හසලක සුමිත්‍රා ඇඟලුම් කම්හලේ කම්කරුවන්ගේ වර්ජනය මාසයක් ඉක්මවයි

ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටිමින් සහ තම සංවිධානයවීමේ අයිතියට එරෙහිව මැරබලය යෙදීමට විරෝධය පාමින් හසලක සුමිත්‍රා ඇඟලුම් කම්කරුවන් පෙබරවාරි 10 වෙනිදා ආරම්භ කල වර්ජනය මාසයක් ඉක්මවා ඇත. වර්ජනය ට මාසයක් සම්පූර්න වූ මාර්තු 10 වෙනිදා ඔවුහු හසලක නගරයේ දී උද්ඝෝෂනයක් කලහ.

වර්ජනය ට මාසයක් සම්පූර්න වූ මාර්තු 10 වෙනිදා ඔවුහු හසලක නගරයේ දී පැවති උද්ඝෝෂනය

ප්‍රමානවත් වැටුප් වැඩිවීමක් පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා ඔවුන් සංවිධාන වී සිටින නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවක සංගමයේ (නිවෙකපොසේස ) සාමාජික රැස්වීමක් පෙබරවාරි 9 කැඳවා ඇත. කම්හලේ පාලනාධිකාරය මැරයන් යොදා එය කඩාකප්පල් කර තිබේ. පෙබරවාරි 10 දා වර්ජනය ආරම්භ කෙරුනේ ඉන් අනතුරුවයි.

“2023 සහ 2024 වසර දෙකට ම රු.1500-සාධාරන ද?”,“කම්කරු බලධාරීන් නිහඬව ඉන්නේ ඇයි?”, “වහල් යුගයක අවසානයක් නැද්ද?”, “අම්මලාට වැල්පාලම-ජනපතිට රටසවාරි”, “හාල් ගනන්-අපි කන්නේ පස් ද?” සහ “මවුවරුන්ට නිරක්තිය-ඇමතිලාට සුර සැප!” ආදී සටන් පාඨ අතින් ලියූ පුවරු ප්‍රදර්ශනය කල කම්කරුවෝ ඒවා හඬ නැගූහ. උදේ 9 සිට පැයක් පමන උද්ඝෝෂනයේ යෙදුන කම්කරුවන් පසුව හසලක එකේ ඇල ප්‍රදේශය ට පෙලපාලියකින් ගොස් එහි දී රැස්වීමක් පැවැත්වූහ.

උද්ඝෝෂනයට සහ රැස්වීමට කාන්තා සහ පිරිමි කම්කරුවන් 200 පමන සහභාගි වූ අතර එයට කටුනායක සහ බියගම නිදහස් වෙලඳ කලාප වලින් සහ සෙසු සුමිත්‍රා ඇඟලුම් කම්හල් වලින් නිවෙකපොසේස ක්‍රියාකාරී සාමාජිකයන් වන කාන්තා කම්කරුවන් කන්ඩායමක් ද සහභාගී වූහ.

හසලක සුමිත්‍රා ඇඟලුම් කම්හලේ කම්කරුවන් 600 පමන සේවය කරන අතර සුමිත්‍රා ගාර්මන්ට්ස් පුද්ගලික සමාගම ට වීරකැටිය, පොල්ගහවෙල සහ නිට්ටඹුවේ තවත් කම්හල් තුනක් තිබේ. සමාගමේ මුලු සේවක සංඛ්‍යාව 4500 කි. එය ඇඟලුම් නිෂ්පාදනය කර අපනයනය කරයි.

වර්ජනය බිඳීම සඳහා මැරයන් යොදා තර්ජනය කිරීම මගින් කම්කරුවන් ගෙන් කොටසක් බලහත්කාරයෙන් සේවය ට කැඳවාගෙන ඇති බවත්, අසල් වැසියන් සහ මහජනතා නොමග යැවීම පිනිස ඔවුන් ගේ මාසික වැටුප රුපියල් 45,000 බව ට අසත්‍ය පෝස්ටර් අලවා තුබුන බවත් කම්කරුවෝ පවසති. එහෙත් කම්කරුවන් පවසන පරිදි අවුරුදු 17 ක සේවාකාලයක් සහිත යන්ත්‍ර ක්‍රියාකරවන්නියකගේ වර්තමාන මූලික වැටුප රුපියල් 25,550 කි.

සමාගම කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම ප්‍රතික්ෂේප කල ද එහි වෙබ් අඩවියට අනුව සමාගමේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 40 ක් හෙවත් රුපියල් මිලියන 12200 කි.

මෙම කම්කරුවන් ට 2023 සහ 2024 වසර දෙකට ම වැටුප් වැඩි කෙරී ඇත්තේ රුපියල් 1,500 පමනි. 2023 ජනවාරි සිට අවවාද ලිපි ලැබුනු සේවකයින් ට එය ද නොගෙවන බවට පාලකයන් කොන්දේසියක් ද පනවා ඇත. කම්කරුවන් ඉල්ලා සිටින්නේ රටේ අනෙකුත් ඇඟලුම් කම්හල් වල වාර්ෂික වැටුප් වැඩිකිරීම් වලට සමානව 2023-2024 වසර දෙක සඳහා අවම වශයෙන් වසරකට රුපියල් 3500-4000 වැටුප් වැඩිවීමකි.

ජීවන වියදම සහ උද්ධමනය අසීමිතව ඉහල යන කොන්දේසි තුල 2022 වසරේ අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000 ක ආර්ථික සහන දීමනාවක් ඇඟලුම් කම්කරුවන්ට මාසිකව ගෙවන ලද නමුත් සුමිත්‍රා සමාගම ගෙවා ඇත්තේ රුපියල් 3,500.00 ක් පමනි. එය ද ජූනි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා පමනයි.

තමන්ට හිතවත් කම්කරුවන් යොදාගෙන අටවාගෙන තිබෙන සේවක සභා උපයෝගිකර ගනිමින් වෘත්තීය සමිතිය බිඳ දැමීම සඳහා පාලකයන් උත්සාහ කරන බවට ද ඇතැම් කලමනාකරුවන් ඔවුන් ට අමානුෂික ලෙස බැනවැදීම, කායික පහරදීම, තම කැමැත්තකින් තොරව නිවාඩු ගැන්වීම සහ කාන්තා කම්කරුවන්ගෙන් ලිංගික අල්ලස් ගැනීමට උත්සාහ කරන බවට ද ඔවුහු චෝදනා කරති.

මාසයක් පුරා හසලක සුමිත්‍රා කම්කරුවන්ගේ අරගලය වටා අවශේෂ ඇඟලුම් කම්කරුවන් බලමුලු ගැන්වීම මුලුමනින් ම පැහැර හැරි නිවෙකපොසේස ලේකම් ඇන්ටන් මාකස්, රැස්වීමේ දී කියා සිටියේ, “මුලු ලෝකෙම දැන් සුමිත්‍රා අරගලයට ඒකරාශී වෙන” බවයි. එය කම්කරුවන් රැවැටීම සඳහා ඇද බෑ පචයකි.

මාකස්ට අනුව මෙම “මුලු ලොවම ඒකරාශීවීම” සිදුවන්නේ ගැනුම්කරු සමාගම් හරහායි. එම සමාගම් විසින්, “වෘත්තීය සමිතිය සමග සාකච්ඡා කර ප්‍රශ්නය විසඳා ගැනීම, සාධාරන වැටුප් වැඩිවීමක් ලබාදීම සහ වර්ජනය කල කාලය ට වැටුප් ලබාදීම යනාදී වශයෙන් සුමිත්‍රා පාලකයන්ට කොන්දේසි තුනක් පනවා ඇති” බව ද මාකස් පැවසිය. කෙසේ නමුත්, නිෂ්පාදන සමාගම් වලට මෙන් ම ගැනුම්කරු සමාගම්වලට කම්කරුවන් පිලිබඳ කිසිදු තැකීමක් නැත.

“කාර්යක්ෂමතාවය වැඩිකරන්න ඕන නම් වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරලා වෘත්තීය සමිතිවල එකඟතාවය ඇතිව කෙරුවොත් ඒ කාර්යක්ෂමතාවය දිර්ඝකාලින” බව ඔහු සඳහන් කලේ ය. ඔහු ධනපති පාලකයන්ට කියා සිටින්නේ, තම සමිතිය සමග එක්ව වැඩකලහොත්, කම්කරුවන් මෙල්ල කර ලාබ ඉහලදමා ගැනීමට අවශ්‍ය “කාර්යක්ෂමතාවය” සහතික කරදීම සඳහා තමා එකපයින් සුදානම් බවයි.

නිවෙකපොසේස, ජවිපෙ විසින් පාලනය කරන අන්තර් සමාගම් සේවක සංගමය, වානිජ කර්මාන්ත කාර්මික සහ පොදු සේවක සංගමය ඇතුලු පුද්ගලික අංශයේ වෘත්තීය සමිති කෝවිඩ්-19 වසංගතය තුල, විශේෂයෙන්ම 2021 වසරේ දී, ජාතික කම්කරු උපදේශක සභාව (ජාකඋස) තුලින් කම්කරුවන්ගේ වැටුප් කැපීමට, රැකියා අහිමි කිරීමට සහ නිසි සෞඛ්‍ය ආරක්ෂාවකින් තොරව කම්කරුවන් සේවයේ යෙදවීම ට කටයුතු කලේ ය. ජාකඋස යනු ආන්ඩුව, හාම්පුතුන් සහ වෘත්තීය සමිති එකතුව කම්කරුවන්ගේ අයිතීන් ට කෙටිම සඳහා ආන්ඩුව විසින් අටවා තිබෙන සංවිධානයකි.

අඟහරුවාදා (19) වෙනිදා) කොලඹ කම්කරු කොමසාරිස් ඉදිරිපිට පැවැත්වෙන සාකච්ඡාවට සුමිත්‍රා කලමනාකාරිත්වය සහභාගිවෙතැයි ද එහි දී ප්‍රශ්නය විසඳා ගැනීමට කටයුතු කරනු ඇතැයි ද තමා සිතනබව මාකස් පැවසූ වේය. “එසේ නැතිව පරන කොන්දේසි දාලා මර්දනය කරන්න හැදුවොත් වර්ජනය ඉදිරිය ට ගෙන යන” බවත් අනෙකුත් වෘත්තීය සමිති වලට, කාන්තා සංවිධාන වලට මර්දනය පරාජය කරන්න එකතු වෙන්න කියන බවත් සඳහන් කරමින් ඔහු සුමිත්‍රා පාලකයන් ට බොරු තර්ජනයක් ද කලේ ය. මේ තර්ජන හුදෙක් කම්කරුවන් රැවටීම සඳහා කෙරෙන ඒවා මිස සුමිත්‍රා කම්කරුවන් ගේ අරගලය වටා අවශේෂ කම්කරුවන් බලමුලු ගැන්වීමේ අරමුනින් කරන ප්‍රකාශ නොවේ.

ධනපති හාම්පුතුන් වෙනුවෙන් කම්කරුවන්ගේ අරගල පාවාදීමේ දිගු ඉතිහාසයක් මාකස් ට සහ නිවෙකපොදුසේස ඇත. එක් උදාහරනයක් පමනක් සඳහන් කලොත්, එස්කුවෙල් සමාගම
විසින් පවත්වාගෙන ගිය යක්කල, ජා-ඇල සහ කෑගල්ලේ ඇඟලුම් කම්හල් තුනක් 2021 වසරේ ද, කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ කම්හල් දෙකක් 2022 වසරේදී ද වසා දමනවිට, කම්කරුවන්ගේ රැකියා ආරක්ෂා කිරීම සඳහා කිසිදු අරගලයක් සංවිධානය කිරීම නිවෙකපොසේස ප්‍රතික්ෂේප කලේ ය. ඒ වෙනුවට එම කම්කරුවන් ස්වකැමැත්තෙන් අස්වන බවට පාලකයන් ගේ ලියුම් වලට අත්සන් කිරීමට කම්කරුවන් පොලඹවා සොච්චම් වන්දියකට යටත් කොට ඔවුන් දොට්ට දැමීමට මාකස්, එස්කුවෙල් සමාගමට සහයෝගය දුන්නේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස 4,000 අධික කම්කරුවන් ට රැකියා අහිමි විය.

කෝවිඩ් වසංගතය උග්‍රව පැවති 2021-2022 සමයේ පුද්ගලික අංශය නියෝජය කරන ජවිපෙ අන්තර් සමාගම් සේවක සංගමය. ලංකා වානිජ, කාර්මික හා පොදුසේවා සංගමය ඇතුලු වෘත්තීය සමිති සමග එක්ව නිවෙකපොසේස ඇඟලුම් කම්කරුවන්ගේ වැටුප් කප්පාදු කිරීමට සහ රැකියා අහෝසි කිරීමටත් වසංගතය තුල නිසි ආරක්ෂක පහසුකවලින් තොරව ඔවුන් සේවයේ යෙදවීමටත් ඇඟලුම් සමාගම් වලට සහයෝගය දුනි.

තමන් මුහුන දෙන දුෂ්කර කොන්දේසි පිලිබඳව කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට විස්තර කලහ. ඔවුන්ගේ ආරක්ෂාව සඳහා නම් සඳහන් කිරීමෙන් වලකින්නෙමු.

විවාහක එක් දරු මවක් වන කම්කරු තරුනියක් මෙසේ පැවසුවාය: “මගේ සැමියාට ස්ථීර රැකියාවක් නැහැ. දනට එයා ත්‍රීවිල් රියදුරෙක් විදිහට වැඩකරනව. ජීවත් වෙන්න හරි ආදායමක් නැහැ. මේ කර්මාන්ත ශාලාවේ අවුරුදු දහයකටත් වඩා මම වැඩ කලා. ඒ වුනත් මගේ මූලික වැටුප රුපියල් 22000යි. ඒකෙන් ජීවත් වෙන්න පුලුවන් ද? මේක හරි අසාධාරනයක්,. පහුගිය අවුරුදු දෙකට ම පඩි වැඩි උනේ රුපියල් 1500කින්. කියන්නත් ලැජ්ජයි. වැඩ ගන්නෙ තිරිසනුන්ගෙන් වගේ. බනිනවා, ඇතැම් අයට ගහනවත් එක්ක, මේවා ගැන බලන්න කවුරුවත් නැහැ. කිසිම දේශපාලකයෙක් අප ගැන කතා කරන්න ආවේ නැහැ. ජවිපෙත් පැත්තපලාතේ ආවේ නැහැ'.

තවත් කම්කරු කාන්තාවක් සඳහන් කලේ ඇගේ මාසික වැටුප රුපියල් 20000ක් බවයි. එය කිසිසේත් ම පවුලේ නඩත්තුවට ප්‍රමානවත් නොවන බව පැවසූ ඇය, “අපි කෝවිඩ් කාලේ රු.8000ක් විතර ඇරගෙන කර්මාන්ත ශාලාවේ දියුනුව ට ඒක හේතුවෙයි කියල හිතාගෙන වැඩ කලා. නමුත් දැන් තමයි අපිට තේරෙන්නේ මේවා අපේ නොවෙයි, ධනපතින්ගෙ කියලා” යැයි කීවාය.

තමාට පාසල් යන ලමුන් දෙදෙනෙකු සිටින බවත්, නව පාසල් වාරයක් ආරම්භයේ එක ලමයෙකුට සාමාන්‍යයෙන් අවශ්‍ය දෑ මිලදී ගැනීමට අඩු තරමින් රු.30000කට වඩා වැයවන බවත් ඇය පැවසුවාය. “කන කර උකස් කරල හරි ගිනි පොලියට සල්ලි අරන් හරි ඒවා කර ගන්නේ. ඒක දිගටම කරන්න පුලුවන් දෙයක් ද?” යැයි ඇය විමසුවාය.

ධනපති දේශපාලන පක්ෂ ගැන සඳහන් කරමින් ඇය පැවසුවේ ජවිපෙ වාගේ පක්ෂ ගැනත් විශ්වාශයක් නැති බවයි. “අපේ ඉල්ලීම්වලට වසරකටත් වැඩියි. කවද්ද ඒ අය අපි ගැන කතා කලේ?. මේකේ (කම්හලේ ) ඉන්න ජවිපෙ ආධාරකරුවො කීප දෙනෙක් උද්ඝෝෂනයටත් ඇවිදින් බෝඩ් ලෑලි උස්සන් හිටියා. අපේ දුක දැනිලා බව පෙන්නන්න. ඒ්වට අපි නම් රැවටෙන්නෙ නෑ. ඒ් අයත් බලයේ හිටපු අනෙක් දේශපාලන පක්ෂ වගේමයි. කොහොම හරි බලයට එන්න උත්සාහ කරන්නේ. අපට යහපතක් කරන්න නෙමෙයි ”.

නිවෙකපොසේස ඇතුලු වෘත්තිය සමිති කම්කරුවන්ගේ අයිතීන් සඳහා සටන් නොකරන බවත්, කම්කරුවන් වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධිනව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් අයිතීන් සඳහා සටන තමන් අතට ගත යුතු බවත් ලෝසවෙඅ වාර්තාකරුවන් කල පැහැදිලි කිරීමෙන් අනතුරුව එම කම්කරු කාන්තාවන් දෙදෙනා ඒ පිලිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට එකඟ වූහ.

Loading