ලංකාවේ නය ප්‍රතිව්‍යූහකරනයට බැඳුම්කරහිමියන්ගෙන් රුදුරු කොන්දේසි මාලාවක්

විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කිරීමට කම්කරු පංතිය සටන් කලයුත්තේ ඇයි?

ශ්‍රී ලංකාව, තම නය ප්‍රතිව්‍යූහකරනය සඳහා, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන් සමග පැවැත් වූ සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වූ බව, මුදල්, ආර්ථික ස්ථායීකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය අප්‍රේල් 16 දා නිල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

මාර්තු මස මැද ලන්ඩන් හි දී පැවති මෙම සාකච්ඡාවන්ට බැඳුම්කරහිමියන් වෙනුවෙන් සහභාගි වූ නියෝජිතයන් විසින් යෝජනා මාලාවක් ඉදිරිපත් කොට ඇති අතර ඉන් ප්‍රධාන යෝජනා දෙකකි.

පෞද්ගලීකරණයට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් 2024 ජනවාරි 4 වැනි දින කොළඹදී විරෝධතාවයක නිරත වේ.

කඩකල බැඳුම්කර (defaulted bonds) වෙනුවෙන්, පාලන-සබැඳි බැඳුම්කර (Governance-Linked Bond - ජීඑල්බී) හුවමාරු කලයුතු බව එක් යෝජනාවකින් කියැවේ. දල ජාතික නිෂ්පාදනයට බදු ආදායම දක්වන අනුපාතය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) වැඩපිලිවෙල යටතේ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන තෝරාගත් ප්‍රතිසංස්කරන යන ද්වයෙහි කාර්යසාධනයන් මත ජීඑල්බී ව්‍යූහගත කෙරේ.

කඩකල බැඳුම්කරයන් හි වටිනාකම් සියයට 28 කින් අවප්‍රමානය කලයුතු බවත්, යෝජිත නව නව බැඳුම්කර නිකුත් කිරීමේදී සියයට 1.8 ක ගාස්තුවක් (upfront fee) බැඳුම්කරහිමියන්ට ගෙවිය යුතු බවත් දෙවැනි යෝජනාවෙන් කියැවේ.

ශ්‍රී ලංකාව එම යෝජනාවන් දෙකටම තම නොඑකඟතාවය පලකලබවත්, සාකච්ඡාවන් සඳහා කලින් නියම කරගත් කාල සීමාව දිර්ඝ කිරීමට ශ්‍රී ලංකාවෙන් ගෙන ආ යෝජනාව අනෙක් පාර්ශ්වය විසින් ප්‍රතික්ෂේප කල බවත් මුදල් අමාත්‍යංශ ප්‍රකාශය කියා සිටී.

2023 අවසන් වනවිට එජ ඩොලර් බිලියන 54.8 ඉක්මවා තිබූ ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ නය ප්‍රමානයෙන් සියයට 40 කට ආසන්න ප්‍රමානයක් ලබාගෙන ඇත්තේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හරහා වන අතර, 2022 අප්‍රේල් මාසයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව, බැඳුම්කර නය ද ඇතුලත් ශ්‍රී ලංකාව ලබාගත් විදේශ නය වෙනුවෙන් නය වාරික සහ පොලී ගෙවීම තවදුරටත් කල නොහැකි බව ප්‍රකාශයට පත් කලේය.

ශ්‍රී ලංකාව මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර බැඳුම්කරහිමියන්ගේ යෝජනා ක්‍රියාත්මක කල හැක්කේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව කම්කරු-පීඩිත මහජනතාව මත දැනටමත් පටවා ඇති දැවැන්ත බදුබර සහ රුදුරු කප්පාදු වඩාත් තීව්‍ර කිරීමෙන් පමනි.

එය, වැඩෙමින් පවතින මහජන කෝපය අවුලුවා, ගෝඨාභය රාජපක්ෂ තන්ත්‍රය පලවා හැරි 2022 මහජන නැගිටීම පරයා යන සමාජ පිපිරීමක් දෙසට වර්ධනය වෙතැයි ආන්ඩුව ඇතුලු ධනපති පාලක පංතිය ගනන් බලයි. බැඳුම්කරහිමියන්ගේ යෝජනා සම්බන්ධයෙන් ආන්ඩුවේ නොඑකඟතාවය ගලා එන්නේ එම භීතියෙනි.

කෙසේ නමුත්, ජාත්‍යන්තර නය ප්‍රතිව්‍යූහකරනය යනු, ශ්‍රී ලංකාව ජාමූඅ න් කොටස් වශයෙන් ලබා ගන්නා එජ ඩොලර් 3 ක ඇපනය වෙනුවෙන් එය විධානය කොට ඇති වැඩපිලිවෙලේ ප්‍රධානතම අංගය යි. ඒ සම්බන්ධයෙන් ජාමූඅ අපෙක්ෂා කරන 'සාර්ථකත්වය' පෙන්නුම් නොකලහොත්, වාරික හතරකින් ලබා දීමට නියමිත නයෙහි තෙවන වාරිකය අහිමිවීමේ බරපතල තර්ජනයට ශ්‍රී ලංකාව මුහුන දී සිටී.

මෙම තතු තුල, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ඇතුලු ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ සියලු ආයතන මෙම නය ප්‍රතිව්‍යුහකරනය වහා ක්‍රියාත්මක කලයුතු බවට වික්‍රමසිංහ ආන්ඩුවට යොදන පීඩනය වඩාත් තීව්‍ර කරමින් පවතී.

අප්‍රේල් 19 දා ඩේලි එෆ්ටී හි පල වූ වාර්තාවකට අනුව, ජාමූඅ හි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්න ශ්‍රීනිවාසන්, බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව කල සාකච්ඡාවන්හි දී එකඟතාවයකට පැමිනීමට නොහැකිවීම සම්බන්ධයෙන් තම උත්සුකය පල කරමින් ඉදිරි සාකච්ඡාවන්හි දී 'ඔවුන් එකඟතාවයකට පැමිනෙතැයි මම බලාපොරොත්තු වෙනවා' යයි පැවසුවේය.

මේ අතර, විදේශ නය ආපසු ගෙවීම සඳහා අවශ්‍ය මුදල් මිරිකා ගනුවස් තමා විසින් පනවා ඇති කප්පාදු වැඩපිලිවෙල රටෙහි නීති බවට වහා පත් කිරීමේ අවශ්‍යතාවය ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අවධාරනය කරයි. වික්‍රමසිංහ ආන්ඩුව දැනටමත් එම නීති කෙටුම්පත් කරමින් සිටී.

රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්වය සහ රාජ්‍ය ව්‍යවසායන් ඇතුලු ක්ෂේත්‍ර ගනනාවක ව්‍යූහාත්මක වෙනස්කම් සිදු කෙරෙන නව නීති මාලාවක් ගෙනඑන බව භාන්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන අප්‍රේල් 08 දා මුදල් අමාත්‍යංශ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කලේය.

මේ අතර, විදේශ නය ආපසු ගෙවාගත නොහැකිව දැඩි අර්බුදයකට මුහුන දී සිටින ශ්‍රී ලංකාව වැනි රටවල් එකී නය ආපසු ගෙවීමෙන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයන් ගෙනයන විරෝධතා ජාත්‍යන්තරව වර්ධනය වෙමින් පවතී.

පසුගිය සතියේ, ජාමූඅ-ලෝක බැංකු වාර්ෂික හමුව පැවති වොෂින්ටනයට රැස් වූ එවන් ක්‍රියාකාරීහු පිරිසක්, 'ගෝලීය දකුනේ' රටවල් සඳහා 'ගැඹුරු, පුලුල් සහ ක්ෂනික නය අහෝසි කිරීමක්' ඉල්ලා විරෝධතා දැක්වූහ. නය ගෙවාගත නොහැකිව අර්බුදයේ ගිලීසිටින පකිස්ථානය, නේපාලය, පිලිපීනය, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව ඔවුහු උදාහරන ලෙස දැක්වුහ.

වොෂින්ටනයේ විරෝධතාවට සමගාමීව ශ්‍රී ලංකාව තුල ද 'නය අහෝසි කිරීමක්' ඉල්ලා විරෝධතා පැවැත්වුනි. කොලඹට රැස් වූ විරෝධතාකරුවෝ, ජාමූඅ ශ්‍රී ලංකාවට කොටස් වශයෙන් ලබාදෙන ඇප නය හේතුවෙන් රට ලබා ඇති 'ප්‍රගතිය' ට විපරීතව, විදුලි ගාස්තු සහ මහජනතාවගෙන් අය කරන විවිධ බදු මුදල් අහස උසට නගින තතු තුල, විරැකියාව සහ කුසගින්න දැවැන්ත පරිමානයෙන් ඉහල නැග ඇති බව මාධ්‍යයට පැවසූහ.

නය අහෝසිකරන ලෙස ඉල්ලා කෙරෙන මෙම නිෂ්ඵල අයාචනයන් ඉදිරිපත් කෙරෙන්නේ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ඝෘජු උපකරනයන් වන ජාමූඅ සහ ලෝක බැංකුව වැනි ආයතන වෙතයි.

මේ සා දැවැන්ත නය කන්දරාවක් ලබාගෙන ඇත්තේ, කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවිත නගා සිටුවීමට නොව.ධනපති පංතියේ අවශ්‍යතා වෙනුවෙනි.

ශ්‍රී ලංකාව ගත්කල, අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් ලබාගෙන ඇති විදේශ නය අති මූලික වශයෙන් වැයකොට ඇත්තේ, කම්කරු පංතිය වාර්ගිකව බෙදා තම පාලනය ගෙනයනුවස් ධනපති පාලක පංතිය 26 වසරක් පුරා ගෙනගිය රුදුරු යුද්ධයට සහ සමස්ත දිවයින ජාතික සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ලාභ ශ්‍රම වේදිකාවක් බවට පත් කරනුවස් වර්ධනය කරන ලද යට්තල පහසුකම් වලටයි. පසුගිය දශක ගනනාව පුරා කම්කරු පංතිය අත්දුටුවේ මෙම ධනපති අවශ්‍යතා වෙනුවෙන් දියත් කෙරුනු අඛන්ඩ කප්පාදු මාලාවකි.

කම්කරුවන් හා දුගීන්, තමන්ගේ ජීවන කොන්දේසි මිරිකා දමමින් මේ නය ආපසු ගෙවීමට ඉඩ නොදිය යුතුය. 'විදේශ නය ආපසු ගෙවීම මුලුමනින්ම ප්‍රතික්ෂේප කරනු!' කම්කරුවන්ගේ ඉල්ලීම එයයි..

ජාත්‍යන්තර කම්කරු පංතියේ ඓතිහාසික ආස්ථානය වූයේ ද එයයි. එවකට රුසියානු අගනගරය වූ පෙට්‍රොග්‍රෑඩ් හි කම්කරු නියෝජිතයන්ගේ කවුන්සිලය (සෝවියට් සභාව) 1905 දෙසැම්බරයේදී සම්මත කරගත් ක්‍රියාමාර්ගය තුල විදේශ නය ප්‍රතික්ෂේප කිරීමේ යෝජනාව සමාප්ත කොට තිබුනේ මෙසේ ය:

'ආඥාදායකත්වය කිසි විටෙක ජනතාවගේ විශ්වාසය භුක්ති නොවිඳින අතර ජනතාව විසින් කිසි විටෙක එවන් අධිකාරිත්වයක් ලබා දුන්නේ නැත. මේ වන විට ආන්ඩුව තම රටේ දේශසීමා තුල හැසිරෙන්නේ තමන් යටත් කරගත් භූමියක් පාලනය කරන්නාක් මෙනි. සාර්වාදී ආන්ඩුව සමස්ත ජනතාව සමඟ විවෘත යුද්ධයක යෙදී සිටියදී, එය විසින් ලබාගත් නය ආපසු ගෙවීමට ඉඩ නොදීමට අපි තීරනය කලෙමු.'

1905 දෙසැම්බර් 2 වන දින මෙම ප්‍රකාශනය ශාන්ත පීටර්ස්බර්ග් හි පුවත්පත් අටක, එනම් සමාජවාදී පුවත්පත් හතරක සහ ලිබරල් පුවත්පත් හතරක ප්‍රකාශයට පත් කිරීමත් සමග නගර, කම්හල් සහ ගොවිබ්ම් සිසාරා මහජන නැගිටීම් පැතිර ගියේ ය. 1905 විප්ලවය පරාජය වූ නිසා ඉහත ප්‍රකාශනය ක්‍රියාත්මක කල නොහැකි විය.

එය ක්‍රියාත්මක කෙරුනේ 1917 ඔක්තෝබර් සමාජවාදී විප්ලවයෙන් රුසියාවේ කම්කරු පංතිය බලය ගැනීමෙන් මාස කිහිපයකට පසු 1918දීයි.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය මධ්‍යයේ සහ ඉන් අනතුරුව අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් ගෙනගිය විවිධ කප්පාදු හරහා මිරිකාගත් මුදල් විදේශ නය වාරික සහ පොලී ගෙවීම සඳහා යොදා ගනිද්දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනක්ම, 'විදේශ නය ආපසු ගෙවීම මුලුමනින්ම ප්‍රතික්ෂේප කරනු!' යන ඉල්ලීම ඉදිරිපත් කරමින් කම්කරු පංතිය තුල සටන් වැදුනි.

2022 ශ්‍රී ලංකාවේ මහජන නැගිටීම මධ්‍යයේ, 2022 අප්‍රේල් 07 දා, සමාජවාදී සමානතා පක්ෂය කම්කරු-පීඩිත මහජනතාවට ඉදිරිපත් කල ක්‍රියාමාර්ගය තුල විදේශ නය සම්බන්ධයෙන් වූ ඉල්ලීම් සූත්‍රගත කෙරුනේ මෙම ඓතිහාසික පාඩම් මතයි. සසප ප්‍රකාශයේ මෙසේ සඳහන් විය:

'සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු නියෝගයන් ප්‍රතික්ෂේප කරනු!

'රාජපක්ෂ ආන්ඩුව එහි කටුක කප්පාදු පියවරයන් යුක්තියුක්ත කරනුයේ, ගෝලීය බැංකු වෙත බිලියන ගනන් ඩොලර් ආපසු ගෙවීමේ අවශ්‍යතාව මතු කරමිනි. විරුද්ධ පක්ෂ ද මෙයට එකඟ වෙති. මේ වසරේ දී ජාත්‍යන්තර බැංකුවල පෙට්ටගම් වෙත එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක් ගෙවීම වෙනුවට, වැඩකරන ජනයාට අවශ්‍ය ආහාර, ඉන්ධන, ඖෂධ හා අනෙකුත් අත්‍යවශ්‍ය භාන්ඩ සඳහා ගෙවීමට එම මුදල් යොදාගත යුතු ය.'

1905 දී රුසියානු කම්කරු පංතිය තීරනය කලාක් මෙන්, 'ආන්ඩුව සමස්ත ජනතාව සමඟ විවෘත යුද්ධයක යෙදී සිටියදී, එය (ඇතුලු අනෙකුත් ධනපති ආන්ඩු) විසින් ලබාගත් නය ආපසු ගෙවීමට ඉඩ නොදීමට' ශ්‍රී ලංකාව ඇතුලු නය බරින් මිරිකී සිටින සියලු රටවල කම්කරු පංතිය ප්‍රමුඛ මහජනතාව තීරනය කල යුතුය.

'සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු!' යන ඉල්ලීම සාක්ෂාත් කල හැක්කේ, කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මගින් ධනපති ආන්ඩුව පෙරලා දමා, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් සහ එයට ජාත්‍යන්තර කම්කරු පංතියෙන්, විශේෂයෙන්ම එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී රටවල කම්කරු පංතියෙන් ලැබෙන සහයෝගය මත පමනි. සමාජවාදී සමානතා පක්ෂය පමනක් ම මේ ක්‍රියාමාර්ගයට සටන්වදී.

Loading