ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය -නව වැනි කොටස

9. ජනතා විමුක්ති පෙරමුන හා ස්ටැලින්වාදය

අප මේ සමග පලකිරීම ආරම්භ කර ඇත්තේ, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්‍රධාන ලේකම්ව සිටි කීර්ති බාලසූරිය (1948 -1987) විසින් 'ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය' යන මාතෘකාවෙන් ලියන ලද ලිපි මාලාවයි. මෙම ලිපි මාලාව ප්‍රථමයෙන්ම පල කෙරුනේ, එවක විකොස සතිපතා මධ්‍යම පුවත් පතවූ “කම්කරු පුවත්” 1970 අගෝස්තු අවසානයේ සිට නොවැම්බර් අවසානය දක්වා කලාප තුලය. පසුව එය පොතක් වශයෙන් මුද්‍රනය කෙරුනි. ලෝසවෙඅ හි පලකල කෘතියේ හැඳින්වීම පෙබරවාරි 19 දින පලකෙරුනි. කොටස් දහයකින් සමන්විත ලිපි මාලාවේ නව වැනි කොටස “ජනතා විමුක්ති පෙරමුන හා ස්ටැලින්වාදය” යි. අට වැනි කොටස මාර්තු 14 දින, හත් වැනි කොටස මාර්තු 08 දින, හය වැනි කොටස මාර්තු 04දින, පස්වැනි කොටස 26දින, සිව්වන කොටස 25දින, තුන්වන කොටස 22 දින, දෙවන කොටස 21 දින සහ පලමුවන කොටස 20 දින පලවිය.

ලිපි අනුපිලිවෙලින් කොටස් වශයෙන් පලකරමු.

***

1970 දෙසැම්බර් 11 දින ප්‍රකාශයට පත් කෙරුනු පොතේ පිටකවරය

9 ජනතා විමුක්ති පෙරමුන හා ස්ටැලින්වාදය

කම්කරු පන්තියේ ස්වාධීනත්වය ධනේශ්වරයට යටත් කිරීමට ක්‍රියාකාරී වන සෑම මධ්‍යම පන්තික ව්‍යාපාරයකට ම ස්ටැලින්වාදයත් සමග නිශ්චිත දෘෂ්ටිමය සම්බන්ධයක් ඇත. ඒ සමග ම, මේ මධ්‍යම පන්තික ව්‍යාපාරයන් තුල දැකිය හැකි අනෙක් ප්‍රධානතම ලක්ෂනය නම් ට්‍රොට්ස්කිවාදය සම්බන්ධයෙන් ඇති මාරාත්මක වෛරී ආකල්පය යි.

මේ ලක්ෂනයන් දෙක ම ජනතා විමුක්ති පෙරමුනට ද පොදු ය. පසු ගිය කාලය මුලුල්ලේ ම ට්‍රොට්ස්කිවාදයට විරුද්ධව නීච ම හා පහත් ම මට්ටමේ මඩ ගැසීම් ගෙන යාම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුනට ඇත්තේ අද්විතීය වාර්තතාවකි. මේ ට්‍රොට්ස්කිවාද විරෝධය සුලු ධනේශ්වර පන්තීන් නිර්ධන පන්ති විප්ලවය කෙරෙහි දක්වන අතිමහත් භීතියේ ප්‍රකාශනයකි. ට්‍රොට්ස්කිවාද විරෝද්ධයෙන් තොරව කිසි ම මධ්‍යම පන්තික ව්‍යාපාරයකට පවතින්නට කිසි ම හැකියාවක් නොමැත.

මධ්‍යම පන්තික රැඩිකල්වාදය කම්කරු පන්තිය හා අධිරාජ්‍යවාදය අතර තෙරපෙන අනාගතයක් නැති පන්තියක්, ධනේශ්වර ක්‍රමය තුල ම කිසි යම් සමාජ ස්ථිරත්වයක් පවත්වා ගෙන යාමට දරන අසාර්ථක වූත් ප්‍රතිගාමී වූත් උත්සාහයක ප්‍රකාශනය යි.

අද ලෝකය පුරා ම මධ්‍යම පන්තියේ විශාල කොටස් ඉහත කී සමාජ ස්ථිරත්වය අත් කර ගැනීමට උත්සාහ කරන්නේ කම්කරු පන්තියේ ශක්තිය මත රැදී සිටිමින් හා එම ශක්තිය ස්වාධීන මාවතකට පිවිසීම වැලැක්වීමට ඒ සමග ම යත්න දරමින් ය.

මධ්‍යම පන්තිකයන්ගේ ජීවන තත්වයන් වැඩි දියුනු කර ගැනීමෙහි ලා බාධකයක් ලෙස පවතින ඒකාධිකාරී ධනවාදයේ ශක්තියට විරුද්ධව කම්කරු ව්‍යාපාරය මත එල්ඹී සිටිමින් බලපෑම් ලීමට මධ්‍යම පන්තියේ රැඩිකල් දේශපාලකයන් හැම විට ම සූදානම් ය. මේ බලපෑම් ලීමේ දේශපාලනයෙහි දී කම්කරු පන්ති ව්‍යාපාරය තුල සිටින ප්‍රතිසංස්කරනවාදී නිලධාරි තන්ත්‍රයන් සමග කිසි යම් නිශ්චිත සම්බන්ධයක් ගොඩ නගා ගැනීමට ඔවුහු යත්න දරති.

මෙමගින්, එක් අතකින් ඒකාධිකාරී ධනවාදයේ තර්ජනය හා අනෙක් අතින් කම්කරු පන්තිය විප්ලවවාදී ලෙස පෙරට ඇදී ඒම වලක්වා ලීමට තත්වය සකස් කර ගත හැකි වෙතැයි ඔවුහු සලකති.

නිර්ධන පන්ති විප්ලවය හා ධනේශ්වර ප්‍රතිවිප්ලවය අතර, අතරමැදි ස්ථාවරත්වයක් සොයන මේ දේශපාලනය හැම විට ම මෙහෙයවෙන්නේ කම්කරු පන්තිය ස්වාධීන බලවේගයක් ලෙස පෙරට ඒම වලක්වා ලීමට විවිධාකාර, සංකීර්තන සූත්‍රයන් හා උපායන් ඉදිරිපත් කිරීමට ය. එනම්, එම උපායන් තුලින් කම්කරු පන්තිය ධනේශ්වර පන්තියට ගැට ගසා ලීමට ය.

මෙය මධ්‍යම පන්තියේ පන්ති කටයුත්ත වෙයි.

අධිරාජ්‍යවාදය හා කම්කරු පන්තිය අතර උපාමාරු යොදමින් තම තත්වයන් ස්ථාවර කර ගැනීමට මධ්‍යම පන්තික රැඩිකල්වාදය දරන උත්සාහයේ දී එහි අරමුනුවලට ගැලපෙන 'න්‍යායන්' උපුටා ගනු ලැබෙන්නේ ස්ටැලින්වාදයේ න්‍යායික මෙවලම් මල්ලෙනි.

මක් නිසා ද යත්, කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය අධිරාජ්‍යවාදයට යටත් කිරීම සඳහා අද ලෝක කම්කරු ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වන මූලික ම ප්‍රතිවිප්ලවවාදී බලවේගය ස්ටැලින්වාදය නිසා ය.

1920 ගනන්වල දී, ජාත්‍යන්තර කම්කරු පන්තිය තාවකාලික පරාජයන්ට මුහුණ දී තිබූ කාලයක දී, අධිරාජ්‍යවාදී ලෝකය තුල හුදෙකලා වූ සෝවියට් රුසියාවේ කම්කරු පන්තිය අතින් බලය කොල්ල කා ගත් ස්ටැලින්වාදී නිලධරය එතැන් පටන් මේ දක්වා ම අධිරාජ්‍යවාදයත්, ජාත්‍යන්තර කම්කරු පන්තියත් අතර උපාමාරු යොදමින් තම නිලධාරි බලය ආරක්ෂා කර ගැනීමට සටන් කරමින් සිටී.

ජාත්‍යන්තර කම්කරු පන්තිය අධිරාජ්‍යවාදය පරදවා ලබන සෑම ජයග්‍රහනයක් ම සෝවියට් කම්කරු පන්තියේ හුදෙකලාව අවසන් කර දමා, සෝවියට් කම්කරු පන්තියට යලිත් පාලන බලයට ඒමට දොර විවෘත කරන බව ගැන දැනුවත් ස්ටැලින්වාදී නිලධරය මේ සියලු ම කම්කරු සටන් අධිරාජ්‍යවාදයට බලපෑම් දැමීම සඳහාත්, එමගින් අධිරාජ්‍යවාදය හා ස්ටැලින්වාදී නිලධරය අතර “ස්ථිර” සාමයක් ගොඩ නගා ගැනීම සඳහාත් පාවිච්චි කරයි.

අධිරාජ්‍යවාදයත් සමග සම්මුතියකට එලඹීම සඳහා කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලයන් පාවිච්චි කිරීමට, තම අනුචර. “කොමියුනිස්ට් පක්ෂයන්” යෙදවා ගෙන ඇති මේ ස්ටැලින්වාදී නිලධරය අධිරාජ්‍යවාදයේ බලය පෙරලා දැමීම සඳහා කරන සටනේ දී කම්කරු පන්තිය විසින් ඉවත් කර දැමිය යුතුව ඇති ප්‍රධානතම බාධකය බවට පත්ව ඇත.

ඔක්තෝබර් විප්ලවයේ සැබෑ උරුමක්කාරයන් තමන් බව පෙන්වා ගැනීම තුලින් ජාත්‍යන්තර කම්කරු පන්තියේ සෑහෙන කොටස් නොමග යැවීමටත්, නොමග යවා ධනපති පන්තියට යට කර දැමීමටත් ස්ටැලින්වාදී නිලධරයට ඇති විශේෂ හැකියාව මේ නිලධරයේ කටයුත්තට විශේෂ ආධාරකයක් වෙයි.

කම්කරු පන්තියේ ස්වාධීනත්වය සඳහා සටන් නො කර, කිසි යම් සමාජ ස්ථිරත්වයක් මේ ධනේශ්වර ක්‍රමය තුල ම ඇති කර ගැනීමට කැස කවන සෑම මධ්‍යම පන්තික ව්‍යාපාරයක් ම ස්ටැලින්වාදයත් සමග සම්බන්ධ වන්නේ එබැවින් ය.

හතර වන ජාත්‍යන්තරය තුල නැගී ආ - දැන් මැන්ඩෙල්-ෆ්‍රෑන්ක් කල්ලිය හා ඇමරිකාවේ සමාජවාදී කම්කරු පක්ෂය විසින් නියෝජනය කරනු ලබන පැබ්ලෝවාදී සංශෝධනවාදයත්, ලංකාවේ සමසමාජ ව්‍යාපාරයත්, කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය සඳහා සටන අත් හැර දැමීම තුලින් ගොස් කෙලින් ම යටත් වූයේ ස්ටැලින්වාදයට ය.

වර්තමාන යුගයේ දී ස්ටැලින්වාදය කම්කරු පන්තිය අධිරාජ්‍යවාදයට ගැට ගැසීමේ නියම දෘෂ්ටිමය සිමෙන්තිය යි.

ජනතා විමුක්ති පෙරමුන නොදැනුවත්ව ස්ටැලින්වාදයට යට වූ විප්ලවවාදී ව්‍යාපාරයක් නො වේ.

එය ලංකාවේ ස්ටැලින්වාදයේ අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් ස්ටැලින්වාදී ව්‍යාපාරයෙන් දකුනට බිඳී වෙන් වුන මධ්‍යම පන්තික ව්‍යාපාරයකි.

ජනතා විමුක්ති පෙරමුන ලංකාවේ විප්ලවවාදී සම්ප්‍රදාය වශයෙන් සලකන්නේ කේනමන්-වික්‍රමසිංහලා ලංකාව තුල ගොඩ නැගු ස්ටැලින්වාදී ව්‍යාපාරයේ සම්ප්‍රදායන් ය:

සමාජවාදී ලෝකය තුළ අධිරාජ්‍යවාදීන් හා ධනපති පංතිය විසින් සඟවා තැබූ ඔවුන්ගේ නියෝජිතයා වූ කෘෂෙප් ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විප්ලවවාදී ජීව ගුනය උරා ඉවත් කොට සංශෝධනවාදී දියර එන්නත් කලේ අවුරුදු ගනනකට පෙර ය (1970 අගෝස්තු 1 වන දා ජනතා විමුක්ති, 3 පි., අවධාරනය අපේ).

ඔවුන් මේ “විප්ලවවාදී ජීව ගුනයෙන්” යුතු ලංකා කොමියුනිස්ට් පක්ෂය ලෙස සඳහන් කරන්නේ 1956ට පෙර කොමියුනිස්ට් පක්ෂය යි.

දෙවන ලෝක යුද්ධය සමයේ දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට විවෘතව ම සහයෝගය දෙමින් ලංකා කොමියුනිස්ට් පක්ෂය ගෙන ගිය ප්‍රතිපත්තියත්, යූඇන්පිය සමග පවා එක්සත් පෙරමුනු ගැසීමට අනුගමනය කල ප්‍රතිපත්තියත් ඇතුලු සියලු ම කම්කරු විරෝධී කොමියුනිස්ට් විරෝධී ප්‍රතිපත්ති විප්ලවවාදී ජීව ගුනයෙන් යුතු ඒවා ලෙස ජනතා විමුක්ති පෙරමුන සලකයි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් තම සූරා කෑම හා පාලනය ලංකාව තුල පවත්වා ගෙන යාමේ හොඳ ම ක්‍රමය වශයෙන් සලකා ලංකාවට ඊනියා නිදහස දුන් සමයේ දී ලංකාවේ පැවති සෑම රැඩිකල් ව්‍යාපාරයක් ම මේ අධිරාජ්‍යවාදී උගුලට මුක්කු ගැසූ අතර, මේ සියලු ම රැඩිකල් ව්‍යාපාරවල දේශපාලනය වඩාත් ම තර්කානුකූල අන්තයට ගෙන ගියේ ලංකා කොමියුනිස්ට් පක්ෂය යි.

අධිරාජ්‍යවාදයෙන් ඊනියා නිදහස ලබා ගෙන කම්කරු පන්ති විප්ලවය එම “නිදහස” තුල සන්සුන් කර දැමීම, මධ්‍යම පන්තික රැඩිකල්වාදයේ නියම පන්ති අවශ්‍යතාව නිසා, කොමියුනිස්ට් පක්ෂය විසින් ඉතා ම නග්න ලෙස නියෝජනය කරන ලද මේ මුක්කු ගැසීමේ දේශපාලනයට මධ්‍යම පන්තික රැඩිකල්වාදයේ පූර්න සහයෝගය ලැබුනි. එවකට ලංකාවේ පැවති බෝල්ෂෙවික්-ලෙනිනිස්ට් පක්ෂය හැර අනෙකුත් සියලු ම පක්ෂ මේ ස්ටැලින්වාදී දේශපාලනයේ පූර්න ආධාරකරුවන් වූයේ ද එබැවිනි.

1953 හර්තාලයෙන් කුලු ගැන්වුන අර්බුදය ඊනියා “නිදහසේ” රාමුව තුල කම්කරු පන්ති සටන් රැඳවිය නොහැකි බව ඉතා ම පැහැදිලිව ප්‍රදර්ශනය කල අතර මේ බව කල් ඇතිව ම දැන ගෙන සිටි දේශපාලන ව්‍යාපාරය වූයේ ද ලංකාවේ ස්ටැලින්වාදී ව්‍යාපාරය යි.

1950 ගනන්වල මුල දී බන්ඩාරනායක යූඇන්පියෙන් දොට්ට බැස අපකීර්තිමත් යූඇන්පියෙන් ඉවතට ගිලිහෙන ජනතා ව්‍යාපාරය රඳවා තැබීමට සමත් තවත් ධනපති පක්ෂයක් ලංකාව තුල ගොඩ නගද්දී, වහා ම ඒ පක්ෂයේ වලිගයේ එල්ලීමට කොමියුනිස්ට් පක්ෂය ක්‍රියා කලේ නිර්ධන පන්ති විප්ලවය රඳවා තැබීමේ හොඳ ම ක්‍රමය එය වූ බැවිනි.

සමසමාජවාදීන් 1964 දී වැනීම් හා පැකිලීම් තුලින් ශ්‍රීලනිපය සමග අත්වැල් බැඳ ගැනීමට කාලයකට පෙර දී “සියලු ම යූඇන්පි විරෝධී බලවේගයන්” සමගි කර කම්කරු පන්තියේ ස්වාධීනත්වය විනාශ කර දැමීමේ උගුලක් ඇටවීමට ලංකාවේ ස්ටැලින්වාදී ව්‍යාපාරය වැර වෑයම් දැරී ය.

මේ ස්ටැලින්වාදී දේශපාලනය විප්ලවවාදී දේශපාලනයක් බව ජනතා විමුක්ති පෙරමුන කියන විට, ඔවුන් එමගින් ප්‍රකාශ කරන්නේ කම්කරු විප්ලවය රඳවා තැබීමේ හොඳ ම ක්‍රමය මේ දේශපාලනය වූ නිසා තමන් එයට සහාය දෙන බව යි.

ජනතා විමුක්ති පෙරමුනේ නායකත්වයේ සිටින හා සිටි ප‍්‍රධාන පුද්ගලයන් සියල්ලන් ම පාහේ ඉහත කී ස්ටැලින්වාදී පක්ෂයෙන් බිඳී වෙන් වූවන් ය. 1960 ගනන්වල කම්කරු පන්තියේ ඇති වූ දරුනුතම හා විශාලතම පෙරලිකාරිත්වය තුලින් කම්කරු පන්තිය දෙසට ඇදුනු මධ්‍යම පන්තික රැඩිකල්වාදීන් වූ මොවුන්ගෙන් ඇතැමෙකු සභාග ආන්ඩුව ඇති කිරීමට පවා විරුද්ධ වූවන් ය.

එම විරුද්ධත්වය ද සභාග ආන්ඩුවට කිසි ම සමාජ ස්ථිරත්වයක් සහතික කර දීමට පැවති බැරිකම දැනීමෙන් ඇති වූවක් විනා කම්කරු පන්තිය විප්ලවවාදී ලෙස බලය කරා මෙහෙයවීමට ඇති අවශ්‍යතාවකින් ජනනය වූවක් නො වේ.

මොවුන් අතුරෙන් වැඩි දෙනෙකු මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය වෙතට ඇදී ගිය අතර, ඔවුන් එම පක්ෂය තුල රඳවා තබා ගෙන, සභාග පක්ෂයන්ට විරුද්ධව විප්ලවවාදී විකල්පයක් ඉදිරිපත් කර ලංකාවේ කම්කරු පන්තිය තුල සටන් කිරීමට කිසි ම හැකියාවක් එම පක්ෂයට තිබුනේ නැත.

චීන විප්ලවය අධිරාජ්‍යවාදීන්ට බිලි දීමට සෝවියට් ස්ටැලින්වාදීන් ගත් උත්සාහයන් චීන-සෝවියට් භේදයට තුඩු දුන් අතර, ලංකාවේ මාඕවාදී කොපය ගොඩ නැගුනේ ලංකා කොමියුනිස්ට් පක්ෂය තුල සිටි චීන නිලධරයේ පැත්ත ගත් වඩාත් වාමාංශික කොටස්වලිනි. ඔවුහු චීන නිලධරයේ අවශ්‍යතාවන්ට හිතවත්ව සේවය කිරීමට කැප වුනු අතර, සභාගයට පිටින් හිඳිමින් ම, ලංකාවේ ඊනියා “ප්‍රගතිශීලී බලවේගයන්” සමගි කිරිමේ දේශපාලනයක් ගෙන ගියහ. එහෙත් සෑම අවස්ථාවක දී ම පාහේ ශ්‍රීලනිපය විසින් ඔවුන්ගේ සහයෝගය ප්‍රතික්ෂේප කර දමන ලද අතර, ඔවුහු එනිසා වඩා සටන්කාමී ලෙස ශ්‍රීලනිපයට එරෙහිව කෑ ගසන්නන් බවට පත් වූහ.

මේ “කොමියුනිස්ට්” පක්ෂය තම සගයන්ට ඉගැන්වූයේත් අධිරාජ්‍ය විරෝධී පලල් පෙරමුනු ගැසීමේ අවශ්‍යතාව ගැන පාඩම් ය. එනම්, කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය ධනේශ්වරයට යට කර දැමීම සම්බන්ධ පාඩම් ය.

එමෙන් ම, සෝවියට් දේශය හා නැගෙනහිර යුරෝපා රටවල් සමාජ අධිරාජ්‍යවාදී රටවල් හෝ ෆැසිස්ට් රටවල් ලෙස හෙලා දැකීමටත්, චීනයට විරුද්ධ අධිරාජ්‍යවාදී මූලෝපායේ ප්‍රධාන ඉත්තෙකු වන “ඉන්දියානු ව්‍යාප්තවාදයට” විරුද්ධව සටන් කිරීමටත් ඇති අවශ්‍යතාව සම්බන්ධ පාඩම්වලින් මොවුහු තම කේඩරයන් පුහුනු කලහ.

1960 ගනන්වල දී ඇති වූ ඉමහත් කම්කරු පන්ති පෙරලිකාරිත්වය 1964 ඉල්ලීම් 21 ව්‍යාපාරයෙන් කුලු ගැන්වෙමින් විප්ලවවාදී මට්ටම් කරා සේන්දු වූ සමයේ දී, මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයට තමන් වටා එක් වූ රැඩිකල් මධ්‍යම පන්තිකයන් ඒ කම්කරු පන්ති ශක්තිය පාවිච්චි කර රඳවා තබා ගැනීමට හැකි විය.

මේ කම්කරු ව්‍යාපාරය වමේ නායකයන් විසින් පාවා දී කම්කරු පන්තිය දුබල වත් ම, මේ පක්ෂය තුලට එක් වුනු විවිධ පන්තික කොටස් තම තමන්ගේ ගමන් මාවත් ගැන වෙන වෙන ම උනන්දු වන්ට පටන් ගත්හ.

කම්කරු පන්තියට බලය අල්ලා ගැනීමට ඇති හැකියාව මුලුමනින් ම ඉවත ලූ මොවුහු දැන් තම තමන්ගේ ඕනෑඑපාකම් කෙසේ හෝ ආරක්ෂා කර ගැනීමට වෙනත් ආකාරයන් සොයන්ට වූහ.

ඔවුන්ගෙන් බොහෝ අය මාඕවාදී පක්ෂයෙන් බිඳී ඉවත්ව විවිධාකාර රැඩිකල් ව්‍යාපාරයක් ගොඩ නැගුහ. විජේවීර, සිරිවර්ධන පමනක් නො ව “ප්‍රගති පෙරමුන” නමැති සංවිධානයක් අටවා ගෙන සිටින කොටස් ද ගිනිපුපුර පත්‍රය ගෙන යන කන්ඩායම ද විමල් රනසිංහ ඇතුලු “පෙරදිග සුලඟ” කල්ලිය ද සුමිත් දෙවිනුවර නමැත්තෙකු ගොඩ නගා ඇති තවත් කුඩා සංවිධානයක් ද ඇතුලු නම් ඇති හා නම් නැති “මාඕවාදී” යැයි කියා ගන්නා සංවිධාන සියල්ල ම ගොඩ නැගී ඇත්තේ ලංකා කොමියුනිස්ට් (මාඕවාදී) පක්ෂයෙන් බිඳී වෙන් වුනු එම රැඩිකල්වාදීන්ගෙනි.

ඉහත නම් කල සෑම සංවිධානයක ම ප්‍රධානතම ලක්ෂනය නම් කම්කරු පන්තිය විප්ලවවාදී බලවේගය බව ප්‍රතික්ෂේ කිරිම යි. සමහරු ගොවියන් මත ද තවත් සමහරු සිංහල ජනතාව මත ද වෙනත් සමහරු මහජනතාව මත ද ආදි වශයෙන් පදනම්ව ඇති අතර ඔවුහු සියල්ලෝ ම ස්ටැලින්වාදී දේශපාලනයේ ප්‍රධානතම ප්‍රවාදය වන “මහජන පෙරමුනු” හා “පලල් පෙරමුනු” ගොඩ නැගීම භාවිතයට දැමීමට වලිකමින් සිටිති.

ජනතා විමුක්ති පෙරමුනේ නායකයන් (ෂන්මුගදාසන්ගේ) මාඕවාදී පක්ෂයෙන් බිඳී වෙන් වීම වමට කැඩී වෙන් වීමක් නොවන්නේ එක ප්‍රධාන හේතුවක් නිසයි.

ඔවුන්ගේ මෙම වෙන් වීම කම්කරු පන්තිය විප්ලවවාදී බලවේගයක් නො වෙතැයි සහමුලින් ම ප්‍රතික්ෂේප කිරීමත් සමග අත්වැල් බැඳ ගැනීම එම හේතුව වේ. මාඕවාදී පක්ෂය කම්කරු පන්තියේ එදිනෙදා සටන් මත පදනම් වෙමින් ඒවා චීන නිලධරයේ අවශ්‍යතාවන්ට අනුකූලව හැසිරවීමට කැස කවන කම්කරු පන්ති පක්ෂයකි. ඒ පක්ෂය නිලධාරිවාදී පක්ෂයක් බව, කම්කරු පන්තියේ ඓතිහාසික අවශ්‍යතාවන් කිසි සේත් ම නියෝජනය නොකරන පක්ෂයක් බව ඇත්තකි. එහෙත් ජනතා විමුක්ති පෙරමුන කෙලින් ම මධ්‍යම පන්තිය මත දැනුවත්ව ම පදනම් වූ පක්ෂයකි.

මේ අර්ථයෙන් ජනතා විමුක්ති පෙරමුන “මාඕවාදී” පක්ෂයක් වත් ස්ටැලින්වාදී පක්ෂයක් වත් නො වේ.

අධිරාජ්‍යවාදය හා කම්කරු පන්තිය අතර උපාමාරු යොදමිත් තම පන්ති අවශ්‍යතාවන් රැක ගැනීමේ දී ස්ටැලින්වාදයේ හා එහි වාම ප්‍රකාශනයක් වන මාඕවාදයේ “න්‍යායන්” නිදහසේ පාවිච්චි කිරීමට නැඹුරු වී ඇති මධ්‍යම පන්තික සංවිධාන අතරින් ජනතා විමුක්ති පෙරමුන ද එකකි.

මාඕවාදී පක්ෂය තුලින් “ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන”, “සෝවියට් ෆැසිස්ට්වාදය ගැන” හා “දේශප්‍රේමී පෙරමුනු ගැන” ඔවුන් ලබා ගත් අධ්‍යාපනය නිර්ධන පන්ති විප්ලවයටත්, ධනේශ්වර ප්‍රතිවිප්ලවයටත් එක වර විරුද්ධ වීම සඳහා හොඳින් යොදා ගැනීමට ජනතා විමුක්ති පෙරමුන සමත්ව ඇත.

“ඉන්දියානු ව්‍යාප්තවාදය” සිංහල ජාතිවාදය මත පදනම් වීම සඳහාත් “සෝවියට් ෆැසිස්ට්වාදය” සෝවියට් දේශයට අධිරාජ්‍යවාදයෙන් එල්ල වන තර්ජනයන්ට මුක්කු ගැසීම සඳහාත් “දේශප්‍රේමී පෙරමුන” කම්කරු පන්තිය මධ්‍යම පන්තීන් හරහා ධනේශ්වරයට ගැට ගැසීම සඳහාත් ජනතා විමුක්ති පෙරමුන යොදා ගෙන ඇත.

කම්කරු පන්තිය තුලින් අධිරාජ්‍යවාදයට බලපෑම් දමා කිසි යම් සමාජ ස්ථිරත්වයක් පවත්වා ගැනීමට යත්න දැරීම මධ්‍යම පන්තික රැඩිකල්වාදයේ දේශපාලනය වන නිසා ම, කම්කරු පන්තිය සමාජය තුල ඇති අන් සෑම පන්තියක ම බලපෑමෙන් මුදා ගැනීමට සටන් කරන ට්‍රොට්ස්කිවාදී දේශපාලනයට මේ රැඩිකල්වාදය සෑම විටක ම විරුද්ධ වෙයි.

ජනතා විමුක්ති පෙරමුනේ ඇති ට්‍රොට්ස්කිවාද විරෝධය ඔවුන්ගේ පන්ති කටයුත්තෙහි, එනම් කම්කරු පන්තිය ධනේශ්වරයට ගැට ගැසීමේ අවශ්‍යතාවෙහි ප්‍රකාශනයකි.

මේ ට්‍රොට්ස්කිවාද විරෝධය කම්කරු පන්තිය ප්‍රතික්ෂේප කිරීමත්, මාක්ස්වාදී න්‍යාය ප්‍රතික්ෂේප කිරීමත්, සෝවියට් සංගමය තුල හා නැගෙනහිර යුරෝපය තුල සමාජවාදී දේපල ක්‍රමය අධිරාජ්‍යවාදයෙන් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කිරීමත්, කම්කරු පන්තියේ වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කිරීමත් සමග කෙලින් ම අත්වැල් බැඳ ගෙන ඇත.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ලෙනිගේ මරනයෙන් පසුව සෝවියට් සංගමය තුල නැගී ආ ස්ටැලින්වාදී නිලධරයට විරුද්ධව මාක්ස්-ලෙනින්වාදී ව්‍යාපාරයේ න්‍යායික හා දේශපාලනික අඛන්ඩත්වය රැක ගත් මාක්ස්-ලෙනින්වාදීන්ගේ ව්‍යාපාරය යි.

ට්‍රොට්ස්කිවාදයේ න්‍යායික හරය ලෙනින්වාදයේ න්‍යායික හරය ම ය. එනම්, කම්කරු පන්තිය පන්ති විඤ්ඤානයෙන් යුත් ස්වාධීන බලවේගයක් බවට පත් කිරීම සඳහා කම්කරු පන්තිය තුල මාක්ස්වාදී න්‍යය, ක්‍රියා මාර්ගය හා විධික්‍රමය මත පදනම් වන පක්ෂයක් ගොඩ නැගීම යි.

මේ පක්ෂය ගොඩ නැගීමේ සටන, මාක්ස්වාදී න්‍යාය එහි සතුරන්ගෙන් ආරක්ෂා කර වැඩි දියුනු කිරීමත් කම්කරු පන්තිය මේ තාක් කල් ලබා ගෙන ඇති ජයග්‍රහනයන් පන්ති සතුරාගෙන් ආරක්ෂා කර ගැනීමත් අන්තර්ගත කර ගනී. මේ නිසා ම, නැගෙනහිර යුරෝපයේ, සෝවියට් සංගමයේ හා චීනයේ ඇති දේපල ක්‍රමයන් ද, වෘත්තීය සමිති සංවිධානයන් ඇතුලු කම්කරු පන්තිය තම සටන් තුලින් ගොඩ නගා ගෙන ඇති උපකරනයන් ද කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීමට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සටන් කරයි.

මේ සටන නැවතත් වරක් සිදු වන්නේ කම්කරු පන්තිය ධනේශ්වරයට විරුද්ධව ස්වාධීනව බලමුලු ගැන්වීමට කරන සටනක් වශයෙනි.

මධ්‍යම පන්තික රැඩිකල්වාදය කම්කරු පන්තිය තම අරගලයන් තුලින් අත් කර ගෙන ඇති ප්‍රායෝගික හා න්‍යායික ජයග්‍රහනයන් ගනන් ගන්නේ නැත. මධ්‍යම පන්තික රැඩිකල්වාදය කම්කරු පන්තියේ වියදම මතින් හැම විට ම ධනේශ්වරයත් සමග සම්මුතියකට ඒමට සූදානම් ය.

කම්කරු පන්තියේ වියදම මතින් ධනේශ්වරයත් සමග සම්මුතියකට ඒම සඳහා කරන සටනේ දී, කම්කරු පන්තියත්, මාක්ස්වාදී න්‍යායත්, කම්කරු පන්තියේ ඓතිහාසික ජයග්‍රහනයන් සියල්ලක් මත් ආරක්ෂා කිරීමට සටන් වදින ව්‍යාපාරයට විරුද්ධව සටන් කිරීමට මධ්‍යම පන්තික රැඩිකල්වාදයට සිදු වේ. ජනතා විමුක්ති පෙරමුන ට්‍රොට්ස්කිවාදයත් සමග මාරාත්මක සටනක් ගෙන යන්නේ එබැවිනි.

මේ සටනේ දී ඔවුන් ඉතා ම පහසුවෙන් ආයුධ සපයා ගන්නේ ස්ටැලින්වාදීන්ගේ ආයුධ පෙට්ටියෙනි. ජනතා විමුක්ති පෙරමුණට ස්ටැලින්වාදය ගැන හෝ ට්‍රොට්ස්කිවාදය ගැන කිසි ම ඓතිහාසික විග්‍රහයක් කිරීමට කිසි ම පුලුවන්කමක් නැති අතර, අවස්ථාවාදී අන්දමින් ඒ ඒ වෙලාවට කුමන හෝ ආකාරයකින් තම සතුරන්ට විරුද්ධව සටන් කිරීම එහි විධික්‍රමය යි.

ට්‍රොට්ස්කිවාදයට පහර ගැසීමේ දී, ඔවුන්ට අවශ්‍ය සියලු ම “තර්කයන්” ඔවුන් සපයා ගෙන ඇත්තේ ඔවුන් ම “සමාජ අධිරාජ්‍යවාදීන්” ලෙස සලකන සෝවියට් ස්ටැලින්වාදීන්ගේ ලංකාවේ ගැත්තරයන් විසින් පසු ගිය කාලයේ දී කි.සු. ජයරන්න. නමැත්තෙකුගේ නමින් පල කරන ලද හතර වන ජාත්‍යන්තරය නමැති පොත් පිංචෙන් බව 'ට්‍රොට්ස්කිවාදය” ගැන ඔවුන්ගේ දේශන මාලාවල එන සටහන් කියවන විට පැහැදිලි වේ.

අප අතට පත්ව ඇති මේ දේශන සටහන් මාලා පොත් තුනකින් ම මේ බව සහතික වී ඇත.

කි.සු. ජයරත්නගේ පොත් ට්‍රොට්ස්කි ගේ නියම නම ගැන කර ඇති සඳහනක දී ලියෝ ඩේවිඩොවිච් බොස්ටයින් යන්න සඳහන්ව ඇ ත්තේ “ලෙප්-ඩෑම් ඩොවිට්” කියා ය. මෙය සමහර විට මුද්‍රණ දෝෂයක් හෝ ජයරත්නගේ නමින් පොත ලියූ තැනැත්තාට සහජයෙන් ම සිදු වූ වැරැද්දක් හෝ විය හැකි ය.

අප අතට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුනේ සටහන් මාලා පොත් තුනේ ම ද ට්‍රොට්ස්කිගේ පරන නම ලියැවී ඇත්තේ 'ලෙප්-ඩෑම් ඩොවිට්” කියා ය!

මෙයින් ඉතා මත් පැහැදිලි වන දෙය නම් ඔවුන් ම “සමාජ අධිරාජ්‍යවාදීන් ” ලෙස නම් කරන අය ට්‍රොට්ස්කිවාදය ගැන ලියා ඉදිරිපත් කර ඇති කුනුහරුප තොගයට පිටින් ට්‍රොට්ස්කිවාදය ගැන ජනතා විමුක්ති පෙරමුනට ඇති වැටහීම ශුන්‍යයක් බව යි.

කම්කරු පන්තියට විරුද්ධව සටන් කිරීමේ දී ජනතා විමුක්ති පෙරමුනට එල්බී සිටිය හැකි හොඳ ම “න්‍යායන්” හා හොඳ ම අදහස්උදහස් කෙලින් ම සැපයෙන්නේ ස්ටැලින්වාදයෙනි.

මෙය මෙසේ වන්නේ අප ඉහත පෙන්වූ පරිදි කම්කරු පන්තිය ධනේශ්වරයට යට කිරීමේ හොඳ ම දෘෂ්ටිමය සිමෙන්තිය ස්ටැලින්වාදය බැවිනි.

Loading