ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය -අට වැනි කොටස

8 ජනතා විමුක්ති පෙරමුන හා වතු කම්කරුවෝ

අප මේ සමග පලකිරීම ආරම්භ කර ඇත්තේ, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්‍රධාන ලේකම්ව සිටි කීර්ති බාලසූරිය (1948 -1987) විසින් 'ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය' යන මාතෘකාවෙන් ලියන ලද ලිපි මාලාවයි. මෙම ලිපි මාලාව ප්‍රථමයෙන්ම පල කෙරුනේ, එවක විකොස සතිපතා මධ්‍යම පුවත් පතවූ “කම්කරු පුවත්” 1970 අගෝස්තු අවසානයේ සිට නොවැම්බර් අවසානය දක්වා කලාප තුලය. පසුව එය පොතක් වශයෙන් මුද්‍රනය කෙරුනි. ලෝසවෙඅ හි පලකල කෘතියේ හැඳින්වීම පෙබරවාරි 19 දින පලකෙරුනි. කොටස් දහයකින් සමන්විත ලිපි මාලාවේ අට වැනි කොටස “ජනතා විමුක්ති පෙරමුන හා වතු කම්කරුවෝ ” යි. හත් වැනි කොටස මාර්තු 08 දින, හය වැනි කොටස මාර්තු 04දින, පස්වැනි කොටස 26දින, සිව්වන කොටස 25දින, තුන්වන කොටස 22 දින, දෙවන කොටස 21 දින සහ පලමුවන කොටස 20 දින පලවිය.

ලිපි අනුපිලිවෙලින් කොටස් වශයෙන් පලකරමු.

***

1970 දෙසැම්බර් 11 දින ප්‍රකාශයට පත් කෙරුනු පොතේ පිටකවරය
8 ජනතා විමුක්ති පෙරමුන හා වතු කම්කරුවෝ

කම්කරු පන්තිය හා ගොවි ජනතාව අතර ඇති පන්ති පරතරය නො තකා හැරීමටත්, එමගින් “කම්කරු පන්තිය ගොවි ජනතාව සමග බද්ධ කිරීමටත්” එසේ බද්ධ කර තමන් නිර්ධන පන්තිය යැයි කියා ගන්නා දෙය අලුතෙන් නිර්මානය කිරීමටත් ජනතා විමුක්ති පෙරමුන උත්සාහ කරන ආකාරය පසු ගිය ලිපිවල විග්‍රහ වුනි.

කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය සුලු ධනේශ්වර පන්තියට යට කිරීම පමනක් එම උත්සාහයේ හරය වන බව අපි ඒ සමග ම නිගමනය කලෙමු.

කම්කරු පන්තිය හා ගොවි ජනතාව අතර පමනක් නො ව කම්කරු පන්තිය හා ජාතික යැයි නම් කරන ධනේශ්වර පන්තිය අතර ඇති දැවැන්ත හා කිසි දිනක නො පෑහිය හැකි පන්ති පරතරය ද කෙසේ හෝ පාස්සා ලීමට “දේශප්‍රේමිත්වය” සිමෙන්තියක් කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුන සැරසෙන ආකාරයත් අපි පෙන්වූයෙමු.

දැන්, “දේශප්‍රේමිත්වයේ” බදාම ගල්වා ගොඩ නැගෙන මේ පෙරමුන මෙහෙයවෙන්නේ කොයිබට ද? කම්කරු පන්තිය හා ධනේශ්වර පන්තිය අතර වඩාත් ප්‍රචන්ඩ මට්ටම්වලින් පිපිරෙන පන්ති සටන “සමහන් කිරීමට” හා“නවත්වා දැමීමට” ය.

ජනතා විමුක්ති පෙරමුනේ සිටින සිංහල සුලු ධනේශ්වරයේ දැනුවත් නියෝජිත පිරිස පන්ති සටන මොන ආකාරයකින් හෝ “නැවැත්වීමට” පුදුමාකාර උත්සාහයක් දරමින්, මේ වැඩකට නැති සටන නතර කර දැමීමට, සටනේ දී ගැටෙන පන්තීන් අතර ඇති විරුද්ධවාදීකම්වලට වඩා සමානකම් හා පොදු අවශ්‍යතාවන් ඇති බව කියා සිටිති. විජේවීර වරක් ප්‍රකාශ කල පරිදි “අධිරාජ්‍ය විරෝධී සටනේ දී පංති වෛරය දේශප්‍රේමිත්වය” වන බැවින් මේ “දේශප්‍රේමිත්වය” ජාතික ධනේශ්වරයත් ගොවි ජනතාවත් කම්කරු පන්තියත් අතර ඇති පන්ති පරතරය සමහන් කර, මේ පන්තීන් පොදුවේ එකමුතු කරන මාධ්‍යය බවට පත් වේ.

කම්කරු පන්තියේ “ආර්ථික සටන් ” වැඩක් නැතැයි ද, ස්ට්‍රයික් සටන් ධනේශ්වරයේ උපක්‍රමයක් යැයි ද ඔවුන් කියන්නේ කම්කරු පන්තිය හා ධනපති පන්තිය අතර දේශප්‍රේමිත්වයේ පදනම මතින් ඇති විය යුතු එකමුතුව මේ “කැඳ කෝප්ප අරගලයන්” විසින් විනාශ කර දමන බැවින් විය යුතු ය. ඔවුන්ට අනුව නම් අද අවශ්‍යව ඇත්තේ ආර්ථික ඉල්ලීම් ඉදිරිපත් කරමින් ධනපතියන් හා කම්කරුවන් අතර පරතරය තවත් පලල් කර ගැනීම නො වේ; අද අවශ්‍යව ඇත්තේ ජාතික ධනපතියන් සමගත් දේශප්‍රේමී පෙරමුනක් ගැසීමට උත්සාහ දැරීම යි. මේ නිසා ඔවුහු “රටේ බහුජනතාවගෙන් ඈත් වූ නිස්සාර වැඩ වර්ජන සඳහා නො ව ජනතාවගේ නාමයෙන්, මව් බිමේ නාමයෙන්” වහා ම පෙරමුනට එන ලෙස කම්කරුවන්ට කියති.

දැන් “මව් බිමේ නාමයෙන්” ඔවුන් දෙසන බන අසා පෙරට එන කම්කරුවන් සිටිත් නම්, කම්කරු පන්තිය හා ධනපති පන්තිය අතර සටන කිසි ම ඵලයක් නැති සටනක් බව පෙන්වා ඒ කම්කරුවන් ඇත්තට ම සටන් කල යුත්තේ කවරෙකුට විරුද්ධව ද යන්න ජනතා විමුක්ති පෙරමුන පෙන්වයි:

“මෙරට ජනතාවගේ ලේ උරා බොන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට, ලංකාව වියට්නාමයක් කිරීමට බලා ගෙන සිටින ඇමරිකානු නව යටත් විජිතවාදීන්ට, හොර බඩු ජාවාරම, කල්ලතෝනි ආක්‍රමනය හා ඉන්දියානු සංස්කෘතික ආක්‍රමනය තුලින් අපගේ මාතෘ භූමිය ගිල ගැනීමට දඟලන ඉන්දියානු ව්‍යාප්තවාදීන්ට” විරුද්ධව මෙරට ජනතාව සටන් කල යුතු යැයි ඔවුහු කියා සිටිති.

ඉහත කී ආක්‍රමනිකයන් සියල්ලන් ම ගැන ඔවුන් අවධාරනය කරන්නේ ලංකාවේ සිංහල මිනිසුන් තුල “දේශප්‍රේමිත්වය” ඇවිලවීමටත්, ඒ දේශප්‍රේමිත්වය පාවිච්චි කර ජාතිකවාදී අපන්තික පෙරමුනක් ලංකාව තුල ගොඩ නැගීමටත් ය. මේ නිසා ඉහත කී ආක්‍රමනයන් ගැන ජනතා විමුක්ති පෙරමුන කරන අවධාරනය කෙලින් ම යොමු වන්නේ ලාංකික ධනේශ්වර පන්තියේ “දේශප්‍රේමී” දෘෂ්ටිය යටතට පීඩිත ජනතාව තල්ලු කර දැමීමට ය.

එය කිරීම සඳහා කම්කරු පන්තිය, ජාතික ධනේශ්වරය, ගොවි ජනතාව හා සුලු ධනේශ්වර පන්තීන් අතර ඇති වෙනස්කම් පෑස්සීමට යත්න දරන මොවුහු මේ සියල්ලන්ට ම “මව් බිමේ නාමයෙන්” කැප්පෙටිපොල ආදින් අනුව යමින් සිංහලයන් ලෙස එකමුතු විය හැකි බව කියා සිටිති.

ජනතා විමුක්ති පෙරමුන දැන් උනන්දු වන්නේ මේ “ලක්මවගේ දරුවන්” ඇගේ නියම සතුරන්ට විරුද්ධව මෙහෙයවීමට ය. ලංකාවේ දේශ සීමාවන් ලෝකය කර ගෙන ප්‍රශ්නයන් දෙස බලන සිංහල සුලු ධනේශ්වර පන්තිය මේ දේශ සීමාවන් තුල දී ම “ලක්මවගේ දරුවන්ට” විමුක්තිය අත් කර ගැනීමේ මාවතක් පෙන්වයි.

මේ මාවත පෙන්වීමේ දී ජනතා විමුක්ති පෙරමුනේ ජාතිකවාදය ඉතා ම තිරිසන් හා කඨෝර ම ජාතිවාදී අන්තයන් කරා ගමන් කරයි.

ජනතා විමුක්ති පෙරමුනට අනුව ලාංකිකයන්ගේ ප්‍රධාන සතුරෙකු බවට වතු කම්කරු පන්තිය පත් වේ. වතු කම්කරුවන් සිංහලයන්ගේ අයිතිවාසිකම් ගසා කන පිරිසක් ලෙස දකින සිංහල සුලු ධනේශ්වරයේ සියලු ම ජරාජීර්න අදහස් ඉතා ම නග්න ආකාරයෙන් ම ජනතා විමුක්ති පෙරමුන තුල වෙයි. ජාතික ධනපති පන්තිය ගොවි ජනතාව හා සිංහල කතා කරන කම්කරු පන්තිය අතර ඇති පන්ති වෙනස්කම් පාන්නට හදන මොවුහු වතු කම්කරුවන් හා සිංහල කතා කරන කම්කරුවන් එක ම පන්තියක් ලෙස දැකීම වෙනුවට, මේ කොටස් දෙක අතර ඉතා ම බිහිසුනු පරතරයක් ඇති බව කියා සිටිති. වතු කම්කරුවන් සිංහලයන් නොවීම ඒ පරතරය වන අතර මේ පරතරය වතු කම්කරුවන් හා සිංහල කතා කරන කම්කරුවන් කඳවුරු දෙකකට ඇද දමන බව ජනතා විමුක්ති පෙරමුන පෙන්වයි.

ඔවුන්ට අනුව, නාගරික කම්කරු පන්තිය, ගොවි ජනතාව හා ජාතික ධනේශ්වර පන්තිය එක කඳවුරක ය. බ්‍රිතාන්‍ය-ඇමරිකානු අධිරාජ්‍යවාදීන්, විවිධාකාර “සංස්කෘතික ආක්‍රමනිකයන්” හා වතු කම්කරුවන් වෙන ම කඳවුරක ය!

පන්ති දෘෂ්ටියක් නොමැතිව ජාතිකවාදී දෘෂ්ටියකින් සමාජයේ ප්‍රශ්නයන් දෙස බැලීමේ දී කෙනෙකු ඉහත කී ආකාරයේ උමතු නිගමනයන් කරා යාම මේ ධනේශ්වර අර්බුදය තුල ඉතා ම තර්කානුකූල දෙයක් පමනක් බවට පත් වේ.

නිර්ධන පන්ති විප්ලවයෙන් ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීම ගැන කොතෙක් පූච්චානම් ඇද බෑව ද මොවුන්ගේ එම පූච්චානම් තොගයට යටින් පවතින්නේ නිෂ්පාදන බලවේගයන්ගෙන් විශාල කොටසක් විනාශ කර හෝ ධනේශ්වර ආර්ථික අර්බුදය ධනේශ්වර ආකාරවලින් “විසඳීමේ” අදහස් හා ක්‍රියා මාර්ග ය.

ජාත්‍යන්තර අධිරාජ්‍යවාදය හා නිර්ධන පන්ති විප්ලවය අතර තෙරපී මිරිකෙන මධ්‍යම පන්තියට ස්වාධීන පන්ති ක්‍රියා කලාපයක් වර්තමාන සමාජය තුල නොමැත. ඔවුන් අධිරාජ්‍යවාදයේ හෝ කම්කරු විප්ලවයේ උපකරනයන් බවට පත් විය යුතු ය. අධිරාජ්‍යවාදයේ අර්බුදය ඔවුන්ගේ සුලු වරප්‍රසාදයන් අතලොස්සකට පවා තර්ජනය කරන විට, අධිරාජ්‍යවාදය පෙරලා දමා විප්ලවවාදී ලෙස සමාජය යලි ප්‍රතිසංවිධානය කොට, සමාජවාදී නිෂ්පාදන ක්‍රමයට පදනම ලීමට මධ්‍යම පන්තිය උනන්දු වන්නේ වත්, උනන්දු වීමට ඔවුන්ට හැකියාව ඇත්තේ වත් නැත.

තමන්ගේ සුලු වරප්‍රසාදයන් අතලොස්ස ධනපති ක්‍රමය ඇතුලත කෙසේ හෝ රැක ගැනීමට දරන කනගාටුදායක උත්සාහයේ දී, ධනපතියන් පෙරලීමට නො ව මේ ක්‍රමය තුල ඉතිරි වී ඇති “සම්පත් ටික” තමන්ට හිමි කර ගෙන තමන්ගේ තත්වය කෙසේ හෝ ස්ථිරසාර කර ගැනීමට ඔවුහු වෙහෙසෙති.

විශේෂයෙන් ම, රැකියා විරහිත භාවය ලැව් ගින්නක් මෙන් පැතිර යමින් මධ්‍යම පන්තියේ ජීවන තත්වයන් කඩා බිඳ වැටෙමින්, මධ්‍යම පන්තිය හිඟා කන මට්ටම්වලට වැටෙද්දී ඔවුන්ගෙන් පිරිසක් “ලංකා ජාතික ශිෂ්‍ය සංගමය”, “ලංකා ශිෂ්‍ය සම්මේලනය” හා වෙනත් වර්ගවල ප්‍රතිසංස්කරනවාදී “උපාධිධාරීන්ගේ සංගම්වලට” පිවිසී ධනපතියන් ජනතාව රැවටීමට ගෙන යන කැත ප්‍රචාරක මාධ්‍යයන්ගේ වහලුන් වෙමින්, දහඩිය මුගුරු දමා ගෙන ධනපතියන්ට රැස්වීම් සංවිධානය කරමින්, උන්ගේ ගුන කිය කියා පෝස්ටර් ගසමින්, කොටින් ම උගේ කකුල් ලෙව කමින්, ධනපති ක්‍රමය තුල පන අදිමින් ඇති “වරප්‍රසාදයන්” අතලොස්සෙන් තමන්ටත් ටිකක් ලබා ගැනීමට හිඟාකෑමේ තරගයක යෙදී සිටිති. තවත් අය, මේ හිඟා කෑමේ දේශපාලනයෙන් කිසි ම වැඩක් නො සිදු වන බව නිවැරදිව වටහා ගෙන, තමන් ගෝත්‍රයක් ලෙස සංවිධානය වී, තමන්ගේ ගෝත්‍රයට පිටින් සිටින වෙනත් කොටස්වල බිඳ වැටෙන “වරප්‍රසාදයන්” තමන්ට නතු කර ගැනීමේ ව්‍යාපාර ගෙන යති.

බුද්ධදාස බෝධිනායක නමැති දොස්තරයෙකුගේ නායකත්වයෙන් පසු ගිය දා කොලඹ ආනන්ද විද්‍යාලයට රැස් වූ නියම ෆැසිස්ට් නඩය දෙමල ශිෂ්‍යයන්ට හා දෙමල ජනතාවට විරුද්ධව යුද්ධයකට එලඹී තම “වරප්‍රසාදයන්” ධනපති ක්‍රමයෙන් නො ව දෙමල මිනිසුන්ගෙන් රැක ගැනීමට යොමු වුන අති උමතු ව්‍යාපාරයකි.

තම වරප්‍රසාදයන්ට ධනවාදය විසින් එල්ල කර ඇති පහර නිසා ම, පෙරලිකාරී වී ඇති මධ්‍යම පන්තිය ධනේශ්වරය තමන්ගේ මූලික සතුරා ලෙස දකින්නේ නැත. ධනපති සමාජය නොවෙනස් වන දෙයක් ලෙස දකින මොවුහු, මේ ක්‍රමය වෙනස් කිරීමේ උත්සාහයන්ට වඩා ඵලදායී ලෙස මේ ක්‍රමය තුල දුක් විඳින වෙනත් කොටසක් විනාශ කර දමා තම ජීවිතය බේරා ගත හැකි වෙතැයි සිතමින් ඒකාධිකාරී ධනවාදයේ උපකරන බවට පත් වෙති.

කම්කරු පන්තිය සංවිධානාත්මක, දැනුවත් බලවේගයක් බවට පත් වී ධනවාදයට විරුද්ධව සමාජවාදී විකල්පය ඉස්මතු කර, ධනපතියන් පරදවා තමන්ට ජය ගැනීමට ඇති හැකියාව පෙන්වන තුරු මධ්‍යම පන්තියට නිර්ධන පන්ති විප්ලවය මිථ්‍යාවක් වේ.

ජනතා විමුක්ති පෙරමුන ද වර්තමාන ධනේශ්වර අර්බුදය ග්‍රහනය කර ගැනීමට කිසි ම හැකියාවක් ඇති සංවිධානයක් නො වේ. ඔවුනුත් ලෝකය දෙස බලන්නේ ස්ථිතික ඝනීභූත රූපකයන්ගේ සංකලනයක් හැටියට පමනි. මේ නිසා ම නිෂ්පාදන බලවේගයන් තමන් සතු කර ගෙන සමාජය වෙනස් කිරීමට කම්කරු පන්තියට ඇති හැකියාව ඔවුහු නො පිලිගනිති. මේ නොපිලිගැනීම නිසා ම නිෂ්පාදන බලවේගයන්ගේ අයිතියේ වෙනසක් ඇති නො කර ඇති කරන “විසඳුම්වල” කොටස්කාරයන් බවට ඔවුහු කෙලින් ම පත් වෙති. එමගින් ඔවුන් ක්‍රියා කරන්නේ ඒකාධිකාරී ධනවාදයේ උපකරනයක් ලෙසට ය.

ඔවුන්ගේ මේ “විසඳුම්” කම්කරු පන්තිය කායිකව ම විනාශ කර දැමීමේ තිරිසන් ධනේශ්වර විසඳුම් බව පෙන්වීමට, ජනතා විමුක්ති පෙරමුන තම කේඩරයන් පුහුනු කර ගැනීමට පවත්වන දේශන මාලාවලින් වැදගත් කොටස් අපි උපුටා දක්වමු. මේ පාඨයන් ලියා ඇත්තේ ජාතික ධනපති පන්තිය, ගොවි ජනතාව හා කම්කරු පන්තිය අතර පොදු බවක් සෙවීමට යත්න දරන මිනිසුන් කොටසක් විසින් බව මේ පාඨයන් කියවන අතර ම සිහියේ තබා ගන්නා ලෙස අපේ පාඨකයන්ගෙන් ඉල්ලමු. මේ සියල්ල ලියා ඇත්තේ ලංකාවේ වතු කම්කරුවන්ට විරුද්ධව ජාතිවාදය ඇවිස්සීමට යි.

උඩරට වැසියන් ඉවත් කර (1830 දී) ඒ වෙනුවට ඉන්දියානු වතු කම්කරුවන් පදිංචි කරන ලෙස, යටත් විජිත ලේකම් ටොරිංටන්ට උපදෙස් දුනි. 1848 විමුක්ති අරගලය මීට විරෝධය පෑමකි.

ඉන් පසුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් වතු කම්කරුවන් ගෙන්වීම ගැන කර ඇති ප්‍රකාශන මාලාවක් මෙසේ උපුටා දක්වා ඇත:

කලහකාරීන්ගෙන් අත්පත් කර ගන්නා ඉඩම්වල බලධාරී වැසියන් පදිංචි කරවීමෙන්, අගනා ප්‍රතිඵල ලැබෙනු ඇත. ජනගහනය නගිනවා ඇත. ඉන් උඩරැටියන් මැඩීමටත් ... හැකි වනු ඇත (ටොරිංටන්).

බ්‍රිතාන්‍ය පාලනයට, කෝපි වගාවට, යුරෝපීන් උඩරට පදිංචි වීමට සහ බලධාරී වැසියන් (වතු කම්කරුවන්) ගෙන ඒම ගැන උඩරැටියන් කුපිත විය (ටෙනන්ට්).

වතු කම්කරුවන්ට හා වතු අධිකාරීන්ට දැන් මුළු රට ම යටත් කල හැක. 1917 දී අප, රට ගැන නොදැන සිටියත්, දැන් දනිමු. හැම අතට ම යෑමට දැන් පාරවල් ඇත. එබැවින් ඔවුන්ට අප පලවා හැරිය නොහැක (වුඩ්හවුස්).

ඉන්දියාවේ බලධාරී වැසියන්ට වේලක් කෑම සඳහා දිනක් වැඩ කිරීමට සිදු වුවත්, ලංකාවේ නිවාස, ආහාර, වෛද්‍ය සියලු පහසුකම් තිබූ නිසා ලංකාවට ඒමට උනන්දු වූ බවක් පෙනේ (කම්කරු පාලක ටී. රීඩ්, 1926 වාර්තාව).

ඉන් පසුව වතු කම්කරුවන්ගේ පැමිනීම හා ඔවුන්ගේ ජීවන තත්වයන් ගැන සංඛ්‍යා ලේඛන මාලාවක් වේ:

වර්ෂය කම්කරු පැමිනීම

1827 16,000

1846 81,111

1930 7,35,000

රැකියා ලබා ඇති තත්වය

උඩරට සිංහල සියයට 24.8

පහතරට සිංහල සියයට 25.6

ඉන්දියානු ද්‍රවිඩ සියයට 51.4

ලංකා ද්‍රවිඩ සියයට 26.4

සහල් පරිභෝජනය

ගම්බද (පවුලක්) 75

නගරබද 63

වතුකරයේ 78

ඉන් පසුව, වතු කම්කරුවන්ට ඇති වරප්‍රසාද ගැන මෙසේ ලියා ඇත:

1889 වතු කම්කරු ආඥාවට අනුව (1) සතියකට දින 6ක් වැඩ, (2) නිවාස, (3) සතිපතා සහල් නයට ගැනීමේ පහසුව.

සෞඛ්‍යය අවශ්‍යතා ආඥාවට අනුව (1) දරුවන්ට අවුරුද්දක් ගත වන තුරු නොමිලේ කිරි, (2) නොමිලේ සෞඛ්‍ය පහසුව, (3) රෝහලට ගෙන යෑමට නොමිලේ ප්‍රවාහන පහසුව.

උද්ධෘත පාඨයන්, සංඛ්‍යා ලේඛනයන් හා ඒවාට ඔවුන් ලියා ඇති අටුවාවන් තුලින් ජනතා විමුක්ති පෙරමුන බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න ඉතා ම පැහැදිලි ය. වතු කම්කරුවන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ඒජන්තයන් බවත්, ඔවුන්ට ඒ නිසා ම අමුතු වරප්‍රසාද මාලාවක් ලැබී ඇති බවත්, ඒ නිසා ඔවුන් ජනතාවගේ සතුරන් බවත් පෙන්වීමට දරන ලද නින්දනීය උත්සාහයකට වඩා වැඩි දෙයක් එහි නැත.

වතු කම්කරුවන් ගැන ඔවුන් නොකියන දෙය නම්, මොවුන් ඒකාධිකාරී ධනවාදය විසින් තම ශ්‍රම ශක්තිය ධනපතියන්ට විකිනීම හැර වෙන ජීවන මාධ්‍යයක් නොමැති කොටසක් බවට පත් කරන ලද විශාල පන්තියේ කොටසක් බව යි.

වතු කම්කරුවන්ට රෝහල් පහසුව ඇති කිරීම, නිවාස තනා දීම ආදිය අධිරාජ්‍යවාදය මේ කම්කරුවන්ට ඇති “ලැදියාවකට” කල දෙයක් ලෙස ජනතා විමුක්ති පෙරමුන පෙන්වන්න හදයි. ලංකාවේ අනෙක් තැන්වල, රෝහල්, දුම්රිය පලවල්, රේල් පාරවල්, බස් රථ, ලොරි, කාර්, පාසල් හා තවත් දේවල් සිංහල රජ කාලේ සිට තිබුනා ය යි සමහර විට ජනතා විමුක්ති පෙරමුන සිතා සිටිනවා විය හැකි ය. සමහර විට අනෙක් තැන්වල ඇති රෝහල්, නිවාස ආදියත් මේ රටේ ජනතාවට “ආදරෙන්” අධිරාජ්‍යවාදය පිදූ තුටු පඬුරු ලෙස කිසිවෙකු සිතුව හොත් එය ජනතා විමුක්ති පෙරමුන්නේ තකතිරු තර්කයට හරියට ම එකඟ ය.

ධනේශ්වර සූරා කෑම අරඹා මේ රටවල පැරනි රදල-වැඩවසම් රාමුව බලාත්කාරයෙන් බිඳ දැමීමේ දී අධිරාජ්‍යවාදීන් කම්කරු පන්තියක් ගොඩ නගන බවත් තම සූරා කෑමේ ක්‍රමයේ අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාර ශිල්පීය විධි ගොඩ නගා ගන්නා බවත් අමුතු දෙයක් නො වේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙරටට පැමිනීමෙන් පසු කම්කරු පන්තියක් හැදුනේ වතුකරයේ පමනක් නො වේ. එමෙන් ම රදල-වැඩවසම් යුගයට වඩා වෙනස් ආකාරයක ශිල්ප විධීන්, වෙනස් ආකාරයක වැඩි දියුනු වූ යන්ත්‍රසූත්‍ර උපක්‍රමයන් අධිරාජ්‍යවාදයේ කඩා වැදීමත් සමග ම මේ රටවලට පිවිසුන බව ද අමුතු දෙයක් නො වේ.

එසේ නම්, වතුකරයේ පමනක් ඇති අතිශයින් ම අබලන් රෝහල්, ලයින් කුටි ආදිය ගැන විශාල අවධාරනයක් කරන්නේ ඇයි?

වතු කම්කරුවන්ට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුන ගෙන යන උද්ඝෝෂනයේ හරය තේරුම් ගැනීමට වතු අයිතිකාරයනුත් පොදුවේ ලාංකික ධනපති පන්තියත් අද මුහුන දී ඇති අර්බුදය වටහා ගත යුතු ය.

ඔවුන් උපුටා දක්වා ඇති වාර්තාවලට පටහැනි ලෙස, වතු කම්කරුවන් දැන් භුක්ති විඳින වරප්‍රසාදයන් ද කපා දැමීමට අද වතු පාලකයන්ට අවශ්‍ය වී තිබේ. පසු ගිය කාලය තුල ම තේ වෙලඳාමේ ඇති වූ අර්බුදයේ ප්‍රතිඵලය ලෙස වතුකරයේ කම්කරුවන්ට සතියකට දින දෙකකට වඩා වැඩ සැපයීමට වතු හිමියන්ට නොහැකි වී ඇති අතර, බොහෝ වතු වැසීමේ තත්වයන් පවා උද්ගතව ඇත. ඒ නිසා වහා ම ඉන්දු-ලංකා ගිවිසුම (සිරිමා-ශාස්ත්‍රීය ගිවිසුම) ක්‍රියාත්මක කර, මේ කම්කරුවන් නැති කර දැමීමට වතු අයිතිකාරයන්ටත් ලංකාවේ සිටින උන්ගේ ඒජන්තයන් වන යූඇන්පී-ශ්‍රී ලංකා පක්ෂ දෙකට මත් ලාංකික ධනපති පන්තියටත් අවශ්‍යව තිබේ.

කීනකැලේ සිදුවීම්වලින් පැහැදිලි වූ පරිදි, වතු අයිතිකාරයන් හා කම්කරුවන් අතර ඉතා ම ප්‍රචන්ඩ සටන් මාලාවක් දැන් ඇති වෙමින් යන්නේ එබැවිනි. ඒ අතර ම, ලාංකික ධනපති පන්තිය ම පොදුවේ මෙම අර්බුදයට හසුව ඇති අතර, පෞද්ගලික අංශයේ සෑම වැඩ පොලකින් ම පාහේ කම්කරුවන් දොට්ට දැමීමට ධනපතියන්ට සිදු වී ඇත. වෙලෝනා, ලකී ඉන්ඩස්ටීස් ආදි තැන්වල මේ දොට්ට දැමීම් වඩා භයානක මට්ටම් කරා සේන්දු වී ඇති අතර ධනපති පන්තියේ බලයට විරුද්ධව එක්සත්ව නැගී සිටීමේ අවශ්‍යතාව කම්කරු පන්තිය තුල මතු කර ඇත.

මේ තත්වය තුල දී ම මධ්‍යම පන්තිකයන්ට කිසි ම ඉදිරි අනාගතයක් නොමැති තත්වයක් කෙලින් ම සැකසී ඇත. ඒ නිසා ඔවුන් මෙතෙක් කල් ධනපති ක්‍රමය තුල ගත කල සනීපවත් ජීවිත කඩා වැටෙනු ඇත. විවිධාකාර හොරිකඩ ව්‍යාපාර, ෆැසිස්ට් ව්‍යාපාර ආදිය ගොඩ නගා ධනේශ්වර අර්බුදය කම්කරුවන්ගේ විනාශය මතින් විසඳා දීමට ඔවුහු පෙරට විත් සිටිති. ජනතා විමුක්ති පෙරමුන ද වැටෙන්නේ ඒ ගනයට යි. කම්කරු පන්ති විප්ලවයට විරුද්ධව ඒකාධිකාරි ධනවාදයේ හා සුලු ධනේශ්වරයේ අවශ්‍යතා වතු කම්කරුවන් විනාශ කිරීම සඳහා පමනක් නො ව පොදුවේ ස්ට්‍රයික් සටන්වලට විරුද්ධ වීම සඳහා ද අද එකමුතු වී ඇත.

ජනතා විමුක්ති පෙරමුනේ වතු කම්කරු විරෝධය, අද නිකම් ම සිංහල ජාතිවාදය ලෙස හැඳින්වීම වැරදි ය. මන්ද? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් හා ලාංකික ධනේශ්වරය තම පන්ති උවමනාකම් මත සිට වතු කම්කරුවන් වැනසීමට යත්න දරන කාලයක, ඉස්මතු වන සුලු ධනේශ්වර වතු කම්කරු විරෝධය ඒකාධිකාරී ධනවාදයේ නග්න උපකරනයක් බවට කෙලින් ම පරිවර්තනය වන බැවිනි. මේ ජාතිවාදය ෆැසිස්ට්වාදයට තුඩු දෙන එකක් වන අතර, ජනතා විමුක්ති පෙරමුන ලංකාව තුල බිහි කරන්නේ අනාගත ෆැසිස්ට් ව්‍යාපාරයකට හොඳින් උපයෝගි කර ගත හැකි කම්කරු විරෝධී බලවේගයකි.

ලංකාව තුල ඉතා ම කැත ම ජාතිවාදී ෆැසිස්ට්වාදී අදහස් දරන සිරිල් මැතිව්, ආර්.ජී. සේනානායක ආදින් හා ජනතා විමුක්ති පෙරමුන අතර මේ ප්‍රශ්නයන් උඩ ඇත්තේ පරිපූරන එකඟත්වයක් බව තේරුම් ගැනීමට සිරිල් මැතිව්ගේ සිංහලයාගේ අදිසි සතුරා නමැති පොත කියවා බැලීමත්, පසු ගිය සමයේ ආර්.ජී. සේනානායක මුද්‍රනය කල සිංහල ජාතිය උඩින්මත්තෙන් බැලීමත් ප්‍රමානවත් ය.

ජනතා විමුක්ති පෙරමුන මේ සිරිල් මැතිව් හා ආර්.ජී. සේනානායක ව්‍යාපාරයන් ගැන කියන්නේ කුමක් ද? මේ ප්‍රශ්නය, එනම් ජාතිවාදය සම්බන්ධ ප්‍රශ්නය ඔවුන්ගේ පත්‍රවල කිසි ම දිනක මතු කර නැත්තේ ඔවුන් ජාතිවාදයේ ප්‍රධාන නියෝජිතයන් වන බැවිනි.

වතු කම්කරුවන්ට ජනතා විමුක්ති පෙරමුනේ ඇති උමතු විරුද්ධත්වය කොතෙක් ද යත් 'කොලරාව ලංකාවට ආවේ වතු කම්කරුවන් නිසා ය” යන කරුන අප උපුටා දැක්වූ දේශනයේ අඩංගු කර ඇත. කොලරාව ලංකාවට ආවේ වතු කම්කරුවන්ගෙන් ද නැද්ද යන්න මෙතැන දී මතු වන ප්‍රශ්නය නොවන අතර, වතු කම්කරුවන්ට විරුද්ධව සිංහල මධ්‍යම පන්තිය තුල ඇවිස්සිය හැකි නීච ම හැඟීම් ඇවිස්සීම ඒ කතාවේ තේරුම වේ.

“දේශප්‍රේමී” පන්ති හා පෙරමුන ගැන කතාව, දේශප්‍රේමී “ලෙඩරෝග” හා දේශ විරෝධී “ලෙඩරෝග” වර්ගීකරනයක් කිරීම දක්වා ගොස් ඇති ආකාරය පෙන්වා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුනේ දේශප්‍රේමිත්වය උමතුවක් පමනක් බව යි. සිංහල මිනිසුන් “පූජනීය” හා අන් අයට වඩා “උතුම් කොට” සලකන, සිංහල මිනිසුන්ට ලෙඩරෝග නො හැදෙතැයි සලකන මේ චින්තනය පුදුමාකාර චින්තනයකි. ඔවුන්ගේ දේශන මාලාවල පැරනි රජවරුන්ගේ “ශ්‍රී විභූතිය” වර්නනා කර ඇති ආකාරයන්ගෙන්, “ලෝකෙන් උතුම් රට ලංකාව යි” යන ධනේශ්වර ආත්ම වංචාවේත් සුලු ධනේශ්වර මිථ්‍යාවේත් ගොදුරු බවට ඔවුන් පත් වී ඇති ආකාරය පෙන්නුම් කෙරෙයි. මෙය අන් කිසිවක් නො ව පිස්සු වැටුන විඤ්ඤානවාදය පමනි.

මේ උමතු විඤ්ඤානවාදය ලං වන්නේ හිට්ලර්, මුසොලීනි ආදින්ට මිස කිසි සේත්තේ ම මාක්ස්වාදයට නො වේ. ජර්මනියේ “පාරිශුද්ධ බව හා උතුම් බව” ගැන ඇති කරන ලද උමතුව තුලින් තම දුඹුරු කමිස ව්‍යාපාරය තුලට කොටු කර ගත් ජර්මානු මධ්‍යම පත්තිකයන් හිට්ලර් මෙහෙයවූයේ කොතැනකට ද යන්න කවුරුත් දන්නා දෙයකි. එය මෙහෙයවුනේ යුදෙව් මිනිසුන් විනාශ කිරීම තුලින් මුලු මහත් ජර්මානු කම්කරු පන්තියේ පන්ති සංවිධාන හා පක්ෂයන් සියල්ල ම අලුදූවිලි බවට පත් කිරීම සඳහා ය.

වතු කම්කරුවන් ගැන ජනතා විමුක්ති පෙරමුනේ ඇති පිලිකුල හා විරුද්ධත්වය කොතරම් ද යත්, ලංකාවේ අග්‍ර ධනේශ්වර ප්‍රචාරක මාධ්‍යයන්ගේ ජාතිවාදී ප්‍රහාරයන් සමග ද වතු කම්කරුවන්ට විරුද්ධව අත්වැල් බැඳ ගැනීමට ඔවුන් තල්ලු වී ඇත. උදාහරනයක් ලෙස, පසු ගිය මැතිවරනයට පෙරාතුව දවස පුවත්පත් ආයතනය ගෙන ගිය ෆැසිස්ට්වාදී-ජාතිවාදී ප්‍රචාරයන් තම දේශන මාලාවල් තුල දී උපුටා දක්වමින් ඒවා වඩා පීඩාවට පත්ව සිටින තරුන කොටස් අතර පැතිරවීමට ජනතා විමුක්ති පෙරමුන ක්‍රියා කර ඇති ආකාරය පෙන්විය හැකි ය.

දවස පත්තර මුදලාලිට විරුද්ධව කම්කරුවන් ආර්ථික ඉල්ලීම් ඉදිරිපත් කිරීම වැරදි යැයි මේ මිනිසුන් කියන්නේ මන්ද යන්න ඉතා ම පැහැදිලි ය. දවසකාරයාත් දේශප්‍රේමියෙකු වන තාක් දුරට, වතු කම්කරු විරෝධී ප්‍රචාර ගෙන යන තාක් දුරට, මේ ධනපතියන් හා තමන් අතර ඇති පන්ති වෙනස අමතක කර ඔවුනුත් සමග අත්වැල් බැඳ ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුන කම්කරු පන්තියෙන් ඉල්ලයි.

උඩරට ගැමියන්ගේ වතුපිටිවල සිය කර්මාන්තයන් අරඹා ගැමියන් පලවා හැර, ඉතා ම ලාභයට ශ්‍රමය උකහා ගත හැකි වතු කම්කරුවන් එම කර්මාන්ත තුල යොදවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ආරම්භ කල සූරා කෑම වතුකරයට පමනක් සීමා වූ දෙයක් නො වේ. ලංකාව වැනි රටවල ස්වභාවික ධනසම්පත් ගසා කමින්, ඒවා අපතේ හරිමින්, තම සූරා කෑමේ අරමුනුවලට අනුකූල වන ලෙස ස්වභාව ධර්මයට විරුද්ධව දරුනු අපරාධයන් පවා කරමින් අධිරාජ්‍යවාදීන් ගෙන යන ගසා කෑමේ ව්‍යාපාරයට විරුද්ධ සටන වතු කම්කරුවන්ට විරුද්ධ සටනක් නො වේ.

වතුකරයේ හා නගරබද කම්කරුවන් එක්සත් වී, ගොවි ජනතාවගේ සහයෝගය ලබා ගෙන, තම බලය පිහිටුවා ගෙන, අධිරාජ්‍යවාදීන් හා උන්ගේ ඒජන්ත දේශීය ධනපතියන් අස්වාමික කර, සැලසුම්ගත ආර්ථිකයක් මත නිෂ්පාදන බලවේග හසුරුවන තුරු උඩරට ගැමියන්ගේ වත් නගරබද පීඩිත පන්තීන්ගේ වත් වතු කම්කරුවන්ගේ වත් ප්‍රශ්න නො විසඳේ. එහෙත් ජනතා විමුක්ති පෙරමුන අධිරාජ්‍යවාදයට විරුද්ධව සටන් කිරීමට යන්නේ 1848 කැරැල්ලේ සම්ප්‍රදායන් මත පිහිටා මිස ඉහත කී අයුරින් නො වේ.

ගැමි ජනතාවට අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය පෙරලිය නොහැකි අතර 1848 සිදු වූ පරාජයට පත් කැරැල්ල අධිරාජ්‍යවාදයේ බලය ඉදිරියේ හුදෙකලා කැරලි කුඩු පට්ටම් වන ආකාරය පමනක් පෙන්වී ය.

ජනතා විමුක්ති පෙරමුන තමන්ගේ සම්ප්‍රදාය ලෙස අවධාරනය කරන 1848 කැරැල්ලේ සම්ප්‍රදායන් නැවත පන ගැන්විය හැකි ඒවා නො වේ. 1848 දී ඛේදවාචකයක් වූ එම කැරැල්ල යලිත් ඇති කරවිය හැක්කේ හාස්‍යජනක නාඩගමක් හැටියට පමනි. වෙනත් ඓතිහාසික තත්වයක් තුල, වඩා බලවත් සතුරෙකු ඉදිරියේ - අධිරාජ්‍යවාදය ඉදිරියේ - බිඳී සුන් වී ගිය පැරනි ආසියාතික වැඩවසම් සමාජය අධිරාජ්‍යවාදයට විරුද්ධව කල ප්‍රතික්‍රියාවන් අලුත් ඓතිහාසික තත්වයක් තුල පන ගැන්වීමට යාම කල නොහැකි දෙයක් පමනක් නො වේ. අධිරාජ්‍යවාදී ආක්‍රමනයේ ප්‍රතිඵලයක් ලෙස ම, නව සමාජ ක්‍රමයක් බිහි වී, කම්කරු පන්තියක් ලංකා ඉතිහාසයේ දර්ශන පථයට පිවිසී, එම කම්කරු පන්තිය අධිරාජ්‍යවාදයේ බලයට නියම තර්ජනය එල්ල කරන විට, “සමාජවාදී විප්ලවය” ජාත්‍යන්තර පරිමානව යථාර්ථයක් බවට පත් වෙමින් එන විට 1848 අරමුනුවලට සටන් කිරීම විකාර සහගත සිහිනයක් පමනක් නො ව ප්‍රතිගාමී දෙයක් ද බවට පත් වේ.

එදා අධිරාජ්‍යවාදයට විරුද්ධව “මව් බිම” වෙනුවෙන් සටන් කල අයගේ සම්ප්‍රදායන් මෙදා එල්ල වන්නේ ගරා වැටෙන “අධිරාජ්‍යවාදයට” විරුද්ධව පමනක් නො ව නැගී එන සමාජවාදී විප්ලවයට ද විරුද්ධව ය. එනම්, ඉතිහාසයේ රියසක ආ පස්සට කරකැවීම සඳහා ය. මේ උත්සාහයන් අවසන් වන්නේ අධිරාජ්‍යවාදය කම්කරු පන්තියට විරුද්ධව කරන සටනේ උපකරනයක් හැටියට බව ජනතා විමුක්ති පෙරමුන තම න්‍යායන් හා ක්‍රියා මාර්ගයන් තුලින් පෙන්වා අවසාන ය.

අධිරාජ්‍යවාදයට හා වතු කම්කරුවන්ට ජනතා විමුක්ති පෙරමුනේ ඇති විරුද්ධත්වය, උඩරට ගැමි ජනතාව තමන්ගේ වතුපිටි අධිරාජ්‍යවාදීන්ට නතු වීම නිසා ඔවුන් තුල මේ අධිරාජ්‍යවාදී නිෂ්පාදන ක්‍රමයට එරෙහිව පැන නැගී ඇති වෛරයකි. ඔවුන් අතුරෙන් දුගී ගොවියන් කම්කරු පන්තියත් සමග එක්ව අධිරාජ්‍යවාදයට විරුද්ධව මෙහෙයවීමට සමාජවාදය සඳහා සටන් වදින පක්ෂයට හැකියාවක් තිබිය යුතු ය. ගොවීන්ගේ ප්‍රතිගාමී අගතීන්ට යට වීම අධිරාජ්‍යවාදයට විරුද්ධ වීමේ මුවාවෙන් ගොස් කම්කරු පන්තියට විරුද්ධව යාමක් බවට පත් වේ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේ රටවල් නතු කර ගැනීමේ දී, මේ රටවල් තුල නටබුන් වී ගිය පැරනි සමාජ පන්තීන්ගේ, ජනතාවගේ හා රදලයන්ගේ අවශ්‍යතාවන් මත පදනම් වී නො ව, අධිරාජ්‍යවාදීන් මේ රටවල් නතු කර ගැනීමේ දී අලුතෙන් පිබිදී ආ කම්කරු පන්තිය මත පදනම් වී පමනක් අධිරාජ්‍යවාදය පෙරලා දැමිය හැකි වේ.

ජනතා විමුක්ති පෙරමුන කරන්නේ මේ නව සමාජ පන්තිය, එනම් කම්කරු පන්තිය මත පදනම් වීම නො ව, ගොවි ජනතාව මත, එනම් අධිරාජ්‍යවාදය විසින් සුන් කර දමන ලද පැරනි සමාජයෙන් ඉතිරි වී ඇති කැබලිති මත පදනම් වීමකි.

ජනතා විමුක්ති පෙරමුනේ ජාතිවාදය මෙහි ප්‍රතිඵලයක් වන අතර, එය ගමන් කරන්නේත් එයට ගමන් කල හැකි වන්නේත් කම්කරු පන්තියට විරුද්ධව අධිරාජ්‍යවාදයේ තුරුල්ලට පමනි.

Loading