පේරාදෙනිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ තමන් මුහුන දෙන සමාජ-ආර්ථික ප්‍රශ්න ගැන ලෝසවෙඅ ට කතා කරති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යටතේ වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දමා ඇති රුදුරු කප්පාදු සහ පුද්ගලීකරන වැඩ පිලිවෙල සමාජයේ සෙසු කොටස් මත මෙන්ම ශිෂ්‍යයන් මතද ඉමහත් බලපෑමක් ඇති කොට තිබේ. බොහෝ විට දෙමාපියන්ගේ ආදායමෙන් හෝ අර්ධ කාලීන රැකියා වලින් යැපෙන මෙම සිසුන්ගේ සමාජ, ආර්ථික තත්වයන් පසුගිය වසර කිහිපය තුල වේගයෙන් පහත හෙලා ඇත.

2022 අප්‍රේල් 6 දින පේරාදෙනියේ ගලහ හන්දියේ පැවති ශිෂ්‍ය විරෝධතාවක් (ලෝසවෙඅ මාධ්‍ය)

උද්ධමනය හේතුවෙන් දැවැන්තව ඉහල ගිය ආහාර සහ ලිපි ද්‍රව්‍ය මිල ගනන්, බෝඩින් ගාස්තු ආදී ඉහිලිය නොහැකි කොන්දේසි වලට ඔවුහු මුහුන දෙති. වේගයෙන් ඉහල යන වියදම් මධ්‍යයේ ආදායම් පිරිමසා ගැනීමේ අරමුනෙන්, බොහෝ විට ආහාර වේල් අවම කිරීම ආදී දුෂ්කර පියවරයන්ට ශිෂ්‍යයෝ එලඹෙති. මේ හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපනය විශාල වශයෙන් අඩපන වී ඇත.

නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමේ ආන්ඩුවේ පිලිවෙත් වල ප්‍රතිඵලයක් ලෙස මෙතෙක් කලක් හිමි වුනු සොච්චම් මහපොල සහනාධාරය පවා විධිමත්ව නොලැබේ. මෙම ඉහිලිය නොහැකි කොන්දේසි වලට එරෙහිව ශිෂ්‍යයන් නිරතුරුවම අරගලයට එලැඹෙන නමුත් විශ්ව විද්‍යාල පාලනාධිකාරියේ සහ ආන්ඩුවේ ප්‍රතිචාරය වී ඇත්තේ ඊට එරෙහිව මර්දනය ක්‍රියාත්මක කිරීමයි.

මෙම තතු තුල තමන් මුහුන දෙන ගැටළු විසඳා ගැනීමට සටන් කල හැක්කේ කෙසේද යන පැනය ශිෂ්‍යයන් ඉදිරියේ තීරනාත්මක ප්‍රශ්නයක් ලෙස මතු වී ඇත. සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත විය.

සිසුන් 20,000 කට ආසන්න සංඛ්‍යාවක් මෙම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබති. ශිෂ්‍යයන් ඉදිරිපත්කල කරුනු වලින් පැහැදිලි වූයේ දශක ගනනාවක් තිස්සේ ධනපති ආන්ඩු ගෙන ගිය කප්පාදු සහ පුද්ගලීකරන පිලිවෙත් ඔවුන් මත ඛේදජනක ලෙස බලපා ඇති ආකාරය යි.

පලමු වසර ශිෂ්‍යාවක් සඳහන් කලේ තවමත් “මහපොල ශිෂ්‍යාධාරය ලැබී නොමැති” බවයි. ඇය මෙතෙක් තමන්ගේ වියදම් කලමනාකරනය කොට ගෙන ඇත්තේ විශ්ව විද්‍යාලයට පැමිනීමට පෙර කල රැකියාවෙන් ලැබූ ආදායමෙන් සහ ශිෂ්‍යත්වයකිනි. එම ඉතුරුම් පවා ඉහල යන ජීවන වියදම හමුවේ දැන් අවසන් වී ඇති බව ශිෂ්‍යාව සසජාතශි සාමාජිකයන්ට පැවසුවාය.

“අම්මා ගාමන්ට් එකක වැඩ කරන්නෙ. තුන් දෙනෙක් ඒකෙන් යැපෙනවා. දහඅටදාහයි මාසෙකට පඩිය. කැම්පස් එකට වියදම් කරන්න සල්ලි නැති බව දැනගත්තට පස්සෙ රුපියල් දහදාහක් දාලා තිබුනා” යනුවෙන් ඇය අධ්‍යාපන වියදම් දෙමව්පියන්ගේ ආර්ථිකයට දැරිය නොහැකි ආකාරය පැහැදිලි කලාය. මෙම ඉහල යන වියදම් පිරිමසා ගැනීමට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ බොහෝ විට අනෙක් තැන් වලට සාපේක්ෂව මිල ගනන් අඩු විශ්ව විද්‍යාල ආපන ශාලා වලින් ආහාර ලබා ගැනීමට යොමු වෙති.

ඇය වැඩි දුරටත් කීවේ මෙම ආපන ශාලාවල ආහාර වල කිසිදු රහක් නොමැති බවයි. එමෙන්ම විශ්ව විද්‍යාල නේවාසිකාගාර හිමිවන්නේ පලමු සහ තෙවන වසර සිසුන්ට පමනක් නිසා ලබන වසරේ සිට තමන්ටද බෝඩින් කාමරයක් සොයා යෑමට සිදුවන බව ඇය කීවාය.

උද්ධමනයත් සමග මෙම බෝඩිම් වල මිල ගනන් ඉහල ගොස් ඇත. බොහෝ විට එක් ශිෂ්‍යයෙකුට බෝඩිමකට රුපියල් හත් දහසක පමන මුදලක් දැරීමට සිදුවේ. මෙම තතු තුල තමන් මහපොල ශිෂ්‍යාධාරය ලැබේ යයි බලාපොරොත්තුවෙන් සිටින බව ද, ඒ සම්බන්ධයෙන් උද්ඝෝෂන පැවැත්වුවද විශ්ව විද්‍යාලයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද ශිෂ්‍යාව සඳහන් කලාය.

ධනපති ක්‍රමය පද්ධතිගත අර්බුදයකට මුහුන දී ඇති තතු තුල ලොවපුරා ආන්ඩු කම්කරු පීඩිත මහජනතාව අතීතයේ දිනාගත් අයිතීන් උදුරා ගැනීමට පෙලැඹී ඇතිබව සසජාතශි සාමාජිකයෝ ඇයට පැහැදිලි කලහ. කම්කරු-ශිෂ්‍ය විරෝධතා අඛන්ඩව තිබියදීත් ලංකාව තුල නිදහස් අධ්‍යාපනයට එල්ල කර ඇති ප්‍රහාරය ඊට නිදසුනක් බව එහිදී පෙන්වා දුනි. දශක ගනනාවක් තිස්සේම නිදහස් අධ්‍යාපනයට අයවැයෙන් වෙන් කරන ප්‍රමානය දල ජාතික නිෂ්පාදනයෙන් සියයට දෙකකටත් අඩු සොච්චමක් වන අතර එය වසරින් වසර කප්පාදු කොට ඇත. ශිෂ්‍යාව මුහුන දෙන රුදුරු කොන්දේසි එහි ප්‍රකාශනයක් බව ඇයට පෙන්වා දුනි.

ශාස්ත්‍ර පීඨයේ නීතිය හදාරන පලමු වසර ශිෂ්‍යයෙකු පැවසුවේ පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීමට විශාල මුදලක් වැය වන බවයි. “කැන්ටිමෙන් රුපියල් අසූවට ව්‍යංජන තුනක් එක්ක බත් එක හම්බෙනවා. මස් බිත්තර එකතු වෙනකොට තව ගානක් එකතු වෙනවා. ඒක හින්දා හුඟක් අය මස් මාලු කන්නෙ නෑ. ඒ මුකුත් නැතුවත් කෑම වලට දවසකට රුපියල් තුන්සීයක් යනවා.”

ඔහු සඳහන් කලේ වියදම් පිරිමහමින් වැඩ කටයුතු කලත් ඇතැම් විට රුපියල් පහලොස්දහසක් පමන සතියකට වියදම් වන බවයි. විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල අත්‍යවශ්‍ය පහසුකම් සම්පාදනය නොකිරීම හේතුවෙන් සිසුන්ට අමතර වියදම්ද දරා සිය අධ්‍යාපන වැඩ කටයුතු සම්පූර්න කිරීමට සිදුව තිබේ.

ඔහු සඳහන් කලේ ජේම්ස් පීරිස් නේවාසිකාගාරයේ ඉහල මාලය අලුත්වැඩියා කටයුත්තක් යැයි කියමින් වසරක් පුරා වසා තිබෙන බවයි. තමන් සිටින නේවාසිකාගාරයේ වයිෆයි පහසුකම් නොමැති නිසා ලමුන්ට “මුදල් වියදම් කර වයිෆයි රවුටර් ගෙනැවිත්” අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට සිදුව ඇති බව ඔහු කීවේය. අධ්‍යාපන කටයුතු වලට අන්තර්ජාල පහසුකම් අත්‍යාවශ්‍ය දෙයක් බවට පත්ව ඇත.

එමෙන්ම සිසුන්ට දේශන ශාලා හිඟයට ද මුහුන දීමට සිදුව තිබේ. නීතී ශිෂ්‍යයා සඳහන් කලේ තම වසර කන්ඩායමේ ලමුන් 77 ක් සිටින නමුත් ඔවුන්ට එක්වර සහභාගිවිය හැකි දේශන ශාලාවක් තවමත් නොමැති බවයි. එමෙන්ම මුහුන දෙන සමාජ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් සිසුන් විශාල වශයෙන් “මානසික ආතති” තත්වයන්ට ලක්ව ඇති බව ඔහු කීවේය. මෙසේ අතිශය දුෂ්කර කොන්දේසි මධ්‍යයේ ඉගෙනුම ලබා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබුවද ඉන් පසුව ඔවුන්ට උග්‍ර විරැකියා තතු වලට මුහුන දීමට සිදුවේ.

“බැචස් තුනක් ඉන්නවා රස්සා නැතුව විශේෂයෙන්ම රජයේ රැකියා නෑ. බොහෝ දෙනා හිතන් ඉන්නේ රට යන්න කියලා. නමුත් එහෙම යන්න හම්බෙන්නෙත් ඉතා කුඩා කන්ඩායමකට” නීති ශිෂ්‍යයා කීවේය.

“ජාමුඅ කප්පාදුවෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරලා තියෙන්නෙ. නය අරන් මුකුත් කරන්න බෑ. අපෙන්මයි ඒවා ගෙවන්නෙ. දැන් බැංකු වලින් නය වල පොලී වැඩි කරලා තියෙනවා මේවයින් පහර වදින්නේ සාමාන්‍ය මිනිස්සුන්ට” යැයි ඔහු පැවසීය. මෙම ප්‍රශ්න විසඳා ගැනීමට ආන්ඩුවට බලපෑම් දැමීම සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) වැනි සංවිධාන තිබිය යුතු බවත් එවිට “ආන්ඩුව බිය වී” ඒවාට විසඳුම් ලබා දෙන බවත් ශිෂ්‍යයා කීවේය.

නමුත්, යථාර්ථය එයට ප්‍රතිවිරුද්ධ බව මෑතම උදාහරන මගින් සසජාතශි සාමාජිකයේ පෙන්වා දුන්හ. පසුගිය බදාදා මහපොල භාරකාර අරමුදල සමග සාකච්ඡාවකට ගිය අවිශිබමට ලැබී ඇති ප්‍රතිචාරය වී ඇත්තේ “මුදල් නැත” යන්නයි. එහිදී අවිශිබම කැඳවුම්කරු මධුශාන් චන්ද්‍රජිත් කීවේ මේ සම්බන්ධයෙන් “අඛන්ඩව බලපෑම්” කරන බවයි. ප්‍රහාරය එල්ල කරන ආන්ඩුවටම එය නතර කරන ලෙස කනිපින්දම් කීමේ අවිශිබම වැඩපිලිවෙලේ බංකොලොත්බව සසජාතශි පැහැදිලි කලහ.

ආන්ඩුව මෙම උද්ඝෝෂන වලින් එක් පියවරක් හෝ පසුපසට ගෙන නොමැති අතර ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත් අඩංගුවේ තබා ගැනීම් හරහා මර්දනය වැඩි කොට ඇත. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේම මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සහ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ හිටපු සභාපති ඇතුලු පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි කොට ඇත.

මෙම තතු පෙන්වා දෙන්නේ, කම්කරු පංතියට මෙන්ම ශිෂ්‍යයන්ට ද තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට නම් ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් අවශ්‍ය බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන්ට එරෙහිව ශිෂ්‍යයන් ලෙස හුදෙකලාව සටන් කිරීමෙන් හෝ ආන්ඩුවලට කනිපින්දම් කීමේ පියවරයන්ගෙන් එය පරාජය කල නොහැක. ජාමුඅ කප්පාදුවට තිත තැබීම විප්ලවවාදී ජාත්‍යන්තරවාදී සමාජවාදී වැඩපිලිවෙල සමග ගැට ගැසී පවතී. අවිශිබම වැනි ධනපති ගැති, ධනපති ක්‍රමයට බැඳුනු සංවිධාන වලට එවන් අරගලයක් කල නොහැක.

ශාස්ත්‍ර පීඨයේ අවසන් වසර ශිෂ්‍යාවක් කිවේ වියදම් පිරිමසා ගැනීමට ශිෂය-ශිෂ්‍යාවන් විශාල සංඛ්‍යාවක් විවිධ අර්ධකාලීන රැකියාවල නිරත වන බවයි. “සමහර ලමයි ආහාර වේල් අතහරිනවා. ලමයි බහුතරයකට කිරිපිටි, මාලු, මස් ඇතුලු ප්‍රෝටීන් ආහාර ලැබෙන්නේ නෑ. අර්ධකාලීන රැකියාවලට යෑම නිසා අධ්‍යාපනය නිසිආකාරව කර ගන්න ලැබෙන්නේ නෑ“ යයි ඇය කෝපයෙන් ප්‍රකාශ කලා ය.

මෙම තතු තුල වියදම් අවම කරගැනීමට නේවාසිකාගාරය තුල ආහාර පිස ගැනීමට සිසුවියන් උත්සාහ කල නමුත් විදුලි බිල වැඩි වෙන බැවින් පරිපාලනය එය තහනම් කොට රුපියල් 25,000ක දඩයක් ද නියම කර ඇත.

“අවිශිබමය කියනවා ජයග්‍රාහි ඉතිහාසයක් තියෙනවා කියලා. ඒක එහෙම නම් අපි මේ තරම් ගැටලුවලට මුහුන දෙනවා ද ?” යයි ඇය අවිශිබම ට චෝදනා කලා ය.

මෙම ප්‍රශ්න වල මූලය පවතින්නේ කෝවිඩ් වසංගතයෙන් සහ රුසියාවට එරෙහි නැටෝ යුද්ධයෙන් ත්‍රීව්‍ර කර ඇති ධනපති ක්‍රමයේ ගෝලීය අර්බුදය තුල බව අවිශිබමය ශිෂ්‍යයන්ගෙන් වසන් කරයි. මෙම ප්‍රශ්න දූශන වංචා තුරන් කිරීම වැනි ජාතිකවාදී පියවරයන්ගෙන් විසඳිය හැකිය යන මිථ්‍යාව ඔවුහු ශිෂ්‍යයන් තුල ප්‍රවර්ධනය කරති.

සසජාතශි විශ්ලේශනයට එකඟව ඇය මෙසේ කීවාය: “මේ ලෝක තත්වය ඇතුලේ අපේ ප්‍රශ්න කිසිවක් විසඳෙන්නේ නෑ. උපාධිය ගත්තත් රැකියාව සහ අනාගතය පිලිබඳව අවිනිශ්චිත තත්වයක් තියෙන්නේ. ලෝක යුද අන්තරාය නතර කරන්න, මේ ආර්ථික ප්‍රහාර නතර කරන්න පුලුවන් වෙන්නේ සමාජවාදය යටතේ විතරයි යන අදහසට මම එතඟයි. ඒ සඳහා ලෝක කම්කරු පන්තිය උගන්වා ගත යුතුයි“.

වැඩි දුර කියවන්න

කුසගින්නේ අධ්‍යාපනයේ නියැලීමට සිදුව ඇතිබව ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පවසති - World Socialist Web Site (wsws.org)