ට්‍රෙන්ඩ් සෙටර්ස් සමාගම රැකියාව අහිමිකල කම්කරුවන්ට වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරයි

කොග්ගල අපනයන සැකසුම් කලාපයේ, බෙලිඅත්ත සහ බෙලිඅත්තේ සිටිනාමලුව කාර්මික උද්‍යානයේ පවත්වාගෙන ගිය ට්‍රෙන්ඩ් සෙටර්ස් කම්හල් ත්‍රිත්වය 2022 සැප්තැම්බර් මාසයේ වසා දැමීමෙන් 1500 ට අධික කම්කරුවන් ට රැකියා අහිමි විය.

ඊට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුවේ ගොනුකර තිබූ පැමිනිල්ලකට අනුව, බෙලිඅත්ත කම්හලේ සේවකයින් 19 කට හා කොග්ගල කම්හලේ 82 කට වන්දි ගෙවීමට නියෝග කරමින් ඒ සඳහා රුපියල් තුන්සිය තිස්අට ලක්ෂ අසූහය දහස් පනහක (3,3886,050.00) මුදලක් 2023 සැප්තැම්බර් මාසයේ 15 වෙනි දින හෝ එදිනට පෙර කම්කරු කොමසාරිස් ජනරාල් වෙත තැන්පත් කරන ලෙස අගෝස්තු 17 වෙනිදා ට්‍රෙන්ඩ් සෙටර්ස් සමාගමට ලිඛිතව දැනුම් දී ඇත. එහෙත් 1,400 ක් පමන වන සෙසු කම්කරුවන් ඉන් බැහැර කෙරී ඇත.

යෝජිත වන්දි මුදල තැන්පත් කිරීම සමාගම ප්‍රතික්ෂේප කර තිබේ. වන්දි නොගෙවීම ට විරුද්ධව නඩු පවරන බව කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති අතර වන්දි නො ගෙවා හිරේ යන බව පාලකයන් පවසා ඇතැයි ට්‍රෙන්ඩ් සෙටර්ස් කම්කරුවෝ කීහ.

මෙම නඩුව පවරා තිබුනේ නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවක සංගමය (නිවෙකපොසේස) සහ රාජ්‍ය නොවන සවිධානයක් වන ස්ත්‍රී මධ්‍යස්ථානය විසිනි. ට්‍රෙන්ඩ් සෙටර්ස් පාලකයෝ හිඟ වැටුප් සහ වන්දි ගෙවන බවට බොරු පොරොන්දු දෙමින් වසරක් පුරා කම්කරුවන් ව නොමඟ යැවුහ. ඔවුන් ට ඒ සඳහා කොන්දේසි නිර්මානය කර දුන්නේ තම රැකියා අයිතිය සඳහා අරගලයක් කිරීමෙන් කම්කරුවන් ව වලකාලූ නිවෙකපොසේසේස සහ ස්ත්‍රී මධ්‍යස්ථානය විසිනි.

.

ඇඟලුම් කම්කරුවන් මත ප්‍රහාරය එල්ල කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය මුහුන දී ඇති බරපතල අර්බුදයේ බර කම්කරුවන් මත මුලුමනින් පැටවීමක් ලෙසයි. පසුගිය වසරේ අගෝස්තු මාසය හා සැසඳීමේ දී මෙම වසරේ අගෝස්තු මාසයේ සියයට 23.06 කින් එහි අපනයන ආදායම පහත වැටී තිබේ. පසුගිය වසරේ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 5.2 කි. මෙම වසරේ ආදායම ඩොලර් බිලියනයකින් පහත වැටෙන බවට ඇඟලුම් අපනයන කරුවන් පුරෝකථනය කර ඇත. එය තීව්‍රවන ලෝක ආර්ථික අර්බුදය තුල ප්‍රධාන ඇඟලුම් වෙලඳපලවල් වන එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, සහ යුරෝපයේ ඇඟලුම් සඳහා ඉල්ලුම පහත වැටීමේ ප්‍රතිඵලයකි.

යුක්‍රේනය තුල රුසියාව ට එරෙහි යුද්ධය සහ ගෝලීය උද්ධමනය ඉහලයාම ඇඟලුම් සඳහා ඉල්ලුම පහත වැටීමට තුඩු දී තිබෙන ප්‍රධාන සාධකයකි. ට්‍රෙන්ඩ් සෙටර්ස් කම්කරුවන්ට අමතරව, පසුගිය වසරේ එස්කුඑල් සමාගමේ කම්හල් පහක්, කොග්ගල අවුරා, ෆැෂන් හා මෙම අගෝස්තු-සැප්තැම්බර් මාසවල දී මිහින්තලය, නිට්ටඹුව සහ වත්තල ඇඟලුම් කම්හල් හතරක් වසා දැමුනි. නවීන යන්ත්‍ර සවිකර කොග්ගල බ්‍රැන්ඩික්ස් කම්හල 'ස්මාට්' කම්හලක් බවට පරිවර්තනය කිරීම තුල සේවකයින් හයසීයකගේ පමන රැකියා දංගෙඩිය මත තබා ඇත. මේ වන විටත් කම්හල තුල ක්‍රියාත්මක වන වැඩ පේලි 40න් ක්‍රියාත්මකව පවතින්නේ වැඩ පේලි 24 හෝ 25ක් පමනක් බව එහි සේවකයෝ කියති

නිවෙක සහ ඉන් පිටත ඇඟලුම් කර්මාන්තය තුල 500,000 පමන කම්කරුවෝ ඍජුව ද, උප කොන්ත්‍රාත් ක්‍රමය හරහා තවත් 700,000 පමන ද සේවයේ යෙදී සිටිති. ඇඟලුම් කර්මාන්තයේ වැඩිදියුනු වන අර්බුදය හේතුකොටගෙන කම්කරුවන් ලක්ෂ ගනනකට රැකියා අහිමිවීමේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ දරිද්‍රතාවයට සහ කුසගින්නට ඇද වැටීමේ අන්තරායට මුහුන දී සිටිති. නිදහස් වෙලඳ කලාප තුල කම්කරුවන් ගෙන් සියයට 90 ක් පමන දුර බැහැර ගම්බද දුගී පවුල්වල සහ වතු කම්කරු පවුල් වල තරුන තරුනියෝ වෙති. නිතිපතා ඉහල යන ජීවන වියදම හමුවේ අතට ලැබෙන සොච්චම් වැටුපෙන් නවාතැන් කුලිය සහ ආහාර සඳහා වියදම දරා ගත නොහැකිව බොහොමයක් කම්කරුවෝ රැකියාව අතහැර යති. පසුගිය වසරේ එලෙස රැකියාව අතහැර ගිය සංඛ්‍යාව 50,000 වන බව වාර්තාවෙයි.

රැකියා අහිමිවීම තුල ඇඟලුම් කම්කරුවන් මුහුන දී සිටින ආර්ථික ව්‍යසනය පිලිබඳව කොග්ගල ට්‍රෙන්ඩ් සෙටර්ස් කම්හලේ සේවය කල කම්කරු කාන්තාවක් මෙසේ විස්තර කලාය: “මම ට්‍රෙන්ඩ් සෙටර්ස් එකට වැඩට යන්න කලින් කොග්ගල බොන්ටෙක්ස්, මරින්, යන් ඇන්ඩ් ලංකා, කොග්ගල ගාමන්ට් සහ ෆැෂන් ගාමන්ට් එකේ වැඩකලා. ගාම්න්ට්වල වැඩට ගියේ අවුරුදු 19 දි. දැන් මගේ වයස අවුරුදු 49 යි. රක්ෂාව නැතිවුනාට පස්සේ ස්වීප් විකුනලා ජීවත් වෙන්නේ. රුපියල් 1500 ක් හොයා ගන්න දවසකට් හැතැක්ම විස්සකට වැඩිය ඇවිදිනවා”.

ඇඟලුම් කම්කරුවන් ට එල්ල කෙරෙන ප්‍රහාර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් යටතේ වික්‍රමසිංහ ආන්ඩුව කප්පාදු වැඩපිලිවෙල හරහා කම්කරු පන්තිය ට එරෙහිව එල්ල කරන පුලුල් ප්‍රහාරයක කොටසකි. රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය යටතේ පන් ලක්ෂයකට අධික කම්කරුවන්ගේ රැකියා අහිමි කිරීමට නියමිතය. ඉහල බදු පැනවීම්, තෙල් සහ ගෑස් මිල ඉහල දැමීම් සහ විදුලිය සහ ජල ගාස්තු නැංවීම ආදී ප්‍රහාර මාලාවක් කම්කරු-පීඩිත මහජනතාවට එල්ල කෙරෙමින් පවතී.

නිවෙක කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව කියන නිවකපොසේස, ජනතා විමුක්ත් පෙරමුන විසින් පාලනය කරනු ලබන අන්තර් සමාගම් සේවක සංගමය සහ ලංකා වෙලඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය ඇතුලු වෘත්තීය සමිති කිසිවක් ඇඟලුම් කම්කරුවන් ගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීමේ කවර හෝ අරගලයක් සංවිධානය කිරීම මුලුමනින් ම පැහැර හැර ඇත.

ඒවා සමග පෙල ගැසී සිටින ස්ත්‍රී මධ්‍යස්ථානය ඇතුලු රාජ්‍ය නොවන සංවිධාන ද ක්‍රියාත්මක වන්නේ ආන්ඩුවට සහ හාම්පුතුන් ට කන්නලව් කර තම අයිතීන් දිනා ගත හැකිය යන මිත්‍යාවකට කම්කරුවන් යටත් කර තැබීමටයි. කම්හල් පාලකයන් ගේ අනුදැනුම ඇතිව කම්හල් තුල ක්‍රියාත්මක වන ඊනියා සේවක සභා ක්‍රියාත්මක් වන්නේ ද වැඩ වේගවත් කිරීමට, රැකියා හා වැටුප් කප්පාදු කිරීමට කම්කරුවන්ව නතු කර තබන කම්හල් පාලකයන්ගේ ඍජු අත් ගෙඩි ලෙසයි.

ට්‍රෙන්ඩ්සෙටර්ස් කම්කරුවන් ගේ අත්දැකීම මගින් ඔවුන් ට මෙන් ම, සමස්ත කම්කරු පන්තිය ට යලිත් මුනගස්වා ඇති මුලික පාඩම වන්නේ වෘත්තීය සමිති, ආන්ඩුවේ කම්කරු දෙපාර්තමේන්තුව හෝ ධනේශ්වර අධිකරනය තුලින් තවදුරටත් තම අයිතීන් කිසිවක් දිනාගත නොහැකි බවයි.

සතොස තොගවෙලඳ සංස්ථාවේ (සතොස) කම්කරුවන් ද ඒ හා සමාන කටුක අත්දැකීමක ට (https://www.wsws.org/si/articles/2023/10/09/coop-o09.html ) පසුගිය මාසයේ මුහුන දුන්හ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගවලට අනුව රාජ්‍ය ව්‍යවසායන් 430 ක් ප්‍රතිව්‍යුහකරනයේ කොටසක් ලෙස සතොස වසා දැමීමට සහ එහි කම්කරුවන් 292 ක් සැප්තැම්බර් 30 වෙනිදා වනවිට අනිවාර්ය විශ්‍රාම ගැන්වීම මගින් සේවයෙන් ඉවත්කරන බවට සතොස පාලනාධිකාරය විසින් ඔවුන් ට දැනුම් දී තිබුනි.

එහෙත් කම්කරුවන් සාමාජිකත්වය දැරූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට සම්බන්ධ ප්‍රගතිශීලී සේවක සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය කලේ, ඊට එරෙහිව සෙසු කම්කරුවන්ගේ සහයෝගය ඇතිව සතොස කම්කරුවන්ගේ රැකියා රැකගැනීමේ අරගලයක් සංවිධානය කිරීම වෙනුවට ඔවුන් ව නිස්සාර සත්‍යග්‍රහයකට කොටු කිරීම සහ අභියාචනාධිකරනයට පෙත්සමක් ඉදිරිපත් කර එමගින් සතොස කම්කරුවන්ගේ රැකියා රැකගත හැකිය යන බරපතල මිත්‍යවක ඔවුන් ව සිරකර තැබීම යි. අභියාචනාධිකරනය පෙත්සම නිෂ්ප්‍රභා කිරීම තුල එම මිත්‍යාව පුපුරා ගියේ ය. අවසානයේ සොච්චම් වන්දියකට යටත් කොට ඔවුන්ගේ රැකියා අහෝසි කෙරුනි.

තමන් මත කඩාපාත් වෙමින් තිබෙන රුදුරු සමාජ ව්‍යසනයෙන් අත් මිදී ගැනීම ට හා අයිතීන් සඳහා දැනුවත් සහ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමේ අවශ්‍යතාවය ඇඟලුම් කම්කරුවන් ඉදිරියේ මතු කෙරී ඇත. එහි දී තීරනාත්මක සාධකයක් වන්නේ ධනපති ආන්ඩුවේ හා හාම්පුතුන්ගේ ඒජන්ත සංවිධාන ලෙස ක්‍රියාත්මක වන ඉහත සඳහන් සියලු සංවිධාන වලින් ස්වාධීනව ඇඟලුම් කම්කරුවන් ගේ ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමයි. එවන් ක්‍රියාකාරී කමිටු හරහා සමාන ප්‍රහාරයන් ට මුහුන දී සිටින, පාකිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය, වියට්නාමය හා චීනය ඇතුලු රටවල ඇඟලුම් කම්කරුවන් සමග එකමුතුව තහවුරුකර ගනිමින් ඇඟලුම් කම්කරුවන් ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීමේ ජාත්‍යන්තර අරගලයක් කරා පෙරට යා යුතුය.

එම පදනම මත කම්හල් වසා රැකියා අහිමිකිරීමට එරෙහිව කම්හල් වාඩිලාගැනීමට පියවර ගතයුතුය. අලාභ නිසා වසා දමන බවට නිවේදනය කරන සියලු කම්හල්වල ගනන් හිලව් පොත් කම්කරුවන් ට විවෘත කරන ලෙස ක්‍රියාකාරී කමිටු ඉල්ලා සිටිය යුතුය.

කොග්ගල නිවෙක ඇඟලුම් කම්කරුවන් කන්ඩායමක් විසින් දැනටමත් පිහිටුවාගෙන ඇති ක්‍රියාකාරී කමිටුවට සම්බන්ධ වෙමින් එය පුලුල් කිරීමට සහ අනෙකුත් ඇඟලුම් කම්කරුවන් අතරට එය ව්‍යාප්ත කිරීමට පියවර ගන්න.

කොග්ගල ක්‍රියාකාරී කමිටුවට සම්බන්ධවීමට මෙම ඊමේල් ලිපිනයට ලියන්න: action.committees.sl@gmail.com