නැතත් - මෙහෙයවන්නේ රුසියානු ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ වහලුන් බවට රුසියානු නිර්ධන පන්තිය පත් කිරීමට යි. න්‍යාය සම්බන්ධව අවඥා සහගත වීම, සමාජවාදී දෘෂ්ටිය මග හැරීමට යත්න දැරීම හා ඒ සම්බන්ධයෙන් අවිනිශ්චිත වීම අනිවාර්යයෙන් ම ධනේශ්වර දෘෂ්ටිය විසින් යටපත් කර ගනු ලැබීමකට මග පාදයි (ලෙනින්, එකතු කල කෘති, 6 වන වෙලුම, 173 පි., අවධාරනය ලෙනින්ගේ).

තම පන්ති සටන ගෙන යන විප්ලවවාදී පන්තියේ පක්ෂය බවට පත් වීමට උත්සාහයක් වත් නො දරමින් මුල පටන් ගැන්මේ සිට ම කම්කරු පන්ති ව්‍යාපාරයෙන් පිට පැන සිටීම යන කරුනත් සමග සමාජ විප්ලවවාදීන් ත්‍රස්තවාදය කෙරෙහි දක්වන දැඩි ඇල්ම ලඟින් සම්බන්ධව ඇති බව තම බොලඳකම නිසා ම සමාජ විප්ලවවාදීහු වටහා නො ගනිති (එම, 189 පි.).

ලෙනින්ගේ මේ අරගලයන්ගෙන් හැටඅට වසරකට පමන පසු, අධිරාජ්‍ය විරෝධී වෛරයට හා 'දේශප්‍රේමිත්වයට' අධිරාජ්‍ය විරෝධී සටන ජය ගැන්විය හැකි බව ජනතා විමුක්ති පෙරමුන කියන විට ඔවුන් කරන්නේ “පන්ති සටනේ මූලධර්මය” යලිත් පෙරලා දැමීම යි.

අධිරාජ්‍යවාදයෙන් නිශ්චිතව ම කැඩීමට හැකියාව ඇති විප්ලවවාදී පන්තියේ පක්ෂය බවට පත් වීමට සටන් කරමින් මේ පන්තිය වටා දුගී ජනතාව ඒකරාශි කිරීමේ ක්‍රමයට පටහැනිව, අධිරාජ්‍ය විරෝධී සටනේ නායකත්වය ගොඩ නැගීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුන ඉදිරිපත් කරන අදහස් සමාන වන්නේ පරන නරෝද්නිකයන්ගේ අදහස්වලට ය.

අද ජනතා විමුක්ති පෙරමුන කරන්නේ අධිෂ්ඨානශීලී දේශප්‍රේමීන් කන්ඩායමක් ඇති කරන “නැගිටීමකට” පාලක පන්තියේ බලය අඩාල කර දැමිය හැකි ය යන මායාව පතුරුවා හැරීම පමනි.

මෙසේ නැගී සිටින දේශප්‍රේමීන් කොටසට බහුජනතාවගේ ඇස් හරවා ඔවුන් විප්ලවයේ මාවතට ඇද ලිය හැකි ය යන මායාව මේ ක්‍රියාකාරිත්වයට පසුපසින් වෙයි. එබඳු නැගිටීමකට සමසමාජවාදයේ හා ස්ටැලින්වාදයේ ග්‍රහනයෙන් කම්කරු පන්තිය කඩා ගැනීමට ශක්තියක් ඇතැයි සිතමින් විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීම පිලිබඳව මාක්ස්වාදයට පටහැනි අමුතු ම වර්ගයක සුලු ධනේශ්වර “න්‍යායක්” ජනතා විමුක්ති පෙරමුන මෙසේ වෙන්දේසි කරයි.

දැන් ඉතින් මාක්ස්වාදය වැඩක් නැත. “ලංකාවේ සුවිශේෂ තත්වය තුල” දේශප්‍රේමිත්වය මාක්ස්වාදයේ කටයුත්ත ඉටු කරයි! කම්කරු පන්තිය තුල ධනේශ්වර දෘෂ්ටීන්ට එරෙහිව විප්ලවවාදී විඤ්ඤානය සඳහා සටන් කරන මධ්‍යගත විප්ලවවාදී පක්ෂය පලක් නැත. 'දේශප්‍රේමී” නැගිටීම එක් සැනෙකින් ම සකල පීඩිත ජනතාව ම අධිරාජ්‍යවාදය පෙරලා දැමීමේ විඤ්ඤානය කරා ගෙන යයි!

“ලංකාවේ සුවිශේෂ තත්වය තුල” දේශප්‍රේමිත්වය විප්ලවවාදී වන්නේ කෙසේ ද යන ප්‍රශ්නය අපි ජනතා විමුක්ති පෙරමුනෙන් අසමු.

ඔවුන්ගේ “විප්ලවයේ” මුලට දේශප්‍රේමිත්වය මාට්ටු කර ගැනීමෙන් විප්ලවය ගැන ඔවුන්ට ඇති වැටහීම පමනක් හෙලි වේ. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ 'අධිරාජ්‍යවාදයෙන් බැට කන සියලු ම පන්තීන් අධිරාජ්‍යවාදී සතුරාට විරුද්ධව පහසුවෙන් ගෙන යා හැකි පොදු හැගීමක් ඒ පන්තීන් අතරින් සොයා ගැනීමට යි. ඒ හැගීම සොයා යන විට ජනතා විමුක්ති පෙරමුන මේ රටවල ජනතාවගේ සිත් තුල වඩා පහසුවෙන් ඇවිලවිය හැකි හැගීම වන 'දේශප්‍රේමිත්වය” සොයා ගෙන ඇත.

දැන් මිනිසුන් නැගිටුවීමට මේ 'දේශප්‍රේමිත්වය” යොදා ගත හැකි නම්, දේශප්‍රේමිත්වය මොන පන්තියක සංකල්පයක් වුවත් ඔවුන්ට කම් නැත. කල යුතුව ඇත්තේ කෙසේ හෝ 'නැගිටීම” ඇති කිරීමට පුලුවන් ආකාරයක් සොයා ගැනීම යි. වැඩේ ක‍ෙරෙනවා නම් ඉටියෙනුත් එක ය! මැටියෙනුත් එක ය!

“ලංකාවේ සුවිශේෂ තත්වය තුල” විප්ලවය ක්‍රියාත්මක කරවන බලවේගය බවට පත් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුන නම් කරන “දේශප්‍රේමිත්වය” වියුක්තව ගෙන එය ප්‍රතිගාමී ද, ප්‍රගතිශීලී ද ආදි වශයෙන් සංලක්ෂනය කිරීම මාක්ස්වාදීන්ගේ කටයුත්ත නො වේ. එනමුත් අධිරාජ්‍යවාදයට යටත්ව ඇති හා අධිරාජ්‍යවාදී රටවල “දේශප්‍රේමිත්වය” හැම විට ම ධනේශ්වර සංකල්පයක් බව අපි අවධාරනය කරමු.

ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය පරිපූරනව නැති විජිත හා අර්ධ විජිත රටවල ජාතික නිදහස අත් කර ගැනීමේ ව්‍යාපාරය හරයෙන් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී එකක් වන අතර, අධිරාජ්‍යවාදයට එරෙහිව මේ ව්‍යාපාරයට කොමියුනිස්ට්වාදීහු සහාය දෙති. “දේශප්‍රේමිත්වය” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුන නම් කරන්නේ මෙන්න මේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ ධනේශ්වර දෘෂ්ටිමය හරය වන අතර, මේ දේශප්‍රේමිත්වය හැම විට ම ධනේශ්වර දේශප්‍රේමිත්වය වේ.

කොමියුනිස්ට්වාදීන්, මේ ධනේශ්වර ප‍්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයන්ට දෙන සහාය කොන්දේසි සහිත වන අතර, කොයි කවර දාක වත් ජාතික විමුක්ති සටන මත ජාතික ධනේශ්වරයේ දෘෂ්ටිමය හා දේශපාලන ආධිපත්‍යය ගොඩ නගා ගැනීමට ඔවුන් සහාය දෙන්නේ නැත. ඊට වඩා වෙනස් ලෙස, මේ ව්‍යාපාරය තුල ධනේශ්වර ග්‍රහනය කැඩීමට මාක්ස්වාදීහු එක දිගට ම සටන් කරති. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ දෙවන සම්මේලනයට විජිත රටවල් ගැන ප්‍රවාදය ඉදිරිපත් කල ලෙනින් මේ සම්බන්ධයෙන් කීවේ මෙය යි:

…කොමියුනිස්ට් ජාත්‍යන්තරය එක කොන්දේසියකින් යුතුව පමනක් විජිත හා පසුගාමී රටවල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයට සහාය දිය යුතු ය. එනම්, නමෙන් පමනක් නො ව ඔවුන්ගේ විශේෂ කටයුත්ත වන තම ජාතීන් තුල ම ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයට විරුද්ධව කල යුතු සටන ගැන වැටහීමක් ඇති, පුහුනුවක් ලැබූ අනාගත කොමියුනිස්ට් පක්ෂයන් මේ රටවල් තුල ගොඩ නගා ගැනීමේ කොන්දේසියෙන් යුතුව ය. කොමියුනිස්ට් ජාත්‍යන්තරය විජිත හා නොදියුනු රටවල් තුල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයත් සමග තාවකාලික සන්ධානයකට යා යුතු ය. එනමුත් එයත් සමග නො පෑහිය යුතු අතර, කම්කරු ව්‍යාපාරය ඉතා ම ලදරු අවස්ථාවක තිබුනත් සෑම තත්වයක් යටතේ ම එහි ස්වාධීනත්වය ඉස්මතු කල යුතු ය (ලෙනින්, එකතු කල කෘති, 31 වන වෙලුම, 149-50 පිටු).

දැන්, ජනතා විමුක්ති පෙරමුන ලංකා විප්ලවය පෙරට තල්ලු කරන බලවේගය බවට පත්ව ඇතැයි කියන “දේශප්‍රේමිත්වය” කම්කරු ව්‍යාපාරයේ ස්වාධීනත්වය ඉස්මතු කරන්නක් ද, නැත් නම් කම්කරු ව්‍යාපාරය ධනේශ්වරයට යට කරන්නක් ද යන ප්‍රශ්නය මතු කිරීම ම පමනක් වුව ද ජනතා විමුක්ති පෙරමුන තුල ඇටුවන් බැස ඇති ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී මායාවන් එලිදරව් කිරිමට සෑහේ.

කොමියුනිස්ට් පක්ෂය, ජාතික ප්‍රශ්නය ගැන තම ප්‍රතිපත්ති සකසා ගැනීමේ දී සැලකිල්ලට ගත යුතු දෙවන කරුන හැටියට “වැඩ කරන හා සූරා කැවෙන පන්තීන්ගේ අවශ්‍යතාවන් හා සමස්තයක් හැටියට ජාතික අවශ්‍යතාව යන සාමාන්‍ය සංකල්පය අතර ඇති පැහැදිලි වෙනස” දැක්වූ ලෙනින් “සමස්ත වශයෙන් ජාතික අවශ්‍යතාව යන්නෙන් ඇඟවෙන්නේ පාලක පන්තියේ අවශ්‍යතාව” බව කෙලින් ම සඳහන් කලේ ය (එම, 145 පි.).

ලෙනින්වාදය හා දේශප්‍රේමිත්වය පෑස්සීමට ජනතා විමුක්ති පෙරමුන දරන උත්සාහයට ඒ අයුරින් ලෙනින්ගෙන් ම පිලිතුරු ලැබී ඇත!

ඔව්, “දේශප්‍රේමිත්වය” ලෙහෙසියෙන් ජනතාව නැගිටුවිය හැකි හැඟීමක් විය හැකි ය. එහෙත් එය ජනතාව මෙහෙයවන්නේ ධනේශ්වරයේ ග්‍රහනය යටට ය. ජනතා විමුක්ති පෙරමුන පන්ති සටන අත හැර, “පුලුවන් විදියට” “පුලුවන් බලයන්” අධිරාජ්‍යවාදයට විරුද්ධව ගෙන යාමට ගොස් වැටී ඇත්තේ ධනේශ්වරයේ ඔඩොක්කුවට ය!

අධිරාජ්‍යවාදය පෙරලා දැමීමේ සටන් විද්‍යාව වන මාක්ස්වාදය ප්‍රතික්ෂේප කිරීම, අපෝහක භෞතිකවාදී විධික්‍රමය ප්‍රතික්ෂේප කිරීම, තත්කාර්යවාදී සූත්‍රයන් තුලින් (කිසි ම විද්‍යාත්මක විග්‍රහයකින් තොරව “කෙරෙන විදියට” කිරීමේ සූත්‍රයන් සොයා යාම තුලින්) ධනපති පන්තියේ ග්‍රහනය යටතට යාමක් පමනක් බව මෙයින් හොඳට ම පැහැදිලි වේ.

“ලංකාවේ සුවිශේෂ තත්වය තුල” දේශප්‍රේමිත්වය ඉටු කරන විප්ලවවාදී කටයුත්ත ගැන න්‍යායක් ඉදිරිපත් කර, මේ පදනම උඩ “අධිරාජ්‍ය විරෝධී සටන” යැයි කියා ජනතා විමුක්ති පෙරමුන සංවිධානය කරන “සටන” කම්කරු පන්තිය බෙදීමේ හා ධනේශ්වරයට යට කිරීමේ සටනකි.

මාක්ස්වාදය ප්‍රතික්ෂේප කර දේශප්‍රේමිත්වය මත පදනම්ව අධිරාජ්‍ය විරෝධී “සටන” සංවිධානය කරන ජනතා විමුක්ති පෙරමුනට ලංකාවේ ඇත්ත අධිරාජ්‍ය විරෝධී බලවේගයන් පෙනෙන්නේ අධිරාජ්‍ය ගැති බලවේගයන් ලෙස ය!

පත්තීන් ගැන හා ඒවායේ අන්තර් සම්බන්ධතාවන් ගැන කරන විග්‍රහයකින් කම්කරු පන්තිය අධිරාජ්‍ය විරෝධී අරගලයේ නායකත්වය විය යුතු බව මාක්සස්වාදීන් නිගමනය කරද්දී, වතු කම්කරුවන් මේ නිෂ්පාදන ක්‍රමය තුල කුමන තැනක් දැරුවත් ඔවුන් තුල “දේශප්‍රේමිත්වය” නැති නිසා ඔවුන් විප්ලවයේ සතුරන් වන බව ජනතා විමුක්ති පෙරමුන කියයි.

දැන් ඔවුන්ගේ “දේශප්‍රේමී ” න්‍යාය, සිංහල හා දෙමල කම්කරුවන් භේද කිරීමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ සිට, ඩී.ඇස්. සේනානායක, බන්ඩාරනායක, සිරිමා බන්ඩාරනායක ආදින් දක්වා සියලු ම කොටස් යෙදූ ජාතිවාදී උපායට හොඳින් ම ගැලපෙන හැටි අපට දැක ගත හැකි ය. “දේශප්‍රේමිත්වය” ධනේශ්වරයේ දෘෂ්ටිමය ආයුධයක් වන අතර, එය ජනතා විමුක්ති පෙරමුන අතෙහි දී ධනේශ්වරයට විරුද්ධ ආයුධයක් බවට පත් නො වේ.

මේ අනුව ලංකාවේ ඇත්ත අධිරාජ්‍ය විරෝධී සටනක් දියත් කිරීමට ප්‍රධාන බාධාව ලෙස පවතින සිංහල කම්කරුවන් හා වතු කම්කරුවන් අතර නිර්මානය කර ඇති බෙදීම පවත්වා ගෙන යාමටත්, ගැඹුරු කිරීමටත් සිංහල කතා කරන කම්කරුවන් ජාතිවාදයෙන් දූෂනය කිරීමටත් ජනතා විමුක්ති පෙරමුන පෙරට එයි.

ඔවුන්ගේ අධිරාජ්‍ය විරෝධී සටන “දේශප්‍රේමිත්වය” තුලින් ගොස් අධිරාජ්‍යවාදයට මුක්කු ගැසීමේ සටන බවට පත්ව ඇත්තේ මෙසේ ය.

මේ රටවල අධිරාජ්‍ය විරෝධී සටන ජයග්‍රහනය කරා ගෙන යාමට මේ සටනේ නායකත්වයට කම්කරු පන්තිය ගත යුතු අතර එය කල හැකි වන්නේ ජාතික විමුක්ති ව්‍යාපාරය මත පිහිටුවා ඇති ධනේශ්වරයේ දේශපාලනයට හා දෘෂ්ටිමය ග්‍රහනයට විරුද්ධව සටන් කිරීමෙනි.

මේ සටන ගෙන යාම දවසේ අවශ්‍යතාව බවට පත්ව තියෙද්දීත්, සමසමාජවාදීන් හා ස්ටැලින්වාදීන් මෙන් ම ජනතා විමුක්ති පෙරමුනත් කරන්නේ දේශප්‍රේමිත්වයේ රැහැනින් කම්කරු පන්තිය ධනපති පන්තියට ගැට ගසා දැමීම යි.

Loading